✈️එතරින් එතෙරට ✈ (37වෙනි කොටස )
- Prisila Godahewa

- Dec 5, 2021
- 5 min read
"ඒ කියන්නේ දැන් ඔයා ලෑස්තියි මාත් එක්ක අපේ ගෙදර නවතින්න යන්න ....මට හරිම සතුටුයි...."
"හැබැයි මට නම් බෑ මේ පළාතේ නවතින්න ....කොහේ හරි ඈතකට යනවා නම් විතරක් මම යන්න එන්නම් ...."
"ඒක හරි අපට මේ පළාතේ ජීවත් වෙන්න බෑ....අඳුනන අය හැම තැනම නිසා, ....අපි කොහේ හරි ඈතකට යමු.....මම පුලුවන් ඉක්මනට ඒ දේවල් ලෑස්ති කර ගන්නම්......ඔයා පන්සලේ ඉවරකරගන්න ඕන වැඩ ටික ඉවර කරලා, ලෑස්ති වෙන්න මාත් එක්ක ගිහිජිවිතයට යන්න ...."
විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ කිව් ලෙස මම, පන්සල තුළ කිරීමට නියමිතව තිබූ වැඩ කොටස් පුළුවන් ඉක්මනට, පුලුවන් ප්‍රමාණයෙන් නිම කර දැම්මෙමි..... මට නියමිත ඉතිරි වැඩ කොටස්, පන්සලේ පොඩි හාමුදුරුවන්ට කරන හැටි, පිළිවෙළට කියා දුන්නෙමි..... පන්සලේ වැඩකටයුතු වලින් නිදහස් උන මම....,හිතින් ගතින් පැවිදි දිවියට සමුදී..... , ගිහි ජීවිතයට යන්න පුරුදු පුහුණු වෙමින් ඉදින්නෙමි ......
සුමුදු නිතර නිතර පන්සලට විත්, අපි දෙදෙනා පටන් ගන්න යන අලුත් ගිහි ජීවිතය ගැන සැලසුම් මට කියයි...... ඇගේ අඟර දඟර සිනාවට මම දැන් සම්පුර්ණයෙන්ම වශී වී හමාරය.....ඇය අමතක කරන්න බැරි තරමට මම ඇය කෙරෙහි බැඳි ඇත....ඉපදුනදා සිට අම්මා තාත්තාගෙන් වත් හරි හමන් ආදරයක් නොලද මම.... ...., ජීවිතේ මුල්ම වරට හිතට දැනුනු, සුමුදුගෙ සුන්දර ආදරය හමුවේ අන්ධ වි ඇති හැටි.....ඇගෙන් ලද ආදරය හමුවේ, මම පොඩි දරුවෙක් ගානට ඇය කියන සියලු දේට කැමති වෙමින්, ඇයට අවශ්‍ය දෙයක් කරන්න හැර මම බලා සිටින හැටි.....,
"අපි එහෙනම් පුලුවන් ඉක්මනට මෙහෙන් පිට වෙලා යමු....මම අපේ ගෙදර කුළියට දෙන්න ඉඩකඩම් විකුනන නියෝජිතයෙක්ට භාර දුන්නා.....ඊට පස්සෙ අපි දෙන්නට නවතින්න ටිකක් ඈත පැත්තක ගෙයක් මම කුළියට බලලා තියෙන්නේ ....ඒ ගේ හම්බවුනාම අපි දෙන්නා මෙහෙන් යමු...."
" එහෙනම් එහෙම කරමු...."
සුමුදු මගේ ඉදිරිපිට මවා ඇති සුන්දර ලෝකය, ජීවිතය ගැන මම දැන්, සිහින මවමින්, ආශාවෙන් මත්වි හිදින්නෙමි..... ඇයත් සමග අලුත් ගිහි ජීවිතය කවදා පටන් ගම්දෝයි කියා සිතමින් මම දැන් සිහින මවන්නෙමි.....
හැමදාම හවසට තෙල් මල් රැගෙන පන්සල් එන සුමුදු ,බෝධි පූජාවට සහභාගි වෙන්නේ මට කෑමබිමද රැගෙනය .... හවස බුද්ධ පූජාව ඉවර වී අනිත් බැතිමතුන් පන්සලෙන් යනකම් ඇය, පන්සලේ රැඳී හිදියි..... ඇය ආපසු ගෙදර යන්නේ මා සමග කතා කරමින් ඉඳ බොහෝ රෑ බෝ වූ පසුය..... මට දැන් ඇගේ සමාගම නැතුවම බැරි ගානය.....මෙවැනි පිරිසිදු උතුම් බිමක, පරිසරයක, පැවැද්දෙකුට අකැප දේ කරමින්, සිල්පද කඩමින් ගෙවන මේ පව්කාර ජීවිතය ගැන තේරුම් ගත් මම.....තවත් මගේ ජිවිතයට පව් පුරවා නොගෙන ඇය සමග ගිහිගෙය සොයා යන්නට සිත හදාගත්තෙමි.....
“දැන් අපි මෙහෙන් ගිහින් කොහේද නවතින්නෙ...."?
මම මගේ අනාගතය කෙසේ විසඳේවි දැයි තවම නොදනිමි.....
“මම අපට නවතින්න තැනක් ලෑස්ති කරලා තියෙන්නෙ, ඒවා පස්සෙ කියන්නම්........මුලින්ම මෙහෙන් යන දවසට, ඔයාට තියෙන්නෙ පන්සලෙන් එළියට එන්න විතරයි ....අනෙක් දේවල් මම බලාගන්නම්..... මම මගට එන්නම් ඔයාව එක්ක යන්න......”
“දැන් හෙට හවස තමයි මට එයාර්පෝට් යන්න තියෙන්නෙ…... ලොකු හාමුදුරුවො අපේ පන්සලේ දායකයෙක්ව ලෑස්ති කරල මාව එයාර්පෝට් එක්ක යන්න......ඒත් ඇත්තටම මට ගුවන් තොටුපොළට යන්න අවශ්‍ය නෑනේ ....මම කොහොමද ඒ කෙනාගෙන් වසංවෙලා ඔයා ලඟට එන්නේ.....”
“ ඒක කරන්න ඕන විදිහ මම කියන්නම්......ඔයා ඔයාගෙ ඇදුම් බෑග් එක ඇරගෙන එයාර්පෝට් එකට යන්න....., එතනින් බැහැලා එයර්පෝට් එක ඇතුලට යන්න වෙනසක් නොපෙන්වා.....එතනදි බාත් රූම් එකට ගිහින් මම ඔයාට ගෙනත් දුන්න අලුත් ඇඳුම් ඇඳගෙන එයාර්පෝට් එකෙන් එළියට එන්න..... මම මගේ වාහනය තියාගෙන එළියෙ ඉන්නම්......"
“මගේ හිතට නම් මොකක්ද වගේ සුමුදු ...... හිතට කවදාවත් නැති තටමට බයක් දැනෙනෙවා......මම ගිහි ජීවිතයට යන්න ඉස්සරම, කරන්න හදන හොර බොරු නිසා, මගේ හිතට හරි නෑ....මම ලොකු පාපකර්මයක් කරන්නේ කියලත් දන්නවා…..මට දැන් ආපසු හැරෙන්න බැරි බවත් දන්නවා ....ඒ ඔයාගෙ ආදරය නිසා වෙනස් උන කෙනෙක් නිසා....හරි මම දැන් .... ඊට පස්සෙ ඔයත් එක්ක ගිහින් මොනවද කරන්නෙ ?........ මට රස්සාවල් කරලා පුරුද්දකුත් නෑ කියලා ඔයා දන්නවානේ ....”
"‘ඔයාට උපාධියක් තියෙනවනෙ..... අපි රස්සාවක් හොයාගන්න බලමු.....‘‘
‘‘මගේ ඉංග්‍රීසි දැනුම මදි මේ රටේ හොඳ රස්සාවක් කරන්න ...ඒ නිසා රස්සාවක් හොයාගන්න නම් බැරි වෙයි කියලා හිතෙනවා .....‘‘
“අපි ඒව පස්සෙ බලමු. මට ජිවත් වෙන්න ඇති තරමට සල්ලි තියෙනවා ..... ඒ නිසා ඔයා ඒ ගැන වද වෙන්න එපා…..ඔයා මම කිව්ව විදියට හෙට රෑ හතට එයාර්පෝට් එක ඉස්සරහට එන්න..... මම එයාර්පෝර්ට් එක ඉස්සරහට ඇවිත් කාර් එක නැවැත්තුවහම ඔයා ඇවිත් වාහනයට නගින්න......කිසි වෙනසක් පෙන්වන්න යන්න එපා.....”
මගේ ජීවිතයේ අවුරුදු 36න් අවුරුදු 24ක්ම, මම පැවිදි දිවියේ ගතකළේ ඉතා පිරිසුදු සිල්වත් භික්ෂූවක් ලෙසය ..... මම හෙට පැවිදි දිවිය අත්හැර ගිහිගෙය සොයා යන්නට සැරසෙන හැටි......
මම බුදුගෙට ගොස් බොහෝ වේලාවක් බුදු මැදුරේ දණ ඔබා වැදගෙන සිටියෙමි....මම දන්න සියලු ගාථා කියමින් බුදුන් වැන්දෙමි....පිරිත් කිව්වෙමි ....වෙනදා මෙන් භාවනා කරන්න උත්සහ කලත් ,කවදාවත් නැති තරමට මගේ හිත චංචල වි ඇති බැවින් මට හිත එක තැනක තියාගන්නට බැරි වි භාවනා කිරිමට නොහැකි විය.....මගෙ ඇස් ඉදිරිපිට සුමුදු හිනහෙමින් එහෙට මෙහෙට යන හැට් පෙනෙන්න විය.........මට මගේ හිත එක තැනක තබාගෙන භාවනා කිරිමට නොහැකි විය ....මට ඇති උනේ ලොකු දුකකි.....මගේ ඇස්වලට කඳුළු එන්නට විය....අවුරුදු ගානක් හිතේ නිදහසින් සතුටින් , බැතිබරව බුදුන් වැද භාවනා කල මට ,අද එය කිරිමට නොහැකි වි ඇත ....මම හෙට දිනයේ ආරංභ කරන්න යන අලුත් අලුත් ගිහි ජිවිතය ගැන පමනක් සිතමින් මගේ හිත නැවති ඇති හැටි. .....
මම බුදුන් වැද ,මේ කරන්න යන අනුවණ ගමන වෙනුවෙන් බුදුන්ගෙන් සමාව ගත්තෙමි ...
මගේ අඟහිඟකමෙන් පෙළුණු ළමා කාලය, තරුණ කාලය, මගේ පැවිදි දිවිය ආරම්භ කළ දවසේ සිට සිදු වූ සියලු දේ මම මුළ සිට අගට මෙනෙහි කළෙමි......මගේ සසර ගමන තවත් දික්කර ගැනීමට සිදුවීම ගැන නම් ඇත්තේ කියා නිම කළ නොහැකි තරම් දුකකි..... ජීවිතය පුදුමාකාරය..... මට අවශ්‍ය නැති මොහොතක පැවිදි වීමට මට සිදු විය..... කිසිසේත් නොසිතපු ලෙස විවිධ රටවල සංවාරය කිරීමට මට අවස්ථාව ලැබිණ..... හොඳ සිල්වත් භික්ෂූවක් ලෙස පැවිදි දිවිය ගතකළ මම......
හෙට දින පැවිදි දිවිය අතහැර ගිහි දිවිය සොයා යෑමට සැරසෙන්නෙමි..... අපි ජීවිතයේ සිතන පතන දේ එලෙසම සිදු නොවේන බව දන්නෙමි ...... අපි ගිය ආත්මයේ කරපු පින්පව් අනුව සෑම දෙයක්ම සිදු වේන බව දනිමි.....ගිය ආත්මයක මම කරපු පවක් මේ පටිසන් දෙන්නට පටන් ගෙන වත්ද....? ඇයි මට මගේ හිත ශක්තිමත් කරගෙන පැවදි දිවියේ ඉදිරියට යන්නට බැරි .... ආලයෙන් අන්ධ වි සිටිනා මම, මට හිමි කර්මයට තනියම මුහුන දීමට සැරසෙන හැටි ....
“අපි එයාර්පෝට් එකේ ඉඳලා ඊට පස්සෙ කොහාටද යන්නේ සුමුදු ....?
අපි යන තැන් ගැන, මමත් දැනගත යුතු නිසා, සුමුදුගෙන් සැකයෙන් ඇසුවෙමි .....
‘‘මම හෙට රෑට අපි දෙන්නට නවතින්න ගෙස්ට් හවුස් එකක් බුක් කළා...., එයාර්පෝට් එකේ ඉඳන් කිලෝමීටර් 100ක් විතර දුරක.....”
“ඊට පස්සේ‘‘?
“දවස් තුනක් අපි ඒ ගෙස්ට් හවුස් එකේ ඉඳලා.... ඊට පස්සෙ අපි ලංකාවට යනවා සුමාන දෙකකට....... මම ලංකාවට යන්න එයර් ටිකට් දෙකක් බුක් කරලා, ඔක්කොම දේවල් ලෑස්ති කරලා තියෙන්නේ........ඔයාට වෙනසකටත් එක්ක මම ලංකාවට යන්න හිතුවේ....අපි ලංකාවේ වටේ ඔයා කැමති තැන් බලන්න යමු..... ”
"ලංකාවේ ගිහින් අපි කොහේද නවතින්නෙ?‘‘
“ අපි නවතින්නේ හෝටල් වල...
නුවර.....කොළඹ ....අපි එහේ ගිහින් පෑලෑන් කරමු යන්න ඕන දිහා....."
“ඊට පස්සෙ?‘‘
“මම ආසයි කවුරුත් අපිව අදුනන්නේ නැති රටකට ගිහිල්ලා ජීවත් වෙන්න..... අපි ඒවා ලංකාවට ගිහින් ඇවිත් පස්සෙ සැලසුම් කරමු.....”
‘‘එතකොට ඔයාගේ ගෙවල් දොරවල්...?‘‘
‘‘මම ඒ හැම දෙයක් ම පිළිවෙළක් කරල ඉවරයි..... මම ගේ භාර දුන්නා ඉඩකඩම් බලාගන්න ආයතනයකට..... ඒගොල්ලො ගේ බඩුත් එක්කම කුලියට දීලා මාස පතා මට කුලිය එවයි...... පස්සෙ කාලයක ගිහින් ගේ විකුණලා දානවා..... අපි දෙන්නවම දන්න අය ඉන්න පැත්තක ඉන්න මමත් ආස නෑ.....‘‘
“ඒකට නම් මමත් කැමැතියි.‘‘
“එහෙනම් දැන් ගොඩක් රෑ උනා…...මම දැන් යන්නම්..... අපි හෙට හවසට හම්බ වෙමු.....පරිස්සමින් එන්න....හිත බය කරගන්න එපා....වැරදි ගමනක් නෙමේ ඔයා යන්නේ....හිතේ සතුටින් හරියට සිවුරේ ඉන්න බැරි නම් සිවුර හැර යන එක පවක් නෙමේ....”
"ඔව්...සිවුරේ ඉඳගෙන හිත එක තැනක තියාගෙන නිවන සොයා යන්න බැරි නම්...., පව් වැඩ නවත්වලා, හිතේ එකඟතාවයකින් මේ ගමන යන්න ඕනේ කියලා මම හිත හදාගෙන ඉන්නේ....මේ හැම දෙයක්ම ඔයා නිසා උන දේවල් .....ඔයාගෙ ආදරය නිසා මම, හැම දෙයක්ම අතහැරලා එන ගමනක් මේ..... "
ඇය සුරතල් බෑල්මක් හෙලා, ඇසින් ද ඉඟිමරා සිනා සෙමින් යන්නට ගියාය....
මම මගේ කාමරයට ගොස් හෙට දින ගිහි ජීවිතයට ගෙන යා යුත්තේ මොනවා දැයි කල්පනා කරන්න පටන් ගත්තෙමි ..... මට ගෙන යෑමට ඇත්තේ සුමුදු ගෙනත් දුන් කලිසම් දෙක, ෂර්ට් දෙක, සපත්තු දෙක සහ තොප්පිය පමණි.... ගුවන්තොටුපළට ඇඳගෙන යා යුතු කොරියන් සිවුර, දිනපොත හා දුරකථනයට අමතරව වෙන කිසිම දෙයක් මට ගෙන යෑමට නැත.....
පැවදි දිවියට සමුදි.....නැවත
ගිහි ජිවිතයට යන්නට තීරණය කළාට පසු, සුමානයකින් මම හිස මුඩු නොකළ බැවින්, දැන් යාන්තමට හිසකෙස් එළියට ඇදී ඇවිත් ඇත..... සුමුදු පැවසුවේ, ඇය ගෙනත් දුන් තොප්පිය දමාගෙන හෙට ගුවන්තොටුපළෙන් එළියට එන්න කියායි...
අම්මා කෙනෙක් පොඩි දරුවෙකුට යමක් කියනා කල..., දරුවා ඒ සියල්ල ඇය විශ්වාස කරනා ලෙස....,සුමුදු කියන ලෙස හැම දෙයක්ම මම දැන් කරන්නෙමි..... ගිහි ජීවිතය තවමත් මා පටන් ගෙන නැත...
නමුත් මම දැන්ම සුමුදු ගේ අතේ නැටවෙන රූකඩයක් ගානට වැටි ඇත.....
-නැවත හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments