top of page

**එතෙරින් එතරට **

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • May 25, 2020
  • 6 min read

**එතෙරින් එතරට **

( 30 වෙනි කොටස )

"‘ඔබවහන්සේ කැමැති නම්, නවසීලන්තයේ මේ පන්සලේ කොරියානු ස්වාමීන් වහන්සේ නමක් ලෙස දිගටම අපිත් එක්ක නවාතැන් ගන්න පුළුවන්. අපට තව හාමුදුරු නමක් මේ පන්සලට අවශ්‍ය කරල තියෙනවා පන්සලේ ආගමික වැඩ කටයුතු කරගෙන යන්න ‘‘

පන්සලේ ලොකු හාමුදුරුවවෝ මට ඒ කී දෙය ඇසුණු නවසීලන්තයේ, කොරියන් පන්සලේ සිටින, එකම පොඩි හාමුදුරුවෝ කේන්තියෙන් කතා කලේය .

‘‘මෙයා මෙහේ නැවතිලා මොනව කරන්න ද? මට පුළුවන් පන්සලේ වැඩ ඔක්කොම තනියම බලා ගෙන කරන්න. මෙයා කොරියානු භාශාව කතා කරාට මෙයා අපේ කෙනෙක් නෙමේ නේ….‘‘උන්නාන්සේ කේන්තියෙන් කීය.

පොඩි උන්වහන්සේ මං පන්සලේ නැවතෙනවාට කැමැති නොවීය. නමුත් ලොකු හාමුදුරුවන්ගේ කැමැත්ත වුණේ තව කොරියන් හාමුදුරු නමක් පන්සලේ නවාතැන් ගෙන සිටීම හොඳයි යන්නය. විශේෂයෙන් කොරියාවේ මහ පන්සලක සිට වැඩම කල මම බොහෝ දුරට පෙනුමෙනුත් බොහෝ පැහැපත් කොරියානු පෙනුමට සමාන උන නිසා මම ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් බව නොකිව්වොත් මිසක් කාහටවත් අදුනගන්න පුලුවන් කමක් නැති ගානය. මම බොහෝ පිලිවෙලට පන්සලේ වැඩකටයුතු කරනා බැවින් නවසීලන්තයේ පන්සලේ ලොකු හාමුදුරුවන් මට බොහෝ කැමති ගානය. අනික කොරියාවේ සිට මෙරටට ස්වාමීන් වහන්සේ නමක් අලුතින් වඩම්මවා ගන්න එක වියදම් අධික නිසා ලොකු හාමුදුරුවෝ මට මේ අදහස ඉදිරිපත් කරන්න ඇති යැයි මට සිතිනි.

“‘පොඩි හාමුදුරුවෝ මං නවතිනවට කැමැති නෑ වගේ ලොකු හාමුදුරුවනේ ‘‘

‘‘එයාගෙ කැමැත්තක් අවශ්‍ය නෑ. ඔබවහන්සේ කැමැති නම් මේ පන්සලේ නවතින්න මං වීසා දික් කරල දෙන්නම්.‘‘

‘‘මං අපේ මහ කොරියන් පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙනුත් මේ ගැන අහන්න ඕන හාමුදුරුවනේ ‘‘

‘‘මං කොරියාවට කතා කරල ඒ ගැන අහන්නම්. ඔබවහන්සේට කොරියාවේ ඉන්නවට වඩා නවසීලන්තයේ ඉන්න එක ගොඩක් හොඳයි. හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්නත් පුළුවන් මෙහේ හිටියොත්‘‘

‘‘ඇත්තටම කියනවා නම් ලොකු හාමුදුරුවනේ මං නවසීලන්තයට හරි කැමැතියි. හරිම ලස්සන රටක්, මිනිස්සුත් හොඳයි. ඉංග්‍රීසි කතා කරන රටක ඉන්න එක අපට ඉංග්‍රීසි භාෂාව දියුණු කර ගන්නත් පුළුවන්නේ........අවුරුදු දහයක්ම කොරියාවේ වැඩ විසූ නිසා ටික කාලයක් මේ රටෙත් නවාතැන් ගන්න මම කැමැතියි හාමුදුරුවනේ"

‘‘විපස්සි හාමුදුරුවෝ කැමැති නම් මේ පන්සලේ නවතින්න පුළුවන්. අද හෙට ම හරියටම කියන්න මං වීසා දික් කරලා දෙන්නම්."‘

‘“මම නම් බොහොම කැමැතියි හාමුදුරුවනේ. මං කොරියාවේ අවුරුදු 10ක් වැඩ සිටියා. ලංකාවේ මහණ වෙලා අවුරුදු 12ක් වැඩ හිටියා, තායිලන්තයේ අවුරුද්දක් විතර වැඩ සිටියා. මම මහණ වුණේ අවුරුදු දොළහේ දී. දැන් මට අවුරුදු තිස්පහට ලගයි. මේ අවුරුදු ගානට මම ලෝකෙ ගොඩක් රටවලට වැඩම කරලා තියෙනවා හාමුදුරුවනේ ….. නානාප්‍රකාර මිනිසුන් හම්බ වෙලා තියෙනවා. මේ අවුරුදු තිස්පහට මං ඉතා අවංක ව, පිරිසුදු ව ජීවත් වෙලා මහණ දම් පුරලා තියෙනවා. මගේ පැවදි ජීවිතය ගැන මට සතුටුයි. මං කැමැතියි හාමුදුරුවනේ මේ රටේ නැවතිලා කොරියන් පන්සලේ හාමුදුරු නමක් ලෙස ඉදිරි කාලය ගත කරන්න.”......

"‘මටත් සතුටුයි, ඔබවහන්සේ වගේ කෙනෙක් අපේ පන්සලේ නවාතැන් ගන්නවාට. අපි එහෙනම් කොරියාවේ ලොකු පන්සලට දන්වා යවමු...., ඔබවහන්සේ නවසීලන්තයේ මගේ ළඟ නතර වෙනවා කියලා.‘‘

‘‘හොඳයිමයි හාමුදුරුවනේ.‘‘

උන්නාන්සේගේ කැමැත්තට වගේම මගෙන් කැමැත්ත උඩ දැන් මම නවසීලන්තයේ, කොරියානු පන්සලේ කොරියන් ස්වාමීන් වහන්සේ නමක් ලෙස ජීවත් වන්නෙමි.

මේ පන්සලට එන කොරියන් මිනිසුන් මෙන්ම ශ්‍රී ලාංකාවේ බෞද්ධ බැතිමතුන්ගේද සිත දිනාගෙන, ලොකු හාමුදුරුවන්ගේත් හිත දිනාගෙන මම හොඳින්, සතුටින් නවසීලන්තයේ කොරියන් පන්සලේ ජීවත් වන්නෙමි.

මා මෙහි නතර වී සිටිනවාට කොරියන් පන්සලේ පොඩි හාමුදුරුවන් නම් අකැමැති ය. උන්වහන්සේ නිතර ම වගේ මගේ පොඩි පොඩි වැරදි හොයමින්, ඒවා ගිහින් ලොකු හාමුදුරුවන්ට පවසයි. සමහර වේලාවට මා සමඟ හොඳින් කතා කරයි. නමුත් හිත යටින් මට අකැමැති බව උන්වහන්සේ කරන වැඩවලින් හොඳින් ම පෙනෙයි.

අප දෙදෙනාට පන්සල පිරිසුදු කරන වැඩවලට අමතර ව ඉවුම් පිහුම් වැඩ ද කිරීමට නියමිතය. මා කෑම පිසින දවසට හා වේලාවට පොඩි හාමුදුරුවන් පැමිණ මෙසෙ කියයි.

"ලොකු හාමුදුරුවො මේ තුනපහ ජාති දලා කන්න කැමැති, මේ සෝස් වර්ග දාලා උයන්න"

කියා ලොකු හාමුදුරුවෝ කන්න අකැමැති වර්ග පෙන්වයි. මම උයන කෑම ලොකු හාමුදුරුවන්ට කන්න බැරි ලෙස උයන්න අනුබල දෙයි. ඒ සියලු දේ වටහා ගෙන මම පරිස්සමට ජීවත් වන්නෙමි.

අවුරුදු දහයක් කොරියාවේ පන්සලේ ගත කළ ජීවිතය තුළ නොයෙකුත් හාමුදුරුවන්ගේ කෙනෙහිලිකම්, අපවාද, ගැරහුම්, ඇතුළු අට ලෝ දහමේ සියලු දුක් වේදනා විඳ ඇති මට දැන් ඕන දුකක්, වේදනාවක් විඳ විය හැකි ය. අට ලෝ දහමට හිස නමමින් අපහාස, උපහාස හොඳින් විඳ පුරුදු මට දැන් ලෝකයේ කොයියම් තැනක ගියත් හොඳින් ජීවත් වීමට ශක්තිය ධෛර්යය ලැබී ඇත. මාගේ ඉදිරි ජීවිතය ගැන මට බයක් නැත. නිවන සොයා මා යන ගමනේ සියලු දුක්කම්කටොලු විඳ ඇති මට මාගේ ඉදිරි ගමනේ හමුවන කරදර, බාධක, ප්‍රශ්න ගැන බියක් ඇත්තේ ම නැත. මම මාගේ ගමන යමි. කාටවත් මා නතර කළ නොහැකි ය.

නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධ පවුල් හත අටක්ම මෙම කොරියන් පන්සලට යෑමට ඒමට පුරුදු වී ඇත. අවුරුදු දහයක් කොරියාවේ වැඩ සිටි කාලයේ මම ලංකාවට එක පාරක්වත් වැඩම නොකලෙමි. ලංකාවේ මිනිසුන් අවුරුදු දහයකින් දුටුවේවත් කතා කරලා වත් නොතිබු මට නවසීලන්තයේ පන්සලට, යන එන සිංහල බෞද්ධයන් දකින විට ලොකු සතුටක් ඇති වෙයි. මගේ මව් භාශාවෙන් නැවත කතා කරන්න ලැබීම, තවත් වාසනාවක් ලෙස මම දකිමි.

මා මෙහි වැඩම කළ පසු ලංකාවේ බෞද්ධ ජනයා මෙම පන්සලට එන ප්‍රමාණය වැඩි වී ඇතැයි කීවේ කොරියන් පන්සලේ ලොකු හාමුදුරුවන්ය. උන්වහන්සේ ඒ ගැන බොහෝ සතුටු වෙයි

. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ බැතිමතුන් මා සමග බොහෝ මිතුරු වී ඇත. ළමා, තරුණ, මහලු සියලු දෙනා ඉතා භක්තියෙන්, කරුණාවෙන් මට සලකයි . ඔවුහු මට නිතර නිතර ලංකාවේ බත් මාළු පිනි ගෙනත් පිළිගන්වයි. කාලෙකට පසු මට ලංකාවේ ක්‍රමයට දානය වළඳන්නට හැකි වී ඇත. අවුරුදු දහයක් මම ලංකාවේ තුනපහ සමග ආහාර වලදා නොතිබු බව වැටහේන්නේ දැන්‍ය. ඔවුන්ට මම මට පුළුවන් ආකාරයට මාගෙන් විය යුතු යුතුකම් ඉටුකර දෙමි. මා මෙන්ම ඔවුන්ද නොදන්නා රටක පදිංචි වී රැකියා කටයුතු වෙනුවෙන් මෙන්ම, දූදරුවන් ලොකු මහත් කරවීම වෙනුවෙන්ද වෙහෙස මහන්සි වෙති. ඒ අතරතුර කාලයේ විවේකයක් ලැබුණු විට පන්සලට පැමිණ බුදුන් වැඳ බණ භාවනා කර ඔවුන්ගේ දුක්ගැනිවිලි, කරදර මා සමග කියා සිත නිවා ගැනීමටද ඔවුහු අමතක නොකරති.

“අනේ ස්වාමීන් වහන්ස අපට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි අපේ මේ දරුවන්ට සිංහල කතා කරන්න බැරිකම.”

‘"ඒකට දරුවන්ට ගෙදරදි සිංහලෙන් කතා කරන්න.”

"අපි සිංහලෙන් කතා කරන කොට දරුවො ඉංග්‍රීසියෙන් උත්තර දෙන්නේ."

"ඒ ඉතින් ඔබලාගෙම වැරදි තමයි…... මේ රටවල ඉන්න සමහර ගෙවල්වල ළමයින්ට සිංහල කතා කරන්න පුළුවන් වෙන්නත්, සමහර ගෙවල්වල ළමයින්ට සිංහල කතා කරන්න බැරි වෙන්නත් මූලික හේතුව තමන්ගෙ ගෙවල් තුළ ම ඇති ආභාෂය තමයි.‘‘

"ලංකාවෙ ඉඳන් පිටරට එන දෙමවුපියන් හැමෝට ම ඕන තමන්ගෙ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න. ඒ හින්දා දරුවො ඉපදුණු ගමන් ම ඉංග්‍රීසි උගන්වන්න ගෙදරදි ළමයින්ට ඉංගිරිසියෙන් කතා කරන්න පටන් ගන්නවා….. බලෙන්ම සිංහල අමතක කරවන්නෙත් දෙමවුපියන්ම තමයි. අපේ මෝඩ සිංහලයො හිතන්නෙ ළමයින්ට සිංහල කතා කරන්න බෑ කියන එක මහ ලොකු දෙයක් කියල….. ඉතිං ළමයින්ට ගෙදරදි කතා කරන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් පස්සෙ කියනවා ළමයින්ට සිංහල බෑ කියලා‘‘......

" පිටරට ඉන්න හැම දරුවෙකුට ම සිංහල බැරි නෑ. උගත් දෙමවුපියන් ඉන්නවා දරුවන්ට ගෙදරදි සිංහලෙන් කතා කරලා උවමනාවෙන්ම සිංහල භාෂාව උගන්වනවා. සමහර ළමයි ගෙදරදි හොඳට සිංහල කතා කරනවා දෙමවුපියොත් එක්ක….. ඒ වුණාට ගෙදරින් එළියට ගියාම, දෙමව්පියන් හැමෝට ම අඟවන්නෙ අපේ ළමයින්ට සිංහල කතා කරන්න බෑ කියලා. සිංහල කතා කරන්න බෑ කියන්නෙ ලොකු දෙයක් කියලයි ඒ දෙමවුපියන් හිතන්නෙ. අන්න ඒ ළමයින්ට, දෙමවුපියන්ට මම කියන්නෙ ලැජ්ජා වෙන්න ඕන දරුවන්ට සිංහල බෑ කියලා ලොකුකමට කියනවට, අඟවනවට……. .. . දෙමවුපියන්ගෙ වැරදි නිසයි දරුවන්ට සිංහල බැරි වෙලා තියෙන්නෙ. ...

‘‘මේ රටවල ඉපදිලා, මේ රටවල ඉගෙන ගෙන තමන්ගෙ මව් භාෂාව කතා කරන දරුවන් ඕනතරම් ඉන්නවා. ඒ අයගේ දෙමවුපියන්ව, ඒ දරුවන්ව අපි නිතර ම අගය කරන්න ඕන, අනිත් අයටත් පේන්නත් එක්ක. ඒක දැකලවත් එතකොට සිංහල උගන්වන්න අනිත් දෙමවුපියන්වත් ඉගෙන ගනියි, උත්සාහ ගනියි කියලා මම හිතන්නේ…. "‘

"දරුවන්ගෙ සිංහල භාෂාව ලිවීමේ, කියවීමේ හැකියාව, වැඩිදියුණු කර දීමට මට පුළුවන් උදවුවක් මම කරන්නම්……. මටත් ලංකාවෙ සිංහල‘ බෞද්ධ දර්ශනය වෙනුවෙන් උපාධියක් තියෙන නිසා‘ මට පුළුවන් දරුවන්ට සිංහල හා බුද්ධාගම කියලා දෙන්න.”.....

‘‘අනේ කොයිතරම් දෙයක් ද හාමුදුරුවනේ ඒක නම් ...‘‘

“‘එහෙනම් දරුවන්ට පහසු දිනයක් දෙකක් දාගෙන පන්සලට එක්ක එන්න, මම අපේ ලොකු හාමුදුරුවන්ටත් කියල අවසර ගන්නම් දරුවන්ට සිංහල පන්තියක් කරවන්න…..‘‘

"‘ඔබවහන්සේට බොහොම පිං ...අපි අනිත් දෙමව්පියන් දනුවත් කරන්නම් ඒ ගැන …

වැඩි දවසක් යන්න ප්‍රතම පොඩි දරුවන්ට සිංහල උගන්නන පංතිය මම පටන් ගත්තෙමි. මුලින් එයට දරුවන් පස් හය දෙනෙක්ගෙන් පටන් ගත් එම පන්තිය පසුව දහ දොලොස් දෙනෙක් දක්වා වැඩි විනි.

එලෙස පටන්ගත් සිංහල පන්තිය නිසා හැම සෙනසුරාදා දිනකම ලංකාවේ සිංහල බෞද්ධ පවුල්වල දරුවෝ පැය දෙකක කාලයක් මගෙන් සිංහල භාෂාව ඉගෙන ගැනීමට පැමිණෙන්න පටන් ගත්තෝය. එම නිසා සිංහල බැතිමත්හු හා දරුවන්ගේ දෙමව්පියන් නිතර නිතර පන්සලට විත් මා මුණගැසීමට පුරුදු වූහ.

‘‘ඔබවහන්සේ කැමැති නම් අපට පුළුවන් ඉංග්‍රීසි පන්තියකුත් පන්සලේ පවත්වන්න. මේ රටට අලුතෙන් ලංකාවේ ඉඳන් ආපු අයත් ඉන්නවා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමැති, අපට පුළුවන් ඒ අයටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න උදවු කරන්න.‘‘”

“‘ඒක නම් හොඳ අදහස, එතකොට මටත් පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න.”

මම එම අදහසට ඉතා සතුටු වුණෙමි. කොරියාවේ අවුරුදු දහයක් ගතකළ කාලයේ මට කතා කරන්න ලැබුණේ කොරියන් භාෂාව පමණක් නිසා මට ඉතා දක්ෂ ලෙස කොරියන් භාෂාව කතා කිරීමට හැකියාව ලැබී තිබුණි. නමුත් කොරියාවේදී මා ලංකාවෙන් යන විට දැනගෙන ඉගෙන ගෙන ගිය ඉංග්‍රීසි දැනුම නැත්තට ම නැති වී ගොස් තිබුණි.

පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් වැඩිහිටියන්ට ඉංගිරිසි පන්තියක් කරවීමට කැමැත්ත ලබා ගත් මම එම පන්තියට කොරියානු ජාතිකයන්ද සහභාගි කරවා ගත්තෙමි. එලෙස පන්සලේ සිංහල පන්තිය මා කරන අතර, සිංහල ගුරුවරයෙකු හා කොරියානු ගුරුවරයෙකු විසින් වැඩිහිටියන්ට ඉංග්‍රීසි පන්ති දෙකක් පන්සලේ රාත්‍රියට ආරම්භ කරනු ලැබීය.

ගැහැනු, පිරිමි භේදයකින් තොරව ඉංග්‍රීසි පන්තියට ලංකාවේ වගේම කොරියාවේද පන්සල් එන බැතිමත්හු සහභාගි වූහ. ඉංග්‍රීසි පන්තිය රාත්‍රියට පවත්වන්නට යෙදුණේ වැඩිහිටියන්ගේ පහසුව තකා ය. මම ද එම පන්තියට සහභාගි වෙමින් මාගේ ඉංග්‍රීසි දැනුම දියුණු කර ගනිමින් ඉදිමි.

- හෙට හමුවෙමු -

* ප්‍රිසිලා ගොඩහේවා *


 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page