top of page

✈️එතෙරින් එතෙරට✈ (24 වෙනි කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 7 min read

ලංකාවෙන් එන්නට පෙර සිහින මැවු නිදහස් නිවහල් ලෝකය, මට මේ කොරියාව තුල නොපෙනේ ....කොරියානු භාශාව නොදැන, කාත් කවුරුත් නොදන්න රටකට ඇවිත් කරගත් මෝඩකමක මහත සිහිවෙද්දි ඇති වන්නේ මාගැනම කේන්තියකි.... මම කලයුත්තේ හෙට එළිය වැටුණු සැණින් මෙතැනින් පිටව යාමය.


මම මගේ ගමන් බලපත්‍රය හා මුදල් තියෙන පුංචි ගමන් මල්ල කර හරහා දමාගෙනම නින්දට වැටුනෙමි. මම එනවිට ගෙනත් තිබූ ඝනකම් පොරවන රෙද්ද පොරවාගෙන දැඩි සීතලේ ගුලි ගැසෙමින් නිදාගත්තේ උදේම නැගිට මෙතනින් පිටවි යාමට හිත හදාගෙනය.

ඉවසාගත නොහැකි සීතලත්...., මගේ හෙට දිනයත්, ඉදිරි දිනයන්ද කෙසේ ගතකරම්දෝ කියා හිතේ සැනසීමක් නැති නිසා, මුලු රෑ පුරාම පුරාම හරියට නින්දක් නොගියේය.


රටවල් වේලාවන් මාරුවි, නිදියන නැගිටින වෙලාවන් මට උඩයට මාරුවි ඇත.... ඊයේ දිනයේ ගුවන් යානාවේ විත් තවම ඔළුව කරකැවෙන ගතියක්ද ඇත....


පසුගිය දින වේලාසන නිදාගත් බැවින්, උදේ තුනට පමණ ඇහැඇරින.....ඇඟට ඉවසාගත නොහැකි සීතලක් දැනේ....ඇහැරුන ගමන්ම සිහියට ආවේ... මේ පන්සලේ වැඩ වෙසෙන, කොරියානු භික්ෂූන් වහන්සේලා ගැනයි..... කොරියානු භාශාව නොදැන මට තවත් ඔවුන් සමග මෙතන සිටිය නොහැක. ගොළුවෝ වගේ කතා නැති , මූණවල්වල හිනා පොදක් නැති, මිනිසුන් සමග මම කෙසේ තවත් සිටින්නද...?

‘‘ඔව්, මං මෙතැනින් ඉක්මනින් පිට වී යා යුතුයි......


මම මෙතැනින් පිට වී ගොස්, ලංකාවේ සිට මෙහි පන්සලකට වැඩම කර සිටින, භික්ෂූවට දුරකතන ඇමතුමක් දී මම වැටී සිටින තත්ත්වය ගැන උන්නාන්සේට කිව යුතුයි.....ඇමරිකාවේ භික්ෂූව කීවෙත්, හදිසි අවශ්‍ය තාවයක් තිබුනොත් පමණක් උන්වහන්සේට කතා කරන්න කියායි..... මට මීට වඩා හදිසි අවශ්‍ය තාවයක් සිදුවන්නට නැත.....ඔව් අද උදේම උන්නාන්සේට කතා කල යුතුයි.


උන්වහන්සේ මට මුණගැසුනොත්, ටික දවසකට නොමිලේ නවාතැන් ගන්නට තැනක් සොයා ගන්නට..., සමහර විට....හැකිවනු ඇත.... ටික දිනයක් නොමිලේ නවාතැන් ගන්නට ලැබුනහොත් මට, මේ රට තොට බලාකියාගෙන නැවත ලංකාවට වැඩම කල හැක..….ඉන්පසු මම ලබා ඇති උපාධිය ප්‍රයෝජනයට ගෙන, ගුරුපත්වීමක් ලැබ ලංකාවේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු, කලයුතු බව මම සිහිතබා ගත්තෙමි.

උදේ පාන්දරම නැගිටගත් මම,නිදාසිටි මෙට්ටය තිබූ තැනම නැවත තබා, මුහුණකට සෝදාගෙන ආවෙමි. වෙනදා පුරුදු පිලිවෙළටම, උදේ පාන්දර බුදුගෙට ගොස් සිත්සේ බුදුන් වැදගත්තෙමි.


බුදුන් වැද එනවිට, ඊයේ මට රෑ ආහාර වලින් සංග්‍රහ කටයුතු කල භික්ෂූව කොරිඩෝවේදී මට දකින්න ලැබින. මම ඔහුට, මම දැන් මෙතනින් පිටව යන බව අතින් පෙන්නා කිව්වෙමි. ඔහුත් ගොළුවෙක් මෙන් ඔළුව වැනුවේය.


මම නැවති සිටි කාමරයට ගොස්, මගේ ඇඳුම් බෑගයද රැගෙන එළියට ආවෙමි.....කෑම කාමරය දෙසින් ආහාර පිසින ශබ්දයක් ඇසුණ නිසා මම ඒ දෙසට ඇවිද ගියෙමි.... ඒ තුල භික්ෂූන් වහන්සේලා දෙනමක් කෑම ඉවීමේ කටයුතු කරමින් ඉන්නා බව පෙනින.... එහි දොර ලගට ගිය මම මගේ ඇදුම් බෑගය පෙන්වා මම මෙහෙන් යන බව ඔවුන්ට අතින් හා ගොලු බසින් කීවෙමි..... එවිට තරුණ භික්ෂූවක් ,එතනින් එළියට විත් කතා බහක් නැතුවම පැමින මාව පන්සලේ ඉස්සරහ දොරටුව වෙත රැගෙන ගොස්, එහි දොර ඇර දුන්නේය. පසුව මම එලියට ගිය පසු "දඩාස්" ගා විශාල දොර වසා දැම්මේය. ඒ සමගම මගේ ඇඟට දැනුනේ දැඩි ශීතලකී....

මගේ ඇඳුම් බෑගයද රැගෙන පන්සලෙන් එළියට යන තැන ඇති පඩිපෙළ බැසගෙන පහළටම ගියෙමි... . උදේ පාන්දර ඇති දැඩි සීතලේ.... මීදුමෙන් වැසී තිබුන පාරේ දිග පඩිපෙළ බසිද්දි.... අවට මොනවා තිබෙන්නේද කියාවත් නොපෙනින.... පන්සලේ පඩිපෙළ බැස එහි රත ගාල හරහා යද්දී..... දුටු පුංචි පාර දිගේ මම ඉදිරියටම ඇවිද ගියෙමි .... ඒ පාර දිගේ ඇවිද ගිය මට ටිකක් විශාල පාරකට මම අවතීර්ණ උන බවක් දැනින....

මේ ප්‍රදේශය කොරියාවේ ගම්බද ප්‍රදේශයක් බව වැටහේ......මේ වන විට මීදුම යාන්තමට තුරන්වි ගොස් අවට ඇති දේ පෙනෙන්න පටන් ගෙන ඇත.... පාරට ඉහළින් ඇති කඳු වළල්ල.... ඉන් පහලට එකයායට පෙනෙන කුඹුරු යාය, ඊටත් ඈතින් පෙනෙන කහ පාට අබ මල් යාය…. උදේ පාන්දරින්ම ඝනකම් කලිසම් කමිස ඇද කිරි ගොටු හැඩ තොප්පි දමා....උදේ වැඩ ආරංභ කරන්න යන ගොවියන්ගේ දර්ශනයන්..... මට අපේ ගමේ, රටේ ගොවියෝ සිහි විය..... මෙරටේ කුඹුරු ගොවිතැන් කරනා අය බොහෝ සිටිනා බව පෙනේ..... තවමත් අවට මුළු පළාත පුරාම ඇත්තේ මීදුම් අඳුරකි..... සීතල උහුලාගත නොහැකි තරම්ය..... මම තව පය ඉක්මන් කර , ඇවිදගෙන පාර දිගේ ඉදිරියටම ගියෙමි.....

පාරේ ඉස්සරහටම කිසි අරමුනක් නැතුව, ඔහේ ඇවිද යන විට...., ඈත සිල්ලර බඩු කඩයක් වැන්නක් දැක ගන්නට ලැබිනි..... මම පය ඉක්මන් කරමින් ඒ පැත්තට ඇවිද ගියේ නොවිසිල්ලෙනි ....ඒ අවට පරිසරයේ ඇති සීතලෙන් මිදෙන්නවත් හැකිදැයි සිතමින්....සිල්ලර කඩය ලඟටම ගිය මම.... හනි හනිකට ඒ තුලට ඇතුළු උනේමි…....


කඩයේ ඇතුලත කොරියානු ජාතිකයකු එහෙට මෙහෙට යමින් වැඩ වගයක් කරනු පෙනේ....එම සිල්ලර කඩය තුල නානා අතයාවශ්‍ය බඩු සුළු වශයෙන් පෙනෙන්න ඇත.... එහි ඉදිරිපස මේසය කොනක දුරකථනයක් මට දැක ගන්නට ලැබින..... මට ඇතිවුන සතුට කියා නිම කල නොහැකි විය.....ලංකාවේ භික්ෂූවට කතා ක‍රන්නට හොදම අවස්තාව මෙය වේ.......


මම එහි කවුන්ටරය ලඟට ගොස් ගොළු භාශාවෙන් කොරියානු මුදලාලිට මට දුරකතන ඇමතුමක් ගත යුතුබව කීය...... කොරියාවේ වෙසෙන ලංකාවේ හාමුදුරුවන්ගේ දුරකථන නොම්බරය සහිත කොළය, ඔහුගෙ අතට දී, මට කතා කරන්න අවශ්‍ය බව අතින් කනට කටට අත තියා පෙන්වීය.....


ඔහු ඒ නොම්මරය බලා, ඒ දුරකථන ගාස්තුව කොළයක ලියා මට පෙන්වීය..... එය ලංකාවේ මුදලින් ටිකක් විශාල ගානකි. මම විගහින් මගේ බෑගයෙන් මුදල් ගෙන ඔහුට පෙන්වීය.....


ඔහු ඔළුව වනා.... දුරකථනයේ නොම්මර ටික බලා , කරකවා මා අතට රිසිවරය දුන්නේය..... පීප්... පීප්... ගා ටික වේලාවක් තිබූ රිසිවරයේ සද්දය නැතිව ගියේය......


මගේ හිත ගැහෙන්න විය..... වැරදි

නොම්මරයක් වත්ද....? මම රිසිවරය ඔහුට දුන්නෙමි......

ඔහු නැවත දුරකථනයේ නොම්මරය කරකවා මා අතට දුන්නේය..... එවිටද පීප්... පීප්… ගා රිසිවරයේ ශබ්දය නැති වී ගියේය..... දුරකතන අංකය වැරදිද?...මම,කතා කරන පන්සලේ කවුරුත් නැද්ද....?.මට දැනුනේ කියා ගත නොහැකි දුකකි.....


මම දැන් මොකද කරන්නේ…... මට කිසිම දෙයක් හිතා ගන්නට බැරිය. මට දැඩි පිපාසයක් ඇත..... උදේ තේ කෝප්පයක් වත් බොන්නට බැරි විය. නොයෙක් දේ සිතමින් සිල්ලර බඩු කඩයෙන් එළියට විත් මම පාර අයිනේ හිටගෙන කල්පනා කලේ දැන් මොනවද කරන්නේ කියායි........


හතර වටේ තවම මීදුම ඇත...... උදේ අටටත් කිට්ටු වෙන්න ඇවිත්..... පාරේ යන වාහන ගණන ද වැඩි වී ඇත.... කඩේ ඇතුළට මිනිසුන් එකා දෙන්නා ඇවිත් යති..... ඒ ආ මිනිසුන් දෙදෙනෙක් හා ගැහැනියක් මා දෙස බලමින් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් කතා කරති...... මම නැවත කඩේ තුළට ගොස් කඩේ තිබූ බිස්කට් පැකැට්ටුවක් මිලදී ගෙන, එතැන එළියේ තිබූ බංකුවේ වාඩි වී එය වැළඳුවෙමි..... පසුව කඩෙන් කෝපි කෝප්පයක් ද මිලදී ගත්තෙමි..... කෝපි බී අහවර වී මම නැවත මගේ ගමන් බෑගය රැගෙන පාර දිගේ ඇවිද ගෙන ගියේ කිසිම අරමුනක් නැතුව දුකෙන්‍ ය.....

මෙය ඉතා ගම්බද ප්‍රදේශයක් නිසා මට නවතින්න තැනක් සොයා ගන්න අපහසුබව තේරුනි..... අවට පෙනෙන්න ඇත්තේ දුප්පත් මිනිසුන් ඉන්නා බොහොම පොඩි ගෙවල්ය..... ඔවුන් සැවොම වාගේ ගොවිතැන් කරනා ගොවියන් බව වැටහේ..... මම මේ ගමෙන් පිටවී නගරයකට යායුතු යැයි තනිවම සිතුවෙමි.....


පාර දිගේ ඔහේ ඉදිරියට ඇවිද යන විට පාරේ දුවන මගීන් යන බසයක් දැක ගත හැකි විය......බසය නැවත්වු වහා, මම එයට කඩිනමින් නැග ගත්තෙමි..... බස් එක නවත්වන තෙක් එක දිගට යන බව ගොළුවෙක් මෙන් පවසා, මම ටිකට් පතක් මිලදී ගත්තෙමි

කඳුහෙල් , කුබුරු, බට පදුරු යායවල් පසු කරගෙන බසය ඉදිරියටම දුවයි .....


බසයේ ජනේලයෙන් එලිය බලා සිටි මට.....එකදිගට ගිය බසය, ටිකක් නාගරිකරනය වු පෙදෙසකට ආ බව වැටහිනි...... කෑම කඩ ඇදුම් කඩ ආදිය තිබුන කඩ මන්ඩියක් දැක මම කළබලේ බසයෙන් බිමට බැස ගත්තෙමි ....


මේ වෙන විට දහවල් එකොලහට පමන වි ඇතැයි මට සිතේ..... මගේ ලග ඇති ඔරලෝසුවේ තාම ඇත්තේ ලංකාවේ වේලාවය..... ලංකාවේ හා කොරියාව අතර ඇති කාල පරාසය, හිතෙන් ගනන් බලා මම වෙලාව අනුමාන කලෙමි.....

ඊයේ සිට හරි හමන් ආහාරයක් මට වළදන්නට නොලැබුන නිසා..... අද නම් දහවල් ආහාරය සඳහා මම මොනවා හරි මිලදීගෙන කෑමට ගත යුතු යැයි සිතා ගත්තෙමි.....


බසයෙන් බැස ගත් මම කඩ වීදීයේ..... කඩ පේලී අතර කිසිම අරමුනක් නැතුව ඔහේ ඇවිදයන විට, කෑම කඩේක ගසා තිබුන බෝඩ් ලෑල්ලක ඇද තිබු බිත්තර තෙමතෙම්පරාදු බතක් දැක මම එම හෝටලයට ගොඩවැදුනෙමි.....


එහි තිබුන මේසයක කොනක මම වාඩි වුන කල...... තරුණ වේටර් වරයකු පැමින මගෙන් කොරියානු භාශාවෙන් මොනවාද ඇසීය....

මට ඒ භාශාව තේරෙන්නේ නැති බව පවසා බෝඩ් ලෑල්ලේ තිබුන බිත්තර බත මම ඔහුට පෙන්නුවෙමි..... ඔහු ඔලුව වනා හොදමයි කියන ලෙස මුලුතැනට ගියේය.....


තවම කෑම කඩය තුල ඒ හැටි සෙනගක් නැත. ඉන්න දෙතුන් දෙනාද හරි සද්දෙට කතා කරති......


වැඩි වේලාවක් නොගොසින්ම මම පෙන්නපු බිත්තර බත මගේ මේසයට ආවේය...... බත සමග ලොකු එළවලු සලාදයක් හා විවිධ ආකාරයට හදපු පුංච් දීසි තුනක් ආවේය..... මේවා මම ඇනවුම් නොකලද, ලොකු බඩගින්නක් තිබු නිසා මම සළාදද කන්නට පටන් ගත්තෙමි....ගෝවා, රාබු වැනි එළවළු වලින් හදන ලද අච්චාරු වැනි රසක් ඇති අනෙක් ඒවාද මම වැලදුවෙමි.....


බිත්තර බතට ඉරිඟු ඇට, ග්‍රීන්පීස් ලූනු කොල ,බිත්තර දමා සාදා තිබුන අතර එය නම් හිතුවට වඩා රසැතිය.... හැබැයි බත් පීරිසි එකහාමාරක් පමන සුලු ප්‍රමාණයක් පමණයි එහි තිබුනේ..... නමුත් පුංච් දීසි වල තිබූ රාබු කොළ හා අල, බතල තිරූ, නොදන්නා සලාද කොල වර්ග සමඟ බත් කෑ නිසා,බඩ හොදින් පිරින..... මම ඒ සියල්ල ඉතුරු නොකර කෑවේමි. ආයෙත් කොයි වේලෙක කන්න ලැබේදැයි නොදන්නා බැවින්.....

හෝටලය ඇතුලත හොදින් උනුසුම් කර ඇති නිසා ඇඟට පහසුවක් දැනේ..... කඩෙන් එලියේ ඇති දැඩි ශීතල නිසාත්, මට යන්නට හදිස්සියක් නැති නිසාත් මම හෙමිහිට කෑම වැළදුවෙමි.....


හොදින්ම බඩ පිරුණ පසු මා ලග තිබුනු හිස් වතුර බෝතලයට වතුරද පුරවාගෙන කෑම බිල ගෙවා දැම්මෙමි....... කෑම බිල නම් හිතපු තරම් ලොකු බිලක් නොවිය....


නැවත කඩෙන් එළියට විත් මහ පාරට අවතීර්ණ විය....එලියේ ඇත්තේ බොහෝ සීතලකි.... අරමුනක් නැතුව මම ඔහේ ඇවිද ගියෙමි .....


ඒ යන කල, මට සාප්පු සංකිර්ණයක් දැක ගත හැකි විය.....මම විගහින් ඒ තුලට පිය නැගුවෙමි.......එහි ඇතුලට ගිය කල, නැවත ඇඟ උනුසුම් විය..... කරන්න දෙයක් නැති , අරමුනක් නැති මම ඔහේ එහි ඇවිද ගියෙමි .....


විශාල සාප්පු සංකීර්ණයේ ඇති සුන්දරත්වය විදින්න තරම් හොද, මානසිකත්වයක නොසිටි මම පැය ගානක් ඔහේ ඒ තුල ඇවිද ගියෙමි ......ඇස් දෙක අදහාගත නොහැකි නවීන පන්නයේ සාප්පු සංකීර්ණය තුල වටිනා ඇදුම් ඇදගත් මිනිසුන් එහෙ මෙහෙ ඇවිද යති.....කළබල කාරී පරිසරයක පෙනුම එහි ඇත ....


පැය ගානක් එහි ඇවිද ගිය මම අවසානයේ එයින්

එලියට ආවෙමි....., සාප්පු සංකීර්ණයෙන් එළියේ හතර අතම අදුර වැටි තිබෙන හැටි පෙනේ ....


කාත් කවුරුත් අදුනන කෙනෙක් නැති රටක, සුළු මුදල් ප්‍රමානයක් අතේ ඇති මම..... දැන් මොනවා කරන්නේද කියා මට සිතා ගැනීමට නොහැක......අද රෑ මම කොහේද නවතින්නේ.....? දවල් හොදින් බත් කෑ නිසා බඩගින්නක් නම් ඇත්තෙම නැත..... කොහොමත් රෑට නොකා ඉදීමේ පුරුද්ද ඇති නිසා..... කෑමෙන් ප්‍රශ්නයක් ඇත්තේ නැත.....අඳික සීතල නිසා දාඩිය නොදැමු නිසා ඇඟපත හෝදා ගැනීමට අවශ්‍යතාවයක්ද නැත. අනිත් අවශ්‍ය තාවයන් සාප්පු සංකිර්ණය තුල ඇති වැසිකිලියේදී ඉටුකරගෙන, මුහුණ කට සෝදා ගත් නිසාත්, තුවායක් උනුවතුරෙන් හෝදා, ඇඟපත හොදින් පිහිදා ගත් නිසාත් පොඩි නැවුම් ගතියක් ඇතිවි ඇත …... දැන් අද රෑට මම කොහේද නවතින්නේ…..? හෝටල් කාමර තුල නැවතීමේ පුරුද්දක් මට ඇත්තේම නැත.... ඒවාට ගෙවන්න තරම් මුදලක්ද මට නැත. අතේ තියෙන මුදල මම කෑමට වත් තියා ගත යුතුය.....දැන් රෑට නවතින්නේ කොහේද...? එයයි මට දැන් ඇති ලොකුම ප්‍රශ්නය…...

සාප්පු සංකිර්ණයේ කඩවල් වසාගෙන යයි..... එහි සේවකයන් ගෙවල් බලා යන්න පටන් ගෙන් ඇත. හතර අතම කළුකර ඇත....එන්න එන්නම අවට ඇති සීතල වැඩිවේ....


සාප්පු සංකීර්ණයෙන් හෙමිහිට එළියට ඇවිද ආ මම, වැඩිය මිනිසුන් නැති මාවතක් පැත්තට ඇවිද ගියෙමි.....ඒ පාර දෙපැත්තේ ඇති කඩපේළී වසා දමා ඇත....කඩ වීදියේ ඇත්තේ පාළු බවකි...... කඩ පේළි ඉදිරිපිට මිනිසුන් එකෙක් දෙන්නෙක් නිදාගන්න සැරසෙනවාද පෙනේ.... ඒ නම් හිඟන මිනිසුන් වෙන්නට ඇත ..... මම ඒ කිට්ටුවට ගොස් ඒ මිනිසුන් දෙස බලා සිටියෙමි.....


සාප්පු සංකිර්ණ ඇතුළත මෙන්ම මේ පාරවල් දෙපැත්තද, හොදින් අතුගා පිරිසිදුව ඇති හැටි පෙනෙයි..... මේ මිනිසුන් ලෙස මටත් අද රෑ මෙතන නවතින්නට හැකිනේ.....මගේ හිත අද රෑ මෙතන මට නවතින්න කියයි.....


මම හෙමිහිට ඒ මිනිසුන් ඉන්නා කිට්ටුවට ගොස්...... මගේ බෑගය බිමින් තියා ඒ ලඟින් බිම වාඩි ගත්තෙමි.


ටික වේලාවක් සීතලේ එසේ බිම වාඩිවි උන් මම...., මගේ ඇඳුම් බෑගය ඇර එයින් ඝනකම් පොරොවන දෙක රැගෙන, ඔලුවේ සිට ඒ දෙකම පොරවගෙන මගේ බෑග් යත් කාටවත් නොපෙනෙන්න රෙද්දෙන්ම වසාගෙන කඩ පිලේ ඇලවුනෙමි....


අවට පරිසරයේ ඇත්තේ කියා නිම කල නොහැකි ශීතලකී..... ශීතල අමතක වෙන්නත් එක්ක මම, පොරෝනය තුල ගුලීවී ඉදගෙනම, තුන් සූත්‍රය කියා භාවනා කරන්න පටන් ගත්තේ ඉන්නා ඉරියව්වෙන්මය.....


මම කල භාවනාව නිසා ඇඟට දැනුන ශීතල ටිකෙන් ටික මග හැරි යන්නට විය..... පසුව හිටි ඉරියව්වෙන්ම නින්ද ගියේ.....

කඩ පිල්කඩ උඩය.... .


-නැවත අඟහරුවාදාට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page