✈එතෙරින් එතෙරට✈️ (25 වෙනි කොටස )
- Prisila Godahewa

- Dec 3, 2021
- 8 min read
අහසේ හතර වටෙන් ඉර එලිය වැටීගෙන එනවිට, පාරේ කඩපළක් අයිනේ නිදියගෙන හිටි මම එතනින් නැගිටගත්තෙමි. මගේ ඝනකම් පොරොවනය නැවත ඔතා බෑගයට දමාගත් මම, අද දිනයේ මගේ දවස කෙසේ ගෙවියයිද කියා සිතන්න පටන් ගත්තෙමි. මේ වන විට කඩපළ ඉදිරිපසින් වැඩරාජකාරී සදහා මිනිසුන් එහෙ මෙහේ යන්න පටන් ගෙන ඇත. කොරියානුවන් උදේ පාන්දරින් වැඩ රාජකාරි ආරංභ කරන හැඩයි....
උදේ පාන්දර මුහුන කට සෝදාගන්න අවශ්‍ය තාවය උවමනාව තිබුනත්.... අවට තිබෙන සාප්පු සංකිර්ණය අරින තුරු ඉවසිය යුතුය.....මම වාඩිවි සිටි කඩපිල් කන්ඩිය මතින් නැගි සිට, පාරේ තිබුන බංකුවක් ලඟට ගොස්, එහි වාඩිවී කිට්ටුව තිබුන සාප්පු සංකීර්ණයේ දොරවල් අරින තුරු නොවිසිල්ලෙන් පසුවුනෙමි.
උදෑසන අට විතර වනවිට සාප්පු සංකිර්ණයේ දොරවල් එක දෙක ඇරෙන්න පටන් ගත්තේය.....ඒ තුලට යන්න නොවිසිල්ලෙන් බලාසිටි මම, ඒහි ගොස් මූනකට සොදා සියලු අවශ්‍ය තාවයන් ඉශ්ට කරගත්තෙමි.
සියලු කටයුතු ඉවර කරගත් පසු, ඇඟට සැහැල්ලුවක් හා අලුත් බවක් දැනින....පසුගිය දින දහවල් ආහාර ගත් පසු...., කිසිවක් කන්න බොන්න නොලැබුන නිසා, මේ වනවිට තද බඩගින්නක් දැනෙමින් තිබුනි. සාප්පු සංකීර්ණයේ කෑම කඩ තිබුනු පැත්තට ගොස්, පැනි රස බනිස් ගෙඩි දෙකක් කෙසෙල් ගෙඩියක් සහ කිරි කෝපි කෝප්පයක් ගෙන වැළදුවෙමි. අද දින උදේ සහ දවල් ආහාර දෙකටම මෙය ඇති වේවා යැයි සිතමින්.... මගේ අතේ ලංකාවෙන් මාරුකරගෙන ආ මුදල් ඇත.... . නමුත් ඒවා පරිස්සමින් ,අරපිරිමැස්මෙන් පාවිච්චි කල යුතුය..... මේ රටේ පිලිවෙලක් වෙනතෙක් මම මේ මුදල් නාස්ති නොකර පාවිච් කල යුතුය....
උදේ ආහාරය ගෙන සාප්පු සංකිර්ණය තුල , එහෙ මෙහෙ ඇවිද්දේ දැන් මොනවා කල යුතුදැයි සිතමින්....
හදිසියේ මගේ සිහියට නැගුනේ, මෙරටේ වැඩ හිටිනවා යැයි කියපු ලංකාවේ ස්වාමීන් වහන්සේවයි.... ඊයේ උන්නාසේට කතා කරගන්න බැරි උනත්, අයෙත් වතාවක් උත්සහ කර බැලිය යුතුයැයි සිතේ......
මම සාප්පු සංකිර්ණයේ දුරකතන පහසුකම් තිබෙන කඩයක් සොයා ගොස්, එවැනි කඩයකට ගොඩවුනෙමි.
