top of page

✈️එතෙරින් එතෙරට✈ 22 වෙනි කොටස

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 7 min read

පැය ගණනක ගුවන් ගමනකින් පසු මම, කොරියාවේ සෝල් නගරයට සැපත් විය....


සෝල් නගරයේ විශාලතම ගුවන් තොටුපළ වන්නේ ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. එය දේශීය හා ජාත්‍යන්තර ගුවන් සේවා 80 කට අධික සංඛ්‍යාවක කේන්ද්‍රස්ථානයක් ලෙස සේවය කරන බව මම දැනගෙන උන්නෙමි.


කොරියානු ගුවන් තොටුපොළට ගොඩ බැස්ස පසු සිංගප්පූරු ගුවන් තොටුපොළ මට අමතක විය.......Incheon ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලොව හොඳම ගුවන් තොටුපළ පර්යන්තය ලෙස නම් කරන ලද්දකි....ඒ ගුවන් තොටුපළ පර්යන්තයන් ඇතුලේ විවිධ සංස්කෘතික ප්‍රසංග සහ සම්භාව්‍ය ප්‍රසංග පවත්වයි..... කොරියානු සම්ප්‍රදායික සංස්කෘතික අත්දැකීම් මධ්‍යස්ථානයකද එහි ඇත. කොරියානු අත්කම් සාදන ආකාරය ඉගෙන ගන්න, හැන්බොක් (සාම්ප්‍රදායික ඇඳුම්) සහ සම්ප්‍රදායික කොරියානු සංගීතයද රසවිඳින්න හැකිය.....

ගුවන් තොටුපලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණ සහ කොරියානු අවන්හල්, කැෆේ සහ ක්ෂණික ආහාර අලෙවිසැල් ඇතුළු විවිධ භෝජනහාල් විශාල වශයෙන් දක්නට ඇත. මම දැන් වැඩ වෙසෙන්නේ ලෝකයේ හොදම ගුවන් තොටුපොළ පර්යන්තය ඇතුලතය.....


ගුවන් යානයෙන් බැස බොහෝ දුරක් මට, ගුවන් තොටුපොළේන් එලියට යෑමට ඇවිදගෙන යා යුතු විය......ගුවන් තොටුපොලේ ඇතුලත සිරි නරඹන්නට තරම් හිතට නිදහසක් මට දැන් නැත. මගේ තල්ලු කරගෙන යන ගමන් බෑගය එතරම් විශාල නොවු නිසා, මට එය ඇදගෙන යාම අපහසුවක් නොවිය....එයත් තල්ලු කරගෙන,

ගුවන් තොටුපොළේ ගසා ඇති මාර්ග සළකුණු ඔස්සේ මම පොදු වාහන හා කුලී රත තිබෙන පැත්ත සොයමින්, බලමින් ඒ පැත්තට ඇදුනෙමි.....


ගුවන්තොටුපළෙන් එළියට බැස ගත් මට ඇඟට දැනුන දැඩි ශීතල නිසා...., මගේ ගමන් බෑගය ඇර ඉක්මනින් ම ශීත කබායක් ඇඳ ගත්තෙමි.....

කන වැසෙන පරිදි බූල් සහිත හිස් වැසුමක් දාගත් මම, බෙල්ල වටා ඝනකම, ශීතලට දමන බූල් ස්කාෆ්යක් ද ගැට ගසා ගත්තෙමි. ඇමෙරිකාව තරම් නොවුණත්, ඒ කාලයේ කොරියාවේද දේශගුනය දැඩි සීතල ගතියකින් යුක්ත විය.

ඇමරිකාවේදි ශීත කාලගුණය ගැන හොද වැටහීමක් තිබුන බැවින් එය මට අද පහසුවක් වි ඇත....


ගුවන් තොටුපොලේන් එළියට බැසගත් මට, ඒ අවට වටේටම මීදුම වැනි දුමාරයක් වැටි ඇති බවක් පෙනින.... නගරය අවට ඇති දුමාරය වැහි බීරමක ලකුණු පෙන්වයි.....බලන බලන අත අහස උසට නැගි සිටින, විවිධාකාර හැඩයේ විශාල නවීන ගොඩනැගිලි රාශිය....පුළුල් හා හොඳින් නඩත්තු කරන ලද ඈතට විහිදි ගිය අධිවේගී මාර්ග පද්දති , සුන්දර පිරිසිදු නගර නිර්මාණයන් දකින කල .....,මෙයට දශක කිහිපයකට පෙර ජරා ජීර්ණ වූ මුඩුක්කු පිරුණු ප්‍රදේශයක් “කොරියාව” යනුවෙන් හැදුන් උනේ කෙසේ කියා සිතා ගැනිමට නොහැකි විය...... ඒ කාලයේ අතිශය දුප්පත් රටක් ලෙස තිබු කොරියානුවන් ගේ පැතුම වි ඇත්තේ , ලංකාව වැනි රටක් වන්නට කියාද මම අසා ඇත්තෙමි.....එවන් රටක්......අද වන විට ගොස් ඇති දුර.... ඔවුන්ගේ විශිෂ්ඨ හැකියාවන් හා නොපසුබට උත්සහයන් හමුවේ, මෙතරම් දියුණුවක් කරා දකුණු කොරියාවට ලඟා වීමට හැකියාව ලැබි ඇත්තේ ඔවුන් අනුගමනය කල සුවිශේෂි විද්‍යා ක්‍රම , තාක්ෂණ ක්‍රම , නවෝත්පාදන මුලික කරගත් ආර්ථික ක්‍රම, ආර්ථික නිෂ්පාදන අපනයනයන් වැඩිකර ගැනීම හා නව බලශක්ති ක්‍රම වන්නට ඇති..... ,

අධිතාක්ෂණික ක්‍රමවේදයන්ගෙන් ඉහලින් ඉහලට ගොස්, දියුණුවෙන් දියුනුවට පත්

මෙතරම් දියුණු රටකට ඇතුළු උන මම.... දැන් කොයි අතකට යම්දෝ කියා හිතට සැකයක්

ඇතිවි ඔළුව හිරි වැටි ඇත ..... කාත් කවුරුත් නොදන්නා, නොඉන්නා රටක මම දැන් තනිවි ඇත..... මම දැන් කුමක් කරම්දො කියා හිතා ගැනිමට බැරි තරමට අසරණ උන ගානය......මේ වන විට දහවල් දොළහ පසු වි ඇති බවක්, නගරයේ ගොඩනැගිල්ලක ඇති විශාල ඔරලෝසුවක්, පෙන්නුම් කරයි....නමුත් දහවල් දානය නොවැළදුවත් බඩගින්නක් නොදැනේ ... ඇඟට දැනෙනෙ උහුලාගත නොහැකි සිතලකි, හිතේ ඇතිවි තිබුන බය සැක නිසා බඩගින්නක්වත් නොදැනෙන්නේ.....


දකුණු කොරියාවේ මා යා යුතු විහාරය සොයා දැන් මෙතනින් නික්ම යා යුතුය..... මම කෙසේ එම පන්සල සොයා යායුතුද කියා තේරුමක් දැන් නැත.....ලංකාවේන් එන කල හිතේ තිබු ශක්තිය උනන්දුව දැන් දියවි ගොස් ඇති හැඩක් දැනේ....ලංකාවේදි අමාරුවෙන් ඉගෙන ගත්, කොරියානු බසේ වචන දෙක තුනක් වත් දැන් සිහියට, කටට නොඑයි.....


මම යායුතු පන්සල සොයා පොදු වාහනයක ගියහොත් මගේ දුර්වල කොරියානු බස නිසා, අපහසුකම් රැසකට මුහුන පාන්නට සිදු වනු ඇත .... එම නිසා මම දැන් කොරියානු පන්සලට යායුත්තේ , කුලී රතයකින් බව තේරුම් ගියේය......


ඒ අනුව, ගුවන් තොටුපොලේ සිට, කුලීරත පොළ සොයමින් මම ඒ දෙසට ඇවිද ගියෙමි..... ගුවන් තොටුපොලේන් එළියේ, එහෙ මෙහෙ හතර අතේ, කළබලේ දුවන කොරියානු මිනිස්සු දැකගන්නට ලැබින.....ශීත කබා ඇඳ තොප්පි දමා ගත්, වැඩි උසක් නැති ඉතා සුදුපැහැති, නහය පැතලි, ඇස් හීන් කොරියානු මිනිස්සුන්ගෙ මූනේ හීනාවක් පේන්න නැත..... ඔවුන් සියල්ලෝ මොකක්දෝ ලොකු වැඩකට යන්නා සේ, කළබලේ එහෙ මෙහෙ ගමන් යති.....ඔවුන්ගෙන් කම්මැලි ගතියක් , හිතේ කිසිම තෙතමනයක්, සැහැල්ලු බවක්ද නොපෙනේ ..... අනෙකුන් සමග හිතවත් කමක්ද පෙනෙන්න නැත....ඔවුන් සියල්ලෝ තම තමන්ගේ වැඩ තනියම කරගෙන යන බවක් පෙනේ..... ලංකාවත් එක්ක බලනකල කොරියාව කියන්නේ බොහෝ දියුණු , ජනාකීර්ණ, රටක් කියා මට දැන් වැටහි ගොස් ඇත......


කුලී වාහන නවත්වන තැන සොයා ගිය මම.... එහි නතර කල වාහනයක් ලඟ සිටි කුළී රථ රියදුරෙකු සමග කතා නොකර මම යා යුතු පන්සලේ ලිපිනය ඉංග්‍රීසියෙන් ලියා තිබූ කොළය රියැදුරා අතට දුන්නෙමි..... මම දැනගෙන සිටි කොරියන් භාෂාව අමතකව ගොස් ඇතිනිසා එසේ කළෙමි...... මම දුන් ලිපිනය සහිත කොළය දිහා ටික වේලාවක් බලා සිටි ඔහු එය බිමට විසිකලාය..... ඉන් පසු එම කුලී රථ රියැදුරා, මාව මඟහැර ඈතට ගියේය..... ඔහුගේ මුහුනේ කිසිම තෙත් ගතියක් සිනාවක්, හිතවත් කමක් නොවීය..... බිමට වැටුනු ලිපිනය සහිත කොළය නැවත ඇහිඳගත් මට ලොකු දුකක් දැනිණි..... ලංකාවේ දී නම් භික්ෂූන් වහන්සේලා වන අපට අපේ මිනිසුන් කොයිතරම් ඉහළින් සලකනවාද....? නමුත් මේ රටට පය ගැසූ ගමන්ම මට වූ අකරතැබ්බය නම් සිතාගත නොහැකිය.... මම දැන් මොකක්ද කරන්නේ කියා සිතා ගැනිමට නොහැකිය.....මෙරටේ වැඩිහිටි පරම්පරාවට ඉංග්‍රීසි භාශා දැනුම බොහෝම අඩු මට්ටමකින් ඇතිබව මම දැනන් උන්නෙමි. ඉංග්‍රීසි කියවීමේ හැකියාව අඩු නිසා, රියදුරා එසේ කරන්න ඇතියැයි මට පසුව තේරුම් ගියේය.

කොරියානු ජාතිකයන් බොහෝ දෙනෙකුට ඉංගිරිසි ලියන්න කියන්න කතා කරන්න හැකියාවක් නැති බව මම දැනන් උන්නෙමි. මේ කාලයේ කොරියානු තරුණ ළමයින් දැඩ් වෙහෙසක් අරන් ඉංගිරිසි භාශාව ඉගෙන ගනිමින් සිටින බවත් මම දැන සිටියෙමි.

මුහුණේ සිනා පොදක් නැති, හිතවත් කමක් නැති කොරියන් මිනිසුන් විශාල වශයෙන් යන එන පාරේ මම දැන් අතරමං වී ඇත..... මෙහි සිටිනා මිනිසුන් හිනාව නොදන්නා ගානය....


