🌏කොන්ත්‍රාත්තුව🌏
- Prisila Godahewa

- Sep 17, 2021
- 6 min read
(17 වන කොටස )
ඇන්ජලා හා ටෙරික් අපේ විවාහ මංගල්‍ය සඳහා සහභාගි වෙන්නට ලංකාවට ආවට, ඊට යටින් ඔවුන්ගේ හිතේ තිබුනේ වෙන අදහසකි... ඔවුන්ගේ හිතේ තිබුනේ තමන්ගේම දරුවකු හදාගැනීමේ ආශාව හා බලාපොරොත්තුව ඉශ්ට කරගැනීමේ අරමුණයි. ඒ බව අපි හතර දෙනාම හොදින්ම දැන උන්නෙමු.
කීර්ති අය්යා අපට හදුන්වා දීපු හංසනී නම් ගෑනු ළමයා, ඇන්ජලාගෙ යෝජනාවට අකමැති වීම ඇන්ජලාගෙ හිතේ වගේම මගේ හිතේද ඇති කලේ ලොකු කණගාටුවකි...... දැන් ඒ වැඩේ හරියන පාටක් නැති ගානයි.....මට ඇති දුක, ඔවුන් මෙපමණ මුදලක් වියදම් කරලා, දරුවෙක් හදාගන්න බලාපොරොත්තු උනත්, ඔවුන්ට ඒකට අවස්තාවක් නොලැබී යාවිදෝ ඇති සැකයයි......ඔවුන් ලංකාවට ඇවිත් සිටින මේ සුමාන දෙක ඇතුලත ඔවුන්ට මේ බලාපොරොත්තු උන දේ කරගන්නට බැරි උනහොත් , ඔවුන්ට මෙන්ම මටත් නැවත ලංකාවට ඇවිත් මේ වෙනුවෙන් උදව්කරන්න සිදුවෙන බව මම දන්නෙමි . ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට නිතර යන්න එන්න හිතන එක එතරම් ලේසි නැත. එකපැත්තකින් වියදම, අනෙක් පැත්තෙන් කාලය ,මේ දේවල් දෙස බැලීමේදි නැවත ලංකාවට යන එන එක ගැන සිතීමට නොහැක. මේ ආව ගමනේම ඇන්ජලාගෙ දරුවෙක් හදා ගන්නා වැඩේ, කොහොම හරි කර දෙන්නට අවශ්‍ය උනත් , අපි කොහොමද මෙපමණ ඉක්මනට, මේ වැඩේට වෙන තරුණ ගෑනු ළමයෙක් හොයා ගන්නේ....?
"අනේ චතුරි ....අපි දැන් මොකද කරන්නේ...."
ඇන්ජලා බාගෙට අඩමින් මගෙන් අසයි.....
ටෙරික් හා ස්ටීව් ඈත සිට අපේ කතා බහ දෙස බලමින් ඉද ,අප ලඟින් ඇවිත් වාඩි විය....
"ඇයි මොකද උනේ...ඇයි එයා කේන්තියෙන් වගේ යන්න ගියේ...."
"එයා කැමති නෑ ස්ටීව් ඒ වැඩේට....අපි දැන් මොකද කරන්නේ, අපි දැන් වෙන කෙනෙක් ගැන බලන්න ඕනේ නේද..?.....
"අනේ මගේ ඔළුවත් අවුල් වෙලා.....ඒ ගර්ල් අනිවාර්යයෙන්ම දැන් කිර්තිටත් බැන බැන යනවා ඇති ...."
"අපේ අවශ්‍යතාවය දැන් කිර්ති දන්න නිසා, අපි එයාට කියලා වෙන කෙනෙක් හොයා ගන්න බලමු නේද...? "
" අපි හිතන තරම් මේක ලේසි වැඩක් නෙමේ ඇන්ජලා .....දැන් ලොකුවට තියෙන ප්රශ්නය කාලය....අනේ මන්දා මොනව කරන්නද කියලා ..."
"අපි ආයෙත් පාරක් කීර්තිට කියලා බලමුද චතුරි ?..."
" ම්ම්....කරලා බලමු......අනේ මන්දා ඇන්ජලා ...."
"අනේ අපට සමාවෙන්න චතුරි ,....ස්ට්ව්.... , ඔය දෙන්නගෙ හනිමූන් එකවත් නොගිහින් ඔයගොල්ලෝ කොළඹ නැවතුනේ, අපේ මේ වැඩේ නිසයි ...."
"ඒකට කමක් නෑ ...අපි දැනට මේක පොඩ්ඩක් අමතක වෙන්නත් එක්ක කොහේ හරි යමුද.....මගේ ඔළුවටත් මේ ප්රශ්නය කරදරයක් .....කිර්තිට මම කෝල් කරලා කියන්නම් මොකක් හරි කරගන්න බලන්න කියලා ...එතකම් අපි මෙහෙම කරමු,..... තවම දවල් එකලොහ පහුවුනා විතරනේ, අපි කැබ් එකක් කතා කරගෙන, නුවර දළදා මාලිගාව බලන්න යමුද.?....අද රෑ අපි නුවර හොටෙල් එකක් බුක් කරගෙන අද රෑට එහෙ නවතිමු. ...හෙට උදේ නුවරඑළි යමු ...එහෙ දවස් දෙකක් ඉදලා ආයි කොළඹ එමු....මම කිර්තිට කියන්නම් වෙනකාව හරි මේ වැඩේට ලෑස්ති කරගන්න පුලුවන්ද බලන්න කියලා ....ඔයගොල්ලන්ට වැඩි දවසක් ලංකාවේ ඉන්නත් නෑනේ ....ඒ නිසා අපි අද නුවර ගිහින් , අනිද්දට නුවරඑළියේ රවුමක් දාලා එමු....මේවා අමතක වෙන්නත් එක්ක යමු......"
"ඒක තමයි අර හොස්පිටල් එකේ ඩොක්ටත් මට කතා කලා,...පුලුවන් ඉක්මනට ආපහු ලංකාවෙන් යන්න ඉස්සර මේක කරගන්න කිව්වා...."
"මට නම් ඇන්ජලා හිතෙන්නේ.... මේක මේ එක පාරින් කරගන්න පුලුවන් දෙයක් නෙමේ කියලා ....අපි බලමු මේ පාර බැරි උනොත් තව පාරක් හරි ලංකාවට ඇවිත් කරගන්න....."
"අපි එහෙනම් දැන් මහනුවර යමුද....?
"ඔව් අපි දැන්ම යමු...., පැය තුන හතරකින් අපට නුවරට යන්න පුළුවන් වෙයි....අපි කසාඳ බැන්දට පස්සේ, මට ස්ටීව්ව දළදා මාලිගාව බලන්න, දළදා හාමුදුරුවෝ වන්දවන්න, එක්ක යන්න ලොකු උවමනාවක් තිබුනා....ඒ නිසා අපි අදම නුවර යමු.....දළදා මාළිගාව කියන්නේ, ගොඩක් අනුහස් තියෙන තැනක්, අපි එතනට බාරයක් වෙමු, ඔයගොල්ලන්ගෙ දරුවගෙ වැඩෙත් හරි යන්න කියලා හිතාගෙන. ...."
"එහෙමද....?එහෙනම් මටත් ආසයි දළදා මාළිගාව බලන්න ...."
"එහෙනම් ඔය දෙන්නා රූම් එකට ගිහින් ඇදුම් බෑග් ලෑස්ති කර ගන්න.... මම අපට අද රෑ නවතින්න නුවර හොටෙල් එකක් බුක් කරගෙන අපට නුවර යන්න කැබ් එකකටත් කෝල් කරලා එන්නම් ......අපි ඉක්මනට කොළඹින් යමු , හවස් වෙන්න ඉස්සර අපට එතකොට නුවරට යා ගන්න පුලුවන් වෙයි...."
ඇන්ජලා හා ටෙරික් හිතාගෙන හිටිය වැඩේ හරි නොගිය නිසා, ඔවුන්ගෙ හිත හැදෙන්නත් එක්ක මම, කළබලේම ඔවුන් නුවර එක්ක යන්න ලෑස්ති කර ගත්තෙමි.
ඇන්ජලා, ටෙරික් ,ස්ට්ව් හා මමත් ඉක්මනට ලක ලෑස්ති වි නුවර බලා යන්නට කැබ් රතයකට ගොඩ උනෙමු. හතර දෙනාම නුවර යන්න වාහනයට නැග ගත්තාට, හතර දෙනාගෙම හිතේ තිබුනේ ලොකු කණගාටුවක්....ඒ ඇන්ජලාගෙ හා ටෙරික්ගෙ දරුවාගෙ වැඩේ හරියට කතා කරගන්නට බැරි උන හේතුව නිසා.....ඔවුන් දෙදෙනා කතා බහක් නැතුවම වාහනේ කවුළුවෙන් එළිය බලාගෙන යති.....
ස්ටිව් මේ වැඩේට අකමැති මිසක්.... ඇන්ජලා හා ටෙරික්ගෙ දරුවෙක් මගේ ගැබේ හදා දෙන්නට මගෙ හිතේ අකමැත්තක් නැත..... එයට හේතුව ඇන්ජලා ගැන මගේ හිතේ තියෙන කණගාටුවත්, ඔවුන් මේ වෙනුවෙන් ලබා දීමට බලාපොරොත්තු වන මුදලට මගේ හිතේ ඇති ලෝභකමත් නිසයි..... ස්ටිව් මේ කොන්ත්‍රාත්තුවට මුළින්ම අකමැත්ත පළ කල නිසා...මට නැවත ඔහුගෙන් ඒ ගැන අහන්න ඇත්තේ බයකි.....බලමු එන දේකට මූණ දෙනවා කියා මම හිතා ගත්තෙමි.
ඇන්ජලා හා ටෙරික්ගෙ දරුවෙක් මගෙ ගැබේ හදා දෙනවා නම්, ඇන්ජලාට හා මට ඔස්ට්‍රේලියාවේදීම ඒය පහසුවෙන්ම කල දිය හැකි බව අපි දනිමු..... එය කලහොත්, මගෙයි ස්ට්ව්ගෙයි මුදල් අවශ්‍ය තාවයන්ද මඟ හරවා ගන්නට හැකි වෙන බව දැනෙනෙ විට, මට ඇන්ජලා ගෙ අදහසට කැමති වෙන්නම හිතේ...එයට කැමති වි ඔවුන්ගේ සල්ලි වලින් අපට ගෙයක් ගන්නට මූලික ගෙවීමත් කරගෙන, ඉතුරු අඟහිඟකම් පියවා ගෙන අපේ ජීවිතේ පිලිවෙලක් කරගන්න පුලුවන් බවත් වැටහේ....ඒත් ස්ට්ව්ගෙ අකැමැත්තෙන් ඒ දේ කල නොහැකි බව දන්නා නිසා, මට එය ඇන්ජලාගෙ හිත සැනසෙන්නවත් කීමට නොහැක..... කෙසෙ හෝ ඇන්ජලා හා ටෙරික් ලංකාවේන් යෑමට පෙර මෙයට විසදුමක් සොයා ගත යුතු යැයි මම දිගින් දිගටම කල්පනා කෙරුවෙමි.
"මට නම් දැන් බඩගිනියි, මොනවද අපි දැන් දවල්ට කන්නේ...?
"ඔව්...මටත් දැන් බඩ ගිනියි....අපි අඹේපුස්ස ගෙස්ට් හවුස් එකෙන් දවල්ට මොනවා හරි කාලා, හවස් වෙන්න ඉස්සර නුවරට යාගන්න බලමු. ..."
" මගේ අම්මෝ මේ පාරවල් වල යන්න නම් මට බයයි ....පාරේ යන වාහන ඇඟට එනවා වගෙයි දැනෙන්නේ...."
" අපි පොඩිකාලේ නුවර යනකොට තිබුන පාරවල් වගේ නෙමෙනේ දැන් මේ පාරවල් .....පුදුම සෙනඟක් , පුදුම වාහන ගොඩක් දැන් නුවර පාරේ යන්නේ..., පාරේ ටැරැෆික් එක දිගටම....දැන් නම් ලංකාවට ආවාහම මේ පාරවල් වල එහෙ මෙහෙ යන එක තමයි මම අකමැතිම වැඩේ....ලංකාවට ආවහම එහෙ මෙහෙ යනවට වඩා, ටැෆික් වලට අහුවෙලා පාරවල් වල ඉන්න වෙන වෙලාව තමයි වැඩි...."
"ඒක තමයි මේ පාරවල් වල යන මිනිස්සු එහෙට මෙහෙට පැන පැන යන හැටි, හරක්, බල්ලො, එළුවෝ පාරවල් පනිනවා, ත්‍රීවීල්, බයිසිකල් කාරයෝ එහෙන් මෙහෙන් දානවා, බලන හැම පැත්තම හරිම අවුල් ගොඩක් ....මේවා බැලුවම ඔළුව කැරකැවෙනවා....ඒකට ඔස්ට්‍රේලියාවේ පාරකට බැස්සහම කොච්චර නිදහස්ද ඔළුවට .... "
"මේ අපේ ලංකාව ස්ටීව්...ඔස්ට්‍රේලියාව මීට වැඩිය වෙනස් උනාට, එක එක රටවලට ආවේනික දේවල් තමයි මේ....ඉස්සරහා කාලේ කොළඹ ඉදන් නුවරට යන්න අධිවේගී මාර්ගයක් එහෙම හදන්න ලෑස්තියි .....ඒවා හැදුවහම අපට නුවර පැත්තට පැයකින් විතර යන්න පුලුවන් වෙයි.....එතකොට මේ වගේ ට්‍රැෆික් එකේ යන්න වෙන එකක් නෑ ...."
"දැන් නම් බඩගිනියි චතුරි ...."
"තව ටිකයි අඹේපුස්ස තානායමට, අපි එතනින් මොනව හරි දවල්ට කමු....ඩ්‍රැයිවර් එහෙනම් ඉස්සරහ අබේපුස්ස තානායමෙන් වාහනය නවත්වන්න ...."
කොළඹ නුවර පාරේ ආ අපේ වාහනය, අඹේපුස්ස තානායමට ඇතුළු කර නැවත්විය.
"ඔන්න ඇන්ජලා අපි ලංකාවේ ගොඩක් පැරැණි තැනකට ආවා...මේකට කියන්නේ
අඹේපුස්ස තානායම කියලා . හැබැයි මේකට ඉස්සර කිව්වේ, කැප්ටන් ඩෝසන් බංගලාව කියලා.... . මේක
1822 දී විවෘත කරලා තියෙන්නේ,.. කොළඹ නුවර මහා මාර්ගය ඉදිකරන කාලේ ඒකේ හිටිය ප්‍රධාන ඉංජිනේරු වරයා වු කැප්ටන් ඩෝසන් මහතායා වෙනුවෙන් ඉදිකල නවාතැන තමයි මේක....අඹේපුස්ස හංදියේ වම් පැත්තේ ඇති මෙම බංගලාව .....ඒකාලේ මාර්ග ඉදිකිරීමේ කටයුතු වලින් පසුව මෙය සංචාරක බංගලාවක් බවට පත්කරලා, අද වන විට අබේපුස්ස තානායම ලෙස දිවයින පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ...."
"මේක ගොඩක් පරණ ලස්සන තැනක් තමයි චතුරි ...දැන් මේකේ තියෙන රෙස්ටුරන්ට් එකෙන් අපි මොනව හරි කමු එහෙනම් ...."
"අපි කෑම ඕඩර් කරගෙන කමු....මට නම් ලංකාවේ තාලෙට රයිස් ඇන්ඩ් කරි කන්න ඕනේ...කාලෙකින්නේ මම ලංකාවට ආවේ....ඔයගොල්ලන්ට මම සැන්ඩ්විච් මොනව හරි ඕර්ඩර් කරන්නද...?
"මටත් ආසයි බත් කාලා බලන්න , ඔයා වගේ....."
"එහෙනම් ඔයගොල්ලන්ට ෆ්රියිඩ් රයිස් ඕර්ඩර් කරන්නම්, වැඩි දැවිල්ලක් නැති ඒවා ..."
"ආ...එහෙම හොදයි චතුරි ..."
කාලෙකට පස්සේ සිංහල තාලෙට, මට ඉතා රසට බඩ කට පිරෙන්න කෑම කන්නට ලැබුනි...... ඇන්ජලා ,ස්ටිව් හා ටෙරික්ද වැඩිය සැර නැති ෆ්‍රයිඩ් රයිස් හා ඩෙවල් චිකන් ආසාවෙන් කන දිහා මම ආසාවෙන් බලා සිටියෙමි. දවල් ආහාරය බඩ පිරෙන්න කෑව අපි නැවත නුවර බලා යන්නට වාහනයට නැග ගත්තෙමු .
නුවර පාරේ දිගටම ගිය වාහනය දැන් කඩුගන්නාව පසුකරගෙන යයි....එයින් ඈතට පෙනෙන ලස්සන කඳුවැටි වල හැඩ, අවට තිබෙන පළතුරු, රසකැවිලි, කඩ දිහා බලමින්....., අවට සිරි නරඹමින් මහනුවර පැත්තට දිගටම අපේ වාහනය ඇදෙයි.
"අපි දැන් මහනුවරට ඇවිත් ඉන්නේ....තව ටික වෙලාවකින් අපට, අද රෑට නවතින්න යන හොටෙල් එකට යන්න පුලුවන් වෙයි...."
"ඒක හොදයි.....එක දිගට වාහනේ, ටැෆික් එකේ, සැරෙන් සැරේට නවත්ත නවත්ත ආව නිසා හරි මහන්සියක් දැනෙනවා මට.....මට නම් දැන් ඉක්මනට හොටෙල් එක්ට ගිහින් වොශ් එකක් දාගන්න ඕනේ...."
"මටත් එහෙමයි....
"අපි දැන් නවතින්න යන්නේ, මහනුවර දළදා මාළිගාව පේන දුර තියෙන, කුවින්ස් හෝටලයට....දැන් ඒකට ක්වින්ස් හෝටලය කිව්වට ඉස්සර කිව්වේ රැජිණ හෝටලය කියලා...."
"ඒක ගොඩක් පරණ හෝටලයක්ද...?
" ඔව්.....දැන් හරි ඇන්ජලා ,ටෙරික් එහෙනම් බහින්න....මේ තියෙන්නේ අපි අද රෑට නවතින්න යන හෝටලය.... "
" බහින්න ස්ටීව්...අපි යමු ඇතුලට ..."
" මේක හරිම පරණ හෝටලක් නේද ....?
"ඔව්..මේක සුද්දන්ගෙ කාලේ හදපු එකක්....මේ බලන්න මේ පරණ තාලේ ගොඩනැගිල්ල , ලිෆ්ට් එක, පරණ කැටයම් ....ලී වලින් හදලා තියෙන උඩුමහලේ බිම, පරණ තාලේ නාන කාමර, ...හැම දෙයක්ම ගොඩක් පරණයි , ඒ උනාට ලස්සනට තියාගෙන ඉන්න හැටි බලන්නකෝ.....අර ඈතින් පේන දළදා මාලිගාවටත් නුවර වැවටත් මුහුණලා පිහිටා තිබෙන මේ රැජන හෝටලය අතීතයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙක් වාසය කරපු මන්දිරයක් කියනවා...... "
"එහෙමද...අපි දන්නෙ නැති තොරතුරු තව ටිකක් කියන්න චතුරි ...මම ආසයි ඔයගොල්ලන්ගෙ රටේ විස්තර දැනගන්න ...."
" එහෙනම් අහගන්න කෝ....මේ හෝටල් ගොඩනැගිල්ල මුලින්ම හදලා තියෙන්නේ අපේ රටේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උපදෙස් පරිදි කියනවා....මේක එකළ හදුන්වලා තියෙන්නේ දුල්ලෑව වලව්ව කියලයි......ඊට පස්සෙ , මේක ඒකාලේ මෙරට හිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ වාසභවනක් බවට පත්වුනා කියනවා.... ඉන්පස්සෙ රයිෆල් රෙජිමේන්තුව ලෙසත් මලබාර් හවුස් ලෙසත් පැවැතුණු මේ ගොඩනැගිල්ල 1869 වනතුරු එය ස්ටේන්ටන් හෝටලය නමින් කුඩා හෝටලයක් ලෙස භාවිතා කෙරුනලු.... 1869 දී එංගලන්තයේ ක්වීන්ස් හෝටල් සමූහය මේ හෝටලය මිලදී ගත්තට පස්සෙ තමයි මෙය, මහනුවර ක්වීන්ස් හෝටලය එහෙම නැත්නම් රැජන හෝටලය බවට පත්වුනා කියන්නේ..... "
"අම්මෝ ඔයා දන්න දේවල් ....ඉතිං මේ හෝටලයේ කාමර කීයක් තියෙනවද...?
" මේ වන කොට ක්වින්ස් හෝටලයේ කාමර 80ක් තිබෙනවා..... මේ තියෙන සියලු කාමර දළදා මාලිගාවට, නුවර වැවට එහෙමත් නැත්නම් හෝටලයේ පිහිනුම් තටාකය හෝ අවට කඳුවළල්ල දෙසට මුහුණලා තියෙන්නේ..... ඒවායේ තිබෙන විශාල ජනේල නිසා අවට පරිසරය හොඳින් දැකබලා ගන්න පුළුවන්..... මහනුවර දළදා පෙරහැර කාලෙට මේ හෝටලයට දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරිලා ඉතිරිලා යනවා..."
"එහෙනම් අපි ආයෙත් පෙරහැර කාලෙට මෙහෙ එමු, හෝටලේ කාමරයකම ඉදගෙන අපට පෙරහැර බලන්න පුලුවන් එතකොට ...."
"අපි දැන් කාමරයට ගිහින් ගොඩක් හවස් වෙන්න ඉස්සර, වොශ් එකක් දාගෙන , දළදා මාළිගාව වැදගන්න යමු....ඊට පස්සෙ නුවර වැව වටේ රෑ වෙනකම් ඇවිදිමු...."
"ඒක හොදයි ....අද දවල්ට බත් කාපු නිසා, තාම බඩ බැස්සෙත් නෑ, අපි හොටෙල් එකෙන් තේ එකක් බීලා, එහෙනම් දළදා මාළිගාව වදින්න යමු ...."
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා*






Comments