** එතෙරින් එතරට නවකතාවේ අවසන් කොටස් කිහිපය....**
- Prisila Godahewa

- May 27, 2020
- 4 min read
(33 වෙනි කොටස )
මේ දිනවල මම නිතර උදේ හවස බුදු මැදුරට ගොස් බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට එරමිණියා ගොතා වාඩි වී බොහෝ වේලාවක් ඔහේ කාලය ගෙවා දමන්නෙමි . මාගේ ගෙවුණු අවුරුදු 36ක ජීවිත කාලය තුළ සිදු වූ සියලු දේ සිහිපත් කරමින් කාලය ගත කරන්නෙමි. ඒ හැම දවසකම දුක් වුණේ නිවන සොයා ගමන් ගත් මාර්ගය නැතහොත් සංසාර ගමන කෙටි කර ගැනීම සදහා, මම මෙපමණ කාලයක් ගමන් ගත් මාර්ගය හිටි හැටියේ වෙනස් කරගැනීමට මම ගත් තීරණය ගැනයි. සංසාර ගමන තව දික්කර ගැනීමට මම ම සැරසෙන ආකාරය ගැන සිතමින් හිත යට ඇති දුක සමග සුමුදු සිහිවු විට හිතේ නලියන ආශාවන්ද සමග මම මේ දිනවල විශාල සටනක් හිතින් මෙහෙයවමින් කාලය ගත කරන්නෙමි.
අවුරුදු 24ක් පුරාවට ඉතා පිරිසුදු ලෙස මහණ දම් පිරූ මා, අද සිත අපිරිසුදු කරගෙන ඇත. මට මේ ලෙස තවදුරටත් පන්සලේ ජීවත් විය නොහැකිය. මටම මා ගැන දැන් ඇත්තේ පිලිකුලකි. මෙවන් හිත කිලිටි කරගත්තෙකු කොහොමද මෙවැනි ශුද්ධ භූමියක ජීවත් වෙන්නේ...කාට බොරු කලත් මට මගේ හෘදසාක්ශියට බොරු කල නොහැක. මෙපමණ කාලයක් මා විශ්වාස කල හාමුදුරුවරුන්ට කොහොමද මම බොරු කර මුහුන දෙන්නේ….. තව දුරටත් මම මගේ හෘදසාක්ශියට නොගැලපෙන දේ කරමින් මෙම පන්සලේ ජීවත් විම මම වැනි මෙපමණ කලක් සිල්වත්ව විසු කෙනෙකුට කැප දෙයක් නෙමේ යැයි මගේ හිත මට නිතර කියයි..……
ගිහි ජීවිතය ගැන සිහින මවමින් මම මේ කරන පවුකාර දිවිය අත හැර මගේ හිත ගත් තැන මම සොයා යා යුතුයි. මේ සිටින ලෙස දෙලොවක් අතර හිදිමින් කරන නොහොබිනා වැඩය මෙම ශුද්ධ භූමියෙන් පිටවී කරනා දෙයක් කර යුතුයි යන තීරනයට අවසානයේ මම පැමිනියෙමි. කොහොම හරි හිත හදාගෙන අවුරුදු 24ක පැවිදි දිවිය අත්හැර, ගිහිගෙය සොයා යන්නට මම තීරණය කර ගත්තෙමි.
විහාරගෙයි බුදු රුව ඉදිරිපිට වැඳ වැටී මා බුදුන්ගෙන් සමාව යැද්දේ මා කරන්න යන වැරදි වැඩය ගැන සිතමින් සිතින් අඬමින් ය.
විහාර ගෙයින් නික්ම මම කොරියන් පන්සලේ ලොකු හාමුදුරුවන් බැහැ දැකීමට උන්වහන්සේගේ කුටියට ගියෙමි.
‘‘‘එන්න එන්න යේචිං හාමුදුරුවනේ.‘‘
උන්වහන්සේගේ කරුණා ගුණය නිසා මම මේ නවසීලන්තයේ වීසා ලැබ අවුරුද්දක් වගේ කාලයක් ඉතා පහසුවෙන් නිදහසේ ජීවත් වුණෙමි.
“‘මොකක් හරි ප්‍රශ්නයක්ද?
“මම ලංකාවට වැඩම කරන්න කියලා ලොකු හාමුදුරුවනේ.”
‘‘ඇයි හදිස්සියක්ද?
“ටික කාලයක් එහෙ ගිහින් ඉන්න කියලා.”
‘‘යේචිං හාමුදුරුවන්ගේ කැමැත්තක්, කවද්ද යන්න හිතාගෙන ඉන්නේ ?
“ පුලුවන් ඉක්මනට එන සුමානෙ උනත් කමක් නෑ….
“ ඉක්මනටම ගුවන් ටිකට්පත ලෑස්ති කර ගන්න එහෙනම්….... හොඳමයි….. යන්න ඉස්සර, ඔබවහන්සේට කරන්න නියමිත පන්සලේ වැඩ ටික ඉවර කරලා යන්න වෙයි.”
“එහෙමයි හාමුදුරුවනේ , මම ඒ වැඩ ඉවර කරලා යන්නම්…...”
නවසීලන්තයේ කොරියන් පන්සලේ ලොකු හාමුදුරුවන් ඉතා කාරුණික කෙනෙක් ය. මහණ වූදා පටන් ලොකු හාමුදුරු යටතේ හොද සිල්වත් ස්වාමීන් වහන්සේලා නමක් ලෙස ජීවත් වුන මට බොහෝ ස්වාමීන් වහන්සේලා බොහෝ කැමැත්තෙන් සිටයාහ.
නවසීලන්තයේ කොරියානු පන්සලේ ලොකු හාමුදුරුවන්ට මා සිවුරු හැර ගිහිගෙය සොයා යන බව කීමට තරම් ශක්තියක් මට තිබුනේ නැත. උන්වහන්සේට බොරුවක් කීමට වීම ගැන දහස් වාරයක් මම හිතෙන් පසු තැවුණෙමි. ගිහිගෙය පටන් ගන්නත් පෙර බොරු කියන්නට වීම පාපයකි. දැන් පසුපස බැලිය නොහැකි ය. සිතූ ගමන යා යුතුව ඇත.
ගෙවුණු සතිය තුළ මට පන්සල තුළ කිරීමට නියමිත ව තිබූ වැඩ කොටස් පුළුවන් ප්‍රමාණයකට මම නිම කර දැම්මෙමි. මට නියමිත ඉතිරි වැඩ පන්සලේ පොඩි හාමුදුරුවන්ට පිළිවෙළට කියා දුන්නෙමි. මම දැන් පැවිදි දිවියට සමුදීමට හිතින් හා ගතින් පුරුදු පුහුණු විය යුතු ය.
සුමුදු නිතර නිතර පන්සලට විත් අප පටන් ගන්න යන අලුත් ගිහි ජීවිතය ගැන සැලසුම් මට කියයි. ඇගේ අගර දඟර සිනාවට මා දැන් වශී වී හමාර ය. කොයි වෙලේ ඇයත් සමග අලුත් ගිහි ජීවිතය පටන් ගම්දෝයි මම දැන් සිහින මවන්නෙමි. ඇය හැමදාම හවසට තෙල් මල් රැගෙන පන්සල් විත් බෝධි පූජාවට සහභාගි වෙයි. ඒ එන විට මට කෑමබිමද හදාගෙනද පැමිනෙයි. හවස බුද්ධ පූජාව ඉවර වී අනිත් බැතිමතුන් යනකම් ඇය අනිත් අයට හොරෙන් පන්සලේ රැඳී හිදියි. ඇය ආපසු ගෙදර යන්නේ මා සමග කතා කරමින් ඉඳ බොහෝ රෑ බෝ වූ පසු ය. මට දැන් ඇගේ සමාගම නැතුව ම බැරි ගානය. එබැවින් මම ඇය සමග ගිහිගෙය සොයා යන්නට සිතින් හා ගතින් සැදී පැහැදී උන්නෙමි .
“දැන් අපි කොහේද .....මෙහෙන් ගිහින් නවතින්නෙ? මම මාගේ අනාගතය කෙසේ විසඳේ දැයි නොදනිමි.
“මම අපට නවතින්න තැනක් ලෑස්ති කරලා තියෙන්නෙ, ඒවා පස්සෙ කියන්නම්........මුලින්ම මෙහෙන් ගිය දවසට, ඔයාට තියෙන්නෙ පන්සලෙන් එළියට ගිහින් ඉන්නයි.... මම මගට එන්නම් ඔයාව එක්ක යන්න..”
“දැන් හෙට හවස තමයි මට එයාර්පෝට් යන්න තියෙන්නෙ…... ලොකු හාමුදුරුවො අපේ පන්සලේ දායකයෙක්ව ලෑස්ති කරල මාව එයාර්පෝට් එක්ක යන්න.”
“ඒක හොඳයි ඔයා ඔයාගෙ බෑග් ඇරගෙන එයාර්පෝට් එකට ගිහින්, එතනදි බාත් රූම් එකට ගිහින් මම ඔයාට ගෙනත් දුන්න අලුත් ඇඳුම් ඇඳගෙන එයාර්පෝට් එකෙන් එළියට එන්න. මම මගේ වාහනය තියාගෙන එළියෙ ඉන්නම්."
“මගේ හිතට නම් මොකක්ද වගේ. හිතට කවදාවත් නැති තටමට බය හිතෙනවා. ලොකු පාපකර්මයක් මම කරන්නේ කියලත් හිතෙනවා…. මම ඊට පස්සෙ ඔයත් එක්ක ගිහින් මොනවද කරන්නෙ ?........ මට කාලෙකින් අතේ පයේ වැඩ කරලා පුරුද්දකුත් නෑ.”
"‘ඔයාට උපාධියක් තියෙනවනෙ. අපි රස්සාවක් හොයාගන්න බලමු‘‘
‘‘මගේ ඉංග්‍රීසි දැනුම මදි නිසා හොඳ රස්සාවක් හොයාගන්න නම් බැරි වෙයි.‘‘
“අපි ඒව පස්සෙ බලමු. මට ජිවත් වෙන්න ඇති තරමට සල්ලි තියෙනවා . ඒ නිසා ඒ ගැන ඔයා වද වෙන්න එපා…..
"ඔයා මම කිව්ව විදියට හෙට රෑ හතට එයාර්පෝට් එක ඉස්සරහට එන්න. මම ඇවිත් කාර් එක නැවැත්තුවහම ඔයා ඇවිත් වාහනයට නගින්න.”
: මගේ ජීවිතයේ අවුරුදු 36න් අවුරුදු 24ක්ම මා පැවිදි දිවියේ ගතකළේ ඉතා පිරිසුදු කෙනෙකු ලෙසය. මම හෙට පැවිදි දිවිය අත්හැර ගිහිගෙය සොයා යන්නෙමි. මම බුදුගෙට ගොස් බොහෝ වේලාවක් බුදු පිළිම වහන්සේ ළඟ දණ ඔබාගෙන, මාගේ අඟහිඟකමෙන් පෙළුණු ළමා කාලය, මාගේ තරුණ කාලය, පැවිදි දිවිය ආරම්භ කළ දවසේ සිට සිදු වූ සියලු දේ මෙනෙහි කළෙමි. සසර ගමන තවත් දික්කර ගැනීමට සිදු වීම ගැන ඇත්තේ කියා නිම කළ නොහැකි තරම් දුකකි. ජීවිතය පුදුමාකාර ය. මට අවශ්‍ය නැති මොහොතක පැවිදි වීමට මට සිදු විය. කිසිසේත් නොසිතපු ලෙස විවිධ රටවල සංවාරය කිරීමට මට අවස්ථාව ලැබුණි. හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙකු ලෙස පැවිදි දිවිය ගතකළ මම, අද පැවිදි දිවිය අතහැර ගිහි දිවිය සොයා යෑමට සැරසෙන්නෙමි. අප ජීවිතයේ සිතන පතන දේ එලෙසම සිදු නොවේ. අප ගිය ආත්මයේ කරපු පින්පව් අනුව හැම දෙයක් ම සිදු වේ යැයි සිතිය යුතු ය. තමන්ට හිමි කර්මයට තමන්ම මුහුන දිය යුතුය.
“අපි එයාර්පෝට් එකේ ඉඳලා ඊට පස්සෙ කොහාටද යන්නේ? මම දැනගත යුතු දේ සුමුදුගෙන් ඇසුවෙමි.
‘‘මම හෙට රෑට අපි දෙන්නට නවතින්න හෝටලයක් බුක් කළා, එයාර්පෝට් එකේ ඉඳන් කිලෝමීටර් 100ක් විතර ඈත.”
“ඊට පස්සේ‘‘?
“දවස් තුනක් ඒකෙ ඉඳලා අපි ඊට පස්සෙ ලංකාවට යනවා සුමාන දෙකකට....... මම ලංකාවට යන්න එයර් ටිකට් දෙකක් බුක් කරලා ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ........ ”
"ලංකාවේ කොහේද නවතින්නෙ?‘‘
“නුවර.....කොළඹ ....
“ඊට පස්සෙ?‘‘
“මම ආසයි අපි දෙන්නව කවුරුත් දන්නෙ නැති රටකට ගිහිල්ලා, ඊට පස්සෙ ජීවත් වෙන්න. අපි ඒවා ලංකාවට ගිහින් පස්සෙ සැලසුම් කරමු.”
‘‘එතකොට ඔයාගේ ගෙවල් දොරවල්?‘‘
‘‘මම ඒ හැම දෙයක් ම පිළිවෙළක් කරල ඉවරයි. මම ගේ භාර දුන්නා ඉඩකඩම් බලාගන්න ආයතනයකට. ඒගොල්ලො ගේ බඩුත් එක්කම කුලියට දීලා මාස පතා මට කුලිය එවයි. පස්සෙ කාලයක ගිහින් ගේ විකුණලා දානවා. අපි දෙන්නවම දන්න අය ඉන්න පැත්තක මම ඉන්න ආස නෑ.‘‘
“ඒකට නම් මමත් කැමැතියි.‘‘
“එහෙනම් දැන් ගොඩක් රෑ උනා… අපි හෙට හවසට හම්බ වෙමු.”
ඇය සුරතල් බෑල්මක් හෙලා, ඇසින් ද ඉඟිමරා සිනාවෙමින් යන්න ගියේ පුදුම සතුටකිනි.
- හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *





Comments