
**එතෙරින් එතරට **
- Prisila Godahewa

- May 27, 2020
- 6 min read
(32 වෙනි කොටස )
සුමුදු නෝනා කිසි ගානක් නැතුව කී දේයින්…....මම උඩ ගොස් බිම වැටිනි. මම ඇය සමග කතාවට ගියේ පන්සල් එන අනිත් ගෑනු අය සමග කතා කරනා පරිද්දෙන්මයි. ඒත් ඇයි මම ගැන ඇය වැරදි විදිහට හිතාගෙන ඉන්නේ …..කා එක්ක උනත් පරිස්සමට කතා කල යුතුයි….. පොඩ්ඩක් බුරුල දුන්නොත් කරේ නගින්න එනවා කියන්නේ මේ වගේ දේවල් වලට යැයි මට සිතේ. ඇය විහිලුවට වත් ඇයි මගෙන් එහෙම ඇහුවේ…. ...ඇයට කිසි ලැජ්ජාවක් කිසි ගානක් නැති හැටි.. ඇයි... ඇය ඒ දේ එහෙම ඇහුවේ .. ...
“මොනවා... මොනවද මේ සුමුදු නෝනා කියන්නෙ... පරිසමට ගෑනු කෙනෙක් උනාම කතා කරන්න ඕනේ කියලා දන්නේ නැද්ද ? ..මම තරහින් ඇයට කීය. මගේ ඇඟ හිරිවැටී ඇත.
ලංකාවේ වැඩ විසුව කාලයේ පටන් මම වැඩ සිටි සෑම පන්සලකටම ආ නොයෙක් තරාතිරම්වල ගැහැනු පාර්ශව මා සමග විවිධ දේ ගැන කතා කර තිබුනද මේ වගේ නම් කිසිම කෙනෙක්, කවදාවත් මෙවැනි දෙයක් විහිලුවට වත් මට මෙපමණ කාලයකට ඔය වගේ දෙයක් කියා නැත.
“‘මට වැඩ තියෙනවා සුමුදු නෝනා, මම යනවා ආවාසෙට.......‘‘ මම බාගෙට දුවමින් විගහට ඇය ලගින් ඉවත් උනේ ...දරුනු සර්පයෙක් දුටු ගානටය.
විගහින් දුවයන මට ඇය සද්දෙන් කී දේද හොදින්ම ඇසිනි. හොද වේලාවට මේ වෙලේ ලංකාවේ බැතිමතුන් කිසිම කෙනෙක් පන්සලේ නොසිටියේ.
"‘වැරදි විදියට හිතන්න එපා හාමුදුරුවනේ. මම ඇත්තටම මට හිතුණු දෙයයි කිව්වෙ….. ඇත්තට ම මම ඔබවහන්සේට හරි කැමැතියි.”....
මම විගහට ආවාසේ ගෙට ගියෙමි. මෙවැනි අදහස් තියාගෙනත් පන්සල් එන ගෑනු ඉන්නවානේ ….මම හිතුවේ පුදුමයෙනි.
ඉන් පසුව මම පුළුවන් හැම වෙලේම සුමුදු නෝනා පන්සල් ඇවිත් ඉන්න වෙලාවට ඇය මගහැර සිටින්නට වගබලා ගත්තෙමි.
මා ආවාස ගෙයි ඇති කණ්ණාඩිය ළඟට ගොස් නිතර මාගේ මුහුණ පරීක්ෂා කිරීමට පටන් ගත්තේ ද ඉන් පසු ය.
ඇත්තටම මා වෙන පිරිමි අය එක්ක බැලූ කල ඉතා ප්‍රසන්න, පැහැපත්, හොඳ පෙනුමැති කෙනෙකු යැයි මට ම සිතෙයි. විශ්ව විද්‍ය්ලයේදී ගෑනු ළමයින් පවා බලෙන් මා සමග කතාවට ආහැටි, කෑම බීම ගෙනත් දීපු හැටි මට නැවත මතක් වෙයි.
