**එතෙරින් එතරට **
- Prisila Godahewa

- May 21, 2020
- 7 min read
(27 වන කොටස
පසු දින උදෑසන හතර හමාර වන විට නැගිට ගත් මම මුහුණකට සෝදා උයන ගෙට ගොස් තේ කහට එකක් හදාගෙන බිව්වෙමි. මෙහි කිරි අඩුපාඩුවක් ඇතැයි මට සිතේ. මොවුන් බොන්නේ තේ කහට නැතහොත් කොළ පාට තේ ය. තේ බී මම බුදුගෙට ගොස් බුදුන් වැන්දෙමි. බුදුන් වැඳ අහවර වී, මා උයන ගෙට යන විට එහි කෑම මේසය වටා වාඩි වී ස්වාමීන් වහන්සේලා තෙනම වැඩ සිටියහ. මා දුටු උන්වහන්සේලා මට මේසයට වාඩි වෙන්නැයි ආරධනා කලහ. කෑම මේසයේ පුටු නැත. කොට කෑම මේසය ළඟ බිම දණ නමාගෙන වාඩි වී සිටින උන්වහන්සේලා, එරමිණියා ගොතාගෙන වාඩි වී ඉදිති. මමත් ඔවුන් මෙන්ම එරමිණියා ගොතාගෙන වාඩි වුනෙමි. මේසය උඩ ඇති සුදු පාට කැඳක් වැනි දෙයක් පුංචි කෝප්පවලට දමා ගෙන ඔවුන් වලදති.
මම ද උන්වහන්සේලා සේ කැඳ බොන්නට පටන් ගත්තෙමි. එම බෙරි බත් කැඳට ලුණුවත් දමා නැත. කිසිම රසක් නැති කැඳ උන්වහන්සේලා වලදති. මම ලුණු භාජනය ගෙනත් එයට ලුණු දමා ගෙන ලුණු කැඳක් වැනි බත් කැඳ බොන්නට පටන් ගත්තෙමි. පසුව කෙසෙල් ගෙඩි, දොඩම් ,ඇපල් වැනි පලතුරු වැලදුවෙමු.
උදෑසන ආහාර වැළඳීමෙන් පසු මට පන්සල පිරිසුදු කරන වැඩ ගොඩක් තිබිණි. විහාර ගෙය, බණ මඩුව, උයන ගෙය සියල්ල අතු ගා, වතුර පෙඟ වූ රෙද්දකින් බිම පිස දැමිය යුතු ය. වත්ත පිටිය අතු ගා, එළවළු පාත්තිවලටද සාත්තු කළ යුතු ය. ලොකු හාමුදුරුවන් හා අනෙක් ස්වාමීන් වහන්සේලා දෙනම සමඟ මම හරි හරියට වැඩ කළෙමි.
මෙම පන්සල් වත්තේ සෝයා බෝංචි වගා කරයි . එම සෝයා බෝංචි කරල් සුද්දකර ඇට ලබාගෙන ඒවා වලින් සෝයා බෝංචි සෝස් හා තලප සාදාගන්නේ පන්සල් වත්ත තුලමය. පන්සල් වත්ත පුරා ඇති කල්දේරම් වැනි මූඩි සහිත මැටි පෝච්චි වල සුද්දකර ඇති සෝයා බෝංචි ඇට ලුණු දමා හුලං නොයන ලෙස මාස ගානක් වසා තබා ගනී. එම කටයුත්ත කිරීමට අනෙක් ස්වාමීන් වහන්සේලා ලොකු හාමුදුරුවන්ට උදව් කරයි. සෝයා බෝංචි තලපය හා දියරය පන්සලේ කෑම සෑදීමට, ප්‍රයෝජනයට ගනි. මෙම රටේ මිනිසුන්ගේ ප්‍රදාන ආහාර උයන ක්‍රම වලට සෝයාසෝස් , නැතුවම බැරි දෙයකි.
පන්සලට අවශ්‍ය හාල් ලබා ගැනීමට පන්සල පාමුල කුබුරේ වැඩ කරන්නේද පන්සලේ වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලාමය. එහි අස්වැන්න ගබඩා කාමරයේ තබාගෙන පන්සලේ ප්‍රයොජනයට ගනී.
ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය සියලු එලවලු පන්සල් වත්තේම වගා කර ගනී. ඒවා අතර කැරට් ගෝවා, රාබු, බතල, ලීක්ස් , වට්ටක්කා ,කොමඩු, සලාද කොළ, චීන ගෝවා ගෙඩි ආදිය වේ. පන්සල් වත්තේ එක මායිමක දොඩම් ප්ලම්ස් හා කොරියාවට ආවේනික පලතුරු වගා කර ඇත.
පන්සලේ තව කොනක කුකුල් කූඩුවක් දැලකින් වටකර සදා ඇත. දැල තුල කුකුලන් ඇවිදමින් ආහාර ගනිති. කුස්සියේ අහක දමන අමතර දෑ හා බතල කොළ ආදිය උන්ට කෑමට දෙයි. උන්ගේ බිත්තර පන්සලේ ස්වාමීන් වහන්සේලාගෙ ආහාර සදහා ප්‍රයොජනයට ගනී
සුමානයක් පමන ගෙවී ගියේ එකම වැඩ සටහනකටය. එකම විදිහේ වැඩ කටයුතු උනත් මම එම වැඩ වලට බොහෝ කැමැත්තෙන් සහභාගි උනෙමි.
දිනෙන් දින ඔවුන් සමග වැඩ කරන විට මට කොරියන් භාෂාවේ පුංචි පුංචි වචන එනම්, එන්න, යන්න, කන්න, බොන්න ආදී කොරියන් වචන ටික ටික තේරෙන්නට විය.
ආහාරය පිසීමට තිබෙන කුස්සියේ වැඩ බැලීමට නියම වී තිබුණේ මට වඩා ටිකක් වැඩිමහල් පෙනුම ඇති ස්වාමීන් වහන්සේ නමකටය. දිනපතා උයන වැඩේ එකිනෙකා බෙදා ගෙන කරනවා යැයි මට සිතේ. කොරියන් ක්‍රමයට මා තව ම උයන්න නොදන්නා බැවින් ලොකු හාමුදුරුවෝ උයන වේලාවට දාන අඩුවැඩිය ආදිය මට පපෙන්වා දෙයි.
දහවල් දානයට පෙර වැඩ නිමකර, අතපය හෝදා ගෙනවිත් අපි දහවල් දානය අපිම සාදගෙන වලදන්නෙමු. ඇතැම් දිනට, දවාලට විනාකිරි, සුදු ලූනු හා ඉඟුරු දමා සාදන ලද විශාල මාළුවෙකු, ලූනුකොල බැදදමා සාදා තිබේ. හැමදාම කිමිච් අච්චාරුව සහ සලාද කොළ සමග සුදු බත් තිබේ. සමහර දවසට ඇට වර්ග බොහොමයක් දමා තද කලු පාටට උයන බතක් ඇත. එම බත බොහෝ ගුනවත් බව ලොකු හාමුදුරුවෝ කීය. තව කොරියාවට ආවේනික අච්චාරු වර්ග පුංචි දීසි වල දමා කෑම මේසයට තබයි. වැඩිපුර එළවලු වර්ග අමුවෙන් වගෙ ආහාරයට ගනි. එකම විදිහේ තුනපහ නැති සුදු කෑම වර්ග අකමැති උනත් කෑමට ගන්නට මා දැන් පුරුදු වි ඇත.
ලංකාවේ හා කොරියාවේ බුදු දහම අතර ඇති විශාල වෙනස ලෙස රාත්‍රියට ද ආහාර ගැනීම මට පෙනෙයි. එය හවස හයට පෙර ගනියි. මෙම රටේ දේශගුණයට නිතර බඩගිනි දැනෙන බැවින් හවස ද ආහාර ගන්නවා යැයි මට සිතේ. මොවුන් යටතේ වැඩ වෙසෙන මට ද මොවුන් අනුගමනය කිරීමට සිදුව ඇත. උන්වහන්සේලා රාත්‍රී ආහාරය හවස හයට ප්‍රථම ගැනීම කරයි.. මම ද උන්වහන්සේලා සමග රාත්‍රී ආහාරය ගැනීමට පුරුදු වී වුනෙමි .
මම ආදාට පසුදා පටන් එළවළු වගාවට උදවු කරන්න පටන් ගත්තෙමි. මා මාගේ සිවුර උඩින් ශීත කබායක් ද දමා ගෙන ලොකු හාමුදුරුවෝ දුන් ලොකු සපත්තු දෙක හා තොප්පිය දමාගෙන එළවළු කොටුවේ පාත්තිවලට සාත්තු කරමි. ලංකාවේදි බිම කොටන වැඩ වත්ත පිටියේ වැඩ හාමුදුරුවන්ට අකැප යයි සිතා නොකර සිටියත්, මෙරට ස්වාමීන් වහන්සේලා තමන්ගේ ආහාර තමන්ම සකස්කරගෙන ආහාරයට ගනිති.
මෙරට ස්වාමීන් වහන්සේලා විශාල කමිස හා කලිසම් නිල ඇදුම් ලෙස අදින නිසා ඔවුන්ට වගා කටයුතු කිරීමේදී එය ඉතා පහසුවේ. නමුත් මම අදින සිවුර නිසා වගා කටයුතු කිරීමේදි මට ඉතා අපහසුවෙන් ඒ කටයුතු කිරීමට සිදුවී ඇත. නිතර නිතර මාගේ සිවුර උරෙන් පහළට ඇද වැටෙයි. ශීත කබාය යටින් අත දම දමා මට එය නිතර හදන්න වෙයි. දිනක් මම වැඩ කරනවා බලන් සිටි ලොකු හාමුදුරුවෝ මට අතින් කතා කරගෙන උන්වහන්සේගේ කුටිය වෙත කැදවාගෙන ගියාය .
‘‘එන්න ඔහොම වැඩ කරන්න බෑ….. ඔබට"
දැන් කොරියානු භාශාවෙන් උන්වහන්සේලා මට කතා කරයි. හොදටම තේරුනේ නැතත් මට යාන්තමට ඒවා තෙරුම් ගැනීමට හැකියාව ලැබි ඇත .
මා කැදවා ගෙන උන්වහන්සේගේ කුටියට ගිය ඔහු අල්මාරියක් ඇර එහි තිබූ ජම්පර් කලිසමකුත්, අළු පාට ටීෂර්ට් එකකුත් මාගේ අතේ තැබූහ.
"‘මේක වැඩ කරන වෙලාවට අඳින්න. ඔය සිවුර ඇඳගෙන වැඩ කරන්න බෑ.‘‘
මාගේ අතට දුන් අළු පාට අලුත් ම ටීෂර්ට් එකක් හා ජම්පරයක ආකාරයේ කලිසම අනෙක් ස්වාමීන් වහන්සේලාද අදින ඇදුම් කට්ටලයකි. මා ඒ දෙස බලාන උන්නේ මොනවද කරන්නේ කියා සිතා ගැනීමට නොහැකිවය. මීට අවුරුදු දහහතරකට පමන පෙර මම පාසල් යන්න ඇන්ද නිල් පාට කොට කලිසම, සුදු ෂර්ට් එක ගලවා දමා, සිවුර ඇඳ මහණ වූ දා පටන් මම ඇන්දේ මේ තැඹිලි පාට සිවුරය. අපි ලංකාවේ පන්සලේ සිටිය දී බිම් කොටන වැඩ නොකෙරුවෙමු. ඒවා අපට අකැපය. බිම කොටද්දී සතුන් මැරෙන නිසා අපි බිම් කොටන වැඩ නොකරමු. නමුත් මම වැඩ වෙසෙන තැන ඔවුන්ට අවශ්‍ය විදියට මා ජීවත් විය යුතු ය. මා මෙහි ආවාට පසු රෑට දානය වළඳන්න සිදුව ඇත. ඒ අනෙක් හාමුදුරුවරු සමඟ හරි හරියට සිටිය යුතු බැවිනි.
‘‘කමක් නෑ, මම මේ එළවළු වගා බිම්වල වැඩ කරනවා දකින්න කවුරුත් නෑනෙ...මම මටම කියා ගත්තෙමි.
මම ලොකු හාමුදුරුවන් දුන් ඇඳුම ගෙන ගොස්, මාගේ කුටියේ සිට සිවුර ගලවා කලිසම හා ටීෂර්ට් එක ඇඳ ගත්තෙමි. සිරුරට පුදුම සැහැල්ලුවක් හා, ලැජ්ජාවක් වැනි දෙයක් ද දැනුණි. මා මේ පන්සලේ සිටින්නේ නම්, මෙහි ලොකු හාමුදුරුවන් කියන ලෙස සිටිය යුතු ය. උන්වහන්සේ දුන් සපත්තු ජෝඩුව ද දමා ගෙන, හිසට වේවැල් තොප්පියක් ද දමා ගෙන මම එළවළු කොටුවට ගියෙමි. මට ලොකු නුහුරක් දැනිණ. අවුරුදු ගණනාවකට පසු සිවුර ගලවා ඇඳ ගත් ඇඳුම ඉතා පහසු ඇඳුමක් විය. නමුත් කෝල ගතියක් දැනුණත් අනිත් අයට එහි ගාණක් නැත. මම අවුරුදු ගණනාවකට පසු ඉතා පහසු ලෙස වැඩ කරන්න පටන් ගත්තෙමි.
ඉන් පසු උදේට ඇඳ ගන්නා ජම්පරය වැනි කලිසම හා කමිසය මම හවස් වනතෙක් ඇඳ ගෙන වැඩ කරන්නෙමි. වත්ත පිටියේ වැඩ, බුදුගෙය, උයන ගෙය පිරිසුදු කරන වැඩ හැම එකක්ම මම කරන්නේ එම ඇඳුම ඇඳ ගෙනම ය. හවසට ඇඟපත සෝදා ගෙන මම මාගේ සිවුර ඇඳ ගන්නෙමි.
කාලය එසේ ගෙවී ගියේ ඉතා වේගයෙනි. මම කොරියාවට පැමිණ මාස තුනක කාලයක් යන විට මට සාමාන්‍ය ප්‍රමාණයට කොරියන් භාෂාව කතා කිරීමට හැකියාව ලැබිණි. සිංහල හෝ ඉංග්‍රීසි කතා කිරීමට කෙනෙකු නොසිටිය බැවින් නිතර නිතර ඇසෙන කොරියන් භාෂාව ඉගෙන ගැනීම ඉතා පහසු විය.
කොරියානු පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියා මම මගේ කල් ඉකුත් වෙන්න ලංව තිබුන වීසා බලපත්‍රය අවුරුද්දකට දික් කර ගතිමි. මම ඉතා කැමැත්තෙන් මෙහි වැඩ වෙසෙන්නෙමි. ඉතා නිශ්ශබ්ද සැහැල්ලු ජීවිතයක් මෙම පන්සල තුල ගත කරන්නට මට ලැබී ඇත. මම මේ ජීවිතයට බොහෝ කැමැත්තෙන් නැබුරු වී ඇත. මම ප්‍රර්තනා කල ජීවිතය මෙය යැයි මට දැන් සිතේ.
කොරියන් පන්සලට නිතර යන එන බැතිමතුන් එම පන්සලේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට ඉතා ගෞරවයෙන් සලකති. කොරියන් ජනයාගේ දෛනික දින චර්යාව තුළ කැපී පෙනෙන ලක්‍ෂණ අතරින් විශේෂ ලක්‍ෂණය නම් කඩිසරව, උද්යෝගීව වෙහෙස වී වැඩ කිරීමයි. ඒ වගේ ම කරන වැඩය ඉතා කැප වී කිරීමත් සිදුවේ. කොරියාවේ ජීවත් වන මිනිසුන්ගෙන් සියයට සියයක්ම කොරියන් භාෂාව කතා කරන පුද්ගලයන් ය. ඔවුහු තම භාෂාව තමන්ගේ දරුවන්ට උවමනාවෙන් ම කියා දෙති. නමුත් තරුණ කොරියන් දරුවන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට මහත් උත්සාහයක් ගනිති. ඒ ලෝකය දැකීමට ඔවුන්ට අවශ්‍ය බැවිනි. තරුණ දරුවන්ට මිස වයසක උදවිය වැරදිලා හෝ ඉංග්‍රීසි වචනයක් කතා කිරීමට උත්සාහ නොගනී.
කොරියාව ඉතා දියුණු සමාජ තත්ත්වයකට අද වනවිට පැමිණ තිබේ. ඔවුන්ගේ ප්‍රධාන කර්මාන්ත අතර ඉලෙක්ට්‍රොනික් මෝටර් රථ, ඛනිජ තෙල් හා වානේ නිපැයුම් වගේ ම, රෙදිපිළි නිර්මාණ ඉතා දියුණු මට්ටමක තිබේ. ඔවුන්ගේ ප්‍රධාන අපනයන භාණ්ඩ වන්නේ මෝටර් රථ, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, වානේ හා යන්ත්‍රෝපකරණ ආදියයි. ආනයන භාණ්ඩ අතරට තෙල්, පෙට්‍රෝලියම් නිෂ්පාදන හා යකඩ වැදගත් වෙයි. සියලු කොරියන් ජනයා ඉතා උනන්දුවෙන් හා වගකීමෙන් තම රාජකාරි කටයුතු කරති. ඔවුන්ට ලැබෙන වේතනය හොඳ තත්ත්වයේ ඇත. නමුත් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉතා සරල ය. හන් ඔක් නමැති සාම්ප්‍රදායික නිවාසවල ජීවත් වන පැරණි වයසක ජනයා තාම කොරියන් සාම්ප්‍රදායික ක්‍රමයට ම ජීවත් වෙති. උගත්කමක් ඇති පුද්ගලයෝ හා තරුණ ජනයා නගරවලට ආසන්න තට්ටු නිවාසවල ජීවත් වෙති.
කොරියාවේ දේශගුණ හතරක් ඇත. ඒවා වසන්ත, සරත්, සිසිර, ගිම්හාන යන නමින් හඳුන්වයි. සිසිර ඍතුව ඉතා ශීත කාලගුණයක් ඇති කාලය යි. ගිම්හාන කාලය ඉතා රස්න කාලගුණයක් ඇති කාලයකි.
කොරියන් පන්සලේ ශීත කාලගුණයන් හා රස්න කාලගුණයන් ඇති කාලවලට ද විශේෂ උත්සව පවත්වයි. ඒවාට කොරියන් බෞද්ධ බැතිමත්හු විශාල වශයෙන් සහභාගි වෙති. එම සෑම උත්සවයකට ම මට ද සහභාගි වෙන්න ලැබෙයි. ටිකෙන් ටික මට ශ්‍රී ලංකාවේ බෞද්ධ පන්සල්වල හා කොරියාවේ බෞද්ධ පන්සල්වල ඇදහිලි ක්‍රමවල වෙනස්කම් දැකිය හැකි විය. ඒ වගේම සමානකම් ද දකින්ට ලැබිණි.
මොවුන්ගේ ආහාර ක්‍රම ද අපට වඩා වැඩි වෙනසක් නැත. මොවුහු ද අප මෙන් බත් හා එළවළු වර්ග ආහාරයට ගනිති. එළවළු පමණක් ආහාරයට ගන්නා ස්වාමීන් වහන්සේලා මෙන් ම මාළු හා මස් වර්ග ද අනුභව කරන ස්වාමීන් වහන්සේලා ද ඇත. පන්සලේ ජීවිතය ඉතා චාම් ය. වියදම ද අඩුවෙන් පන්සලේ ආහාර ක්‍රම නියම වී ඇත. බත් සමඟ ගෝවා, රාබු, අල වර්ග ආහාරයට ගන්නේ වියදම ගැන ද සිතා යැයි මට සිතේ. බැතිමත්හු ස්වාමීන් වහන්සේලා ඉඳ හිට දානවලට කැඳවා ගෙන යති. නමුත් ඒ ගෙවල්වලට නොව ආපන ශාලාවලට ය. ආපන ශාලාවලට ගෙන ගොස් ස්වාමීන් වහන්සේලාට ඔවුහු ආහාර ඇනවුම් කර දෙති. එම ආහාර ගන්නා අවස්ථාවල ඉඳහිට වයින් වර්ග ද ටික ටික ලබා දෙයි. විවිධ මස් වර්ග ද අනුභව කිරීමටද අවස්ථාව ලැබෙයි. උන්වහන්සේලා හවස හය වනවිට රාත්‍රී ආහාරය වළඳති. තුන් වේලට ම පන්සලේ අප විසින් ම සාදා ගන්නා ඉතා සරල, සැහැල්ලු ආහාරයක් දිනපතා ආහාරයට ගන්නෙමු.
ලංකාවේ දී මාළු හා එළවළු පමණක් ආහාරයට ගත් මට ඇමෙරිකාවේ දී හා තායිලන්තයේ වැඩවිසුව කාලවල දී කුකුළු මස් ද ආහාරයට ගන්නට ලැබිණි. වෙන මස් වර්ග අප්‍රිය කරන මම දැන් මාළුවලට අමතරව කුකුළු මස් ද ආහාරයට ගන්නෙමි.
ලොකු හාමුදුරුවෝ මට දිනක කතා කොට, "ඔබවහන්සේට විශේෂ දෙයක් කීමට තිබෙන’ බව කීහ.
“මොකක්ද හාමුදුරුවනේ‘‘?
--හෙට හමුවෙමු --





Comments