✈️එතෙරින් එතෙරට✈️ (38 වෙනි කොටස )
- Prisila Godahewa

- Dec 5, 2021
- 5 min read
මහාකාරුණික වූත් භාග්‍යවත්වුත් අර්හත් සම්මා සම්බුද්ධයන්ගේ බුද්ධ ශාසනයට මුළින්ම අවතීර්ණ වන්නා වූ කුලපුත්‍රයනට පළමු කොට ලැබෙන්නේ සාමණේර පදවිය වේ......සසර දුකින් මිදී නිවන් සුවය ලබනු කැමති සැදැහැවත් නැණවත් කුලපුත්‍රයනට ඒ සඳහා පිළිවෙත් පිරීමට ස්ථානයක් වශයෙන් එය සඳහන් වේ.... මීට අවුරුදු 24 කට පෙර සාමණේර පැවිද්ද ලබන්නට මම එහි යන කළ , මා විසින් රැකිය යුතු ශීලය කුමක්දැයි කියා කිසිම දැනුමක් නැතුව සිටියෙමි. ....සාමනේර නමක් විසින් පිරිය යුතු ප්‍රතිපත්ති ගැන දැනුමක් නැතිව සිටියෙමි....
හිසකේ දැළි රැවුල් ඉවත් කොට, ගිහි ඇඳුම් පැළඳුම් ඉවත් කොට සිවුරු පොරවා ගැනීමෙන් පසු, කය පැවිදි කිරීම සිදුකල සමයේ....., සාම්නේර නමක් විසින් පිළිපැදිය යුතු දේ ගැනවත් වැටහීමක් නොතිබුන මට.....කෙස් රැවුල් ඇඳුම් පැළඳුම් සේ, ගිහි සිත ඉවත් කරගැනිමට නොහැකි විය.....
කිසිත් දෙයක් ගැන තේරුමක් නැතිව සිටි මම....., බඩගින්න,නිවා ගන්නට, සිවුර පොරවා ගත්තා පමණක් නොව, ගිහි සිත මට අත් හැරිමට නොහැකිද විය.... කය පැවිදි කිරීම විනාඩි ගණනක දී කළ හැකි උනත්, සිත පැවිදි කිරීම එසේ ඉක්මනින් ලෙහෙසියෙන් කළ නොහැකි බව මට වැටහෙන්නෙ දැන් ය....... කය පැවිදි කළත් ඇතමුන්ගේ සිත පැවිදි කළ නොහැකිය..... එබඳු පැවිද්දන් අතර, මමද සිටි බව දැන් මට තේරුම් ගොස් ඇත. .... අවුරුදු ගානක් සිල්වත්ව පැවදිබව ආරක්ශා කර ගනිමින් සිටියත්....,රබර් බෝලයක් වතුරට ඔබාගෙන සිට අත ඇරියා වැනි දෙයක් මා අතින්..... ,මෙපමණ කාලයකට සිද්ද වි ඇති බවක් දැනෙන්නේ දැන් ය..... පැවදි දිවිය තුල, ගිහි සිතින්ම මම ඉදිරියට ආ බවක් දැන් තේරුම් ගොස් ඇත ... ....,පැවදි උනත් ගිහි සිත ඇතිව සිටි මට පැවිද්දෙහි කිසි ආස්වාදයක්, සතුටක් නිරාමිස සුවයක් දැනි නැති බව සිහිපත් වේ....කොරියාවේ සිටි කාලයේ සිල් රැකීම මහත් කරදරයක් ලෙස මට නොදැනුනෙ,...මට කොරියාව තුල වෙන යන්න එන්න තැනක් නොතිබු බැවිනි..... දිනකට දෙතුන් වරක් තුනුරුවන් වැඳීම, වත් පිළිවෙත් කිරීම, ධර්මය උගෙනීම, භාවනා කිරීම යනාදි ශ්‍රමණ කෘත්‍යයන්, පලක් නැති කරදර වැඩ ලෙස මම නොසිතා වැඩ කෙරුවෙමි........වෙන කලයුතු වැඩක් නොතිබු බැවින්....., ඒවායින් ඈත්වීමට නොබැලුවෙමි.....මම ප්‍රිය කලේ, පැවිද්දෙහි සිට කළ හැකි වැඩ කොටසක් ලෙස, ගිහියන්ට ද සාධාරණ යම්කිසි වැඩ කොටසක් ඉටු කිරිම පමණය.... ගිහියන් සමගත්, තමා වැනි පැවිද්දන් සමගත් නොවැදගත් කථාවෙන් කල් යැවී මට පැවද්ද මිහිරිම විය.....මේ පැවදි දිවිය තුල මට, මම සිතු පැතු සියල්ල ලැබුනේය.....පැවැද්ද තුල විනෝද ගමන් යෑම, රට රටවලට යෑම ,හොඳ ආහාරපාන ලැබිම - හොඳ බඩුභාණ්ඩ ලැබිම, මිල මුදල් ලැබිම නිසා මම කැමැත්තෙන්ම, කය පැවිදි කරගෙන ජීවත් වු බවක් මට දැන් තේරුම් ගොස් ඇත. ....පැවදි උනත් ගිහි සිත ද රිසි සේ පවත්වාගෙන යන ගමන්.... ගිහි සැපද විඳීමින් ගිහි සැපයෙන් සැනසි..... පැවිද්දෙන් ලැබිය යුතු ඵලයෙන් පිරිහුන මම....දෙලොවින්ම පිරිහි ඇති බවක් දැන් වැටහේ.....
සිත පැවදි කිරිම යනු සත්ත්වයන්ගේ සිත්වල පිහිටා ඇති තෘෂ්ණාව , මානය , ද්වේෂ සහගත බව, ඊර්‍ෂ්‍යා ආදී පාපධර්මයන් සිතින් බැහැර කොට ඒවාට මෛත්‍රී , කරුණාව , ශ්‍රද්ධාව ,ප්‍රඥාව ,
අල්පේච්ඡතා යන ශ්‍රමණ ගුණවලින් සිත පොහොසත් කර ගැනීමය..... පැවිදි සිත කියනුයේ එසේ සකස් කළ සිතකටය.... නමුත් මගේ සිත, පැවදි සිතකින් පවත්වාගෙන යන්නට නොහැකි හේතුව ලෙස දැනෙන්නේ......මම කුලදරුවකු ලෙස පැවිදි වි පිරිවෙණට ගොස් හොඳ අධ්‍යාපනය ලබා, විශ්වවිද්‍යාලයට යෑමය.....විශ්වවිද්‍යාල ගමන පැවැද්දන්,
අවුලෙන් අවුලට පත්කරන අධ්‍යාපනයක් වේ.......මහා තෙරුන් විසින්, තමන්ගේ පැවදි ගෝලයන් සුවච ශික්ෂාකාමීන් කරනු කැමැති නම් විශ්වවිද්‍යාල වලට ගෝලයන් යවා ලබා දෙන අධ්‍යාපනය ගැන දෙපාරක් සිතිය යුතුය .....ඔවුන්ගේ සිත පැවිද්දට යෝග්‍ය පරිදි සකස් කල යුතුය..... එයින් ශික්ෂාකාමී ගුණවත් සැදැහැවත් පැවිද්දෙක් බිහි වන බව තේරුම් ගත යුතුය .....
හදිසියේ ඇති වන සසර කලකිරීම් නිසාද, හදිසියේ ඇති වන ශ්‍රද්ධාව නිසා ද, දෙමව්පියන් හා අනුන්ගේ මෙහෙයීම් නිසා ද, මෙකල බුදුසසුනට බැස ගන්නා බොහෝ දෙනා කයෙන් පමණක් පැවදිවි, සිවුරු දරා ඇත .....එසේ පැවිදි වුවන්, ජීවිතය අමිහිරි වී, දුකෙන් තැවෙමින් ගිහියන් දෙස බල බලා, ඔවුන් ගේ සම්පත්වලට කෙළ ගිලිමින් කලක් සිවුරේ සිට.... සිවුරු හැර යන්නට උත්සහ ගනිති..... තවත් සමහරු සිවුරේ මුවාවෙන්, නොමිලේ ඉගෙන ගෙන, රස්සාවක් කිරීමට හැකිවු කල සිවුරු හැරදමා යති..... සමහරු ශ්‍රද්ධාව නැති බැවින්, ශ්‍රමණ ප්‍රතිපත්ති වලද නො යෙදී, පැවිද්දෙහි ම නිකම් කල් ගත කොට දිවි කෙළවර වන තෙක් කල් යවති.......අන්තිමට මම මේ කිව් කොටසට වැටි සිටින මම, මේ වන විට එය හොදින් තේරුම් ගෙන ඇත....
අවුරුදු ගානක් මම රැකි සීලය පරදා සුමුදුගෙ ආදරය ඉස්සර වි ඇත.... සංසාර ගමන කෙටිකර නිවන සොයා ගිය ගමන, අද මම නතර කරන්නට සැරසෙන්නෙමි....,ඇත්තට හෝ බොරුවට දැහැමින් සිල් රැකි මම, අද දින පැවදි දිවියට සමුදී, අනේකවිධ දුක්ඛිත කරදර කාලයක් ගැන දැන දැන, ගිහිජිවිතය සොයා යන්නට සැරසෙන්නෙමි. ....
සුමුදු තීරණය කල සියලු දේ ඒ ලෙසම අද දින සිදුවෙමින් පවති......
නවසීලන්තයේ කොරියානු විහාරස්ථානයට සමුදි..... කොරියන් බැතිමතා සමග මම ගුවන්තොටුපළට යන්නට ඔහුගෙ වාහනයට නැග ගත්තෙමි .......,
අවුරුදු ගානක් රටරටවල් තුලට ගොස් ඇති පුරුද්දට, ගුවන් තොටුපොළ තුලට ඇතුළු උනත්, වෙන කවරදාටත් වඩා..... ,අද මගේ හිත හොදටම තිගැස්සි ඇත.....ගුවන් තොටුපොළ මට අද අමුතු තැනක් ලෙස පෙනෙන්න පටන් ගෙන ඇත.....හිත බයෙන් ගැහෙන්න පටන් ගෙන ඇත.... අද දින මම ගුවන් තොටුපොළ තුලට ආවේ, විදේශිකයකට යන්නට නොව, කොරියානු බැතිමතා රැවටීමට පමණය.....
ගුවන් තොටුපොළ තුලට ගොස් එහි ටිකක් එහේට මෙහේට ඇවිද ගිය මම, ටික වේලාවකින් එහි පිරිමින් සඳහා ඇති වැසිකිළිය තුලට ඇතුළු වුයේ......කොරියානු භික්ෂූන් වහන්සේ නමක් ලෙසය.....
එහි ගිය මම, මගේ කොරියන් සිවුර ගලවා දමා....,ඇදුම් බෑගය ඇර, සුමුදු ගෙනත් දුන් ඩෙනිම් කලිසම හා කමිසය ඇඳ, සපත්තු දෙකද දමා ගත්තෙමි.....අවසානයේ තොප්පියද දමාගෙන මගේ අඩුම කුඩුම ඇති බෑගය කරේ එල්ලා ගෙන වැසිකිළියේ කණ්ණාඩිය ඉදිරිපසට ගියෙමි.....
"අහෝ....දෙවියනේ .....!මටම මගේ ඇස් අදහාගත නොහැකි විය.....!!!" කණ්ණාඩිය ඉදිරිපස හිටගෙන සිටියේ හොඳ උසමහත, පැහැපත් සුන්දර පෙනුමැති තරුණයෙකි.....!!!! ජීවිතයේ ගෙවුණු අවුරුදු 36 ටම මම මෙවැනි කලිසමක් ඇඳි පළමු අවස්තාව මෙය විය......මෙය නම් පුදුම සැහැල්ලු ඇඳුමකි.....???
හිතට නුහුරු නුපුරුද විශාල බයක් දැනේන්න පටන් ගත්තේය….. හදවත නොනවත්වා ගැහෙන්න පටන් ගෙන ඇත.... නමුත් හිතට බලෙන්ම ඇතුළු කරගත් ශක්තියක් ගෙන..... හොදින් හුස්මක් ගත් මම..... සියලු දේ අමතක කොට දමා...., වටපිට නොබලා හොඳ පුරුදුකාරයෙක් ලෙස ගුවන්තොටුපළෙන් ඇවිදගෙන එළියට ආවෙ බිම බලාගෙනය......මිනිසුන්ට මුහුණ දීමට තරම් හොද,මානසිකත්වයක මම නොසිටියෙමි .....
දන්න කියන කවුරු හරි දකියි කියා හිතේ බයක් ඇත....., ඔවුන් මාව අඳුන ගනීදැයි කියා තවත් සැකයක් ඇත.... සැකෙන් මෙන් ම බියකින්ද පසු වු මම නොනවත්වා බිම බලාගෙන, නැවත ගුවන් තොටුපොලේ පිටවීම් දොරටුව වෙත පිය නැගුවෙමි ......
ගුවන්තොටුපළේ මගීන් නග්ග ගන්නා ස්ථානයේ කොනට ගොස් ගැහෙන හදින් මම පාර දෙස බලා සිටියෙමි .....
වැඩි වේලාවක් නොගොස් මගේ දුරකථනය නාද විණි.... එය අතට ගත් විට මට එහා පැත්තෙන් සුමුදුගේ කටහඬ ඇසුණි.....
‘‘මම ඇවිත් ඉන්නේ.....දැන් මගේ කාර් එකේ ඔතනට එනවා..... ඉක්මනට වාහනයට නගින්න, වෙනසක් පෙන්නන්න එපා......”
‘‘එහෙමයි....‘ නෑ... නෑ හොඳයි.....‘‘
මම දැන් මගේ කතා විලාශය වෙනස් කල යුතුව ඇත.....
සුමුදුගේ වාහනය ඈතදීම හඳුනාගත් මම වාහනය නවත්තපු සැණින් ඉදිරිපස දොර ඇර ඉස්සරහ ආසනයෙන් වාඩි උනෙමි.....
සුමුදුගේ මුහුණ බැලීමට මට අපහසුය...... මම කිසි කතාබහක් නැතිව වාහනයේ ජනේලයෙන් එළිය බලාගෙන උන්නෙමි..... සුමුදුද කිසි කතාබහක් නැතුව ඉස්සරහ බලාගෙන වාහනය පදවයි...... නගරයේ තදාසන්න බව මග හැරී යන්තම් පාළු ප්‍රදේශයක දැන් වාහනය ගමන් කරයි..... මට කතා කිරීමට වචන නැත.
“ඉතිං කොහොමද...? ඇයි මේ බයවෙලා....?
සුමුදු සිනාසෙමින් මගේ අත අල්ලා ගත්තේ සුක්කානම එක අතකින් අල්ලාගෙන අනෙක් අතින් වාහනය පදවන ගමන්ය.....
“හොඳයි...." මම මගෙ අත එලෙසම තියාගෙන සිටියෙමි.....
“මේ මොකද අත අයිස් කැටයක් වගේ සීතල වෙලා..... ඔයා බය වෙලා නේද....?හිනා වෙලා ඉන්නකෝ..... දැන් අපි දෙන්නා විතරනේ ඉන්නෙ….. හඳුන ගන්නත් බැරි තරමට ඔයා වෙනස් වෙලා විසල්.......ඔයා හරිම කඩවසම් කෙනෙක්නෙ….... අපරාදෙ මට ඔයාව හම්බ වුණේ පරක්කු වෙලානේ...... කාලෙකට උඩ දී මට ඔයා හම්බ වුණා නම් අපට ලොකු ළමයිනුත් ඉන්නවා මෙලහකට.....‘‘
සුමුදු එසේ කියා මහා හයියෙන් සිනාසෙන්න පටන් ගත්තාය.....
මට ඇගේ මුහුන බැලීමට තරම් ශක්තියක් නැත...මට පුදුම අපහසුවක් දැනෙන්න පටන් ගෙන ඇත......
ටික වේලාවක් අහක බලන් ඉද මම හොරෙන් සුමුදුගේ මුහුණ බැලුවෙමි ..... ඇයගේ මුහුණේ සතුට දෝරේ ගලා යයි...... කිසිත් නොකියා මම වාහනයේ ජනේලයෙන් එළිය බැලුවෙමි.
මගේ සිත කියාගත නොහැකි අමුතු හැඟීම් ගොන්නකින් පිරී ඇත..... ඒ යටින් කියාගත නොහැකි දුකකුත්, බයකුත් ඇති බවක් වැටහේ..... සුමුදු මොනවදෝ කියවයි, මට ඒවාට උත්තර දීමටවත් තේරුම් ගැනිමටවත් අවශ්‍ය නැත...... කිසිදෙයක් නොඇසුනු ගානට මම ජනේලයෙන් ඈත අහස දෙස බලා සිටියෙමි......
දැන් වෙලාව රාත්‍රි අටට පමණ ඇත...පළාතම රාත්‍රී අඳුරෙන් වැසී යන්නට දඟලයි..... ඈත කළුවර අහසේ එළිය දෙමින් හෙමිහිට පායා එන පසළොස්වක පුන්සඳ දැකගන්නට ලැබුනි..... තැටියක් ලෙස දිස්නෙ දෙමින් පායා එන පසලොස්වක පුන්සඳ දැක මට පන්සලේ බෝ මළුව සිහි විය..... බෝ මළුවේ මම සක්මන් කරනවා සිහි විය....
-නැවත හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments