top of page

🌏කොන්ත්‍රාත්තුව 🌏

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 6 min read

(30 වෙනි කොටස )

ඇන්ජලා හා ටෙරික්ට ඔවුන්ගේ දරුවෙක් හදාගැනීම වෙනුවෙන් කලයුතු මුළික වැඩකටයුතු වලට උදව් කල මම...., ඉදිරිකාලයේදී ඔවුන්ගේ දේ ඔවුන්ටම හොයා බලා කරගන්න භාර කල මම, දැන් පැත්තකට වී ඉන්නෙමි. එය මගේ හිතට ලොකු සැහැල්ලුවක් වි ඇත. ඒ ගැන ස්ටීව්ට ඇත්තේද ලොකු සතුටකි.


ඇන්ජලාගෙ දරුවා ගැන වත්, හංසිනි ගැනවත් හොයන්න වෙලාවක්, අවශ්‍ය තාවයක් මට දැන් නැත. මට දැන් මගේ කුළුදුල් දරුවා වෙනුවෙන් කරන්නට බොහෝ වැඩ කොටසක් ඉතුරු වි ඇත. මමත් ස්ට්ව්වෝත් අපේ කුළුදුල් දරුවා ගැන සිහින මවමින් , දරුවාට අවශ්‍ය දේ ලෑස්ති කරමින් කාලය ගත කරන්නෙ බොහෝ සතුටිනි.....


හංසනීගෙ ගැබට මාස හය සම්පූර්ණ වූ පසු, ඇන්ජලා විසින් හංසනීට ගෙවන්න පොරොන්දු වූ මුදල, ලංකාවට ඇරිය බව ඇන්ජලා මා සමග කීවාය....


ඇන්ජලා හා ටෙරික් නිතර හංසනී සමග කතා බහ කරමින් ඔවුන්ගේ දරුවාගේ වතගොත අසන බවත්, මට ඇන්ජලා කීය.

ඇන්ජලා හා ටෙරික්ගෙ දරුවාගේ කළලය, දැන් හංසනීගේ ගැබේ හොදින් මෝරමින් හැදී වැඩෙන බව කී ඇන්ජලා ,මට දිනක් පෙන්නපු හංසිනිගේ පින්තූරයකින් මට, හංසිනි මහත්වි ගැබ ඉදිරියට ඇවිත් ඇති ආකාරය දැක හංසිනි ගැන ඇතිවුනේ ලොකු කණගාටුවකි.... ඇගේ තාත්තාගෙ අසනීපය, ගෙදර දොරේ ඇති අඟහිඟකම්, පවුලේ අනෙක් අය වෙනුවෙන්, කසාඳ නොබැඳ ඇයට තමන්ගෙ නොවන දරුවෙක් තමන්ගේ බඩේ හදාගන්නට වි ඇති හැටි.....


ඇය ගැන ඇතිවුන කණ්ගාටුවෙන් පසුවුන මම, දිනක් හංසනීට ටෙලිෆෝනයෙන් කතා කලෙමි.


"හෙල්ලො හංසනී ඔයාට කොහොමද ...?


"හෙලෝ චතුරි මිස්, මට හොදයි... ..?

හුඟ දවසකින් මිස් කතා කලේ.....මිස්ට කොහොමද ?."


" මට හොදයි හංසිනි .... ඔයාට වගේම මටත් දැන් වාසියිනේ...😁 ....මටත් දැන් බබෙක් හම්වවෙන්න ඉන්නවානේ...., ඔෆ්ස් එකේ වැඩයි, ගෙදර වැඩයි, ලැබෙන්න ඉන්න දරුවා නිසයි , ඔක්කොම එක්ක මම දැන් හරියට බිසී වෙලා ඉන්නේ.... මට ඔයාට කතා කරන්නත් බැරි උනා හංසිනි .... ඔයාට ඇන්ජලා මිස්, කීර්ති එහෙම නිතර කතා කරනවා ඇති නේද...?


"ඔව් මිස්, ඇන්ජලා මිස්, කීර්ති අය්යට කියලා මට නිතර කතා කරවනවා.... මට කිසි දේකින් අඩුපාඩුවක් නෑ, කෑම බීම, ඇදුම් පැළඳුම් පවා ඇන්ජලා මිස් ඔස්ට්‍රේලියාවේන් මට එවනවා.... මොනව උනත් හොද ජෝඩුවක්....හැබැයි ඉතිං මම බදින හිටිය කෙනා නම් මාව දාලා ගියා මිස්, මම එයාව මග ඇර ඇර ඉන්නවා කියලා .....මට මේ බඩත් එක්ක එයාව හම්බ වෙන්න යන්න බෑනේ.....ඊටත් වැඩිය කීර්ති අය්යා මාව දොස්තර ගාවට, එහෙම නිතර එක්ක යන නිසා, එයා සැක හිතලා...., මම කීර්ති අය්යා එක්ක යාළුයි කියලා ...ඒ වගේම දැන් මට අම්මලා බලන්න යන්න විදිහකුත් නෑ මේ බඩ නිසා.....දරුවා කුසේ හැදෙන්න පටන් ගෙන මුල් මාස පහම මම සාමාන්‍ය විදිහට මගේ වැඩකටයුතු කරගෙන හිටියා...., අම්මලා තාත්තලා බලන්නත් ගියා...,ඒත් දැන් එහෙම බෑනේ, මගේ කුස බලාගෙන ඉන්න කොට වැඩෙන නිසා, මම දැන් ගොඩක් හැංගිලා ඉන්නෙ....,කීර්ති අය්යා හොයලා දුන්න ගෙදර ඇදුම් මහන වැඩේ කරගෙන මම ගේ ඇතුලටම වෙලා ඉන්නවා. එළියට කියලා යන්නේ, මේ ගෙවල් කිට්ටුව තියෙන පන්සලට විතරයි.... ."


"ඔයාට ඇන්ජලා මිස් හොදට වියදම් කරලා සලකනවානේ, ඒ නිසා ඔය දරුවා ලැබුනට පස්සෙ දරුවා එයාට දීලා ,එයාගෙන් ඉතිරි සල්ලි ටික ඇරන්, ගෙයක් දොරක් හදාගෙන හොද කෙනෙක් හොයාගෙන කසාඳ බදින්න හංසිනි ...එතකොට ඔයාගෙ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙලා තියෙයි...."


"ඔව්..මිස් ඒක තමයි මගෙත් එකම බලාපොරොත්තුව , අපේ තාත්තට දන් හොදටම සනීපයි ...අපේ ගෙදර වහලේ එහෙම හදලා, ගෙදර ඇතුල එහෙමත් හොදට හදා ගත්තා මිස්.... , ඇන්ජලා මිස් මට දෙවන පාර එවපු සල්ලි වලින් ඒ දේවල් කලේ..... නංගිලා මල්ලිලා දැන් අලුත් ඇදුම් ඇදගෙන, පොත් පත් ඇරගෙන ඉස්කෝලේ යනවා කියලා කියනකොට, මට ඇති වෙන සතුට කියලා නිම කරන්න බෑ මිස්.... මම මටම කියලා පොඩි ඉඩම් කෑල්ලක් ඇරන් දාලා, තව බැංකුවක ස්තාවර ගිනුමකුත් ආරංභ කරගත්තා.., මගේ ඉස්සරහ කාලෙ හොදට පිලිවෙලක් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ...."


"ඒක හොදයි , මට සන්තෝෂයි ඔයා පරිස්සමට ඒ සල්ලි පාවිච්චි කරන එක ගැන...., ඔයාගෙ අනාගතය වෙනුවෙන් හොද දෙයක් කර ගන්න, ඊටත් වැඩිය ඔයා, දැනටත් ගෙදර අය වෙනුවෙන් කරලා තියෙන දේවල් උනත් ලොකු දේවල් නේ...."


"ඔව් මිස්...මිස්ලා හින්දා මගේ පවුල ගොඩ ගියා, මිස්ට කොහොම ස්තුති කරන්නද මන්දා..."