මම හිටි තැනට ටිකක් එහායින් යුරෝපා ඇඳුම් කට්ටලයක් ඇඳගත් යුරෝපියෙකු යැයි සිතිය හැකි උස මහත සුදු මහත්මයකු සිටගෙන හිදී.....මම, ඔහු ළඟට ගොස් පන්සලේ ලිපිනය සහිත කොළය ඔහු අතට දී.....


"සොරි.... ප්ලීස් හෙල්ප් මී….….‘‘

දන්න ඉංග්‍රීසියෙන් මම ඔහුට කීවෙමි.

මම දුන් ලිපිනය දෙස බලා සිටි ඔහු, ඔහුගේ කමිස සාක්කුවේ තිබූ පෑන ගෙන ලිපිනය සහිත කොළයේ පිටුපස කොරියන් භාෂාවෙන් යමක් ලියා මා අතට දුන්නේය. ඔහු මගේ අතේ තිබුන කොළයේ කොරියානු භාශාවෙන් පන්සලේ ලිපිනය ලියා ඇත.


"ඔබ මෙම ලිපිනය ටැක්සි රියදුරාට දෙන්න .....‘‘

ඔහු ඉංග්‍රීසියෙන් කීය.

එතුමා තව මොනවදෝ අත දික්කර පැහැදිලි නැති ඉංගිරිසියෙන් කියූ අතර..... මට හරි යමක් නොවැටහිණි..... මම විසින් කොරියන් භාෂාවෙන් ලියූ ලිපිනය ටැක්සි රියැදුරකුට දිය යුතු බව පමණක් මට වැටහිණි.....


"‘තැන්ක් යූ සර්....."මම ඉතා යටහත් පහත්ව එතුමාට ස්තූති කලෙමි.


"එන්න..."


ඔහු ඒ ලඟ සිටි කැබ් රථ රියැදුරෙකු ළඟට මාව එක්ක ගොස් ඔහු සමඟ කොරියන් භාෂාවෙන් මොනවදෝ කතාකර, මාගේ ලිපිනය ඔහුට පෙන්වීය..... මා හට යෑමට නියමිතව තිබුණේ කොරියාවේ සෝල් නගරයෙන් බොහෝ දුරකට බව මට වැටහිණි....


"ඔබ ළඟ මුදල් තිබෙනවද....?


ඔහු මා ළඟ මුදල් ඇත්දැයි ඉංග්‍රීසි භාෂාවෙන් ඇසීය.....


“ඔව් මගේ අතේ තියෙනවා ....." මම මගේ අත් බෑගය ඔහුට පෙන්විය....

ඔහු මට වාහනයට නගින්නැයි අතින් සංඥා කර, කොරියන් භාෂාවෙන් රියැදුරුට මොනවද කීය....


“මොහු ඔබව නියමිත තැනින් බස්සවයි...."

යුරෝපීය මහත්මා මා හට කීවේ කුලී රත රියදුරා මාව නියමිත තැනින් බස්සවයි කියායි .... මට සතුටු සිතිණි.


"තැන්ක් යූ. සර්.‘‘ මං ඔහුට නැවත සතුට පළකර වාහනයට නැග ගත්තෙමි.


සෝල් නුවර ජනකීර්ණ නගරයෙන් අධිවේගී මාර්ගයකට ඇතුළු උන වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරන්න පටන් ගත්තේය....


යන ගමන් කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය.... මට කිසිදු දෙයක් නොතේරිණි..... මම ලංකාවේදී පොත පතින් ඉගෙන ගත් කොරියානු භාශාව, කතා කිරීමේදී තේරුම් ගැනීමට අපහසුය...... පොත පතෙන් විතරක් භාශා ඉගෙන ගත නොහැකි බව මට දැන් හොදින්ම තේරුම් ගොස් ඇත..... එයට භාවිතය අනිවාර්යයෙන්ම තිබිය යුතු බව වැටහි ඇත. ඔහු අසන දෙයට උත්තර දීගත නොහැකි මා සමග ඔහු, ඉන්පසු කතා කිරීම නවත්වාදැමිය....

මට දැන් දැඩි නිදිමතක් හා කුසගින්නක්ද ඇත..... නමුත් රියැදුරු මා කොහේ රැගෙන යාදැයි නොදන්නා බැවින් මම අමාරුවෙන් මෙන් ඇස් ඇරගෙන සිටියෙමි....

පැයක් පමණ වාහනය එක දිගටම ගමන් කෙරිණි..... තව දුර යා යුතු යැයි මට සිතේ....... මම මාගේ බෑගයේ තිබූ බිස්කට් පැකැට් එකක් කඩා රියැදුරුට පිළිගැන්වීමි.

ඔහු ඔළුව දෙපසට වනා එපා යැයි කීය.

මම බිස්කට් තුනහතරක් වළඳා බෑගයේ තිබූ වතුර බෝතලය ගෙන වතුර බඩ පිරෙන කම් බිව්වෙමි..... මගේ කුසගින්න මදක් නිවිණි..... නමුත් නිදිමත හොඳටම වැඩි වී ඇත. මීදුම වැටුණු අඳුරු පාර දෙපැත්ත හැරුණු කොට අන් කිසිවක් වාහනයේ ජනේලයෙන් එලිය නොපෙනෙයි.... අපි තව දුරටටත් යන්නේ අධිවේගී මාර්ගයක යැයි මම අනුමාන කෙලෙමි..... ඒ වහනය යන වේගය අනුවය. අප පසු කර යන පාරේ කුඹුරු මෙන් දිස්වන් බිම් පෙදෙස් අතර කහපාට මල් යායවල් ඉඳහිට ඈතින් පෙනේ.... ඒ අතර එකයායට වැවු උනබට වතුද පෙනේ..... අප යන්නේ කොරියාවේ ගම්පෙදෙසකට යැයි වාහනයෙන් එළිය බැලූ කල සිතාගත හැකිය...

පැය දෙකක පමණ ගමනකින් පසු අප පිවිසියේ ඉතා දුෂ්කර පළාතක තිබූ පන්සලකට බව වැටහින..... දැන් හවස අඳුරද වැටීගෙන එන්නේය.


කන්දක් උඩ තිබු විශාල ආරුක්කු, බුරුක්කු සහිත විශාල පන්සල් භූමියක පහළ රතගාලකට අප ගිය වාහනය ඇවිත් නතර කලේය...... වාහනය නතර කළ රියැදුරු, මා හට වාහනයේ මීටරය පෙන්වීය. එහි මා ගෙවිය යුතු මුදල සඳහන් වී තිබිණි. එය විශාල මුදලකි....අම්මෝ.....! නමුත් මම එය ගෙවිය යුතුය. ලංකාවේ මුදලින් එය රුපියල් පහළොස් දහසක් පමණ යැයි මට වැටහිණි....මෙතරම් මුදලක්..... මම මගේ ලඟ තිබුන කොරියානු මුදල් වලින් එය ගෙවා දැම්මෙමි.

ලංකාවෙන් ඒමට ප්‍රථම මගේ බැංකු ගිනුමේ තිබූ සියලු මුදල් මම මෙම ගමනට රැගෙන ආවෙමි. එයින් කොටසක් කොරියාවේ මුදල් වලට මාරු කර ගත් අතර අනෙක් මුදල් ඇමරිකානු මුදල් ලෙස මාරු කරගෙන තියා ගත්තෙමි. එම මුදල් මම බොහෝ පරිස්සමට මගේ ගමන් මල්ලේ හා අත් බෑගයේ තැන් තුනක හංගා තියා ගෙන ආවෙමි.

කූලි වාහනයේ රියදුරු කොරියන් භාෂාවෙන් මොනවදෝ කියමින් කඳු මුදුන මත පිහිටි පන්සල මට පෙන්වීය..... එය විශාල පන්සලකි. වාහනය මෙතනින් එහාට යා නොහැකි බව රියැදුරු මට අතින් පෙන්වීය. කන්ද උඩට පඩිපෙළක් නැගගෙන පන්සලට යා යුතුය..... මම ඔහුට ඔලුවෙන් හා අතෙන් එම දුර මම ඇවිදගෙන යන්නම් කියා කීවෙමි.

රියැදුරා වාහනය හරවාගෙන ආපසු ගියේය. අවට පරිසරයේ දැඩි ශීතලක් හා අඳුරු ගතියක්ද ඇත....පන්සල් භූමිය පුරා මීදුම වැටි ඇත.


මම මගේ බෑගය ද ඔසවා ගෙන පඩිපෙළ දිගේ ඉහළට නැගගෙන ගියේ සීතලේ ගැහෙමින්ය.... හතර වටින් කලුවර වැටී ඇත..... මම දැන් කන්ද උඩ තියෙන පන්සලට ගිය පසු මොනවද කතා කරන්නේ...... ?කාටද කතා කරන්නේ.....?මගෙ හිත සැලෙයි.....

මොවුන්ගේ භාෂාව මම හරිහැටි නොදනිමි..... මොවුහු ඉංග්‍රීසි භාෂාව හෝ මගේ සිංහල භාෂාව නොදනති..... මෙහි සිටින්නන් සමග මම කෙසේ කතා කරම්දෝ මම තිගැස්සුණු සිතින් සිතමින් කන්ද අපහසුවෙන් නැගගෙන උඩහටම ගියෙමි ..... මම කොරියාවට පය ගැසූ තැන සිට මේ වනතෙක් මා සමග හිත හොඳින් සිනා වූ කිසිදු කොරියානු ජාතිකයකු නොවීය.... බස්නැවතුම්පළේ සිටි සුදුමහත්මා නම් මට කරුණාවක් දැක්වීය..... ඒ ඔහු ඇමරිකානු ජාතිකයෙකුගෙ පෙනුම තිබු බැවින්‍ ය...... භාශාවක් හරියට නොදැන, දන්න කියන කවුරුත් නොදැන මම කොරියාවට ඇවිත් මෝඩකමක් කර ගත්තා යැයි මට දැන් සිතේ.....


"කමක් නෑ එන විදියකට මුහුණ දෙනවා. මට නැති වෙන්න වත්, පරිස්සම් කර ගන්නට වත් දෙයක් නැති එකේ, මොනවට බය වෙනවද....?මම තනියම කියා ගත්තෙමි...... "

මම පඩිපෙළ දිගේ ඉහළටම නැගගෙන ගොස් පන්සලේ දොරකඩටම ගියෙමි.....විහාර බිමේ කවුරුත් පේන්න නැත....


පන්සලේ අවට කොරියානු ගෘහ ශිල්පයට අනුව රත්‍රං පාටට ආරුක්කු බුරුක්කුවලින් නිර්මාණය වූ විශාල පවුරු හා පිළිරු නිර්මාණය කර ඇත.... ඉතා ගාම්භීර, බලන්න පුදුම හිතෙන, කියා නිමකළ නොහැකි ලස්සන පන්සලක දොරටුව ඉදිරිපිට මම දැන් නැවති හිඳිමි....විහාරයේ රත්‍රං පාට විශාල දොරේ යකඩ බෝලය ළඟ පිත්තලෙන් කරන ලද විශාල කුරුල්ලෙකුගෙ හැඩය ඇති හැඬලයක් ඇත.... එය දොරට ගසා, ඇතුළත අයට කතා කරන බෙල් එකක් වැනි දෙයකැයි මට වැටහිනි.


මම එම බෝලය දෙස ටික වේලාවක් දෙඟිඩියාවෙන් බලා සිටියේ එය හඬවනවාද, නැද්ද සිතමින්ය..... මේ සීතලේ මට පන්සලෙන් එළියේ සිටිය නොහැක, ඇතුළත සිටින අය කොයි වගේද කියා සිතා ගැනීමටද නොහැකි ය.... කොරියන් භාෂාව හරිහැටි නොදැන මා මෙහි ඇවිත් කරගත් මෝඩකම ගැන සිතමින්, මම දොරේ සීනුව වැනි හැඬලය සිතේ දෙගිඩියාවෙන් හැඬවූවෙමි.....


එය හැඬ වූ පසු ටික වේලාවකට පසු විශාල දොර "ක්‍රරාස්" ගා හෙමිහිට ඇරිණි.


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page