top of page

✈එතෙරින් එතෙරට✈️ (21වෙනි කොටස)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 5 min read


දිනෙන් දින දවස් ගෙවී ගොස් මම කොරියාව බලා යන දිනය ද ළං වි ඇත....කොරියාවට ගෙනයන්නට කියා මාහට ඒ වන විට අමුතුවෙන් ලෑස්ති කර ගැනීමට තරම් දෙයක් නොවීය. එහි ගෙනයන්නට අවශ්‍ය සියලු දේ මම වේලාසන ලෑස්ති කරගෙන, ලොකු උවමනාවකින්, නොවිසිල්ලෙන් ඒ දිනය එන තෙක් බලා ඉද ඇත .....

මම අදින සිවුරු අදනකඩ දෙක තුනට අමතරව ඇද රෙද්දක්, කොට්ට උර දෙකක් ඝනකම් පොරොවන දෙකක් හා, තුවායක්, ශීත කබා දෙකක් දමා ඇදුම් බෑගය ලෑස්ති කර තිබුනෙමි..... මම ඊට අමතරව තේ, කෝපි, නූඩ්ලස් පැකැට්, බිස්කට්, පැරසිටමෝල්, බාම් ආදිය අසුරා ගත්තේ අත්‍යවශ්‍ය වුණොත් ප්‍රයෝජනයට ගැනීම සදහායි.

කොරියාවට යන ගමන මාගේ උවමනාවෙන්ම තනි කැමැත්තට ලෑස්ති කරගත්තත්, එම ගමනේ කිසිම පැහැදිලි බවක් නොවීය.... . දන්න කියන කිසිකෙනෙක් නොදන්නා රටකට හරියට භාශාවවත් නොදැන යන්නේ කුමන අදහසකින්ද කියන හේතුව සලකා බලන කල, එහි අවසාන කොනේ ඇත්තේ...., ඇමරිකාවේදි හා තායිලන්තයේදී මට හමුවු තරුණ භික්ෂූන් වහන්සේලා මෙන් මටත්, පිටරටකට ගොස් ජිවත් වන ආසාව ඇතිවි තිබිම කියා මට දැන් වැටහි ගොස් ඇත......සංසාර ගමන කෙටි කර ගැනිමට, පැවදි දිවියට පාතැබු මම....මේ වන විට නොනිමි ආශාවන් පසුපස දුවන ගමනක, දොරකඩ නැවති දෑස් දල්වා, අනාගතය දෙස බලා හිදින්නෙමි ..... මේ ගමන ඇතුලත, මම පිටරටක ස්තිර නවාතැන් පලක් සොයා යන ගමනක් බව මට දැන් පසක් වෙමින් තිබේ.....ඉදිරි කාලයේ මට කොරියාවේදී ස්තිර නවාතැන් පලක් සොයා ගත නොහැකි උනොත්, නැවත ලංකාවට පැමින ගමේ පාසැලක හෝ පිරිවෙනක උපාධිධාරී ගුරුවරයෙක් ලෙස රටට සේවය කරගෙන යන අදහසද හිතේ කොනක ඇත.....

මාස තුනකට මට කොරියාවේ සංචාරයකට යන්න වීසා ලැබුනු බව, පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙක් භික්ෂූන් වහන්සෙලාට දැනුම් දුන්නෙමි ...... ඉද හිට මා සමග ලියුම් ගනුදෙනු කරනා මගේ මල්ලිටද කොරියානු සංචාරය ගැන පවසා ලියුමක් යැව්වෙමි .....


කොරියානු සංචාරය ගැන පොඩී චකිතයක් හිතේ තිබුනත්...., මට කියා නැති වන්නට කිසිම දෙයක් නැති මම, කොරියාවට ගොස් නවතින්නේ කොහේද...? කරන්නේ මොනවද...? කොරියාවේ වීසා ඉවර උන පසු නැවත ලංකාවට පැමින මොනවා කරන්නෙද ...?කොහේ නවතින්නෙද... ? කියා වැඩිදුර නොසිතුවෙමි..... එන විදිහට එන දෙයකට මුහුන දීමට හිතා ගත් මම, අද දවසේ කරන්න අවශ්‍ය දෙය ගැන පමනක් සිතුවෙමි.....අනාගතයේ එන විදිහකට ජීවිතයට මුහුන දෙනවා යැයි සිතට ගෙන ඉදිරි වැඩ කරගනිමින් ගියෙමි.

විහාරයට නිතර යන එන, වාහනයක් ඇති බැතිමතෙකුට මගේ කොරියානු සංචාරය ගැන පවසා...., මම රට යන දවසට ගුවන්තොටුපළට ‍‍බස්සවා ගන්නට කටයුතු ලෑස්ති කරගත්තෙමි....


කොරියාව බලා යන දින මම, පන්සලේ අනෙක් ස්වාමීන් වහන්සේලාටද මගේ කොරියා ගමන ගැන පවසා, ලොකු හාමුදුරුවෝ බැහැ දැකීමට ගියෙමි.


‘‘ලොකු හාමුදුරුවනේ මං කොරියාව බලා යන්න හැම දෙයක්ම ලෑස්තියි......මම කටුනායක ගුවන් තොටුපොළට වඩින්න කියලයි මේ හදන්නේ .....මම මේ යන ගමනට, ඔබවහන්සේගේ ආශීර්වාදය මට හරි වැදගත් ........‘‘


‘"විපස්සි හාමුදුරුවන්ට මම කිව් දේවල් මතකයිනේ.....ඔබ වහන්සේ දැන් ඔය රටවල් දෙකතුනකටම වැඩම කරලා ඒ රටවල් බලාකියා ගත්තා මදෑ....මේ කොරියානු සංචාරය ඉවර වෙලා ලංකාවට වැඩම කරාම, ඔබ වහන්සේ ඉගෙන ගත් ශාස්ත්‍රවේදී උපාධිය, රටට ප්‍රයොජනවත් දෙයකට යොදවන්න බලන්න .....පිරිවෙනක සාමනේර හාමුදුරුවරුන්ට උගන්නන වැඩකටයුත්තකට හෝ ....බුද්ධ සාසනේ අභිවෘද්ධිය සඳහා යමක් කරගෙන යන්න බලන්න.... ඉදිරිකාලේ බණක් දහමක් කරගෙන එක තැනකට වෙලා සිල්වත්ව ජීවත් වෙන්න ඕනේ....හොදයි එහෙනම් දැන් පරිස්සමට වඩින්න....පොඩ්ඩක් ඉන්න පොඩිතැන, මම පිරිත් ටිකක් කියලා පිරිත් නූලක් බඳින කම්.......‘‘

මගේ අනාගතය ගැන කවදත් සොයා බැලු උන්වහන්සේ හිත හොඳින්, පිරිත් නූලක් අතේ බැඳ මට ආශීර්වාද කලේය.... අවවාද දුන්නේය.... උන්වහන්සේගේ දෙපතුල් වැඳ ස්තුති කළ මම, කොරියාව බලා යන්නට, වාහනයට නැගගත්තෙමි.

ලොකු හාමුදුරුවන්ගෙන් කොරියානු සංචාරයට අවසර ගෙන, මෙවර මම පිටරට යන්නට ලෑස්ති වුණේ...., නැවත ලංකාවට කාලයකට නොඑන අදහසත් ඇතුවමය.....


ලංකාවේ වැඩ විසීමට ස්ථිර පන්සලක් මට නැති උනත් , කොහේ හෝ විහාරස්ථානයක මට වැඩ වෙසෙන්න පුලුවන් බව මම දනිමි...... තාත්තා නැති වූ පසු අම්මා කරගත් දෙවැනි විවාහය නිසා, මම ගෙදර අය ගැනත් වුවමනාවෙන්ම සොයා නොබැලුවෙමි..... ඉඳහිට නංගීට හා මල්ලීට පමණක් මම කතා කළෙමි. මෙවරද මම ගමේ ගොස් පැමිනියේ, බොහෝ කලෙකට පසුය....

බණ්ඩාරනායක ගුවන්තොටුපළෙන් සිංගප්පූරුව දක්වා ගොස්, පැය හතරක කාලයක් සිංගප්පූරුවේ ගුවන් තොටුපොලේ නැවති හිඳ එතැනින් කොරියාව බලා යන ගුවන්යානයට නැගීමට නියමිතය. මීට ප්‍රථම තායිලන්තය, ඇමෙරිකාව යන විදේශ සංචාරවල නියැළී තිබූ බැවින් මට දැන් බන්ඩාරනායක ගුවන්තොටුපළ හොඳින් හුරුපුරුදු තැනක් වි ඇත.


######

කොළඹ බණ්ඩාරනායක ගුවන්තොටුපළෙන් සිංගප්පූරුව බලා ගිය මට, පැය හතරක කාලයක් සිංගප්පූරුවේ ගුවන් තොටුපොලේ නවතින්නට සිදු විය.... කොරියාව බලා යන ගුවන් යානයට නගින්න පැය හතරක කාලයක් තව ඉතිරි වි ඇත....

මගේ ගුවන් ගමනට වේලාව එනතෙක් මම , සිංගප්පූරු ගුවන් තොටුපොළේ අසිරිය විදිමින් එහෙට මෙහෙට ඇවිද්දෙමි......ඉමක් කොනක් නොපෙනෙන විශාල ගුවන් තොටුපොළ ඇතුලත, නානා විද විදුලි බුබුළු වලින් එලිය වි ඇත.....එතරම් විශාල ගුවන් තොටුපොල වායුසමීකරණය කර ඇති බැවින් ඇඟට හොඳ සනීප සීතලක් දැනේ.... ගුවන් තොටුපොළ ඇතුලත ඇස් අදහාගත නොහැකි නානා ආකාරයේ විසිතුරු බඩු , ඉලෙක්ට්‍රොනික් බඩු , අවන්හල්, ඇදුම් පැලදුම්, මිල අදික සුවදවිලවුන්, චොකලට් වර්ග, සපත්තු , හෑන්ඩ් බෑග්, සෙල්ලම් බඩු, ආදි... කිව් නොකිව් සාප්පු වලින් පිරි ඇත. ගුවන් ගමන් යන මගීන්ට ඔවුන්ගේ කාල වේලාව ගත කිරිමට, සැප පහසුව ඇතුව නැවති හිදිමේ පහසුකම් ඇති විසිත්ත කාමර, නිදන කාමර ඇති හෝටල් වැනි සේවාවන්ද ඒ තුල ඇත..... බලන බලන අත නා නා විද ඕකිඩ් මල්පාත්ති වලින් හැඩවු ගුවන් තොටුපොලේ අසිරිය කියා නිම කල නොහැක .... සිංගප්පූරු ගුවන් තොටුපොළ හරියට දිව්‍ය ලෝකයක් ලෙස මට පෙනින..... එහි ඇති විසිතුරු බව නම් ඇස් දෙකෙන් බලා නිම කල නොහැකි තරමට පුදුමය..... හරියට මම දිව්‍ය ලෝකයක සැරි සරණ ගානය..... නානා රටවල කළු සුදු පෙනුමැති විදේශිකයන් බෑග් මලු තල්ලු කරමින් ගුවන් තොටුපොළේ එහේ මෙහේ යති.... සුවදවිලවුන් සුවදින් පිරිසිදු ගුවන් තොටුපොළ සුවදවත් වී ඇත...... පැය හතරක් නෙමේ, දවසක් දෙකක් උනත් එහි කිසි අමාරුවක් නැතුව විසිතුරු නරඹමින් සිටිය හැක තැනක් බව මට පැහැදිලි විය..... මූණ කට සෝදා ගැනීමට, නිදාගන්නට උනත් හැකි තරම් පිරිසිදු විශාල වැසිකිලි පහසුකම් ඇත..... බොන්නට වතුර ටැප්, කන්නට ඕනතරම් කෑම කඩ, ඒවා නම් මිලදී ගත යුතුය ....නිදාගන්නට, විශාල ගුවන් තොටුපොලේ පාළුතැන්වල ඇති දිග සැප පුටු ප්‍රයොජනයට ගත හැක..., එක දිගට දින ගානක් උනත් නැවති සිටින්න පුලුවන් හොද පහසුකම් මෙම ගුවන් තොටුපොලේ ඇත...කෑමට බීමට මිළ මුදල් ඇත්නම්, මෙයත් හොද නවාතැනක් ගානය.......


ගුවන් තොටුපොලේ ඇතුලත සිට වීදුරු ජනේල තුලින්, එළියේ ඇති පිට්ටනිය දෙස බැලිමේදී...., එහි ඈතට වෙනකම් නවත්වා ඇති ගුවන් යානා ගොඩ.....සීයකට අදික එක දිගට නවත්වා ඇති, විවිධ රටවලට අයිති, ඒ රටවල ලාංජන සහිත නම් ගැසු ගුවන් යානා ගොඩ දෙස, නැවති ඕන තරම් වේලාවක් බලා සිටිය හැක.....මේ සියලු ගුවන් යානා, එක දිගට අහසේ පියාසර කරමින් සිට ඇවිත්, දැන් මේ ගුවන් තොටුපොලේ ....., විවේක සුවයෙන් ගිමන් හරියි..... නැවත ඔවුන්ගේ රටවලට ඔවුන්ගේ මගීන් කැදවාගෙන යන්නට ප්‍රථම , ගුවන් යානා ඇතුලත පිරිසිදු කිරීම් තෙල් වතුර කෑම පුරවා ගැනීම හා නඩත්තු කටයුතුද මේ ගුවන් තොටුපොළ තුල නවතාගෙන කරයි..... නැවත මගීන්, තමන්ගෙ රටවලට ගෙනයන තෙක්, ගුවන් යානා මෙහි නැවති ගිමන් හරින හැටි .... මෙතරම් විශාල, බර ගුවන් යානා, කොහොමද අහසට නඟින්නේ, අහසේ යන්නේ....පොඩි දරුවන්ට සිතෙන ප්‍රශ්න තොගයක් මගේ හිතේද ඇතිවේ....තව දුරටත් ගුවන් තොටුපොලේ විසිතුරු බලමින් එහෙට මෙහෙට ඇවිද ගියේ සුරඟන ලෝකයක ඇවිදින ගානටය....

පැය දෙකක් පමන ගුවන් තොටුපොළේ එහේ මෙහේ ඇවිදමින් සිරි නරඹබින් යන කල.... ඇතිවුන තිබහ හා බඩගින්න නැති කරගැනීමට කෑම කඩයක් ලගට ගොස් බනිස් ගෙඩියක් සමග කෝපි කෝප්පයක් මිලදිගෙන එය අනුබව කලේමි..... තවත් ගුවන් යානයට නගින්න වේලාව ඇත..... ඉන්පසු පිරිසිදු විශාල වැසිකිලියට ගොස් මම මුහුන කට සෝදා අවශ්‍ය තාවයන්ද ඉශ්ට කරගෙන කොරියානු ගුවන් යානයට නගින්න අවශ්‍ය පැත්තට යන්නට පටන් ගත්තෙමි.....ගුවන් තොටුපොළවල් තුල සිදුකරගත යුතු, හැසිරිය යුතු සියලු දේ ගැන මට දැන්, හොද වැටහීමක් ඇත.

සිංගප්පූරු ගුවන් තොටුපොළේ එක පැත්තක සිට අනෙක් පැත්තට යන්නට පුංච් කෝච්චි ඇත....... ඒවා විනාඩි ගානකට සැරයක් මෙහේ ගමන් කරයි. ඉදගෙන යන්නට තරම් දුරක් නැති කෝච්ච් වල ආසන දෙක තුනකට වඩා නැත..... ඒවායේ හිටගෙන යා යුතුය.... මම එම කෝච්චියේන් මට යාමට අවශ්‍ය ගුවන් යානාව ඇති පැත්තට ගමන් කලෙමි. කොරියානු ගුවන් යානයට නගින තැනට ගොස් අවශ්‍ය ටිකට්පත් පෙන්වා, අවශ්‍ය සියලු වැඩකටයුතුද ඉවර කර ගත්තෙමි..... පසුව එතන වාඩිවී ගුවන් යානවට නගින්න වේලාව එනතෙක් බලා සිටියෙමි.

අවසානයේ ,සිංගප්පූරු ගුවන් තොටුපොලේන්, කොරියාව බලා යන ගුවන්යානයට මම නැග ගත්තෙමි. කොරියාවට යෑමට පැය අටක පමන කාලයක් ගතවේ......


ගුවන් යානයට නැග ,මගේ ආසනයේ වාඩිගෙන, ආසන පටිද පැලද ගත්තෙමි.


හිතින් තුන් සූත්‍රය කියමින්, මම යන කොරියානු ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවායි සිතින් පැතුවෙමි..... මීට ප්‍රතම තායිලන්තයට හා ඇමරිකාවට ගිහින් තිබුන නිසා මට, ගුවන් ගමන් දැන් හොදින් හුරුපුරුදුය. ගුවන් යානය ඇතුලත හැසිරිය යුතු ආකාරයද හොදින්ම දන්නෙමි.

අද මම මේ යන කොරියානු ගමන කොතැනින් නිමා වේදැයි පැහැදිලි නැත...... ලොකු හැඳුනුම්කමක් නැති කොරියන් පන්සලෙන් ලැබුණු ලියමන නිසා මට කොරියාවට වීසා ගන්නට හැකි විය.... එම ලියමන ගන්න මට ලොකු මුදලක්ද වියදම් කිරීමටද සිදු විය.... එතැනින් එහා කිසිම දැන හැඳුනුම්කමක් ඇති කෙනෙකු කොරියාවේ නැත.... සුමේධ නම් ලංකාවේ හිමිනමක් ඉන්න බවක් දන්නා නමුත්, උන්වහන්සේගේ දුරකථන අංකය පමණක් මා ළඟ ඇත.... උන්වහන්සේ මට උදවු කරයි ද, නොකරයි ද මම නොදනිමි..... මට වීසා ගන්න ලියුම එවූ පන්සලට මුලින්ම ගොස් කුමක් සිදුවේද කියා බලා, ඉදිරිය ගැන සිතිය යුතුය..... වෙන දෙයකට මුහුණ දීමට හිත හදාගත් මම, දෑස් පියාගත්තේ කොරියානු ගමන පැය අටක් තරම් දිගු ඛැවිනි.....


- නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page