මම ඊයේ ලෙසම දුරකතන නොම්බරය එහි සේවය කරන්නෙකුට දී බලා සිටියෙමි..... දුරකතන අංකය කරකවා මා අතට රිසිවරය දුන් විට මම එය කනේ තියාගෙන ගැහෙන හදින් උන්නෙමි.....
දුරකතනයෙන්
" පීක්, පීක්,
හඩ දිගටම ඇසී නතර වුනේ ඊයේ ලෙසමය..... මම තව පාරක් දුරකතන නොම්බරය ඇරන් දෙන ලෙස ඉල්ලා දුකෙන් බලා සිටියෙ, කොරියාවට ඇවිත් මේ ගෙවි යන තුන්වන දිනයෙන් පසු මට කුමක් වේදැයි සිතිමින්.... මගේ හිතේ, මා ගැනම ඇත්තේ කියාගන්න බැරි දුකකි....
එවර මම දුරකතනය කනේ තියාගෙන ඉදිදිදී.....එහි පීක් පීක්..... නද, ඉවර වෙන්නට ප්‍රථම එහි එහා පැත්තෙන් ගෑනු කටහඬක් ඇසිණි.....
මම මෙවර කතා කර ඇත්තේ වැරදි නොම්මරයකට යැයි සිතී මට හොඳටම දුක සිතින..... මම පන්සලක වැඩ වෙසෙන සුමේධ හාමුදුරුවන්ට කතා කළද, දුරකථනයෙ අනෙක් පැත්තෙන් අමතනුයේ ගැහැනු කෙනෙකිය.....
‘‘හලෝ...‘‘
‘‘හලෝ... මට සුබෝධ හාමුදුරුවන්ට කතා කරන්න පුළුවන්ද? මම දන්න ඉංග්‍රීසියෙන් ඇසීය.
‘‘කවුද ඔය කතා කරන්නේ….? ‘‘ එහා පැත්තෙන් සිංහලෙන් කතා කරනවා ඇසී මට දැනුන සතුට කියා නිමකල නොහැකි විය.
"මම නුවර පන්සලේ විපස්සි හාමුදුරුවෝ....... ලංකාවේ ඉඳන් පෙරේදා කොරියාවට වැඩම කලේ.....‘‘
"එහෙමද එහෙනම් පොඩ්ඩක් ඉන්න....."
යැයි කිවූ ඇය දුරකතනය බිමින් තියා යනවා මට දැනිණි.....
තප්පර ගනනක් ඇතුලත දුරකතනයේ අනිත් පැත්තෙන්….
"හලෝ කවුද කතා කරන්නේ…..? ඉන් පසු පිරිමි කටහඩක් ඇසිනි.
“මම විපස්සි හාමුදුරුවෝ..... ලංකාවේ ඉඳන් පෙරේදා කොරියාවට වැඩම කලේ..... මට ඔබවහන්සේගේ ටෙලිෆෝන් නොම්බරය දුන්නෙ ඇමෙරිකාවේ සීලවංශ හාමුදුරුවෝ..... මට ලොකු කරදරයක් වෙලා ඉන්නේ…... ඉන්න තැන ප්‍රශ්නයක්. මට ටික දිනකට නවතින්න තැනක් හොයා ගන්න පුළුවන්ද අහන්න කෝල් කළේ..... මගේ ළඟ සල්ලි තියෙනවා, නවාතැන් ගාස්තු ගෙවන්න පුළුවන්. නවතින්න තැනක් හරියට හොයා ගන්න බැරි කොරියානු භාශාව, හරියට කතා කරගන්න බැරි නිසයි…..‘‘
‘‘එහෙමද...? අපේ ලංකාවේ භික්ෂූන් වහන්සේ නමක් අමාරුවේ වැටුණු වෙලාවට උදවු උපකාර නොකර බෑනේ…...හාමුදුරුවනේ ඔබවහන්සේ මට ඉන්න තැන ඇඩ්ඩ්‍රස් එක කියන්නකෝ... ඔබවහන්සේ ඉන්න තැනට එන්න පුළුවන් දුරකින් ද මම ඉන්නෙ කියලා බලන්න…..”
මම දැනට මඟ නැවති ඉන්න සාප්පු සංකිර්නයේ නම හා ඒ පාළාතේ නම ඉංගිරිසියෙන් කොලේක ලියා ගෙන උන්නේ, උන්වහන්සේට කතා කරන්න ප්‍රතමය.... උන්වහන්සේට ඒ පළාත ගැන මම කීවෙමි.
“අපොයි... බොහෝම දුරක ඔබවහන්සේ වැඩ හිඳින්නෙ. කිලෝමීටර් 100ක විතර දුරක් නේ…... මොකද දැන් කරන්නෙ....? ඔබ වහන්සේට මම ඉන්න පලාත හොයාගෙන බස් එකක, කෝච්චියක එන්න අමාරු වෙයිනේද..…අපේ කෙනෙක් අමාරුවේ වැටුන වෙලාවට උදව් නොකරත් බෑනේ…... එහෙනම්, මම ඔබ වහන්සේ ඉන්න පැත්තට වාහනයෙන් එන්නම්…...හැබැයි මට ඔය පැත්තට එන්න පැයකට වැඩි කාලයක් ගතවෙයි.... ඔබ වහන්සේට ඔය ඉන්න තැනම පැය දෙකකට කිට්ටු කාලයක් ඉන්න පුලුවන් වෙයිද ....?
"එහෙමයි,... එහෙමයි.....මට පුලුවනි … ඔබවහන්සේට කරදරයක් නැත්නම් මට උදවු කරන්න..... ගොඩක් පිං සිද්ද වෙනවා.... මම දන්න කියන වෙන කවුරුවත් මේ රටේ නෑ.... උදව්වක් ඉල්ල ගන්න වත් ...….."
‘‘හොඳයි එහෙනම් ඔබවහන්සේ ඔය කියපු සාප්පු සංකිර්ණය ඉස්සරහටම වෙලා ඉන්න.....පැයක් ඇතුලත මම ඔතනට එනකම් ඉන්න..... කොහේ වත් යන්න එපා...... ඔතනම ඔහොම ඉන්න, නැත්නම් මග ඇරෙයි….. මම ඉක්මනට එන්න බලන්නම්…..”
“‘බොහොම පිං ඔබවහන්සේට......‘‘
උන්වහන්සේ සමඟ ටෙලිෆෝනයෙන් කතා කර එය බිමින් තිබ්බ පසු, හිතට ඇතිවුනේ පුදුමාකාර සැහැල්ලුවක් මිශ්‍ර සතුටකි.....
කොරියාවට ගොඩ බැස දවස් තුනකට පසු,සිංහලෙන් කතා කරන කෙනෙක් හමුවීම....විශේෂයෙන් ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සමඟ, කොරියාවේදී කතා කරන්න ලැබීම, කොයිතරම් නම් ලොකු දෙයක් ද? උන්වහන්සේ නැවතී සිටින පන්සලේ ටික දවසකට හරි මට ඉන්න ලැබෙනවා නම්…..කොරියාවේ නවතින්න ආ ගමන අමතක කර ,කොරියානු රට තොට බලාගෙන ආපහු ලංකාවට යන්න වත් බැරියෑ….
ඒත් මට මුලින් කතා කළ ගැහැනු කටහඬ කාගෙද? එහෙනම් ඒ පන්සලේ ඉන්න මෙහෙණින් වහන්සේ කෙනෙකුගේ වෙන්න ඇති..... එහෙනම් සිංහල ලංකාවේ මෙහෙනින් වහන්සේලාත් මෙහෙට වැඩම කර ඉන්න හැඩයි. .....මම තනියම ඒ ගැනත් සිතුවෙමි.
සුබෝධ හාමුදුරුවන් සමඟ ටෙලිෆෝනයෙන් කතා කර දැන් පැයකට කිට්ටු කාලයක් ගොස් ඇත..... සුබෝධ හාමුදුරුවෝ තවත් පරක්කු ඇය්ද දන්නේ නෑ..... මාගේ හිත නැවත ගැහෙන්න ගත්තේ උන්වහන්සේට මේ සාප්පු සංකීර්ණය හොයාගෙන එන පාර වැරදී, ආපසු හැරීවත් ගිහින්ද කියා සිති ......
මේ වන විට උදේ නමය පමණ වි ඇත..... ලොකු වැහි අන්දකාරයකින් අවට පලාත වැසී ගොස් ඇත..... මීදුම සමග ඇති ශීතල විදගන්න අමාරු උනත් සුබෝද හාමුදුරුවන් පැමිනෙන තෙක් මම උන්වහන්සේ ඉන්න කියපු තැනම ශීතලෙන් ගැහෙමින් උන්නෙමි.
අවට මුළු පලාතටම වැටි ඇති මිදුම නිසා, ලයිට් එළි විහිදුවමින් පාරේ එහාට මෙහාට, විවිධ නවීන පන්නයේ වහාන ඇඳී යති..... ඒ පාරේ යන එන වාහන දෙස ගොඩ වේලාවක් බලා හිඳ මගේ ඇස් දෙකත් දැන් රිදෙන ගානය....
ටික වේලාවකට පසු සුදු පාට වාහනයක් පැමිණ මගේ ළඟින් නතර කළේය..... එම වාහනයේ සිටියේ ශීත කාබයක් ඇඳගත් මහත්මයෙක් පමණය.....සුමේධ හාමුදුරුවෝ මාව එක්ක යන්න එනව කිව්වත්, ඇයි මාව එක්ක යන්න වෙන කෙනෙක් විතරක් එව්වේ.......? සැකෙන් බයෙන් මං දෙකට නැමී වාහනය ඇතුළත බැලී ය.
“‘විපස්සි හාමුදුරුවෝ නේද?
“‘එහෙමයි මහත්තයා.... සුබෝධ හාමුදුරුවෝද මහත්තයාව එව්වේ......‘‘?
“‘ඔබ වහන්සේ නගින්නකෝ.... මං ඔබවහන්සේව එක්ක ගිහින් බස්සන්නම්......‘‘ මහත්තයා එසේ කීය.
කොරියාවේදී, සිංහලෙන් කතා කරන කෙනෙක් නිසා කිසි බයක් සැකක් නැතිව මගේ බෑගයද රැගෙන වාහනයට නැගගත්තෙමි. බෑගය පිටි පස්සෙන් තියා මම ඉස්සරහ ආසනයෙන් වාඩි වුණෙමි.....
‘‘ දැන් මොකක්ද හාමුදුරුවන්ට තියෙන ප්‍රශ්නය....? දැන් කවද්ද ඔබ වහන්සේ මෙහෙට වැඩම කලේ...?.මොකටද කොරියාවට වැඩම කළේ....? උවමනාවකටද...? සංචාරය සඳහාද.....?‘‘
“‘සුබෝධ හාමුදුරුවො මහත්තයාට කිව්වද මට ප්‍රශ්නයක් තියෙනවා කියලා.....?‘
“‘මං තමයි සුබෝධ..... මං කොරියාවට ඇවිත් අවුරුද්දකින් පමණ සිවුරු ඇරියා..... සිවුරේ ඉන්න පුළුවන්කමක් නැතුව ගියානේ…..."
මගේ හිත ගැස්සිණි. මම සුබෝධ මහතා දෙස බැලුවේ අපහසුවෙනි ..... ඔහු ඩෙනිම් කලිසමක් ඇඳ, සපත්තු දාගෙන ලොකු ශීත කබායක් දා බූල් තොප්පියක්ද පැලද හිදියි......ඔහු ඔහුගේම වාහනය එළවන බවක් මට හැඟින..... කවුරු කොහොම කිව්වත්,....කවුරු කොහොම උනත්...... මේ අවස්තාවේ හැටියට මට අවශ්‍ය උනේ, මට උදව් කරන කෙනෙකු පමනි...... උන් වහන්සේ සිවුරේද…..සිවුරු හැරදමාද යන්න මට ප්‍රශ්නයක් නොවිය. මම දැන් වැටි සිටින කරදරකාරී අවස්තාවේ, කවුරු හෝ මට උදව් කරොත් මට ඇතිය......
‘‘එහෙමද? මම පෙරේදා මෙහෙට වැඩම කලේ…... මට මේ රටට වඩින්න, වීසා හදාගන්න ලියුම එවපු පන්සලට මම ගියා මුලින්ම....... මට මෙහේ භාෂාව කතා කරන්න බැරි නිසා මං ගිය පන්සලේ හාමුදුරුවරුන් සමඟ මට හරියට කතා කරගන්න බැරි උනා. උන්නාන්සේලාටද මාව ප්‍රශ්නයක් උන බවක් පෙනුනේ....ඒ නිසා මාව ගණන් ගත්තෙ නෑ......එදා රෑට විතරක් එහෙ නැවතිලා ඉඳලා යන්න කිව්වා...ඉතිං ඊයේ උදේම මම එතනින් පිටත් වෙලා මේ දැන් හිටිය ටවුමට බස් එකකින් වැඩියා.....
ඊයෙ රෑ මේ සාප්පු සංකිර්ණය පිටිපස්සේ කඩයක් අයිනේ තමයි නිදාගත්තේ…...මට කතා කරන්න භාශා ප්‍රශ්නය තියෙන නිසා, නවතැනකට යන්න බය හිතුනා, ගනන් හිලව් කතා කරගන්න බැරි නිසාත්...., අතේ තියෙන මුදල් මදිවෙයි කියලත් බය හිතුනා.. .... සුබෝධට පුළුවන් නම් මට ලංකාවේ ස්වාමීන් වහන්සේලා වැඩ හිටින පන්සලක, ටික දිනකට නවාතැනක් හොයලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් ..... මම ලඟ සල්ලි ටිකක් තියෙනවා.... භාශාවෙ ප්‍රශ්නය නිසා දන්න කියන අය ඉන්න තැනක හිටියොත් හොදයි කියලා හිතෙනවා.....තකහනියක් කොරියාවට ආපු එකේ සුමානයක් දෙකක් මේ රටේ ඇවිදලා ලංකාවට වැඩම කරන්න පුලුවන් එතකොට ...."
මේ වනවිට ලංකාවෙන් එනවිට මගේ හිතේ තිබුන කොරියාවේ නවතින අදහස.... මෙහි හිටි දවස් දෙකට තුනට නැති වී ගොස් ඇත.
‘‘දැන් ඔබවහන්සේ කොරියාවට එන්න ඉස්සෙල්ලා දැනගෙන හිටියෙ නැද්ද කොරියානු පන්සලකට වඩින්නෙ කියල......භාශාව නැතුව ප්‍රශ්නයක් වෙයි කියලා හිතුනෙ නැද්ද ...? මෙහේ ලංකාවේ හාමුදුරුවරු ඉන්න පන්සල් නැති තරම්....ඔක්කොම තියෙන්නේ කොරියානු බෞද්ධ ,පන්සල් .....‘‘ සුබෝධ කීය.
‘‘ මම දැනගෙන හිටියා......මම තායිලන්තයේ, ඇමෙරිකාවේ හිටිය කාලේ අපි වැඩ වෙසෙපු පන්සල්වලට, අපි මේ එනව වගේ වෙන රටවල ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා......
... ඒ වෙලාවට උන්නාන්සේලාට අපි හරි හොඳට ගරුසරු ඇතිව පිළිගෙන ආවතේව කටයුතු කරනවා.... මං හිතුවේ කොරියන් පන්සලෙත් ඒ වගේ මාව පිළිගනියි කියලයි...... නමුත් මං භාෂාව නොදන්න නිසාද දන්නෑ අනාථයෙක්ට වගේ මට සැලකුවේ....."
"භාෂාව නොදන්න නිසයි ඔය ප්‍රශ්නය.... මම කොරියාවට වැඩම කල කාලෙත් ඔය විදිහට තමයි මට සැලකුවෙත්..... හොඳ වෙලාවට මම හිටිය කොරියන් පන්සලේ,.... ඒ දවස්වල ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා..... ඒ උන්වහන්සේ තමයි මට ඒ දවස්වල උදවු කළේ..... නමුත් කාලයක් යනකොට වැටහුණා කොරියාවේ බුදුදහමත්, ලංකාවේ බුදුදහමත් අතර වෙනස්කම් බොහෝමයක් තියෙනවා කියලා....."
‘‘ කොහොමත් මම භික්ෂූන් වහන්සේ කෙනෙක් විදිහට කොරියාවට වැඩම කලත් …..මගේ යටිහිතේ තිබුනේ, රස්සාවක් කරලා සල්ලි හම්බ කර ගන්නයි…..”
"‘මට මාස තුනකට වීසා හම්බ වෙලා තියෙනවා...... ටික දවසක් රටතොට බලාකියා ගෙන ඉදලා නැවත ලංකාවට වඩිනවා කියලයි දැන් මම හිතාගෙන ඉන්නෙ‘‘.....
‘‘ඒක තමයි මමත් හිතන්නෙ ඔබවහන්සේට කරන්න තියෙන හොඳම දේ...”‘‘
‘‘එතකම් ඉන්න තැනක් තමයි මට හොයාගන්න ඕනෑ.‘‘
‘‘අපේ ගෙදර ඉඩ මදි..... නැත්නම් ඔබවහන්සේට එහි වැඩ හිඳින්නත් තිබුණා. බලමු දවසක් දෙකක් වත් අපේ ගෙදර වැඩහිඳින්න…... පස්සෙ මම තැනක් හොයල දෙන්නම් ඔබවහන්සේට මාසයක් විතර වැඩ වෙසෙන්න‘‘.....
“‘බොහොම ස්තූතියි සුමේධ... මට උදවු කරන්න හිතුවට...…".
සුමේධ මහත්තයා වාහනය පැය දෙකක් පමණ දුරක් පදවාගෙන ගොස් එය නැවත්වුවේ, තට්ටු නිවාස පේළියක් අද්දරය.....එයින් බැසගත් ඔහු, ඉන්පසු මාව රැගෙන ගියේ තට්ටු නිවාසයක් තුළට ය.... ඒ පලාතේ බලන බලන අත තිබුනේ තට්ටු නිවාසය.... එහි පඩිපෙළ නගින්න අවශ්‍යතාවක් නොතිබුණේය. විදුලි සෝපානයෙන් ඉහළට ගිය අපි සුමේධ මහතාගේ, ගේ දොරකඩ ඉඳගෙන සීනුව ගැසුවෙමු......
දොර ඇරියේ ගැහැනු කෙනෙකිය..... ඇය අතේ පුංචි ළඳරුවෙක් සිටියාය. දරුවාගේ මුහුණ පමණක් පෙනේ...... මුළු ඇඟම වැසෙන පරිදි ශීතල ඇඳුම් අන්දවා ඇත.
"මේ මගේ නෝනා.... හාමුදුරුවො උදේ මුළින්ම කතා කරේ මෙයාට තමයි.....‘‘
‘‘අඳුන ගන්න ලැබීම සතුටක් නෝනා.....‘‘ මම පුංච් දරුවා දෙස බලමින් කීය.
‘‘ඈඳි ගන්න හාමුදුරුවනේ.‘‘
"මේ පුංචි ගෙදර එක කාමරයයි තියෙන්නෙ..... ඔබවහන්සේට දවසක්, දෙකක් නම් මෙහේ ඉන්න පුළුවන්. ඒත් සැතපෙන්න වෙන්නෙ මේ සාලේ, මේ සැටිය උඩ තමයි......‘‘
‘‘අදට විතරක් එහෙම ලැබුනත් කමක් නෑ.... හෙට මට පොඩි තැනක හෝටල් කාමරයක් හොයල දෙන්නකෝ නවතින්න සුමානෙකට දෙකකට විතර.... .‘‘
“‘ අපි එහෙම බලමු හාමුදුරුවනේ ..... හොදටම දවල් උනානේ..... ඔබවහන්සේට බඩගිනි ඇති නේද? උදේටත් කාල නැතුව ඇති මං හිතන්නේ‘‘
"නෑ... නෑ... මං උදේ බනිස් ගෙඩි දෙකක් , කෙසෙල් ගෙඩියක් වැලදුවා.... කෝපිත් බිව්වා.....‘‘
“‘‘එහෙනම් අපි තව කෝපි එකක් බොමු සීතල යන්නත් එක්ක..... , දවල් දානය ලෑස්ති කරනකම්, ඔබවහන්සේට ඇඳුම් මාරු කරගෙන ඇඟපත හෝදගන්න පුළුවන්....අන්න අතන නාන කාමරය තියෙන්නෙ.....‘‘
දරුවා අඬන්න පටන් ගත්තේය. ඇය ගැහැනු දරුවෙක්ය..... පුළුං බෝලයක් මෙන් සුදු කිරිදරුවා සුමේධ මහත්තයා අතට ගත් ගමන් ඇඬිල්ල නතර කළාය....
දිගු ගුවන් ගමනකින් පසු තිබූ තෙහෙට්ටුවත්, දින තුනකට වඩා ඇඟපත සෝදා ගැනීමට නොහැකි වීමත් නිසා මම නානකාමරයට ගොස් උණු වතුරෙන් හොඳින් නාගෙන මාගේ සිවුර හා අඳනකඩය ද කිලිටි ඇදුම් ද සෝදා ගත්තේ ඉදිරි දිනවල මට කොයි වගේ තැන්වල නවතින්න සිදුවේ දැයි නොදන්නා බැවිනි..... සුමේධ මහතා, නෝනා සමග එකතු වී දවල් දානය සකසනව ඇසේ.....
"එන්න හාමුදුරුවනේ තියෙන විදිහට දානය වළදමු...."
මිරිස්මාලු, සුදට උයා අල හා ගෝවාත්, තක්කාලි සම්බෝලයකුත් සමග මම බඩ පිරෙන්න බත් කැවෙමි.
එදින රෑ මට සුමේධ මහතාගේ ගෙදර නතරවෙන්නට කියා ඔහු කීය. ඔවුහු මට පුළුවන් උපරිමයෙන් හොඳින්ම සැලකූහ.....
දහවල් ආහාරයෙන් පසු සුමේධයි මමයි තට්ටු නිවාසයෙන් පහලට ගොස් ඒ අවට මාවත් දිගේ ඇවිද ගියේ අපේ ආගිය තොරතුරු කතා කරමින්..... මීදුම වැටී ඉර අව්ව පේන තෙක් මානයක දක්නට නොලැබේ.... පාරේ අපි ඇවිද ගියේ ඝනකම් උඩ කබා ඇද බූල් තොප්පිද පැලද ගෙනය.
" විපස්සී හාමුදුරුවෝ කොරියාවට ආවේ මෙහේ පදිංචි වෙන්නත් බලාගෙන මද?..."
"එහෙම අදහසක් තමයි මුලින් හිතේ තිබුනේ...., ඒත් දැන් නම් ඒ අදහස හිතේ නෑ…....මම හිතපු තරම් ලේසි නෑ මෙහි භාශාව ඉගෙන ගන්න.... . භාශාව නැතුව මේ රටේ කඩේ කට ගිහින් පාන් ගෙඩියක්වත් මිලදි ගන්න බෑ කියලා මම දැන් තේරුම් ඇරන් ඉන්නේ "
"ඔබ වහන්සේ වගේම තමයි මමත් මුලින්ම කොරියාවට ආවේ...... හැබැයි මගේ හිතේ නම් ඒ කාලේ තිබුනේ වෙන අදහසක්...... මට ඕන උනේ සල්ලි හම්බ කරගෙන ලංකාවට යන්න..... මමත් ඔබ වහන්සේ වගේම විශ්ව විද්‍ය්ලයට ගිය කෙනෙක්නේ…..."
"මට නම් සල්ලි හම්බකරන්න අවශ්‍ය තාවයක් නෑ..... මම අවුරුදු 11 දී විතර මහන වෙන්න පන්සලට ගියාට පස්සෙ මට නෑදෑයෝ, යාලුවො හැමෝම නැතිව ගියා...... පස්සෙ මට හිතවත්ව හිටිය ලොකු හාමුදුරුවොත් නැති උනාට පස්සේ, ටිකෙන් ටික සමහර දේවල් ගැන ඇති වුන කලකිරීම නිසාත් ......ඔය දන්න කියන කවුරුත් නැති පලාතකට ගිහින් ජීවත් වෙන්න ඇත්නම් කියලා හිතට ඇවිත් තිබුනා.... මම හිතන්නේ ඒකයි මේ ගමන ආවේත්..... ඒ උනාට හිතේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් තියෙන්න ඕනේ.... බයෙන් සැකෙන් ජීවත් වෙන්න මම කැමති නෑ…..
"අපි බලමුකෝ විපස්සී හාමුදුරුවනේ මොනවාද කරන්න පුලුවන් කියලා..... " දැන් එහෙනම් ගෙදර යමුද? බබා නැගිටලාත් ඇති. නෝනට කරදරයි බබා නැගිට ගත්තහම "
අපි පාරේ ඇවිද ඉද නැවත තට්ටු නිවාසය වෙත යන විට, සුමේධගේ නෝනා අපට ගිලන්පස ලෑස්ති කර තිබුන.
"විපස්සී හාමුදුරුවන්ට රෑට ගිලන්පස විතරයි මම හැදුවේ ."
"එහෙම හොදයි නෝනා....."
"අද රෑට විපස්සී හාමුදුරුවන්ට අපේ මේ සාලේ දිග පුටුව උඩ තමයි සැතපෙන්න වෙන්නේ.... , මේ රටේ මේ වගේ තට්ටු නිවාස වල ඉඩකඩ හරි අඩුයි. අපේ බබා ලොකු වෙනකොට අපටත් ටිකක් ලොකු ගේකට යන්න වෙයි .....දැනට අපි දෙන්නට මේ ඇති.
"මට මෙහෙම හොදයි…. ඊයේ රෑ මම පාරේ කඩ පිලක නේ නිදා ගත්තේ..... පුදුම සීතලක් තිබුනේ......නින්ද ගියේ නැති තරම්.... අද මෙහේ ආවට පස්සෙ, දින තුනකට පස්සේ නාලා, දවල්ට බත් වැළදුව නිසා නිසා වෙන්න ඇති අදනම් ගොඩක් නිදි මතයි....."
"ගිලන්පස වලදලා එහෙනම් ඔබ වහන්සේ වේලාසන නිදාගන්න ..... අපි සාලේ ලයිට් එක නිවා දමන්නම්."
" හොදමයි....බොහෝම පිං මම වෙනුවෙන් වෙන මහන්සියට..... "
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments