✈️එතෙරින් එතෙරට✈️ (35 වෙනි කොටස )
- Prisila Godahewa

- Dec 5, 2021
- 5 min read
🌹මාස තුනකට පසු🌹
විහාරස්ථානයේ
රාත්‍රීයට පවත්වන වැඩිහිටි ඉංග්‍රීසි පන්තිය අවසන් වී සියල්ලන් ම පිටවි ගිය පසු ,සුමුදු මාත් සමග ටික වේලාවක් කතා කරමින් ඉඳ යන්නට පුරුදු වී ඇත.... දැන් දැන් ඇගේ සතුටු සාමිචියට, සමාගමට මමද බොහෝ කැමැතිය.
‘‘හාමුදුරුවො ආයෙත් කවද්ද ලංකාවට යන්නෙ....?‘‘ ඇය අසයි.
“‘ මම ආයෙත් ලංකාවට යන්න අදහසක් නෑ....මේ සිවුරෙන් දැන් ලංකාවට යන්න බෑනේ....."
“එතකොට කොරියාවට....?‘‘
‘‘එහේ යන්න අදහසකුත් නෑ...මම මේ රටේ ඉන්න කැමතියි .....‘‘
"හාමුදුරුවන්ගේ ලංකාවේ ගෙවල් කොහේද තියෙන්නේ ...?
"නුවරඑළියට ලඟයි..
"එතකොට සහෝදරයෝ එහෙම..?
"අයියයි අක්කයි නංගියි මල්ලියි හැමෝම කසාඳ බැදලා ළමයනුත් ඉන්නවා.
"අම්මා තාත්තා එහෙම ?
"දෙන්නම දැන් නෑ...."
"එතකොට සුමුදුගෙ පවුලේ වෙන කවුද ඉන්නේ ?
"අම්මයි තාත්තයි දැන් නෑ….අයියා විතරයි ඉන්නේ….එයත් පිටරට ඉන්න.... අපේ මහ ගෙදර මම විතරයි තනියම දැන් ඉන්නේ….
"සුමුදු තවම තරුනයිනේ….කසාදයක් කරගෙන ළමයිනුත් හදාගෙන හොදට ඉන්න පුලුවන් එකේ ඇයි අපරාදේ තනියම ජීවත් වෙන්නේ…."
"මොන දේවල් තිබුනත් තමන් කැමති කෙනා වගේම ඉරනම් කාරයත් හම්බ වෙන්න එපෑ..…"
"වැඩි දවසක් යන්න ඉස්සර හොද කෙනෙක් සුමුදුට හම්බවෙයි....".
‘‘මට ගෙයක් දොරක් තියෙනවා.... ජීවත් වෙන්න ඇති තරමට සල්ලි තියෙනවා. ... මම හාමුදුරුවන්ට හරි කැමතියි.... ඔබ වහන්සේ දැකපු මුල්ම දවසේ මට හිතුනා...මම හොයන්නෙ ඔබ වහන්සේ වගේ කෙනෙක් කියලා.....ඔබ වහන්සේ මට කැමති නැද්ද.... ? අපි දෙන්නා කොහේහරි වෙන පළාතකට ගිහින් ජීවත් වෙමු?.....ඇය එය අසන්නේ මගේ හිතට ආදරය දැනෙන ලෙසය ....
මම දෙලොවක් අතර හිර වී ඇත..... මම මේ වනවිට 36 වැනි වියේ පසුවෙන්නෙමි. ඇය 33 වෙනි වියේ පසුවෙයි...... මට කිසි දෙයක් හිතා ගැනීමට නොහැකි ය. මම අවුරුදු 24ක් පුරාවට ඉතා පිරිසුදු ලෙස මහණ දම් පිරූ භික්ෂූවක් වුවෙමි ..... මම මේ බුද්ධ ශාසනයට ඇතුළු වෙලා, මහණ වුණේ, මගේ දෙමවුපියන්ගේ අගහිඟකම් නිසාත් මම පාසැල් යන්නට අකමැති වූ නිසාත් ය. පැවිදි වූ නිසා, මට නොමිලේ පිරිවෙනේ හොඳින් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට යන්නද වරම් ලැබිණි.....රට රටවල සංචාරය කරන්න කැමත්තක් දැක්වු මම අවසානයේ කොරියාවේ බෞද්ධ විහාරස්ථානයක කොරියානු භික්ෂූන් නමක් ලෙස එහි බුද්ධ සාසනයට ඇතුළු උනේ කැමැත්තෙන්‍ය.....
