top of page

✈️එතෙරින් එතෙරට✈️ (16 වෙනි කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 4 min read

පන්සලේ ලොකු හාමුදුරුවෝ එන්න එන්නම දුර්වල තත්ත්වයට පත් වෙමින් හිදී. උන්වහන්සේගේ සියලු ඇප උපස්ථාන කටයුතු සියල්ල මම ,පොඩි සාමනේර නමක්ද හවුල් කරවා ගනිමින් කරන්නෙමි.


මට තායිලන්තයේ දී හමු වූ භික්ෂූන් වහන්සේ නමක්, ඇමෙරිකාවේ චාරිකාවක යන්නට මට ආරාධනා කර එවා තිබූ ලිපිය ගැන මම ලොකු හාමුදුරුවන්ට කීව්වෙමි.


“‘විපස්සි හාමුදුරුවන් ගිහින් ඒ රටතොටද දැක බලා ගෙන වඩින්න..... අවස්ථාව හම්බ වුණ වෙලාවට වඩින්න ඕනේ.....‘‘

ලොකු හාමුදුරුවෝ කවදත් මගේ අනාගතය ගැන සිතන හිමිනමකි..... නමුත් ලොකු හාමුදුරුවන් සිටි අසනීප තත්ත්වය නිසා මට උන්වහන්සේ දමා චාරිකාවක යන්නට නොසිතිණ. නමුත් මම ඇමෙරිකාවට යන්න වීසා බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් පතක් දැම්මෙමි. එයට ටික කාලයක් යන බව මම දැනන් උන්නෙමි.

මම පිරිවෙන් යන පොඩි හාමුද නමකට, ලොකු හාමුදුරුවන් බලාකියා ගත යුතු ආකාරය ටිකෙන් ටික මම උගන්නන්න පටන් ගත්තෙමි. ලොකු හාමුදුරුවන් සෝදා පිරිසුදු කර, බෙහෙත් කැඳ දිය යුතු විදිය, කෑම දෙන විදිහ හැම දෙයක්ම පොඩිතැන ඉක්මනින් ඉගෙන ගත්තේය.

නිතර නිතර ලෙඩ වෙන්නට පටන් ගත් නිසා ලොකු හාමුදුරුවෝ දැන් ඉතා දුර්වල තත්ත්වයෙන් පසුවෙයි උන්වහන්සේ බලාකියා ගැනීම මාත්, පොඩිතැනත් මාරුවෙන් මාරුවට කිරීමට භාර ගෙන ඇත.


දිනක් උදෑසන උන්වහන්සේ අප සියල්ලන් අත්හැර අපවත්ව සිටියේය. එය මට ඉතා දුක්මුසු පුවතක් විය.

ලොකු හාමුදුරුවන්ගේ අපවත් වීම ගමේ උපාසක උපාසිකාවන්ටද දුක්මුසු ආරංචියක් විය. උන්වහන්සේ විසින් මෙම පන්සල් හොද තත්ත්වයට ගෙන ඒමට ඉතා ඇපකැප වි වැඩ කෙරු හිමිනමක් විය.


උන්වහන්සේගේ අපවත් වීමේ සියලු වැඩකටයුතු මා පිට පැවරුණ ගානය.


පන්සලේ වැඩ වෙසෙන සියලු භික්ෂූන් වහන්සේලා හා දායකයන් සියල්ල එකතු කර ගෙන එම අවස්ථාව මම ඉතා හොඳින් නිමකර දැමුවේමි....


පන්සලේ ලොකු හාමුදුරුවෝ අපවත් වීමෙන් පසු ,පන්සලේ මහ නායක පදවිය හෙබවීමට අලුත් ,උගත් ස්වාමින් වහන්සේ, නමක් පත්කර ගත යුතුව ඇත.


‘‘මෙම පන්සල භාර නායක හාමුදුරුවෝ අපවත් වී ඇති බැවින්, මේ පන්සලට නායක හාමුදුරු නමක් දැන් නැවත පත්කර ගැනිමට අවශ්‍ය කර තිබෙනවා.... ඒ ගැන අප ඉදිරියේදී කතා බහ කරගත යුතුයි. "

"දැනට නායක හාමුදුරුවන් ළඟින්ම සිටි උන්වහන්සේ සමඟ එකට පිරිවෙන අධ්‍යාපනය ලැබූ, තලාහේනේ සුමනසාර හිමි අපි දැනට පන්සලේ මහානායක ලෙස පත්කර ගමුනේද.....?‘‘


"‘එහෙම හොඳයි ,නේද....?‘

"උන්වහන්සේත් පැවිදි ජීවිතයට පත්ව අවුරුදු තිහක් සම්පූර්ණ කර ඇති උපාධිධාරී ස්වාමීන් වහන්සේ නමක් බැවින්, පන්සලක් තුළින් ගිහියන්ට සිදු විය යුතු යුතුකම් ගැන හොඳ වැටහීමක් අවබෝධයක් තිබෙන ස්වාමීන් වහන්සේ නමක් නිසා උන්වහන්සේව අපි පත්කර ගනිමු....‘‘

පන්සලේ දායක සභාව විසින්, ලොකු හාමුදුරුවන්ගේ ලඟම මිත්‍ර, සුමණසාර ස්වාමින් වහන්සේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ලෙස පත්කර ගනු ලැබීය.

අපේ නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් පසු මා පන්සල තුළ අතරමං වූවා සේ මට හැඟිණි.

‘‘විපස්සි හාමුදුරුවො බලන් ඉන්න ඇත්තේ පන්සලේ නායක පදවිය ලබා ගන්නයි......‘‘

‘‘ඒක තමයි දැන් ඔය පැත්තකට වෙලා කා එක්කවත් කතා බහක් නැතුවම වැඩ හිදින්නේ........"

අපේ නායක හාමුදුරුවන් සිටි කාලයේ පන්සලේ වැඩට උදවු නොකළ විශ්වවිද්‍යාල හිමිවරු දැන් ඉතා ඕනෑකමෙන් අලුත් නායක හාමුදුරුවන්ට පෙනෙන්නට නිතර පන්සලේ වැඩට සහභාගි වෙති.

කිසි කෙනෙක් ගැන මට කිසිම තරහක්, තරඟයක් නැත. කිසි දින මම පන්සලේ නායක පදවියක් බලාපොරොත්තු නොවූවෙමි. මම ලොකු හාමුදුරුවන්ට ඇප උපස්ථාන කරමින් පන්සලේ වැඩ සොයා බැලූවේ උන්වහන්සේට කරන උදවුවක් ලෙස පමණි. මගේ ගැන පන්සලේ වැඩ වෙසෙන අනෙක් හාමුදුරුවරුන් සිතන ලෙස මාගේ යටි හිතේ කිසිදු තණ්හාවක්, ආශාවක් නැත. මා හට විශ්වවිද්‍යාල ගමන යන්නට උදවු කළ ලොකු හාමුදුරුවන්ට බැරි අමාරු අවස්තාවේ, මං උපරිමයෙන්ම සැලකුවෙමි. ඒ ගැන මගේ හිතේ ඇත්තේ කිව නොහැකි තරම් සතුටකි. මා කළ හොඳ නරක කවදා හෝ මා පසුපස එනු ඇත.

අනිත් ස්වාමීන් වහන්සේලාගේ කෙනෙහිලිකම්, වෙනස්කම් මා ඉවසා දරාගන්නේ ලොකු හාමුදුරුවන් සිතින් සිහිපත් කරමින් ය.

මෙම පන්සලේ ගතකරන ජීවිතය මගේ සිතට දැන් එතරම් හොඳ නැත. එහි පත් වී ආ නායක හාමුදුරුවෝද මා ගැන ඒ හැටි හිත හොඳකින් පසු නොවෙන බව මට වැටහි ගොස් ඇත. ඔවුන් සියල්ලෝ නිතර මා මගහරිති.... ඔවුන් සමඟ ගතකරන ජීවිතය මට දැන් එපා වී ඇති ගානය.


විශ්වවිද්‍යාල උපාධිය ලැබුවාට පසු, මම ඉල්ලුම් කර තිබු ගුරු පත්විම මට තවම නොලැබිම මගේ හිත කනස්සල්ලට පත් කර ඇත. මේ වන විට මට

යන්නට වෙන විහාරස්ථානයක් ද නොවීය. මම මහණ වූ නුවර විහාරස්ථානය දැන් මට හිමි නැත.... යනවා නම් මට යන්නට ඇත්තේ උපන් ප්‍රදේශයේ තිබූ ගමේ පන්සලටය. ගමේ පන්සලට යන්නටද මගෙ කැමැත්තක් නැත. ඒ මම ගමේ පන්සලෙන් නුවර පන්සලට ගිය හේතුව තවමත් මා සිතේ ඇති බැවිනි.


ටික දවසකට අම්මා, සහෝදර සහෝදරියන් බැලීමට මගේ ගමට යන්න අවශ්‍ය බව මට තදින් දැනින.


මම මගේ ගමේ යන බව අලුත පත්ව ආ ලොකු හාමුදුරුවන්ට පමණක් පවසා ගමේ යන්නට බසයකට නැග ගත්තෙමි.

ගමේ ගිය විට ගෙදර සියල්ලෝ මාව හොඳින් පිළිගෙන ආවතේව කලේය.


‘‘අපේ හාමුදුරුවෝ කාලෙකට පස්සෙ අපිව බලන්න ආවේ......‘‘


මගේ තායිලන්ත ගමන ගැනද ඔවුන් අසන්නට අමතක නොකළහ.


‘‘හාමුදුරුවනේ අවස්ථාවක් හම්බ වුණොත් අපිවත් රට එක්ක යන්නකