top of page

🌏කොන්ත්‍රාත්තුව 🌏

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 17, 2021
  • 5 min read

( 18 වන කොටස )

කොළඹ සිට මහනුවර ක්වින්ස් හෝටලයට නවතින්න ආ අපි, හවස් වරුවේ ඇඟ පත හෝදාගෙන සුදු ඇදුම් ඇදගෙන, දළදා වදින්න යන විට මගේ හිතට දැනුනේ සැනසුම පිරි ලොකු සතුටක්.....


ස්ටීව් සමග විවාහ දිවියට පත්වුන පසු, මට ඔහු සමග දළදා සමිඳුන් වැඳපුදාගන්න එන්නට ලැබීම, ඔහුගෙත් මගෙත් වාසනාවකී.


මම ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට එන්නට පෙර, ඇන්ජලාට කිව් ලෙස, ඇය පන්සල් යන්නට සුදු දිග ගවුමක් ඇදන් සිටියාය. ස්ටීව් හා ටෙරික් ඔවුන්ගේ ලේසී පහසු සුපුරුදු කොට කලිසම ගලවා දමා, දිග කලිසම් හා සුදු කමිස ඇදන් සිටිමත් මට සතුටට හේතුවක් විය. එම ඇදුම් වලින් ඔවුන්ගෙන් අමුතුම ලස්සන, චාම් පෙනුමක් දිස් විය....


"මේ මාලිගාව ගොඩක් පරණ එකක් නේද චතුරි ...? පරණ ලී, කැටයම් , චිත්‍ර

පඬිපෙලවල්, හැම දේකම අමුතුම කලාවක් තියෙනවා ..."


" ඔව්...ගොඩක් පැරැණි රජ කාලේ ඉදන් එන එකක්....ශ්‍රී ලංකාවට ආව විදේශිකයන් වන ඔයගොල්ලන්ට මම මේ අපේ වටිනා දළදා මාළිගාව ගැනත් විස්තර ටිකක් කියන්න එපෑ...මේකේ වටිනාකම දැනගත්තහම තමයි ඔයගොල්ලන්ට මේ මාළිගාවේ වැඩ වාසය කරන දළදා වහන්සේගේ වටිනාකම තේරුම් ගන්න පුලුවන් වෙන්නේ...."


"ඔව් චතුරි , අපි හරි කැමතියි ඔයාගෙන් ඒ ගැන දැනගන්න ...."


"මෙහෙමයි.....ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වෙසෙන්නේ ගෞතම බුදුන් වහන්සේගේ වම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ.....මේ දළදා මාළිගාව, ලෝක පූජිත වූ ශ්‍රේෂ්ඨ සිද්ධස්ථානයක් .....

මේ කන්ද උඩරට සෙංකඩගලපුර වැඩ වාසය කරන, උතුම් දළදා වහන්සේ බලන්න දිනපතා නොකඩවාම දෙස් විදෙස් බැතිමතුන් ලොව නන්දෙසින් පැමිණෙනවා....බලන්න මේ හවස් වරුවෙත්, සංචාරකයින්ගෙන් දළදා මාළිගාව පිරිලා ගිහින් තියෙන හැටි ......"


"ඒක නම් ඇත්ත....අර බලන්නකෝ සුදු ඇඳගත්ත මිනිස්සු ,මල් වට්ටි ඇරගෙන, සංසුන්ව පේළියට යන හැටි...."


"මේ අපේ දළදා මාළිගාව්, වර්ෂ 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයටත් පත්කලා..... ශ්‍රී ලාංකික ගිහි බෞද්ධයාගේ, වැඳුම් පිදුම්වලට ලක්වෙන මේ ලක්දිව ඇති පූජනීයම වස්තුව තමයි මහනුවර වැඩවසන ශ්‍රී දළදා වහන්සේ...."


"එතකොට මේ දළදා වහන්සේ ලංකාවට ලැබුනෙ කොහොමද ?


"කිත්සිරි මෙවන් රජුගෙ කාලයේ...., කාලිංග දේශයේ සිට, එය ශ්‍රී ලංකාද්වීපයට රැගෙන ඇවිත් තිබුනේ හේමමාලා සහ දන්ත කුමරුන් විසිනි...... ඒ කාලයේ මෙරට සිටි සිංහල බෞද්ධ රජවරුන්ගේ, රාජ්‍යත්වයේ සංකේතය වූනේ මේ දළදා වහන්සේයි..... එනිසා රාජ්‍යත්වය සඳහා තමන්ට නිල උරුමය ගෙනදුන් දළදා වහන්සේට රජවරු උදේ සවස පුද සත්කාර කරලා තියෙනවා ..... "


"මොනවද චතුරි පුද සත්කාර කියන්නේ...?


"දළදා වහන්සේ වෙනුවෙන් කරනු ලබන, වැදපුදා ගැනිම් වලට......ඒ රාජකාරියට "තේවාව" කියලා තමයි කියන්නේ..... අතීතයේ සිට ඒ තේවාව කිරිමට, භික්ෂුන් වහන්සේලා පත්කොට තිබුනත්, පසුකාලීනව... දැන්, ඊට ගිහි නිලධාරීන් පිරිසක්ද පත් කරලා තියෙනවා.. ... "


"මේ දළදා මාළිගාව කොයිකාලෙද චතුරි හදලා තියෙන්නේ ...?


"මේ ඓතිහාසික සෙංකඩගලපුර, මහනුවර ප‍්‍රථම දළදා මාලිගාව ගොඩනඟලා තියෙන්නේ ක‍්‍රි.ව. 1592-1604 අතර කාළයේ..... රජ කළ පළමු වෙනි විමලධර්මසූරිය රජතුමා විසින් කියලා තමයි පොත් පත්වල සඳහන් වෙන්නේ..... එතුමා එකළ ඉදි කළ දළදා මාලිගාව පෘතුගීසි ආක‍්‍රමණිකයෝ විනාශ කළ බව ඉතිහාසයේ දැක්වෙනවා..... අනතුරුව දළදා මාලිගාව පිහිටා තිබූ එම ස්ථානයේම දෙවන රාජසිංහ රජු විසින් (ක‍්‍රි.ව. 1635-1687) මහනුවර දෙවන දළදා මාලිගාව ඉදි කරාලු.......එය ද ලන්දේසින්ගෙ කාලේ ඔවුන් දවා අළු කර විනාශ කළ බවත්, අනතුරුව ක‍්‍රි.ව. 1687 දී රජ වූ දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් මහාර්ඝ තෙමහල් දළදා මන්දිරයක් ගොඩනංවා දළදා වහන්සේ එහි තැන්පත් කොට නානා විධ පුද සත්කාර සිදු කළ බව දළදා ඉතිහාසයේ දැක්වෙනවා..... එම දළදා මැඳුරත් කල්යත්ම දිරාපත්ව විනාශ වූනාට පසු , ඔහුගේ පුත් ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු (ක‍්‍රි. ව. 1707-1739)වර්ථමානයේ දක්නට ලැබෙන මේ දෙමහල් දළදා මාලිගාව ඉදි කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ....ඊට පස්සෙ සෙංකඩගල

රාජ්‍යත්වයට පත් නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු ද, ශ්‍රී නරේන්ද්‍රසිංහ රජු විසින් කර වූ ශ‍්‍රී‍ දළදා මාලිගාව පිළිසකර කරවා ආරක්ෂා කළ බව පොත පතේ සඳහන් වෙනවා......එතකොට අන්තිමට...... "කීර්ති ශ‍්‍රී රාජසිංහ" මහ රජු තමයි ,මෙම දළදා මාලිගාව වර්ථමානයේ දක්නට ලැබෙන මේ ස්වරූපයට මනාව ප‍්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ...... එතකොට අටාස‍්‍ර ගොඩනැගිල්ල හෙවත් පත්තිරිප්පුවත් හදලා තියෙන්නේ ක‍්‍රි. ව. 1798-1815 අතර මහනුවර රජකම් කළ ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා විසිනි බව තමයි පරණ පොත්පත් වල සදහන් වෙන්නේ.....මේ දළදා වහන්සේ වෙනත් රටවල ආක්‍රමණිකයන්ගෙන් ආරක්ශා කරගන්න , රැකගන්න ඒ කාලයේ හිටි රජවරු විවිධ ප්‍රදේශ වලට දළදා වහන්සේ කාලෙන් කාලෙට රැගෙන ගොස් තියෙනවා ....ඒවා මේ විදිහට දැන් කෙටියෙන් කියන්න පුලුවන් දේවල් නෙමේ ඇන්ජලා ....මම බොහෝම කෙටි කරලා තමයි ඔයගොල්ලන්ට මේ දේවල් කිව්වේ...."


"ඔයා කොහොමද චතුරි ඕවා දන්නේ...මතක තියාගන්නේ...?


"මම ගෝතමි බාලිකාවේ උසස් පෙළ කරන කාලේ, මගේ ආසම විශය උනෙ, ඉතිහාසය , භූගෝල වගෙ විශයන්....ඉතිං මම හරි ආසාවෙන් මේවා ඒකාලේ ඉගෙන ගත්තේ...ශ‍්‍රී දළදා මාලිගාව වාස්තු විද්‍යාත්මක ලක්ෂණ, උඩරටටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් මෙන්ම ඉපැරණි දළදා මාලිගා නිර්මාණ ලක්ෂණයන්ගෙන් ද අනූනන බව ඔයගොල්ලන්ට පේනවා නේද...මහනුවර ශ‍්‍රී දළදා මාලිගය මහනුවර නගරයට නැගෙනහිරින් උඩවත්ත කැළය අසල ඉදිකරලා තියෙන්නේ ....... දකුණු දෙසින් කිරි මුහුද හෙවත් මහනුවර වැව , ඔය බලන්නකෝ ඒකේ ලස්සන......එතකොට බස්නාහිරින් තියෙන්නේ නාථ හා පත්තිනි දේවාලය.....

ජීවමාන නිර්මාණයක් බඳු වූ ශ්‍රී දළදා මන්දිරය රන්, රිදී, ඇත්දල, පිත්තල ආදි කැටයම් යොදා සෝභාමානවත් වෙලා තියෙන මේ වටිනා වස්තූන් තමයි ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාගේ වටීනාම වස්තූන් ...."


"ඔයා හරි ලස්සනට කෙටි කරලා මේ දළදා මාළිගාවේ විස්තර අපට කිව්වා....හරි සතුටුයි චතුරි ...."


"ඔයගොල්ලෝ විදේශීකයන් උන නිසා, නොදන්න දේවල් දැනගන්න කැමතියි කියලා මම දන්නවා....ඒ උනාට මගේ ලංකාවේ යාළුවන්ට නම් මම මේ කියන ඒව එතරම් අලුත් දේවල් නෙමේ......, මොකද මේ පැරණි කතන්දර සිංහල බෞද්ධයන් හැමෝම වගෙ දන්න දේවල් ...."


"අපි දළදා වැදලා ඉවර නිසා නුවර වැව වටේ ටිකක් ඇවිදින්න යමුද ?....


"යමු....අර බලන්න නුවර වැවේ ලස්සන....අපි ඒක වටේ කතා කර කර ඇවිදිමු ...."


" අපි නුවර ආවට මොකද මගේ හිතට හරි නෑ චතුරි .....අපට ආපහු ඔස්ට්‍රේලියාවට යන්න ඉස්සර, බැරි වෙයිද අපේ දරුවගෙ වැඩේ කරගන්න ....?අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන ලංකාවට ආවේ චතුරි .....අපේ කියලා දරුවෙක් හදාගන්න උවමනාව දැන් අපි දෙන්නට හරියට දැනෙනෙවා.... ඒ උනාට, මට හිතෙන්නේ ඒ ආසාව, බලාපොරොත්තුව අපට දැන් ඉශ්ට කරගන්න බැරි වෙයිද කියලා...."


" මටත් දුකයි ඔය දෙන්නා ගැන ....ඔයා දන්නවානේ ඇන්ජලා ,මමත් බොහෝම අමාරුවෙන් යුනිවර්සිටි ගිහින් ,ඒ යන ගමනුත් රස්සාවල් දෙක තුනක් කරලා කීයක් හරි අමාරුවෙන් ඉතිරි කරගෙන කසාද බැදලා පිළිවෙලක් වෙනකොට, දන්නෙම නැතුව වයස ගියා.....

දැන් මටත් තිහකට ලඟයි....

මායි ස්ට්ව්වෝයි උනත් හිතාගෙන ඉන්නෙ බැදපු ගමන් දරුවෙක් හදාගන්න කියලා .....තව පරක්කු උනොත්, අපටත් දරුවො නැති වෙන්න පුලුවන්....ඔස්ට්‍රේලියාවේ ඉන්න ගොඩක් ළමයි , යුනිවර්සිටි යන කාලේ ඉදන්, ලිවින්ටු ගෙදර් ඉන්න නිසා, අවුරුදු ගානක් ෆැමිලි පෑලෑනින් කරගෙන ඉදලා , වයසට ගිහින් කසාද බැදපු ගමන් ඉතිං බලන්නේ, දරුවෙක් හදාගන්නනේ....ඒ නිසා, පුලුවන් ඉක්මනට දරුවෙක් හදාගන්න ඕනෙ කියලා අපි දෙන්නත් හිතාගෙන ඉන්නේ....නැත්නම් මම ඔය දෙන්නගෙ දරුවා මගෙ ගර්භාශයේ හරි හදලා දෙන්න, කැමතියි ඇන්ජල.....මගෙත් වයස යන එක තමයි ප්‍රශ්නය ..."


"නෑ...නෑ...චතුරි ...මම ඔයාගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ....මට ඒක තේරෙනවා.....ඔයා ඒකට දුක් වෙන්න එපා...මම දන්නවා, අපි දෙන්නම, දැන් අවුරුදු තිහට කිට්ටු කරලා නිසා, වෙන කාටවත් පිහිට වෙන්න බෑ කියලා ...ඔය දෙන්නා, අපි වගේ බබාලා හදන්න පරක්කු නොවි, පුලුවන් ඉක්මනට දරුවෙක් හදන්න පටන් ගන්න......පුලුවන් නම් හනිමූන් බේබි කෙනෙක් ලංකාවෙන්ම හදා ගෙන යන්න බලන්න ..."


"බලමු, බලමු, අපි දෙන්නා ඉස්සෙල්ලා ඉන්න තැනක් හදාගන්න ඕනේ ඇන්ජලා , ඊට පස්සෙ තමයි දරුවෙක් ගැන හිතන්න ඕනේ...."


" අපි ඉන්න රටේ තරුණ අය ඔක්කොම හිතන්නෙ එහෙමයි, ඉගෙන ගෙන ඉවර වෙලා, හොද ජොබ් එකක් කරලා , සල්ලි හම්බ කරගෙන, ගෙයක් දොරක් හදලා පිලිවෙලක් වෙලා තමයි හැමෝම කසාද බදින්න හිතන්නේ... ,ඒ වෙනකොට හැමෝගෙම අවුරුදු තිහ පනිනවා.... ඉතිං බැදපු ඉක්මනට හැමෝම දරුවෙක් හදාගන්න බලන්නේ...."


"ඇත්තටම මම ඔස්ට්‍රේලියාවට ගිහාම දැක්ක දෙයක් තමයි, පොඩි දරුවෝ ඉන්න ගොඩක් දෙමව්පියන් අවුරුදු හතලිහ පනහෙ අය....ඉතිං ඒ ළමයි කසාඳ බදින කාලය වෙනකොට දෙමව්පියන් ගොඩක් වයසයි.... ඒකට ලංකාවේ අපේ කට්ටිය නම් අවුරුදු විසිපහ, විසිහය වෙනකොට කසාඳ බදින නිසා, ඒ අය අවුරුදු පනහ පනිනකොට ආච්චිලා සීයලත් වෙලා, තමන්ගෙ දරුවන්ගෙ දරුවොත් බලනවා....ලංකාවේ අය තුන් මුණුපුරන් වත් දැකලා තමයි ගොඩක් කට්ටිය මැරෙන්නෙ...ඒක නම් ඉතිං වාසනාවක්...."


"ලෝකේ දැන් හැම දෙයක්ම වෙනස් වෙලා, මිනිස්සු කාර්‍ය්බහුල වෙලා, හැල්මෙ දුවනවා, නොයෙක් ක්‍රම වලින් සල්ලි හොයන්න...පෝසත් වෙන්න, ලොකු ගෙයක් හදාගන්න ,වටිනා වාහනයක් ගන්න,....අන්තිමට සල්ලි හොයාගෙන පස්ස බලනකොට දන්නෙම නැතුව කාලය ගිහින්, හොදම තරුණ වයස පහුවෙලා, ඊට පස්සෙ සල්ලි ගොඩත් එක්ක තනිවෙන්න වෙන්නේ.......ඒ නිසා මෝඩ වැඩ නොකර ඉක්මනට ඔය දෙන්නා නම් දරුවෙක් හදාගන්න චතුරි ...."


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page