**එතෙරින් එතරට **
- Prisila Godahewa

- May 20, 2020
- 10 min read
(26 කොටස)
‘‘හරිම ලස්සන තැනක පිහිටා තිබෙන ලස්සන පන්සලක්.‘‘ අවට සුන්දරත්වය බලමින් මම කීවෙමි .
“‘මාත් කාලයක් මෙතන නැවතිලා හිටියා. මේ පන්සලේ කොරියන් ලොකු හාමුදුරුවෝ මං හොඳින් අඳුනනවා. ගිහින් බලමු ටික දවසක් විපස්සි හාමුදුරුවන්ට මෙහේ නවාතැන් ගන්න පුලුවන්ද කියලා.‘‘
හෙල්මළු ක්‍රමයට තනා ඇති කන්දේ වටේටම එළවළු වගා කර තිබුණි. පන්සලට යා යුත්තේ ඒ හෙල්මළු ක්‍රමයට එළවළු වගා කර තිබූ පාර මැද්දෙනි. පාර වැලි ගල්වල් අල්ලා සාදා ඇත. පුංච් කන්දේ උඩ ඈතට පේන විහාරය තනිකරම කොරියානු ක්‍රමයට තනා තිබුණි. ආරුක්කු, බීරලු දමා සාදන ලද වහලය කළු පාට උළු යොදා ඇත. සතෙකුගේ හැඩය ඇති කැටයමකින් වහල කොන් උස්සා සාදා තිබේ. එය බලන්න ලස්සන ගෘහ නිර්මාණයකි. අවට කඳු බිම්වල ඇති කොළ පාට අතර ආරුක්කු, බීරුලුවලින් සාදා ඇති රත්තරං පාට හා රතුපාට පන්සල කැපී පෙනෙයි. පන්සලේ බිත්ති අතර ඇති රතු පාට කණු හා බිමට යොදා ඇති සුදු ගරුඬ ගල්, නොයෙකුත් පාට යොදා ඇති බිත්ති කැටයම් බලන්න ලස්සන දසුන් ය.
පන්සල ඇතුලට හෙමිහිට ඇවිද ගිය අපට දිස් වුනු දසුන් දෙස බලන බලන දෙස ඇත්තේ පුදුමම සුන්දරත්වයකි. පන්සල ඇතුලත බුදුරජාණන් වහන්සේගේ පිළිම විවිධාකාර ලෙස අඹා ඇත. කොරියන් මිනිසුන්ගේ හැඩරුව ඇති ලෙස බුදු පිළිම තනා ඇත. පන්සල් බිමේ තැන තැන පරන සංඝයා වහන්සේලාගේ යැයි සිතිය හැකි පුංච් පිළිම තනි සුදු පාට ගල් වර්ගයකින් අඹා ඇත.
‘‘අපි යමු ආවාස ගේ පැත්තේ……... ලොකු හාමුදුරුවෝ මේ වෙලාවට ආවාස ගෙයි ගිමන් අරින වෙලාව.‘
බුදු ගෙය, ආවාස ගෙය, උයන ගෙය, අමුත්තන් පිළිගන්නා තැන හැම දෙයක් ම පන්සල් භූමිය පුරා ම වෙන වෙන ම තනා ඇත. හැම ගොඩනැගිල්ලක් ම එකිනෙකට වෙනස් කැටයම් හා රූපවලින් නිම කර ඇත. ලංකාවේ පන්සල්වල ඇති ශාන්ත බව මෙහි ද ඇත. නමුත් පාටපාට බිත්ති, කණු, වහල, ගොඩනැගිලි වෛර්ණ පාට යොදා නිම වී ඇත. පන්සලේ පඩිපෙළ නැග ඉහළට ආ විට අවට භූමිය හොඳින් පෙනෙයි. පන්සලේ ඉදිරිපසට ආ විට කන්ද පාමුල දක්වා ඇති අප නැග ආ පඩිපෙළ, හෙල්මළු ක්‍රමයට එළවළු වගා කර ඇති අන්දම, අවට කඳු වළල්ල සමග කොළ පාටට පෙනෙන ගස් කොළන් හා එළවළු බිම් ද, ඒවායේ වැඩ කරන ගොවියන් ද නිහඬ භූමිය තුළ දක්නට ලැබෙන දසුන් ය.
‘‘ලොකු හාමුදුරුවෝ කුටියේ වැඩ වෙසෙනවා. සෙරෙප්පු ගලවලා වඩින්න.. විපස්සි හාමුදුරුවනේ...‘‘
අමුත්තන් පිළිවෙළට සෙරෙප්පු ගලවා ආවාස ගෙයි ඉදිරිපිට තබා ඇත. මමත් මාගේ සෙරෙප්පු දෙක එක තැන පිළිවෙළට ගලවා තැබුවෙමි.