කොරියාවේ ගතකළ අවුරුදු දහය තුළ, බොහෝම සිල්වත්ව දර්මානූකූල ජීවිතයකට නැඹුරු වි සිටි මම ,මේ නවසීලන්තයට ආපසු මට උන දෙයක්....මෙපමණ හොදින් පැවදි දිවිය ගතකල මට මොනවද මේ උනේ..... බොහෝ අත්දැකීම් ලැබ හොදින් පැවදි දිවිය ගත කල මම, නවසීලන්තයේ දී අවුරුදු ගානකට පසු, නැවත ලංකාවේ සිංහල පිරිස් ඇසුරු කරන්නට ලැබීමත් සමග කවදාවත් හිතට නොදැනුණු දෙයක් දැනෙන්න පටන්ගෙන ඇත...... මම දැන් ටිකෙන් ටික ගිහි ජීවිතය විදින්නද ආසාවෙන් ඉන්න බවද මගේ යටිහිත කියයි......
නවසීලන්තය නිදහස්, පිරිසුදු, ඉතා දියුණු රටක් වෙයි...
... එහි දේශගුණය ටිකක් ශීතල පැත්තට බර වුවද, හොඳ වාතාශ්‍රයක් ඇති, බලන හතර අතම කොළ පාටින් දිළෙන, හිතට සැනසීමක් ගෙන දෙන පරිසරයකි..... පිරිසුදු වාතාශ්‍රය ලබමින්, නිදහසේ ගෙවන ජීවිතයට හිතට පුදුම සැනසීමක් ගෙන ආවත්.....
කොරියාවේ සිට මේරටට ආපසු ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ හමුවිම්...., ඔවුන්ගේ සමාගම සමඟ කාලෙකට පසු සිංහල භාශාව කතා කරන්න ලැබීම.... මා හට ඔවුන් ගෙන එන අපේ සිංහල කෑම ජාති දානයට ගන්නා අවස්ථාවල..... මම අවුරුදු 10ක් ම තුනපහ ආදිය නැති ආහාර වළඳා තිබූ බව සිහියට නැගෙයි......
කොරියානු පන්සලේදී සුදු බත් සමඟ ගෝවා, රාබු, කැරට්, අල ආදී එළවළු තුනපහ නොමැතිව, සෝයා බෝංචිවලින් තනන ලද හා සෝස්වලින් පිසින ලද ආහාර පමණක් වළඳන්න ලැබුණ මා හට, ඇතැම් අවස්ථාවල සුදු ලූනු, ලීක්ස්, බී ලූනු ආදිය නොදා සාදන කෑම වර්ග ද වැළඳීමට සිදු විය.....එවැනි ආහාර වැළදු මට දැන් ලංකාවේ රස කෑම කෑමට ලැබි ඇත....මම දැන් ඒවාට ආස කරමින් යන්නෙමි.
ඇතැම් දිනවලට කොරියන් බැතිමතුන් අපව කොරියන් ආපන ශාලාවලට කැඳවා ගොස් දානයක් ලෙස ආහාර ලබා දෙන අවස්තාද ඇත..., ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා හා කොරියාවේ භික්ෂූන් වහන්සේලා අතර ඇති වෙනස් කම් අතර ..... උන්වහන්සේලා හවස හය වනවිට රාත්‍රී දානය වළදති.... බැතිමතුන් සමඟ එකම මේසේ වාඩි වී ආහාර ගනිති.... මම ඒ සියල්ලටම පුරුදු වී සිටියෙමි.....
එම පන්සලේ භික්ෂූන් වහන්සේලා බැතිමතුන් වෙනුවෙන් කරන දානමාන, බෝධි පූජා ආදී කටයුතුවලට භික්ෂූන්ලාට පන්සලෙන් ගෙවීමක්ද කරන්නේය .....
පන්සලට විදේශවලින් එන බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර මුදල් ද ලොකු හාමුදුරුවෝ අපටත් බෙදා දෙන්නේය .
කොරියානු භික්ෂූන් වහන්සේලාට වෙන වෙනම කුටි විහාරස්ථානය තුල ඇත..... ඒ කුටි තුළම අවශ්‍ය නම් තමන්ට කැමැති ලෙස ආහාර පිස ගැනීමට පුංචි කුස්සියක් ද ඇත.....නමුත් බොහෝ විට පන්සලේ සියලු භික්ෂූන් දහවලට හා හවසට ආහාර වළඳන්නේ එකටමය.
එලෙස අවුරුදු දහයක් කොරියාවේ ගෙවුනු කාලය නිමකර .....මම නවසීලන්තයේ ඇති කොරියානු විහාරස්ථානයට වැඩම කල පසු..... , පන්සලේ පිරිසුදු කිරීමේ වැඩ වලට පුරුදු ලෙසම සහභාගි වෙන්නට පටන් ගත්තෙමි. ..... දහවල් වරුවට වැඩක් පලක්, පූජාවක් නැති දිනවලට මම කෝච්චියෙන් නවසීලන්තයේ ඇති සුන්දරත්වය හා රට තොට බලා ගැනීම සඳහාද යන්නෙමි. මම මං මාවත් දිගේ හා නගර හරහා ඇවිද යමින් ඔහේ ගෙවා දැමු කාලය ..... එසේ ගෙවුණු මගේ නිදහස් සැහැල්ලු ජීවිතය අද වෙන අතක යන්නට පටන්ගෙන ඇත..... සියලු දේ ගැන, සිතා බැලීමේදි , මගේ යටි හිතේ දැන් ගිහි ජිවිතයට ආශාවක් ඉපිද ඇති බවක් දැනෙන්න පටන් ගෙන ඇත....
සුමුදු වෙනදාටත් වඩා පන්සලට විත් මා ගැන හොයා බලයි..... කරුනාවෙන් මෙන්ම ආදරය පිරුනු දෑසින්, මාව ඇගේ අදහසට පොලඹවා ගන්නට උත්සහ ගනියි..... ඇයගේ එම උත්සහයට අකුල් නොහෙලා මමද ටිකෙන් ටික ඇයට කැමැත්ත ඇතිවෙනපරිදි හැසිරෙන්න බග බලා ගෙන ඇත.....
"ඔයා දැන් මොකද කියන්නේ....?, මම කරපු යෝජනාව ගැන හිතා බැලුවද?.....
සුමුදු නිතරම මා සමග ඒ ගැන කතා කරයි..... ඇය ඇගේ උත්සහය අත් නොහරින ගානය.....
ඇයගෙන් බේරී සිටීමට නොහැකි තරමට මම දැන් ඇගේ උගුලට අසුවි හමාරය..... එම අදහසට මම අකමැති බව පෙන්වන්නට මම උත්සාහ නොගන්නේ ඇයිදැයි මටම සිතා ගැනිමට නොහැකිය....
‘‘ ඕන තරම් හාමුදුරුවරු සිවුර ඇරලා ගිහිජිවිත පටන් ගන්නේ.....ඉතිං ඇයි ඔයාට බැරි.....?අපි වෙන පළාතකට ගිහින් ජීවත් වෙමු..... මේ රටේ මේ පලාතේ සිටියොත් නේ ප්‍රශ්නය..... අපි මේ හැමෝම මග ඇරලා කොහේ හරි ඈතකට යමු..... මගෙ ළඟ සල්ලි තියෙනවා අපි දෙන්නට ජීවත් වෙන්න ඒ හොදටම ඇති... ..‘‘
ඇය නිතර එය කියන්නේ, මට ඇය සමඟ යෑමට කිසිම දෙයක් ලෑස්ති කර ගැනිමට අවශ්‍ය තාවයක් නැති බව පෙන්විමටය.....
"මම මොනවද අපේ ලොකු හාමුදුරුවන්ට කියන්නේ....?‘‘
‘‘ ඔයා ආපහු ලංකාවට වැඩම කරනවා කිව්වොත් ඔයා ගැන හොයන එකක් නෑ.....‘‘
සුමුදු දැන් මට හාමුදුරුවනේ කියා
නොඅමතයි..... ඇය මාව ඇගේ පැත්තට ගන්නට පුදුම උත්සාහයක් දරයි..... කොටින් ම කියතොත් ගෑනු හැටහතර මායම දා මාව පොළඹවා ගන්නට උත්සාහ ගනියි...... අවුරුදු 36ක් තනියම සිල්වත් ව ජීවත් වූ මම දැන් ඇයගේ හැට හතර මායම් වලට හසුවි හමාරය....
"අද හෙටම ලොකු හාමුදුරුටන්ට කියලා මාත් එක්ක යන්න එන්න…... මම අපි දෙන්නට ඈතකට යන්න අවශ්‍ය දේවල් ඔක්කොම ලෑස්ති කරලා තියන්නම්.....”
සුමුදු මාව තව තවත් ගිහිගෙයට ඇද ගන්නට උත්සහ කරයි...
ඇයගේ සුකුමාල ලස්සන හිනාවට මම දැන් රැවටී අවසන් වි ඇත...... මගේ ජීවිතයේ ඉදිරි කාලය මම දැන් ඇයට පිරිනමන්න සූදානම් වී ඇති ගානය..... ගතින් සිතින් දෙකෙන්ම මම දැන් ඇයව බලාපොරොත්තුවෙන් පසුවන්නේ යැයි මට සිතේ…
‘‘ ඔයා මොකද කියන්නේ...... අපි දෙන්නා කොහේහරි වෙන පළාතකට ගිහින් ලස්සනට ජීවත් වෙමු....ඇයි තවත් පරක්කු වෙන්නේ....? ඔයා විතරක් නෙමේනේ සිවුර ඇරිය අයට ඉන්නේ....අර කොරියාවේ සුමේධ හාමුදුරුවෝ දැන් කසාඳ බැදලා ලස්සනට දරුවෙකුත් හදාගෙන ඉන්නේ...."
ඇත්තටම සුමුදු ... ඉතා රූමත් ළඳක් බව මට දැන් පෙනෙන්න පටන් ගෙන ඇත. ඇයට දරුවන් නැත..... අගහිඟකමක් නැතිව ඇය ඉතා ලස්සනට, සැහැල්ලුවෙන් ජීවත් වෙන හැටි ....
හදිසියේ දිනක් ඇය මට වටිනා පෙට්ටියක් ගෙනත් තෑගි කලේය.
"මේ මොකක්ද සුමුදු .."
"ආවාසෙට ගිහින් බලන්නකෝ...වීශේශයෙන්ම ඔයාටමයි ගෙනාවේ මේක..…"
" මම මෙතනම මේ පෙට්ටිය ඇරලා බලන්නද?
"හොදයි.....ඇරලා බලන්නකෝ..."සුමුදු හුරතල් ලෙස කීයයි....
එම වටින පෙට්ටය ඇර බැලු විට මට පුදුම සිතිනි. මේ කාලයේ තිබෙන ඉතා වටිනා නමක් ඇති ටැබ් යන්ත්‍රයක් එහි තිබින.
"ඇයි මේ.....මෙච්චර වටින එකක්...."...මම පුදුමයෙන් ඇසීය.
"ඇයි මතක නැද්ද ...අද ඔයාගෙ උපන් දිනය...කියලා...., දවසක් මට කිව්වෙ ...මම මතක තියාගෙන හිටියේ…..."
"අනේ මට ඕවා මතක නෑ...ජීවිතේට මගේ උපන් දිනේට මේ වගේ තෑග්ගක් කවදාවත් කාගෙවත් ලැබිලත් නෑ..... මේ වගේ නෙමේ..... කොයි වගේවත් තෑග්ගක් අම්මා තාත්තා ගෙන් මට ලැබිලා නෑ...… හරි පුදුමයි.....බොරු කියන්නේ මොකටද....මම ඉතිං මේ බඩු වලට හරි කැමතියි නේ. ..."
මගේ ජීවිතේ මුල්ම වරට සුමුදුගෙන් උපන්දිනයට ලැබුනු තෑග්ග මම ආසාවෙන් භාර ගත්තෙමි.....
ආවාසෙට ගොස් එය ක්‍රියාත්මක කර බැලු කල එහි මුහුනතේ තිබුනේ සුමුදුගේ විශාල ලස්සන මූන පමනක් ඇති රූපයකි....
ඇගේ මුණ දෙස ඕන තරම් වේලාවක් බලා සිටිය හැක...... මගේ හිතේ සුමුදු ගැන දැන් ආදරයක් ඇති වි ඇත.....
කාලය හෙමින් ගත වී යයි..... මගේ හිත අමුතු අලුත් හැගීම් වලින් හා සතුටින් පිරි ඇත.... ඒ සුමුදු නිසාත් ඇගේ ආදරය නිසාත් ය......මට දැන් ගිහි ජීවිතයට යන්නට ලොකුවට ආසා හිතී ඇත.....
-නැවත හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments