top of page

🌏කොන්ත්‍රාත්තුව🌏

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Aug 21, 2021
  • 7 min read

💥අදින් පටන් ගන්නා අලුත්ම නවකතාව 💥

(පළවන කොටස )


අභිමානවත් ශ්‍රී ලාංකිකයකු වු මට, මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවේ ”සිඩ්නි නුවරට" පැමිනෙන්න ලැබීම මට විශාල සතුටක් වි ඇත .....


ලෝකයේ ඇති සියලු නගර වලින්, ඉතාමත් දර්ශනීය තවත් අතිසුන්දර අගනගරයක් ලෙස ඔස්ට්‍රේලියාවේ "සිඩ්නි" නගරයද සැලකේ..... ඒවගේම

ලොව ඇති ඉතාමත් දර්ශනීය ස්වාභාවික වරායක් වන,

"පෝට් ජැක්සන්" ලෙස හැඳින්වෙන සිඩ්නි වරාය තුල ඇති, සිඩ්නි පාලම ලොව විශාලතම වානේ ආරුක්කු වලින් සාදන ලද තවත් එක් පාලමක් වන අතර,එය 1932 දී විවෘත කරන ලද්දකි. මෙම පාලම වරායේ උතුරු පැත්තේ සිට සිඩ්නි නගරයේ තදාසන්න ප්‍රදේශ සම්බන්ද කරනු ලබයි. මීටර් 500 ක් (අඩි 1,650) පමණ විහිදෙන එහි දිග දිගේ, පීලි 4 ක, අධිවේගී මාර්ගයක් සහ පදිකයින්ගේ පදික වේදිකා දෙකකින් සමන්විතය. සිඩ්නි පාළම අසලට එන හැම දවසකම, එය කෙසේ, මෙසේ නිම කරන්නට ඇත්තැයි, කියා මම ඒ දෙස බලාන කල්පනා කරන්නෙමි....හැම වසරකම අලුත් අවුරුදු උදාවේ, සිඩ්නි පාලමේ පවත්වන ගිනිකෙළි සංදර්ශනය ඉතාම වර්ණවත් සංදර්ශනයක් ලෙස මුළු ලෝකයේම ප්‍රචලිතය.


"පෝට් ජැක්සන්" නම් සිඩ්නි වරායේ ඇති ඒ තරමට විශාල අලංකාර "සිඩ්නි පාලමට" නැගෙනහිරින්, බෙනලොං පොයින්ට් හි, ඇත "ඔපරා" හවුසය ඊටත් වඩා බලන්න ලස්සන පියකරු දසුනක්ය.... එය නිර්මාණය කර ඇත්තේ 1973 දී රුවල් හා සිප්පි කටු හැඩයකටය.....

2007 දී යුනෙස්කෝව මගින්, ලෝක උරුමයක් ලෙස එයද නම් කර ඇත.

ඔස්ට්‍රේලියානුවන් බොහෝ අභිමානයෙන් භුක්ති විඳින අතිසුන්දර සෞන්දර්ය ඔපරා හවුසය හා සිඩ්නි පාලම, ඔස්ට්‍රේලියාවේ "සිඩ්නි නගරයේ" ඇති විශිෂ්ඨතම ස්තාන දෙකක් හා සංචාරක ආකර්ෂණීය තැන් දෙකක්ද වේ...


සෞම්‍ය උපනිවර්තන දේශගුණයක් තුල, පිරිසිදු, ආරක්ෂිත පරිසරය තුල ඇති ලොව ලස්සනම ස්වාභාවික වරායක් වන සිඩ්නි වරායේ දිලිසෙන නිල් දිය කඳ,.... ඇත්දළ පාටට බැබලෙන ඔපරා නිවස හා සිඩ්නි පාලම, සංචාරක ආකර්ෂණීය ස්ථාන බැලිමට දිනපතා, දේශීය හා විදේශීකයන් බොහෝමයක් ඇදෙන ස්තාන වේ. (මේ කොවිඩ් කාලයට පෙර 😁)


මිලියන 5 කට වැඩි ජනගහනයක් සිටින නගරයක් උනත්, සිඩ්නි නගරය වෙනත් ලෝක මහා නගර මෙන් කාර්‍යබහුල බවක් නොපෙන්වයි....නගර මධ්‍යය තරමක් සංයුක්ත වුවත් දවසක් පුරා පයින් ඇවිද යෑමට තරම් එය දර්ශනීය දසුන් බොහෝමයක් පිරි නගරයකි. බොහෝ විශාල , පැරැණි හා නවතම ගොඩනැගිලි වලින් යුක්ත, එකම දූවිලි බිදක් නැති, පිරිසිදුව පිළිවෙළට, හතර අතට විහිදි යන අධිවේගී පාරවල්, කෙටි පාරවල්, ඒ දෙපස ඇති විශාල වීදී ලාම්පු , ඒවායේ එල්ලෙන නොයෙක් වෛවර්ණ මල් බදුන්, ඒ අතර ඇදීයන සුඛෝපභෝගී වාහන, වටපිටාවේ ඇති නොයෙක් මාදියේ කඩ සාප්පු, විසිතුරු කෝපි හල්, නැවුම් මල් හල්, විශාල පැරණි ගස්කොළන් ,කොළපාට තණබිම් සහිත උද්‍යානය බිම් හා ඒවායේ එහෙ මෙහෙ කඩිනමින් ඇවිද යන බහුතර සුදු ජනයා, දකින මට, "සිඩ්නි නගරය පුරා මුළු දවසක් වුවත් නිදහසේ ඉබාගාතේ ඇවිද යාහැකි යැයි සිතේ......


නගර මද්‍යයේ සිට අවට ප්‍රදේශවලට කෙටි කාලයක් තුළදී, බස්, දුම්රිය, පෞද්ගලික වාහන හෝ නිදහසේ කෙටි පාර වලින් ඇවිදගෙනද ළඟාවිය හැකිය. පොළොව යටින් දිවෙනා දුම්‍ රිය මාර්ග පද්ධතිය, නියමිත තප්පරයක වෙලාවට, දුම් රිය නැවතුමට සැපත් වීම, මම ආසම කල දේවල් අතරවේ.


ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ විශ්වවිද්‍යාලයකට, වැඩිදුර ඉගෙන ගන්න පැමිණ මම, මෙරටේ දැන් අවුරුදු තුනක කාලයක් ගත කර ඇත. මේ වන විට මම අවුරුදු විසිඅටක සුන්දර තරුණියක බවත් කිව යුතුය.


මීට අවුරුද්දකට පෙර විශ්වවිද්‍යාලයේදී, මට මුණගැසුනු, ඔස්ට්‍රේලියානු ජාතික "ස්ටිවෝ "සමඟ මම ඇති කරගත් පෙම්සබඳ තාවය නිසා, මම දැන් බොහෝ සතුටින් කාලය ගත කරන්නෙමි. ඒ වගේම මේ වන විට මට, විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් විශයන්ට සම්බන්ධ පරිඝණක අංශයේ හොද රැකියාවක් ලැබී තිබීමත් මගේ සතුටට හේතුවකි.


ඔස්ට්‍රේලියාවට පැමිණි මුල් කාලයේ, ඉංග්‍රීසි කතා කිරීමේ අපහසුවෙන් පෙළුන මට, අවුරුදු තුනක විශ්වවිද්‍යාල ගමනත් සමඟ, මගේ ඉංග්‍රීසි කතා කිරිමේ හැකියාව, බොහෝ හොද මට්ටමකට පැමිණ තිබීම, මගේ වැඩකටයුතු කර ගැනිමට දැන් බොහෝ පහසු වි ඇත.


ඔස්ට්‍රේලියානු ජාතික මගේ, ආදරණීය පෙම්වතා වන ස්ටිව්වෝ සමඟ, නිදහසේ කතා බස් කරමින්, සිඩ්නි නුවර වටා ඇවිද යන්නට තරම් ආස වෙන දෙයක් මට තවත් නැත.


ස්ටිව්වෝ සමග, සිඩ්නි නුවර පෝට් ජැක්සන් ලෙස හැඳින්වෙන සිඩ්නි වරාය වටා හා ඔපරා නිවස වටා ඇති හිස් බිමේ, අත්වැල් පටලවා, තුරුළු වීගෙන ඇවිද යෑම, මේ වනවිට අප දෙදෙනාගේ හොදම විනෝදාංශය වී ඇත....


ඒ අවට බිමේ, සුපිරි ලෙසට දර්‍ශන වන "වුලූමූලූ සිට බරන්ගරු" දක්වා වූ , පෙදෙස, මැක්වරිස් මහත්මියගේ විශාල පුටුව අසල සිට නැවති බැලීමේදී පෙනෙන, විශාල නිල් ජලකඳ වටා ඇති විසිතුරු උස

ගොඩනැගිළි, අවන්හල්, සුන්දර දියකඳේ පාවෙන බෝට්ටු , නැව් හා අවට සොබාදහම විසිතුරු කරමින් එහෙ මෙහෙ පියාඹා ඇවිද යන,

දිග හොටක් සහිත සුදු අයිබිස් කුරුල්ලන්, සුදු රතු සීගල් කුරුල්ලන් දිහාද

නැවති මුළු පලාතෙම සුන්දරත්වය දැක බලා ගන්න ලැබෙන මොහොත තරම්, සිඩ්නි නුවර පදිංචිව සිටින සිඩ්නි නුවර වැසියන්ට වෙන සතුටුක් තවත් නැත.... ඒ ගැන ඔවුන්ට ඇත්තේ විශාල ආඩම්බරයකි.


"අපේ අම්මයි තාත්තයි කොච්චර අමාරු කම් තිබුනත්, එහෙට මෙහෙට ණය වෙලා හරි, මාව වැඩිදුර අධ්‍යාපනය සදහා මේ වගේ පිටරට විශ්වවිද්‍යාලයකට එවපු එක කොයිතරම් නම් නුවනැති වැඩක්ද කියලා මට නිතරම හිතෙනවා ස්ටිව්..... අන්තිමේ මටත් වාසනාව තිබුනා, මොන අමාරුකම් මැද හරි ඔස්ට්‍රේලියාවේ යුනිවර්සිටි එකක , ඉගෙන ගන්න.... මගේ අම්මට තාත්තාට ගොඩක් පිං මාව මේ වගේ රටකට එවන්න කල හැම දෙයක් වෙනුවෙන්ම ....."


"ම්ම්...ඒ හින්දනේ මට ඔයාවත් මුණ ගැහුනෙ...."

ස්ටිව් ආදරෙන් මාව තවත් තදින් බදාගෙන මගේ දෙතොල් සිපගත්තේ ආදරයෙන් මුසපත්වය.


"අපේ අම්මා ටීචර් කෙනෙක් නිසා, එයා දැනගෙන හිටියා, මොන අමාරුකම් මැද හරි මාව පිටරටකට ඉගෙන ගන්න ඇරියොත්, අපේ පවුලම කවදාහරි ගොඩ යනවා කියලා ....කවදාහරි මගේ නංගි, අය්යා ගැන උනත් මම බලනවා කියලා අම්මා දන්නවා....හැබැයි ඉතිං අපේ තාත්තා නම් අම්මා කියන දෙයකට ඔළුව වනාගෙන අහන් ඉන්නවා විතරයි .....අපේ ගෙදර අපේ අම්මා තමයි හැම දෙයක්ම හිතලා බලලා කරන්නේ....අපේ අම්මා මම වෙනුවෙන් මේ ගත්ත තීරණය කොයිතරම් වටින දෙයක්ද කියලා මට හැමදාම හිතෙන්නේ, මෙන්න මේ වගේ සිඩ්නි නගරයේ ඇවිදින්න ආපු දවසට තමයි ස්ටිව්....." සිඩ්නි සිටි" එකට ආපු දවසට මට, ආපහු ගෙදර යන්න හිතෙන්නේ නෑ ස්ටිව්..... මුළු දවසම උනත් මෙන්න මේ වගේ ඔයත් එක්ක ඇවිද ඇවිද ඉන්න තියෙනවා නම් මට, වෙන මොනවත් ඕනේ නෑ...."


ඔස්ට්‍රේලියානු ජාතික මගේ සුදු පෙම්වතාගේ අතේ එල්ලි මම සිඩ්නි නුවර ඇවිද යන්නේ බොහෝම සතුටින් නිදහසේමය.....


"ඇත්තටම ස්ටිව්වෝ...මට ඔයා වගේ හොද කෙනෙක්ව හම්බුනෙත් මම ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි යුනිවර්සිටි එකට ඉගෙන ගන්න ආව නිසා නේ....අපේ ආගමේ හැටියට නම් මට හිතෙන්නේ, අපි දෙන්නා මීට ඉස්සර ආත්ම වලත් , එකටම ආදරෙන් මෙන්න මේ වගේ ජීවත් වෙන්න ඇති කියලයි ....."


" මම ඔයාගෙ ආගම ගැන මොනවත් දන්නෙ නෑනේ චතුරි.....ඔයා දැන් ඔස්ට්‍රේලියාවට ඇවිත් මේ කීවෙනි අවුරුද්දද...?


"මේ තුන්වන අවුරුද්දනේ...ඔයාව හම්බුනේ ගිය අවුරුද්දෙනෙ මට...."

"චතුරි,ඔයාගෙ යුනිවර්සිටි එකේ වියදමට ඔයාගෙ අම්මලා තාත්තලා, තාමත් ලංකාවෙන් සල්ලි එවනවද..."


"නෑ ස්ටිව්.....මම ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න එනකොට අපේ අම්මලා මගේ පළවෙනි මාස හයේ ගෙවිම් කරලා තිබුනේ.... ඊට අමතරව මම ඔස්ට්‍රේලියාවේ නවතින්න ඇවිත් මාස හතරක් විතර යනකම් තමයි අපේ අම්මලා මට ලංකාවෙන් මගේ වියදමට සල්ලි එව්වේ....මම මේ රටට ඇවිත් මාස දෙකක් විතර යනකොට, අපේ යුනිවර්සිටි එකේ තව අඳුනන ළමයි එක්ක, රෑට රෑට ක්ලීනින්( පිරිසිදු කිරිමේ) ජොබ් එකකට ගියා. ....."


"රෑට...?


"ඔව්, දවල් දවසේ යුනිවර්සිටි යන නිසා , හවසට ගෙදර ඇවිත් රෑවෙනකම් එදා දවසේ ඉගෙන ගත්ත ඒවා බලාගෙන පාඩම් කරනවා.... ඊට පස්සෙ රෑ නමයට තමයි ,ක්ලීනින් ජොබ් එක පටන් ගන්නේ.... මම ඒ වෙලාවට තව යාළුවෙක් එක්ක තමයි ජොබ් එකට යන්නේ....ඒ ගිහින් රෑ දෙකට විතර තමයි ආපහු ගෙදර ඇවිත් නිදා ගන්නේ...."


"ඉතිං...ඊට පස්සෙ ඔයාට උදේට නැගිටලා යුනිවර්සිටි යන්න අමාරු උනේ නැද්ද ?


"නැත්තෙ මොකද...හරි අමාරුයි ...ඒ උනාට,අපේ අම්මලා මාව පිටරට උගන්වන්න එවන්න, සල්ලි හොයාගත්ත විදිහ මතක් වෙනකොට, මට තවත් මගේ වියදමට සල්ලි ඒගොල්ලන්ගෙන් ඉල්ලලා යවන්න හිතුනෙ නෑ..... .ඒ නිසා මම මගේ වියදමට සල්ලි ටික, මමම රෑට වැඩ කරලා හොයා ගත්තා.... මුල් මාස හතරක් විතරයි මම ඒගොල්ලෝ අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි මේ රටට ගෙන්න ගත්තේ ....මම ක්ලීනින් ජොබ් එකේ වැඩ කරන ගමන්, හොද ජොබ්ස් වලටත් ඇප්ලයි කලා,... මට වැඩි කාලයක් නොයා, "කොල්ස් සුපර්මාර්කට්" එකේ සෙල්ස් ගර්ල් කෙනෙක් විදිහට වැඩ කරන්න අවස්තාවත් ලැබුනා.... මම මගේ වෙලාව තියෙන විදිහට, දවල් දවසට එතන වැඩට ගියා. සෙනසුරාදා ඉරිදාට අනිවාර්යයෙන්ම වැඩට ගියා.... එහෙම රස්සාව කරලා හම්බ කරගත්ත සල්ලි වලින් මම, නැවතිලා ඉන්න තැන ගෙවල් කුළි ගෙව්වා...."


"ඔයා තනියම ගේකද නැවතිලා හිටියේ...."


"අපෝ නෑ, අපේ යුනිවර්සිටි එකේ බංගලාදේශ්, ඉන්දියාවේ තව ළමයි හතර දෙනෙක් එක්ක, තනි කාමරේ යුනිට් එකක් ඇරගෙන හවුලේ කුළිය ගෙවාගෙන තමයි අපි හිටියේ. ..."


"ඉතිං එක කාමරේ ගෙදර, ළමයි හතරදෙනෙක් ඉන්නෙ කොහොමද ?


"ළමයි දෙන්නෙක් තනි කාමරේ හිටියා, මායි තව ළමෙකුයි සාලේ පැත්තක ඇදකත්, සෙටියකත් තමයි නිදාගත්තේ.... අපි දෙන්නා සාලේ හිටිය නිසා අනෙක් දෙන්නට වඩා අපේ නැවතීමේ කුළිය අඩු උනා.....මම මුළින් එහෙමයි

අරපිරිමැස්මෙන් මේ රටේ ජීවිතයට පුරුදු උනේ..."


"එතකොට ඔයාගෙ කෑම බීම, .?


"අපි අපේ කෑම බීම වෙන වෙනම හදාගෙන කෑවා...සමහර දවසට මම ශ්‍රී ලංකාවේ කෑම හදලා අනෙක් තුන් දෙනාටත් දුන්නා...ඒ තුන් දෙනා, කෑම හදපු දවසට මටත් දුන්නා....ගොඩක් රෑ වෙලා වැඩ ඇරිලා එන දවසට මම මොනව හරි කඩෙන් ගෙනත් කෑවා...ගොඩක් වෙලාවට උදේට දවල්ට "මැක්ඩොනල්ඩ්ස් බන්ස්" තමයි අපේ කෑම උනේ...ලාභෙට මේ රටේ, අපි වගේ ඉගෙන ගන්න එන ළමයින්ට කන්න තියෙන එකම ලාභ කෑම මැක්ඩොනල්ඩ්ස් කෑම තමයි ..."


"ඉතිං ඔය හතර දෙනා, එකම බාත්රූම් එකද පාවිච්චි කලේ, .."


"ඔව්, නැතුව , හැබැයි අපි හතර දෙනා, ගෙදර හිටියේ එක එක වෙලාවට , එක්කෙනෙක් වැඩට යන කොට, අනිත් කෙනා යුනිවර්සිටි යනවා, තව කෙනෙක් ගෙදර ,තව කෙනෙක් වැඩට යනවා, එහෙමත් වෙලාවක තමයි අපි හතර දෙනාම එකට ගෙදර හිටියේ....එහෙම ගෙදර හිටිය දවසට අපි හතර දෙනා එකතු වෙලා සිඩ්නි සිටි එකේ හරි, නිව් සවුත් වේල්ස් වල නොදැක්ක, ලස්සන පැත්තක් හරි බලන්න යනවා...."


"ඔයගොල්ලන්ට වාහන තිබුනද එහෙ මෙහෙ යන්න ..."


"මේ රටට ඇවිත් අවුරුදු දෙකක් යනකම් අපි හැමෝම ගමන් බිමන් ගියේ, කෝච්චියේ හරි බස් එකේ හරි තමයි ...ඒකට ඉතිං අපි පඩි ගත්තහම " ඕපල්" කාඩ් එකට සල්ලි දාගන්නවා සුමානයකට හරි මාසෙකටම හරි ඇතිවෙන්න.... ඒක හරියට ලංකාවේ බස් සීසන් එක වගේ තමයි ......ඒ සීසන් (කාඩ්) එකෙන් නිව්සවුත් වේල්ස් වල, ඕන බස් එකක, කෝච්චියක, බෝට්ටුවක යන්න පුලුවන්.... "


"ගෑනු ළමයින්ම හතර දෙනෙක් එක්ක හිටිය නිසා, අර වගේ පොඩි තැනක් ඔයගොල්ලන්ට එකට ඉන්න පුලුවන් වෙන්න ඇති නේද...?


"ඔව්...අපි හතර දෙනාම වෙන වෙනස් රස්සාවල් කරාට, හම්බ කරන සල්ලි ටික බොහෝම පරිස්සමට පාවිච්චි කරලා කීයක් හරි ඉතුරුත් කර ගත්තා.... ඒ නිසා ලංකාවේ ඉන්න අම්මලාට මාව බරක් උනේම නෑ......අපිත් එක්ක හිටිය බංගලාදේශ් ගෑනු ළමයා තමයි ඉස්සෙල්ලම සල්ලි ඉතිරි කරගෙන කාර් එකක් ගත්තේ....එයා වැඩ කරේ මෙඩිකල් ලැබ් එකක, එයා මහන්සි වෙලා වැඩ කරපු නිසා, එයා සල්ලි ඉතුරු කරගෙන ලාභෙට කාර් එකක් ගත්තා එහෙ මෙහෙ යන්න...., වැඩට යන්න වාහනයක් මෙහෙ ඉන්න අයට ඕනමයි.....මේ රටේ වාහන හරි ලාභයි.... ඒ නිසා හැමෝටම වාහන තියෙනවනේ... . අර බංගලාදේශ් ළමයා, ඊට පස්සෙ වෙන කාමර දෙකේ එපාර්ට්මන්ට් එකක් කුලියට ඇරන් තව එක්කෙනෙක් එක්ක ඒකේ පදිංචියට ගියා..... සල්ලි හම්බවෙන කොට තමයි ඒ වගේ පහසුකම් තියෙන තැන් වලට ළමයි යන්නේ....."


"ඉතිං ඔයා, වාහනය ගත්තෙ කොයි කාලෙද...?


"වාහනේ ගන්න ඉස්සෙල්ලා, මමත් තව කාමර දෙකක් තියෙන එපාර්ට්මන්ට් එකක පදිංචියට ගියා, ඉන්දියාවේ ළමයත් එක්ක....ඒ අතර මම ඔස්ට්‍රේලියාවේ ඩ්‍රයිවින් ලයිසන් ගත්තා...ඒක නැතුව මේ රටේ මොනවත් කරන්න බෑනේ....ලංකාවේ අයිඩෙන්ටි කාඩ් එක වගේ තමයි , මේ ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ ඩ්‍රයිවින් ලයිසන් එකත්....කොතන ගියත් අපි ඒක තමයිනේ ඉදිරිපත් කරන්න ඕනේ..."


"ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ඉස්සෙල්ලා ,ඔයා මොකක්ද ඔයාව මේ රටේ ඉන්න අයට ඔයාව හදුනගන්න පාවිච්චි කලේ..."


"ඇයි....අපට යුනිවර්සිටි එකේ ලමයි අදුනගන්න කාඩ් එක තිබුනානේ.....ඒ උනාට ඊට ඉස්සෙල්ලා ඔස්ට්‍රේලියාවේ "පොටෝ කාඩ්" එකත් ඇරගෙන තියාගන්න උනා, අපේ හදුනාගැනිම සඳහා. ...."


"ඉතිං ඔයා, වාහනයක් ඇරන් ,ඉන්න හොද තැනක් හදාගත්තේ මේ රටට ඇවිත් කොච්චර කාලෙකට පස්සෙද...?


" මට නම් අවුරුදු දෙකකට වැඩිය කාලයක් ගියා හරියට පිලිවෙලක් වෙන්න....මම අර "කොල්ස් සුපර්මාර්කට්" එකේ රස්සාවට අමතරව තවත් රස්සාවල් දෙකක් විතර කලා,.... ඉස්කෝලෙන් පස්සෙ ගෙවල්වල ඉන්න පොඩි ළමයි බලාගන්න ගියා, වැඩිහිටි නිවාස වල වැඩිහිටි අය බලා ගන්න ගියා, ඒවායේ උයන්නත් ගියා, ඉගෙන ගන්න ගමන් සල්ලි හම්බ කරන්න පුලුවන් හැම දෙයක්ම මම කලා, .....ඒවට ලැජ්ජ වෙන්න ඕනෙ නෑ.....මෙහෙ යුනිවර්සිටි වල ඉන්න ගොඩක් ළමයි ඒවා කරනවා තමන්ගෙ වියදම හොයා ගන්න.... කොටින්ම මේ රටේ ඉස්කෝලේ යන ළමයිනුත් ,ඉස්කෝලෙන් පස්සෙ රස්සා කරලා තමන්ගෙ වියදම හොයා ගන්නවා. ඒකට ලැජ්ජ වෙන්න දෙයක් නෑ..... මගේ මහන්සියේ ප්‍රතිඵල නිසා, මම අද හොද තැනක ඉන්නවා....ඒක මට ලොකු සතුටක් ,ආඩම්බරයක් ....මගේ අම්මලා තාත්තලාට මම බරක් නොවි, මගේ ඉගෙනීමේ කටයුතු කරගෙන ගිය එක ගැන මට හරි සතුටුයි ස්ටිව්....."


"ඒ උනාට මම අහලා තියෙනවා ,සමහර පිටරටවල් වල ඉදන් මේ රටේ ඉගෙන ගන්න එන ළමයි, දිගටම තමන්ගෙ දෙමව්පියන්ට කියලා ඒ රට වලින් වියදමට සල්ලි ගෙන්න ගන්නවා කියලා ...."


"ඔව්...ඒ වගේ කම්මැලි ළමයිනුත් ඉන්නවා තමයි .....ඒත් මේ වගේ රටකට ආවොත්, උවමනාවෙන් මහන්සි වෙලා වැඩ කරොත්, ඒ කියන්නේ මම වගේ ඉගෙන ගන්න ගමන් රස්සා දෙක තුනක් හරි කරොත් ගොඩ යන්න අමාරු නෑ...සමහර ළමයි ඉන්නවා යුනිවර්සිටි යන කාලේ , අපි කලා වගේ පොඩි ජොබ්ස් කරන්න කැමති නෑ....ලොකු ජොබ් හම්බ වෙනකම් බලාගෙන ඉදගෙන, දෙමව්පියන් ලවා සල්ලි මේ රටට ගෙන්න ගන්නවා.... මේ රටවල් වල ඉගෙන ගන්න එන ළමයින්ට මේ රටේ ආන්ඩුවෙන්, අවශ්‍ය හැම පහසුකමක්ම සලසලා දීලා තියෙනවා, ළමයින්ට දියුණු වෙන්න, ඉගෙන ගන්න උදව් කරනවා. ඒක තේරුම් ඇරගෙන වෙන රටවලින් මේ රටට ඉගෙන ගන්න එන ළමයි වැඩ කරන්න ඕනේ, ඒකෙ ප්‍රයෝජනය ගන්න ඕනේ කියලයි මට හිතෙන්නේ ...."


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page