top of page

✈️එතෙරින් එතෙරට✈️ (17 වන කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 4 min read

ඇමරිකාව බලා යන සංචාරයේදී,මම තායිලන්තය හරහා... ඇමරිකාවට යන්න සියල්ල ලෑස්ති කර ගත්තෙමි..... එබැවින් දින දෙකක් තායිලන්තයේ, මම කලින් වැඩ සිටි පන්සලේද නැවති ඉද යාමට හැකි වෙනු ඇත.


මම සමග, ඇමරිකාව බලා යන්නට ලෑස්ති වි සිටින අනෙක් ස්වාමීන් වහන්සේලා දෙනම සමග තායිලන්තයේ දින දෙකක් නැවති හිද, පසුව ඇමරිකාව බලා යන්නට වැඩ කටයුතු සියල්ල දැන් ලෑස්තිය....

මා සමඟ තායිලන්තයේ සිට ඇමෙරිකාව බලා වැඩම කිරීමට ලෑස්ති වී සිටි ස්වාමීන් වහන්සේලා දෙනමද මගේ වයසේම පසුවුවන්‍ විය..

තායිලන්ත ගමනට වඩා වැඩිපුර මහන්සි වී මම ඇමරිකා ගමනට ලෑස්ති වුනෙමි. ඉතා ශීතල කාලගුනයක් සහිත කාලයක අපි ඇමරිකාව බලා යන නිසා, මෙම ගමනට ශීත කබා ඇදුම්ද ගෙන යන්නට සිදුවිය. කිසිදින හිම වැටෙන රටකට ගොස් නොතිබුන මම, බොහෝ නොවිසිල්ලෙන් මෙම ගමනට ලෑස්ති වූනෙමි.

ඇමරිකා යන ගමනේදී බන්ඩාරනායක ගුවන් තොටුපොළේ සිට තායිලන්තයට යනකම් මම කිසි අමාරුකමක් නැතුව හොද පුරුදු කෙනෙක් ලෙස ගමන ආරංභ කලෙමි.....


පළවෙනි පාර ගිය ගුවන් ගමන ලෙස, සිතේ කිසිදු බයක් සැකක් නැතුවම මගේ ගමන යන්නට හැකි විය.

මම තායිලන්තයේ පුරුදු පන්සලට යනවිටත් මා සමග ඇමරිකාවට යන්නට ලෑස්ති ස්වාමීන් වහන්සේලා දෙනමද එම පන්සලට වැඩ සිටියාහ.

"‘ඔබවහන්සේ ඇමෙරිකාවේ සංචාරයට වඩින්න ගොඩක් කැමැත්තෙන් සිටි නිසා, ඇමරිකාවට වීසා හම්බ වුණ එක ගැන ගොඩක් සතුටු ඇති නේද?"


“‘එහෙමයි...... මගේ ලොකු හාමුදුරුවොත් අපවත් වුණානේ.... මට ඉන්න තැනකුත් නැතිවේගෙන තමයි ආවේ....ඒ නිසා මේ ගමන යන්න ලෑස්ති කර ගත්ත එකත් හොඳට ගියා....‘‘

"‘ඇයි ඉන්න තැන නැති වුණා කිව්වේ......‘‘


"‘‘පන්සලේ ලොකු හාමුදුරුවෝ අපවත් වුණාට පසුව එහි වැඩම කළ අලුත් නායක හාමුදුරුවො මා ගැන එතරම් පැහැදීමක් තිබුණේ නෑ..... මං ඒ පන්සලේ නායක ධුරය බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි උන්වහන්සේ හිතාගෙන ඉදලා තියෙන්නේ ..... මං සංචාරයකට යනව කියපු ගමන් ම උන්වහන්සේ මගේ කුටිය වෙන පොඩි සාමනේර දෙනමකට නවතින්න ලෑස්ති කලා....‘‘


"‘ඔබ වහන්සේටත් තියෙන්නෙ අපි වගේ වෙන පිටරටක පන්සලක වැඩ වෙසෙන්නයි.....‘‘


"‘‘මාත් කැමැතියි..... ඒත් පන්සලකින් ආරාධනාවක් ලැබෙන්න ඕනනෙ....‘‘


‘‘අපි... බලමු. ඉස්සරහට අපටත්, ඔබ වහන්සේ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියල....‘‘

අපි තුන් නම ඇමෙරිකාව බලා ගමන් ඇරඹුවේ තායිලන්තයේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ අවසර ආශිර්වාද ලබා ගෙනය.....


එම ගමන ඉතා දිගු වෙහෙසකර ගුවන් ගමනක් විය. එය පැය දහහතකට ආසන්න විය. අප පිළිගැනීමට කිසිවෙක් ගුවන්තොටුපළට පැමිණ තිබුනේ නැත.


මා සමඟ ඇමෙරිකාවට වැඩම කළ සෙසු භික්ෂූන් දෙනමට මේ ගමන හොඳින් හුරුපුරුදු නිසා...., ඒ ගැන අපට බයක් නොතිබුනි. අපි ගුවන් තොටුපොලේ සිට කැබ් රථයකින් ඇමෙරිකාවේ ඇති බෞද්ධ පන්සල බලා ගමන් ආරංභ කළෙමු.....


එක්සත් ජනපදයේ බොහෝ නගරවලට දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි මාසවල නැවුම් හිම පතනයන් දක්නට ලැබෙන බව මුළින් අපි දැනගෙන සිටියෙමු. අපි ඇමරිකාව බලා ගිය දෙසැම්බර් අන්තිමේ, අපට

අපේ වාහනය ඇදී යන පාර දෙපස, තැනින් තැන සුදුපාට හිම ගොඩවල් දකින්න ලැබිම මට සතුටක් හා පුදුමයක් විය. අප යන විටත් , වාහනයෙන් එලියේ හෙමිහිට හිම පතනයක් වැටිම බලන්න ලස්සන දර්ශනයක් විය.....ජීවිතේට හිම නොදැකපු මට, අහසෙන් කඩා වැටෙන සිහින් පුළුං වැනි හිම කැටි, බිමට වැටෙන හැටි, ඒවා හෙමිහිට බිමට වැටි, එකතු වි හිම ගොඩවල් හැදෙන හැටි දැක ඇති උනේ, කියාගන්න බැරි තරම් අරුම පුදුම දෙයක් ගානටය....


තායිලන්තයට වඩා එහෙම පිටින්ම වෙනස් රටක් වූ ඇමෙරිකාවේ.... අපි ගොඩ බට නගරය ඉතා ජනාකීර්ණ, කලබලකාරී පරිසරයක් පෙන්නුම් කෙරින. .... මේ කාලයේ එහි ඇති ශීත දේශගුණය නුපුරුදු අපට එය දරා සිටීමට නොහැකි තරම් අදික සීතලක් ඇඟට දැනේ...


ඇමෙරිකාවේ මීට ප්‍රථම සංචාරය කර තිබූ අනෙක් ස්වාමීන් වහන්සේලා මටත් එක්කම ශීත කබා රැගෙනවිත් තිබූ නිසා, මට යාන්තමට සීතලෙන් බේරීමට හැකිවිය. ඇඟේ බරට හා සමාන බරකින් යුත් ශීත කබා ඇඳගෙන ආරංභ කල ගමන මට, එය ඉතා වෙහෙස කර, අපහසු ගමනක් විය....


උදේ පාන්දර ඇමෙරිකාවේ ගුවන් තොටුපොළකින් කැබ් රථයකට නැඟි අප, අපට නවතින්න නියමිත පන්සලට යාමට පැයක් විතර කාලයක් ගත විය.

පැය ගානක ගුවන් ගමනෙන් හා, වාහනයෙන් ආ අපට අපි නවතින පන්සලට පැමිණි පසු, හිතට ගතට හරිම පහසුවක් හා සැහැල්ලූවක් දැනින....

නගරයේ තදාසන්න පරිසරයක පිහිටා තිබූ බෞද්ධ පන්සල ඉතා ඉඩකඩ අඩු පන්සලක් බව පෙනේ.... එම පන්සල් බිම අවටද තැන තැන හිම ගොඩවල් දකින්නට ඇත...පන්සල අවට බිමේ ඇත්තේ දැඩි අදුරු පෙනුමකි...හිම වැස්සක ලකුනු ඔන්න් මෙන්න් කියා පෙනේ....වාහනයෙන් එළියට බට අපට දරාගත නොහැකි සීතලක් දැනින. අපි වාහනයෙන් ඉක්මනට එළියට බැස අඩිය ඉක්මන් කර ගොස් පන්සල තුලට ගොඩ උනෙමු.....


එම පන්සලේ තරුණ ස්වාමීන් වහන්සේ දෙනමක් වැඩ වාසය කළහ. උන්වහන්සේලා අපව ඉතා උණුසුම්ව පිළිගෙන ආවතේව කලේය.

නුපුරුදු දේශගුණයකට පැමිණ සිටි බැවිනුත්, දිගු ගුවන් ගමනක යෙදුනු බැවිනුත් අපි ඉතා තෙහෙට්ටුවෙන් පසු වුණෙමු.


"උණු වතුරෙන් ඇඟපත දොවා ගන්න ප්‍රථම මේ ගිලන්පස වළඳලා සිටියා නම් ඇඟපත රත්වෙන්නත් එක්ක....‘‘


"කිරි කෝපි හොඳයි සීතල යන්නත් එක්ක.....‘‘

එම විහාරස්ථානයේ වැඩ සිටි භික්ෂූන් දෙනමම ඉතා හොඳ ගතිගුණ ඇති භික්ෂූන් වහන්සේලා යැයි මට සිතිණි..... තායිලන්තයේ සිට ඇමරිකාව බලා ඒමට දින දෙකකට ආසන්න කාලයක් ගතවි ගොස් ඇත. මම එක දිගටම ඇඳගෙන සිටි සිවුරු උනාදමා උණු වතුරෙන් ඇඟපත දෝවනය කරගෙන, අලුත් සිවුරක් ඇඳ ගත්තෙමි, පන්සල ඇතුලත උනුසුම් උදුන් තිබුනත්, ඇඟට ශීතල ගතියක් දැනෙ...මම සිවුරට උඩින් ශීත කබායක්ද ඇඳගත් විට ඇඟට හොඳ සනීපයක් දැනින...


‘‘වේලාසනම දහවල් දානය වළඳලා...ඔබ වහන්සේලා, වේලාසන සැතපෙන්න යන්න මහන්සි ඇති නේ, එක දිගට පැය ගානක ගමනක් ආ නිසා......‘‘

පන්සලේ ලොකු හාමුදුරුවෝ අපට කීහ.


“‘එහෙනම් ඔබවහන්සේලා වඩින්න දාන ශාලාවටම.....‘‘

ඉතා පොඩි දානශාලාව මැද කෑම මේසයක් තිබුනි. කාමරය වටේට කබඩ් ගසා පිරිසිදුව පිලිවෙලට හැම දේම අසුරා ඇත.

කෑම මේසයේ උඩ, සුදුබත් සහ මාළු පිනි තබා තිබුණේ උයපු භාජනවලමය.... ඒවා මේසයට තියෙන දීසි තරම්ම පිරිසුදු ලස්සන භාජන වේ. පන්සලේ වැඩවෙසෙන හාමුදුරුවරු ඔවුන්ගේ දානය මාරුවෙන් මාරුවට පන්සලේම උයාගන්නා බවත්, දායකයන්ගෙන් දානය ඉදහිට ලැබෙන බවත් උන්වහන්සේලා කීය.


දිගු ගුවන් ගමනින් හා ඇඟපත දොවා ගැනීමෙන් පසු ඇතිවි තිබු ලොකු බඩගින්න නිසා, අපි තුන්නම විසින් උන්වහන්සේලා පිසින ලද දානය වැළඳුවේ බොහෝම කැමැත්තෙන්ය.


‘‘මෙහේ දේශගුණයට හරි ඉක්මනට බඩගිනි හැදෙනවා..... අවශ්‍ය වේලාවට උයන ගෙට ගිහින් අවශ්‍ය දෙයක් වළඳන්න. තේ, කෝපි තියෙනවා. කිරි ෆිජ් එකේ තියෙනවා. අරගෙන වැළඳුවාට කිසිම ප්‍රශ්නයක් නෑ. මෙහේ ආවතේවකාරයො නෑ. අපේ වැඩ අපිම තමයි කරගන්න ඕනේ......."

එදින දාවාලෙ වේලාසනම දානය වළදා අවසන් වු විගස අපට වේලාසන නින්දට යන්නට ලැබුණි. දහවල උනත් අවට පරිසරය හරියට ඇදිරි වැටීගෙන එන හවස් වරුවක සිරි ගෙන ඇත.

එකම කාමරයක බිම මෙට්ට තුනක් දමා අපට නිදාගන්න ලෑස්ති කර තිබුනි. මෙට්ට උඩ තද ඝනකම් පොරොවනද තිබුනි. බොහෝම පුංචි කාමරයේ මෙට්ට උඩ ඝනකම් පොරෝන යට ගුලී ගැසී අප තිදෙනා කතාබහෙන් තොරවම සැතපුණෙමු. අවට හිම වැටෙන සද්දය මැද, ඒ සමග ඇති සීතලේ.... මෙට්ටයට වැටුනු පරක්කුවෙන් දෑස් පියවුනි.


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා*

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page