‘‘ලොකු හාමුදුරුවනේ.‘‘....
සුමේධ කොරියන් බසින් ඇතුළත හිටි ලොකු හාමුදුරුවන්ට කතා කළේය.
‘ආ... ඔබ ආවද? උන්වහන්සේ කොරියන් භාෂාවෙන් ඇසීය.
“‘අපි ටිකක් පරක්කු වුණා. ට්‍රැෆික් නිසා.‘ කොරියන් හාමුදුරුවෝ සමග සුමේධ ඉතා චතුර ලෙස කොරියන් භාෂාවෙන් කතා කරයි. කොරියන් හාමුදුරුවෝ මා දැක මා ළඟට පැමිණ, ඔළුව ඉන ළඟ ඉඳන් පහත් කර අත් දෙක එකතු කර මට වැන්දහ. උන්වහන්සේ කළ පරිදි ම, මම ද අත් දෙක එකතු කර උන්වහන්සේට වැන්දෙමි.
“‘මම අද උදේ මේ හාමුදුරුවන්ට කතා කළා. උන්වහන්සේ කිව්වා ඔබව එක්ක එන්න කියලා. ඒකයි මං නිවාඩු දාලා විපස්සි හාමුදුරුවන්ව මෙහේ එක්ක ආවේ. මං කිව්වා ටික දවසකට ඔබවහන්සේට නවාතැන් පහසුකම් දෙන්න කියලා. උන්වහන්සේ ඒකට කැමැති වුණා.‘‘
‘‘අනේ ලොකු දෙයක් ඒක.‘‘ බෙහොම පිං සුමේධට.‘‘
‘හැබැයි කොරියන් භාෂාව පුළුවන් ඉක්මනට ඉගෙන ගන්න වෙයි. මේ හාමුදුරුවන්ටත් ඉංගිරිසි කතා කරන්න බෑ…... ඒ වගේ ම අපේ ලංකාවේ පන්සල්වල වගේ නිකං නම් ඉන්න බෑ මේ පන්සල් වල….... පන්සල අතුපතු ගාන වැඩ ට අමතරව එළවළු වගාවට සාත්තු කරන ඒවා එහෙම කරන්න වෙනවා.‘‘
‘‘ඒක මොකද්ද, මං කොහොමත් ඒ වැඩවලට කැමැතියිනේ...‘‘
මා සමඟ කතා කළ සුමේධ, මා කියූ දේවල් කොරියන් හාමුදුරුවන්ට පෙරලා කොරියන් බසින් කීය. උන්වහන්සේගේ මුහුණේ සතුටු පාටක් දිස් විය.
“‘අපි තේ බීලා ඉමු.‘‘
කොට මේසයක් ළඟ, බිම මෙට්ට වගයක් දමා ඇති තැනක අපි වාඩි වුණෙමු. මේසය උඩ පුංචි කෝප්ප වගයක් තිබුණි. ලොකු හාමුදුරුවන් ළඟ පුංචි ලිපක් වැනි දෙයක් උඩ කේතලයක් ඇත. කේතලයේ වතුර නටන අතර, එය ලී කුඩු වර්ගයකින් ලිප පත්තුවෙන බව පෙනේ…. එහි පිටවෙන දුම පොඩි චිමිනියකින් ඉහලට යයි. පුංචි කේතලයකට කොළ පාට තේ කොළ වැනි දෙයක් දමා උණු වතුර දැමූ ලොකු හාමුදුරුවෝ සුමේධ සමඟ කතා කරන ගමන් බිම වාඩි වී තේ සෑදූහ. අපි කොට මේසය ළඟ බිම මෙට්ට දමා වාඩි වී සිටියෙමු. තේ කොළ තැම්බුණු පසු උන්වහන්සේ අප ළඟ තිබූ පුංචි අල්ලක් විතර කෝප්පයට තේ වතුර දැමූහ. තේ වතුර ලා කොළ පැහැති ය.
‘‘බොන්න මේ ග්‍රීන් ටී, සීතල යන්නත් එක්ක හොඳයි."
මා එය අතට ගෙන බොන්නට විය. අවට පරිසරයේ තිබූ සීතලෙන් මිදෙන්න මෙය යස පානයක් යැයි මට සිතිණි.
‘‘කොහොමද හොඳ ද?
“‘ඔව්... රසයි කහටයි උනු නිසා සීතලත් නැතුව යනවා .‘‘
“‘මේ ග්‍රීන් ටී ඇඟට හොඳයි. මේ අය කන තෙල් කෑම දිරවනවා මේ ග්‍රීන් ටීවලට. ඒ වගේම මේ පුංච් අඩුවක් නැති කෝප්පය අත් දෙකෙන්ම තද කරලා අල්ලා ගෙන තේ බොන විට අත් දෙකත් උනුසුම් වනවා. ඒ ක්‍රම මේ රටේ සීතල නැති වෙන්න හදාගත් ක්‍රම ….‘‘
සුමේධ සහ කොරියන් ලොකු හාමුදුරුවෝ කොරියන් භාෂාවෙන් කතා කරන දෙස මම උනන්දුවෙන් බලා උන්නෙමි . සුමේධ ඉතා දක්‍ෂ ලෙස කොරියන් භාෂාව කතා කරයි. ඔහු කොරියන් රටට ඇවිත් තාම අවුරුදු තුනහමාරක් වුණත්, ඔහු චතුර ලෙස කොරියන් භාෂාව කතා කරන්නේ කෙසේදැයි මට ප්‍රහේලිකාවකි.
“‘විපස්සි හාමුදුරුවනේ, ඔබවහන්සේට මෙහේ ඉන්න පුළුවන් ටික කාලයක්. මං ඔබවහන්සේගේ තොරතුරු ලොකු හාමුදුරුවන්ට කිව්වා. මේ හිමියන් බොහෝම හොඳ කෙනෙක් මටත් මේ තත්ත්වයට එන්න උදවු කළේ මේ හාමුදුරුවන් තමයි. කීකරුව, පන්සලේ වැඩටත් උදවු කරගෙන රටේ තොටේ ඇවිදලා කොරියාව දැක බලා ගන්න. මම පුළුවන් වුණු වෙලාවට, විවේකයක් ලැබුණ වෙලාවට එන්නම් ඔබවහන්සේ බලලා යන්න. මගෙන් කෙරෙන්න ඕන හරිය මම කළා. ඔබවහන්සේ ලොකු හාමුදුරුවො කියන විදිහට කීකරුව ඉන්න.”
“සුමේධ මහත්තයාට ‘‘බොහොම පිං මට නවාතැන් ගන්න තැනක් හොයල දුන්නට.‘‘
‘‘අපි ඉස්සරහට මොනවද වෙන්නෙ කියලා බලමුකෝ. ඔබවහන්සේ ලොකු හාමුදුරුවන්ගෙ හිත දිනාගෙන මෙහේ වැඩ වෙසෙන්නකො……...මං එහෙනම් ගිහින් එන්නම්….. මං ඔබවහන්සේගේ බෑගය වාහනයෙන් ගෙනත් දෙන්නම්. එහෙනම් ඔබවහන්සේ ලොකු හාමුදුරුවෝ පෙන්වන තැනක නවාතැන් ගන්න.‘‘
සුමේධ මහත්තයා කන්ද පල්ලමට ගොස් වාහනයේ තිබූ මාගේ ඇඳුම් බෑගය රැගෙන නැවත කන්ද නැගගෙන විත් මගේ අතට දී මට දෙකට නැමී වැන්දාය.
සුමේධ කන්ද බැස ගෙන යන හැටි මම කන්දේ උඩ සිට බලා උන්නේ ඔහුට හිතෙන් පිං දෙන ගමන්‍ය. කන්ද පාමුලට ගොසා ඔහුගේ වාහනයේ නැග ඔහු යනවා කන්දේ මුදුනේ, පන්සල් වත්තේ සිට මම බලා සිටියෙමි
කොරියන් ලොකු හාමුදුරුවෝ මට අතින් අඩ ගසා ගෙන පන්සලේ මිදුල හරහා පිටිපස පැත්තට කැදවා ගෙන ගොස් පන්සලේ භූමිය කොනක තිබූ ආරුක්කු බූරුක්ක සහිත කාමරයක දොර ඇර මට පෙන්වූයේ කතා බහකින් තොරවය.
එහි තුල මගේ බෑගය තියා ගන්න අණ කල උන්නාන්සේ අතින් සන් කළේ, මම නැවාතැන් ගත යුත්තේ මෙතන යන්නයි.. මම උන්වහන්සේට දෙකට නැමී ස්තූති පූර්වකව වැන්දෙමි.
ඊයේ මං ගිය පන්සලේ සිටි හාමුදුරුවන්ට වඩා උන්වහන්සේ බොහෝ කාරුණික බව පෙනෙයි.
‘කෑම කෑව ද? කියා උන්වහන්සේ අතින් කට පෙන්නා ඇසීය..
‘‘නෑ. මා ළඟ කෑම තියෙනවා" මම ඉංග්‍රීසියෙන් උත්තර දුන්නෙ මගේ බෑගය අතින් උන්නාන්සේට පෙන්වමින්‍ය.
“එහෙනම් කාල එළියට එන්න කියා අතින් සන් කල උන්නාන්සේ පන්සලේ අනිත් පැත්තට හෙමිහිට වැඩියාහ. වේලාව දවල් දොළහමාරත් ළංව තිබූ බැවින්, මම ඉර හැරෙන්න ප්‍රථම සුමේධගේ නෝනා දුන් බත් මුල දිග ඇරගෙන කාමරයේ ඇතුළත ඉඳගෙන ම කෑවෙමි. එය ශ්‍රී ලංකාවේ උපාසක උපාසිකාවන්ගේ දානය ලෙසමය. එහි මාළු, පරිප්පු, අල හා ගෝවා තෙල් දමා තිබුණි. බඩ පිරෙන්න කා, වතුර ද බී, මාගේ ඇඳුම් පැලඳුම් කාමරය පැත්තකින් තැබුවෙමි. කාමරයේ මට නවාතැන් ගන්නට අවශ්‍ය සියලු දේ තියෙනවා යැයි සිතේ. ඉතා සරල ලෙස අවශ්‍ය බඩු පමණක් ඇති පිරිසුදු පුංචි කාමරය ඉතා නිදහස් තැනකි. නිදා ගන්නට උණ බටවලින් තනන ලද පැදුරකුත්, සීතලට පොරවා ගන්නට ඝනකම මෙට්ටයකුත් කාමරයේ කොනක තිබුණි. බඩුමුට්ටු දමා ගැනීමට පුංචි කබඩ් එකක්, ආහාර ගැනීමට හා ලියන කියන දෙයට ගැනීමට කොට මේසයක් හා ඒ අසල හිඳ ගැනීමට පුංචි හතරැස් කොට්ටයක්ද තිබුණි. කාමරයේ තිබූ එකම පුංචි ජනේලය මම හුළං එන්නට ඇර බැලීමි. මට හිතා ගැනීමටවත් බැරි තරම් සුන්දර දසුනක් කාමරයෙන් එළියේ පෙනිණි. කන්දක් උඩ පිහිටා තිබූ පන්සලේ කොතැනක ඉඳන් ඈත බැලූවත් පෙනෙන්නෙ ඈත පෙනෙන මීදුම සහිත කඳුකර ප්‍රදේශයයි. හෙල්මළු ක්‍රමයට කඳු කපා වගා කර ඇති වගාවන්, ඈත කඳුකරයේ ඇති කැලෑවේ විශාල ගස් සියල්ල ම මගේ කාමරයට හොඳින් ම පෙනේ. කොයිතරම් සුන්දර දසුනක් ද? මට හිතා ගන්න බැරි තරම් නිහඬ නිස්කලංක ප්‍රදේශයක ටික දිනකට හෝ නවාතැන් ගන්න ලැබීම මාගේ හිතට සතුටක් ඇති කලේය.
මට ලොකු හාමුදුරුවෝ කාමරයෙන් එළියට එන්න කියූ නිසා කාමරයේ දොර වසා දමා මම නැවත එළියට ගියෙමි.
‘‘එන්න” කොරියානු භාශාවෙන් කීය.
පසුව මාව දැක උන්වහන්සේ මට හිසෙන්ද කතා කලහ .
උන්වහන්සේ මට කොරියන් භාෂාවෙන් එන්න කියනවා යැයි මට සිතුනි..
උන්වහන්සේ මා කැඳවා ගෙන පන්සලේ තැන් තැන්වල ඇති විවිධ කුටිවලට එක්ක ගියහ. බුදුගෙය යැයි සිතිය හැකි විශාල ශාලාවේ බුදුරජාණන් වහන්සේගේ විශාල පිළිමයක් තබා තිබුණි. එය දෙපැත්තේ පුංචි බුදු පිළිම පේළියට තට්ටු ආකාරයට පිළිවෙළට අසුරා තිබිණි. එහි පුංචි බුදු පිළිම දහසකට වඩා ඇතැයි මම සිතෙන් ගනන් බැලුවෙමි. . බුදුරජාණන් වහන්සේගේ පිළිම කොරියන් මිනිසුන්ගේ මුහුණේ හැඩයට නිර්මාණය කර ඇත. බුදුගෙය ඇතුළේ විශාල නිදහස්, නිහඬ බවක් ඇත. බුදුරජාණන් වහන්සේගේ පිළිමය ඉදිරිපිට දොඩම්, ඇපල්, කොමඩු පිරුණු විශාල භාජන පූජා කර ඇත.
ශ්‍රී ලාංකික බෞද්ධ පන්සලක හා කොරියන් පන්සලක අතර පොඩිපොඩි වෙනස්කම් හැරෙන්න අප සියල්ලන් ම වඳින්නේ එක ම බුදුරජාණන් වහන්සේට කියා මම සතුටින් සිතුවෙමි. මහායාන හා ථේරවාදී ලෙස බුදුදහම කොටස් දෙකකට බෙදී තිබුණත්, අප සියල්ලන් ම අදහන්නේ එක ම ශාස්තෘවරයෙකුගේ ධර්මයකි. එබැවින් මම ලංකාවේ පන්සලක වැඩ හිටියත්, කොරියාවේ පන්සලක වැඩ හිටියත් මට රටවල් දෙකේම වෙනසක් නැත. මම බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෙකු වෙමි.
බුදුගෙය පෙන්වා ඉන් පසුව උන්වහන්සේ මාව පන්සල් වත්ත පුරා ම එක්ක ගියහ. උන්වහන්සේ කාරුණික යැයි මට සිතේ. අතින් පයින් උන්වහන්සේ මට දේවල් විස්තර කර දෙයි. ගොළු භාෂාවෙන් උන්වහන්සේ කියන්නේ අද මට විවේක ගන්න, හෙට වැඩ කරන්න පුළුවන් කියා ය.
පන්සල් වත්තේ රාබු, කැරට්, ගෝවා, ලීක්ස් ආදිය එක දිගට වගා කර තිබුණි. තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් පන්සලේ වැඩ වෙසෙති. උන්වහන්සේලා එළවළු වගාවට සාත්තු කරනු දැකගත හැකි විය.
අළු පාට ජම්පරයක් වන් දිග කලිසමක් ඇඳ, අළු පාට ටී ෂර්ට් එකක් ඇඳ උන්වහන්සේලා වගා කටයුතුවල යෙදෙති. බූට් සපත්තු දමා, ඔළුවට වේවැල්වලින් කිරි ගොට්ටක හැඩයට තනන ලද තොප්පි දමා ගෙන එළවළු පාත්තිවල එහෙට මෙහෙට යමින් වල් ගලවමින් සාත්තු කරති.
‘‘මේ අපේ පන්සලට අලුතින් නවාතැන් ගන්න ආ ලංකාවේ ස්වාමීන් වහන්සේ.‘‘ උන් වහන්සේ කියන්න ඇත්තේ එය යැයි මම අනුමාන කලෙමි.
ලොකු හාමුදුරුවෝ මාව උන්වහන්සේලා දෙදෙනාට හඳුන්වා දුන්හ. උන්වහන්සේලා කරමින් සිටි වැඩය නවත්වා ඔළුව හා ඉන ළඟින් පහත් වී අත්දෙක එකතු කර මාව පිළිගත්හ. උන්වහන්සේලා කළ ආකාරයට ම මම ද කළෙමි.
වත්තේ ඇවිදිමින් වටපිට පෙන් වූ ලොකු හාමුදුරුවෝ මාව උයන ගෙය යැයි සිතිය හැකි විශාල ස්ථානයකට ගෙන ගියහ. එහි පැත්තක විශාල මැටි බඳුන් වගයක් වසා ඇත. දර ලිපක් හා සමාන ලිපක වතුර භාජනයක් දුම් දමමින් නටයි. මොවුන් දර උපයෝගි කරගෙන ඉවුම්පිහුම් වැඩ කරනු ලැබේ. කුස්සියේ පැත්තක හාල් බෑග් වගයක් ද, රාබු, ගෝවා ආදී එළවළු වට්ටි ද තිබිණි. කුස්සියේ ඒ තරම් ලොකු පිලිවෙලක් නොතිබුනි. උන්වහන්සේ අලුත් එලවලු වට්ටියෙන් විශාල රාබු අලයක් ගෙන මාගේ අතේ තබා රාබු අලය සුද්දකර සෝදා තබන්න කියා හස්ත මුදාවෙන් කීය. අලුත් සලාද කොළ වගයක් පෙන්වා සෝදා කපන්න යැයි ගොළු බසින් කීහ.
‘‘එහෙමයි...‘‘ මම එය ටැප් එක ළඟට ගොස් සුද්ධ කරන්නට පටන් ගත්තෙමි.
උන්වහන්සේ හාල් ටිකක් භාජනයකට දමා, සෝදා ලිප තබන්න උත්සාහ ගත්හ. මම ලිපේ ඇති විශාල දර කොටන් පත්තු කර උන්වහන්සේට උදවු කළෙමි.
උන්වහන්සේ මට සුද්දකර සෝදපු රාබු අලය කොළ කපන ලෑල්ලක් උඩ තබා දිග තීරූ කපා පෙන්විය. ඒ ලෙසට දිග තීරු හැඩයට රාබු අල දෙක කපා තබන්න අණ කල උන්නාන්සේ මට වැඩ පවරා කුස්සියෙන් එලියට ගියහ.
එලවලු සුද්දකර කපා දර ලිපේ ඉදෙන බතට ගින්දර එකතු කරමින් මම කුස්සියේ බඩු මුට්ටු පිලිවෙලට අස් කරමින් පිහිදමින් කුස්සිය පිලිවෙලට අතුගා දැම්මෙමි. ඉතා සීමිත කුස්සියේ ආම්පන්න ප්‍රමාණයක් තිබෙන නිසා හරි ඉක්මනට කුස්සිය අස්කර පිරිසිදු කරන්නට හැකි විය. මම කුස්සිය අස් කල පසු නැවත එහි ආ ලොකු ස්වාමීන් වහන්සේ අවට බලමින් එය අස්කර තිබෙනවා දැක හීනා මූනෙන් අතේ මාපට ඇගිල්ල උස්සා සතුටු බව ප්‍රාකාශ කලාය. නැවත ඔහු කුස්සියේ දර ලිපේ ඉදෙන බත පරික්ශාකර බලා ලිපේ ගින්දර ඇද නිවා දැමීය.
අප දෙදෙනා රෑට කුස්සියේ උයමින් ඉන්නා අතර එළවළු පාත්තිවල වැඩ කළ අනිත් ස්වාමීන් වහන්සේලා දෙනම වැඩ ඉවර කර කුස්සියට කරපොවා බැලීය. ඉන් පසු ඔවුන් ඇඟ සෝදා ගැනීමට නාන කාමරය දෙසට යනවා මම බලා උන්නෙමි.
බත උයා පසෙක තබා, කපාපු එළවළු ද එසේ ම තියන්න කියූ ලොකු හාමුදුරුවෝ, මට බුදුන් වඳින්න යන්න ලෑස්ති වී එන්නැයි කීය.
මගේ කාමරයට ගොස් අලුත් සිවුරක් තුවායක් රැගෙන ඇගපත දොවාගන්න, කාමරයෙන් පිට තිබුන පොදු නාන කාමරයට ගියෙමි. හොදින් ඇඟපත සෝදා, අලුත් සිවුරක් ඇඳගෙන මම බුදුගෙය වෙත ගියෙමි. මම යන විටත් අනිත් ස්වාමීන් වහන්සේලා ද බුදුගෙය තුළ වාඩි වී මා එනතෙක් ඉන්නා හැටි පෙනිනි.
විශාල නිදහස් ශාලාවේ බුදුරජාණන් වහන්සේගේ පිළිමය ඉදිරිපිට හතරැස් හීනි කොට්ට බිමට දමා, ඒ මත හිඳ ගෙන ඔවුහු බුදුන් වැඳීමට ලෑස්ති වී හුන්නේය. උන්වහන්සේලා වත්තේ වැඩ කරන විට අඳින ඇඳුමට වඩා ටිකක් වෙනස්, අළු පාට විශාල කමිසයක් හා ජම්පරයක් ඇඳ ගෙන බුදුන් වැඳීමට ලෑස්ති වී ඇත. ලොකු හාමුදුරුවෝ බුදුපිළිමය ඉදිරිපිට පහනක් දල්වා, සුවඳ නැති හඳුන් කූරු ද පත්තු කළහ. පැන් වීදුරුවක් ද එහි තැබූ උන්වහන්සේ නැවත පැමිණ මෙට්ටය උඩින් වාඩි වී, බුදුන් වැඳීමට ගාථා කියන්න පටන් ගත්හ.
“‘ඉතිපි... සෝ... භ... ගවා...‘‘ අරහං සම්මා සම්බුද්ධෝ……. බොහෝම දිගට ඇදලා අපි කියනවාට වඩා මිහිරි ලෙස බුදුන් වඳින ගාථාව කියන්න පටන් ගත් හ.
