එතෙරින් එතරට
- Prisila Godahewa

- May 22, 2020
- 6 min read
( 28 වෙනි කොටස)
"ඔබවහන්සේ දැන් මෙහේ ඉඳන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ, ආයෙත් ලංකාවට යනවද, මෙහේ දිගටම නවතිනවාද?
ලොකු හාමුදුරුවෝ මාව ඔහුගේ කුටියට කතා කර වාඩි කරවා කොළ තේකොළ බොන්න ආරාධනා කර නිද්හසේ ඇසීය.
"දැන් ඔබ වහන්සේ මෙහෙට වැඩම කරලා මාස ගානක් ලං වේගෙන එනවානේ..."
“ එහෙමයි, ....මම මේ රටේ දිගටම ඉන්න කැමැතියි ලොකු හාමුදුරුවනේ .” මම කීවෙමි
“ඔබවහන්සේ මෙම පන්සලේ වැඩ වෙසෙනවා නම් අපේ පන්සලේ අනිත් හාමුදුරුවරු වගේ කොරියන් සිවුර අඳින්න පටන් ගන්න ඕනෑ. දිගටම ඔය සිවුරෙන් මෙහේ මට නවාතැන දෙන්න පුලුවන් කමක් නෑ......”
“ප්‍රශ්නයක් නෑ ලොකු හාමුදුරුවනේ. අපි හැමෝම අදහන්නේ බුදුරජාණන් වන්සේගේ එකම දහම, ධර්මය නම්, අඳින ඇඳුම රටට ආවේණික ලෙස වෙනස් කර ගත්තාට ඒකෙ වැරැද්දක් මම දකින්නෙ නෑ.”
“ශ්‍රී ලංකාවෙත්, මෙම කොරියන් රටේත් ඇති ආගමික ඇදහීම් දෙකේ වෙනස්කම් ඇති වී තිබෙන්නෙත් දෙරටට ආවේණික දේශගුණික වෙනස්කම් එක්ක කියලයි මම නම් හිතන්නෙ හාමුදුරුවනේ ...‘
“ඔබවහන්සේට අපිත් එක්ක ම එකට සහභාගි වෙන්න පුළුවන් උත්සවයක් ළඟදි මෙම පන්සලේ තිබෙනවා. මෙම රටේ කොරියානු පොඩි දරුවන් මහණ කරන ලොකු උත්සවයක ඒක..... එදිනට ඔබවහන්සේවත් මම අපේ පන්සලේ කොරියන් බැතිමතුන්ට හඳුන්වා දෙන්න කැමතියි කොරියානු ස්වාමීන් වහන්සේ නමක් ලෙස....ඔබ වහන්සේ කැමති නම් පමනක් .... එදින ඉඳන් ඔබවහන්සේට අපේ කොරියන් සිවුර අඳින්න වෙනවා අපේ චාරිත්‍රනුකූල වලට අනුව.”
“එහෙමයි හාමුදුරුවනේ මම ඒකට කැමැතියි.”
“එහෙනම් වඩින්න මාත් එක්ක ප්‍රධාන ශාලාවට .”
මම හෙමිහිට උන්වහන්සේගේ පිටුපසින් ගබඩා කාමරය ලග ඇති ප්‍රධාන ශාලාව වෙත උන් වහන්සේ සමග පිය මැන්නෙමි.
උන් වහන්සේ ප්‍රධාන ශාලාව කෙලවරේ තිබුන ගබඩා කාමරයේ අල්මාරියක් ඇරිය. ඒතුල පිලිවෙලට නවා ගොඩ ගසා තිබුනු කොරියානු සිවුරු වලින් මට ගැලපෙන ඇදුම් කොටසක් තෝරා මගේ අතේ තිබ්බේය.
“ඔබවහන්සේ අපි වගේ ම මේ අළු පාට ඇඳුම ඇඳගෙන මේ සුමානෙ අන්තිමට තිබෙන උත්සවයට සහභාගි වෙන්න ඕනේ......‘‘
උන්වහන්සේලා අඳින අළු පාට කලිසම, කිමෝනාවක හැඩැති කමිසය හා සිවුරක් ලෙස උරහිස හරට දමන දුඹුරු පාට සිවුරකුත් ලොකු හාමුදුරුවෝ මා වෙත පිළිගැන්වූහ. උන්වහන්සේට මම හිස නමා ආචාර කර එයත් රැගෙන මාගේ කුටියට වැඩියෙමි.
කාමරයට ගොස් එය අතේ තියාගෙන ඒ දෙස බලා සිටියෙමි....... මම කල්පනා කරන්නට පටන් ගත්තෙ ඉන් පසුයි.
පන්සලේ පිරිසුදු කරන වැඩවලට අඳින ඇඳුමට අමතරව ලැබුණු කොරියන් ස්වාමීන් වහන්සේලාගේ සිවුර මම අතට අරගෙන කල්පනා කළේ, ඉස්සරහ කාලේ මෙය අඳිනවද, එහෙම නැත්නම් නැවත ලංකාවට ගොස් සුපුරුදු ලෙස තැබිලි පාට සිවුර ඇදගෙන ඉදිරි කාලය ගත කරනවාද යන්නයි.. මට මේ වනවිට නැවත ලංකාවට යන්න අදහසක්ම නොතිබිණි. මා මේ කොරියන් පන්සලේ නිදහස් ජීවිතයට කොරියානු රටට ආස කරන්න පටන් ගෙන ඇත . ලංකාවට ගියද මට ඉන්න, නවාතැන් ගන්න තැනක් නැත. මා මහණ කරගත් ලොකු හාමුදුරුවන්ද අපවත් වී ඇත. ලංකාවේ සමහර දේවල් ගැන මා හොඳට ම කලකිරී කොරියාව බලා ආ වග මතකයට එයි. තාත්තා නැති වූ පසු අම්මා නැවත කසාදයක් කරගෙන ඇත. මල්ලී සහ නංගීද මේ වනවිට විවාහ වී වෙනත් ගම් බලා ගොස් ඇත. මාගේ යැයි කිව හැකි කිසිවක් ලංකාවේ නැති තරම් ය. මට ඉතුරු වී ඇත්තේ ලංකාවෙන් එන විට ඇඳන් ආ සිවුර හා අමතර සිවුරු දෙක පමණි.
අවසානයේ මම ගත් තීරණය වුනේ දිගටම කොරියානු රටේ නැවති, කොරියානු ස්වාමීන් වහන්සේ නමක් ලෙස දිගටම මෙම පන්සලේ වැඩවෙසෙන්නයි. මම මොන සිවුරකින් මොන රටක වැඩ විසුවත් අදහන්නේ...අනුගමනය කරන්නේ බුදුන් වහන්සේගේ බෞද්ධ ධර්මය නම් මම වැරද්දක් නොකරන බව මේ වන විට මට හොදින්ම වැටහී ගොස් තිබේ.
නැවත නැවත සිතීමට දෙයක් මට නොවීය. මම මේ කොරියානු ස්වාමීන් වහන්සේලාගෙ සිවුර ඇදගෙන උත්සවයට සහාභාගි වන්නට අවසානයේදී තීරණය කලෙමි .
කොරියන් පන්සලේ පොඩි හාමුදුරුවරුන් මහණ කරන උත්සවය ඉරිදා දිනක ඉතා උත්කර්ෂවත් ලෙස ලක ලෑස්ති කර තිබුනි. එදින මට ද කොරියන් ස්වාමීන් වහන්සේලා අඳින කිමෝනා හැඩැති කමිසය හා කලිසම ඇඳගෙන එම උත්සවයට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණි. ලොකු හාමුදුරුවන් ඇතුළු සීයක් පමන කොරියානු ස්වාමීන් වහන්සේලා ඉදිරිපිට කොරියන් භාෂාවෙන් ගාථා, පිරිත් කියමින් එම උත්සවයේදි මම කොරියාවේ හාමුදුරුවරු අදහන බුද්ධ ධර්මය, මාද භාර ගන්නා බවට සපථ කලෙමි.
එදින එම උත්සවයට සහභාගි වූ සියලු කොරියන් හිමිවරුන්ගේ පිරිත් මධ්‍යයේ පොඩි ස්වාමීන් වහන්සේලා ඇතුළු මම ද කොරියාවේ බුද්ධ ධර්මය වැලඳ ගත්තෙමි. එම උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එම පළාතේ සිටින කොරියානු බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් ඔවුන්ගේ පොඩි දරුවන් පැවිදි කරන උත්සවය පැවැත්විණි. එදින දවසේ ම පන්සලේ විශේෂ වැඩසටහන් හා පිරිත් සජ්ඣායනා පැවැත්විණි. ලංකාවේ බුද්ධ ධර්මය වැලඳ ගෙන සිටි මම කොරියාවේ බුද්ධ ධර්මය ද වැලඳ ගත්තෙමි. තේරවාදිද මහායානාද කියා ඇති බුද්ධ දර්මයේ අතර මම සුළු සුළු වෙනස්කම් දුටුවත් ඒවා අමතක කර දැමුවෙමි. මා අදහන්නේ බුදුන් වහන්සේගේ ධර්මයමයි කියා මම හිත හදා ගත්තෙමි. ලෝකයේ බෞද්ධයන් සියල්ලෝ ම බුදුන්වහන්සේගේ බුද්ධ දර්මය අතර වෙනස් ඇදුමෙන් සුලු වෙනස් කම් හමුවේ එකම ප්‍රතිතිපත්ති ඇති සාමාජිකයෝ ලෙස සාමකාමී ව ලෝකය පුරා ජීවත් වෙති.
“‘අද ඉඳන් විපස්සි හාමුදුරුවො ‘‘යේචිං‘‘ නමින් අප සමග අපේ පන්සලේ වැඩ වෙසෙනවා.‘‘ ලොකු හාමුදුරුවෝ සියලු ස්වාමීන් වහන්සේලා හා කොරියානු බැතිමතුන්ට අවසානයේ මට හිමි කොරියානු නමින් මා හදුන්වා දුන්නේය.
මා හට කොරියන් නමක් ද, කොරියන් සිවුරු ලෙසම ලැබුණි. මා දැන් කොරියන් පන්සලේ ‘‘යේචිං‘‘ ස්වාමීන් වහන්සේ ය. මම දැන් කොරියන් පන්සලේ ස්වාමීන් වහන්සේ නමක් ලෙස දැහැමිව ජීවත් වෙමි.
කොරියන් භාෂාව මට ඉතා ඉක්මනට ඉගෙන ගැනීමට හැකි විය. පන්සලට පැමිණෙන කොරියන් ජනයා බොහෝ ඉක්මනට මා සමග මිතුරු විය. හැකි අයුරින් මම ඔවුන්ට හොඳින් සලකමි.
‘‘යේචිං මේ වැඩය කරන්න.”
‘‘යේවිං අද රෑට කෑම හදන්න.‘‘
‘‘යේචිං අපට අද දානයකට වඩින්න තියෙනවා.‘‘
‘‘යේචිං මගේ මේ මැෂිම කැඩුණා. පොඩ්ඩක් බලලා හදල දෙන්න."
හැමෝටම මට කියා කරවා ගැනිමට බොහෝ වැඩ තිබිනි. මම ඒ හැම වැඩක්ම හරි ආසාවෙන් උනන්දුවෙන් කර දෙන්නෙමි.
ලොකු හාමුදුරුවෝ යන එන ගමන් බිමන් වලට මාව අඩගසාගෙන යෑම උන්වහන්සේ නිතර කරන්න පටන් ගත්තේය. ඈත පලාත්වල ඇති ගම්බද පලාතක ඇති මෙම පන්සලේ සිට ලගම නගරයට යෑමටත් විනාඩි 45 පමන වේලාවක් යයි. එම දුර පන්සලේ ස්වාමීන් වහන්සේලා යන්නේ පන්සලේ වෑන් රතයකිනි. පන්සලේ වැඩවෙසෙන තරුණ ස්වාමීන් වහන්සේලා සමග වෑන් රතයේ යන එන වෙලාවට උන් වහන්සේලා මටද වෑන් රථය එලවන්නට ඉගැන්නුවේය. වැඩි කාලයක් නොගොසින්ම මට හොදින් වෑන් රථය එලවීමට හැකියාව ලැබුනි. එම නිසා ලොකු හාමුදුරුවන් යන එන ගමන් වලදි මම වෑන් රතය එලවාගෙන උන්වහන්සේ අවශ්‍ය තැන් වලට රැගෙන යන්නට පටන් ගත්තෙමි. එම නිසා කොරියාවේ බොහෝ ප්‍රදේශවල මට සංචාරය කරන්නට අවස්ථාව ලැබුනි. විශේෂ ස්තාන දැක බලා ගන්නට ලැබුනි. කොරියාව දැන් මට ලංකාව තරමටම හුරුපුරුදු තැනක් වී ඇත.
මා නැතිව දැන් පන්සලේ ස්වාමීන් වහන්සේලාට කිසිම කටයුත්තක් කළ නොහැකි තරම් ය. විශේෂයෙන් පන්සලට එන තරුණ ගැහැනු, පිරිමි ළමයින් මා සමග බොහෝ මිතුරු වී ඇත. මම නිතර ඔවුන්ගේ අද්‍යයාපන වැඩ වලට මෙන් අමතර වැඩ වලටද උදව් කරන්නෙමි. ලංකාවේ විශ්ව විද්‍ය්ලයක ඉගෙන ගෙන ඇමරිකාව තායිලන්තය වැනි රටවල සංචාරය කර තිබුන බැවින් තරුණ ලමයින්ට මගෙන් දැන ගන්න, ඉගෙන ගන්න බොහෝ දේ තිබුනි.
ඔවුන් නිතර නිතර මට ඔවුන්ගේ ගෙවල් වල හදන විශේෂ කෑම බීම ගෙනවිත් දෙති. පුංච් පුංච් තෑගි ගෙනත් දෙමින් මගෙන් පොඩි පොඩි වැඩ කරවා ගනි. මම ඒ හැම දෙයක්ම හරි ආසාවෙන් කර දෙන්නෙමි.
‘‘මම යේචිංට අද තෑග්ගක් ගෙනාවා. බලන්න මොකක්ද කියලා‘.‘
“මේ මොකක්ද? තරුණ පිරිම් ලමයෙක් ගෙනත් දුන් පෙට්ටිය මම අතට ගත්තේ ආසාවෙනි. ඒ තුල තිබුනේ දුරකතනයකි.
‘‘මේක මම පාවිච්චි කරපු පරන ටෙලිෆෝන් එකක් ....... මම අලුත් එකක් ගත්තා. මේක යේචිං තියා ගන්න. මේක හොදට වැඩ කරනවා‘‘
‘‘අපොයි! මම මේවා පාවිච්චි කරන්න දන්නෙ නෑනේ.‘‘
“මම කියලා දෙන්නම්.”
‘“මට මේකෙන් ලංකාවට කතා කරන්න පුළුවන්ද?
"‘ඔව් ඕන රටකට කතා කරන්න පුළුවන්.‘‘
‘‘එහෙනම් හොඳයි. මට තායිලන්තයේ, ඇමෙරිකාවේ ඉන්න යාළු ස්වාමීන් වහන්සේලාට කතා කරන්නත් පුළුවන් මේකෙන්....... ලංකාවේ ගෙදර අදුනන අයටත් කතා කරන්න පුලුවන් ”
“හැබැයි මේකෙ කතා කරන්න සල්ලි දාලා කාඩ් එකක් ගන්න ඕනෑ. කතා කරන දුර, කතා කරන වේලාව අනුව ගාණ වෙනස් වෙනවා.”
‘‘මම ඔබවහන්සේට මේකට කාඩ් එකක් දාලම ගෙනාවේ, කාගෙහරි ෆෝන් නම්බරයක් ගේන්න අපි කතා කරල බලමු.‘‘”
මම විගසින් ආවාස ගෙට ගොස් කොරියාවේ වෙසෙන, මට මෙතැනට එන්න උදවු කළ සුමේධ මහත්තයාගේ ෆෝන් නම්බරය තරුණ ළමයාට ගෙනත් දුන්නෙමි.
“බලමු නම්බරය ගහලා.‘‘ඔහු මා දුන් අංකය ඔබා ෆොන් එක කනේ තියාගෙන ඉදී.
‘‘හලෝ...‘‘
ටික වේලාවක් ෆෝනය කනේ තියාගෙන ඉඳලා, ඔහු මට එය දික්කර කතා කරන්න කියා අතින් කීය.
“හලෝ‘‘
"කවුද මේ... අනිත් පැත්තෙන් මට කොරියානු භාශාවෙන් පිරිමි කටහඬක් ඇසිණි."
"මම මේ යේචිං... විපස්සි හාමුදුරුවෝ."
“ආ... කොහොමද හාමුදුරුවනේ හුග දවසකින් …. හදිස්සියක්ද?
‘‘නෑ, නෑ සුමේධ. මට මේ පන්සලට එන පිරිමි ළමයෙක් ෆෝන් එකක් තෑගි කළා. ඒක වැඩ කරනවද බැලුවා.‘‘‘
‘‘කොච්චර දෙයක් ද ඔබවහන්සේට ෆෝන් එකක් තියෙන එක. ඔබවහන්සේට දැන් ලංකාවේ අයටත් කතා කරන්න පුළුවන්නෙ... මම වෙලාවක නෝනයි, බබයි එක්ක ඔය පැත්තෙ එන්න තමයි හිටියේ හාමුදුරුවනේ….දිගටම වැඩ ඒකයි එන්න බැරි උනේ…."
“අනේ ඒකට කමක් නෑ ..පුලුවන් උන වේලාවක මේ පැත්තේ එන්නකො… හොඳයි මම නෝනාවත් මතක් කළා කියන්න එහෙනම් .”
මට තෑගි ලැබුණු පරණ ටෙලිෆෝනය මට ඉතා ප්‍රයෝජනවත් විය. ලංකාවේ මගේ ගෙදර අයට, පිරිවෙනේ, විශ්වවිද්‍යාලයේ, තායිලන්තයේ , ඇමරිකාවේ පරණ හඳුනන අයට කතා කිරීමට ලැබීම මට සතුටක් විය. රටේ ලෝකයේ තොරතුරු දැන ගැනීමට, මාගේ දැනුම දියුණු කර ගැනීමට එම ෆොන් එක ඔස්සේ අන්තර්ජාලය හා එක්වෙන්නටද පුලුවන් විය. එය බොහෝ ප්‍රයෝජනවත් භාන්ඩයක් විය.
"‘යේචිං පන්සලේ කටයුතුවලට අපට නිතර ටවුමට යන්න වෙනවා. ඒ නිසා ඔබවහන්සේත් දැන් පන්සලේ වාහනය පදින්න පුලුවන් නිසා ඉක්මනට වාහන ලයිසන් එක ගන්න ‘‘ දිනක් ලොකු හාමුදුරුවෝ මට කීහ.
වාහන පැදවීම මා ගොඩක් ආසාවෙන් සිටි දෙයකි. ලංකාවේ ස්වාමීන් වහන්සේලා වාහන පැදවීම නොකළද, කොරියාවේ පන්සල්වල හාමුදුරුවරුන් පන්සලේ වැඩකටයුතුවලට යන්නේ තමන්ම වාහනය පදවාගෙන ය.
වැඩි කාලයක් නොගොසින් ම මට රියැදුරු බලපත්‍රය ගෙන වාහන පැදවීමට වාසනාව ලැබිණි' එය පන්සලේ ලොකු හාමුදුරුවන්ට ඉතා පහසු විය. උන්වහන්සේ නිතර ම යන ගමන් බිමන්වලට, මාව නැතුව ම බැරි විය. සියලු දෙනාගේ හිත දිනාගෙන කොරියන් පන්සලේ මම ඉතා සතුටින් කාලය ගත කරමි.
කොරියාවට විත් කොරියානු පන්සලක කොරියානු ස්වාමීන් වහන්සේ නමක් ලෙස ආරංභ කල අලුත් ජීවිතය තුල නොයෙකුත් කරදර බාදක සිත් තැවුල් නොතිබුනා නොවේ. සියලු බාදක සමග සතුට සැහැල්ලුවද ජීවිතය තුල තිබුනි. කොරියාවේ අග නගරයට බොහෝ දුරක තිබු මා විසුව කොරියානු පන්සල නොදියුණු ගමක නොදියුණු මිනිසුන් සමග ගෙවී ගිය අවුරුදු දහයක කාලය ජීවිතේ කවරදාකවත් අමතක නොවන කාල පර්ච්චේදයක් විය.
-හෙට හමුවෙමු -.
*ප්‍රිසිලා ගොඩහේවා *





Comments