✈️එතෙරින් එතෙරට✈️ 💥(7 වෙනි කොටස )
- Prisila Godahewa

- Dec 3, 2021
- 6 min read
නුවර පන්සලට පැමිණ මාස දෙක සම්පූර්ණ වනවිට , පන්සලක ජීවත් විය යුතු පිළිවෙළ මා හට හොඳින්ම වැටහී තිබුණි.....
තරුණ හාමුදුරුවන්ගෙන් මම ආගම දහම ගැන හොඳින් ඉගෙන ගත්තෙමි. ගාථා සහ පිරිත් සෙමින් සෙමින් කියන්නට පටන් ගත්තෙමි. මේ වනවිට උදේ හතරහමාරට නැගිටින පුරුද්ද මට ඉබේම ඇති වී තිබුණි. උදේට නැගිට පන්සල අතුපතු ගා, ආවාස ගෙය අස්පස් කර, විමල් අයියාට පන්සලේ වැඩවලට මම ආසාවෙන් උදවු කළෙමි.
මගේ ගති පැවතුම්ද දැන් ටිකෙන් ටික හොඳ අතට හැරී ඇතැයි මට ම සිතේ. ගෙදර අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් මට ටිකෙන් ටික අමතකව ගියේය. පන්සලේ ගෙවන ජීවිතයට මා දැන් බොහෝ සෙයින් කැමැති වි ඇත. මගේ තිබුන කළබළකාරි ,දඟ ගති ටිකෙන් ටික අඩුවි, තැන්පත් අහිංසක ගති ඉබේ ඇතිවෙමින් තිබින....
‘‘විසල් දන්නවද එන පුර පසළොස්වක පෝය දින නැකැතට, විසල් සමඟ තව පොඩි දරුවන් තුන් දෙනෙක් මේ පන්සලේදි පැවදි කරන්නට හැම දෙයක්ම ලෑස්ති කරල තියෙන්නෙ කියලා.......විසල්ගෙ අම්මා, තාත්තා අපට අවසර දුන්නා විසල්ව මහණ කරන්න.... බුදුන් දවසේ සිට එන නීතියක් පිළිපැදීමක් තමයි දරුවෙක් මහණ කරන කොට දෙමවුපියන්ගෙන් අවසර ගැනීම....ඒ අවසර ගැනීම අපි විසල්ගෙ දෙමව්පියන්ගෙන් ලබා ගත්තා..... විසල් කැමැතියි නේද මහණ වෙන්න...? පවුලේ කෙනෙක් පැවදි විම කියන්නේ...., අම්මා තාත්තා ඇතුළු හත්මුතු පරම්පරාවම නිවනට ගෙන යන්නට පුලුවන් පිං කමක්.......”
නුවර පන්සලේ ලොකු හාමුදුරුවන් දිනක් මට කතා කර එසේ කීය.
"එහෙමයි හාමුදුරුවනේ..... මං කැමැතියි පැවදි වෙන්න.....”
නුවර පන්සලට පැමිණ මාස දෙකහමාරක් සම්පූර්ණ වනවිට මා සිතින් හා ගතින් පැවිදි ජීවිතය භාර ගැනීමට කැමැත්තෙන් සිටින බව මටම තේරුම් ගොස් තිබිණි.....
‘‘එන බදාදට විසල්ගෙ අම්මලා, තාත්තලා ගමේ ඉදන් නුවර එනවා, කුළදරුවන් පැවිදි කරන උත්සවයට සහභාගි වෙන්න.‘‘
"ඇත්තද හාමුදුරුවනේ ...? මටත් ආසයි ඒ අය දකින්න. මාස තුනකට කිට්ටු වෙන්න කාලයක් ඒ අය දැක්කෙත් නෑනෙ......නංගියි මල්ලි එහෙමත් එයිනේද හාමුදුරුවනේ....‘‘
"ඔව් ඔව්.....තව ලගම නෑදෑයෝත් එයි මයෙ හිතේ….