"හංසනී මටත් කසාද බැදපු ගමන් දරුවෙක් හම්බවෙන්න ආව නිසා, ඉස්සරහ කාලේ, මට ඔයා ගැන හරියට බලන්න බැරි වෙනවා, ඔයා ඒ නිසා,අවශ්‍ය දෙයක් තියෙනවා නම් කීර්ති අය්යට කියලා කරගන්න ..... එයාටත් ඇන්ජලා මිස්ලා ඔයා ගැන බලනවට සල්ලි වගයක් දෙනවා...., ඒ නිසා, ඔයා බය නැතුව ඕන දෙයක් එයාට කියන්න. මමත් මේ දවස්වල අමාරුවෙන් ඉන්නේ, දරුවා හම්බ වෙන්න ඉන්න නිසා...."


"මොනව උනත් චතුරි මිස් හරි හොදයි... මිස් නිසානේ මට අපේ ගෙදර ප්‍රශ්න ටික විසදගන්න ලැබුනේ...තාත්තට හොදටම සනීප උනේ....තව මාස තුනනේ මට මේ අමාරුව දරාගෙන ඉන්න වෙන්නේ...ඊට පස්සෙ මමත් නිදහස්...."


"ඔයා නැවතිලා ඉන්න තැන ගෙදර අක්කා හොදද...?


"මම නැවතිලා ඉන්න ගෙදර, සමනළි අක්කා මගේ සියලු ඕනෑඑපාකම් හොදින් හොයා බලනවා මිස්...., අවශ්‍ය සියලු දේවල් මට ගෙනත් දෙනවා.... ආසා හැම කෑමක්ම මට හදලා කන්නත් දෙනවා. කීර්ති සර් ඇයටත් මම වෙනුවෙන් මුදලක් දෙනවා කිව්වා .... සමනලි අක්කා ඒගොල්ලන්ගෙ ගෙදර පිටිපස්සේ තියෙන ලොකු ටකරන් මඩුවේ, මහන මැශින් පහක් දමාගෙන, ඇදුම් මහනවානේ....මමත් ඒවට උදව් කරන නිසා, මටත් පාළුවක් නෑ....මැහුම් වැඩපලේ ඇදුම් මහන්න එන ගමේ ගෑනු අය මට එක එක කෑම ජාති ,අච්චාරු ,කඩචෝරු ගෙනල්ලා දෙනවා කන්න..... මම හරි සතුටින් මෙහෙ ඉන්නේ...."


"ඒක හොදයි හංසිනි ....ඒ උනාට ඔයා ගොඩක් පරිස්සමට කෑම බීම කන්න....වෙන ළමයෙක් වගේ නෙමේනෙ ,ඔයාගෙ බඩේ ඉන්න දරුවා හරි විශේෂ දරුවෙක්නේ......"


"අනේ ඔව් මිස්...මම තද රස්නෙ වතුර, සීතල වතුර, උශ්න කෑම එහෙම කන්නෙ නැතුව ගොඩක් පරිස්සම් වෙනවා....අපරාදේ කියන්න බෑ, මැහුම් වැඩපලේ ඇදුම් මහන්න එන අක්කලා හැමෝම මට උදව් කරනවා..."


"ඒක හොදයි හංසිනි ....එහෙනම් ඔයා පරිස්සම් වෙලා ඉන්නකෝ...."


"හොදයි චතුරි මිස්, ඔයත් පරිස්සමට ඉන්න...."


******


හංසනි කුමාරි සමරමාන්න වන මම, මහනුවර ගමක ඉපදි හැදි වැඩුන දුප්පත් පවුලක කෙල්ලෙක්මි.... ගෙදර දොරේ, දෙමව්පියන්ගෙ අඟහිඟකම් නිසා, පාසැලෙන් අස්වුන වහා, මම කටුනායක ගාමන්ට් ෆැක්ටෙරියකට රස්සාවට ගියේ, හිතේ බොහෝ බලාපොරොත්තු තියාගෙනය......

කවදත් සුන්දර පෙනුමකට හිමි කම් කිව් මම ,ඒ සුන්දරත්වය නිසාම අමාරුවේ වැටුන කෙනෙක්ද වෙමි. ගාමන්ට් ෆැක්ටෙරියේ ඉහළ තනතුරක් දැරු, වසන්ත නම් කපටියාට හසුවි මම මීට ප්‍රතම දරුවෙක් ලැබෙන්නද සිටියෙමි. විවාහ නොවි දරුවෙක් බිහිකර ලෝකයාට මුහුණ දෙන්නට බැරි හෙයින්, ඒ දරුවා විනාශ කරදැමු මම..... ,අද අපේ පවුලේ සියලු දෙනා වෙනුවෙන් මුදලට අනුන්ගෙ දරුවෙක් කුසේ තියාන, අනාගත සිහින දකින්නෙමි....


මට මගේ ගෙදර අයට, යාලුවො ,නෑදැයෝ සැමට හොර රහසේ, මේ දරුවා බිහි කිරීමට ඇති හෙයින්...., හොරණ නිවසේ නැවති හිදිමින් මම ඇන්ජලා මිස්ගෙ දරුවා, මගේ කුසේ ලොකු මහත් කරමින් දැන් හිදින්නෙ බොහෝ අපහසුවෙනි.....


සමනළි අක්කාගේ ඇදුම් මසා විකුනන ව්‍යාපාරයට කීර්ති සර්, උදව් කරනා නිසා, සමනළි අක්කා, කීර්ති සර් වෙනුවෙන් මට ඇගේ ගෙදර නවාතැන් පහසුකම් දෙන්නට කැමති වීම ලොකු දෙයකි. ඇගේ නිවසේ මාස අටකට උඩදී නවාතැන් ගන්නට ආ මම.... ඇන්ජලා මිස්ගෙ දරුවා හොර රහසේ බිහි කර ඇන්ජලා මිස්ලට, දරුවා භාර දී මේ කොන්ත්‍රාත්තවෙන් නිදහස් වෙන තෙක් මට දැන් ඉවසුමක් නැත......ඒ තරම් ශාරීරික අපහසුකම් ගොඩකින් මම දැන් පසුවෙමි.


"හංසනි නංගි දැන් මාස හතරකින් විතර ගෙදර ගියේ නෑ නේද...?


"ඔව් අක්කේ මේ බඩත් එක්ක යන්න බෑනේ....මම ලොකු නංගිට ටෙලිෆෝන් එකක් ඇරන් දුන්න නිසා, ගෙදර අයත් එක්ක දැන් නිතර කතා කරනවා. මම ගොඩක් ඈත පැත්තක දැන් වැඩට ඇවිත් ඉන්නෙ කියලා ඒගොල්ලන්ට කියලා තියෙන්නේ...

, තව මාස තුනකින් මෙහා මට ගමේ එන්න වෙන්නෙත් නෑ කිව්වා...දෙයියන්ගෙ පිහිටෙන් ඒගොල්ලන්ට දැන් අමාරුවක් නැතුව ජීවත් වෙන්න පුලුවන් විදිහට මම සල්ලි ටික ටික අම්මගෙ පොතට දානවා.... ඒකෙන් ඒගොල්ලෝ හොදට ඉන්න නිසා, මම නොගියයි කියලා ප්‍රශ්නයක් නෑ...."


"ඔව්, ඉතිං කාට උනත් වියදමට සල්ලි හම්බ වෙනවා නම් නිතර බලන්න නොගියාට කමක් නෑ තමයි ...."


" හංසිනි නංගිගේ ටෙලිෆෝන් එකෙන් අර ඇන්ජලා නෝනාට, නංගිගෙ බඩේ දරුවා දඟලන හැටිත් නංගි පෙන්නනවා නේද...?


"අනේ ඔව් අක්කේ, ඒ වෙලාවට මට ලැජ්ජයිත් එක්ක....ඒ නෝනා හරිම ආසාවෙන් මගේ බඩේ දරුවා දඟලන හැටි බලන් ඉන්නේ ...නෝනා විතරක් නෙමේ, මහතයාත් මගේ බඩේ දරුවා දඟලන හැටි බලන් ඉන්නේ හරි ආසාවෙන්..."


"මොනවා උනත් මේ....ඒ දෙන්නගෙ දරුවනෙ නංගි..."


"ඔව් අක්කේ...ඒ උනාට දැන් මාස අටක් තිස්සෙ මේ බඩ උස්සාගෙන ඉන්න කොට, මේ දරුවා මගේ බඩේ දඟලනකොට එහෙම, මටත් පුදුම ආසාවක් දරුවා ගැන ඇතිවෙන්නේ......"


"ඒ උනාට නංගියේ, ඔය දරුවා ඔයාගෙ නෙමේනේ ...වැඩිය දරුවට ආසාවක් ඇති කරගන්න එහෙම එපා..."


"ඔව්...කීර්ති සර් මට කිව්වෙත් ඒකමයි...."


"ඒ උනාට මේ වටපිට ගෙවල්වල මිනිස්සු හිතන් ඉන්නේ, නංගිට හම්බවෙන්න ඉන්න ළමයා කිර්ති සර්ගෙ කියලා ..."


"අනේ ඔව් අක්කේ, කීර්ති සර් නිතරම මෙහෙ යන එන නිසා මිනිස්සු එහෙම හිතන එකත් වැරදි නෑ..."


"කීර්තිගෙ නෝනා දැන්ගත්තොත් තමා වැඩේ..."


"කීර්තිටත් ලොකු ගානක් ඇන්ජලා නෝනා දෙන නිසයි ඔය හැම තිස්සෙම මේ පැත්තෙ එන්නේ...."


"ඔව් ඉතිං..... ඒ මිනිහා හරි මෙහෙ එන නිසා හොදයි , නැත්තම් මේ ගමේ මිනිස්සු හිතයි තාත්තෙක් නැති ළමෙක් හදාගෙන ඇවිත් නංගි මෙහෙ නැවතිලා ඉන්නවා කියලා ..."


" ඒක තමයි අක්කේ, මට නම් දැන් මේ බඩ උස්සගෙන ඉදලා ඇති වෙලා තියෙන්නේ ....මට හරිම අමාරුයි දැන්...ඇවිද්දින්නත් බෑ වාඩිවෙලා ඉන්නත් බෑ, නිදාගන්නත් බෑ.... කකුල් දෙකත් ඉදිමිලා, ඒ මදිවට දවසම මේ ළමයා මට පයින් ගහනවා..."


"අනේ ඉතිං ....හරි අම්මා තාත්තා ලඟ නැතුව වෙන ගෑනියෙක්ගෙ බඩේ මේ ළමයා ලොකු වෙන හැටි....මොනව උනත් වාසනාවන්ත දරු පැටියා.....අනේ මේ ඉතිං පිටරට සුද්දන්ගෙ දරුවෙක්නේ, අපේ මේ ලංකාවේ කළු කෙල්ලෙක්ගෙ බඩේ හැදෙන්නේ...."


"අනේද කියන්නේ අක්කේ,...මගේ බඩේ මේ දරුවා එහෙට මෙහෙට පෙරලෙන කොට මටත් ආසාවේ බෑ මේ දරුවට...අම්මා තාත්තාගෙ ජාන වලින් මේ දරුවා හැදුනට, දැන් මේ දරුවා, ජීවත් වෙන්නෙ මගේ ඇඟේ දුවන ලේ වලින්නේ.... බැලුවහම දරුවගෙ වැඩි අයිතිය තියෙන්න ඕනේ දැන් මටයි....."


"අනේ නංගියේ, ඔය කතාව දැන් නවත්තලා දාන්න...මේ පිට දේශක්කාරයින්ගෙ ලේ වලින් ළමෙක් තමන්ගෙ බඩේ හැදුනට, ඒ ළමයා ඒ දෙමව්පියන්ගෙ කියලා ඔයා හොදටම දන්නවනේ.... ඊටත් ලෝයර් නෝනා කෙනෙක් ගාව නංගි ලියුමකුත් අත්සන් කරලනේ මේ කොන්ත්‍රාත්තුව භාර ගෙන තියෙන්නේ..... දරුවා හම්බවුන ඉක්මනට ඒ ජෝඩුවට මේ දරුවා භාර දීලා, නංගි නිදහස් වෙන්න.... ..."


"ඇත්තමයි අක්කේ මට කසාඳ මිනිහෙක් හිටිය නම් මේ ළමයා මම තියාගන්නවා....මට ඒ තරමට ආදරයක් මේ දරුවා ගැන දැන් ඇතිවෙලා තියෙන්නේ ...."


"විකාර කතා කරන්න එපා හංසිනි ......"


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page