top of page

**එතෙරින් එතරට **

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • May 20, 2020
  • 5 min read

(25 කොටස )



දහවල් ආහාරයෙන් පසු සුමේධයි මමයි තට්ටු නිවාසයෙන් පහලට ගොස් ඒ අවට මාවත් දිගේ ඇවිද ගියේ අපේ ආගිය තොරතුරු ආදිය කතා කරමින්‍ය. මීදුම වැටී ඉර අව්ව පේන තෙක් මානයක දක්නට නොලැබුන පාරේ අපි ඇවිද ගියේ ඝනකම් උඩ කබා ඇද බූල් තොප්පිද පැලද ගෙනය.

" විපස්සී හාමුදුරුවෝ කොරියාවට ආවේ මෙහේ පදිංචි වෙන්නත් බලාගෙන මද?..."

"එහෙම අදහසක් මුලින් හිතේ තිබුනා, ඒත් දැන් නම් ඒ අදහස හිතේ නෑ….මම හිතපු තරම් ලේසි නෑ මෙහි භාශාව ඉගෙන ගන්න . භාශාව නැතුව මේ රටේ කඩේ කට ගිහින් පාන් ගෙඩියක්වත් මිලදි ගන්න බෑ කියලා මම දැන් තේරුම් ඇරන් ඉන්නේ "

"ඔබ වහන්සේ වගේම තමයි මමත් මුලින්ම කොරියාවට ආවේ. හැබැයි මගේ හිතේ නම් ඒ කාලේ තිබුනේ වෙන අදහසක්. මට ඕන උනේ සල්ලි හම්බ කරගෙන ලංකාවට යන්න. මමත් ඔබ වහන්සේ වගේම විශ්ව විද්‍ය්ලයට ගිය කෙනෙක්නේ…

"මට නම් සල්ලි හම්බකරන්න අවශ්‍ය තාවයක් නෑ. මම අවුරුදු 11 දී විතර මහන වෙන්න පන්සලට ගියාට පස්සෙ මට නෑදෑයෝ, යාලුවො හැමෝම නැතිව ගියාට පස්සෙ ..මට හිතවත්ව හිටිය ලොකු හාමුදුරුවොත් නැති උනාට පස්සේ ටිකෙන් ටික සමහර දේවල් ගැන ඇති වුන කලකිරීම නිසා ...ඔය දන්න කියන කවුරුත් නැති පලාතකට ගිහින් ජීවත් වෙන්න ඇත්නම් කියලා හිතට ඇවිත් තිබුනා. මම හිතන්නේ ඒකයි මේ ගමනත් ආවේ. ඒ උනාට හිතේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් තියෙන්න ඕනේ. බයෙන් සැකෙන් ජීවත් වෙන්න මම කැමති නෑ…..

"අපි බලමුකෝ විපස්සී හාමුදුරුවනේ මොනවාද කරන්න පුලුවන් කියලා " දැන් එහෙනම් ගෙදර යමුද? බබා නැගිටලාත් ඇති. නෝනට කරදරයි බබා නැගිට ගත්තහම "

අපි නැවත තට්ටු නිවාසය වෙත යන කොට සුමේධගේ නෝනා අපට ගිලන්පස ලෑස්ති කර තිබුනි.

"විපස්සී හාමුදුරුවන්ට රෑට ගිලන්පස විතරයි මම හැදුවේ ."

"එහෙම හොදයි ..

"අද රෑට විපස්සී හාමුදුරුවන්ට අපේ මේ සාලේ දිග පුටුව උඩ තමයි සැතපෙන්න වෙන්නේ , මේ රටේ මේ වගේ තට්ටු නිවාස වල ඉඩකඩ හරි අඩුයි. අපේ බබා ලොකු වෙනකොට අපටත් ටිකක් ලොකු ගේකට යන්න වෙයි.

"මට මෙහෙම ගොඩක් හොදයි…. ඊයේ රෑ මම පාරේ කඩ පිලක නේ නිදා ගත්තේ.. පුදුම සීතලක්..නින්ද ගියේ නැති තරම් . අද මෙහේ ආවට පස්සෙ නාලා බත් එහෙම කෑව නිසා වෙන්න ඇති අදනම් දැන්ම නිදි මතයි."

"ගිලන්පස වලදලා එහෙනම් ඔබ වහන්සේ වේලාසන නිදාගන්න . අපි සාලේ ලයිට් එක නිවා දමන්නම්."

" හොදමයි "

********

එදින වේලාසන නිදාගත් බැවින් පසු දින වේලාසනින් ම මට ඇහැරිණි. සුමේධ හා නෝනාගේ කතාබහත්, ඔවුන් සාලය හරහා එහෙට මෙහෙට යන සද්දයත් නිසා සාලයේ නිදා ගෙන ඉන්න එක හොඳ නැතැයි මට සිතිණි.

‘‘හාමුදුරුවෝ අවදි වුණා ද? මේ දරුවට කිරි හදන්න තියෙන නිසා අපි වේලාසන නැගිට්ටා. ඉන්න මං ඔබවහන්සේට තේ එකක් හදා ගෙන එන්නම්.‘‘ සුමේධ කීය .