මා සමඟ තවත් දරුවන් තුන් දෙනෙක් මෙම පන්සලේ පැවිදි කරන්නට සියලු වැඩ කටයුතු ලෑස්ති වෙමින් තිබේ.....මවැනි කුඩා දරුවන් පැවිදි කිරීම ශාසනයේ දියුණුවටත්, සමාජයේ දියුණුවටත් හේතුවක් බව ලොකු හාමුදුරුවෝ දේශනා කරන්නේය ....
කුළ දරුවන් සාසන ගත කිරීමේ උත්සවයට නුවර පන්සලේ, දායකයෝ ලහිලහියේ ලෑස්ති වෙන හැටි අපට පෙනේ....ඒ වෙනුවෙන් මාත් සමග තව දරුවන් තුන් දෙනෙක් සාසන ගත කිරිමේ කටයුතු ලෑස්ති කරවිම, මෙම පන්සලේ වැඩිහිටි ස්වාමීනි වහන්සේලා විසින් පිළිවෙළට සිදු කරමින් ඉදිති.....
කුළදරුවන් පැවදි කරවීමේ උත්සවය නුවර පන්සලේ , අති උත්කර්ෂවත් අන්දමින් සිදු කරන්නට සියලු දේ දැන් සූදානම්ය. මට වඩා බාල මල්ලිලා දෙදෙනෙක්ද, මට වඩා වැඩිමල් අය්යා කෙනෙක්ද පැවිදි දිවිය භාර ගැනීමට කැමැත්තෙන් සිටිම නුවර පන්සලේ ලොකු හාමුදුරුවන්ට ලොකු සතුටකි......
කුළ දරුවන් පැවදි කරන උත්සවයට සූදානම් වී සිටින අප හතර දෙනාම ඉතා අඟහිඟකම් ඇති පවුල්වල ළමයින් වන්නෙමු.... දෙමව්පියන්ගෙ කැමැත්තෙන් වගේම, අපේ කැමැත්තෙන්ද මේ පැවදි කිරිම් සිදුවේ....
කුළදරුවන් පැවදි කරන උත්සවයට අපි හතර දෙනාගේම දෙමවුපියන් එදින පැමිණ සිටියේ ළඟම නෑදෑයන්ද සමඟ ය...... පවුලක දරුවෙකු බුද්ධ ශාසනයට භාර කරනවා යනු, හත්මුතු පරම්පරාවක නෑයන්ට නිවනට යන්න මග පැදෙනවා යන මතය බෞද්ධ ජනයා තුල ඇති අදහසකි.....
අම්මා තාත්තා ඇතුළු අපේ ගෙදර සියල්ලන්ම මාමා, නැන්දා හා ඔවුන්ගේ දරුවෝ ද මා පැවිදි කරන උත්සවය බලන්නට නුවරට පැමින සිටියෝය. ඔවුන් කලින් දින පැමිණ පන්සලේ නවාතැන් ගත්තේ නුවර සිට අපේ ගෙදරට බොහෝ දුර බැවිනි..... ඔවුන් සියල්ලෝම පන්සලේ බණ මඩුවේ එදින නවාතැන් ගත්හ.
පසු දින පාන්දර පැවදි කරවන්නට නියමිත අප හතර දෙනා වෙනුවෙන් අප ලෑස්ති කිරීමට, ඈත පන්සල් වලින් තරුණ භික්ෂූන් සිවුනමක්ද වැඩම කර සිටියේය.
පසුදින පාන්දර වේලාසන අපට නැගිටීමට, ලොකු හාමුදුරුවෝ නියම කර තිබුනි. උදේ පාන්දරින්ම නැගිට ගත් අපට තරුණ භික්ෂූන් වහන්සේලා කියන විදිහට ලෑස්ති වීමට සිදුවිය....
" මේ දරුවන් හතර දෙනාම ලිද ලගට ගිහින් හොඳට නාල, මේ සුදු ඇඳුම් ඇඳගෙන එන්න...."
තරුණ භික්ෂූන් හතර දෙනා අපට සුදු සරොම් සහ කමිස ලබාදුන්හ. පාන්දර සීතලේ අපි හතර දෙනාම ළිඳ ළඟට ගොස් හොඳින් නා, පිරිසුදු වී පැමිණියෙමු.
අපි හතර දෙනාම සුදු සරොම් සහ කමිස ඇඳ පන්සලේ අප වෙනුවෙන් සූදානම් කර තිබූ ස්ථානයට ගියෙමු.
මේ වනවිට පන්සල අවට හොඳින් හිරු එළිය වැටී තිබුණි. අහල පහළ පන්සල්වල වැඩිහිටි භික්ෂූන් වහන්සේලා ඇතුළු ගම්වැසියෝද මෙම උත්සවයට සහභාගි සිටියාහ.
වැඩිහිටි භික්ෂූන් වහන්සේලා විසින්, පැමිණ සිටි සියලු නෑ හිතමිතුරන් ඇතුළු ගමේ දායකයන් පන්සිල් සමාදම් කර පිරිත් කීහ..... අප සිවුදෙනාද ඔවුන් ඉදිරිපිට වාඩි වී පිරිත් සජ්ඣායනය ආරම්භ කළෙමු. මේ වනවිට මට සියලු ගාථාද කටපාඩම් වී තිබිණි. සියලු පිරිත් පොත් බලාන කීමට හා මතකයෙන් කිමේ හැකියාවද ලැබී තිබුණේ, මාස තුනකට කිට්ටු කාලයක් පන්සල්වල නැවතී සිටි බැවිනි.....
පිරිත් සජ්ඣායනය සිදු වෙමින් තිබියදී...., උදෑසන තිබු හොද නැකත් වේලාවේදි, තරුණ භික්ෂූන් වහන්සේලා සිවුනම විසින් පන්සලේ ළිඳ ආසන්නයට වෙන්න ලෑස්ති කර තිබූ විශේෂ ස්ථානයේ අප හතර දෙනා වාඩි කර හිස බූ ගාන්නට පටන් ගත්හ....එය ඉතා පිලිවෙලට ක්‍රමානුකූලව සිදු කරන ලද්දේ ,ඒ වෙනුවෙන්ම සුදානම් වි සිටි භික්ෂූන් වහන්සේලා විසිනි.
පිරිත් සංජායනා මද්‍යයේ, වැඩිහිටි භික්ෂූන් වහන්සේලා විසින්, අපේ හිසෙන් මුලින්ම කපන ලද හිසකෙස් රොද අපේ අතට දී.....අපට මුලින් උගන්වා තිබු ගාථා හා පිරිත් කියමින් එම කාර්යය නිම කලේය.
වැඩිහිටි භික්ෂූන් වහන්සේලා විසින් පසුව අපව නහවා අපට අලූත් සිවුරු ඇන්දවීය. ... සිවුරු ඇන්ද වීමෙන් පසු අපව නෑ හිත මිතුරන් ඇතුළු ගමේ උපාසක උපාසිකාවන් අතරට ගෙන ගොස් පැමිණ සිටි සියලු වැඩිහිටි භික්ෂූන්ලාගෙන් අවසර ගන්නට උපදෙස් දුන්නේය. ඉන් පසුද තිබු පිරිත් සංජායනා හා වැඩිහිටි භික්ෂූන්ලා විසින් පවත්වන ලද ධර්ම දේශනා සියල්ල හා උත්සවයේ වැඩකටයුතු ඉවර වීමට පැය කිහිපයක් ගත විය....
