🌏කොන්ත්‍රාත්තුව 🌏
- Prisila Godahewa

- Dec 3, 2021
- 6 min read
(34 වෙනි කොටස)
තිබුනු සියලු කරදර මැද මගේ දරුවා බිහි විමට තිබු දිනද පසුවී ගෙන යයි.... ඒ කාලය තුල මම කීර්ති සර් ලවා මට අලුත් ගෙයක් හා ගෙට අවශ්‍ය බඩුමුට්ටු කඩිනමින් ගන්නට සියලු දේද ලෑස්ති කර තැබුවෙමි .
"හංසනී නංගි...ඔයා කියපු විදිහේ කාමර දෙකක අලුත් පොඩි ගෙයක් තියෙනවා හොරණ පැත්තෙම, ඔයා කියපු ගානට ඒක ගන්න පුලුවන් වෙයි .....ඉක්මනට අපි ගේ ගන්න නිසත්, එක පාර සල්ලි දෙන නිසාත් තව ගාන අපට අඩුකරගන්නත් පුලුවන් වෙයි....., අපි හෙට ගිහින් ඒක බලලා එමුද?...."
"ඒ ගෙදර ඔප්පු හොදනම් මම පොතේ තියෙන සල්ලි වලින් ඒ ගෙදර ගන්නම් කීර්ති සර්.....මට තවත් සමනලී අක්කට කරදර කරන්න හිතෙන්නෙත් නෑ....දරුවයි මා ගැනයි, දෙන්නෙක් ගැන සමනළි අක්කට ඉස්සරහ කාලේ බලන්න බෑනේ.....පුලුවන් ඉක්මනට ඒ ගෙදර සල්ලි වලට ඇරන්, ඒකට අතයාවශ්‍ය බඩු මුට්ටු ටික ඇරන් පදිංචි වෙලා, අම්මව ගෙන්න ගන්න ඕනේ..."
"මම එහෙනම් ඒ ගෙදර ගැන හොයලා බලලා නංගිට ඉක්මනට විස්තර කියන්නම්......"
කීර්ති සර් මට දැන් , හංසිනි නොකියා නංගි කියා කතා කරයි.
"හැමදාම ගෙදරට කෝල් කලොත් අම්මයි තාත්තයි අහනවා කවද්ද ගෙදර එන්නෙ කියලා ..."
" දරුවා හම්බවුනාට පස්සෙත් තව මාස තුනක්වත් දරුවට කිරි දීලා දරුවා ලොකු කරගන්න වෙන්නේ තනියම නේ....,හංසිනිට තනියම දරුවා ගැන බලන්න බෑ......අලුත් ගෙට ගිහාම හංසනීට තනියම ඉන්නත් බෑ...."
" මට ගමේ ගිහින් ගමේ මිනිස්සුන්ට මූණ දෙන්න බැරි නිසා, මම අලුත් ගෙට ගිය ගමන් අපේ අම්මව මං ලඟට ගෙන්න ගන්නවා. මේවා තවත් මට හංගන් ඉන්න බෑ කීර්ති අය්යේ........" මමත් දැන් කීර්ති සර්ට අය්යේ කියන්න පුරුදු වි ඇත ..... ඒ තරමට ඔහු , මගේ ප්‍රශ්න වලට විසදුම් සොයා දෙන්න, මහන්සි වෙන නිසා වන්නට ඇත. ඔහු මේ වනවිට මගේ හිතට ගොඩක් ලංවි ඇත. ඔහු මට අනුකම්පා කරන බවද වැටහේ, ඒ ඔහුගෙ අතින් මට උන අසාධාරණය නිසා වන්නට ඇත.
