✈️එතෙරින් එතෙරට✈️ 💥(29 වෙනි කොටස)
- Prisila Godahewa

- Dec 3, 2021
- 8 min read
බෞද්ධාගම චීනයෙන් කොරියාවට පැමිණීම නිසා කොරියාවේද පවතින්නේ මහායාන බෞද්ධ දර්ශනය වේ..... මේ කොරියානු බෞද්ධ විහාරයෙත් බුදුවරුන්ගේත් බෝසත්වරුන්ගේත් පිළ්ම ඉතා අලංකාර ලෙස නිමවා ඇත. මට...... ප්‍රතිමා වැඩි වශයෙන් නිර්මාණය කොට ඇත්තේ බද්ධ පර්යංකාකාරයෙනි.....
එම පිළිම නෙළීමෙහි ලා රන්, රිදී යන ලෝහ වර්ගත්, ගල් සහ ලීත් උපයෝගී කොට ගෙන තිබෙන බව පෙනේ..... විහාර බිත්ති චිත්‍රකර්මවලින් සරසාද ඇත......විවිධ වර්ණ වලින් ඇද ඇති මේ සිතුවම් මගින් බුදුවරුන් බෝසත්වරුන් හා බුද්ධක්ෂේත්‍රය පිළිබද තොරතුරු ඇතුළත් වෙයි......
හවස හතර විතර වෙන කොට, අනෙක් භික්ෂූන් තුන් නමත් සමඟ බුදුගෙයි ඇතුළත පැයකට කිට්ටු කාලයක් බුදුන් වැඳ භාවනා කලෙමු..... එතෙනින් නැඟි සිටින විට හවස් වි තිබින.......
පසුව භික්ෂූන් වහන්සේලා මාත් අඬ ගසාගෙන වැඩම කලේ උයන ගෙටය.....ඔවුන් එකිනෙකා තමන්ට පුරුදු ඉවුම්පිහුම් වැඩකටයුතු පටන් ගත්තේ ඉන්පසුය....
එක් භික්ෂූන් නමක්, ලොකු "වොක්" නම් විශාල භාජනය ලිප තබා, එයට සෝයා තෙල් ටිකක් දමා දර ලිපේ රත් වෙන්න තැබුවේය....හොදින් රත්වුන තෙලට, ඉඟුරු සුදුලුනු දමා කවලම් කළ ඔහු, මම හවස සෝදා, කපා තබන ලද රාබු ටික එයට දමා කවලම් කලේය....... පසුව එයට සෝයා සෝස් සමඟ, සෝයා බෝංචි තලපයක් දමා ලිපේ තැම්බෙන්න හැරියේය ...... අනිත් භික්ෂුව සලාද කොළ අතින් කඩා, එයට දෙහි, ලූනු හා මාළු සෝස් දමා ලෑස්ති කලේය....
කුස්සියට අල්ලා තිබු කෑම කාමරයේ කෑම කන්නට වාඩි වෙන්න ලෑස්ති කර තිබු කොට මේසය ලඟ, බිමට පැතලි කොට්ට දමා ඇත..... ලොකු හාමුදුරුවෝ එම මේසය ළඟ බිම එරමිණියා ගොතාගෙන වාඩි වී හිදියි.....දුම් දමන කුස්සියේ සිටින තරුණ භික්ෂූන් දෙනම, හවස් යාමේ කන්නට කෑම ලෑස්ති කරති..... උණු උණු බත් භාජනයක් මේසය උඩින් තැබු එක් භික්ෂූවක් , රාබු ව්‍යංජනයත් දීසියකට දමා එහි පසෙක තැබූවේය..... නටන උණු වතුරට බිත්තරයක් කඩා දමා ලුණු මිශ්‍ර කර සාදන ආකාරයෙන්, සුප් වතුර භාජනයක්ද මේසයේ පසෙකින් තබා ඇත.....
අනෙක් භික්ෂූව කුස්සියේ තිබූ විශාල කල්දේරමක් වැනි භාජනය ඇර එයින් ගෝවා වර්ගයකින් සාදන ලද මිරිස් කුඩු හා ලුනු දමන ලද "කිම්චි" නම් අච්චාරුව ද දීසියකට දමා මේසයට තැබුවේය..... තව බෝතල් වල තිබු නොයෙක් ආකාරයේ එළවළු අච්චාරු වර්ග දෙක තුනක්ද පුංචි දීසි වගයකට දමා මේසයට තැබු උන්වහන්සේලා මාත් එකතු කරගෙන කෑම වළඳන්නට පටන් ගත්තේය.
ලොකු හාමුදුරුවෝ සහ සෙසු දෙනම කෝටු දෙකක ආධාරයෙන් මේසය උඩ තියෙන රාබු ව්‍යංජනය, එළවළු සලාද, කිම්චි අච්චාරුව හා අනෙක් අච්චාරු වර්ග කෑලි, සැරෙන් සැරේට රැගෙන වළඳන්නට පටන් ගත්තේය .....
බත් කන්නට පිඟන් නැත.....ඇත්තේ සුදුපාට පුංච් දීසි වර්ගයකි....ඔවුන් කෑම අතින් නොකයි....ලී කූරූ දෙකකින් ඔවුන් කෑම කන හැටි මට පුදුමය......මමත් ඔවුන් මෙන් කූරූ දෙකෙන් එළවළු වැළඳීමට පටන් ගත්තත්, කූරු දෙකින් අල්ලා ගෙන කෑම මට අපහසු විය.... මම කූරු දෙකෙන් කෑම අල්ල ගන්න හදන හැටි දැක උන්වහන්සේලාට හිනා එන්නේය ....
උන්වහන්සේලා බත් කෝප්පයට මුළින් බෙදා නොගෙන, මුළින්ම එළවළු වැළඳති..... එළවළු වළදා අහවර වී, ඔවුන් පුංචි කෝප්පයට උනු බත් බෙදාගෙන කූරු දෙකෙන් බෙරි බත් වැළඳන්න පටන් ගත්තේය ....
ලොකු හාමුදුරුවෝ මට නිවැරදි ආකාරයට කෝටු දෙක අල්ලා ගෙන කන විදිහ පෙන්විය.... නමුත් මගේ කටට යන කෑමවලට වඩා මේසය උඩට කෑම වැටෙයි.....
හැන්දක් ගෙන බත් කන්නැයි ලොකු හාමුදුරුවෝ මට කීය.
ලංකාවේ පුරුදු ලෙස මම උණු බත් කෝප්පයට බෙදා ගෙන, එයට රාබු හා කිම්චි සලාද දමා ගෙන, බිත්තර සුප් වතුර බොමින් හැන්දකින් බත් කෑවෙමි.
එම කෑමවල ඇත්තේ වෙනස්ම රසයකි..... කොටින්ම කියතොත් මම කැමති කිසිම රසක් එහි නොවිය..... තුනපහ නැති, ලුණු රස පමණක් ඇති බත් එළවළු වැළදුවෙමි.
බත් වළදා අහවර වු පසු එක් භික්ෂූවක් කොමඩු හා දොඩම් කපා මේසයෙන් තැබීය..... රතු පාට කොමඩු ඉතා රසවත්ය. මම මගේ බඩේ ඉතිරි කොටස පලතුරු වලින් පුරවා ගත්තෙමි.....
ලංකාවේදී අප රෑට ආහාර නොවැළඳුවද, කොරියන් පන්සලේ හාමුදුරුවරු රෑට ආහාර වළඳති.... සවස හයට ප්‍රථම උන්වහන්සේලා ආහාර වළඳන බව ලොකු හාමුදුරුවෝ කීය..... උන්වහන්සේලා මෙහි දේශගුණයට ගැළපෙන ලෙස ජීවත් වෙනවා යැයි මට සිතේ.... මෙම පන්සලේ වැඩ වෙසෙනවා නම්, උන්වහන්සේලා ජීවත් වන ලෙස මාද ජීවත් විය යුතු යැයි සිතා, මම හිත හදා ගත්තෙමි.
රාත්‍රී ආහාරයෙන් පසු පන්සලේ වැඩිපුර පත්තු වු එලි නිවා දමා, කුස්සියේ භාජන සෝදා දැමීමට අනිත් භික්ෂූන් දෙනමට මමද උදවු කළෙමි..... පසුව අපි අපට වෙන් වූ පන්සලේ හතර අතේ තිබු, තනි කුටිවලට ගොස් නිදා ගත්තෙමු......
අද දිනය, ඊයේ දින හිතුවාට වඩා බොහෝ හොඳ විය..... සුබෝධ මහාතාට පින් සිදු වෙන්නට මූණ බලා, අතින් පයින් හෝ කතා කරන ස්වාමීන් වහන්සේලා සිටින තැනක නවතින්න ලැබීම ලොකු දෙයකි......
මම දැන් විසි පස් වැනි වියේ පසුවන භික්ෂූන් නමකි. මෙම පන්සලේ ලොකු හාමුදුරුවන් වයස අවුරුදු 60ක පමණ වයෝවෘද්ධ, ඉතා නිවුණු තැන්පත් ස්වාමීන් වහන්සේ නමකි..... පන්සලේ වැඩ වෙසෙන අනිත් භික්ෂූන් වහන්සේලා දෙනම, මගේම වයසම ඇති බව පෙනේ..... කොරියාවට පැමිණ ගෙවුණු හතරවන දින මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුණු දිනයක් විය......
මට නවාතැන් ගන්න ලැබුණු කාමරය ඉතා පිරිසුදු එකක් විය.... බිමට එළාගෙන නිදාගන්නට බට කොළ වලින් තනන ලද පැදුරක්, පෙරවන්නට ඝනකම පුළුන් පිරවු මෙට්ටයක්, පුංචි කොට මේසයක්, පුංචි අල්මාරියක්ද මේ කාමරයේ ඇත.... පුංචි මේසය උඩ තේ හදාගෙන බීමට අවශ්‍ය දෑ ද ඇත.....මට ඕනෑවටත් වඩා පහසුකම් මෙහි ඇත..... අද දිනය මගේ ජීවිතයේ තවත් අලුත් පිටුවක් පෙරළුණු විශේෂ දිනයක් විය.....
විශ්වයට නිතර ස්තූති කරමින් මම කරන යාච්ඥාවන් සමහරුන් විශ්වාස නොකෙරුවත්..... මම , දිගින් දිගටම ඉතා විශ්වාසයෙන් කල ප්‍රර්තනාව, අද දිනයේද ඉශ්ට වීම නිසා මම නැවත නැවතත් මට අලුත් නවාතැනක් ලැබුනාට විශ්වයට ස්තූති කලෙමි......
පසු දින උදෑසන හතර හමාර වන විට නැගිට ගත් මම මුහුණකට සෝදා උයන ගෙට ගොස් තේ කහට එකක් හදාගෙන බිව්වෙමි..... මේ රටේ කිරි අඩුපාඩුවක් ඇතැයි මට සිතේ.... මොවුන් උදේට දවල්ට වෙනසක් නැතුව බොන්නේ තේ කහට නැතහොත් කොළ පාට තේය.....
තේ බී අහවර වි මම බුදුගෙට ගොස් බුදුන් වැන්දෙමි...... බුදුන් වැඳ අහවර වී, මම උයන ගෙට යන විට එහි කෑම මේසය වටා වාඩි වී භික්ෂූන් වහන්සේලා තෙනම වැඩ සිටිනවා පෙනින...... මා දුටු උන්වහන්සේලා මට කෑම කන්නට මේසයට වාඩි වෙන්නැයි ආරධනා කලහ.....
කෑම මේසයේ පුටු නැත..... කොට කෑම මේසය ළඟ බිම දණ නමාගෙන වාඩි වී සිටින උන්වහන්සේලා සේ මමත් එරමිණියා ගොතාගෙන එතන වාඩි වුනෙමි...... මේසය උඩ ඇති සුදු පාට බත් කැඳක් වැනි දෙයක් පුංචි කෝප්පවලට දමා ගෙන ඔවුන් වලදති.....
මම ද උන්වහන්සේලා සේ කැඳ බොන්නට පටන් ගත්තෙමි..... එම බෙරි බත් කැඳට ලුණුවත් දමා නැත..... කිසිම රසක් නැති කැඳ උන්වහන්සේලා කිසි අමාරුවක් නැතුව වලදති..... මම ලුණු භාජනය ගෙනත් එම කැද කෝප්පයට ලුණු දමා ගෙන ලුණු කැඳක් වැනි බත් කැඳ බොන්නට පටන් ගත්තෙමි..... පසුව කෙසෙල් ගෙඩි, දොඩම් ,ඇපල් වැනි පලතුරුද උදේට වැලදුවෙමු.
උදෑසන ආහාර වැළඳීමෙන් පසු මට පන්සල පිරිසුදු කරන වැඩ ගොඩක් තිබිණි..... විහාර ගෙය, බණ මඩුව, උයන ගෙය සියල්ල අතු ගා, වතුර පෙඟ වූ රෙද්දකින් බිම පිස දැමිය යුතු විය..... වත්ත පිටිය අතු ගා, එළවළු පාත්තිවලටද සාත්තු කළ යුතුය..... ලොකු හාමුදුරුවන් හා අනෙක් ස්වාමීන් වහන්සේලා දෙනම සමඟ මම හරි හරියට එදා දවසම වැඩ කළෙමි......
මෙම පන්සල් වත්තේ සෝයා බෝංචි වගා කරයි...... එම සෝයා බෝංචි කරල් සුද්දකර ඇට ලබාගෙන ඒවා වලින් සෝයා බෝංචි සෝස් හා තලප සාදාගන්නේ පන්සල් වත්ත තුලම බව ලොකු හාමුදුරුවෝ මට අතිනි පැහැදිලි කලේය.
පන්සල් වත්ත පුරා ඇති කල්දේරම් වැනි මූඩි සහිත මැටි පෝච්චි වල සුද්දකර ඇති සෝයා බෝංචි ඇට ලුණු දමා හුලං නොයන ලෙස වසා මාස ගානක් වසා තබා ගනී..... එම කටයුත්ත කිරීමට අනෙක් ස්වාමීන් වහන්සේලා ලොකු හාමුදුරුවන්ට උදව් කරන බවද පැවසීය. සෝයා බෝංචි තලපය හා දියරය පන්සලේ කෑම සෑදීමට දිනපතා , ප්‍රයෝජනයට ගනි...... මෙම රටේ මිනිසුන්ගේ ප්‍රදාන ආහාර උයන ක්‍රම වලට සෝයාසෝස් , නැතුවම බැරි දෙයක් වේ.....
පන්සලට අවශ්‍ය හාල්, බත්, ලබා ගැනීමට පන්සල පාමුල කුඹුරේ වැඩ කරන්නේද පන්සලේ වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලාමය.....ගමේ ගොවියන්ද ඇවිත් විශේෂ වැඩ වලට උදව් කරන බවත් පැවසීය..... එහි අස්වැන්න ගබඩා කාමරයේ තබාගෙන ඔවුන් පන්සලේ ප්‍රයොජනයට ගනී.....
භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය සියලු එලවලු, පළතුරු පන්සල් වත්තේම වගා කර ගනී..... ඒවා අතර කැරට් ගෝවා, රාබු, බතල, ලීක්ස්,කොමඩු, සලාද කොළ, චීන ගෝවා ගෙඩි ආදිය වේ.... පන්සල් වත්තේ එක මායිමක දොඩම් ප්ලම්ස් හා කොරියාවට ආවේනික පලතුරු වගා කරද ඇත.....
බුදු දහම අනුව මස් කෑම තහනම් බැවින් දකුණු කොරියාවේ පන්සල් තුල හදන ආහාර වල කිරි නිෂ්පාදන හැර වෙනත් සත්ත්ව නිෂ්පාදන නොමැති බව දැනගන්නට ලැබින. සමහර භික්ෂූන් වහන්සේලා තම අධ්‍යාත්මික ක්‍රියාවලියට බාධාවක් වනු ඇතැයි යන විශ්වාසයෙන් සැර එළවළු පහක් භාවිතා නොකරන බවත් මට මුල් වරට දැනගන්නට ලැබින.... එම එළවළු අතර කොළ ලූනු, ළූණු, චයිව්ස්, සුදුළූණු සහ ලීක්ස් ඇතුළත් වේ.... හැමෝම එය නොකරන බවත් ලොකු හාමුදුරුවෝ පැහැදිලි කලේය....
මෙරටේ බොහෝ එළවළු, වසන්ත කාලයේ හැදෙන අතර, බෞද්ධ පන්සල් වල භික්ෂූන් වහන්සේලා විසින් ශීත සෘතුවේ දී ඔවුන්ට භාවිතා කිරීමට මෙම අමතර එළවළු විවිධ පැරැණි තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් සකසා තබා ගන්නා බවද දැනගන්නට ලැබින.... පන්සල් වල හදන හොඳම කොරියානු ආහාර අතර ලුණු හා විනාකිරි වල ගබඩා කර තබා ගත් එළවළු සහ සෝයා බෝංචි පේස්ට්, රතු මිරිස් ,ගම්මිරිස් පේස්ට්, කිම්චි, යනාදිය වේ කල්තබා ගත්තාට මෙම ආහාර වල පෝෂණ ගුණයන් අහිමි නොවේන බව ඔවුන් විශ්වාස කරති.....
දකුණු කොරියානු ආහාර සංස්කෘතියේ හදුන්වන "ඔන්ඩෝල්" මුළුතැන්ගෙය කොරියානු පන්සල් අතරද පැතිර ගොස් ඇති බව ලොකු හාමුදුරුවෝ කීය.... මෙම පැරණි විහාරස්ථානයේ උයන ගේද, "ඔන්ඩෝල්" මුළුතැන්ගෙයක් වේ....
"ගුඩියුල් හෝ බේක් කළ ගල් යනු ඔන්ඩෝල් සඳහා වන තවත් නමකි.....
පන්සලේ තව කොනක කුකුල් කූඩුවක් දැලකින් වටකර සදා ඇත..... දැල තුල කුකුලන් ඇවිදමින් ආහාර ගනිති. කුස්සියේ අහක දමන අමතර දෑ හා බතල කොළ ආදිය උන්ට කෑමට දෙයි. උන්ගේ බිත්තර පන්සලේ ස්වාමීන් වහන්සේලාගෙ ආහාර සදහා ප්‍රයොජනයට ගන්නා බව කිවේය.
කොරියාවේ බෞද්ධ පන්සලට විත් සුමානයක පමන කාලයක් ගෙවී ගියේ එකම වැඩ සටහනකටය..... එකම විදිහේ වැඩ කටයුතු උනත් මම එම වැඩ වලට බොහෝ කැමැත්තෙන් සහභාගි උනෙමි.....
දිනෙන් දින ඔවුන් සමග වැඩ කරන විට මට කොරියන් භාෂාවේ පුංචි පුංචි වචන එනම්, එන්න, යන්න, කන්න, බොන්න ආදී කොරියන් වචන ටික ටික තේරෙන්න පටන් ගත්තේය.
ආහාරය පිසීමට තිබෙන කුස්සියේ වැඩ බැලීමට නියම වී තිබුණේ මට වඩා ටිකක් වැඩිමහල් පෙනුම ඇති ස්වාමීන් වහන්සේ නමකටය. දිනපතා උයන වැඩේ එකිනෙකා බෙදා ගෙන කරනවා යැයි මට සිතේ. කොරියන් ක්‍රමයට මා තව ම උයන්න නොදන්නා බැවින් ලොකු හාමුදුරුවෝ උයන වේලාවට කෑමට දාන අඩුවැඩිය ආදිය මට පෙන්වා දෙයි.....
දහවල් දානයට පෙර වැඩ නිමකර, අතපය හෝදා ගෙනවිත් අපි, දහවල් දානය අපිම සාදගෙන වලදන්නෙමු. දවාලට විනාකිරි, සුදු ලූනු හා ඉඟුරු දමා සාදන ලද එළවලුත්, කිමිච් අච්චාරුව හා සලාද කොළ සමග සුදු බත් වරදින්නෙ නැත..... සමහර දවසට ධාන්‍ය ඇට වර්ග බොහොමයක් දමා තද කලු පාටට උයන බතක්ද ඇත..... එම බත බොහෝ ගුනවත් බව ලොකු හාමුදුරුවෝ කීය. තව කොරියාවට ආවේනික අච්චාරු වර්ග පුංචි දීසි වල දමා කෑම මේසයට තබයි.... වැඩිපුර එළවලු වර්ග අමුවෙන් වගෙ ආහාරයට ගනි.... එකම විදිහේ, තුනපහ නැති සුදු කෑම වර්ග අකමැති උනත් කෑමට ගන්නට මම දැන් පුරුදු වි ඇත.
ලංකාවේ හා කොරියාවේ බුදු දහම අතර ඇති විශාල වෙනස ලෙස රාත්‍රියට ද ආහාර ගැනීම මට පෙනෙයි..... එය හවස හයට පෙර ගනියි. මෙම රටේ දේශගුණයට නිතර බඩගිනි දැනෙන බැවින් හවස ද ආහාර ගන්නවා යැයි මට සිතේ. මොවුන් සමඟ වැඩ වෙසෙන මට ද මොවුන් අනුගමනය කිරීමට සිදුව ඇත......
මම මෙහි පැමිනි දිනට පසුදා පටන්, එළවළු වගාවට උදවු කරන්න පටන් ගත්තෙමි...... මම මගේ සිවුර උඩින් ශීත කබායක් ද දමා ගෙන ලොකු හාමුදුරුවෝ දුන් ලොකු සපත්තු දෙක හා තොප්පිය දමාගෙන එළවළු කොටුවේ පාත්තිවලට සාත්තු කෙරුවෙමි. ලංකාවේදි බිම කොටන වැඩ වත්ත පිටියේ වැඩ හාමුදුරුවන්ට අකැප යයි සිතා නොකර සිටියත්, මෙරට ස්වාමීන් වහන්සේලා තමන්ගේ ආහාර තමන්ම සකස්කරගෙන ආහාරයට ගන්නා බැවින් මමත් ඒ වැඩට උදව් කරන්නෙමි.
මෙරට ස්වාමීන් වහන්සේලා ආ අලුපාට විශාල කමිස හා කලිසම් නිල ඇදුම් ලෙස අදින නිසා ඔවුන්ට වගා කටයුතු කිරීමේදී එය ඉතා පහසුවේ..... නමුත් මම අදින සිවුර නිසා වගා කටයුතු කිරීමේදි මට ඉතා අපහසුවෙන් ඒ කටයුතු කිරීමට සිදුවී ඇත. වගා කටයුතු වලට උදව් කරන විට, නිතර නිතර මගේ සිවුර උරෙන් පහළට ඇද වැටෙයි...... ශීත කබාය යටින් අත දමා මට එය නිතර හදන්න වෙයි. දිනක් මම වැඩ කරනවා බලන් සිටි ලොකු හාමුදුරුවෝ මට අතින් කතා කරගෙන උන්වහන්සේගේ කුටිය වෙත කැදවාගෙන ගියේය.
‘‘එන්න ඔබට ඔහොම වැඩ කරන්න බෑ ..."
දැන් කොරියානු භාශාවෙන් උන්වහන්සේලා මට කතා කරති..... හොදටම තේරුනේ නැතත් මට යාන්තමට කොරියානු භාශාවේ වචන තෙරුම් ගැනීමට හැකියාව දැන් ලැබි ඇත .
ලොකු හාමුදුරුවන්ගෙ කුටියට මාව කැදවාගෙන ගිය ඔහු අල්මාරියක් ඇර එහි තිබූ ජම්පර් පෙනුමැති කලිසමකුත්, අළු පාට ටීෂර්ට් එකකුත් මාගේ අතේ තැබූවේය.
"‘මේක වැඩ කරන වෙලාවට අඳින්න.... ඔය සිවුර ඇඳගෙන වැඩ කරන්න බෑ.....‘‘
මගේ අතට දුන් අළු පාට අලුත් ම ටීෂර්ටය හා ජම්පරයක ආකාරයේ දිග කලිසම අනෙක් කොරියානු තරුණ භික්ෂූන් වහන්සේලා අදින ඇදුම වේ...... මම ඒ දෙස බලාන උන්නේ මොනවද කරන්නේ දැයි සිතා ගැනීමට නොහැකිවය..... මීට අවුරුදු දහතුනකට පමන පෙර මම පාසල් යන්න ඇන්ද නිල් පාට කොට කලිසම, සුදු ෂර්ටය ගලවා දමා, ඇඳි මේ තැඹිලි පාට සිවුර.... අද මට වැඩකටයුතු කිරිමේදී වෙනස් කරන්න සිදු වි ඇත.....
මම ලංකාවේ පන්සල් වල සිටින කල, බිම් කොටන වැඩ නොකෙරුවෙමි. ඒවා අපට අකැපය..... බිම කොටද්දී සතුන් මැරෙන නිසා අපි බිම් කොටන වැඩ නොකරන්නෙමු. නමුත් මම කොරියාවට වැඩම කර, මම දැන් වැඩ වෙසෙන තැන ඔවුන්ට අවශ්‍ය විදියට ජීවත් වීමට සිදුව ඇත..... මම මෙහි ආවාට පසු රෑට දානය වළඳන්නද පටන් ගත්තෙමි. ඒ අනෙක් හාමුදුරුවරු සමඟ හරි හරියට සිටිය යුතු බැවිනි.
‘‘කමක් නෑ, මම මේ එළවළු වගා බිම්වල වැඩ කරනවා දකින්න කවුරුත් නෑනෙ.....මම මටම කියා ගත්තෙමි.
මම ලොකු හාමුදුරුවන් දුන් ඇඳුම ගෙන ගොස්, මගේ කුටියේ සිට සිවුර ගලවා කලිසම හා ටීෂර්ට් එක ඇඳ ගත්තෙමි..... සිරුරට පුදුම සැහැල්ලුවක් දැනුනත්, ලැජ්ජාවක් වැනි හැඟිමක්ද දැනුණි...... මම මේ පන්සලේ සිටින්නේ නම්, මෙහි ලොකු හාමුදුරුවන් කියන ලෙස, කැමති ලෙස සිටිය යුතු ය....උන්වහන්සේගේ හිත දිනාගෙන කටයුතු කල යුතුය.
උන්වහන්සේ දුන් සපත්තු ජෝඩුව දමා හිසට වේවැල් වලින් තනන ලද කිරි ගොට්ටක් හැඩැත් තොප්පියක් ද දමා ගෙන මම එළවළු කොටුවට ගියෙමි...... මට ලොකු නුහුරක් දැනේ..... අවුරුදු ගණනාවකට පසු සිවුර ගලවා දමා ඇඳ ගත් ඇඳුම ඉතා පහසු ඇඳුමක් විය..... නමුත් මට කෝල ගතියක් දැනුණත්, අනිත් අයට එහි ගාණක් නැත.... මම අවුරුදු ගණනාවකට පසු ඉතා පහසු ලෙස වැඩ කරන්න පටන් ගත්තෙමි......
හැමදාම උදේට මම ඇඳ ගන්නා මේ ජම්පරය වැනි කලිසම හා කමිසය මම හවස් වනතෙක් ඇඳ ගෙන පන්සල් වත්ත පිටියේ වැඩ, බුදුගෙය, උයන ගෙය පිරිසුදු කරන වැඩ හැම එකක්ම මම කරන්නේ එම ඇඳුම ඇඳ ගෙනමය..... හවසට ඇඟපත සෝදා ගෙන මම මගේ තැඹිලි පාට සිවුර ඇඳ ගන්නෙමි.
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments