top of page

🌏කොන්ත්‍රාත්තුව 🌏

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 17, 2021
  • 5 min read

(19 වෙනි කොටස)

ඇන්ජලා, ටෙරික්, ස්ටීව් හා මම, ඉර බැස යන සොදුරු මොහෝතේ, නුවර වැව වටේ සීත සුළං රැළි විදිමින් ඔහේ ඇවිද ගියෙමු.


ඉර බැස යන මොහොතේ සිසිල් සුළං රැළි විදිමින් නුවර වැව වටේ ඇවිද යන මිනිසුන් , තැන තැන වාඩි වි කතා කරමින් ඉන්නා මිනිසුන් හා ඒ අතර එහෙ මෙහෙ අත්වැල් පටලවාගෙන ඇවිදයන පෙම්වතුන්ද දක්නට ඇත....ඒ අතරින් අන්නාසි, රටකජු විකුනමින් යන්නන්, කළබලේ එහෙ මෙහෙ යන්නන් වගේම, කිසිම අරමුණක් නැතුව , ඔහේ තැන තැන වාඩිවි නුවර වැව දිහා බලන් ඉන්නන්ද ඇත....


"බලන්න අර නුවර වැවේ ලස්සන...ඊට උඩින් පෙනෙන දළදා මාළිගය, මේ වැව වටේ තියෙන ‍රූස්ස ගස්, වැව අවට පේන්න තියෙන හැම දේකම තියෙන්නේ පුදුම ලස්සන ගාම්භීර බවක්........"


"මේ වැව ගැනත් ගොඩක් පරණ කතා තියෙනවා ....ඔයගොල්ලෝ දැනගන්න ආසනම් මම කියන්නම්.......මාත් ආසයි අපෙ පැරණි පෞරාණික වටිනා කමක් ඇති දේවල් ගැන සැරෙන් සැරේට මතක් කරගන්න...."


"අනේ කියන්න චතුරි ....අපි ලංකාවට ආව වෙලේ, ලංකාවේ වැදගත් දේවල් ගැන දැනගන්නත් එපෑ...."


"ම්ම්...ඒක ඇත්ත.... හවස් වරුවට හරිම ලස්සනයි මේ වැව.....වැවට උඩින් පේන දළදා මාළිගාවේ ජායාව, වතුරට වැටිලා දිලිසෙන හැටි ඕන තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුලුවන්....."


"ඒක නම් ඇත්ත හරිම ලස්සනයි ...."


"නුවර වැව රවුමට ආපුවම එක පැත්තකින් අපිට දළදා වහන්සේ වැඩ සිටින මාළිගාව පේනවා වගේම, දළදා වඳින්න සුදු ඇදුම් ඇදගෙන, තෙල් මල් ඇරගෙන යන බැතිමතුන්, නුවර වැවේ සීතල සුළං රැළි විදින ආදරණීය මිනිස්සු විතරක් නෙමේ, ගස් සෙවනක් යටට වෙලා කල්පනා ලෝකවල තනිවුණු මිනිස්සුත් ඉන්නවා ....... ඒත් ඔය හැමදෙයක් දිහාම නිහඬවම බලන් ඉන්න තවත් කෙනෙක් තමයි මේ නුවර වැව......."


"නුවර වැව..."


"මේ නුවර වැවට ඉස්සර කිව්වේ, “කිරි මුහුද” කියලා....මෙරට රාජවංශයේ අවසන් රජු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව 1798 - 1815) මහරජතුමා දළදා මාලිගාව ඉදිරියෙ ඇති මේ වැව,... කිරි සයුර හෙවත් කිරිමුහුද , හදවලා තියෙන්නේ, රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ මූලාචාරියාගේ උපදෙස් මත කියලයි පොත පතේ සඳහන් වෙන්නේ.....මේ නුවර වැවට ඉස්සර “කිරි මුහුද” කියලා කිව්වෙ ඇයි දන්නවද...?


"කිරි මුහුද....?


"ඔව්...ඒකට හේතුව තමයි මේ වැවේ ඒ කාලේ කිරි ඉබ්බෙක් හිටියලු ......"


"කිරි ඉබ්බෙක් ...?


"ඔව්....මේ වැව තියෙන ඉසව්වේ හිටිය මේ කිරි ඉබ්බට, මෙරටේ අවසන් රජු වු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ මහරජතුමා,

නුවර වැවේ නැගෙනහිර කෙළවරේ පොකුණක් හැදුවලු මේ ඉබ්බටම ඉන්න......එදා ඉඳන් ඒ පොකුණ හඳුන්වලා තියෙන්නේ කිරි මුහුද කියලා..... ඉතින් ඊට පස්සේ කාලයත් එක්කම ඔය පොකුණ මැදිවෙන්න නුවර වැව හැදුවලු..... ඉතින් ඒ වැවත් එදා ඉඳන්ම හඳුන්වලා තියෙන්නේ කිරි මුහුද කියලමයි..... .

ඒ උනාට දැන් කවුරුත් කිරි මුහුද කියන්නේ නෑ.... දැන් කියන්නේ “නුවර වැව” කියලනේ.....".


"අර නුවර වැව මැද තියෙන ලස්සන දූපත ගැනත් ටිකක් විස්තර කියන්නකෝ චතුරි ..."


"ඒ කාලේ ඔය දුපත හැඳින්වුවේ “ජයතිලක මණ්ඩපය” කියලා.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නුවර වැව හදලා ඊළඟට කළේ ඒ වැව මැද තිබුණු පස් කන්ද දූපතක් බවට පත් කරපු එකලු..... ඔහු එහෙම කළේ එතුමාට විවේක සුවයෙන් ඉන්න..... කොහොම හරි ඊළඟට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වැව මැද ඒ දූපතේ මණ්ඩපයක් හදවලා...., ඒ වටා පරිසරය අලංකාර විදියට නිර්මාණය කරවලා තියෙනවා.... අන්න එහෙම හැදුණු අපූරු දූපත තමයි “ජයතිලක මණ්ඩපය” කියන්නේ .... කොහොම හරි රජතුමා දවසකට දෙතුන් වතාවක්ම වගේ ජයතිලක මණ්ඩලයට ඇවිත් ගිහින් තියෙනවා.... එදා ඒකට එන්න තිබුණයි කියන්නේ අකුළන්න පුළුවන් පාලමක් උඩින්..... ඒ පාලමත් තිබිලා තියෙන්නේ “උල් පැන් ගේ” විදිහට හඳුන්වපු බිසෝවරු වැවේ නාපු ස්ථානය ළඟ.... ඒත් කාලයත් එක්ක අද නම් ඒ අපූරු පාලමේ නටබුන්වත් දකින්න නෑ...... හැබැයි එදා දූපතේ තිබුණයි කියන ජයතිලක මණ්ඩපයේ නටබුන් නම් අපේ සංස්කෘතික ත්‍රිකෝණයට පින්සිද්ධ වෙන්න අදටත් දකින්න පුළුවන්...."


"ඇත්තද...?


"ඉතිං අවසානයේදී.... ඉංග්‍රීසීන් උඩරට අත්පත් කරගැනීමත් එක්ක මේ ජයතිලක මණ්ඩපය ඔවුන්ගේ වෙඩි බෙහෙත් ගබඩාවක් විදියටත් භාවිත කරලා තියෙනවා...."


" මම හරිම ආසයි චතුරි , මේ පැරණි කතන්දර අහන්න ...එතකොට අර නුවර වැව වටා තියෙන ලස්සන සුදු පාට බැම්ම ගැනත් විස්තර ටිකක් කියන්නකෝ..."


"ඔව්....වැව ගැන කිව්වොත් වැව වටා තියෙන ඔය වලාකුළු බැම්ම ගැනත් නොකියා බෑ තමයි ...... මම දන්න විදියට මේ වළාකුළු බැම්මේ දිග මීටර් හයසීයකට එහා තියෙනවා..... ඒ වගේම මේ වලාකුළු බැම්මේ තියෙන ත්‍රිකෝණාකාර කවුළු..... ඒ කවුළු එදා තිබිලා තියෙන්නේ රජ කාලේ තිබූ විශේෂ උත්සව අවස්ථාවලදි පහන් පත්තු කරන්න.....පෙරහැර කාලෙට එහෙම පහන් පත්තු කළාය කියලත් සඳහන් වෙනවා..."


"ඇත්තට...එහෙනම් ගොඩක් ලස්සනට තියෙන්න ඇති ඒ කාලේ නුවර වැව් වටේ පෙරහැර යන කොට.....මම වැඩිපුර ලංකාව ගැන අහලා තිබුනේ නුවර දළදා මාළිගාවේ පෙරහැර ගැනයි, පෙරහැරේ ලස්සන දිලිසෙන ඇදුම් ඇඳගෙන යන් අලි ඇතුන්, නැට්ටුක්කාරයෝ ,බෙර කාරයෝ ගැන විස්තර තමයි ...."


" විදේශීකයන් බොහෝමයක් ලංකාවට ආවාහම, දළදා පෙරහැර කාලේට, පෙරහැර බලන්න යන්න අමතක කරන්නෙ නෑ තමයි......"


"එතකොට නුවර වැව වටේ තියෙන බැම්ම හදපු හැටි ඔයා අපට කිව්වෙ නෑනේ චතුරි ...."


" ආ....ඔව්.....ඔය වලාකුළු බැම්මේ කොටසක් හදන්නට භාරවෙලා තිබිලා තියෙන්නේ ගන්නොරුව ටිකිරි ගම්මැහේගේ වසමේ මිනිසුන්ට වගේම පරකටවෙල ආරච්චිගේ මිනිසුන්ට.... ඒත් ටිකිරි ගම්මැහේගේ වසමේ ඒ මිනිස්සු ඒක කලට වෙලාවට අවසන් කරලා නෑ.... ඒ හින්දා ඒ කාලේ හිටිය රජතුමාට තරහා ගිහින් ටිකිරි ගම්මැහේව හිරේ දාලා ගම්මැහේ තනතුරත් අහිමි කෙරුවයි කියනවා....


ඉතින් ඔන්න ඔය වගේ කතාත් තව අඳුරු කතා රැසක් එක්කයි වලාකුළු බැම්ම හැදිලා තියෙන්නේ ...... ඒත් ඉතින් ඒ අඳුරු කතා අපේ අය දන්නේ ටිකයි.....මේ වගේ උඩින් පල්ලෙන් මම ඒවා ගැන කෙටියෙන් කියන්නම්...."


"ඒ කිව්වේ...."


"අද ඔය නුවර වැවට යටවෙලා තියෙන බිම එදා දවසේ හඳුන්වලා තියෙන්නේ “ටිඟොල්වෙල” බිම කියලා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලේ ඔය ටිඟොල්වෙල කියන්නේ මැසි මදුරුවන්ගෙන් පිරුණු අපිරිසිදු මඩ ගොහොරුවක්ලු.....

හැබැයි ඒක

කාලයක, සරුසාරව ගොවිතැන් කරපු වෙල් යායක් කියලත් කියනවා.... ඒත් ඉතින් ඒ මඩ ගොහොරුව එක තැනකදී වාසියකට හැරවිලත් තියෙනවා...ඒ කියන්නේ 1803 අවුරුද්දේ ඉංග්‍රීසින්, උඩරට ආක්‍රමණයේදී ,

මහනුවර නගරය ගිනිබත් කරපු ඉංග්‍රීසි සොල්දාදුවන්ට හැදුණු මැලේරියාව වසංගතය..... ඇත්තටම ඒ වසංගතය හැදෙන්න එදා බලපාලා තියෙන්නේ අර ටිඟොල්වෙලේ හිටිය මැසි මඳුරුවන් නිසා කියලයි කියන්නේ...."


"එතකොට නුවර වැව හදපු කතාව ඔයා කිව්වෙ නෑනේ ..."


"මේ නුවර වැව හදන්න ඒ කාලයේ

මහනුවර අසල කෝරළවල, ගම්වලට අයත් සියලු මිනිසුන්ට, දින ගණනක් වැව හදන වැඩෙහි නිරත විය යුතු බව එකල රජුගේ ආඥාව වෙලා තියෙනවා.... . එය සැම මිනිසෙකුටම අනිවාර්ය වෙලා..... ඒත් රජු ඒ මිනිසුන්ට පඩි ගෙවීමක් තබා ආහාර සැපයීමක් වත් කරලා නෑ....... ඒ මිනිස්සු ගෙදරින් බත්මුල් බැඳගෙන වැඩට ආව කියලා තමයි පොත පතේ සදහන් වෙන්නේ..... එසේ දවල් ආහාරය ගෙනෙන්නට බත් නැති දිළිඳු මිනිස්සු කෑවේ තෝරකොළ කියලා සමහර පොත් වල ලියවිලා තියෙනවා ...... . නුවර වැව ඉදිකිරීමට පෙර නගරයේ තිබූ ජලාශය, හැදින්වුවේ බෝගම්මබර වැව කියලා .... එය ඉදිකරලා තිබිලා තියෙන්නේ දැන් බෝගම්බර ක්‍රීඩා පිටිය පිහිටි ස්ථානයේයි. ඉන් පසුව

නුවර වැව තැනීමෙන් පසුව නගරය සුන්දර ආකර්ශනය තැනක් වූ බවයි කියවෙන්නේ..... ඒ වගේම මේ වැව තැනීමේදී පල්වූ අපිරිසිදු ජලයේ බැස සිටීම නිසා ශරීරගතවූ විෂබීජවලින් හට ගත් රෝග හේතු කොට ගෙන බොහෝ මිනිසුන් මිය ගිය බවත් පත පොතේ සදනන් වෙනවා...


"හරිම ආසයි චතුරි ඔයා කියන මේ ලස්සන මහනුවර, දළදා මාලිගාව , නුවර වැව ගැන ඔයා කියපු කතා වලට....."


"මේ කළුවරේ, සීතල හුළඟ විදිමින් ,නුවර වැව වටේ ඇවිදිනකොට හිතට හරි නිදහස් බවක් සතුටක් දැනෙනෙවා නේද.?.....අර බලන්න කළුවර වැටුනට පස්සෙ , අර දළදා මාලිගාව මෙතන ඉදන් බලනකොට තියෙන ලස්සන ....මාළිගාවේ ජායාව වැවේ වතුරට වැටිලා දිලිසෙනවා...මේ නිහඬ බිමේ ඉදන් එක දිහා බලන් ඉන්න කොට පුදුම ලස්සනක් තියෙන්නේ ....


නුවර වැව වටේ ඇවිද ඉද හෝටලයෙන් රාත්‍රී ආහාර ගත් අපි හතරදෙනා කාමරවලට නිදාගන්නට ගියෙමු.


නුවර දළදා වදින්න ආවත්, මගේ හිතේ ඇත්තේ ලොකු කැලැඹිලි ගතියකි. ඒ

ඇන්ජලා තකහනියක් ලංකාවට ආ හේතුව, මට ඉශ්ට කර දීමට බැරු වේවිදෝ යැයි ඇති සැකයයි.....

ඔවුන් මෙපමණ මුදලක් වියදම් කරලා, දරුවෙක් හදාගන්න හැදුවත්, ඔවුන්ට ඒකට අවස්තාවක් නොලැබෙන ගානයි... ඇන්ජලාගෙ අවශ්‍ය තාවය අනුව, ඔවුන්ගේ දරුවෙක් මගෙ ගර්භාශයේ හදා දෙන්නට මට උවමනාව තිබුනත්, ස්ට්ව් ඒකට මුළින්ම අකමැති උන නිසා , ..මට නැවත ඔහුගෙන් ඒ ගැන අහන්න හිත් නොදේ...ඒත් අහිංසක ඇන්ජලාගෙ බලාපොරොත්තුව නැති වේ යැයි මට ඇත්තේ ලොකු දුකකි.....බලමු එන දේකට මූණ දෙනවා, ඇන්ජලා හා ටෙරික්ගෙ දරුවා හදා දෙන්නට මට පුලුවන් උනොත්, මගෙයි ස්ට්ව්ගෙයි මුදල්

අවශ්‍යතාවය මඟ හරවා ගන්නට හැකි වෙන බව දැනෙනෙ විට, මට ඇන්ජලා ගෙ අදහසට කැමති වෙන්නම හිතේ...එයට කැමති වි ඔවුන්ගේ සල්ලි වලින් අපට ගෙයක්, ඇරගෙන අපේ ජීවිතේ පිලිවෙලක් කරගන්න පුලුවන් බවත් වැටහේ....ඒත් ස්ට්ව්ගෙ අකැමැත්ත උඩ මට දැන් කිසි දෙයක් කල නොහැක. නමුත් ඇන්ජලා වෙනුවෙන් මම යමක් කල යුතු යැයි සිතා, මම ස්ටිව්ගෙන් ඒ ගැන් නැවත ඇසුවෙමි.


"ස්ට්ව්...ඔයා මොකද කියන්නේ, මේ ඇන්ජලාගෙ වැඩේ ගැන ...? එයාගෙ වැඩේට කෙනෙක් හොයා ගන්න බැරි උනොත් ,මම ඒකට කැමති වෙන්නද...?


"ඔයා...? පිස්සුද ඔයාට...ඔයාට ඔයාගෙ දරුවෙක් හදනවට වඩා, වටින්නේ අනුන්ගෙ ළමයෙක්ද, සල්ලිද..."


"ඔව්...අපටත් තියෙන ප්‍රශ්න ටිකක් අඩුකරගන්න බැරියැ, ඒ වැඩේ කරලා දීලා, ....."


" ඔයාට පිස්සුද චතුරි ...යාළුවෙක් ගෙ වැඩකට, විශේෂයෙන් ඒ වගේ වැඩක් කරලා සල්ලි ගන්න පුලුවන්ද ....? නිකන් කරලා දෙනවා නම් තව කමක් නෑ....ඊටත් අපිත් වයස යනවා, අපේ මමි බලන් ඉන්නේ කොයි වෙලේද එයා මගේ දරුවෙක් දකින්නෙ කියල. ... ඉස්සෙල්ලා අපි බබෙක් හදාගෙන ඉන්න එපෑ....ඔය ඇන්ජලා හිතපු විදිහටම කාව හරි, අපි පස්සෙ හොයලා දෙමු...වෙන කරන්න දෙයක් නෑ....."


"හරි හරි අපි ඒක අමතක කරලා දාමු...."


" ඒගොල්ලන්ට ...තව සුමානයයි තියෙන්නෙ ඔස්ට්‍රේලියාවට යන්න...."


"ඒක තමයි මම මේ කල්පනා කර කර ඉන්නේ...."


-නැවත හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා*

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page