**එතෙරින් එතරට **
- Prisila Godahewa

- May 25, 2020
- 5 min read
(29 වෙනි කොටස)
#වසර දහයකට පසු..
කොරියාවේ ගෙවුණු වසර දහයක කාලය තුළ නොයෙකුත් කරදර බාධක, අපහාස උපහාස, දුක සැප, ජය පරාජ ඇතුළු ව අටලෝ දහමට යටත් ව ගෙවී ගිය කාලය ජීවිතයේ අත්දැකීම් බහුල ව ලැබුණු කාලයක් විය. ලංකාවේ සියලු දෙයින් ඈත් වී ගෙවුණු කාලය ජීවිතයට බොහෝ අත්දැකීම් ලැබුණු කාලයක් සේම, මා බොහෝ මුහුකුරා ගිය කෙනෙකු ලෙස ජීවිතයට පා තබා තිබුණි.
පන්සලේ වැඩට උදවු කරමින් එහි සිටි ස්වාමීන් වහන්සේලාගේ හිත දිනා ගෙන කොරියන් භාෂාව ද ඉගෙන ගනිමින් මම කොරියන් පන්සලේ වසර දහයක කාලයක් පදිංචි වී උන්නෙමි. එම කාලය තුළ මට හොඳින් කොරියන් භාෂාව කතා කිරීමට හැකි වී තිබුණි. මට දැන් කොරියාවේ ඕනෑ තැනකට යා හැකිය. කොරියාව තුල ඕන වැඩක් තනියම කර ගත හැකිය. ඕන කෙනෙකු සමග බය නැතුව කතා කළ හැකි ය. මම කොරියන් ස්වාමීන් වහන්ස නමක් ලෙස කොරියාවේ බොහෝ හොඳින් ජීවත් වෙමි. කොරියාවේ බෞද්ධ මිනිසුන් අතරද හොඳ පිළිගැනීමක් ඇතිව ජීවත් වෙමි.
පෙනුමෙන් බොහෝ පැහැපත් වු මම කොරියානු ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ පෙනුමටද බොහෝ සමාන විය. නොදන්නා කෙනෙකුට කොරියානු ස්වාමීන් වහන්සේලා අදින සිවුරෙන් සිටින මා අදිනාගන්නට බැරි තරමට සමාන විය.
අවුරුදු දහයක් පමණ කාලයක් තුළ මම එම පන්සලේ නවාතැන් ගෙන, ඉතා මහන්සි වී පන්සලේ වැඩකටයුතුවලට සහභාගි වුණෙමි. කොරියන් ස්වාමීන් වහන්සේලා එම රට තුළ වාහන පැදවීම කරන බැවින් මට ද වාහන බලපත්‍රය ගන්නට සිදු විය. පන්සලේ වැඩකටයුතුවලට එය ඉතා පහසු විය. මම වැඩ වෙසෙන පන්සල කොරියාවේ ඉතා දුෂ්කර ගම්බද පරිසරයක පිහිටා තිබුනි. පන්සලේ ලොකු හාමුදුරුවන් ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාගේ හිත දිනා ගෙන සිටි මට කොරියන් වැඳුම් පිදුම් ගාථා ඒ ආකාරයට ම ඉගෙන ගන්නට ද හැකි විය. සුමානයකට දවස් තුනක් හවස පූජාව මම පවත්වන්නෙමි. කොරියන් බෞද්ධයන්ගේ බෝධි පූජා මම ඉතා දක්‍ෂ ලෙස මෙහෙය වන්නෙමි. මා සිටි ප්‍රදේශයේ කොරියන් බෞද්ධයන් අතර ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙමින් මම කොරියාවේ පන්සලේ හිතේ සතුටින්, සැහැල්ලුවෙන් අවුරුදු දහයක් ගෙවා නිම කර තිබුණෙමි.
තායිලන්තයේ දී හා ඇමෙරිකාවේ දී මට මුණගැසුණු ස්වාමීන් වහන්සේලා තවමත් මා සමඟ මිත්‍රව හිදියි. උන්වහන්සේලා සමඟ මම නිතර නිතර ලියුම් හුවමාරු කර ගන්නෙමි. දුරකථනයෙන්ද කතා කරන්නෙමි.
කාලෙකට පසුව එම ස්වාමීන් වහන්සේලා දෙනමක් කොරියාවේ සංචාරයක් සඳහා එන බව ආරංචි වී මම ඉතා සතුටු වුණෙමි. උන්වහන්සේලා කොරියාවේ සංචාරයත් සමඟ ම නවසීලන්තය ද බලා සංචාරය කරන බව අසා මටත් නවසීලන්තයේ සංචාරයක යන්නට සිත් පහළ විය. එබැවින් කොරියන් පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ කැමැත්ත ඇතිව මම ද ඔවුන් සමඟ ම නවසීලන්තය බලා යෑමට වීසාවලට ඉල්ලුම් කළෙමි.
කොරියන් පන්සලේ ලොකු හාමුදුරුවන් සමඟ ගෙවුණු අවුරුදු දහයක කාලය තුළ විවිධ රටවල සංචාරය කිරීමට මට ද අවස්ථාව ලැබිණි. ඒවානම් ජපානය, එංගලන්තය, මැලේසියාව, ඔස්ට්‍රේලියාව යන රටවල් ය. කොරියන් පන්සලට ආ පසු මාගේ දෛවය වෙනස් වී ඇතැයි මට සිතේ. මම කොරියාවට ආවේ මාස තුනක වීසා ලබා ගෙන ය. මාගේ වීසා ඉවර වීමට ප්‍රථම කොරියන් පන්සලේ ලොකු හාමුදුරුවෝ මට කොරියාවේ නැවතීමට වීසා සකසා දුන්හ. උන්වහන්සේගේ කරුණාව නිසා මට කොරියාවේ නවාතැන් ගන්නට හැකි විය. මා පන්සලේ කරන සේවය වෙනුවෙන් ලොකු හාමුදුරුවෝ මට හැම මාසයකම ගෙවීමක් ද කරයි. මම ඒ සල්ලි එකතු කර මගේ බැංකු පොතේ දාගන්නෙමි. මාගේ විනෝදාංශය පරණ ඉලෙක්ට්‍රික් බඩු මිල දී ගෙන ඒවා නැවත අලුත්වැඩියා කර හොඳ තත්ත්වයට ගැනීම ය. ඉලෙක්ට්‍රික් බඩුවලට විශාල ආසාවක් දක්වන මම, මට හම්බ වන මුදල්වලින් නොයෙකුත් අලුත්, පරණ ටෙලිෆෝන්, කම්පියුටර්, රේඩියෝ, කැසට් යන්ත්‍ර ලාභෙට මිල දී ගෙන ඒවා අලුත් කර නැති බැරි අයට පිනක් ලෙස දෙමි.
එසේ නැතහොත් ඒවා දී මට වියදම් වූ ගාණ ඉල්ලා ගමි. කොරියන් පන්සලේ ගෙවුණු අවුරුදු දහය ඉතා සතුටින්, නිදහසින් ගත කළේ යැයි මම සිතමි. තිබුණු එකම අඩුපාඩුව ලෙස මට වැටහෙන්නේ මාගේ භාෂාව කතා කිරීමට කිසි කෙනෙකු මේ රටේ නොසිටීම පමණි. අවුරුදු අටකට ඉහත දී සුබෝධ මහත්තයා ඇතුළු ඔහුගේ පවුලේ අයද ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියහ. එම නිසා සිංහල කතා කිරීමට සිටි එකම සිංහල පවුල මට නැති විය.
‘‘ඔබවහන්සේත් දැන් අපිත් සමඟ නවසීලන්තය බලා යන්න වඩිනවා නේද?"
තායිලන්ත ස්වාමීන් වහන්සේලා දෙනම නිතර ම මා සමග ෆෝන් එකෙන් කතා කරන්නේය.
‘‘එහෙමයි... මං මෙහේ ලොකු හාමුදුරුවන්ට කිව්වා මාස තුනක් විතර අපි නවසීලන්තයේ නවාතැන් ගන්න වග.”
“‘අපි දැන් කොහේද නවසීලන්තයේ ගිහින් නවාතැන් ගන්නේ?"‘
‘‘එහේ තියෙන කොරියන් පන්සලේ අපට නවාතැන් ගන්න පුළුවන්. මං ඒවා අපේ ලොකු හාමුදුරුවන්ට කියල ලෑස්ති කර ගන්නම්.”
“ඔබ දෙනම දැන් කවද්ද කොරියාවට වැඩම කරන්නෙ?.... ඔබ දෙනම කොරියාවට වැඩම කළාම බලන්න යන්න තියෙන දේ වගේම මම අනිත් දේවලුත් දැනටත් ලෑස්ති කරලයි තියෙන්නෙ.”
“ඒක හොඳයි. අපි සුමාන දෙකක් කොරියාවේ වැඩ වෙසලා රටතොට බලාගෙන, පසුව නවසීලන්තය බලා යන්නයි අදහස කරගෙන ඉන්නෙ
තායිලන්තයේදී හමුවී මිත්‍ර වු ශ්‍රි ලාංකික ස්වාමීන් වහන්සේලා දෙනම කොරියාවට වැඩම කලාට පසු උන්නාන්සේලා දෙනම කොරියාවේ බොහෝ විශේෂ ස්තාන බැලීම සදහා උන්වහන්සේලා මම එක්ක ගියේ පන්සලේ මා පදවන වෑන් රතයෙනි.
උන් වහන්සේලාට කොරියානු පන්සලේ මම වැඩ වෙසෙන කාමරයේම බට පැදුරු හා ඝනකම් පොරොවන ලෑස්ති කර දුන්නෙමි.
උන්නාන්සේලාට දානය නම් මට පුලුවන් ආකාරයට ලංකාවේ ක්‍රමයට සකස් කර දෙන්නට උත්සහ ගත්තෙමි.
උන්නාන්සේලා කොරියාවේ වැඩ විසුව සුමාන දෙක ගෙවී ගොසින් මාත් සමග ඔවුන් නැවත නවසීලන්තය බලා යන දිනය ලංවිය.
කොරියානු පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ගත් මම උන්නාන්සේලා සමග නවසීලන්තය බලා ගමන් ආරංභ කකලෙම.
තායිලන්තයේ දී හමු වූ ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා දෙනම සමඟ මම නවසීලන්තය බලා වැඩම කළේය. අප තෙනම නවාතැන් ගත්තේ නවසීලන්තයේ ඇති කොරියන් පන්සලේය. කොරියානු පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ අනුදැනුම මත නවසීලන්තයේ පන්සලට ආ අපට එහි වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලා බොහොම හොදින් අවතේව කරමින් පිලිගත්හ. මා හට හොඳින් කොරියන් භාෂාව කතා කිරීමට හැකි වීම නිසා එහි වැඩ සිටි ලොකු හාමුදුරුවොත් අනෙක් ස්වාමීන් වහන්සේලා සමඟත් මම හරි හරියට කොරියන් භාෂාවෙන් කතා කළෙමි. එම පන්සලේ ලොකු හාමුදුරුවෝ මා සමඟ ඉතා ඉක්මනින් මිත්‍ර විය.
ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා දෙනම සමඟ මම නවසීලන්තයේ ශ්‍රී ලාංකාවේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා වැඩ වෙසෙන පන්සලකට වැඩම කළෙමු. එම පන්සලේ සිටින ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලාට මාගේ කොරියන් සිවුරෙන් මුහුණ දීමට තරම් මට ශක්තියක් නොවීය. තායිලන්තයේදී හමු වූ හිමිවරුන් මා සිටි තත්ත්වය තේරුම් ගත් හොද යහළුවන් දෙදෙනෙකු නිසා එය ප්‍රශ්නයක් නොවීය. නවසීලන්තයේ වැඩ සිටින ශ්‍රී ලාංකික බෞද්ධ පන්සලේ හිමිවරුන් මා ගැන කුමක් සිතාවි දැයි සිතීමට නොදනිමි. එබැවින් මම අනෙක් හිමිවරුන්ගේ කැමැත්ත ඇතිව ලංකාවේ ස්වාමීන් වහන්සේලා වැඩ වෙසන පන්සලට යන අතරමග විවේකාගාරයකදී මාගේ කොරියන් සිවුර ගලවා ලංකාවේ දී ඇඳි තැඹිලි පාට සිවුරට මාරු වුනෙමි .
කාලයකට පසු ඇඳි සිවුර මට අපහසුතාවක් ගෙන දුන්නා යැයි සිතේ. අප නවසීලන්තයට වැඩම කළ වකවානුවේ බෞද්ධ විහාරයේ තිබූ කඨින පිංකමටද අප තෙනමට ආරාධනා ලැබුණි. තායිලන්තයේ හිමිවරුන් සමඟ මා ද එම විහාරයේ පැවැති කඨින පිංකමට සහභාගි වුණේ ලංකාවේ දී ඇඳි තැබිලි සිවුරෙන්ය.
මම කරන්නේ වැරැද්දක් නොවේ යැයි මාගේ සිත දනිමි. සිවුරු දෙකක් ඇන්දත්, මා අදහන එකම ශාස්තෘවරයා මාගේ බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේට මම මුලුහදවතින්ම ගරු කරමි. උන්වහන්සේගේ ධර්මය පණ මෙන් පිළිගෙන ඉතා භක්තියෙන් ඒ සඳහා පේවී සිටිමි. පස්පව් නොකරන, බෞද්ධාගමට ඉතා ලෑදි, බෞද්ධ ධර්මය පතුරන, බුදුරජාණන් වහන්සේගේ හොඳ අනුගාමිකයෙකු ලෙස මම ජීවත් වෙමි.
‘‘අපි නම් තව දවස් දෙකයි නවසීලන්තයේ වැඩ සිටින්නේ, අපි තායිලන්තයට වැඩම කිරීමට ප්‍රථම ලංකාවටත් ගොස් එහෙත් සුමානයක් වැඩහිඳ යන්නයි ලෑස්ති කරගෙන තියෙන්නේ, අනිද්දට කොළඹ බලා අපට වඩින්න තියෙන්නේ ....‘‘ තායිලන්තයේ සිට වැඩම කල දෙනම නැවත තායිලන්තය බලා යෑමට සැරසේ.
“‘ විපස්සී හාහාමුදුරුවනේ ඔබවහන්සේ කවද්ද දැන් කොරියාවට වඩින්න හිතා ගෙන ඉන්නේ."‘
‘‘මට තව මාස දෙකක් තියෙනවා වීසා ඉවර වෙන්න. මට ඉන්න තැනක් තියෙන නිසා මම ඒ මාස දෙකත් මේ රටේ ඇවිදලා රටතොට තව බලාගෙනම කොරියාවට වඩිනවා.‘‘
දින දෙකකට පසු තායිලන්තයේ සිට පැමිණි ස්වාමීන් වහන්සේලා දෙනම කොළඹ බලා නැවත වැඩම කළහ. මා නවසීලන්තයේ කොරියන් පන්සලේ නතර වී එහි ලොකු හාමුදුරුවන්ගේ ද හිත දිනාගෙන පන්සලේ වැඩවලට ද, හවසට බුද්ධ පූජා වැඩවලට ද සහභාගි වුණේ හිතේ සතුටිනි. මා සමඟ ඉතා ඉක්මනට මිතුරු වූ ලොකු හාමුදුරුවෝ මට දිනක අමුතු යෝජනාවක් කළහ.
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා*





Comments