✈️එතෙරින් එතෙරට✈️ (9 වෙනි කොටස )
- Prisila Godahewa

- Dec 3, 2021
- 4 min read
"
අපේ පොඩි හාමුදුරුවන්ගෙ තාත්තගෙ මළගෙදර වැඩකටයුතු හොඳින් කෙරෙන්න ඇති නේද ?
‘‘එහෙමයි ලොකු හාමුදුරුවනේ.....ඔබ වහන්සේට බොහොම පිං, තාත්තගෙ මළගම වෙනුවෙන් වියදම් කරන්න අවශ්‍ය මුදල් අම්මා අතට දුන්නට.....”
‘‘ඒක සුළු දෙයක් මටත් පුළුවන් හැටියට තමයි මුදල් ටිකක් දුන්නෙ..... පොඩිතැන දන්නවනේ අපටත් පිරිකරට මුදල් නොලෙබෙන බව...... මට ආණ්ඩුවෙන් සුළු විශ්‍රාම වැටුපක් ලැබෙනවා, ඒකෙන් තමයි මම ඔය අනිත් පොඩි උන්නාන්සේලාගේ ඕනෑ එපාකම් එහෙමත් හොයා බලන්නෙ...."
"එහෙමයි හාමුදුරුවනේ ...."
‘‘විපස්සි හාමුදුරුවන්ට ළගදිම අවිස්සාවේල්ලේ පිරිවෙනට ඉගෙන ගන්න වඩින්න වෙනවා...... අවිස්සාවේල්ල පන්සලෙන් මට දන්වා එවා තිබෙනවා ඔබවහන්සේට තව සුමානෙකින් විතර එහෙට වැඩම කරන්න සූදානම් වෙන්න කියල.....‘‘
"එහෙමයි ලොකු හාමුදුරුවනේ......‘‘
නුවර පන්සලේ අවුරුදු තුනකට අදික කාලයක් වැඩවිසුව මට දැන් අවිස්ලාවේල්ල කිට්ටුව පන්සලකට වැඩමකරන්න සිදුවී ඇත.....
නුවර පන්සලේ සැමගේ හිත දිනාගෙන හොද ස්වාමින් වහන්සේ නමක් ලෙස සිටි මට, දැන් මෙම පන්සල අත හැර යාමට දුකක්ද ඇතිවි ඇත.
අවුරුදු තුනකට අධික කාලයක් නුවර පන්සලේ වැඩ වාසය කල මට අවිස්සාවේල්ල බලා යන්නට සිදු උනේ, නුවර පන්සලේ සිටි ස්වාමීන් වහන්සේලාට සමු දෙමින්ය..... මා සමඟ, මහණ දම් පුරන්න පටන් ගත් අනෙක් සාමනේර හාමුදුරුවන්ගෙන් හා ලොකු හාමුදුරුවන්ගෙන් සමු ගත් මා අවිස්සාවේල්ල බලා වැඩම කළේ මගේ කියන්න මට ඇති සිවුරු දෙකතුන හා පිරිවෙනේ පොත්පත් ටික රැගෙන ය......
මාව අවිස්සාවේල්ල බසයට නැග්ගවීමට, විමලේ අයියා මා සමඟ පාරට පැමිණියේ මගේ පොත්පත් බෑගය ද රැගෙනය.
‘‘බොහොම ස්තුතියි විමලෙ අයියේ,
අවුරුදු තුනක කාලයක් මට ඇප උපස්ථාන කරමින් මට කරුනාවෙන් සැලකුවාට....."
“‘මගේ රාජකාරියනෙ මම කලේ පොඩි හාමුදුරුවනේ...... ඔබ වහන්සේට හොඳට ඉගෙන ගන්න පුළුවන්...... පිරිවෙනෙ හොදට ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට යන්න උත්සාහ ගන්න, ඒක තමයි දැන් කරන්න අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ .....පිරිවෙනෙන් අද්‍යාපනය ලබා ගැනීමේ අන්තිම ප්‍රතිඵලය තමයි එතන.... ඊට පස්සෙ පොඩි හාමුදුරුන්ට පුළුවන් ගුරු පත්වීමක් එහෙම ගන්න.....‘‘
‘‘හොඳයි විමලෙ අයියෙ....බොහෝම ස්තුතියි හැම දෙයකටම.... එහෙනම් මං වඩින්නම් බස් එක එනවා.....‘‘
විමලෙ අයියා දෙකට නැමී මට වැන්දේය.
නුවර සිට අවිස්ලාවේල්ල බලා යන බස් රතයේ බොහෝ සෙනග හිදී..... නමුත් කෙතරම් සෙනග සිටියත් ස්වාමින් වහන්සේ නමක් බසයට නැග්ග විට, මඟීන් විසින් බසයේ ඉස්සරහ ආසනය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පිලිගන්වති.....
උදේ නුවර පන්සලෙන් ,අවිස්සාවේල්ල බසයට නැඟ ගත් මට ,දහවල් දානයට පෙර අවිස්සාවේල්ලට යා ගන්නට නොහැකි වේ යෑයි මට සිතේ.....බසයේ පිරි ඇති සෙනඟත්, පාරවල් වල ඇති වාහන තදබදයත් නිසා, අප යන බස් රතය ඉදිරියට ඇදී යන්නේ බොහෝම සෙමින්‍ය.
බොහෝ සෙමින් ආ බස් රතය, දහවල් වනවිට හෝටලයක් අද්දර නතර කලේය. ඒ මිනිසුන්ට දවල් කෑම කන්නට හා, වැසිකිලි යාමටත් ය.
බසය හෝටලය අසල නතර කළපසු රියැදුරු මහතා, මා ළගට පැමින කතා කළේ ඉතා ඕනෑකමිනි.
‘‘ඔබ වහන්සේ අවිස්සාවේල්ලට වඩින්නේ කිව්ව නේද....? දානෙට ඉස්සෙල්ලා අපට අවිස්ලාවේල්ලට යාගන්න බැරි වෙයි .... අපි මේ හෝටලයෙන් දවල් දානය වලදමු හාමුදුරුවනේ….අපට යන්නත්
පරක්කු වෙනවනේ ..... මං හෝටලේ මුදලාලිට කියන්නම්.....‘‘
‘‘ආ... ඔය මොනව වුණත් කමක් නෑ. මං ළඟ සල්ලි වගයක් තියෙනවා ලොකු හාමුදුරුවෝ දුන්න.....
‘‘නෑ... නෑ... සල්ලි ඕන නෑ හාමුදුරුවනෙ.... මං හෝටලයේ මුදලාලි අඳුනනවා.... එහෙනම් ඔබ වහන්සේ හෝටලය ඇතුලට වැඩම කරා නම්........"‘
ලංකාවේ බෞද්ධ ජනයා හා වෙන ජාතින් පවා, අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාට දක්වන ගරුසරුකම්, ඇප උපස්ථානකම් හා, ගෞරවයන් ගැන පැවිද්දෙක් ලෙස මට ඇත්තේ ලොකු ආඩම්බරයකි. අප රට තුල, පන්සලක සිටියත්, වෙනයම් තැනකට ගියත්, බසයකට නැග්ගත්, පාරක ගියත් හැම තැනකම බෞද්ධ ස්වාමීන් වහන්සේලාට , තියෙන විශේෂ සැලකීම ඉතා අග්නේය.
බසය නවත්වපු තැන හෝටලයේ මුදලාලි මහතා මා හට දහවල් දානය පිඟානකටම බෙදා ඉක්මනට සකස් කර දුන්නේය. දහවල් දානයට ඔහු මුදල්ද නොගත්තේය.
මම පන්සලෙන් පිටවීමට පෙර ලොකු හාමුදුරුවෝ මට, මගවියදමට කියා රුපියල් පන්සියයක් දී තිබුනි....නමුත් එය මට වියදම් කිරිමට අවශ්‍ය නොවිය.
"බොහෝම පිං ලොකු හාමුදුරුවනේ....."
යැයි කියමින් මම ලොකු හාමුදුරුවන් දුන් ඒ මුදල අතට ගත් හැටි මට මතක් විය..... ලොකු හාමුදුරුවන්ට පිං දෙමින්‍ය. පැවදි වූවාට පසු, මා කවදාවත් මුදල් අත ගා නොතිබුනි..... මාගේ ගමන් වියදමට හා පිරිවනට අවශ්‍ය කරන දෙයක් ගන්නට කියා ලොකු හාමුදුරුවෝ මගේ අතේ ඒ මුදල තැබුවේ සිතේ සතුටින් බව මම දනිමි.
මම අවිස්සාවේල්ල පන්සලට වැඩම කරන විට දහවල් දෙක පමණ වි තිබුනි. එම පන්සලේ මගේ වයසේ තවත් ස්වාමීන් වහන්සේලා බොහෝමයක් වැඩ සිටින බව මට පෙනින....උන්වහන්සේලා සියල්ලෝම අවිස්සාවේල්ල පිරිවෙනේ ඉගෙන ගන්නා හිමිවරුන්ය.... පිරිවෙන අධ්‍යාපනයට රජයෙන් මුදල් සම්පාදනය කරන නිසා, අපට කිසිදු වියදමක් දැරීමට අවශ්‍ය නොවීය.
මම වැඩ වාසය කරන්න ආ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇතුළු පිරිවෙනේ ඉගෙන ගන්නා අනෙක් ස්වාමීන් වහන්සේලා හැමෝම , පන්සලට එන දායක දායිකාවන්ගේ බෝධි පූජා, දාන, බණ, පිරිත් ආදියට උදවු උපකාර කරමින් ඉගෙන ගැනිම කරති..... සවසට බෝධි පූජාවට එන උපාසක උපාසිකාවන්ට පන්සිල් දී වැන්දවීම පිරිවෙන අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට නියමිත කටයුත්තක්ය.
‘‘විපස්සි හාමුදුරුවෝ හවසට බෝධි පුජාව තියලා, හැමෝම හොඳට වන්දවනවා.....‘‘
මම හවස පූජාව කළ දිනට උපාසිකාවෝ සතුටින් මා හට පිරිකර ලෙස මුදල් ද පූජා කරති.
‘‘මේ මුදල පිරිවෙන වැඩකට තියාගන්න හාමුදුරුවනේ.‘‘
"සල්ලි නම් ඕන වෙන්නෙ නෑ උපාසක අම්මේ.....‘‘
එහෙම කිව්වත් මම ඔවුන් දෙන මුදල් යටි කැමැත්තෙන් භාර ගන්නෙමි.
නුවර පන්සලේ ලොකු හාමුදුරුවෝ දුන් රුපියල් පන්සියය දමා මම බැංකු ගිණුමක් ආරංභ කලේ, අවිස්සාවේල්ල පන්සලට ආ අලුතය. දැන් උපසාක උපාසිකාවන්ගෙන් පිරිකර වලට ලැබෙන මුදල් ද මම, අවශ්‍යතාවයක් නැතත්, බැංකු පොතට දමා ඉතිරි කර ගන්නෙමි.
ස්වාමීන් වහන්සේලා වන අපට මුදල් වියදම් කිරීමට අවශ්‍යතාවක් නැත. අපට අඳින සිවුරු, අඳනකඩයේ සිට, කොන්ඩය ,රැවුල බා ගන්නට රේසරය දක්වා සියල්ල පිරිකර ලෙස බැතිමතුන්ගෙන් ලැබෙති..... අපි විනීතව, සන්සුන්ව හා සීලවන්තව ජීවත් වෙනවා දකින උපාසක උපාසිකාවන්ගෙන් අපට, ලැබෙන ගරුකිරිම් පිලිගැනිම් වගේම පිරිකර ද වැඩිය.....
############
මම පැවද්ද ලබා ගත් නුවර පන්සලේ සිට, අවිස්ලාවේල්ල පිරිවෙනේ ඉගෙන ගන්න ආ මම, මෙම පන්සලට වැඩම කර දැන් අවුරුදු තුනක්ද ඉක්ම ගොස් ඇත.
අද්‍යාපනය වැඩ කටයුතු වලට දැඩි මහන්සියක් ගනිමින්, දැඩි කැපවීමක් කරමින් මම හොදින් ඉගෙන ගත්තෙමි..... පන්සලේ භාහිර කටයුතු වලටද මම ඒ අතර උදව් කෙරුවෙමි. පන්සලේ අනෙක් ස්වාමීන් වහන්සේලා සමග බොහෝ හිතවත්ව වැඩකටයුතු කල මම, පන්සලට එන උපාසක උපාසිකාවන් අතර ඉතා ප්‍රසිද්ධ හිමි නමක් විය.
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා*






Comments