හැම දෙයක්ම හිතුවට වඩා හොදින් සිද්ද වී, සමනළි අක්කලාගේ ගමේම ,අලුත හදපු පොඩි ගෙයක් මට ලාබෙට මිලදි ගන්නට හැකි විය.... ඒ වැඩ කටයුතුවලට කීර්ති සර් මට උදව් කලේය.... ඒ ගෙදරට අවශ්‍ය කරන ලී බඩු, වලං පිඟන් පවා ගෙනත් දුන්නේ, කීර්ති සර් විසිනි. ඒ වෙනුවෙන් මම මුදල් වියදම් කලා පමනී.
දරුවා ලැබුනු පසු, ඒ ගෙට යන්න අවශ්‍ය දේවල් මම, බැරි මරගාතේ ,බඩත් උස්සාගෙනම ලෑස්ති උනෙමි.
දරුවා ලැබෙන්න දින පහු වි තිබුනත් මට තවමත් විළිරුදා ඇති නොවින....එනමුත් කීර්ති සර්ගෙ හා සමනළි අක්කාගේ අදහස උනේ, මම දැන් රෝහලකට ඇතුලත් විය යුතු බවයි.....
"නංගියේ තවත් බලාගෙන ඉන්න හොද නෑ අපි ඉස්පිරිතාලේට ගිහින් හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නමු, නංගි ඉස්පිරිතාලේට ගිහින් ඇතුලත් වෙන්න...."
"ඔව් අපි හෙට ඉස්පිරිතාලේ යමු, හදිසියේ රෑටවත් අමාරු උනොත් ඔයාව ඉස්පිරිතාලේ එක්ක යන්න කෙනෙක් වත් නෑනේ...."
"එහෙනම් කීර්ති අය්යේ ඔයා අද හවසට ගිහින් අපේ අම්මව මෙහේ එක්ක එනවද...? මගේ විස්තර මුකුත් කියන්නෙ නැතුව අම්මව එක්ක එන්න දවස් තුන හතරක් මාගාව නවතින්න එන්න කිව්වා කියන්න, ..."
"අනේ මන්දා, හංසිනි නංගිගෙ අම්මා මටත් බනීද දන්නෑ මේවා දැනගත්තහම..."
"බනින්න නෙමේ ගහන්න ඕනේ, කීර්ති සර් තමයි හංසිනි නංගිව ආමාරුවේ දැම්මේ...." සමනළි අක්කා තවමත් සැරෙන් සැරෙට කීර්ති සර්ට බනියි.
පහුගිය දිනවල මට ආරංචි උන නරක දේවල් , විදගන්න සිදුවුන දුක් කම්කටොළු මොනවා උනත්, මේ වන විට මම ඒ සියලු දේ දිහා උපේක්ෂාවෙන් බලා, සියලු දුක් සිතින් විදගෙන, මගේ අනාගතය වෙනුවෙන් කරන්න අවශ්‍ය දේ සැලසුම් කරමින් ඉන්නෙමි .
"මට හරි පුදුමයි හංසිනි නංගි, මෙච්චර ලොකු කරදරයක් වෙලත්, හිත ශක්තිමත් කරගෙන, ජීවිතේට මුහුණ දෙන්න හදන විදිහ දැකලා ...."
"ඉපදුන දවසේ ඉදන් මම විදලා තියෙන දුක් කරදර නිසා, මට මේ දේටත් මුහුණ දෙන්න පුලුවන් වෙන්න ඇති..... මට නැති උන දේවල් ගොඩක් තිබුනට , මගෙ ඉස්සරහ කාලේ මම තවත් ජීවත් වෙන්න ඕනේ, ගෙදර අය ජීවත් කරවන්න ඕනේ...මොනව උනත් දැන් මගේ අතේ සල්ලි තියෙන නිසා වෙන්න ඇති මගේ හිතේ තිබුන දුක අඩු කරගන්න පුලුවන් වෙන්න ඇත්තේ ..."
"එහෙනම් නංගි මම අද හවස ඔයාගෙ අම්මා එක්ක ගෙන එන්න බලන්නම්...."
"මට ටිකක් සනීප මදි කියලා ,සුමානයක් විතර නවතින්න බලාගෙන එන්න කියන්න..."
මට දරුවා හම්බවෙන්න දැන් ඔන්න මෙන්න කියා ඇත.... දරුවා හම්බවෙන්න විළිරුදා නොහැදුනත්,මගේ ගරීරයේ දැන් තියෙන අපහසුකම් නම් බෝහොමයි....
කීර්ති සර් මම කිව් විලසම අපේ අම්මා හා ලොකු නංගිව මාව බලන්න සමනළි අක්කගෙ ගෙදරට එක්ක ආවේ හොදටම රෑ උන පසුය....
අම්මා ගෙට ගොඩ වි, මා දැකපු මුල් අවස්තාවේම.... ඇස් උඩ ඉන්දවාගෙන හිටපු තැනම පුටුවේ වාඩි උන්නේ, කතා කරගන්න බැරුවය. ඇය කිසි කතාබහක් නැතුව කදුළු හෙලන හැටි දැක මටත් ඇඩිනි.....ලොකු නංගීද මගේ වැඩුනු බඩ දිහා පුදුමයෙන් බලමින් අම්මා මෙන්ම කදුළු සලයි....
"ඇයි ලොකු දුවේ උඹ මට මේවා හැංගුවෙ.....මෙච්චර දවසක් උඹ හැංගිලා හිටියේ මේවා නිසාද....?උඹට කසාද බදින්න ඕනෙ කිව්ව නම් අපි ගමටම කියලා, මගුලක් කාලා, ජයට මගුල ගන්නවනේ...., ඇයි උඹ අපට බොරු කියලා මේ මාස ගානක් හැංගිලා හිටියේ...එතකොට කෝ උඹේ දරුවගෙ තාත්තා ..?
"ළමයගෙ තාත්තා මාව දාලා ගියා...ඒකයි මම හැංගිලා හිටියේ..."
"මොනවා ලොකු පුතේ....ඒ ඇයි..."
"ඒවා කියලා වැඩක් නෑ...මගෙ ළමයට දැන් තාත්තා කෙනෙක් නෑ.....මට ඉන්න හිටින්න ගෙවල් දොරවල් පවා හදලා දීලා, තව පොතට ලොකු සල්ලියකුත් දාලා එයා රට ගියා...කොටින්ම තාත්තගෙ ඔපරේෂන් එකට සල්ලි දුන්නෙත් එයා....එයා ආපහු එන්නේ නෑ මාව වත් දරුවා වත් බලන්න ...."
"ඉතිං දරුවො ඒ ලමයා මෙච්චර හරියක් කලා නම්..... එක පාරක් ගමේ එක්ක ඇවිල්ලා ගමේ මිනිස්සුන්ට ඒ මිනිහව පෙන්නුවා නම්, උඹ මෙහෙම හැංගිලා ඉන්න ඕනෙ නෑනේ....අපිත් ඔළුව කෙළින් කරගෙන ගමේ ඉන්නවනේ....දැන් කොහොමද අපි ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ....?"
"මම ළමයා හම්බවුනාම මඩමකට භාර දෙනවා, මම ගමේ එක්ක යන්නේ නෑ, අම්මලාට ලැජ්ජ කරන්න .... මට ගමේ යන්න උවමනාවක් නෑ.....මට ඉන්න හිටින්න ගෙයක් මම ගත්තා, දරුවා හම්බවෙලා ඇවිත් මම ඒ ගෙදර නවතින්න යනවා....ළමයා හම්බවෙලා මාස තුනකට පස්සේ, මඩමකට ළමයා භාර දීලම තමයි මම ආපහු ගමේ යන්නේ....."
"උඹ දරුවෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක් නේද හංසිනි ...ඔහොම කතා කියන්නේ දරුවා බඩේ තියාගෙන...."
"මම මේ ළමයා එක්ක කේන්තියෙන් ඉන්නේ..."
"හරියට කසාදයක් බදින්නෙ නැතුව ,එක එකා එක්ක එහෙ මෙහෙ ගිහින්, ළමෙක් හදාගෙන ,දැන් එනවා නූපන් එකාට බනින්න..."
"එක එකා එක්ක මම එහෙ මෙහෙ ගියේ නෑ...., තාත්තගෙ ඔපරේෂන් එකට සල්ලි හොයන්න ගිහින් මට මේ කරුමෙට කර ගහන්න උනේ...මගේ හිතේ තියෙන දුක දන්නෙ මම විතරනේ..."
මම කදුළු පෙරමින් අඩමින් අම්මට බනින්නට විය..... මම මේ මගේ බඩේ දරුවා හදාගත්ත විදිහ ගැන කිසිත් නොදන්න අම්මා, හිතන්නේ මම අවලමේ ගිහින් දරුවෙක් හදාගෙන ඇවිත් කියලයි.....මම බඩත් උස්සාගෙන අඬනවා දැක අම්මාට දුක හිතී ඇත.
"දැන් උඹට කවද්ද දරුවා හම්බවෙන්න තියෙන්නේ...දරුවගෙ ඇදුම් ලෑස්තිද..?
"ඒවා ඔක්කොම ලෑස්තියි ..... දරුවා ලැබෙන්න දින දීලා තිබුනේ දවස් තුනකට උඩදි.......තාම දරුවා හම්බවෙන්න මට අමාරුවක් ආවේ නෑ....දැන් කොයිවෙලේ හරි මට අමාරු වෙයි....ඊට ඉස්සර මම ඉස්පිරිතාලේ නවතින්න යනවා, ඒකයි අම්මට එන්න කිව්වේ...."
"ඔව් ඉතිං ...තනි කැමැත්තට උඹ ඔක්කොම කරගෙන, ළමයා හම්බවෙන්න ඕන උනාමයි උඹට මාව මතක් උනේ...අර තාත්තා මේවා දන්නවා නම් පොලොවේ පස් කයි...."
"මම ළමයා හම්බවුනාම මඩමකට භාර දෙනවා, මම ගමේ එක්ක යන්නේ නෑ, අම්මලාට ලැජ්ජ කරන්න ....මම දරුවා හම්බවෙන්න පෞද්ගලික රෝහලකට නවතින්න යන්න ඉන්නෙ.... අම්මට පුලුවන් නම් ඇවිත් සුමානයක් දෙකක් මා ගාව නවතින්න ...ලොකු නංගිව නවත්තලා ගියත් කමක් නෑ මගේ තනියට ....."
"ඔව් ඉතිං ගෑනු දරුවො වදපු හැම අම්මා කෙනෙක්ටම අන්තිමට කරන්න තියෙන වැඩ කොටසනේ ඔය......උඹලා මොන වැරදි කරලා ආවත් අම්මලා තමයි ඒ දුක් විඳින්න ඕනේ, ඒ දේවල් වලට කරගහගන්න ඕනේ...උඹ්ලට වැරදි කරනකොට අපි ගැන මතක් වෙන්නේ නෑ...."
"අම්මේ මට බනින එක නවත්වන්න...අද අපේ ගෙදර හැමෝම හොදට කාලාබීලා සැපට ඉන්නේ, මේ ළමයගෙ තාත්තා නිසා, කොටින්ම අපේ තාත්තා වකුගඩු අමාරුව හොද කරගෙන ඉන්නෙත් ඒ මිනිස්සු හින්දා....ඔය ඇති මට දැන් බැන්නා...."
"දැන් මේ ළමයා හම්බුනාට පස්සෙ කොහොමද උඹ තනියම උඹේ ගෙදර ඉන්නේ..... මටත් තාත්තා දාලා ඇවිත් මෙහෙ නැවතිලා ඉන්න බෑ...තාත්තව තවම එහෙම තනියම ගෙදර දාලා මට එන්න බෑ...."
" වැඩි දවසක් මගෙ තනියට කවුරුත් ඕන වෙන්නෙ නෑ...මාස තුනකට විතරයි කවුරු හරි මට ඕන වෙන්නේ....මම මේ ළමයා මඩමකට දෙනවා, අම්මා තාත්තට උවමනාවක් නැති දරුවෙක් මම මොකට තනියම මැරීගෙන හදන්නද...?
"උඹ දරුවෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක් නේද හංසිනි ...ඔහොම කතා කරන එක නවත්තපං... දරුවා බඩේ තියාගෙන පව් කතා කියනවා......"
අනේ මගේ සුපුන් වත් හිටිය නම් මගේ තනිය මකන්න...මේ දරුවගෙ කලලය බඩේ තැන්පත් කරගෙන ,සල්ලි වලට පෙරේත කමේ මමම මගේ සුපුන්ව නැති කරගත් හැටි මතක් වෙනකොට මට ඇති වන්නේ ලොකු දුකකි.
කෙසේ හෝ අම්මා මා බලන්න ආ දවසට පසු දින මම, හොරණ පෞද්ගලික රෝහලකට ගොස් දරුවා හම්බවෙන්න නතර උනේ අම්මා සමගය..... මට පේන්න අම්මා හොදින් ඉන්නා බව පෙනුනත්, ඇය හිත යටින් ලොකු දුකකින් ඉන්න බව මට පෙනේ.....ඇයට වඩා, මම ඉන්න මානසිකත්වයක ගැන දන්නේ මමයි....කාත් කවුරුත් නැති දරුවෙක්ට අම්මා කෙනෙක් වෙන්නට උන මට, කසාද නොබැදපු මට සිද්ද වි ඇති අපරාදය..... මේක කාගේ වැරැද්දද.....මගේ ගෙදර අඟහිඟකම් නිසාත්, මගේ තන්හාව නිසත්, ලේසියෙන් සල්ලි ගොඩක් හොයාගන්න ගිහින්, මම පැටළුන කොන්ත්‍රාත්තුව නිසා, මම අද අමාරුවේ වැටි දුක් විදිමි.... ඒ ඔක්කොටම වඩා, කාගෙන්වත් මන්දබුද්දික දරුවෙක් මම මගේ බඩේ මාස නමයාහමාරක් තියාගෙන හදමින් ඉද, දැන් ඔහු බිහි කරන්න සැරසේ.....මේ කිසිත් නොදන්න අම්මා, සැරෙන් සැරේට අත නිකටේ තියාන සුසුම් හෙළයි....ඉද හිට මට බනියි.... මගේ දරුවා බිහි උනාට පසු, ඇය කොයිතරම් නම් දුක් වෙයිද ඒ අසරණ ,නොදරුවා දැක.....
"කිර්ති අය්යෙ අර මම ඔයාට බලන්න කිව්ව තැන ඔයා හොයලා බැලුවද...?
"අර විශේෂ අවශ්‍යතා තියෙන ළමයි ඉන්න තැනද...?
"ඔව් කීර්ති අය්යේ...මට වෙන කරන්න දෙයක් නෑ, මේ දරුවා ඒ වගේ තැනකට දෙනවා ඇරෙන්න...මට අපේ අම්මා දුක් වෙනවා බලන් ඉන්න බෑ....දරුවා ඒ වගේ තැනකට දීලා මම ,ඒ දරුවා වෙනුවෙන් මාස පතා කීයක් හරි මඩමට දෙනවා. ..."
"ඔව් අපි ඒක ඉස්සරහට බලමු නංගි.... දරුවව මාස තුනක් විතර කිරි දීලා හදා ගන්න නංගි.... පව් අම්මා තාත්තා නැති අහිංසක දරුවා...."
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා*





Comments