top of page

** එතෙරින් එතරට **

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • May 27, 2020
  • 6 min read

( 31 වෙනි කොටස )


නවසීලන්තයට පැමිණ අවුරුද්දක පමණ කාලයක් ගෙවී ගියේ කොරියානු සහ ශ්‍රි ලාංකික බෞද්ධයන් වෙනුවෙන් ඉතා වැදගත් කටයුතුවලට මට ද දායක වෙන්න ලැබෙමින් ය. ඒ වගේම නවසීලන්තයේ කොරියන් පන්සලට යන එන කොරියන් බැතිමතුන් සමඟ මෙන් ම සිංහල බැතිමතුන් සමග ද මම දැන් හොඳට ම මිතුරු වී සිටිමි. ඔවුහු මට ඉතා ආදරයෙන්, කරුණාවෙන් සලකයි. පන්සලේ පොඩි හාමුදුරුවෝ ද මා සමඟ දැන් ඉතා මිතුරු ය. උන්වහන්සේට දැන් මා යටතේ ද වැඩ කරන්නට සිදුව ඇත. ලොකු හාමුදුරුවෝ රටින් පිට වී යන විදේශ ගමන්වලට සමහර අවස්ථාවල මාව ද කැඳවා ගෙනයන්නේය. උන්වහන්සේ පන්සලේ නැති අවස්ථාවල වැඩ බලන දෙවැනියා ලෙස සිටින්නේ දැන් මම ය. මම පන්සලට පැමිණෙන කොරියන් බැතිමතුන්ගේ හා ලාංකික බෞද්ධයන්ගේද සියලු අවශ්‍යතාවන් ඉටු කරන හොඳ ස්වාමීන් වහන්සේ නමක් ලෙස දැන් ඉතා ප්‍රසිද්ධ ව සිටිමි.

රෑට පන්සලේ පවත්වන ඉංග්‍රීසි පන්තියට වැඩිහිටි කාන්තා පක්‍ෂය වැඩිපුර සහභාගි වෙති. ඔවුන් සමග මම ද ඉතා කැමැත්තෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නෙමු. ඔවුන් හැමෝම දැන් මා සමග ඉතා මිතුරු ය. ඔවුහු හැමෝම මාගේ ඕනෑ එපාකම් ඉතා හොඳින් සොයා බලයි. නිතර නිතර මට සිංහල කෑම වර්ග සාදා ගෙනත්ද දෙයි

"‘හාමුදුරුවනේ මම ඔබවහන්සේට හෙට දවල් දානෙට තියාගන්න කරවල තෙල් දාලා, පොල් සම්බෝල හදාගෙන ආවා.‘‘


‘‘මම ඔබවහන්සේට වටලප්පමක් හදාගෙන ආවා.‘‘

"මම ඉදිආප්පයි පොල් මැල්ලුමකුයි ගෙනාවා.. "

එකිනෙකා තරගෙට මට කෑම බීම රැගෙන එයි.

‘‘අපොයි! මට දැන් කෑම වැඩියි. තනි මම කොහොමද මෙච්චර කන්නේ…..කොරියානු ස්වාමීන් වහන්සේලා අපේ කෑම කන්නෙම නෑනේ….ඉතිං මට වැඩිපුර ආහාර දෙන්න කෙනෙකුත් නෑ….. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දැන් හැමෝම ලංකාවෙ කෑම ගෙනත් දෙනවනේ.‘‘

අවුරුදු ගනනාවකට පසු මට සිංහල කෑම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දැන් කෑමට ලැබෙයි . අවුරුදු දහයකට පසු ශ්‍රි ලාංකිකයන් මුන ගැසි කතා කරන්න ලැබුනු එකනම් මට ලොකු සතුටක් වී ඇත. තමන්ගේ මව් භාශාවෙන් කතා කරන්න ලැබෙන තරම් සතුටක් ඕන කෙනෙකුට ඇති ලොකුම සතුට වෙනු ඇතැයි මට දැන් සිතේ. ශ්‍රි ලාංකිකයන් සමග කතා බහ කරමින් එකට වැඩකටයුතු කරන විට, මම දැන් ලංකාවේ ජීවත් වෙනවා යැයි මට විටෙක සිතේ.

ලංකාවේ තරුණ, මහලු කියා වෙනසක් නැත. හැමෝම දැන් මාව හොදින් අදුනන නිසා නිතර නිතර පන්සල් එන්නටද පටන් ගෙන ඇත. පන්සලේ වැඩකටයුතු තිබුනත් නැතත් ඔවුන් විවේකයක් ලැබුනු වහා පන්සල් විත් වැදුම් පිදුම් කටයුතු කර මා සමගද කතා බහ කරමින් ඉද යයි.

කාන්තා පාර්ශ්වය ඕනෑවටත් වඩා මට ළං වෙන්න දඟළයි. මා විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේදීත් කාන්තා පාර්ශ්වය එලෙස මට ළං වෙන්න හේතුව මා ඉතා ප්‍රියමනාප කඩවසම් කෙනෙකු නිසා යැයි මම විශ්වාස කළෙමි. විශ්වවිද්‍යාලයේ නම් සිටියේ තරුණ ගැහැනු දරුවන් ය. නමුත් මටත් වඩා ගොඩක් වයසක ගැහැනු, එනම් දරුවන් විවාහ වී මුණුපුරන් පවා සිටින ගැහැනු උදවිය පවා මා සමග ඕනෑවටත් වඩා කුලුපඟ වෙන්න දඟලයි. මට එය හිතා ගැනීමට නොහැකි තරම්ය. ඉතා උගත්, හොඳට සල්ලි බාගෙ තියෙන, හොඳ ගුණගරුක සැමියන් ඉන්නා බිරින්දෑවරුන්ද මා සමග කතාවට එන්නේද මා දෙස බලන්නේද අමුතුම ආකාරයකට ය. එය තේරුම් ගැනීම මට අපහසු තරම්ය . මම පුළුවන් හැම විටම ඔවුන් මගහැර සිටින්නට උත්සාහ ගන්නෙමි.

එහෙත් එය ඒ තරම් ලෙහෙසි කටයුත්තක් නොවීය. ඔවුහු නිතර මා හමුවන්නට පැමිණ ගෙදර දොරේ නොයෙක් ප්‍රශ්න මා සමග කියමින් ඒවාට විසඳුම් සොයා දෙන්න කියති. මට දැන් ඔවුන්ගේ ප්‍රශ්න විසඳනවාට වඩා වැඩක් නැති ගානය.

‘‘අනේ හාමුදුරුවනේ අපේ දුව සුදු ජාතික ළමයෙක් එක්ක යාළු වෙලා කසාද නොබැඳම එකට ජීවත් වෙන්න පටන් අරන්. දෙන්නා දැන් ඉන්නෙ කුලියට ගෙයක් අරගෙන වෙනම….. ලංකාවේ අපේ නෑදෑයො දැනගත්තොත් මොන විලිලැජ්ජාවක්ද.‘‘..... මගේ ප්‍රෙෂර් එකත් නැගලා මේ ළමයින්ගෙ වැඩ නිසා"

උපාසක අම්මා කෙනෙක් පැමිණ ඇගේ දුක කියමින් මා ළඟ අඩයි.

“‘අනේ හාමුදුරුවනේ අපේ ළමයි ඉස්සර වගේ නෙමේ, දැන් අපි කියන කිසි දෙයක් අහන්නෙ නෑ. හරියට මුරණ්ඩු වෙලා.‘‘......


"අපේ අම්මයි, තාත්තයි ඉන්නෙ ලංකාවේ. මට ඒ අය මෙහෙට ගෙන්න ගන්න ඕන. තාම වීසා හම්බ වුණේ නෑනෙ... මම ඉන්නෙ ඒ ගැන හරි කරදරයෙන්. අපට ලංකාවට ගිහින් ඒ අය බලාගෙන ඉන්නත් බෑ, ගෙන්න ගන්නත් බෑ. මොනවා කරන්නද මන්දා "


“‘මට මේ පාර බබා හම්බ වෙන්න ඉස්සෙල්ලා අම්මා මෙහෙට ගෙන්න ගන්න හදන්නෙ. වීසා හම්බ වෙලත් අම්මා කියනවා තාත්තා දාලා ඇවිල්ලා කාලයක් මෙහෙ ඉන්න බෑලූ….. . මට බබා හම්බ වුණාම ලොකු බබාව බලාගන්න කෙනෙක් නෑ. මොනව කරන්නද මන්දා. ඩේකෙයාර් දාන්න කීයක් යනවද?..... මට අපේ අම්මා එක්ක හරි කේන්තියි‘‘ තාත්තවත් ගෙන්න ගමු කියලා අම්මා කියනවා. ඒවටත් ඉතිං මම ම වියදම් කරන්න එපෑ.”....


මා සමග එක එක්කෙනා ඇවිත් කියන්නේ පුදුමාකාර ප්‍රශ්න ය. ඒවාට විසඳුම් නැතත්, මම ඔහේ ඔවුන්ගේ ප්‍රශ්න අහගෙන ඉන්නෙමි. ඔවුන්ගේ හිත සැනසෙන්නවත් එය මදෑ යැයි මම සිතමි .


‘‘අනේ හාමුදුරුවනේ අපේ මහත්තයා ඔෆිස් එකේ චයිනිස් කෙල්ලෙක් එක්ක යාළු වෙලා. දැන් අපි ගැන හරියට හොයන්නෙ බලන්නෙත් නෑ. මම මොනවා කරන්නද මන්දා‘‘.....


‘‘අපේ පුතා ඉන්දියන් කෙල්ලෙක් එක්ක යාළු වෙලා‘‘ තව කෙනෙක් කියයි


‘‘අර අපේ ගෙවල් ළඟ ඉන්න ගෑනු කෙනා මං ගැන හරි වැරදි කතා වගයක් කියලා තියෙනවනේ. මම දැන් එයාගේ මුණ බලන්නෙත් නෑ.‘ .


“‘අපි මේ රටට ආව වෙලේ අපිව ගෙදර ගිහින් තියාගෙන අර කට්ටිය අපට හරියට උදවු කළා,.... හරි හොඳ කට්ටිය. ඒ වුණාට ඒගොල්ලො දැන් කැමැති නෑ අපි වෙන කාවවත් ආශ්‍රය කරනවට. අපටත් කියලා ආශ්‍රය කරන්න හඳුන ගන්න මිනිස්සු අවශ්‍යනෙ, ඒ අය ඒක තේරුම් ගන්නෙ නෑ…... ඒ අයම අපට හඳුන්වා දුන් අය එක්ක අපි කතා කරන කොට, අශ්‍රය කරන කොට අපිත් එක්ක එච්චර හිත හොඳ නෑ.‘‘......


“‘අර...මම කිව්ව අය අපේ පුතාව ඒගොල්ලන්ගෙ දුවට කතා කළා. අපි ඒකට කැමැති නැති නිසා, දැන් අපිත් එක්ක ඒ අය වැඩිය හිත හොඳ නෑ.‘‘


“අපි බොහොම අමාරුවෙන් තමයි මේ රටට ඇවිත් දියුණු වුණේ. අපි අමාරුවෙන් ඉන්න කාලෙ අපි ගැන හොයලා බලපු යාළුවො දැන් අපිත් එක්ක එච්චර හොඳ නෑ. මම හිතන්නෙ ඒ අයට ඉහළින් අපි යයි කියලා ඉරිසියාවෙන්ද කොහෙද…… එක එක්කෙනා එක එක විදිහේ ප්‍රශ්න කියයි.