පැමිණ සිටි වැඩිහිටි භික්ෂූන් වහන්සේලාගෙන් අවසර ගත් අපට, අපේ දෙමවුපියෝ පැමිණ වැඳ නමස්කාර කළහ. එය නම් මට දුක හිතෙනම සිදුවීමක් විය. මීට ප්‍රථම මම මගේ දෙමවුපියන්ට වැඳ නමස්කාර කළද, මහණ වීමෙන් පසු අම්මා, තාත්තා "පොඩි හාමුදුරුවෝ" කියමින් මට වැඳ නමස්කාර කළහ. එම අවස්තාවේ තාත්තාගේ දෑසින් කඳුළක්ද වැටෙනු මට පෙනිණි. අම්මාද දුකෙන් අඬනු පෙනින..... අයියා, අක්කා, නංගී, මල්ලී ද මට වැඳ නමස්කාර කළහ. සියලු උත්සව කටයුතු නිම වීමෙන් පසු දහවල් ආහාර ගත් ඔවුන් විසිර ගියේ මාව හැමදාටම පන්සලේ තනිකර දමාය....
ප්‍රධාන සංඝනායක පහත්ගම රතනසාර හිමිපාණන් ඇතුළු ශාස්ත්‍රපති පණ්ඩිත මහල්වරා ධම්මාරාම උපාධියන්වහන්සේගේ අනුශාසකත්වයෙන්ද, ප්‍රදේශයේ මහා සංඝරත්නය හා දායක සභාවේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් නුවර විහාරස්ථානයේ දී මා ඇතුළු තවත් දරුවන් තිදෙනෙක් බුද්ධ ශාසනයට ඇතුලත් කරගත් පිංකම නිමා විය.
මේ දැන් පැවිදි උන
‘‘පොඩි සාමනේරවරු, කීකරුව, ශාන්තව පන්සලේ ජීවත් වෙන්න ඕනේ.... බණ භාවනා ඉගෙන ගන්න ඕනේ.... පිරිත්, ගාථා කටපාඩම් කරගන්න ඕනේ...."‘ ලොකු භික්ෂූන් වහන්සේලා අපට අවවාද දුන්හ.
අවුරුදු දොළහක් තිස්සෙ ,හිසේ තිබුන කෙස් කළඹ,....හිස මුඩු කළ පසු නම්, හිසට දැනුනේ පුදුම සැහැල්ලුවකි..... මතක ඇති කාලයේ සිට ඇන්ද, කලිසම කමිසය ගලවා සිවුර ඇන්ද පසු නම් පොඩි අපහසුවක් දැනුණේ, මට වඩා සිවුර විශාල නිසාය..... නිතර සිවුර උරෙන් පහලට කඩා වැටුන අවස්ථා එමටය. දෙතුන් පාරක් ම තරුණ භික්ෂූන්ලාට කියා සිවුර හරි ගස්සා ගන්නට මට සිදුවිය..... සිවුර ඇදගෙන ඇවිදීමට අපහසු බැවින්, වෙනදා මෙන් ඉක්මන් ගමන් බැරි විය..... එම නිසා අමුතුවෙන් ශාන්ත ගමනක් අවශ්‍ය නොවිය.... කොහොමත් නිතතින්ම මගේ ගමන ශාන්ත විය.....
පැවිදි දිවියට එළඹි අප හතර දෙනාට, උදේ, දවල්, රෑට, බුදු ගේ හා බෝධීන් වහන්සේ ඉදිරිපිට ගාථා, පිරිත් කියමින් වඳින්න නියම වීය..... උදේ හතර හමාරට නැගිට මුහුණකට සෝදා, තේ කෝප්පයක් බීමෙන් පසු පන්සලේ මිදුල ඇමදීම මල් තට්ටු පිරිසිදු කර මල් නෙලීමද අපටම කරන්න නියම විය. උදේ හීල් දානෙන් පසු බෝධීන් වහන්සේ ඉදිරිපිට වාඩි වී, සිහින් වැල්ලේ ඇඟිල්ලෙන් අකුරු අඳිමින් ගාථා කටපාඩම් කරන්නට පටන් ගත්තෙමු.
"අවසර පොඩි හාමුදුරුවනේ ගිලන්පස ලෑස්තියි."
පන්සලේ ඇබිත්තයා වූ විමල් අයියා අපට දැන් හාමුදුරුවනේ කියා කතා කරයි..... මීට ප්‍රථම අප හතර දෙනාටම හැමෝම කතා කළේ නමින් හෝ කොලුවෝ, ළමයෝ කියාය . දැන් හැමෝම අපට ගරුසරු ඇතුව හාමුදුරුවනේ, පොඩි සාදු, ස්වාමීන් වහන්ස කියා අමතයි. ඒ ගැන නම් අප හතර දෙනාට ම ඇත්තේ සතුටකි..... රෑ බඩගින්නෙ ඉන්න වීම හැර අනිත් හැමදේකටම අප හතර දෙනාම කැමැතිය.... විමල් අයියා රෑ අපට දෙතුන් ගමනකට තේ සාදා දෙයි. එබැවින් බඩගින්න ටිකක් මගහැරී යයි. නමුත් උදේ පාන්දර අපි නැගිටින්නේ ඉතා බඩගිනි වය..... උදේ මූණකට සෝදා, වත්ත පිටිය පිරිසිදු කර, බුදුන් වැඳ අහවර වූ පසු අපට හීල් දානය ලැබෙයි..... එම හීල් දානයට නම් අපට බත් ලැබෙනවාට අපි සිවුදෙනාම කැමැතිය.... එයට හේතුව රෑ තිස්සේ බඩගින්නේ ඉද උදේට බඩ පිරෙන්න දානය වැළඳිමට අවශ්‍ය බැවිනි.
‘‘පොඩි උන්නාන්සේලා ආහාර වළඳන කොට පිළිවෙළකට නිවිහැනහිල්ලෙ ආහාර වළඳන්න ඕනේ... දැම්ම තියා දානෙකට ගිහාම ආහාර වළඳන්න ඕන විදිය ඉගෙන ගන්න.... ඒ වගේම පිඟාන පිරෙන්න ආහාර බෙදා ගන්නත් එපා.... තලු මරමර කෑම ගන්නත් එපා.... ඒක බලන්න කැතයි. ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණාම බලන කෙනෙකුට ශාන්තව පේන්න ජීවත් වෙන්න ඕනේ.... පේන්න විතරක් නෙමේ ශාන්තව කරුනාවන්තව ජිවත් වෙන්නත් ඕනේ....."
"හොඳමයි ලොකු හාමුදුරුවනේ.‘‘
‘‘එන මාසෙ පුර පෝයට ඔය හතර නමට ම වෙන වෙනම සිල් ඇත්තන්ට බණක් දේශනා කරන්න වෙනවා.... දැන්ම තියා ඒකට ලෑස්ති වෙන්න ඕනේ...‘‘
‘‘එහෙමයි හාමුදුරුවනේ....."‘
‘‘ඔය අපේ සුමනතිස්ස පොඩි හාමුදුරුවන්ගෙන් බණක් කියන්න හොද මාතෘකාවල් අහගෙන ඒවට කරුණු එකතු කරගෙන බණට ලෑස්ති වෙන්න දැන්ම තියා....‘‘
‘‘අලුත් අවුරුද්දේ කෑගල්ලෙ මහ පන්සලේ පිරිත් දේශනාවට ඔබ වහන්සේලා හතර නමට ම ආරාධනා ලැබිලා තිබෙනවා.... පිරිත් එහෙම හොඳට කටපාඩම් කරගන්නත් ඕනේ.....‘‘
‘‘ලොකු හාමුදුරුවනේ දැන් කවදා විතරද අපට පිරිවෙනේ ඉගෙන ගන්න යන්න ලැබෙන්නෙ‘‘?
"අලුත් අවුරුද්දේ අලුත් පන්තිවලට යන්න පුළුවන් වෙයි..... තාම පිරිවෙන් නිවාඩු නිසා යන්න තියෙන්නේ එන අවුරුද්දෙ ජනවාරියේ.”
"මේ ළඟපාත පිරිවෙනක් තියෙනවද හාමුදුරුවනේ?‘‘
සාමනේර හාමුදුරුවන්ට, ලොකු හාමුදුරුවන්ගෙන් ඇසිමට ප්‍රශ්න මහ ගොඩක් ඇත....
‘‘එහෙමයි.... වැඩි ඈතක නෙමේ බස් එකේ යන්න වෙන්නේ...බස් නැවතුම් දෙක තුනක් ඇති.....‘‘
‘‘එහෙනම් හොඳයි. මම හරි ආසයි බස්වල යන්න.... .‘‘ මම කීවෙමි.
‘‘අපට බස්වල යන්න ප්‍රවේශපත්‍ර දෙනවද හාමුදුරුවනේ...?‘
"එහෙමයි.... අපි ඒවා ලෑස්ති කරල දෙනවා....‘‘
මාස පහකට ආසන්න කාලයකින් පාසල් නොගිය නිසා මට දැන් ආයෙත් පාසල් යන්න ආසාවක් ඇතිවි ඇත.
පන්සලේ ලොකු හාමුදුරුවන් අපට පිරිවෙන අධ්‍යාපනයට අවශ්‍ය සියලු දේ ලෑස්ති කර දුන්නේය. ලොකු හාමුදුරුවන් හා අනෙක් හාමුදුරුවන්ගේ අනුදැනුම ඇතිව අපි සිවුදෙනාම හොඳ ගුණ ධර්ම ඉගෙන ගනිමින්, ශාන්තව ජීවත් වන්නෙමු
‘‘මං නම් දැන් පිරිවෙනට යන්න හරි ආසාවෙන් ඉන්නෙ."‘
"මාත් එහෙමයි.... බස් එකෙත් යන්න ආසයි...."
අලුත් පැවිදි ජීවිතය ආරම්භ කළ අපි,හතර දෙනාම, පන්සලට යන එන සියලු උපාසකයන්ගෙ, ස්වාමින්වහන්සේලාගේ හා හැමෝගේම ආදරය දිනාගෙන සිටින්නෙමු.
"මාත් එහෙමයි.... අපට එහෙනම් බස් එකේ නැගලා පිරිවෙන් යන්න පුළුවන්....‘‘
“කීවෙනි පන්තියේද පොඩි නම ඉස්කෝලෙන් අස් වෙනකොට හිටියේ.‘‘
‘‘තුන්වෙනි පන්තියේ නේ.....‘‘
‘‘ඇයි ඔබ වහන්සේ මහණ වෙන්න හිතුවේ?‘‘
‘‘ අපි හරි දුප්පත්.... අපේ අම්මයි, තාත්තයි කිව්වා, මට කැමති නම් මහණ වෙන්න කියලා ...., ඒ නිසා....‘‘
‘‘මාත් අපේ අම්මලා, තාත්තලා කිව්ව නිසා තමයි මහණ වුණේ...මගෙ කේන්දරේ හතර කොණ පාළුයිලු.....‘‘
‘‘අපේ ගෙදර නම් හරියට අඟහිඟකම් තිබුණා... එක ළමයෙක් හරි කාල ඇඳල හොඳට හැදිලා ඉඳියිනේ කියල අපේ අම්ම තමයි මට පන්සලේ නවතින්න යන්න කිව්වේ....".
‘‘මටත් එහෙමයි.....‘‘
බැලුවාම අප හතර දෙනාටම තිබී ඇත්තේ එකවාගේ ප්‍රශ්නය....
-- හෙට හමුවෙමු --
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments