**එතෙරින් එතරට **
- Prisila Godahewa

- Jun 1, 2020
- 5 min read
Updated: Jun 3, 2020
(36 වෙනි කොටස )
පාන්දර 4.30 ට මට පුරුද්දට මෙන් ඇහැරිනි. ඇදේ උඩුපෙලි අතට ඉදගෙනම මම මේ කොහේද ඉන්නේ කියා කල්පනාකරන විට මගේ ලග, ඇදේ එහාපැත්තේ නිදන සුමුදු ගේ එක අතක් මගේ ඇග උඩින් වැටි ඇති බව දැනින. ඇය හොදටම නිදි බව මට අඩ ඇදුරේ ම පෙනින. ඒ සමගම පසුගිය දිනයේ සිදුවුන සිදුවීම් එකින් එක මට සිහිපත් වුනි.
පන්සලෙන් පිටවී ආ හැට්….ගුවන් තොටුපොළේ වීවේකාගාරයේදි ඇදුම් මාරු කරගත් හැටි….. සුමුදු ගෙ වාහනයට නැගපු හැටි…..ඇය සමග 100 km පමන දුරකට ආ ගමන…..බොහෝ දුරක තිබුනු මෙම නවාතැනට ආහැටි….ඊයේ රාත්‍රිය සුමුදු සමග ගෙවුණු හැටි…… හරි පුදුමාකාරයි…..මම ඉපදුනේ කොහෙද …...හැදුනෙ කොහෙන්ද …. හිටියේ කොහෙද…..ලොකේ කොහේ කොහේ ඇවිදින්න ගිහින් ඇතිද මම ….....මොනවාද මම කාලයක් තිස්සේ කරේ …...මම මොනවාද දැන් මේ කරගෙන තියෙන්නෙ… ඇයි මෙහෙම කරේ… කිසි දෙයක් හිතා ගැනීමට නොහැක. අපල කාල ආපුහම තමන් කරන්නේ...කියන්නේ...හැසිරෙන්නේ...මොනවාද කියලා හිතා ගැනීමට ඕන කෙනෙකුට නොහැකි වනවා ඇති….දැන් මේ පටන් ගත් ජිවිතය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දිගටම මම පවත්වා ගත යුතුයි.
සීතලට තද ඝනකම් පොරොවනය තුලට වී තවම නිදන සුමුදු ගොඩ වේලාවකට නැගිටින පාටක් නැත . ඇයගේ උවමනාවටම මගේ මුලු ජීවිතයම වෙනස් කල ඇය…..කොයිතරම් නම් ප්‍රභල චරිතයක්දැයි මට සිතේ. පැවිද්දෙක් ලෙස මම අවුරුදු ගනනාවක් හොදින් මහන දම් පිරූ මම මේ මොනවාද කරගත්තේ කියා විටින් විට සිතට එයි. සංසාර ගමනින් එතෙර වෙන්නට පෙරුම් පුරමින් ගිය ගමන ඇයි මම මෙලෙස එය දික් කර ගන්න හිත හදාගත්තේ …..පාප සිතිවිලි වලට හිත හදාගත්තේ ඇයි…..ඒ සිතිවිල්ල හිතට එන මොහොතේ ඒසැනින් එය හිතෙන් අස්කරගන්න මම දැන් උත්සහ ගත යුතුයි යන්න තදින් හිතට ගත්තෙමි.
සුමුදු තාම හොද නින්දේය. දොරරෙදි හැරදමා තිබෙන ජනේලයෙන්, හොද හැටි ඈත මිටියාවතේ ලග එලි පෙනේ. ජනේලයෙන් එලියේ ඇත්තේ තවම උදාසන කලුවරයි. මීදුම වැටී දැන් නම් මිටියාවත නොපෙනේ. සුමුදු නැගිට්ටාට පසු එම කොල පාට මිටියාවතේ ඇවිදින්න යා යුතුයි මට සිතේ.
හෙමිහිට සුමුදුට නොදැනෙන්න ඇදෙන් බැස ගත් මම නාන කාමරයට ගොස් මූණකට සෝදාගෙන ආවිට කෝපි කෝප්පයක් බොන්නට ඇත්නම් යැයි සිතුනි….
හෙමිහිට ඉලෙක්ටිරික් කේතලයට වතුර තියා, මේසය උඩ තිබුනු පුංච් කෝපි, සීනි, පැකට් කඩා දමා කෝපි කෝකෝප්පය හදාගත් මම විශාල ජනේලය ලගට ගොස් එලිය බලාගෙන කෝපි බොන්නට විය. ජනේලයෙන් එලියේ බොහෝ ලගකට වෙනකම් මීදුම වැටී ඇති නිසා දැන් අවට මුකුත් නොපෙනේ…..නමුත් ඈතින් ලාවට උදේ ඉර එලිය වැටිගෙන එන හැටි පෙනේ…. එයින් අවට ඇති අදුර නැතිවීයාගෙන යන බවද පෙනේ.
කෝපි කෝප්පය බී අහවර උනාට පසු මට කරන්න දෙයක් නොවීය. ජනේලය ලග ඇති පුටුවේ හරි බැරි ගැහි වාඩිවුන මම වෙනදා පන්සලේදි අවුරුදු 24 පුරාවට කල බුදුන් වැදීම හා පිරිත් කීම හිතින්ම ගාථා කියන්න පටන් ගත්තෙමි. සුමුදුට නොඇසෙන්න එය කලෙමි. පිරිත් කියා අවසන භාවනා කලේ හරිම පහසුවෙන් නිදහස් පරිසරය දෙස සිතින් බලානය.
"ඔයා මොකද කරන්නේ..?
සුමුදු පැමින මගේ උරහීසට වාරුවන තෙක් භවනා කල මට එක පාරටම ඇගේ සද්දෙට ඇහැ ඇරුනි.
"මම තේ හදන්නද..?
" මම නම් කෝපි එකක් හදාගෙන බිව්වා."
"ඔයා කීයටද නැගිට්ටේ…?
"පුරුද්දට උදේ 4.30 පුරුද්දට ඇහැරුනා."
"අයියෝ….ඔයාට පිස්සුද...අද වගේ දවසක වත් ටිකක් නිදා ගන්න බැරිද?
"පරන පුරුදු අතාරින්න හරි අමාරුයි ".
"ඒ උනාට ඔයා දැන් වෙනස් වෙන්න ඕනෑ…..ඉස්සර කරපුවා දැන් අමතක කරලා දාලා මාත් එක්ක සතුටින් ජීවත්වෙන්න ඕනේ …. "
" ඔව් මම සතුටින් ඉන්න උත්සාහ ගන්නවා. "
" එහෙනම් මම හෝදගෙන එන්නම් ...අපි කෙලින්ම බෆේ එකට ගිහින් උදේට කමු…."
"උදේට කන්න කොහේටද යන්න ඕනේ"
"මේ ගෙස්ට් හවුස් එකේ රෙස්ටුරන්ට් එකට යන්න ඕනේ, අපිට කන්න ඕන වුනාම….බය වෙන්න එපා ඔයත් ලෑස්ති වෙලා එන්න ….."
උදේ ආහාරය ගන්න ගෙස්ට් හවුස් එකේ රෙස්ටුරන්ට් එකට අපි යනකොට එහි වයසක් සුදු ජෝඩු පහක් හයක් පමන් උදේ ආහාර ගනිමින් සිටියාහ.
" ඔයා මොනවාද කන්නේ…. මම නම් පාන්පෙති දෙකක් බිත්තරයක්, සොසේජස් දෙකක් එක්ක කාලා පලතුරු කනවා….
" මටත් එහෙම හොදයි. සොසේජස් එපා….ඒවා හරක් මස්, ඌරු මස් වලින් හදපුවා නේ….
"මෙ රටවල කුකුල් මස් වලින් සොසේජස් තිබුනට මේ ගෙස්ට් හවුස් වල වැඩිපුර තියෙන්නේ මේ රටවල අය කන්න කැමති කෑම වර්ග තමයි "
"මට ඔය මොනවත් එකයි...හැබැයි ඒ මස් වර්ග නම් මම කන්නෑ….
" කාලයක් මාත් එක්ක ඉන්නකොට ඔයාට ඒවා පුරුදු වෙයි."
අපි නැවති හිටිය කාමරයට පෙනුන කොල පාට තැනිතලාව, උදේ කෑම ගන්න, අපි වාඩිවී සිටිනා රෙස්ටුරන්ට් එකේ මේසය ලග ඇති වීදුරු පෙලෙන් එහාටද හොදින් පෙනේ….අවට ඇත්තේ අදුර සහ මීදුමයි.
"තව කන්න….අපි කෑම කාලා ටිකක් අර තැනිතලාව පැත්තේ ඇවිදින්න යමු…..ඒ ගිහාම දවල්ට අපි මොනවා හරි එලියෙන් කාලා එමු."
"එලිය ගොඩක් සීතල ඇති.."
" නෑ…..ඊයේ රෑ තරම්ම නැතුව ඇති…....
උදේ ආහාරයෙන් පසු අපි හොදින් ඇග වැහෙන්න සීතල ඇදුම් ඇදගෙන තොප්පි දෙකක්ද දමාගෙන මීදුම වැටුනු තැනිතලාවේ ඇවිදින්න ගියෙමු.
" හරිම ලස්සන පැත්ත…..අර ඈත තැනිතලාව ඉවර වෙන තැන දිගටම ඇති කදු වලල්ල හරිම ලස්සනයි නේද ? ."
"නවසීලන්තයේ කොයි පැත්තක ඇවිදින්න ගියත් මේ වගේ තමයි ...හරිම ලස්සනයි . ඒ වගේම තමයි සමහර පැති වල උනු දිය උල්පත්, උනුදිය පොකුනු, ගිනිකඳු , පුපුරා නොයන පැරනි ගිනිකඳු , හුනුගල් තියෙන පැති, හැම දෙයක්ම තියෙනවා. ඒ විතරක් නෙමේ සමහර පැති වල පොඩි පොඩි භූමි කම්පා, පොලොව හෙලෙවෙන පැතිත් තියෙනවානෙ…..
" හරි පුදුමයි නේද මෙච්චර ලස්සන රටේ ඒ වගේ දේවල් තියෙන එකත්…"
ඒක තමයි ස්වාභාව ධර්මයා නිර්මාණය කරපු දේවල්…..හොද දේවල් වගේම නරක දේවලුත් සම සමව බෙදලා දීලා තියෙනවා .
" අපි දැන් හෙට රෑටද ලංකාවට යන්න ගුවන් තොටුපොළට යන්නේ…?
" ඔව් ඔක්කොම දේවල් ලෑස්තියි . අපට යන්න විතරයි තියෙන්නේ…."
" අර බලන්න අර….සුදුපාට කොකොටුවෝ රෑන...හරිම ලස්සනයි නේද? මම ආසම කුරුලු වර්ගය. උන්ගේ ඔලුවේ උඩ තියෙන රැලි ටික හරියට ඔටුන්නක් වගේ….කොකොටුවෝ අවුරුදු හැටක් විතර ජීවත් වෙනවා කියන්නේ ඇත්තද ?"
" මමත් එහෙම අහල තියෙනවා ."
අපි කොල පාට තැනිතලාවේ වැටි තිබු හීන් පාර දිගේ බොහෝ දුරක් ඇවිද ගියෙමු. සුමුදු මගේ අතේ එල්ලි පොඩි ලමෙක් ගානට වට පිටාවේ ඇති දෑ පෙන්වමින් විහිලු කරමින් ඇවිද යන්නේ දගකාර යුවතියක් ගානටය .
තැනිතලාව අවසන් වුයේ රිදීපාට වතුර ගලායන දියපාරකිනි. ඒ දිය පාරේ එහෙට මෙහෙට පීනා යන කලු හංසයින් කොයිතරම් නම් ලස්සනද … ලොකු උන් වගේම පුංච් පුංච් හංස පැටවුන්ද පීන පීන කෑම සොයයි. අවට ඇති මීදුම හා අදුර නිසා සීතලක් තිබුනත් හොදින් සීතල ඇදුම් ඇදගෙන ඉන්නා නිසා අපට ඒ ගැන ගානක් නැත.
"අර කදුපාමුල තියෙන පුංච් පාරේ අපි තව ටිකක් ඇවිදින්න යමුද ?...
" වෙන වැඩකුත් නැති එකේ ඇවිදගෙන යමු තව දුරට ".
ලා කොළපාට පයින් කදු යාය පාමුල ඇති කලු ගල්පතුරු අතුරා හදා ඇති පාර දිගේ අපි අත් අල්ලාගෙන ඔහේ ඇවිද ගියෙමු. අවට ඇති විශාල ගස්වල කුරුමිණි වගයක් එක හුස්මට කෑගසයි. ඔවුන් පේන්න නැතත් ඔවුන්ගේ ශබ්දය නම් වැඩි වැඩියෙන් ඇසෙයි. ඉදහිට එම පාරේ යන එන වාහන වල ඉන්නා සුදු ජාතිකයන්ට අපි ගැන නිනව්වක් නැත. බල්ලන් සමග වයායාමය සදහා ඇවිදින යන සුදු ජාතිකයන් ද මේ පැත්තේ එහෙ මෙහෙ පෙනේ. හරිම නිදහස් පරිසරය. ඕන තරම් දුරක් ඇවිදින්න හිතෙන තරම් ය.
"මේ පැත්තේ පොඩි ටවුන් එකක් එහෙම ඇති….මේ.. මිනිස්සු එහෙම යනවා පේන්නේ …...
"ඔව් අනිවාර්යයෙන්ම ඇති ...ඇපි දැන් දවල් වේගෙනත් එන නිසා මොනව හරි කාලා, කෝපි එකක් බීලම ගෙස්ට් හවුස් එකට යමු.
අපි ඇවිදගෙන ගිය පාරේ තිබුන සුදු ජාතික ජෝඩුවක්, පවත්වාගෙන යන පුංච් පුටු මේස තියා හදන ලද ලස්සන පුංච් කෝපි කඩයට ගොඩවී ඉද ගත්තෙමු.
"මොනවාද කන්නේ….?
"බර්ගර්ස් චිප්ස් තමයි තියෙන්නේ …"
" එහෙනම් ඒවා කාලා කෝපි බොමු.
කෝපි කඩයේ පැය එකහමාරක් පමන වාඩි වී ගිමන් නිවාගෙන දවාලට බර්ගර්ස් චිප්ස් කා කෝපි බිවු අපි නැවත ගෙස්ට් හවුසය බලා ගිය පාරෙන්ම නැවත හෙමිහිට ඇවිද ගිවෙමු.
පලවන දෙවන දිනවල් එසේ ගෙවීගියේ සුමුදු සමග පටන්ගත් අලුත් ජීවිතය මගේ ජීවිතෙ වෙනස්ම ආකාරයක දින චරියාවකට පුරුදු කරමින.
නමුත් සුපුරුදු පරිදි උදේ පාන්දරින් නැගිටන මම සුමුදු උදේ නැගිටින්න ප්‍රතම මගේ වැදුම් පිදුම් බාවනා ක්‍රම නම් කරන්න අමතක නොකෙරුවෙමි. කරන්න වැඩක් නැති මම පාලුව ගෙවා ගන්නේ පරන ජීවිතයේ පුරුදුත් සමගමය.
"තව පැයකින් පමන අපට එයාර්පෝර්ට් එකට යන්න තියෙනවා බෑග් එහෙම ඔක්කොම ලෑස්තියි නේද…
" ඒවානම් වැඩිය ඇද්ද නැති නිසා ගෙදරින් එනකොට තොබුන විදිහටම තියෙනවා. "
" එතකොට ඔයාගෙ කාර් එකට අපි මොකද කරන්නේ"
"ඒක අපි එයාර්පෝර්ට් එකේ කූලී කාර් දෙන තැනකට මම දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ….ඒ ගැන අපට කරදරයක් නෑ…
" ඔයා හැම දෙයක්ම හරි ලස්සනට ප්ලෑන් කරලා නේ මේ ගමන ඇවිත් තියෙන්නේ ….."
"ඔයාව මට අයිති කරගන්න ඕනේ කියලා හිතුනට පස්සෙ මම මේ දේවල් ඔක්කොම තනියම හිතලා කරගත්ත දේවල් නේ…..
"මම හිතුවට වඩා ඔයා හරි දක්ශයිනේ…."
ගෙස්ට් හවුස් එකේ දින දෙකක් ගත කල අපි එයින් නික්ම ගුවන් තොටුපොළ බලා ගමන් ඇරබුවෙමු. සුමුදු පුරුදු ලෙසම ගෙස්ට් හවුස් එකේ සිට ගුවන් තොටුපොළ දක්වා වාහනය පදවාගෙන ගියාය. අප දෙදෙනා ඔහේ ආගිය තොරතුරු කතා කරමින් ගුවන් තොටුපොළේ කුලී වාහන අංගනය දක්වා පැමිනියෙමු . වාහනය භාරදුන් පසු අප දෙදෙනා ගුවන් තොටුපොළ ඇතුලට අපේ බෑග්ද රැගෙන ගියෙමු
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *





Comments