ඒවගෙම තමයි මේ රට ඇතුලත ලංකාවෙන් ඇවිත් පදිංචි වුන අයගේ නොයෙකුත් සංවිධාන තියෙනවා. ඒවායින් සුමානෙකට, මාසෙකට ,අවුරුදකට සැරයක් නොයෙකුත් උත්සව තියෙලා ,කෑම බීම හදාගෙන ඇවිත් කාලා බීලා නටලා සතුටු වෙලා යනවා.…… ඊට අමතරව තව කට්ටියක් සල්ලි එකතු කරලා ලංකාවට අරිනවා, එහි ඉන්න දුප්පත් අසරන අයට. ඒක නම් ගොඩක් හොද වැඩක් …… මේ රටේ කරදර කාලවල් ආවහම බත් උයලා, පැකට් හදලා විකුනලා.. හම්බවෙන සල්ලි ඒ අතයවශය අයට ලැබෙන්නත් ඒ වගේ සංවිධාන කරනවා. ඒ සංවිධාන වලින් කරන ලොකු හොද වැඩවල් තමයි...….ඒ වගේ හොද වැඩත් කරනවා…... සංවිදානය ඇතුලේ ඉන්න උගත් බුද්දිමත් අයට තමන්ගේ හැකියාවන් දියුනුකරගෙ ඉස්සරහට යන්න අවස්තා ලැබෙනවා වගේම සමහරුන්ට නම් ඒ අවස්ථා ලැබෙන්නෙත් නැති තරම්. සංවිධාන වල එක්කෙනෙක් ඉස්සරහට යන්න හදන කොට අනිත් අය පස්සෙ ඉදන් කකුලෙන් අදින ඒවත්., කැපිලි කෙටෙලි එහෙමත් ඉවරයක් නෑතුව සංවිධාන ඇතුලේ තියෙනවා …..සංවිධාන වල ප්‍රධාන තනතුරු හා, විවිධ තනතුරු දූර ගන්න ඊටත් වඩා තරග සංවිධාන ඇතුලේ තියෙනවා. කොච්චර ප්‍රශ්න තිබුනත් අවුරුද්දේන් අවුරුද්ද තන තුරු වෙනස් වෙමින් ප්‍රශ්නත් එක්ක සංවිදාන කොහොම හරි දුවනවා…..

ගිහියන්ට ඇත්තේ පුදුමාකාර ප්‍රශ්න ය. ඔවුන්ගේ හිත හැදෙන්නට මම ඔහේ ඒවා අසාගෙන ඉන්නෙමි. පුළුවන් විදිහට හිත හදාගන්නට උදවු ද කරන්නෙමි. ගිහි ජිවිතේ ඇති ප්‍රශ්න බැලුවහම පැවිදි දිවිය කොතරම් අගේද නිදහස්ද කියා සිතේ…. මොවුන්ගේ ප්‍රශ්න අසා සිට මගෙත් ඔලුව අවුල් වෙන අවස්ථාද ඇත. දැන් බැලුවහම මොවුන්ගේ ප්‍රශ්න විසදා දීමට වඩා වැඩක් මට නැති ගානය

මා සමග කතා කරන හැමෝට ම වඩා වෙනස් කෙනෙකි සුමුදු නෝනා. ඇය මට වඩා අවුරුදු තුනක් විතර බාල, ඉතා පැහැපත්, කා සමගත් වැඩි කතාබහක් නැති අහිංසක කෙනෙක්ය. ඇය අපේ පන්සල කිට්ටුවම පදිංචි කෙනෙකු නිසා දිනපතා හවස හතේ බුද්ධ පූජාවට සහභාගි වෙයි. ඇය නිතර ම මට දානය සකස් කරගෙනද පැමිණෙයි. සතියේ දින දවාලට, බැතිමතුන් නැති වේලාවලට පැමිණ මා කතාවට බලෙන්ම වගේ අල්ලා ගනියි. නිතර බලෙන් මාව කතාවට අල්ල ගන්න හදන ඇයගෙන් පුළුවන් හැම වේලාවේ ම මම බෙරී හිඳීමට උත්සාහ ගන්නෙමි. නමුත් ඇය නරක කෙනෙකු නොවේ යැයිද මට සිතේ.

‘‘ මේ රටේ ගොඩක් අය රැකියා කරනවානේ…..ඇයි සුමුදු නෝනා රස්සාවක් කරන්නෙ නැත්තෙ ?‘‘...

“මගේ අම්ම, තාත්තගේ දේපොළවලින් මට ලැබෙන මුදලින් මට ජීවත් වෙන්න පුළුවන්…... මගෙ මහත්තයාත් මට සල්ලි එවනවා මගේ වියදමට…... ඉතිං ඒවා ඇති. ඒ නිසා මට රස්සාවක් කරන්න අවශ්‍ය තාවයක් නෑ.‘‘

" නෝනාගෙ මහත්තයාව මම දැකලා නෑනේ කවදාවත් ...පන්සල් එන්නේ නැත්තේ ඇයි ? කොහේද ඉන්නෙ?‘

“ එයා පිටරට ඉන්නේ ..”

‘‘ එහේ රස්සාවක් කරනව වෙන්න ඇති …?..ඉතින් ඇයි සුමුදු නෝනා එහේ යන්නෙ නැත්තෙ?”

‘‘ මමත් ඉස්සර එහේ තමයි හිටියේ…..මහත්තයා හරියට ගෑනු අය ආශ්‍රය කරනවා…මම ඒවට කැමති නෑ....ඉතිං මම තරහ වෙලා මෙහේ ආවා...‘

‘“ඒ කියන්නෙ නෝනයි, මහත්තයයි දික්කසාද වෙලාද ඉන්නෙ‘?‘

‘‘නෑ මගෙන් මහත්තයා එක පාරක් දික්කසාදය ඉල්ලුවා….. ඒ වුණාට මම දික්කසාදය දෙන්න කැමැති නෑ.‘‘

“‘ඒ මොකද නෝනා ඒ?‘‘

“‘මහත්තයා මාව කසාද බැඳලා තියෙන්නේ මගේ සල්ලිවලට, මාව රවට්ටලා.”

‘‘ඒ කිව්වේ?‘‘

"‘මහත්තයාට ඒ රටේ හරියට යාළු ගෑනු අය ඉන්නවා. නිතරම මහත්තයා ඒ අයත් එක්ක එහෙ මෙහෙ නවතින්න යනවා ඒවා දැන ගත්තට පස්සෙ තමයි මම මේ රටට ඇවිත් තනියම පදිංචි වුණේ.‘‘‘

‘‘‘හරි ප්‍රශ්නයක් නේද සුමුදු නෝනට තියෙන්නෙ. නෝනට තියෙන්නෙ මහත්තයාට දික්කසාදය දීලා නෝනත් හොඳ කෙනෙක් කසාද බැඳ ගන්න.‘‘ එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවරයිනේ.”.....

"එතකොට මගේ දේපළ වලින් කොටසක් එයාටත් දෙන්න වෙනවනේ.....මම ඒකට කැමතිත් නෑ......ඒ උනාට හැමදාම මට තනියම ඉන්නත් බැරි නිසා ...ලගදි කසද බදින්න ඕනේ කියලා හිතාගෙන ඉන්නෙ ...... මොකද මගේ වයසත් දැන් ටික ටික ගෙවිලා යන නිසා. ඒ වුණාට මට තවම ගැළපෙන කෙනෙක් හම්බ වුණේ නැහැනෙ… ”

‘‘කොයි වගේ කෙනෙක්ද සුමුදු නෝනා හොයන්නෙ… ඔව් ඉතිං වයසට යන්න ඉස්සර හොද කෙනෙක් හොයාගෙන කසාදයක් බැද ගන්න එක හොදයි ....‘‘


“ ඔව් ඒත්….හිතට ගැලපෙන කැමති කෙනෙක් වෙන්න එපෑ…. මම විපස්සී හාමුදුරුවො වගේ කෙනෙක් තමයි කවද හරි කසාද බදින්න කැමැත්තෙන් හිටියේ….. ඒත් අම්මලා තාත්තලා කියපු කෙනා බැදලා තමයි මට මෙහෙම උනේ‘‘...... ඇත්තටම මට හිතා ගන්න බෑ…....විපස්සී හාමුදුරුවන්ව දැකපු දවසේ ඉදන් මට හරි වෙනසක් දනෙනවා.. කවදා හරි.... .ගිය ආත්මේ හරි ඔබ වහන්සේ මගේ ජීවිතේට ලං වෙලා හිටිය කෙනෙක් කියලා මට නිතර හිතෙනවා හාමුදුරුවනේ ...... හාමුදුරුවො කැමැති නැද්ද?..... මාව කසාද බදින්න …..මට හැම දෙයක් ම තියෙනවා .....

( හෙට හමුවෙමු )

මා සමග කේන්ති නොගෙන ඉදිරියටම කියවාගෙන යන්න ....😄😄👍

* ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page