🌏කොන්ත්‍රාත්තුව🌏
- Prisila Godahewa

- Dec 3, 2021
- 4 min read
(27 වෙනි කොටස )
මාසයක දිග නිවාඩුවකට ලංකාවට, ගොස් නැවත ඔස්ට්‍රේලියාව බලා අප දෙදෙනා ආවේ බොහෝ සතුටිනි.....
මම මගේ රටේ සියලු දේට ආදරේ කරනවා වගේම..... එහි ඇති සංස්කෘතිය ගැන ඕනෑවටත් වඩා හිතන්නද කැමති කෙනෙක්මි.
"ඔයාට මොනවද ස්ටීව් අපේ ලංකාවේ සංස්කෘතිය ගැන හිතෙන්නේ .. .."
"ඇත්තටම මොකක්ද චතුරි ,ඔයා ඔය හැම තිස්සෙම කියන සංස්කෘතිය කියන එකේ තේරුම....? ඒ සංස්කෘතිය මේ රටේ නැද්ද....?
" සංස්කෘතිය කියලා කියන්නේ, සියලු මිනිස්සු තමා උපන් මව්බිමෙන් ලබා ගන්නා දැනුම, විශ්වාසයන්, ආචාර ධර්ම, නීති ක්‍රම , සිරිත් විරිත් සහ කලා ශිල්ප සියල්ලගේම එකතුවක්..... අපේ ජන ජීවිතයට ඒ හැම දෙයක්ම අයත් වෙනවා.......අපේ ලංකාවේ සංස්කෘතියට වඩා වෙනස් ඔස්ට්‍රේලියාවේ සංස්කෘතිය ....."
"ම්ම්...කොහොමද ඒවා බෙදන්නේ....?
"රටක මිනිස්සු, අතීතයේ සිට ගෙන එන, ආරක්ෂා කරගෙන එන ඇදහිලි, සිරිත් විරිත් චාරිත්‍ර ධර්ම අභෞතික සංස්කෘතිය ලෙස සලකනවා...... මෙම අභෞතික සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණය වන්නේ, ඒවා අදෘශ්‍යමාන වන අතර ස්පර්ශ කිරිමටද හැකියාවක් නැති කම.....එතකොට රටක මිනිස්සු විසින් ගොඩනඟන ලද, භාවිතා කරන ලද සියලු භෞතික දේ ගොඩනැගිලි, නිවාස, මාර්ග පද්ධති, යාන වාහන, ඇඳුම් පැළඳුම් තාක්ෂණික හා ආර්ථික වශයෙන් අත්පත් කර ගන්න සියලු ද්‍රව්‍යමය දේ අයත් වන්නේ, භෞතික සංස්කෘතියට..."
"ඔව් ලංකාවේ සංස්කෘතියට වඩා වෙනස් තමයි ඔස්ට්‍රේලියාවේ සංස්කෘතිය , එතකොට ඇමරිකාව ඊටත් වඩා වෙනස්...."
"මට මගේ රටේ ,ඒ කියන්නේ, ලංකාවේ තියෙන සියලු දේ ගැන තියෙන්නේ ලොකු අභිමානයක් ස්ටීව්.... අපේ රටේ ගස්කොළන් , ගංගා ඇලදොලවල් , කඳු, වනාන්තර ස්වාභාවිකව පසෙන් භූමියෙන් ලැබෙන වටිනා මැණික් , වටිනා පාශාන වර්ග, පිරිසිදු දිය උල්පත් සියල්ල ගත්තහම වෙන රටවල නැති තරම් ස්වාභාවික සම්පත් තියෙන, හොද දේශගුනයක් තියෙන, හැම දේකින්ම සර්ව සම්පූර්ණ රටක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ.....ඒ වගේද වෙන රටවල තියෙන භූමිකම්පා , ගිනිකඳු යන ස්වාභාවික විපත් කිසිත් නැති වාසනාවන්ත රටක් අපේ ශ්‍රී ලංකාව ....."
"ඒක නම් ඇත්ත කියලා මමත් දැනගත්තේ ලංකාවට ගිහාම ..."
"ඊට අමතරව සිංහල අපේ රටේ වටිනා සංස්කෘතික දේ අතර, පැරැණි නටඹුන් ,වෙහෙර විහාර, විවිධ ශිල්ප, කළාවන් , ලංකාවේ ඇති සියලු දේවල් ගැන ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ලොකු ආඩම්බරයක් ඇති කරගන්න පුලුවන් .....ඒත් මෙතරම් වටිනාකම් ඇති රටක,.... අවාසනාවකට දැන් අපේ රටේ දේශපාලනය නිසා ඇතිවි තිබෙන ප්‍රශ්න දිහා බැලුවම, හිතට පුදුම දුකක් ඇතිවෙන්නේ....රටේ පාළකයෝ තමන්ට ඕන ඕන දේ කරනවා.....පව් අපේ රටේ, අහිංසක මිනිස්සු....හැම පැත්තෙන්ම තැලෙනවා.....යමක් කමක් තේරෙන, යමක් තියෙන මිනිස්සු කොහොම හරි තමන්ගේ ළමයින්ව පිටරටවල් වලට අරින්න දඟලන්නෙත් ඒකයි....කොටින්ම මාව අපේ ගෙදරින් පිටරට ඇරියෙත් ඒ නිසානේ... අපේ රටේ දැන් සිද්ද වෙන දේවල්, දේශපාලනය ගැන කතා කරනකොට ඇති වෙන්නේ ලොකු දුකක්....."
" ලංකාවට ගිහින් ඇවිත් මාසෙකට පස්සෙනේ අපි ආයෙත් ඔෆිස් යන්නේ.... පරණ පුරුදු ජීවිතයට යන්න දැන් නම් මට හරි ආසයි චතුරි ......"
"අපි අද ඇන්ජලාව හම්බවෙන්න යන්න ඕනේ..එයා මට ඔස්ට්‍රේලියාවට ආව දවසෙම කෝල් කරලා කිව්වා අද හවස ඒගොල්ලන්ගෙ ගෙදර එන්න කියලා ......ඒගොල්ලෝ දැන් ගොඩක් සතුටින් ඉන්නවා ඇති ඒ දෙන්නගෙ දරුවෙක් කොහේ හරි, කාගේ හරි ගැබක හැදෙන නිසා, ....ඒ සතුට බෙදාගන්න වෙන්න ඇති අපි දෙන්නට එන්න කියන්න ඇත්තේ ....."
"ඒක නම් ඇත්ත....එහෙනම් අපි දෙන්නා හවස ඒගොල්ලන්ගෙ ගෙදර එනවා කියලා, උදේම කියන්න...."
ඇන්ජලා හා ටෙරික් ඔස්ට්‍රේලියාවේ
සිඩ්නි නගරයේ ජානාකීර්න පෙදෙසක ඉතා වටිනා තට්ටු නිවාසයක ජීවත් වන්නේ, රැකියාව සඳහා යෑමට ඇති පහසුව නිසයි. ධනවත් දෙමව්පියන්ට දාව ඉපදුන ඔවුන් දෙදෙනා ගත කරන අතිසුඛෝපභෝගී ජීවිතයට මටත් ස්ටීව්ටත් කවදාවත් ලං විය නොහැක.... නමුත් ඔවුන් අප දෙදෙනා ආශ්‍රය කරන්නේ, හිතහොඳ, අවංක යාළුවන් දෙදෙනෙක් නිසා බව අපි දනිමු.
ඔවුන් දෙදෙනාගේම දෙමාපියන් සිඩ්නි නගරයේ බොහෝ වටිනාකමක් ඇති සිඩ්නි උතුරු ප්‍රදේශයේ , නවීන නිවාස වල පදිංචි වි හිදිති..... ඇන්ජලා සමඟ ඉදහිට ඒ නිවාස වලට යන්නට ලැබුනු මට ඒ නිවාස වල ඇති සුන්දරත්වය ,සුඛෝපභෝගී බව, නිදහස් සැහැල්ලු මනරම් පරිසරය ගැන කියන්නට වචන නැත....
කවදා හෝ ඇන්ජලාගේ දෙමව්පියන් දැනට පදිංචිව සිටින නිවස, ඇයට අයිතිවන බව ඇය මට දිනක් කියා තිබුනාය..... ඒ ඇය ඔවුන්ගේ එකම දියණිය බැවිනි.
එබැවින් දැනට, ඔවුන් සිඩ්නි නගරයේ සුඛෝපභෝගී තට්ටු නිවාසයක නිදහසේ සැපට පදිංචි වි හිදිමින් රැකියාවට යති.
ශ්‍රී ලංකාවේ ,මාසයක සංචාරයක් සදහා ගොස් ආ අපි දෙන්නා, මුළින්ම රැකියාවට ගොස් එන දවසේ හවස, ඇන්ජලා හා ටෙරික් හමුවීමට ඔවුන්ගේ තට්ටු නිවසට ගියෙමු.
"එන්න එන්න චතුරි.....ඔයා එනකම් මම බලාගෙන හිටියේ....කොහොමද ඔයගොල්ලන්ට...? ,
කොහොමද හංසනීට...? එයාට අසනීපයක් එහෙම මුකුත් නෑ නේද....එයා සැහැල්ලුවෙන් නිදහසේ ඉන්නවද ...? ඔයා කිව්වද හොද ගුණ කෑම බීම එයාට, කෑමට ගන්න කියලා ......මම මේ දවස් වල හරිම සතුටින් ඉන්නේ චතුරි ...අපටත් තව ටික කාලයකින් අපේ කියන්න දරුවෙක් ඉන්නවානේ....අපේ බබා මේ රටට ගෙන්න ගන්න ඕන කරන වැඩ ඔක්කොම අපි මේ දැන්ම තියා ලෑස්ති කරලා තියන්න හැදුවේ....."
"ඔව් හංසිනි හොදට ඉන්නවා...එයාගෙ තාත්තත් සනීප වෙලා ගෙදර ගිහින්....හංසිනි කිව්වා, ඔයා දුන්න සල්ලි වලින් එයා, තාත්තගෙ ඔපරේෂන් එකේ වැඩේ කරලා , ඉතිරි සල්ලි වලින්, අම්මයි එයයි ඇරන් තිබුන ණය වගයක් ගෙවලා ඉවර කරගත්තා කියලා ....තව ගෙදර කුස්සියේ වහලෙත් කැඩිලා තිබිලා හදාගෙන , නංගිලා මල්ලිලාට ඉස්කෝලේට ඕන පොත්පත් , සපත්තු ,ඇදුම් වගයකුත් ඇරන් දුන්නා කිව්වා ....අම්මට ගෙදර වියදමට සල්ලි වගයකුත් දීලා ......ඒ නිසා හංසිනි සතුටින් ඉන්නේ....."
"ආ...ඒක නම් හොද දෙයක් ....මටත් සතුටුයි ඒ ගැන නම්...."
"හංසනිට දරුවා හම්බුන ගමන්, මාසෙකින් විතර අපි බබාව මෙහෙට ගෙන්න ගන්නයි හිතාගෙන ඉන්නෙ චතුරි ...බබා මෙහෙට ගෙනාවට පස්සෙ අපි මේ ගෙදර කුලියට දීලා ටිකක් ලොකු ගෙදරක පදිංචියට යන්න හිතාගෙන ඉන්නේ ....අපි දැම්ම ඒක ප්ලෑන් කරනවා.... මේ දවස් වල අපේ අම්මලා අපට සල්ලි වලට ගන්න, ඒගොල්ලන්ගෙ ගෙවල් කිට්ටුවෙන්ම ගෙයක් හොයනවා , ඒගොල්ලොත් ආසාවෙන් ඉන්නේ අපේ බබා බලන්න. ඒගොල්ලෝ තමයි අපට අලුත් ගේත් සල්ලි වලට ඇරන් දෙන්න හදන්නේ......"
"ඔයගොල්ලො හරි ලකී ඇන්ජලා.... ,මට හරි සතුටුයි ඔය දෙන්නා ගැන......"
"මම ඔය දෙන්නට අද එන්න කියලා කිව්වෙත් ඔයගොල්ලන්ටත් අද විශේෂ දෙයක් කියන්න ....."
"ඒ මොකක්ද ..?"
"ඔයා හැමදාම කියනවා නේ ඔයාට එපාර්ට්මන්ට් වල දැන් ඉදලා ඇතිවෙලා තියෙන්නේ කියලා ....චතුරිට තනි ගේක ඉන්න ආසයි කියලා හැමදාම කියනවානේ .......මම ඒකට පිලියමක් යෙදුවා...."
"ඒ මොකක්ද ඇන්ජලා .."
"මගේ ග්‍රැනී දැන් මාස හයකට විතර උඩදී නැතිවුනාට පස්සෙ, එයාගෙ මහ ගෙදර අයිති උනේ අපේ මමීට...., ග්‍රැනී හිටපු ගෙදර ගොඩක් පරණ එකක්...., අපේ මමීලා දැන් ඒක විකුනන්න හදන්නේ, මම කිව්වා, දැන්ම ඒක විකුනන්න එපා, අවුරුදු දෙකකට විතර ඔය දෙන්නට ඒ ගෙදර ඉන්න දෙමු කියලා...,කුළියක් නැතුව..... , එතකොට ඔයදෙන්නට ගෙවල් කුළී ගෙවන්න ඕනේ නැති නිසා, ඒ ගෙවන කූළී සල්ලි එකතු කරලා, ඔයගොල්ලන්ටම කියලා ගෙයක් ගන්න සල්ලි එකතු කර ගන්න පුලුවන්නේ...."
"අනේ ඒක නම් කොච්චර ලොකු දෙයක්ද....අපි දෙන්නගෙ පඩියෙන් භාගයක් යන්නේ අපි ඉන්න ගෙදරට කුළී ගෙවන්න...."
"ඔය දෙන්නා, අපිව ලංකාවට එක්ක ගිහින් ,අපේ දරුවෙක් හදාගන්න වැඩේ කරන්න ගොඩක් මහන්සි උනානේ....ඒ වෙනුවෙන් මමත් ඔය දෙන්නට උදව් කරන්න ඕනනේ...."
" මම එහෙම උදව් බලාගෙන ඔයාට උදව් කලා නෙමේ ඇන්ජලා ...."
"එහෙම නෙමේ චතුරි , මම දැන් හරිම සතුටෙන් ඉන්නේ අපේ දරුවෙක් කොහේ හරි රටක හැදෙන එක ගැන හිතලා.... මට ඉවසිල්ලක් නෑ අපේ බබා ඔස්ට්‍රේලියාවට ගෙනත් අපේ මමීලට පෙන්නන කම්...."
"හැම දෙයක්ම හොදින් සිදු වෙයි ඇන්ජලා.... මම ඔයගොල්ලන්ට සුභ පතනවා... .."
"ඔයගොල්ලො එහෙනම් පුලුවන් ඉක්මනට අපේ ග්‍රැනීගේ ගෙදර ගිහින් පදිංචි වෙන්න. අපට ගෙදර කුළිය ඕනේ නෑ....ඒ ගෙදර ග්‍රැනීගේ ඔක්කොම බඩු තියෙනවා , ඔයගොල්ලන්ට ඇදුම් ටික ඇරන් ගිහින් පදිංචි වෙන්න තියෙන්නේ ...."
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා*






Comments