top of page

**එතෙරින් එතරට **

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jun 1, 2020
  • 4 min read

(34 කොටස)


මම මාගේ කාමරයට ගොස් හෙට දින ගිහි ජීවිතයට ගෙන යා යුත්තේ මොනවා දැයි කල්පනා කළෙමි. මට ගෙන යෑමට ඇත්තේ සුමුදු ගෙනත් දුන් කලිසම් දෙක, ෂර්ට් දෙක, සපත්තු දෙක සහ තොප්පිය පමණි. ගුවන්තොටුපළට ඇඳගෙන යා යුතු කොරියන් සිවුර, දිනපොත හා දුරකථනයට අමතරව වෙන කිසිම දෙයක් මට ගෙන යෑමට නැත. මෙම ගමන යන්නට තීරණය කළාට පසු, සුමානයකින් මා හිස මුඩු නොකළ බැවින් දැන් යාන්තමට හිසකෙස් එළියට ඇදී ඇත. සුමුදු පැවසුවේ, හෙට තොප්පිය දමාගෙන ගුවන්තොටුපළෙන් එළියට එන්න කියායි.

ඇය කියන ලෙස දැන් මම සියලු දේ කරන්නෙමි. ගිහි ජීවිතය තවමත් මා පටන් ගෙන ද නැත. නමුත් මා දැන් සුමුදු ගේ අතේ තියෙන නූල්පටෙන් නටවන රූකඩයක් ලෙස මටම මා පෙනේ.

එදින රාතියේ මම නිදාගන්නට ගියේ පසුදින ගෙන යන බෑගය ලෑස්ති කර මම විසුව කාමරයද අසපස් කර දමාය.

පසුදින දවසම පන්සලේ අමතර වැඩ හැම එකක්ම හොදින් හොයා බලා ඉවර කලෙමි. හවස තුනවන විට පන්සලේ බුදුමැදුරට ගොස් හොදින් වැද පුදාගෙන බුදුපියාණන් වහන්සේගෙන් මා යන ගමනට සමාව ගෙන ලොකු හාමුදුරුවන්ගේ ආවාසෙට ගියෙමි.

"යේචිං…. එයර්පෝට් යන්න ලෑස්තිද?

"එහෙමයි ලොකු හාමුදුරුවනේ"

"මේ මුදල් අවශ්‍ය උනොත් වියදමට ගන්නකෝ."

කියා උන්නාන්සේ මගේ අතේ ලියුම් කවරයක් තිබ්බේය.

"ඔබවහන්සේට බොහොම පිං…..මට කරපු සියලු උදව් වලට…. මම උන්නාන්සේ ගේ තෙපතුල් වැද අවසර ගත්තෙමි.

මාව ගුවන් තොටුපොළට කැදවා ගෙන යන්නට පැමිනි තරුන කොරියානු මහත්මා සමග මම වාහනයට නැග ගුවන් තොටුපොළ දක්වා ගියෙමු.

සුමුදු කියූ ලෙස හැම දෙයක් ම සිදු විය. කොරියන් බැතිමතා මා ගුවන්තොටුපළෙන් බැස්සූ පසු, ගුවන් තොටුපොළ ඇතුලට ගොස් ටිකක් එහේ මෙහේ ඇවිද ඉද ටික වේලාවකින් එහි වැසිකිළියට ගිය මම, මාගේ කොරියන් සිවුර ගලවා දමා, සුමුදු ගෙනත් දුන් ඩෙනිම් කලිසම හා ෂර්ට් එක ඇඳ, සපත්තු දෙකද දමා ගත්තෙමි. තොප්පියද දමාගෙන මාගේ අඩුම කුඩුම ඇති බෑගය කරේ එල්ලා ගෙන වැසිකිළියේ කණ්ණාඩිය ඉදිරිපසට ගියෙමි.

මට ම ඇස් අදහාගත නොහැකි විය. කණ්ණාඩිය ඉදිරිපස හිටගෙන සිටියේ හොඳ උසමහත සුන්දර පෙනුමැති තරුණයෙකි. ජීවිතයේ ගෙවුණු අවුරුදු 36 ටම මා මෙවැනි කලිසමක් ඇඳ නැත. පුදුම සැහැල්ලු ඇඳුමකි. නමුත් හිතට නුහුරු නුපුරුදු බවක් හා බයක් දැනේ….. හදවත නොනවත්වා ගැහෙන්න ගත්තේය. නමුත් හිතට බලෙන්ම ශක්තියක් ගෙන වටපිට නොබලා සියලු දේ අමතක කොට, හොඳ පුරුදුකාරයෙක් ලෙස මම ගුවන්තොටුපළෙන් එළියට ආවෙමි.