"නෝනා අද වේලාසනින්ම නැගිටලා දවල්ට ගන්න කෑමත් ඉව්වා බබා ඇහැරෙන්න ඉස්සර…. අපි උදේ කෑම ගත්තට පස්සෙ පොඩි ගමනක් ගිහින් එමුකෝ… සුමේධ කීය. ".

උදේ ආහාරයට කිරිබත් සහ ලූණු මිරිස් සාදා තිබිණි. මේසයට ඇර තිබූ කෑම මමත්, සුමේධත්, නෝනත් එකට වාඩි වී ගත්තෙමු. දරුවා තවම නිදි ය. උදේ ආහාරයට කිරිබත් සාදා තිබීම මට සතුටක් විය. මාගේ ප්‍රියතම කෑම ලූණු මිරිස් සහ කිරිබත් ය. අද දින මාගේ ජීවිතයේ නව පිටුවක් පෙරළන්න යන ගමනක් යැයි මා නොසිතුව ද හිත යටින් එයම පැතුවෙමි.

‘අපි කාල යමු ගමනක්. මම අද වැඩපලේ නිවාඩුවක් දැම්මා.‘‘

“‘මං නිසා කරදර වෙන්නත් සිද්ධ වුණා නේද ?‘‘

“‘ඒක මොකක්ද අපේ කෙනෙක්ට උදවු නොකර කොහොමද?

ආහාර වැළඳූ පසු මම තට්ටු නිවාසයේ ජනේලයක් ළඟට ගොස් පහත බැලුවෙමි. එහි අවට දිගට ම අහස උසට උස ගොඩනැගිලි ඇත. ඒවා තට්ටු නිවාස යැයි මට සිතේ.... පේන තෙක් මානයේ බිමක් නොපෙනෙන තරම් ය. කොරියාවේ භාගයක් මිනිසුන් තට්ටු නිවාසවල ජීවත් වන බව එයින් පෙන්නුම් කෙරෙයි. අවට මීදුම හා අහසේ කළු වැහිවලාවන් වලින් පිරි ඇත .

‘‘අපි ගිහින් එමු ද හාමුදුරුවනේ?‘‘

‘‘හොඳයි මං මගේ ගමන් මල්ලත් ගන්නම්. හදිස්සියක් වුණොත් මට කොතැනක හරි නවාතැන් ගන්න පුළුවන්නේ."‘

‘‘ඔව් ඒක හොඳයි.‘‘

‘‘මෙන්න හාමුදුරුවනේ මං බත් මුලක් බැන්දා ඔබවහන්සේට දවල් දානයට. අපේ ක්‍රමයට බත් කන්න හම්බ වෙන්නෙ සිංහල ගෙවල්වලින්ම පමණයි. ඒකයි මං හාමුදුරුවන්ට බත් මුලක් උදෙන් ම නැගිට ලෑස්ති කළේ.” ‘නෝනා මට බෑගයක් දුන්නා ය.

“‘බොහෝම පිං, නෝනලාට කරදර කළාට සමාවෙන්න.‘‘

“අනේ මොන කරදරයක් ද? ඔබවහන්සේ පිළිවෙළක් වෙන්නකෝ. අපි ආයෙත් හම්බ වෙමු.‘‘

‘‘හොඳමයි එහෙනම් මං ගිහින් එන්නම්.‘‘

අපි දෙදෙනා සුමේධගේ වාහනයට නැග ගමන් ආරම්භ කළෙමු.

“‘සුමේධ කොරියාවට ඇවිත් දැන් කොපමණ කාලයක් වෙනවද?

‘‘අවුරුදු තුනහමාරක් විතර.‘‘

‘‘නෝනත් මෙහෙදිද හම්බ වුණේ?‘‘

‘‘මොකට ද බොරු කියන්නේ…... මං විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ඉඳන් දැන හැඳුනුම්කමක් තිබුණා. මං කොරියාවට ඇවිත් මාස හයකින් විතර සිවුරු හැරියා. ඊට පස්සේ මෙහේ රස්සාවක් කරල සල්ලිත් හම්බ කරගෙන ලංකාවට ගිහින් හොරෙන් වගේ කසාදය කරගෙන නෝනත් එක්ක මෙහේ ආවා.‘‘

“‘ඒ කියන්නෙ සුමේධගෙ ගෙදර අය දන්නවද සිවුරු ඇරිය බව?‘‘

‘‘ඔව්... විවාහය අපි නෝනගෙ ගෙදර ගත්තේ. නෝනගෙ කට්ටිය දන්නෙ නෑ මං පැවිදි වෙලා හිටිය බව. නෝනා කිව්වා ඒ කතාව කාටවත් කියන්න අවශ්‍ය නෑ කියල. ළඟම දෙපැත්තෙ නෑදෑයන්ට කියල චාමෙට විවාහය කරගෙන නෝනත් එක්ක කොරියාවට ඇවිත් පදිංචි වුණා.‘‘

“‘මෙහේ ජීවිතය කොහොමද සුමේධ?

‘‘අපි මහන්සි වුණොත් හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. හොඳ පඩියක් හම්බ වෙනවා. ටික කාලයක් රස්සාව කරගෙන සල්ලි හම්බ කරගෙන ලංකාවට යන්න කියල මුලින් හිතාගෙන හිටියේ….. ඒත් ලංකාවේ මාව අඳුනන මිනිස්සු මුණ ගැහෙන්න මං කැමැති නෑ. ඒ නිසා මෙහේම දිගට ම ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ වුණාට මීට වඩා ටිකක් ලොකු ගේකට යන්න ඕන දරුවා ලොකු වෙනකොට.‘

කොරියාවේ සෝලෝ නගරයට කිට්ටු වෙන්න සුමේධලා පදිංචි වී උන්නේය. ඔහුගේ රැකියා ස්ථානයට ඒ ළඟ නිසා ය. රටේ තොටේ ආගිය තොරතුරු කතා කරමින් අප පැයක පමණ ගමනකින් පසු ගමකට සේන්දු වුණා යැයි මට සිතිණි. පාර දිගට ම නොයෙකුත් වගාවන් ඇත. ඒ අතර කහපාට මල් පිපිණු එක යායට ඇති අබ වගාව බලන්න ආස හිතෙන දර්ශනයකි. ඒ වගේ ම උණ බට වගාවත් හැම කන්දක ම වගේ පේන්න ඇත. කොරියන් රටේ මිනිසුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස වී ගොවිතැන ඉතා ප්‍රසිද්ධ යැයි මට එක දිගට දකින්න ලැබුණු කුඹුරු යාය නිසා සිතිණි. පාර දිගට ම නොයෙකුත් වගාවන් කර ඇති කොරියන් ජනයා වගාවට දක්‍ෂ ජාතියක් බව පෙනේ. ඉර අව්ව පේන්න නැති තරම් ය. මීදුම සමඟ අහස අඳුරු කර ඇත. පාර දිගේ වාහනය යන විට මේ අප යන්නේ ගමක් මැදින් බව පෙනේ. කුඹුරුවල වැඩ කරන ගොවියන් යැයි සිතිය හැකි මිනිසුන් දණිස්සට ටික්ක පහළට වෙන්න ඇඳි කලිසමත්, විශාල කමිසත් ඇඳ වේවැල් තොප්පි දාගෙන ගොවිතැන් කටයුතුවල නියලෙන හැටි දකින්න ලැබීම මට විශේෂ දර්ශනයක් නොවීය. එය තායිලන්තයේදී දැක ඇති හුරුපුරුදු දර්ශනයකි. මොවුන් දුප්පත් මිනිසුන් වන්නට ඇත. ඇතැම් විට අඟහිඟකම් නොමැති වෙන්න පුළුවන්. ඇඳුමෙන් මිනිසුන් මැනිය නොහැකි ය. මොවුන්ට හොඳ ඥානයක් ඇති මිනිසුන් බව සිතිය හැකි ය. කොරියාව ඉතා විශාල දියුණුවක් ලද රටකි. පිළිවෙළට සාදා ඇති මහාමාර්ග පද්ධති බලන්න ලස්සන ය. පාර පුරා දුවන ඉතා වටිනා මෝටර් රථ, ඉතා පිළිවෙළට ලස්සනට සාදා ඇති නගර බලා නිම කළ නොහැකි තරම්ය.

“‘කොරියාව ඉතා දියුණු රටක්. ඔබවහන්සේටත් භාෂාව ඉගෙන ගත්තොත් මෙහෙ කරදරයක් නැතුව වැඩ හිටින්න පුළුවන්.‘‘

‘‘මෙහේ ඉංග්‍රීසි භාෂාව කතා කරන අය හරි අඩුයි වගේ.‘‘

‘‘ඔව්... මේ රටේ මිනිස්සු තමන්ගෙ භාෂාවට තමයි වැඩි වටිනාකමක් දෙන්නෙ. මේ මිනිසුන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න උවමානවක් නැති තරම්. තරුණ ළමයි තමයි ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න උත්සාහ ගන්නෙ. පරණ මිනිස්සු නම් ඉංග්‍රීසි කතා කරන අයටත් කැමැති නෑ.‘‘

‘‘ඒක නම් ඇත්ත. ගුවන්තොටුපළේ දී මං ඉංග්‍රීසියෙන් ලියල තිබුණ ලිපිනය දුන් වෙලේ ඒ කොළය අතට අරන් ඈතට විසි කරානේ.‘‘

‘‘හා... හා... ඒක තමයි. මේ වයසක මිනිසුන්ට ඉංග්‍රීසි භාෂාව නයාට අඳුකොළ වගේ.‘‘

‘කතාවෙන් කතාවෙන් අප පැමිණියේ කොරියාවේ ගමක පිහිටා තිබූ පන්සලකට ය. එය පොඩි කඳු මුදුනක පිහිටා තිබිණි. වාහනය පාර අද්දර නැවැත්වූ සුමේධ, මා අඩගසාගෙන පන්සලට යන පාර දිගේ ඇවිද ගෙන ගියේමු


- හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page