top of page

✈️එතෙරින් එතෙරට✈️ 💥(26 වෙනි කොටස)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 5 min read

පසු ගිය දින රෑ වේලාසනින්ම නිදාගත් බැවින්...., උදේ පාන්දරින්ම මගේ ඇහැ ඇරිණ.... ගේ ඇතුලේ කිසිම සද්ද බද්දයක් නැත....උදේ පාන්දරින් නැගිට්ටා කියා, මේ පුංච් ගේ ඇතුලේ මට එහෙට මෙහෙට ඇවිද යන්නටද නොහැක....


සුමේධ හා ඔහුගෙ නෝනා නැගිටින තෙක් සාලේ පුටුවේ වාඩි විම මම බුදුන් වැද භාවනා කලෙමි..... සුමේධගේ උදව්වෙන්වත් මට අද දිනයේ නවතින්න තැනක් ලැබේවායි කියා මම ප්‍රර්තනා කෙරුවෙමි.....මට කොරියාව වගේ රටකට එන්න, ලැබුනාට

විශ්වයට ස්තූති කරමින්....මෙතෙක් කාලයක් මම කල සියලු පිං බලෙන්, මගේ දැන් හිතේ ඇතිවි තිබෙන එකම ප්‍රාර්ථනාව බලාපොරොත්තුව වන නවාතැන් පොළක් ලැබේවායි මම විශ්ව ශක්තියෙන් ඉල්ලුවෙමි .....අපේ හිතේ ඇති සියලු ප්‍රාර්ථනා ඉශ්ට කර දෙන විශවයේ ඇති ශක්තියෙන්..... මගේ බලාපොරොත්තුව ඉශ්ට වේවායි මම නොනවත්වා සිතුවෙමි ,පැතුවෙමි ......මෙපමණ කාලයකට මට ලැබු තිබු සියලු දේටම මම විශ්වයට ස්තුති කරමින් මට නවාතැන් පොළක් ලැබේවායි නොනවත්වා පැතුවෙමි.....


පැයකට විතර පසු, සුමේධ හා නෝනාගේ කතාබහත්, ඔවුන් සාලය හරහා එහෙට මෙහෙට යන සද්දයත් ඇහෙන්න පටන් ගත්තාය....


‘‘හාමුදුරුවෝ අවදි වුණා ද....? දරුවට කිරි හදන්න තියෙන නිසා අපි වේලාසන නැගිට්ටා..... ඉන්න මං ඔබවහන්සේට තේ එකක් හදා ගෙන එන්නම්.....‘‘ සුමේධ කීය . නෝනා කුස්සියේ කළබලේ උයන සද්දයකුත් ඇසේ....


"නෝනා අද වේලාසනින්ම නැගිට්ටා දවල්ට කෑම හදන්න.... බබා ඇහැරෙන්න ඉස්සර වැඩ ටික කරගන්න ඕනනේ...…."


"පොඩි දරුවො ඉන්න කොට එහෙම තමයි ....."


"අපි අද උදේ කෑම ගත්තට පස්සෙ පොඩි ගමනක් ගිහින් එමු හාමුදුරුවනේ ….." සුමේධ කීය.


" ගිහින් එමු......සුමේධ මහත්තයාට අද වැඩ නැද්ද....?


"මම අද නිවාඩුවක් දැම්මා, ඔබවහන්සේට නවතින්න තැනක් හොයලා දෙන්න කියලා ...."


"මම නිසා හරි කරදරයක් නේද උනේ....?


"අපේ අයට අපි උදව් කරන්න එපෑ...."


උදේ ආහාරයට කිරිබත් ලූණු මිරිස්, හා සීනිසම්බෝලයක් සාදා තිබිණි.... ඒවා මේසය උඩින් තියා මට කෑමට ආරාධනා කලේය.....උදේ කෑම මමත්, සුමේධත් එකට කෑම මේසයේ වාඩි වී මිතුරන් සේ ගත්තෙමු .....දරුවා තවම නිදිය....


උදේ ආහාරයට කිරිබත් සාදා තිබීම, මට සතුටට කාරණයක් විය......

මගේ ප්‍රියතම ආහාරය ලූණු මිරිස් සහ කිරිබත්ය. අද දින මගේ ජීවිතයේ නව පිටුවක් පෙරළන්න යන ගමනක් වේවායි මම එක සිතින් සිතුවෙමි....... නොවරදවාම එය ඉටුවේවායි.....විශව ශක්තියෙන් ඉල්ලුවෙමි...... එයම පැතුවෙමි.....


මම කාලයක සිට විශ්වාස කරනා දෙයක් .......අපි සාදාරණව ,පිරිසිදුව හා අවංකව ජීවත් වෙමින්, කරනා සියලු පුන්‍යකර්මයන් මේ විශ්වයට, ශක්තියක් වි නිදහස්වි යන බවත්....අපි නිතර දන්න කියන, නොදන්න, සියලු දේනාට සෙත් පතමින් ආශිර්වාද කරනා තාක්...... මෙපමණ කාලයකට අපේ ජීවිතයට ලැබි තිබෙන සියලු දේ වෙනුවෙන් ( ආදරණීය දෙමව්පියන් , නෑදෑයින් ,ගේදොර ,යාන වාහන , අපේ පෙනුම, අපේ රැකියාව යන සියල්ලට ) විශ්වයට අපි ස්තූති කරනා තාක්.... ඒ ගැන දැඩි විශ්වාසයකින්, විශ්වයට ස්තූති කරමින්....... අපේ සිතේ දැනට පැන නැගී තිබෙන සියලු බලාපොරොත්තු, ආශාවන් ඉශ්ට වේවායි.....නැවත නැවත සිතමින් විශ්වයෙන් නිතර අපි ඉල්ලන දේ....., අපිට විශ්ව ශක්තියේ බලෙන් නොවරදවාම ලැබෙන බව.......එය ඉතා විශ්වාසයකින් කල යුතු දෙයක් වගේම, දින පතා නිතර හිතෙන් හිතමින් මම කාලයක් තිස්සෙ අත් හදාබැලුවකි.....එය සත්‍යයක් බවත් විශ්ව ශක්තිය මම දැඩි ලෙස විශ්වාස කරමින් දිගටම මගේ ජීවිතයට විශ්ව ශක්තිය උපයෝගී කර ගන්නෙමි. එබැවින් අද දිනයේ මට ටික දිනකට හෝ නවාතැන් පලක් ලැබේවායි මම විශ්වයෙන් ඉල්ලුවෙමි.


" මම අද වැඩපලේ නිවාඩුවක් දැම්ම නිසා, අපි උදේම අර ගමන යන්න පිටත් වෙමු හාමුදුරුවනේ .... .‘‘


" සුමේධට මම නිසා හරියට කරදර වෙන්න සිද්ධ වුණා නේද ?‘‘


"ඒක මොකක්ද අපේ කෙනෙක්ට උදවු නොකර කොහොමද....?


උදේ ආහාරය වැළඳූ පසු මම තට්ටු නිවාසයේ ජනේලයක් ළඟට ගොස් පහත බැලුවෙමි..... එහි සිට පහළ බලන කල , අවට එක දිගට, අහස උසට උස, ගොඩනැගිලි දක්නට,ලැබින... ඒවා තට්ටු නිවාස යැයි මට සිතේ.... පේන තෙක් මානයේ බිමක් නොපෙනෙන තරම්ය.... කොරියාවේ මිනිසුන් තට්ටු නිවාසවල පමනක්ද ජීවත්වෙන්නේ කියාද සිතේ.... අවට අහසේ මීදුම හා කළු වලාවන් පිරි ඇත ....


‘‘අපි ගිහින් එමු ද හාමුදුරුවනේ?‘‘


‘‘හොඳයි මං මගේ ගමන් මල්ලත් ගන්නම් එහෙනම් .... හදිස්සියක් වුණොත් මට කොතැනක හරි නවාතැන් ගන්න පුළුවන් එතකොට ....."‘


‘‘ඔව් ඒක හොඳයි....‘‘


‘‘මෙන්න හාමුදුරුවනේ මං බත් මුලක් බැන්දා ඔබවහන්සේට දවල් දානයට....මේ රටේ අපේ ක්‍රමයට බත් කන්න හම්බ වෙන්නෙ සිංහල ගෙවල්වලින්ම පමණයි..... ඒකයි මං උදේම නැගිටලා හාමුදුරුවන්ට බත් මුලක් ලෑස්ති කළේ.....”


නෝනා මට කෑම බෑගයක් අතට දුන්නාය.


“‘බොහෝම පිං, නෝනලාට.....මං වෙනුවෙන් කරදර වෙන්න සිදු උනාට සමාවෙන්න ...."


“අනේ මොන කරදරයක් ද...? ඔබවහන්සේ පිළිවෙළක් වෙන්නකෝ..... අපි ආයෙත් හම්බ වෙමු....‘‘


‘‘හොඳමයි එහෙනම් මං ගිහින් එන්නම්....‘‘


අපි දෙදෙනා තට්ටු නිවාසයෙන් බිමට බැස, සුමේධගේ වාහනයට නැගගෙන, උදේම ගමන ආරම්භ කළෙමු.


“‘සුමේධ කොරියාවට ඇවිත් දැන් කොපමණ කාලයක් වෙනවද...?


‘‘අවුරුදු තුනහමාරක් විතර හාමුදුරුවනේ ......‘‘


‘‘නෝනත් මෙහෙදිද හම්බ වුණේ?...‘‘


‘‘මොකටද බොරු කියන්නේ…... මං විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ඉඳන් දැන හැඳුනුම්කමක් තිබුණා.... මං කොරියාවට ඇවිත් අවුරුද්දකින් විතර සිවුරු හැරියා.... ඊට පස්සේ මෙහේ රස්සාවක් කරලා, සල්ලිත් හම්බ කරගෙන ලංකාවට ගිහින්, හොරෙන් වගේ කසාදය කරගෙන නෝනත් එක්ක මෙහේ ආවේ.....‘‘


“‘ඒ කියන්නෙ සුමේධගෙ ගෙදර අය දන්නවද සුමේධ සිවුරු ඇරිය බව?‘‘


‘‘ඔව්... විවාහය අපි නෝනගෙ ගෙදර ගත්තේ..... නෝනගෙ කට්ටිය දන්නෙ නෑ මං පැවිදි වෙලා හිටිය බව......

නෝනා කිව්වා ඒ කතාව කාටවත් කියන්න අවශ්‍ය නෑ කියල...... ළඟම දෙපැත්තෙ නෑදෑයන්ට කියල චාමෙට විවාහය කරගෙන නෝනත් එක්ක කොරියාවට ඇවිත් පදිංචි වුණා....‘‘


“‘මෙහේ ජීවිතය කොහොමද සුමේධ?


‘‘අපි මහන්සි වුණොත් හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්.... හොඳ පඩියක් හම්බ වෙනවා.... ටික කාලයක් රස්සාව කරගෙන සල්ලි හම්බ කරගෙන ලංකාවට යන්න කියල මුලින් හිතාගෙන හිටියේ….. ඒත් ලංකාවේ මාව අඳුනන මිනිස්සු මුණ ගැහෙන්න මං කැමැති නෑ..... ඒ නිසා මෙහේම දිගටම ඉන්න තමයි කල්පනාව ..... ඒ වුණාට මීට වඩා ටිකක් ලොකු ගේකට යන්න ඕනේ, දරුවා ලොකු වෙනකොට....".


කොරියාවේ සෝලෝ නගරයට කිට්ටු වෙන්න සුමේධලා පදිංචි වී උන්නේය. ඔහුගේ රැකියා ස්ථානයට ඒ ළඟ නිසාය.


රටේ තොටේ ආගිය තොරතුරු කතා කරමින් අප පැයක පමණ ගමනකින් පසු කොරියාවේ ගමකට සේන්දු වුණා යැයි මට සිතිණ..... පාර දිගට ම නොයෙකුත් වගාවන් ඇත..... ඒ අතර කහපාට මල් පිපිණු එක යායට ඇති අබ වගාව බලන්න දර්ශනයකි..... ඒ වගේ ම අප යනපාර දෙපැත්තේ ඇති කඳුයායේ වගා කර ඇති උණ බට වගාවන්ද පේනේ..... කොරියන් රටේ මිනිසුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන ගොවිතැන ඉතා සරුවට ,ජයට කෙරිගෙන යන පාටය.... පාර දිගටම ඇති නොයෙකුත් වගාවන් නිසා කොරියන් ජනයා වගාවට ඉතා දක්‍ෂ ජාතියක් බවද පෙනේ......


ඉර අව්ව පේන්න නැති තරම්ය.....මීදුම සමඟ අහස අඳුරු කර ඇත. පාර දිගේ වාහනය යන විට මේ අප යන්නේ දුශ්කරගමක් මැදින් බව පෙනින..... කුඹුරුවල වැඩ කරන ගොවියන් යැයි සිතිය හැකි මිනිසුන් දණිස්සට ටික්ක පහළට වෙන්න ඇඳි කලිසමත්, විශාල කමිසත්, වේවැල් තොප්පි දාගෙන ගොවිතැන් කටයුතුවල නියලෙන හැටි දකින්න ලැබීම මට විශේෂ දර්ශනයක් නොවීය..... එය මම තායිලන්තයේදී දැක ඇති හුරුපුරුදු දර්ශනයකි..... මොවුන් දුප්පත් මිනිසුන් වන්නට ඇත..... ඇතැම් විට අඟහිඟකම් නොමැති වෙන්නත් පුළුවන්..... ඇඳුමෙන් මිනිසුන් මැනිය නොහැකිය....මොවුන් ඉතා සරළ, සැහැල්ලු ගෘහ ජීවිතයක් ගෙන යන බව හොදින් වැටහේ.... කොරියානු සංස්කෘතිය අනුව ජීවත් වන මේ ගැමි මිනිසුන්ගෙ ජීවිතය අමාරුකම් මැද ගෙවුනත්, කෙතරම් නම් නිදහස් බවක්, සැහැල්ලුවක් මෙහි තිබේද.......


කොරියාව ඉතා විශාල වශයෙන් තාක්ෂණය අතින් දියුණුවක් ලද රටකි..... පිළිවෙළට සාදා ඇති මහාමාර්ග පද්ධතිය පුදුමාකාරය .... පාර පුරා දුවන ඉතා වටිනා මෝටර් රථ...., ඉතා පිළිවෙළට සැළසුම් වී නිර්මාණය උන සියලු නගර බලා නිම කළ නොහැකි තරම් පුදුමාකාරය , විශාලය.....


"කොරියාව දැන් ඉතා දියුණු රටක්..... ඔබවහන්සේටත් භාෂාව ඉගෙන ගත්තොත් මෙහෙ කරදරයක් නැතුව වැඩ හිටින්න පුළුවන්.....‘‘


‘‘මෙහේ ඉංග්‍රීසි භාෂාව කතා කරන අය හරි අඩුයි වගේ....‘‘


‘‘ඔව්... මේ රටේ මිනිස්සු තමන්ගෙ භාෂාවට තමයි වැඩි වටිනාකමක් දෙන්නෙ.... මේ මිනිසුන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න උවමානවක් නැති තරම්.... තරුණ ළමයි තමයි ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න උත්සාහ ගන්නෙ..... පරණ මිනිස්සු නම් ඉංග්‍රීසි කතා කරන අයටත් කැමැති නෑ....‘‘


‘‘ඒක නම් ඇත්ත. ගුවන්තොටුපළේ දී මං ඉංග්‍රීසියෙන් ලියල දුන්නා ලිපිනය සහිත කොළය, රියදුරු මහතා අතට අරන් ඈතට විසි කලානේ.....‘‘


‘‘හා... හා... ඒක තමයි. මේ වයසක මිනිසුන්ට ඉංග්‍රීසි භාෂාව නයාට අඳුකොළ වගේ.....‘‘


කතාවෙන් කතාවෙන් අප පැමිණියේ කොරියාවේ ගමක පිහිටා තිබූ පන්සලකට ය.... එය පොඩි කඳු මුදුනක පිහිටා තිබිණි. වාහනය පාර අද්දර නැවැත්වූ සුමේධ..., මාවත් අඩගසාගෙන පන්සලට යන පඩිපෙළ දිගේ නගිමින් ඉහළටම ගියේය.....


‘‘හරිම නිදහස් තැනක තිබෙන පැරණි පන්සලක්.....‘‘ අවට සුන්දරත්වය දෙස බලමින් මම කීවෙමි .

"මාත් කොරියාවට ආව මුල් කාලේ මෙතන නැවතිලා හිටියා.... ඒ නිසා මේ පන්සලේ කොරියානු ලොකු හාමුදුරුවෝ මං හොඳින් අඳුනනවා..... ගිහින් බලමු ටික දවසක් විපස්සි හාමුදුරුවන්ට මෙහේ නවාතැන් ගන්න පුලුවන්ද කියලා.....‘‘

හෙල්මළු ක්‍රමයට තනා ඇති කන්දේ වටේටම එළවළු වගා කර ඇත .... පන්සලට යා යුත්තේ ඒ හෙල්මළු ක්‍රමයට එළවළු වගා කර තිබූ පාර මැද්දෙනි.... පාරට වැලිගල් අල්ලා සාදා ඇත..... පුංච් කන්දේ උඩ ඈතට පේන විහාරය කොරියානු නිර්මාණ ශිල්පය අනුව තනා ඇත..... ආරුක්කු බූරුක්කු , බීරලු දමා සාදන ලද වහලය කළු පාට උළු යොදා ඇත. කුරුල්ලෙකුගේ හැඩය ඇති කැටයමකින් වහලේ කොන් උස්සා සාදා ඇත .... එය බලන්න ලස්සන, විසිතුරු ගෘහ නිර්මාණයකි..... අවට කඳු බිම්වල ඇති කොළ පාට පෙණුම අතර, ආරුක්කු, බූරුක්කු බීරුලුවලින් සාදා ඇති රත්තරං පාට හා රතුපාට පන්සල කැපී පෙනෙයි....... පන්සලේ බිත්ති අතර ඇති රතු පාට කණු හා බිමට යොදා ඇති සුදු කිරි ගරුඬ ගල්, නොයෙකුත් පාට යොදා ඇති බිත්ති කැටයම් බලන්න සොඳුරු දසුන්ය.....


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page