🌏කොන්ත්‍රාත්තුව 🌏
- Prisila Godahewa

- Dec 3, 2021
- 4 min read
( 28 වෙනි කොටස )
අවුරුදු ගානක් පදිංචිව සිටි පුංචි තනි කාමරයේ තට්ටු නිවාසවල, යාළුවෝ සමඟ හා ස්ටීව් සමඟ එකට හිරවි ගතකල කාලය නිම කර, තනි තට්ටුවේ ගෙවත්තක් තියෙන ගෙදරකට පදිංචියට යන්න සිහින මැවූ මට, ඇන්ජලා කල යෝජනාව හිතා ගන්නත් බැරි විය....
"ඔයා මගේ යුනිවර්සිටි එකෙ හිටිය හොදම යාළුවානේ චතුරි ..., ඔයා මට ගොඩක් උදව් කරලා තියෙනවා , මගේ ඔපරේෂන් එක වෙලාවේ, ඊට පස්සෙ අපට දරුවෙක් හදා ගන්න,...අපිව ලංකාවට එක්ක ගිහින්, කොයිතරම් නම් අපට උදව් කලාද... , ඉතිං මම ඔයාට ඒ වෙනුවෙන් කරන උදව්ව පිලිගන්න.... ඔයගොල්ලන්ට මේ සුමානෙම අපේ ග්‍රැනීගෙ ගෙදර පදිංචියට යන්න පුලුවන් .....ඒ ගෙදර ඔක්කොම බඩු මුට්ටු තියෙනවා.
ඔයදෙන්නට එහේ ගිහින් පදිංචි වෙන්න විතරයි තියෙන්නේ.....ඔයදෙන්නට උදේ හවස එහේ ඉදන් කෝච්චියේ හරි, බස් එකේ හරි වැඩට එන්න යන්න පුලුවන් .....කිසි කරදරයක් නැති නිදහස් තැනක ගෙදර තියෙන්නේ ...තව අවුරුදු දෙක තුනකින් ඔය ගෙදර කඩලා එතන ලොකු ගෙයක් හදන්න අපේ අම්මලා හිතන් ඉන්නේ.....එහෙම නැත්නම් ඒක විකුනලා දායි.....ඊට ඉස්සර ඔය දෙන්නට ඒ ගෙදර ඉන්න පුලුවන් නොමිලේ .....මේ රටේ නොමිලේ අවුරුදු දෙක තුනක් නිදහසේ ගෙදරක ඉන්න ලැබෙන එකත් ලොකු දෙයක්නේ. .....ඒක කාමර තුනක ගෙයක්,.....කැමති නම් ඔය දෙන්නට ඒකේ අනෙක් කාමර දෙක යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලට කුළියට දීලා, ගානක් හොයා ගන්නත් පුලුවන් ....."
"අපි එන සුමානෙම ඒ ගෙදර පදිංචියට යන්නම් ඇන්ජලා , ඔයාට ගොඩක් ස්තුතියි.....මම හරිම ආසාවෙන් හිටියේ, පොඩි වත්තක් තියෙන ,තනි ගේක පදිංචියට යන්න ...."
මම ඔස්ට්‍රේලියාවට ඇවිත් දැන් අවුරුදු පහකට කිට්ටු කාලයක් වෙන්නත් ඇවිත් ඇත. ....ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකට මුළින් ඉගෙන ගන්න ආ මම, පසුව රැකියාවක් කරමින් ස්ට්ව් සමග, පුංචි එපාර්ට්මන්ට් එකක ගත කල කාලය මේ වන විට මට එපාවි තිබුනි....
ඇන්ජලාගෙ මිත්තනියගේ පැරැණි නිවස, සිඩ්නි නුවර "බෝකම් හිල්" නැමැති ඉතා නිදහස් ලස්සන පරිසරයක පිහිටා තිබුනේය.
"අපට දැන් නොමිලේ ලැබෙන ගෙදර නවතින්න ගිහාම, අපට මේ එපාර්ට්මන්ට් එකට ගෙවන කුලී සල්ලි ටික ඉතිරි කරගෙන අපටම කියලා ගෙයක් ගන්න සල්ලි ඉතුරු කරගන්න පුලුවන්.... ඊටත් වඩා, අපි මේ ටවුන් එකේ, අවුරුදු ගානක් හිරවෙලා හිටිය නිසා, "බොකම්හිල්ස් "වගේ ලස්සන, නිදහස් පැත්තකට යන්න පුලුවන් නම් අපට,අපේ ගමේ වගේ, නිදහසේ ඉන්න පුලුවන් වෙයි..."
"එහෙනම් මේ සෙනසුරාදාම අපි ඒ ගෙදරට යමුද...චතුරි ?
"යමු, අපට කියලා ගෙනියන්න තියෙන්නේ ඇදුම් ටිකයි, අතයාවශ්‍ය බඩු ටිකයි විතරනේ....අපි දැම්ම ඒවා පැක් කරලා තියමු...."
"ඇන්ජලයි, ටෙරියි ඒගොල්ලන්ගෙ දරුවා හම්බ්වුනාට පස්සේ, දරුවත් අරන් එංගලන්තයේ පදිංචියට යන්න හිතන් ඉන්නේ.... එතකොට අපි දෙන්නට හිටිය හොදම යාළුවො දෙන්නා නැති වෙනවා නේද...?
"ඒක තමයි , ඒ උනාට ටෙරික්ට මෙහෙට වඩා හොද ජොබ් එකක් නෙ ලැබෙන්න යන්නේ එංගලන්තයේ .... , එයාගෙ උපන් රට, එයාගෙ නෑදෑයෝ ඉන්න රට නිසා, ටෙරික් ගොඩක් ආසාවෙන් ඉන්නෙ එහෙ යන්න ...."
"කොහොම හරි, තව මාස නමයකින් විතර ඒ දෙන්නගෙ දරුවත් ඒ දෙන්නා ලගට ආවට පස්සෙ හැම දෙයක්ම හොදටම සිද්ද වෙයි...."
"දැන් ඉතිං මට තමයි ඇන්ජලාගෙ ආච්චිගෙ ගෙදර වත්තේ, තනකොළ කපන්න වෙන්නේ...."
"වැඩට යන්නෙ නැති සෙනසුරාදා ඉරිදාට කම්මැලි යන්නත් එක්ක අපි දෙන්නට, වත්තේ මල් වවන්න, එළවළු වවන්නත් පුලුවන් ....,"
කාමර තුනක පුංචි ගෙදර, අස්පස් කර, වත්ත මිදුල අතුපතුගා මල් වවා ලස්සන කරන්න මම ආසාවෙන් පටන් ගත්තෙමි..... සෙනසුරාදා දවසට පුංචි වත්තේ, තණකොළ කපන්න, ගෙවල් අස්කර දෙන්නටද ස්ටීව් මට උදව් කරයි. නිදහස් පරිසරයක, තනි ගෙයක අපට ඉන්න ලැබීම ගැන අප දෙදෙනාම සිටියේ, බොහෝම සතුටින්...
"දැන් ඉතිං අපට වාහනේ, වැඩට යන්න අවශ්‍ය නෑ....අපි දෙන්නට දැන් කෝච්චියේ හරි බස් එකේ හරි වැඩට යන්න පුලුවන් ...."
සිඩ්නි නගරයට 24 km පමණ දුරින් තිබුන "බෝකම්හිල් " නම් සුන්දර පළාතේ පදිංචි වෙන්න අප දෙදෙනා මුළින්ම ආ දවසේ, මම අපේ අලුත් නවාතැනේ කිරිබතක් හදන්න අමතකද නොකෙරුවෙමි. නමුත් මම හදපු නිසා යාන්තමට එහි රස බැලුව ස්ටීව්...., එදින දහවල් අප බලන්න ආ ඇන්ජලා හා ටෙරික් ගෙනා "පිට්සා" රස බැලුවේ කවදත් ඔහු කන්න කැමති ඔවුන්ටම ආවේනික පුරුදු කෑම නිසයි .....
"ස්ටීව්ට තවම ලංකාවේ කෑම කන්න ආසාවක් නැද්ද ..."
"අනේ ඔව් ඇන්ජලා ,එයා වැඩිපුර කැමති මේ ඔස්ට්‍රේලියාවේ කෑම වලට, මම කොහොමත් එයා කන්න කැමති, බටහිර කෑම කනවා මිසක් ලංකාවේ ක්‍රමයට බත් එළවළු ගෙදර උයන්නෙම නෑනේ....මමත් දැන් වැඩිපුරම කන්නේ ස්ටීව් කන්න කැමති කෑමමයි...."
"කවුරු උනත් කන්න කැමති තමන් පොඩිකාලේ ඉදන් ගෙදර අය කෑව කෑම තමයි ...."
" ඇන්ජලා ,ඔයා හංසනීට කතා කලාද ...?
"මම කීර්තිට කතා කරලා, එයා ලඟ ඉදිද්දි හංසිනි එක්ක වචන දෙක තුනක් කතා කලා....එයාට අපි කතා කරන වචන උච්චාරණය තේරුම් ගන්න අමාරුයි...., ඒ උනාට කීර්ති එයාට කියලා දෙනවා මම කියන්නේ මොනවද කියලා , ඒ නිසා ප්‍රශ්නයක් නෑ මට කියන්න, අහන්න අවශ්‍ය දේවල් අපි කතා කර ගත්තා...."
"ඔයාට මම ඒගොල්ලෝ අදුන්නලා දුන්නනේ, ඉතිරි කාලේ ඔයාට ඒගොල්ලෝ එක්ක තනියම කතා කරගන්න තියෙන ඔක්කොම දේවල් කතා කරගන්න පුළුවන්, ලේසි නිසයි ...."
"ඔව් චතුරි ,ඔයාට කරදර නොකර අපි හංසිනි එක්ක අවශ්‍ය දේවල් කතා කරගන්නම්.....හංසනීගෙ ගැබට මාස හය සම්පූර්ණ උනාම මම එයාට දෙන ඉතිරි සල්ලි ටික මෙහෙන් අරින්න හදන්නේ...මොකද අපට දෙපාරක් ලංකාවට යන්න එන්න අමාරුයි....හංසනීට බබා හම්බවෙන්න සුමානයක් දෙකක් තියලා අපි ලංකාවට යන්න හිතාගෙන ඉන්නේ.....ඒ ගිහාම අපේ බබාව ඇරගෙන අපි කෙලින්ම එංගලන්තයට යන්න තමයි හිතාගෙන ඉන්නේ චතුරි ...."
"එහෙමද...ඔයා එහෙනම් හංසනීගේ සල්ලි එයාට වේලාසන අරින්න...එතකොට එයාට ඒවා ප්‍රයෝජනයට ගන්න පුලුවන්..."
"හංසිනි කිව්වා අපි එයාට මුළින් දුන්න සල්ලි ගොඩක් ප්‍රයෝජනවත් දේවල් වලට එයා යෙදෙව්වා වගේම, මේ පාර අපි අරින සල්ලි වලින්, ඒගොල්ලන්ගෙ අම්මලා තාත්තලා ඉන්න ගෙදර හොදට හදලා දීලා, එයාටත් වෙනම ගෙයක් හදාගන්න ඉඩමක් ගන්න හිතන් ඉන්නෙ කියලා ...."
"හංසනී කොහොමත් හරි උත්සහ වන්ත ළමෙක්, නැත්නම් කසාඳ නොබැඳපු ඒ වගේ කෙනෙක් ,සල්ලි වලට මේ වගේ දෙයක් කරයියෑ....."
"හංසනී දැන් ඒගොල්ලන්ගෙ අම්මලා තාත්තලා බලන්න ගමේ යන්නෙම නැහැල්ලු , හොරණ ගෙදර මැහුම් වැඩ කරගෙන ගෙදරටම වෙලා ඉන්නවලු, කාටවත් පේන්නේ නැති වෙන්න.....එයාගෙ බොයි ෆ්‍රෙන්ඩ් දැන් එයා එක්ක තරහ වෙලාලු, එයාව හම්බවෙන්න හංසිනි යන්නෙ නැති නිසා ...හංසිනි ඒ ගැන නම් දුකෙන් ඉන්නේ...."
"ඉතිං හංසිනි ගෙදර අයට මොනවද කියලා තියෙන්නේ එයා ගෙදර නොයෙන එක ගැන....?
"එයා මඩකළපුව පැත්තෙ ගාමන්ට් ෆැක්ටෙරි එකක හදිසි ඕර්ඩර් එකකට ඇදුම් වගයක් මහන වැඩකට, ගිහින් කියලා තමයි තියෙන්නේ...."
"ඒක හොදයි ..."
"හංසනී, එයාගෙ නංගිට ටෙලිෆෝන් එකක් ඇරන් දීලා, දිනපතා අම්මලා තාත්තලා එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කරන නිසා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෑලු ,හංසිනි ගෙදර නොයෑම්...."
"ඒක හොදයි ...එහෙනම් ඉතිං ඇන්ජලා ඉස්සරහ කාලෙට ඔයාට මාව ඕන වෙන්නෙ නෑනේ, හංසිනියි, කීර්තියි එක්ක කතා කරලා අවශ්‍ය දේවල් ඔය දෙන්නා ලෑස්ති කර ගන්න...."
ඔස්ට්‍රේලියාවේ පදිංචි මගෙත්, ස්ට්ව්ගෙත් විවාහයෙන් පසුව, අපට නොමිලේ පදිංචියට ලැබුනු තනි මහලේ ගෙය, අපේ අලුත් ජීවිතය නැවුම් අත්දැකීම් සමග ගෙවා දමන්ට හැකි විම අප දෙදෙනාම බොහෝ සතුටට පත්ව සිටියෙමි.
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments