top of page

✈️එතෙරින් එතෙරට ✈️ (19 වන කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 3 min read

"දැන් විපස්සී හාමුදුරුවෝ, මේ ඇමරිකා ගමනින් පස්සේ, ලංකාවේ කොයි පන්සලටද වඩින්න කල්පනාව ....?"


"ඒක තමයි මමත් කල්පනා කරන්නේ හාමුදුරුවනේ.....මම මහණ වෙන්න ගියේ ගමේ පන්සලට, මහණ උනේ නුවර පන්සලේ, පිරිවෙන් යනකොට වැඩ වගේ විසුවේ අවිස්ලාවේල්ල පන්සලේ , විශ්වවිද්‍යාලයට යන කාලේ වැඩ විසුවේ, කොළඹ...මට කියලා දිගටම හරියට නවතින්න, එක පන්සලක්වත් දැන් නෑ......ඒත් ලංකාවේ කොහේ හරි පන්සලකට මට වැඩම කරලා , තාවකාලිකව වැඩ වාසය කරන්න පුලුවන්......ලංකාවට ගිය ඉක්මනට මට ගුරුපත්වීමක් හදාගන්න පුලුවන් උනොත් හොදයි....ඒක තමයි මගේ අනාගත බලාපොරොත්තුව ....."


" ඔබ වහන්සේ කොරියාව වගේ රටකට ගිහින් නවතින්න කැමතිද......?


"කොහේ උනත් ප්‍රශ්නයක් නෑ හාමුදුරුවනේ ....."

"‘මං දන්න හිමිනමක් කොරියාවේ පන්සලක වැඩ වෙසෙනවා.... උන් වහන්සේ කාලෙකට උඩදි කොරියාවට ගිහින් එහේ පන්සලක නැවතුනා...... මම හිතන්නේ

උන්වහන්සේට දැන් ගොඩක් හොදයි කියලයි......කාලෙකින් මට කතා කරන්නත් බැරි උනා, ........මම ලගදිම "කෝල්" එකක් දීලා අහල බලන්නම් එහෙ විස්තර එහෙම ...... ඔබ වහන්සේටත් එහෙට වඩින්න පුලුවන්ද කියලා බලන්න ... ..‘‘


" ඒක නම් ලොකු උදව්වක් හාමුදුරුවනේ ...... මට දැන් ලංකාවට ගියත් වැඩ වෙසෙන්න පන්සලක් නැති තරම්..... තිබුනත් හිතේ නිදහසක් ඇතුව ඉන්න තැනක තමයි මම වැඩ වාසය කරන්න කැමති .......මට ඕනේ නිදහසේ බනක් භාවනාවක් කරගෙන නිදහසේ ඉන්න පුලුවන් තැනක් ලොකු හාමුදුරුවනේ ......"


‘‘මං කොරියාවේ හාමුදුරුවන්ට කතා කරල බලන්නම්..... හැබැයි මාස තුනකට වඩා නම් කොරියාවට වීසා දෙන එකක් නෑ. ...ඒහෙ ගිහිල්ලා පස්සෙ තමයි වීසා දික්කර ගන්න වෙන්නේ......‘‘


"‘එහෙම වුණත් කමක් නෑ හාමුදුරුවනේ .....

එහෙට ගිහින්, ඊට පස්සෙ එක දිගට ඉන්න පුලුවන් පන්සලක් ලෑස්ති කරගන්න පුලුවන් උනොත් ලොකු දෙයක් .....මට ඕනේ නිදහසේ ඉන්න පුලුවන් තැනක්.......‘‘


‘‘කොරියාවට වීසා හදාගන්න එකත් හිතන තරම් ලේසි නෑ කියලා මම අහලා තියෙනවා ......‘‘


‘‘කොරියාවේ පන්සලක් තියෙනවා, වෙන රටවල ස්වාමීන් වහන්සේලාට, ඒ රටට සංචාරය සදහා යන්න එන්න, වීසා හදා ගන්න පුලුවන් විදිහේ ලියුමක් ලෑස්ති කරලා දෙන තැනක්..... ඒ කියන්නේ කොරියාවේ සංචාරය කරලා එන්න දෙන ලියුමක්........හැබැයි ඒ ලියුම ගන්නත් අපි ටිකක් ලොකු මුදලක් ඒ පන්සලට ගෙවන්න ඕනේ ......"‘


‘‘මුදල් ගැන නම් ප්‍රශ්නයක් නෑ හාමුදුරුවනේ….. . තායිලන්තයේ ඉන්න කාලෙදි උපාසක උපාසිකවන්ගෙන් පිරිකරට හම්බු වුණ මුදල් ටිකක් මං ඉතිරි කරගෙන ඉන්නවා. ඒව ප්‍රයෝජනයට ගන්න පුළුවන්..... මට කියල වෙන වියදමකුත් නෑනේ.....‘‘


"ඒක කොරියන් පන්සලක්නේ.... . ඔබවහන්සේට ගිහින් එහි වැඩ වෙසෙන්න වෙන්නෙ කොරියන් හාමුදුරුවරු එක්ක.....භාෂාව තමයි ප්‍රශ්නයක් වෙන්නෙ......".


‘‘ මම ටික ටික කොරියන් භාෂාව ඉගෙන ගන්න උත්සහ කරන්නම්........ කොරියන් භාෂාව උගන්වන පොත් එහෙම තියෙනවනේ..... ඒ පොත් ගෙනත් ඉගෙන ගන්න බලන්නම්....."


"ඔව්... කොරියාව වගේ රටකට ගියොත් නම් එහේ භික්ෂූන් වහන්සේලාට, රජයෙන් ගෙවීමකුත් කරනවා.....‘‘


"ඔබවහන්සේට පුළුවන් නම් මට කොරියාවට යන්න වීසා ගන්න උදවු කරන්න..... මට ඕන තැනකට ගිහින් ඒ පරිසරයට හැඩ ගැහෙන්න පුළුවන්.....‘"

තායිලන්තයේ සිටි කාලයේදී මම ඉංග්‍රීසි භාෂාව අමාරුවෙන් ඉගෙන ගත්තෙමි..... යාන්තමට මට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට හා කතා කිරීමට හැකියාව ලැබීම් ලොකු දෙයකි.... ඇමෙරිකාවට ආ පසු ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත් එකේ වටිනාකම මට තදින්ම දැනිණි..... කොරියන් භාෂාව වුවද ඉගෙන ගත්තොත් අහක යන්නෙ නැති බව මට වැටහී ඇත..... මම කොරියන් භාෂාව කොහොම හරි මහන්සි වි ඉගෙන ගත යුතු යැයි සිතට ගත්තෙමි.

මාස හයක කාලයක් ඇමෙරිකාවේ පන්සලේ වැඩ සිටින ගමන් මම..

.. , ඒ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ අනුදැනුම මත, කොරියාවට වීසා පතක් ඉල්ලුම් කර හැරියෙමි.


කාලය ඉක්මනින් ගෙවි ගොස් ඇමරිකාවේ, මම වැඩවිසු මාස හයක කාලය සම්පූර්ණ වී, මට නැවත ලංකාවට යන්නට සිදු විය......


ලංකාවට යන විට මට, ඇමෙරිකාවේ පන්සලට නිතර ආගිය උපාසක උපාසිකාවන්ගෙන් පිරිකර ලෙස ලැබුණු මුදල් ටිකක් ද ඉතිරි කර ගැනීමට හැකි විය..... ඒවා මම කොරියන් ගමනට කියාම ඉතිරි කර තියාගත්තෙමි.


ඇමෙරිකාවේ සංචාරයෙන් පසු නැවත මම ලංකාවට වැඩම කළෙමි.

නැවත ලංකාවට ගිය කල, මම කොහේද නැවත වැඩවාසය කරන්නේ කියන ප්‍රශ්නය, ඇමරිකාවේ ඉන්න කාලේදි මම කල්පනා කලෙමි..... මගේ, අවසාන තීරණය වුනේ, නැවත කොළබ විහාරයට නවතින්න නොගිහින්, නුවර හෝ අවිස්ලාවේල්ල විහාරස්ථානයට වැඩම කරන්නයි.

#######


ඇමරිකාවේ සිට නැවත ලංකාවට ආ ගමනේදී, මම ගුවන් තොටුපොළේ සිට කෙලින්ම නුවර බලා යන්නට, කැබ් රතයකට නැග ගත්තෙමි.


මම එවර පැවිදි වුනු නුවර පන්සලටම වැඩම කළේ, කොළඹ පන්සලට නැවත යෑමට ඇති වි තිබු අකැමැත්ත නිසාවෙනි.


නුවර පන්සලේ ලොකු හාමුදුරුවෝද ඉතා වියපත් වී ඉන්නා හැටි දැක මට ඇතිවුනේ කළකිරිමකි.


පන්සලද බොහෝ වෙනස් කම්වලට භාජනය වී ඇත. මම සාමනේර සමයේ බොහෝ අත්දැකීම් ලැබ ගත් පන්සල...., මම පැවිදි දිවිය ලැබ ගත් පන්සල දැන් බොහෝ වෙනස් වී ඇත.....


මේ වනවිට මම විසිහය වැනි වියට ලං වෙමින් ඉදී.... මම තව බොහෝ කාලයක් ජීවන ගමන ගමන් කළ යුතුව ඇත....මගේ පැවදි දිවිය , ධර්මානුකූලව, පිලිවෙලට ගමන් කර නිවන සොයා යා යුතුව ඇත..... එතකම් මට දිගටම නවාතැන් ගැනීමට විහාරස්ථානයක් අවශ්‍යය....අවසානයේ මම ටික කාලයක් නුවර විහාරස්ථානයේ වැඩ හිටියේ එහි ලොකු හාමුදුරුවන්ගේද කැමැත්ත ඇතුවය.

කෙසේ වෙතත් මට, නුවර විහාරස්ථානයේ වැඩ වෙසෙන්න සිදු වූයේ මාසයකටත් අඩු කාලයකි.....


- නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page