කවුරු හරි දකියි, දැනගනියි කියා සැකෙන් මෙන් ම බියකින්ද මම පසු වුණෙමි. මා ගුවන්තොටුපළේ මගීන් නග්ග ගන්නා ස්ථානයේ කොනට වී සිටින විට මාගේ දුරකථනය නාද විණි. එය අතට ගත් විට මට එහා පැත්තෙන් සුමුදුගේ කටහඬ ඇසුණි.

‘‘මම දැන් මගේ කාර් එකේ ඔතනට එනවා. ඉක්මනට වාහනයට නගින්න, වෙනසක් නොපෙන්වා.”

‘‘එහෙමයි‘‘, ‘නෑ නෑ හොඳයි.‘‘

මම දැන් මගේ කතා විලාශය වෙනස් කර ගත යුතුව ඇත.

සුමුදුගේ වාහනය ඈතදීම හඳුනාගත් මම වාහනය නවත්තපු සැණින් ඉදිරිපස දොර ඇර ඉස්සරහ සීට් එකෙන් වාඩි වුණෙමි.

සුමුදුගේ මුහුණ බැලීමට මට අපහසු ය. මම කිසි කතාබහක් නැතිව වාහනයේ ජනේලයෙන් එළිය බලාගෙන සිටියෙමි. සුමුදුද කිසි කතාබහක් නැතුව වාහනය පදවයි. නගරයේ තදාසන්න බව මග හැරී පාළු ප්‍රදේශයක දැන් වාහනය ගමන් කරයි. මට කතා කිරීමට වචන නැත.

“ඉතිං කොහොමද?

සුමුදු සිනාසෙමින් මගේ අත අල්ලා ගත්තේ සුක්කානම එක අතකින් අල්ලාගෙන අනෙක් අතින් වාහනය පදවන ගමන් ය.

“හොඳයි‘ මම මගෙ අත එලෙසම තියාගෙන උන්නෙමි.

“මේ මොකද අත අයිස් කැටයක් වගේ. හිනා වෙලා ඉන්නකෝ. දැන් අපි දෙන්නා විතරනේ ඉන්නෙ….. හඳුන ගන්නත් බැරි තරමට ඔයා වෙනස් වෙලා. ඔයා හරිම කඩවසම් කෙනෙක්නෙ….... අපරාදෙ මට ඔයාව හම්බ වුණේ පරක්කු වෙලානේ... කාලෙකට උඩ දී හම්බ වුණා නම් අපට ලොකු ළමයිනුත් ඉන්නවා මෙලහකට.‘‘

සුමුදු එසේ කියා හයියෙන් සිනාසෙන්න පටන් ගත්තාය.

මට ඇගේ මුහුන බැලීමට තරම් අපහසුය. ටික වේලාවක් අහක බලන් ඉද මම හොරෙන් සුමුදුගේ මුහුණ බැලීමි. ඇයගේ මුහුණේ සතුට දෝරෙ ගලයි. කිසිත් නොකියා මම වාහනයේ ජනේලයෙන් එළිය බැලුවෙමි.

මාගේ සිත කියාගත නොහැකි අමුතු හැඟීම් ගොන්නකින් පිරී ඇත. ඒ යටින් කියාගත නොහැකි දුකකුත් ඇති බව වැටහේ. සුමුදු මොනවදෝ කියවයි, මට ඒවාට උත්තර දීමට අවශ්‍ය නැත. කිසිදෙයක් නොඇසුනු ගානාට මම ජනේලයෙන් ඈත අහස දෙස බලාගෙන සිටියෙමි. දැන් වෙලාව රාත්‍රි හතට පමන ඇත

අවට දසත හොදටම කලුවර කරගෙන් එයි. කුරුල්ලෝ රංචු ගෑසි කැදලි සොයා පියබා යනවා චායාවන් ලෙස පෙනේ.... මට ඈත කළුවර අහසේ එළිය දෙමින් පායා එන පසළොස්වක පුන්සඳ දැකගන්නට ලැබුනි. තැටියක් ලෙස දිස්නෙ දෙමින් පායා එන පසලොස්වක පුන්සඳ දැක මට පන්සලේ බෝ මළුව සිහි විය. බෝ මළුවේ මා සක්මන් කරනවා සිහිනෙන් මෙන් මට පෙනින. ඒ සමග ම මට ඈතින් ඉතා මිහිරි හඬින් පිරිත් සජ්ඣායනාවක් මගේ දෙසවන් තුළ රැව් දුනි. මට නොදැනුවත්ව ම අත් දෙක එකතු කර සාදු සාදු කියවිණි.

"මේ මොකද විසල් මේ…... පිස්සුද...මේ පන්සල නෙමේ.. දැන් ඔයා මාත් එක්ක ඉන්නේ….ඒ නිසා පරන දේවල් අමතක කරලා මාත් එක්ක සතුටින් ඉන්න …. සුමුදු නොරිස්සුමෙන් සේ කීය.

අපි දැන් කොහේද මේ යන්නේ ? නින්දෙන් ඇහැරුනු ලෙස මා උන්නේ උඩ යට මාරුවෙලාය.

එක අතක් මගේ අත උඩින් තියාන අනිත් අතින් වාහනය පදවන "සුමුදු" ගෙන් මම ඇසුවේ පන්සලෙන් පිටවුන වෙලේ සිට නොනැවතී ගැහෙනා පපුවේ අතක් තියාගෙනමය.

"ඔන්න ඔහේ කොහේ හරි යමු........ ඇය සිනාසෙන්නේ පොඩි ළමෙක් ගානටය. සුමුදුට මගේ සිත තේරුම් ගැනීමට අවශ්‍ය නැති ගානයි.. ඇය සිනා සෙන්නේ සතුටින් උදම්වය.

අවුරුදු විසිහතරක කාලයක් පන්සල් හත අටක ජීවත් උන මා... අද මොන හිතකින් මෙලෙස පන්සලෙන් එලියට බැස්සා දැයි සිතා ගන්නට බැරුව තවමත් මා සිතමින් ලත වෙන්නෙමි.

"අද රෑට අපි මෙතන ඉදන් 100km විතර දුරක තියෙන "ගෙස්ට් හවුස්" එකක නවතින්න මේ යන්නේ..... ඒ ගෙස්ට් හවුස් එක තියෙන්නේ කැලෑවක් මැදට වෙන්න. මම හොයලා බැලුවා . හරි ලස්සන තැන , ඔයාට තපසට යන්න හිතෙයිද දන්නෙත් නෑ....…. සුමුදු හිනා වෙන්නේ මට සමච්චලයට මෙන්‍ ය.

" හෙට පෝය වෙන්න ඇති අර.. අර..ගස් අස්සෙන් හද පායාගෙන එන්නේ."

"ඔව් හෙට පෝයනේ."

" උපාසක ඇත්තෝ හෙට ඔයාව හොයයිද දන්නෑ"..

සුමුදු තවත් හිනා වෙයි. තවමත් මාව තේරුම් ගන්න මේ ගෑනිට බැරි හැට්….... හිතේ ඇතිවුන කේන්තියෙන් වේගයෙන් පියබා යන ජනෙල් කවුලුවෙන් මා එලිය බැලුවේ සුමුදු ගේ හිනාවෙන් බේරෙන්න වත් පුලුවන් වෙයිද බලන්නයි.

"ඔයාට බඩගිනිද? මම සැන්ඩ්විච් වගයක් හදලා ගෙනාවා...තේ බෝතලයකුත් තියෙනවා . අපි තව ටිකක් දුරට ගිහින් වාහනය නවත්තලා රෑට කාලා තේ බොමු."

සුමුදු වාහනය එලවන ගමන් එක දිගට කතා කරයි. ඇගෙ කතාවට ඇහුම්කන් දෙන්න වත්, ඒවට උත්තර දෙන්නවත් මට උවමනාවක් නැත. මම ඇස් දෙක පියාන සීටි එකේ පිටුපසට හිස ඇල කර ගත්තෙමි.

අම්මා ,තාත්තා පවුලේ අය ,ලොකු හාමුදුරුවෝ, පන්සල්, දායකයෝ, උපසක උපාසිකාවෝ මගේ ඇස් ඉදිරිපිට පෙනි පෙනි නොපෙනී යයි. මම කවුද ? කොහේද හිටියේ , මම මොනවාද කරේ..දැන් මේ කොහේද යන්නේ….මට තෙරුම් ගන්න බැරි අවුල් ගොඩක පැටලී ඇතැයි සිතේ….

මීට අවුරුදු 36 කට උඩදි මම කොහේද හිටියේ. කා එක්කද හිටියේ….මගේ හිත බොහෝ ඈත මතකයක් වෙත ගමන් කරයි.

සීතල හුලං .… හෙල් මලු ක්‍රමයට එලවලු වගාවන් ඇති කදු කරය ...කුස්සියේ දර ලිප ලග දුම් පිබින අම්මා...හවසට පරන එලවලු බෑගයක් රැගෙන කදු පාමුලේ සිට ගෙදරට කන්ද නැගගෙන එන තාත්තා.....පුංච් අපි තාත්තා කදු පාමුලෙන් කන්ද නැගගෙන එනකම් ගේ දොරකඩ , බලාහිදා හැල්මේ ඔහු ලගට දුවන මල්ලි ,නංගි, මම...කෝ...අද ඔවුන්..


- හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page