සුමුදු නෝනා පන්සල් ඇවිත් ඉන්න වෙලාවට මුලින් මුලින් මා ඇය ඕනකමෙන් මගහැරියද ,ටිකෙන් ටික මාද ඇය දෙස හොරැහින් උනන්දුවෙන් බලනවා යැයි මටම සිතේ.
ඇත්තට ම ඇය ඉතා රූමත් ළඳක්ය. ඇයට දරුවන් නැත. අගහිඟකමක් නැතිව ඇය ඉතා ලස්සනට, සැහැල්ලුවෙන් ජීවත් වෙයි.
වෙනදා මෙන්ම පන්සලේ කටයුතු මා ඉතා ඕනෑකමෙන් කරගෙන සිටියද, මාගේ හිත දැන් නම් සසල වී ඇත. සුමුදු පන්සලේ ඉන්නා විට මා ඇය දෙස හොරෙන් හොරෙන් බැලීමට පටන්ගෙන ඇත. උවමනාවක් නැතුවත් මම බොරු කතාවක් ඇදගෙන ඇය සමග කතාවට යන්න පටන් ගෙන ඇත . ඇයත් ඒ වෙලාවට හරි කැමැත්තෙන් මා සමග කතාවට එයි. ඇයත් මා දුටු විට මට ඇහෙන් ඉඟිබිඟි පායි. වෙනාදාටත් වඩා මට කෑම බීම ගෙනත් දෙයි. පොඩි පොඩි වටින තෑගි බෝගද ගෙනත් දෙයි. දිනක් ඇය මට වටිනා පෙට්ටියක් ගෙනත් තෑගි කලේය.
"මේ මොකක්ද සුමුදු නෝනා"
"ආවාසෙට ගිහින් බලන්නකෝ...වීශේශයෙන්ම ඔබ වහන්සේටමයි ගෙනාවේ…
" මම මෙතනම ඇරලා බලන්නද?
"හොදයි.....ඇරලා බලන්නකෝ...සුමුදු හුරතල් ලෙස කීය.
එම වටින පෙට්ටය ඇර බැලු විට මට පුදුම සිතිනි. මේ කාලයේ තිබෙන ඉතා වටිනා නමක් ඇති ටැබ් යන්ත්‍රයක් එහි තිබිනි.
"ඇයි මේ..මෙච්චර වටින එකක්"...මම පුදුමයෙන් ඇසීය.
ඇයි මතක නැද්ද ...අද නේද හාමුදුරුවන්ගේ උපන් දිනය...කියලා, දවසක් කිව්වෙ ...මම මතක තියාගෙන හිටියේ….
"අනේ මට ඕවා මතක නෑ...ජීවිතේට මගේ උපන් දිනේට මේ වගේ තෑග්ගක් කවදාවත් කාගෙවත් ලැබිලත් නෑ. මේ වගේ නෙමේ..... . කොයි වගේවත් තෑග්ගක් අම්මා තාත්තා ගෙන්වත් ලැබිලා නෑ… හරි පුදුමයි .බොරු කියන්නේ මොකටද මම ටැබ් එකක් සල්ලි එකතු කරලා ගන්න ඕනේ කියලා හිතාගෙන හිටියේ…..මම ඉතිං මේ බඩු වලට හරි කැමතියි නේ..මගේ ජීවිතේ මුල්ම වරට උපන්දිනයකට ලැබුනු මුල්ම තෑග්ග මම ආසාවෙන් භාර ගත්තෙමි.
ආවාසෙට ගොස් එය ක්‍රියාත්මක කර බැලු කල එහි මුහුනතේ තිබුනේ සුමුදුගේ විශාල ලස්සන මූන පමනක් ඇති රූපයකි. ඒ දෙස ඕන තරම් වේලාවක් බලා සිටිය හැක. ඇය ඇගේ පින්තූරය මෙයට දැම්මේ කොහොමද ? කුමකටද දැම්මේ කියා සිතුනත්...... මගේ හිතේ සුමුදු ගැන මුල්ම වරට ආදරයක් ඇති වුනේ...මේ ලැබුනු තෑග්ගත් සමගය.
කාලය හෙමින් ගත වී යයි. මගේ හිත අමුතු අලුත් හැගීමකින් හා සතුටින් පිරි ඇත. ඒ සුමුදු නිසා බව වැටහේ...
රාත්‍රී ඉංග්‍රීසි පන්තිය පුරුදු ලෙසම පැවැත්වේ.හැමදාම රෑට සුමුදු ද ඉංගිරිසි පන්තිය අවසන් වන තෙක් පන්සලේ රැදී හිදියි. එය අවසන් වී එයට සහභාගි වූ සියල්ලන් ම ගිය පසු ඇය මා සමග තව ටික වේලාවක් කතා කරමින් ඉඳ යන්න පුරුදු වී ඇත. ඇගේ සතුටු සාමිචියට මගේ හිතත් ටිකෙන් ටික ඇදි යන්න පටන් ගෙන ඇත. මා ද බොහෝ කැමැත්තෙන් ඇය සමග දැන් කතාවට යන්නට බලා ඉදිතැයි මට ම සිතේ.
දැන් දැන් දිනපතාම වගෙ සුමුදු නෝනා පන්සල් එයි. මට කෑම ජාති හදාගෙනද එයි. මමත් ඇය එනතෙක් මග බලා ඉන්නවා යැයි මගේ යටිහිත කියයි
‘‘හාමුදුරුවො ආයෙත් කවද්ද ලංකාවට යන්නෙ?‘‘ ඇය අසයි.
“‘ලංකාවට යන්න අදහසක් නෑ.
“එතකොට කොරියාවට?‘‘
‘‘‘එහේ යන්න අදහසකුත් නෑ.‘‘
"හාමුදුරුවන්ගේ ලංකාවේ ගෙවල් කොහේද?
"නුවරඑළියට ලගයි"
"එතකොට සහෝදරයෝ එහෙම..?
"අයියයි අක්කයි නංගියි මල්ලියි හැමෝම කසාඳ බැදලා ළමය්නුත් ඉන්නවා.
"අම්මා තාත්තා එහෙම ?
"දෙන්නම දැන් නෑ"
"එතකොට සුමුදුගෙ පවුලේ අය කවුද ඉන්නේ ?
"අම්මයි තාත්තයි දැන් නෑ….අයියා විතරයි ඉන්නේ….එයත් පිටරට ඉන්න... .මේ අපේ මහ ගෙදර මම විතරයි තනියම ඉන්නේ….
"සුමුදු තවම තරුනයිනේ…..කසාදයක් කරගෙන ළමයිනුත් හදාගෙන හොදට ඉන්න පුලුවන් එකේ ඇයි අපරාදේ තනියම ජීවත් වෙන්නේ….
"මොන දේවල් තිබුනත් තමන් කැමති කෙනා වගේම ඉරනම් කාරයත් හම්බ වෙන්න එපෑ…
"වැඩි දවසක් යන්න ඉස්සර හොද කෙනෙක් සුමුදුට හම්බවෙයි.
‘‘මට ගෙයක් දොරක් තියෙනවා. ජීවත් වෙන්න ඇති තරමට සල්ලි තියෙනවා. මම විපස්සී හාමුදුරුවන්ට හරි කැමතියි. ඔබ වහන්සේ දැකපු මුල්ම දවසේ මට හිතුනා...මම හොයන්නෙ ඔබ වහන්සේ වගේ කෙනෙක් කියලා. මට කැමති නැද්ද ? අපි දෙන්නා කොහේහරි වෙන පළාතකට ගිහින් ජීවත් වෙමුද?.....ඇය අසන්නේ මගේ හිතට දැනෙන ලෙස ආදරයෙන්‍ය.
මා දෙලොවක් අතර හිර වී ඇත. මම මේ වනවිට 36 වැනි වියේ පසුවෙයි. ඇය 34 වැනි වියේ පසුවෙයි. මට කිසි දෙයක් හිතා ගැනීමට නොහැකි ය. මා අවුරුදු 24ක් පුරාවට ඉතා පිරිසුදු ලෙස මහණ දම් පිරූ හිමිනමකි. මා මහණ වුණේ මාගේ දෙමවුපියන්ගේ අගහිඟකම් හා පාසැල් යන්නට අකමැති වූ නිසා යැයි මම විශ්වාස කරමි.
පැවිදි වූ පසු මට හොඳින් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට යන්නට ද වරම් ලැබිණි. කොරියාවේ ගතකළ අවුරුදු දහය තුළ ජීවිතයට බොහෝ අත්දැකීම් ලබා ගත් මා, නවසීලන්තයේ දී නැවත ලංකාවේ පිරිස ඇසුරු කරන්නට ලැබීමත් සමග කවදාවත් හිතට නොදැනුණු දෙයක් දැනෙන්න පටන්ගෙන ඇත. මම දැන් ටිකෙන් ටික ගිහි ජීවිතය විදින්නද ආසාවෙන් ඉන්න බවද මගේ යටිහිත කියයි.
නවසීලන්තය ඉතා නිදහස්, සෞම්‍ය, පිරිසුදු, ලස්සන රටකි. එහි දේශගුණය ටිකක් ශීතල පැත්තට බර වුවද, හොඳ වාතාශ්‍රයක් ඇති, බලන හතර අත ම කොළ පාටින් දිළෙන, හිතට සැනසීමක් ගෙන දෙන පරිසරයකි. පිරිසුදු වාතාශ්‍රය ලබමින්, නිදහසේ ගෙවන ජීවිතය හිතට පුදුම සැනසීමක් ගෙන දෙයි.
කොරියාවේ සිට මෙරට ට ආපසු ශ්‍රී ලාංකික බැතිමතුන් මා හට ගෙන එන අපේ ගමේ කෑම ජාති දානයට ගන්නා අවස්ථාවල මා අවුරුදු 10ක් ම තුනපහ ආදිය නැතිව දානෙ වළඳා තිබූ බව නිතර සිහියට නැගෙයි.
කොරියන් පන්සලේදී සුදු බත් සමඟ ගෝවා, රාබු, කැරට්, අල ආදී එළවළු තුනපහ නොමැතිව, සෝයා බෝංචිවලින් තනන ලද හා සෝස්වලින් පිසින ලද ආහාර වළඳන්නට ලැබුණි. ඇතැම් අවස්ථාවල සුදු ලූනු, ලීක්ස්, බී ලූනු ආදිය නොදා සාදන කෑම වර්ග ද වැළඳීමට සිදු විය.
ඇතැම් දිනවලට කොරියන් බැතිමතුන් අපව කොරියන් ආපන ශාලාවලට කැඳවා ගොස් දානයක් ලෙස ආහාර ලබා දෙන අතර, ශ්‍රී ලංකාවේ ස්වාමීන් වහන්සේලා හා කොරියාවේ පන්සල්වල ස්වාමීන් වහන්සේලාගේ ගති පැවතුම් වෙනස් යැයි මට සිතේ. උන්වහන්සේලා හවස හය වනවිට රාත්‍රී දානය වළදති. බැතිමතුන් සමඟ එකට වාඩි වී ආහාර ගනිති. මා දැන් ඒ සියල්ලට ම පුරුදු වී ඇත.
මෙම පන්සලේ ස්වාමීන් වහන්සේලා බැතිමතුන් වෙනුවෙන් කරන දානමාන, බෝධි පූජා ආදී කටයුතුවලට ස්වාමීන් වහන්සේලාට පන්සලෙන් ගෙවීමක් කරයි. පන්සලට විදේශවලින් එන බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර මුදල් ද ලොකු හාමුදුරුවෝ අපටත් බෙදා දෙයි.
ස්වාමීන් වහන්සේලා තුන් නමට වෙන වෙන ම කුටි ඇත. ඒ කුටි තුළ ම අවශ්‍ය නම් තමන්ට කැමැති ලෙස ආහාර පිස ගැනීමට පුංචි කුස්සියක් ද ඇත. සමහර වේලාවට මම ශ්‍රී ලංකාවේ ක්‍රමයට එළවළු තුනපහ දමා සාදා ගෙන වළඳමි. බොහෝ විට අප තෙනම දහවලට හා හවසට ආහාර වළඳන්නේ එකටම ය.
පන්සලේ පිරිසුදු කිරීමේ වැඩ අප අතින් ම සිදු වෙයි. දහවල් වරුවට වැඩක් පලක්, පූජාවක් නැති දිනවලට මම කෝච්චියෙන් නවසීලන්තයේ ඇති සුන්දරත්වය හා රට තොට බලා ගැනීම සඳහා යමි. සමහර දිනට මම මං මාවත් දිගේ හා නගර හරහා ඇවිද යමින් මාගේ කාලය ඔහේ ගෙවා දමන්නෙමි. එසේ ගෙවුණු මාගේ ජීවිතය අද වෙන අතක යන්නට පටන්ගෙන ඇත. ගිහි ජීවිතය ගැනද හිත යට කැමැත්තක් ඇති බව දැන් දැන් මට වැටහේ…
සුමුදු වෙනදාටත් වඩා පන්සල් විත් මා ගැන හොයා බලයි. කරුනාවෙන් මෙන්ම ආදරය පිරුනු දෑසින් මා ඇගේ අදහසට පොලබවා ගන්න උත්සහ ගනියි. ඇයගේ එම උත්සහයට අකුල් නොහෙලා මමද ටිකෙන් ටික ඇයට කැමැත්ත ඇතිවෙනපරිදි හැසිරෙනවාදැයි මට සිතේ.
“‘ඔයා මොකද කියන්නේ, මම කියපු යෝජනාව ගැන සිතා බැලුවද?..... සුමුදු නිතර ම මා සමග ඒ ගැන කතා කරයි. ඇය ඇගේ උත්සහය අත නොඅරිනන ගානය.
ඇයගෙන් බේරී සිටීමට නොහැකි තරම් ය. නමුත් එම අදහසට අකමැති බව පෙන්වන්නට මම උත්සාහ නොගන්නේ මන්දා යැයි මටම සිතා ගැනිමට නොහැකිය.
‘‘අපි වෙන පළාතකට ගිහින් ජීවත් වෙමු. මේ රටේ මේ පලාතේ සිටියොත් නේ ප්‍රශ්නය. අපි හැමෝම මග ඇරලා කොහේ හරි ඈතකට යමු. මා ළඟ සල්ලි තියෙනවා අපි දෙන්නට ජීවත් වෙන්න ඇති තරම් ...‘‘ ඇය කියයි.
‘ "මම මොනවද අපේ ලොකු හාමුදුරුවන්ට කියන්නේ?‘‘
‘‘ලංකාවට ආයෙත් වැඩම කරනවා කිව්වොත් ඔයා ගැන හොයන එකක් නෑ.‘‘
සුමුදු දැන් මට හාමුදුරුවනේ කියා නො අමතයි. ඇය මාව ඇගේ පැත්තට ගන්න පුදුම උත්සාහයක් දරයි. කොටින් ම කියතොත් ගෑනු හැටහතර මායම දා මාව පොළඹවා ගන්නට උත්සාහ ගනියි. අවුරුදු 36ක් ම තනිය ම සිල්වත් ව ජීවත් වූ මා දැන් ඇයගේ පැත්තට ටිකෙන් ටික නැඹුරු වී ඇතැයි මට ම සිතේ.
“‘අද හෙටම ලොකු හාමුදුරුටන්ට කියලා එන්න…... මම අනිත් දේවල් ලෑස්ති කරලා තියන්නම්.”
සුමුදු මාව තව තවත් ගිහිගෙයට ගන්න උනන්දු කරයි.‘ ඇයගේ සුකුමාල ලස්සන හිනාවට මා දැන් රැවටී අවසන් යැයි මට සිතේ. මාගේ ජීවිතයේ ඉදිරි කාලය මා දැන් ඇයට පිරිනමන්න සූදානම් වී ඇත. ගතින් සිතින් දෙකෙන්ම මා දැන් ඇයව බලාපොරොත්තුවෙන් පසුවන්නේ යැයි මටම සිතේ…
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා



Comments