අප බුදුන් වඳින ගාථා කියන ආකාරයට වඩා ටිකක් වෙනස් ආකාරයට එම ගාථා ම කියමින් වඳින්න පටන් ගත්තේ එකට ම ය. හිස බිම තියමින්, අත් දෙක ඔසවමින්, ඉහළ පහළ නැගිටිමින්, දොහොත් මුදුන් තියමින්, බිම බලමින් නැවත හිස කෙළින් කරමින් ඔවුන් බුදුන් වඳින ආකාරය මම මුලින් බලා උන්නෙමි. පසුව මමත් උන්වහන්සේලා අනුගමනය කරමින් උන්වහන්සේලා කියන ලෙස ගාථා කියමින් පැය භාගයකට ආසන්න කාලයක් එක් ඉරියව්වක නොසිට හිට ගනිමින්, බිම වාඩි වෙමින්, හිස බිම තියමින් ගාථා කියන්න පුරුදු වුණෙමි. එම වන්දනා ක්‍රමය මට අලුත් ම අත්දැකීමක් විය. මම ද ඔවුන් සේ එය අනුගමනය කරමින් බුදුන් වැන්දේ අප ලංකාවේ දී කියනා බුදුන් වදින ගාථා වෙනස් ආකාරයකට ඇදඇද, කඩකඩා කියමිනි. අප ලංකාවේ දී හෝ කොරියාවේ දී හෝ ගාථා දෙවිදියකට කිව්වත් වඳින ආකාරය දෙවිදියක් වුවත්, වඳින්නේ එක ම බුදුරජාණන් වහන්සේට කියා සිතමින්, සතුටින් වැන්දෙමි.
උන්වහන්සේලා එලෙස හිටගනිමින්, වාඩිවෙමින්, අත් ඔසවමින්, පහත දමමින් වඳින්නේ, සීත දේශගුණයක් ඇති කොරියාවේ එකම විදියට වැඳගෙන සිටි විට ඇඟට වැඩියෙන් සීතල දැනෙන නිසාත්, ඇඟට ව්‍යායාමයක් සිදුවන නිසා බවත් පසු කලෙක මම තේරුම් ගත්තෙමි.
බුදුන් වැඳ අහවර වූ පසු අප හතර දෙනා ම ගියේ උයන ගෙට ය. මා සෝදා, කපා තබන ලද රාබු ටික, භාජනයක් ලිප තබා, එයට සෝයා තෙල් ටිකක් එකතු කර එය රත් වූ පසු, එයට ඉගුරු සුදුලූනු ටිකක එකතු කර බැදෙන්න හැර එයට කපාගත් රාබු දැම්මේය. පසුව සෝයා සෝස් සමග සෝයා බෝංචි තලපයක් දමා ලිපේ තැම්බෙන්න හැරිය. එය කලේ වගා වැඩ කරපු ස්වාමීන් වහන්සේ නමකි. අනිත් භික්ෂුව සලාද කොළ අතින් කඩා, එයට දෙහි, ලූනු හා මාළු සෝස් දමා අප හතර දෙනාට වාඩි වෙන්න ලෑස්ති කර තිබු මේසය උඩින් තැබූහ. කුස්සියේ කොනක කෑම කන මේසය ද ඇත. ලොකු හාමුදුරුවෝ එය ළඟ බිම එරමිණියා ගොතාගෙන වාඩි වී උන්හ. උණු උණු බත් වෙන භාජනයකට දමා මේසය උඩින් තබා, රාබු ව්‍යංජනයත් එහි පසෙක තැබූහ. නටන උණු වතුරට බිත්තරයක් කඩා දමා ලුණු මිශ්‍ර කර සාදන ආකාරයෙන් සුප් වතුර භාජනයක්ද එතන ඇත. පසෙක තිබූ විශාල කල්දේරමක් වැනි භාජනය ඇර එයින් ගෝවා වර්ගයක් හා මිරිස් කුඩු දමන ලද කිම්චි නම් අච්චාරුව ද දීසියකට දමා මේසයට තැබු උන්වහන්සේලා මාත් එකතු කරගෙන කෑම වළඳන්නට පටන් ගත්හ.
