top of page

✈️එතෙරින් එතෙරට✈(30 වෙනි කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 6 min read


💥(30 වෙනි කොටස )

මම කොරියාවට වැඩම කර දැන් මාස තුනක කාලයක් ගෙවී ගොස් ඇත.... එම කාලය තුල නැවුම් අත්දැකීම් ,බලාපොරොත්තු රැසක් ඇතිවෙමින් කාලය ගලා ගියේ ඉතා වේගයෙනි...... මට දැන් සාමාන්‍ය ප්‍රමාණයට කොරියන් භාෂාවේ වචන බොහොමයක් තේරුම් ගැනිමට හැකියාව ලැබි ඇත..... සිංහල හෝ ඉංග්‍රීසි කතා කිරීමට කෙනෙකු නොසිටිය බැවින් නිතර නිතර ඇසෙන කොරියන් භාෂාව ඉගෙන ගැනීම පහසු විය.....


විවේකය තියෙන විදිහට, කොරියානු පන්සලේ තරුණ භික්ෂූන් නමක් සමඟ මට කොරියාවේ විශේෂ ස්තාන බලන්න යන්නද ලැබිනි.... මම මේ පන්සලට එක්ක ආ සුමේධ මහත්තයා දවස් දෙක තුනක් මාව බලා යන්න පන්සලට ඒමත් මට සතුටක් විය. සුමේධ මහත්තයාගේ නෝනා හා දරුවාද ඒ අවස්තා වල පැමිණ සිටියේ, මට සිංහල ක්‍රමයට සෑදු කෑම බීමද රැගෙනය....


"විපස්සි හාමුදුරුවනේ මෙන්න අපේ නෝනා ඔබවහන්සේට ලංකාවේ පිළිවෙළට කෑම ටිකක් හදලා ගෙනාවා ....."


"බොහෝම පිං...ලංකාවේ තුනපහ රසට කෑම ටිකක් කන්නම ලැබෙන්නෙ නෑනේ ....."


"දැන් ඔබ වහන්සේ කොරියාවට ඇවිත් මාස තුනකුත් වෙන්න යනවා නේද...? මොනවද ඉස්සරහ කාලේ කරන්න හිතාගෙන ඉන්නේ...."


"මේ පන්සලේ ජීවිතය හරිම නිස්කලංකයි ....සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් ...මට දිගටම මෙහි ඉන්න ඇත්නම් කියලා හිතෙනවා....."


"එහෙනම් ඔබ වහන්සේ, මේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියලා ඔබ වහන්සේගේ ඉවර වෙන්න යන "වීසා" දික් කර ගන්න බලන්න ....මමත් උන්වහන්සේට ඒ ගැන මතක් කරලා තියන්නම්....."


"ඒක නම් ලොකු උදව්වක් සුමේධ ...."

සුමේධ මහත්තයා පන්සලට ඇවිත් ගිය පසු, ලොකු හාමුදුරුවෝ මට අඬ ගසා මගෙන් ඒ ගැන ඇසුවේය .


"දැන් විපස්සී හාමුදුරුවෝ ලංකාවට යන්න කැමැත්තක් නැද්ද ?


"ලොකු හාමුදුරුවනේ මගේ කොරියාවේ විසා කල් පිරෙන්න ලඟයි.....මට නැවත ලංකාවට යන්න කාලය ඇවිත් ....ඒ උනාට මම දිගටම මේ පන්සලේ ඉන්න කැමතියි , ඔබ වහන්සේට පුලුවන් නම් මට, කොරියාවේ විසා බාලපත්‍රය දික් කරලා දෙන්න....."


"ඔබ මෙහෙ නවතින්න කැමති නම් මම ඒක කරලා දෙන්නම්...."


කොරියානු පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියා මම මගේ කල් ඉකුත් වෙන්න ලංව තිබු වීසා බලපත්‍රය අවුරුද්දකට දික් කර ගත්තෙමි ...... මම ඉතා කැමැත්තෙන් මෙහි වැඩ වෙසෙන බව උන්වහන්සේ දැනගෙන ඇත. උන්වහන්සේගේ හිත දිනාගෙන මට මෙපමණ කාලයක් මෙහි ජීවත් වෙන්න ලැබීම නිසා, කිසිම අකමැත්තක් නැතුව මට කොරියාවේ විසා පලපත්‍රය දික් කර දීම උවමනාවෙන්ම උන්වහන්සේ කර දීම මට ලොකු සතුටක් විය.


මට දැන් ඉතා නිදහස් සැහැල්ලු ජීවිතයක්, මෙම පන්සල තුල ගත කරන්නට ලැබී ඇත..... මම මේ කොරියානු පන්සලේ ජීවිතයට බොහෝම කැමැත්තෙන් නැඹුරු වී ඇත..... මම ප්‍රර්තනා කල ජීවිතය මෙය යැයි මට දැන් නිතර සිතෙන්නේ මෙහි ඇති නිදහස් නිවහල් බව නිසාය.....

කොරියන් පන්සලට නිතර යන එන බැතිමතුන් එම පන්සලේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට ඉතා ගෞරවයෙන් සලකති..... කොරියන් ජනයාගේ දෛනික දින චර්යාව තුළ කැපී පෙනෙන ලක්‍ෂණ අතරින් විශේෂ ලක්‍ෂණය නම් කඩිසරව, උද්යෝගීව වෙහෙස වී වැඩ කිරීමයි..... ඒ වගේ ම කරන වැඩය ඉතා කැප වී කිරීමත් සිදුවේ.


කොරියාවේ ජීවත් වන මිනිසුන්ගෙන් සියයට සියයක්ම කොරියන් භාෂාව කතා කරන පුද්ගලයන් ය. ඔවුහු තම භාෂාව තමන්ගේ දරුවන්ට උවමනාවෙන් ම කියා දෙති..... නමුත් තරුණ කොරියන් දරුවන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට මහත් උත්සාහයක් ගන්නා බවත් පෙනේ..... ඒ ලෝකය දැකීමට ඔවුන්ට අවශ්‍ය බැවිනි. තරුණ දරුවන්ට මිස වයසක උදවිය වැරදිලා හෝ ඉංග්‍රීසි වචනයක් කතා කිරීමට උත්සාහ නොගනී.


කොරියාව ඉතා දියුණු සමාජ තත්ත්වයකට අද වනවිට පැමිණ තිබේ. ඔවුන්ගේ ප්‍රධාන කර්මාන්ත අතර ඉලෙක්ට්‍රොනික් මෝටර් රථ, ඛනිජ තෙල් හා වානේ නිපැයුම් වගේ ම, රෙදිපිළි නිර්මාණ ඉතා දියුණු මට්ටමක තිබේ. කොරියාව මෙතරම් දියුණු රටක් බවට පත් උනේ කොහොමද කියා හිතන්නත් අමාරුය.


කොරියාව ඉතා දියුණු සමාජ තත්ත්වයකට අද වනවිට පැමිණ තිබේ. ඔවුන්ගේ ප්‍රධාන කර්මාන්ත අතර ඉලෙක්ට්‍රොනික් මෝටර් රථ, ඛනිජ තෙල් හා වානේ නිපැයුම් වගේ ම, රෙදිපිළි නිර්මාණ ඉතා දියුණු මට්ටමක තිබේ. ඔවුන්ගේ ප්‍රධාන අපනයන භාණ්ඩ වන්නේ මෝටර් රථ, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, වානේ හා යන්ත්‍රෝපකරණ ආදියයි. ආනයන භාණ්ඩ අතරට තෙල්, පෙට්‍රෝලියම් නිෂ්පාදන හා යකඩ වැදගත් වෙයි. සියලු කොරියන් ජනයා ඉතා උනන්දුවෙන් හා වගකීමෙන් තම රාජකාරි කටයුතු කරති. ඔවුන්ට ලැබෙන වේතනය හොඳ තත්ත්වයේ ඇත. නමුත් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉතා සරල ය. හන් ඔක් නමැති සාම්ප්‍රදායික නිවාසවල ජීවත් වන පැරණි වයසක ජනයා තාම කොරියන් සාම්ප්‍රදායික ක්‍රමයට ම ජීවත් වෙති. උගත්කමක් ඇති පුද්ගලයෝ හා තරුණ ජනයා නගරවලට ආසන්න තට්ටු නිවාසවල ජීවත් වෙති.

කොරියාවේ දේශගුණ හතරක් ඇත. ඒවා වසන්ත, සරත්, සිසිර, ගිම්හාන යන නමින් හඳුන්වයි. සිසිර ඍතුව ඉතා ශීත කාලගුණයක් ඇති කාලය යි. ගිම්හාන කාලය ඉතා රස්න කාලගුණයක් ඇති කාලයකි.

කොරියන් පන්සලේ ශීත කාලගුණයන් හා රස්න කාලගුණයන් ඇති කාලවලට ද විශේෂ උත්සව පවත්වයි. ඒවාට කොරියන් බෞද්ධ බැතිමත්හු විශාල වශයෙන් සහභාගි වෙති. එම සෑම උත්සවයකට ම මට ද සහභාගි වෙන්න ලැබෙයි. ටිකෙන් ටික මට ශ්‍රී ලංකාවේ බෞද්ධ පන්සල්වල හා කොරියාවේ බෞද්ධ පන්සල්වල ඇදහිලි ක්‍රමවල වෙනස්කම් දැකිය හැකි විය. ඒ වගේම සමානකම් ද දකින්ට ලැබිණි.

මොවුන්ගේ ආහාර ක්‍රම ද අපට වඩා වැඩි වෙනසක් නැත. මොවුහු ද අප මෙන් බත් හා එළවළු වර්ග ආහාරයට ගනිති. එළවළු පමණක් ආහාරයට ගන්නා ස්වාමීන් වහන්සේලා මෙන් ම මාළු හා මස් වර්ග ද අනුභව කරන ස්වාමීන් වහන්සේලා ද ඇත. පන්සලේ ජීවිතය ඉතා චාම් ය. වියදම ද අඩුවෙන් පන්සලේ ආහාර ක්‍රම නියම වී ඇත. බත් සමඟ ගෝවා, රාබු, අල වර්ග ආහාරයට ගන්නේ වියදම ගැන ද සිතා යැයි මට සිතේ. බැතිමත්හු ස්වාමීන් වහන්සේලා ඉඳ හිට දානවලට කැඳවා ගෙන යති. නමුත් ඒ ගෙවල්වලට නොව ආපන ශාලාවලට ය. ආපන ශාලාවලට ගෙන ගොස් ස්වාමීන් වහන්සේලාට ඔවුහු ආහාර ඇනවුම් කර දෙති. එම ආහාර ගන්නා අවස්ථාවල ඉඳහිට වයින් වර්ග ද ටික ටික ලබා දෙයි. විවිධ මස් වර්ග ද අනුභව කිරීමටද අවස්ථාව ලැබෙයි. උන්වහන්සේලා හවස හය වනවිට රාත්‍රී ආහාරය වළඳති. තුන් වේලට ම පන්සලේ අප විසින් ම සාදා ගන්නා ඉතා සරල, සැහැල්ලු ආහාරයක් දිනපතා ආහාරයට ගන්නෙමු.

ලංකාවේ දී මාළු හා එළවළු පමණක් ආහාරයට ගත් මට ඇමෙරිකාවේ දී හා තායිලන්තයේ වැඩවිසුව කාලවල දී කුකුළු මස් ද ආහාරයට ගන්නට ලැබිණි. වෙන මස් වර්ග අප්‍රිය කරන මම දැන් මාළුවලට අමතරව කුකුළු මස් ද ආහාරයට ගන්නෙමි.

ලොකු හාමුදුරුවෝ මට දිනක කතා කොට, "ඔබවහන්සේට විශේෂ දෙයක් කීමට තිබෙන’ බව කීහ

“මොකක්ද හාමුදුරුවනේ‘‘?


"ඔබවහන්සේ දැන් මෙහේ ඉඳන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ, විසා බලපත්‍රය ආයෙත් තවත් දික් කරගන්නවද ඉස්සරහ කාලේ ....නැත්නම් ආයෙත් ලංකාවට යනවද, මේ රටේ දිගටම නවතිනවාද?


දිනක් ලොකු හාමුදුරුවෝ මාව ඔහුගේ කුටියට කතා කොට, කොට මේසය ලඟ වාඩි කරවා කොළ තේකොළ බොන්න ආරාධනා කර නිදහසේ ඇසීය.

"දැන් ඔබ වහන්සේ මෙහෙට වැඩම කරලා අවුරුද්දකට ලං වේගෙන එනවනේ..."


“ එහෙමයි, ....මම මේ රටේ දිගටම ඉන්න කැමැතියි ලොකු හාමුදුරුවනේ..... .” මම කීවෙමි


“ඔබවහන්සේ මෙම පන්සලේ වැඩ වෙසෙනවා නම් අපේ පන්සලේ අනිත් හාමුදුරුවරු වගේ කොරියන් සිවුර අඳින්න පටන් ගන්න ඕනෙ..... දිගටම ඔය සිවුරෙන් මෙහේ මට නවාතැන දෙන්න පුලුවන් කමක් නෑ......”


“ප්‍රශ්නයක් නෑ ලොකු හාමුදුරුවනේ..... අපි හැමෝම අදහන්නේ එකම බුදුන්ගේ ධර්මය නම්, අඳින ඇඳුම රටට ආවේණික ලෙස වෙනස් කර ගත්තාට ඒකෙ වැරැද්දක් මම දකින්නෙ නෑ.....ශ්‍රී ලංකාවෙත්, මෙම කොරියන් රටේත් ඇති ආගමික ඇදහීම් දෙකේ වෙනස්කම් ඇති වී තිබෙන්නෙත් දෙරටට ආවේණික දේශගුණික වෙනස්කම් එක්ක කියලයි මම නම් හිතන්නෙ හාමුදුරුවනේ ..."


“ඔබවහන්සේට අපිත් එක්ක එකටම සහභාගි වෙන්න පුළුවන් උත්සවයක් ළඟදි මෙම පන්සලේ තිබෙනවා..... මෙම රටේ කොරියානු තරුණයන් පැවදි කරන ලොකු උත්සවයක් ..... එදිනට ඔබවහන්සේවත් මම අපේ පන්සලේ කොරියන් බැතිමතුන්ට හඳුන්වා දෙන්න කැමත්තෙන් ඉන්නේ, කොරියානු භික්ෂූන් වහන්සේ නමක් ලෙස....ඔබ වහන්සේ කැමති නම් පමනක් .... එදින ඉඳන් ඔබවහන්සේට අපේ කොරියන් සිවුර අඳින්න වෙනවා අපේ චාරිත්‍රනුකූල වලට අනුව......”


“එහෙමයි හාමුදුරුවනේ මම ඒකට කැමැතියි.”


“එහෙනම් වඩින්න මාත් එක්ක ප්‍රධාන ශාලාවට.... .”


මම හෙමිහිට උන්වහන්සේගේ පිටුපසින් ගබඩා කාමරය ලග ඇති ප්‍රධාන ශාලාව වෙත පිය මැන්නෙමි.

උන් වහන්සේ ප්‍රධාන ශාලාව කෙලවරේ තිබුන ගබඩා කාමරයේ අල්මාරියක දොර ඇරියේය..... ඒතුල පිලිවෙලට නවා ගොඩ ගසා තිබුනු කොරියානු සිවුරු වලින් මට ගැලපෙන ඇදුම් වගයක් තෝරාගෙන මගේ අතේ තිබ්බේය.....


“ඔබවහන්සේ අපි වගේ ම මේ අළු පාට ඇඳුම ඇඳගෙන මේ සුමානෙ අන්තිමට තිබෙන උත්සවයට සහභාගි වෙන්න ඕනේ......‘‘


උන්වහන්සේලා අඳින අළු පාට කලිසම, කිමෝනාවක හැඩැති කමිසය හා සිවුරක් ලෙස උරහිස හරට දමන දුඹුරු පාට සිවුරකුත් ලොකු හාමුදුරුවෝ මා වෙත පිළිගැන්වූහ. උන්වහන්සේට මම හිස නමා ආචාර කර එයත් රැගෙන මාගේ කුටියට වැඩියෙමි.

මගේ කාමරයට ගිය මම එය අතේ තියාගෙන, ඒ දෙස බලාගෙන කල්පනා කරන්නට පටන් ගත්තෙමි......


පන්සලේ පිරිසුදු කරන වැඩවලට අඳින ඇඳුමට අමතරව ලැබුණු කොරියානු භික්ෂූන් වහන්සේලාගේ සිවුර මම අතට අරගෙන කල්පනා කළේ, ඉස්සරහ කාලේ මෙය අඳිනවද, එහෙම නැත්නම් නැවත ලංකාවට ගොස් සුපුරුදු ලෙස තැඹිලි පාට සිවුර ඇදගෙන ඉදිරි කාලය ගත කරනවාද යන්නයි....


මට මේ වනවිට නැවත ලංකාවට යන්න අදහසක් ඇත්තේම නැති වි තිබින........ මම මේ කොරියන් පන්සලේ නිදහස් ජීවිතයට....., කොරියානු රටේ පදිංචියට ආපු දා සිට බොහෝ ආස කරන්න පටන් ගෙන ඇත....ලංකාවට ගියද මට දැන් නවාතැන් ගන්න තැනක් නැති ගානය..... මම මහණ කරගත් ලොකු හාමුදුරුවන්ද දැන් අපවත් වී ඇත.... ලංකාවේ සමහර දේවල් ගැන මම, හොඳටම කලකිරී කොරියාව බලා ආ වග මතකයට එයි...... තාත්තා නැති වූ පසු අම්මා නැවත කසාදයක් කරගෙන ඇත...... නංගීද විවාහ වී වෙනත් ගමක් බලා ගොය බව මට ආරංචි විය. මගේ යැයි කිව හැකි කිසිවක් දැන් ලංකාවේ නැති තරම්ය. මට ඉතුරු වී ඇත්තේ ලංකාවෙන් එන විට ඇඳන් ආ සිවුර හා අමතර සිවුරු දෙක පමණි......

අවසානයේ මම ගත් තීරණය වුනේ..... දිගටම කොරියානු රටේ නැවති, කොරියානු භික්ෂූන් වහන්සේ නමක් ලෙස දිගටම මෙම පන්සලේ වැඩවෙසෙන්නයි.....


මම මොන සිවුරකින් මොන රටක වැඩ විසුවත් අදහන්නේ......

අනුගමණය කරන්නේ.... බුදුන් වහන්සේගේ බෞද්ධ ධර්මය නම් මම වැරද්දක් නොකරන බව මේ වන විට මට හොදින්ම වැටහී ගොස් ඇත.....

මම කොරියානු පන්සලක භික්ෂූන් වහන්සේ නමක් ලෙස සිවුර මාරුකරගෙන ජීවත් වෙනවා යන්න මට සිතීමට තවත් අවශ්‍ය නොවීය.....


අවසානයේ මම මේ කොරියානු ස්වාමීන් වහන්සේලාගෙ සිවුර ඇදගෙන එම උත්සවයට සහාභාගි වන්නට තීරණය කලෙමි.....


සුමේධ මහත්තයාට තකහනියක්ම පන්සලට එන්න කියා මම ඔහුට,මගේ තීරණය ගැනත් කිව්වෙමි.


"විපස්සි හාමුදුරුවන්ට හොදයි කියලා හිතෙන දෙයක් කරන්න..." සුමේධ මහත්තයා ඔහුගෙ අදහස මගේ පිටින්ම පැටවිය.


"මම මේ කොරියානු ජිවිතයට හරි කැමතියි සුමේධ ....හරිම නිදහස් සැහැල්ලු ජිවිතයක් මේක .....මම කැමතියි දිගටම මේ රටේ පදිංචි වෙලා ඉන්න....මම කොරියානු පන්සලක කොරියානු භික්ෂූවක් ලෙස ජිවත් වෙන්න ගොඩක් කැමතියි .....එන සුමානේ මම කොරියානු භික්ෂූවක් ලෙස උපසම්පදා ලබන උත්සවයට සුමේධත් සහාභාගි වෙන්න...."


"හොදමයි හාමුදුරුවනේ ....මම නෝනයි බබයි එක්ක එදාට පන්සල් එන්නම්....."


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page