top of page

✈️එතෙරින් එතෙරට✈️ (8 වෙනි කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 5 min read

අලුත් අවුරුද්දේ ජනවාරි මාසයේ දෙවැනි සතියේ, අපට පිරිවෙනට ඇතුළත් වීමට අවස්ථාව ලැබුනේය. මා සමග එකටම පැවදි වූ අනෙක් සාමනේර තෙනම, පිරිවෙනට යන්න පටන් ගත්තෙද එකටමය.... පිරිවෙනේ ඉගෙනීමට යන ගමනට මම බොහෝ කැමැත්තෙන් සහභාගි වූයෙමි.

උදෑසන හතර හමාරට නැගිටින එක දැන් පුරුද්දකට කරන දෙයක් වි ඇත. දැන් එය ඒ තරම් අමාරු දෙයක් නොවන බවත් වැටහේ....


උදේම මුහුණකට සෝදාගෙන, බෝ මලුව පිරිසිදු කර බුදුන් වැඳ හීල් දානය ගත් සැණින් අපි හතර නමම, ලොකු හාමුදුරුවන්ට වැඳ පිරිවෙන බලා යන්නෙමු..... බස් එකෙන් පිරිවෙනට යන්නට ලැබීම අප හතර දෙනාටම ඇත්තේ ලොකු සතුටකි. අපි බස් එකට නැගපු ගමන්, ඉස්සරහයින්ම තියෙන ආසන දෙකේ හිඳගෙන සිටින අය, අපට එහි ඉඳගන්නට ඉඩ දෙති.... සාමනේරයන් වන අපට කොතැන ගියත් මිනිසුන්ගෙන් විශේෂ පිළිගැනීමක් අපට ඇත. අපි ඇද සිටින සිවුරට මිනිසුන් ලොකු ගෞරවයක් දක්වති. හැමදාම පිට මිනිසුන්ගෙන් අවලාද ගැරහුම්, දඩුවම් විදි මට, ඔවුන්ගේ ලැබෙන ගෞරවය කියන්න බැරි තරම් සතුටකි.


‘‘මාව පිරිවෙනේ හයේ පන්තියට දැම්මා.....‘‘


‘‘මාව පන්ති දෙකක් පන්නලා, හත්වෙනි පන්තියට දැම්මා....‘‘

මම කීවෙ,

මට ඒ ගැන තිබු සතුටෙන්.....


පිරිවෙනේ අනිත් පුංචි සාමනේරවරුන්ට වඩා මම එන්න එන්නම ඉගෙනීම අතින් දක්‍ෂ‍යකු විගෙන යයි.... අවුරුද්දකට ආසන්න කාලයක් මට පාසල් යන්නට බැරි වූ නිසත් මාගේ වයස අනුවත්, මම සිටිය යුතු හත්වැනි පන්තියට ඇතුලත් විමට මට හැකි විය.


උදේට හීල් දානය නැවති සිටින පන්සලෙන් වළදා යන අපට, දහවල් දානය අපි සියලු දෙනාට පිරිවෙනෙන් ලැබෙන්නේය.....


පිරිවෙනේ අද්‍යාපන කටයුතු කරන අපට නැවත පන්සලට එන්න ලැබෙන්නේ සවස් කාලයේදීය.... ඒ ආපසු ඇඟපත දොවා ගෙන, පන්සලේ වැඩවලට අපි උදවු කරන්නෙමු....


හවස බෝධි පූජාවට එන ගිහි බැතිමතුන්ට මාරුවෙන් මාරුවට , දිනපතා පන්සිල් දීම අපට ඇති රාජකාරි වලින් එකකි.... අප එය කරන්නේ ඉතා කැමැත්තෙනි.


" විපස්සී පොඩි තැන..., අනිත් ස්වාමීන් වහන්සේලා තුන් නමටත් ආවාස ගෙට, වඩින්න කියන්න.... මට පොඩි උන්නාන්සේලාට කාරණාවක් කියන්න තියෙනවා.....‘‘


අපි සිවුනම ලොකු හාමුදුරුවන්ගේ ආවාස ගෙට ගොස් එහි එකත් පසව හිඳ ගත්තෙමු.... ඒ උන්වහන්සේ කියන්න යන විශේෂ කාරණාව කුමක්දැයි දැනගැනීමටය


‘‘ඔබ වහන්සේලා හතර නම, මේ පන්සලේ පැවදි කරත්, මට දැන් ඔබ වහන්සේලා හතර නමටම මෙහි නවාතැන් දීගෙන ඉන්න අමාරුයි.... ඒ නිසා මං ඔබ වහන්සේලාගෙන් තුන් නමක්ව, වෙන පන්සල්වලට මාරු කර අරින්න කතාකර ගත්තා..... ඔබ වහන්සේලාට එහිදීත් පිරිවෙන් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් විදියට තමයි මම පන්සල් හොයලා බලලා තියෙන්නෙ.....‘‘


‘‘සුමනානන්ද හාමුදුරුවොයි, විපස්සි හාමුදුරුවොයි, සුමනතිස්ස හාමුදුරුවොයි තමයි මම වෙන පන්සල් තුනකට යවන්න තීරණය කරගෙන ඉන්නේ..... ඒ පන්සල්වලට පොඩි හාමුදුරුවන්ගේ අඩු පාඩුවක් තියෙන නිසා මගෙන් කළ ඉල්ලීමකට තමයි මං ඔබ වහන්සේලා ඒ පන්සල්වලට යවන්න තීරණය කළේ.... ඔබ වහන්සේලාට ඒ තැන්වලදී හොඳ අනාගතයකට මග හදාගන්න පුළුවන් වෙයි.... එහෙනම් මේ එන නිවාඩු කාලෙදි ඔබ වහන්සේලා මම කියපු ඒ පන්සල්වලට යන්න ලෑස්ති වෙන්න ඕනේ....‘‘


මා හට පැවිදි වූ පසු ලැබුණු නම ගලේවෙල විපස්සි යන නාමයයි... මා හට පිරිවෙනේ, අවුරුදු නිවාඩුවෙන් පසුව යෑමට නියම වී තිබුණේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ විහාරයකටය.... මා හට කොහේ වැඩසිටියද දැන් ගැටලුවක් නැත.....මගේ කියන්න ඇති සිවුරු දෙක, අඳිනකඩ හා පිරිවෙනේ පොත්පත් ටික හැරුණු කොට මගේ කියන්න වෙන යමක් මට නැත.... මම යන තැනකට ගෙන යෑමට මට ඇත්තේ එපමනකි.


ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෝ වෙන අපි, නිවන සොයා යන ගමනේදී, අප අපේ වැඩිහිටි සංඝයාට කීකරුව ජීවත් විය යුතුය.... ඔවුන්ගේ අනුදැනුම, උපදෙස් මත ජීවත් විය යුතුය. සාමනේර වරුන් ලෙස ලොකු හාමුදුරුවරුන්ට කීකරුව ජීවත් වීම අපේ යුතුකමකි.


‘‘විපස්සි හාමුදුරුවෝ කැමැතියි නේද අවිස්ලාවේල්ල පන්සලට වඩින්න?


‘‘එහෙමයි හාමුදුරුවනේ මම කැමතියි ....‘‘


‘‘ඒ පන්සල කිට්ටුවමයි ඔබ වහන්සේ ඉගෙන ගන්න යන පිරිවෙන තියෙන්නෙත්..... ඔබ වහන්සේට ඒ නිසා ගමනා ගමනයට පහසුයි.... ඉදිරි කාලයේ හොඳින් ඉගෙන ගෙන, විභාග හොදින් සමත් වෙලා ඉහළට යන්න උත්සහ ගන්න ඕනේ.... ඔබ වහන්සේට හොඳ දැනුමක් තියෙනවා හැමදෙයක් ගැනම.... ඔබ වහන්සේට හොදින් ඉගෙන ගන්නත් පුලුවන්...., මෙහෙදි වගේම එහෙදීත් වැඩිහිටි ස්වාමින් වහන්සේලාට කීකරුව, ගෞරවයෙන්, සිල්වත්ව ජීවත් විය යුතුයි..... "


‘‘එහෙමයි හාමුදුරුවනේ."


########

මම දැන් පහළොස් වැනි වියේ පසු වන්නෙමි. අවුරුදු දොළහේදී මහණදම් පිරුමට ආ මම, හොඳින් මහණදම් පුරමින්, බණ භාවනා ප්‍රගුණ කරමින්, ලොකු හාමුදුරුවන් ගේ මෙන්ම උපාසක උපාසිකාවන් හැම කෙනෙකුගේම හිත හොදින් දිනාගෙන, කීකරුව සිල්වත්ව, පැවදි දිවිය ගෙන යන්නෙමි.....

දිනක් හිටි හැටියේ අපේ මාමා කෙනෙකු වන විල්සන් මාමා, ලොකු හාමුදුරුවන් බැහැ දැකීමට පැමිණියේ කලබලයෙනි..... ඔහු ලොකු හාමුදුරුවන් සමඟ කළ කතාබහෙන් පසු ලොකු හාමුදුරුවෝ මා හට අඬ ගැසීය.


‘‘විපස්සි හාමුදුරුවනේ…. ඔබ වහන්සේව ගෙදර එක්ක යන්නයි මේ විල්සන් උන්නැහේ ඇවිත් තියෙන්නේ. මාත් ඔබ වහන්සේ එක්කම විපස්සී හාමුදුරුවන්ගෙ ගමේ ගෙදර යන්න එන්නම්.....‘‘


‘‘ඇයි හාමුදුරුවනේ හදිස්සියේ.....? ගෙදර මොකවත් කරදරයක් ද?


‘‘මොකටද ඔබ වහන්සේට හංගන්නේ.....

ඔබවහන්සේ දැන් යමක්කමක් තේරෙන වයසකනේ වැඩ වෙසෙන්නේ....... ඔබ වහන්සේගේ පියා හදිසියේ අන්තරා වෙලා..... ඒ ගැන කියන්නයි මේ විල්සන් උන්නැහේ තකහනියක් ගමේ ඉදන් ඇවිත් තියෙන්නේ.....‘‘


අනේ දෙවියනේ මගේ තාත්තා..... මට කොච්චර ආදරෙන් හිටි කෙනෙක්ද....? මම පැවැදි උනාට පසු, එක වතාවක් ගමේ ගෙදර ගිය අවස්තාවේ.... ඔහු මගේ පසු පස වැටි මට ආවතේව කල හැටි....දානය සකස් කර පිලිගැන්වු හැටි මට සිහිවි.....මගේ ඇස් දෙකට කඳුළු ඉනිණ....තාත්තා ආන්ත්‍ර උන බව දැනගත් පසු, මගේ දෙනෙතින් කඳුළු කැට බිමට වැටෙන්න පටන් ගත්තේය. මං ඉක්මනින් කාමරයට වැඩියේ, අනිත් ස්වාමින් වහන්සේලාට නොපෙනෙන්නටය.


ලොකු හාමුදුරුවොත්, තව පොඩි සාමනේර නමකුත් මමත්, විල්සන් මාමා සමග අපේ ගම බලා, නුවර පන්සලෙන් පිටත් වූවෙමු.


මහණදම් පිරීමට නුවර ආපසු, මම මීට පෙර එකවතාවක් පමණක්, ගමේ ගොස් අම්මා තාත්තා සහෝදර සහෝදරියන් බලා ඇවිත් තිබුනෙමි..... මා බැලීමට අම්මා තාත්තා සහෝදරයෝ දෙතුන් ගමනක්ම පන්සලට ඇවිත් ගියහ. මා හට ගමේ නෑ හිතමිතුරන් බැලීමට ඒ තරම් කැමැත්තක් නොතිබුණි නිසා මම නිතර ගමේ නොගියෙමි. එය දන්න අම්මා තාත්තා මට නිතර ගමේ ගෙදර එන්නටද ආරාදනා නොකලේය.

නුවර පන්සලේ සිට බසයෙන්, අප අපේ ගම බලා ගියෙමු..... අපි මුලින්ම ගියේ ගමේ පන්සලටය. එහි ලොකු හාමුදුරුවන් මුණගැසුණු අපි ගිලන්පස වළඳා පසුව, අපේ ගෙදර බලා ගියේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ද සමඟිනි.....


අපේ ගෙදරට යන පාරට බට පසු නැවත මගේ ඇසේ කඳුළක් මතු විය.... මෙම පාරේ මම කොයිතරම් නම් එහේ මෙහේ දුව පැන සෙල්ලම් කරමින් ඇවිද ඇද්ද.... කොයි තරම්නම් නරක වැඩ කරමින් ගමේ මිනිස්සුන්ගෙන් අවලාද විද ඇද්ද.......

අද මම සිවුරක් පොරවගෙන මෙම පාරෙන් යන්නේ මගේ පියාගේ මළගම වෙනුවෙනි.........


අපේ ගෙදරට යන පාරේ ඈතට ඇවිද යන විට, ඈතදීම මට ගෙට හැරෙන පාරේ අයිනේ ඉදිරිපස සුදු කොඩියක් ලෙළ දෙනු දැකගත හැකි විය.


ගමේ මිනිසුන් එහේ මෙහේ යමින් අපේ ගෙදර, අවමංගල්‍යයේ වැඩකටයුතුවලට උදවු කරන අයුරුද පෙනේ.....


ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් හා නුවර පන්සලේ ලොකු හාමුදුරුවන් සමග අපේ ගෙදරට වඩින මා දුටු අසල්වැසියන් පැමිණ අපට වැඳ නමස්කාර කළේ ඉමහත් භක්තියෙනි.....


දන්න කියන හැමෝම වාගේ මා දෙස ඉතා ඕනෑකමින් බලමින්, එකිනෙකා රහස් කියන හැටිද මට දැකගත හැකි විය..... මම බිම බලාගෙනම ගෙට ඇතුළු වී තාත්තාගේ දේහය වෙත ගියෙමි.


‘‘අනේ අපේ පොඩි හාමුදුරුවන් වැඩලා..... අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තාත්තගෙ අවමඟුලට සහභාගි වෙන්න වැඩම කරලා.....‘‘

මාව දැක අම්මාගේ, අක්කාගෙ හා නංගිගේ හැඩුම් තවත් උත්සන්න වී ඇත..... ඔවුන් අඩමින් නොයෙකුත් දේ කියමින් පැමින මට වැද නමස්කාර කලෝය.

අම්මා මට වැඳ පසෙකට වී තවමත් අඬයි.


අයියා, මල්ලී ද ඇවිත් මට වැන්දේය.... ඔවුන් සෑම කෙනෙකුගේම ඇඬුම් වැඩි වී ඇත්තේ මා වැඩම කළාට පසුව බව මට වැටහින....ගේ මැද්දේ තබා ඇති තාත්තාගේ මිනිපෙට්ටිය දැක, මගේ දෙනතද කදුළින් පිරි ඇත.


තාත්තාගේ මළගෙදර වියදමට ලොකු හාමුදුරුවෝ අම්මාට මුදල් වගයක් පිරිනැමූහ. ගමේ පන්සලේ හාමුදුරුවෝ, ගමේ මිනිසුන්ට මළගෙදරට උදව් කිරීමට උපදෙස් දුන්නේය..... තාත්තාගේ මළගමට බොහෝ සෙනඟක් සහභාගි විය. මළගමේ වැඩකටයුතු හොඳින් ම සිදු විය.....


මට මගේ තාත්තාගේ මළගමට සහභාගි වි පන්සිල් දී පාංශුකූලය දීමට ද සිදු විය......


මා සමඟ පැමිණි අනෙකුත් භික්ෂූන් වහන්සේලා නැවත නුවර බලා වැඩම කළ අතර, මම හත්දවසේ දානෙ ඉවර වනතෙක් ගමේ පන්සලේ වැඩ සිටියෙමි.


මළගෙදර හා හත්දවසේ දානෙ බණ අවසන් වනතුරු ගමේ පන්සලේ වැඩ සිටි මට, පරණ නෑදෑයන් හිත මිතුරන්, ගුරුවරුන් සෑම කෙනෙකුම වාගේ මුණගැසිණ.


මගේ සහෝදර සහෝදරියන්ට මම ගමට වැඩම කිරීම, සතුටට කාරණයක් වි ඇත.


මම නැවත නුවර පන්සල බලා වැඩම කළේ තාත්තාගේ හත්දවසේ පිංකම් වලටද සහභාගි වීමෙන් පසුය.

-නැවත හමුවෙමු-

* ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page