ලොකු හාමුදුරුවෝ සහ සෙසු දෙනම කෝටු දෙකක ආධාරයෙන් මේසය උඩ තියෙන රාබු ව්‍යංජනය, සලාද හා කිම්චි අච්චාරුව කෑලි කෑලි අරගෙන වළඳන්නට පටන් ගත්හ. මමත් ඔවුන් මෙන් එළවළු වැළඳීමට පටන් ගත්තත්, කූරු දෙකින් අල්ලා ගෙන කෑමට මට පුරුද්දක් නොවීය. මා කූරු දෙකෙන් අල්ලා ගන්න හදන හැටි දැක උන්වහන්සේලාට හිනා යයි. උන්වහන්සේලා බත්වලට ප්‍රථම එළවළු වැළඳති. එළවළු ගෙන අහවර වී පුංචි කෝප්පයකට උනු බත් බෙදාගෙන කූරු දෙකෙන් බෙරි බත් වැළඳති.
ලොකු හාමුදුරුවෝ මට නිවැරදි ආකාරයට කෝටු දෙක අල්ලා ගෙන කන විදිහ පෙන්වූහ. නමුත් මාගේ කටට යන කෑමවලට වඩා මේසය උඩට කෑම වැටෙයි.
හැන්දක් ගෙන බත් කන්නැයි ලොකු හාමුදුරුවෝ මට කීය.
ලංකාවේ පුරුදු ලෙස මම උණු බත් බෙදා ගෙන, එයට රාබු හා කිම්චි සලාද දමා ගෙන, බිත්තර සුප් වතුර බොමින් අතින් කෑවෙමි.
එම කෑමවල ඇත්තේ වෙනස් ම රසයකි. කොටින්ම කියතොත් මම කැමති රස නොවිය. තුනපහ නැති, ලුණු රස පමණක් ඇති බත් කා ඉවර වූ පසු කොමඩු හා දොඩම් කපා මේසයෙන් තැබීය. රතු පාට කොමඩු ඉතා රසවත් ය. මම මගේ බඩේ ඉතිරි කොටස පලතුරු වලින් පුරවා ගත්තෙමි
ලංකාවේදී අප රෑට ආහාර නොවැළඳුවද, කොරියන් පන්සලේ හාමුදුරුවරු රෑට ආහාර වළඳති. සවස හයට ප්‍රථම උන්වහන්සේලා ආහාර වළඳති. උන්වහන්සේලා දේශගුණයට ගැළපෙන ලෙස ජීවත් වෙනවා යැයි මට සිතේ. මෙම පන්සලේ වැඩ වෙසෙනවා නම්, උන්වහන්සේලා ජීවත් වන ලෙස මා ද ජීවත් විය යුතු යැයි සිතා, මම හිත හදා ගත්තෙමි.
රාත්‍රී ආහාරයෙන් පසු පන්සලේ වැඩිපුර ලයිට් නිවා දමා, කුස්සියේ භාජන සෝදා දැමීමට අනිත් උන්නාන්සේලාට මමද උදවු කළෙමි. පසුව අපි අපට වෙන් වූ පන්සලේ හතර අතේ තිබු කුටිවලට ගොස් නිදා ගත්තෙමු.
අද දිනය, ඊයේ දිනට වඩා හිතුවාට වඩා බොහෝ හොඳ විය. සුබෝධට පින් සිදු වෙන්න මූණ බලා කතා කරන ස්වාමීන් වහන්සේලා සිටින තැනක නවතින්න ලැබීම ලොකු දෙයකි. මා දැන් විසිහය වැනි වියේ පසුවන ස්වාමීන් වහන්සේ නමකි. මෙම පන්සලේ ලොකු හාමුදුරුවන් වයස අවුරුදු 60ක පමණ වයෝවෘද්ධ, ඉතා නිවුණු ස්වාමීන් වහන්සේ නමකි. පන්සලේ වැඩ වෙසෙන අනිත් ස්වාමීන් වහන්සේලා දෙනම මාගේ වයස ම ඇත. කොරියාවට පැමිණ ගෙවුණු හතරවන දින අද මාගේ හිතට සැහැල්ලුවක් දැනුණු දිනයක් විය. මට නවතින්න ලැබුණු කාමරය ඉතා පිරිසුදු එකක් විය. බිමට එළාගෙන නිදාගන්නට බට පැදුරක්, මෙට්ටයක් හා පුංචි කොට මේසයක් හා පුංචි අල්මාරියක්ද ඇත. පුංචි මේසය උඩ තේ හදාගෙන බීමට අවශ්‍ය දෑ ද ඇත. ඕනෑවටත් වඩා පහසුකම් මෙහි ඇතැයි මම සිතුවෙමි. අද දිනය මාගේ ජීවිතයේ තවත් අලුත් පිටුවක් පෙරළුණු විශේෂ දිනයක් විය.
- හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *





Comments