✈️එතෙරින් එතෙරට✈️ (34 වෙනි කොටස)
- Prisila Godahewa

- Dec 5, 2021
- 4 min read
කොරියාවේ අවුරුදු දහයක කාලයක් ඉතා සිල්වත්ව, පිරිසිදුව මහණදම් පිරු මම.....කොරියානු විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ, භික්ෂූන් වහන්සේලා ඇතුළු කොරියානු බෞද්ධ බැතිමතුන් සියල්ලන්ගේ හොදහිත දිනාගෙන සිට් භික්ෂූවක් වුනෙමි.....හිතින් ගතින් දෙකෙන්ම සිල්වත්, ධර්මානුකූල භික්ෂූවක් උන මම ඉතා නිදහස් සැහැල්ලු ජීවිතයක් ගත කල භික්ෂූවක්ද වුනෙමි..... කොරියාවේ ගෙවුනු අවුරුදු දහයක කාලය තුලට වඩා ,නවසීලන්තයේ ගෙවන්න පටන් ගත් අවුරුද්දක කාලය තුල මම බොහෝ වෙනස්කම් වලට භාජනය වෙමින් සිටින බව මට තේරුම් යමින් තිබේ.....
කොරියාවේ සිංහල බසින් කතා කරන්න සිංහල කවුරුත් නොසිටි කාලයට වඩා......දැන් මේ සිංහල බෞද්ධ බැතිමතුන් ආශ්‍රය කරන්න ලැබි මට ගෙවන්න ලැබි තිබෙන කාලය බොහෝ වෙනස් වි ඇත.....
නවසීලන්තයට පැමිනි පසු අදුනාගන්නට ලැබුන ශ්‍රී ලංකාවේ බෞද්ධ බැතිමතුන් නිසා..., දැන් මගේ සිතුම් පැතුම්ද සීග්‍රයෙන් වෙනස් වේගෙන යන බවක් මට දැනෙන්න පටන් ගෙන ඇත.....ඒ වෙනස් වීම හොද අතට වඩා නරක අතට වෙනස් වෙමින් යන බව දැනෙනෙ විට, මගේ හිතට දුකක්, කණස්සල්ලක් එක්කර ඇත....
ඉතා නිශ්කලංක ගම්බද පරිසරයක පිහිටා තිබුන, කොරියානු විහාරස්ථානයේ වැඩසිටි කාලයේ මගේ හිතේ තිබුන ශාන්ත, දැහැමි බව දැන් හෙමිහිට මැකි යමින් පවතින බව මටම දැනෙන්න පටන් ගෙන ඇත.... මෙම විහාරස්ථානයට නිතර යන එන සිංහල බැතිමතුන් සමඟ මම දැන් ඕනෑවටත් වඩා කුළුපග වෙමින් ,ඔවුන් සමඟ ඇති සමාගමට තවත් නැඹුරු වෙන බවක්ද, ලං වෙන බවක්ද දැන් මට වැටහී යමින් තිබේ....
මෙරටේ පදිංචිව සිටින නිතර මේ විහාරස්ථානයට යන එන ශ්‍රී ලාංකිකයන් නිසා මගේ හිත දැන් ඕනෑවටත් වඩා කළබලයට පත්වි ඇති බවක් මට දැනෙන්න පටන් ගෙන ඇත.... මම ඔවුන් සමඟ ඕනෑවටත් වඩා කුළුපග වීම මතින්, මගෙ හිත නොසන්සුන් බවකින් පෙලෙන්න පටන් ගෙන ඇත.....මගේ සිල්වත් ශාන්ත බව මේ අඩුවේගෙන යනවාද...? ඇයි එසේ වෙන්නට හේතුව ...? කොරියාවේ සිටි කාලයේ මගේ හිතේ තිබුන ශන්ත සිල්වත් බව අඩුවේගෙන යන්නේ ඇයි....? ඇයි මම දැන් මේ ගිහිඇත්තො සමඟ ඕනෑවටත් වඩා ලංවි, මගෙ හිත නොසන්සුන් කරගන්නේ....? මගේ හිතට දැන් නිතර නිතර ඇතිවන ප්‍රශ්නය එයයි....
විහාරස්ථානයට නිතර යන එන කොරියානු හා සිංහල තරුණ ගිහියන් සමඟ මම කතාවට යන එක, ඔවුන් සමග ඇති සමාගම අඩුකල යුතු කාලය ඇවිත් ඇතැයි මට දැන් සිතේ......කෙසේද මම එය කරන්නේ....? විහාරස්ථානයේ බෝධිපූජා ආදිය දිනපතා කරන විට, මා සමඟ කතාබහට එන ගිහියන් මම කොහොමද මඟ හැර සිටින්නේ....මම කලයුත්තේ කුමක්දැයි මට තවමත් සිතා ගැනිමට නොහැක.....
විහාරස්ථානයට යන එන අය අතර සිටින,
මා සමග නිතර කතාවට එන "සුමුදු නෝනා, අනෙක් හැමෝටම වඩා වෙනස් කෙනෙක් බව මට දැන් තේරුම් ගොස් ඇත.
ඇය මට වඩා අවුරුදු තුනක් විතර බාල ...., ඉතා පැහැපත් තැනැත්තියක් වේ...., විහාරස්ථානයට එන අනෙක් ගිහියන් සමග වැඩි කතාබහක් නැති, අහිංසක පෙනුමැති ඇය මා සමඟ නම් ඉතා උවමනාවෙන් කැමැත්තෙන් කතා කරන බවක්ද මට දැනේ.... ඇය අපේ මේ විහාරස්ථානය කිට්ටුවම පදිංචි කෙනෙකුද වේ....ඒ නිසා දිනපතා හවස හතේ බුද්ධ පූජාවට ඇය නොවරදවාම සහභාගි වෙන කෙනෙක්ද වේ.... ඇය නිතරම මට ලංකාවේ ක්‍රමයට දානය සකස් කරගෙනද පැමිණෙයි..... සතියේ දින දවාලට, බැතිමතුන් නැති වේලාවලටද, විහාරස්ථානයට එන ඇය, නිතර මාව කතාවට අල්ලා ගනියි..... ඇයගෙන් පුළුවන් හැම වේලාවේ කතාවට නොයා මම බේරී හිඳීමට උත්සාහ ගත්තත්, ඇයට එය තේරුම් නොයන ගානය..... නමුත් ඇය නරක කෙනෙකු නොවන බවත් මට වැටහේ.....
‘‘සුමුදු නෝනා රස්සාවක් කරන්නෙ නැද්ද....?ඇයි නිතරම මේ පන්සලට එන්නේ ....? මොනව හරි කරදරයක් හිතේ තියාගෙන එන ගමනක්ද මේ.....?
" මම ඉන්නේ තනියම .....මගේ කම්මැලි කම යන්නත් එක්ක නිතර පන්සල් එන්නේ.....මට රස්සාවක් කරන්න අවශ්‍ය නෑ......
මගේ අම්ම, තාත්තගේ දේපොළවලින් මට ලැබෙන මුදලින් මට ජීවත් වෙන්න පුළුවන්......
මගෙ මහත්තයාත් මට ඇති තරමට සල්ලි එවනවා මගේ වියදමට...... ඉතිං ඒවා ඇති..... ඒ නිසා මට රස්සාවක් කරන්න අවශ්‍ය නෑ හාමුදුරුවනේ .....‘‘
"මහත්තයා කොහේද ඉන්නෙ නෝනා....?
“පිටරට....”
‘‘ඉතින් ඇයි සුමුදු නෝනා එහේ යන්නෙ නැත්තෙ....?”
‘‘ මමත් එහේ තමයි පදිංචි වෙලා හිටියේ, මහත්තයා එහේ වෙන සුදු ගැහැනු කෙනෙක් එක්ක යාළුවෙලා.....ඒක දැනගත්තට පස්සෙ මම මේ රටට ඇවිත් තනියම ජීවත් වෙන්න පටන් ගත්තා....‘‘
“ඒ කියන්නෙ නෝනයි, මහත්තයයි දික්කසාද වෙලාද ඉන්නෙ....?‘‘
‘‘නෑ මගෙන් මහත්තයා දික්කසාදය ඉල්ලලා තියෙන්නෙ..., ඒ වුණාට මම දික්කසාදය දෙන්න කැමැති නෑ.....‘‘
"ඒ මොකද නෝනා ඒ....?"
"මහත්තයා මාව කසාද බැඳලා තියෙන්නේ මගේ සල්ලිවලට...., මාව රවට්ටලා.....”
‘‘ඒ කිව්වේ....?‘‘
‘‘මහත්තයා ඒ ගෑනු කෙනා එක්ක යාළුයි කියලා දැන ගත්තට පස්සෙ තමයි මම මේ රටට ඇවිත් තනියම ජීවත් වෙන්න පටන් ගත්තේ........‘‘‘
‘‘ හරි ප්‍රශ්නයක් නේද සුමුදු නෝනට වෙලා තියෙන්නෙ.....නෝනා මහත්තයාට කැමති නැත්නම්, නෝනට තියෙන්නෙ මහත්තයාට දික්කසාදය දීලා නෝනත් හොඳ කෙනෙක් කසාඳ බැඳ ගන්න..... එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවරයිනේ.....”
‘‘මාත් ඒක ගැන නිතර හිතනවා..... මොකද දැන් මගේ වයසත් ටික ටික ගෙවිලා යන නිසා..... ඒ වුණාට මට තවම ගැළපෙන කෙනෙක් හම්බ වුණේ නැහැනෙ.....”
‘‘කොයි වගේ කෙනෙක්ද සුමුදු නෝනා හොයන්නෙ......‘‘
“විපස්සි හාමුදුරුවො වගේ කෙනෙක්..... ඔයා මට කැමැති නැද්ද......?”
“මොනවා... මොනවද මේ සුමුදු නෝනා කියන්නෙ......??"
මගේ ඇඟ හිරිවැටී ගියේය ....
විහාරස්ථානයට යන එන නොයෙක් තරාතිරම්වල ගැහැනු පිරිමි මා සමග, විහිලු තහලු කරමින් කතා කළද, කවදාවත් මෙවැනි දෙයක් නම් කිසිකෙනෙකුගේ කටින් පිටවි නැත.....
“‘මට වැඩ තියෙනවා සුමුදු නෝනා, මම යනවා ආවාසෙට.....‘‘‘
‘‘වැරදි විදියට හිතන්න එපා හාමුදුරුවනේ..... මම ඇත්තටම ටික දවසක ඉදන් හාමුදුරුවන්ගෙන් ඕක අහන්න හිටියේ.... මට හිතුණු දෙයයි මම කිව්වෙ..... ඇත්තටම මම විපස්සි හාමුදුරුවන්ට හරි කැමැතියි.....”
"ඔය වගේ පව් කතා කියන්න තියා හිතන්නවත් හොඳ නෑ.....මම යනවා ආවාසෙට ....සුමුදු නෝන හොඳට බුදුන් වැදලා භාවනා කරලා ගෙදර යන්න ...."
කිසි බයක් සැකක් ලැජ්ජාවක් නැතුව ,සුමුදු නෝනා මගෙන් අහපු දෙය ගැන මට ඇතිවුනේ ලොකු ලැජ්ජාවක්....මම ඇය මඟ හැර ආවාස ගෙයට වැදි දොර වහගත්තෙමි.
එදායින් පසු මම සුමුදු නෝන විහාරස්ථානයට එන වේලාවන් වලට, පුළුවන් හැම වෙලේම සුමුදු නෝනා මගහැර සිටින්නට වගබලා ගත්තෙමි....
සුමුදු නෝනා මගෙන් එදා අහපු කාරණාවෙන් පසු, මගේ හිත අමුතුම හැඟීමකින් පිරි ගිය වගක් මට දැනෙන්න පටන් ගෙන ඇත...... මගේ හිතට සතුටකුත් ඇතිවි ඇත .....මම විශ්වවිද්‍යාලයට යන කාලයේ එහි කෙල්ලන් කොල්ලන් කිව් ලෙස මම තවමත් කඩවසම්ද..
? , ....ඇයි සුමුදු නෝන මට කැමතියි කිව්වේ....? මම ආවාස ගෙයි ඇති කණ්ණාඩිය ළඟට ගොස් නිතර මගේ මුහුණ පරීක්ෂා කිරීමට පටන් ගත්තේ ඉන් පසුය.....
ඇත්තටම මම වෙන පිරිමි අය එක්ක බැලූ කල, ඉතා ප්‍රසන්න, පැහැපත්, හොඳ පෙනුමැති කෙනෙකු යැයි මටම සිතෙයි.....
සුමුදු නෝනා පන්සල් ඇවිත් ඉන්න වෙලාවට, මම උවමනාවෙන් ඇය මග හරින්න උත්සහ කලද.... ටිකෙන් ටික මමද ඇය ගැන, ඕනෑවටත් වඩා උනන්දුවෙන් හොරෙන් බලනවා යැයි මටම සිතේ...... ඇත්තටම ඇය ඉතා රූමත් ළඳක්ද වේ.... . ඇයට දරුවන් නැත..... අගහිඟකමක් නැතිව ඇය ඉතා ලස්සනට, සැහැල්ලුවෙන් ජීවත් වෙන හැටි....
වෙනදා මෙන්ම පන්සලේ කටයුතු ඉතා ඕනෑකමෙන් කරන්න සිතුවත් මගෙ හිත දැන් සසල වී ඇත.....කිසිම සැහැල්ලු බවක් ශාන්ත බවක් දැන් එහි නැත...
සුමුදු පන්සල් ඇවිත් ඉන්නා කල, මම දැන් ඇය දෙස හොරෙන් බලන්න පටන්ගෙන ඇත. ....ඇයත් මා දුටු විට මට ඇහෙන් ඉඟිබිඟි පායි..... කතාවට එන්න හදයි....වෙනදාට වඩා කෑම බීම මට හදා ගෙනවිත් පූජා කරයි....දැන් ඇගේ කතා බහා ,ඇස්වල ඇත්තේ අමුතුම කාන්තියක් වෙනසක් බව මට දැනෙන්න පටන් ගෙන ඇත.....
-නැවත හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments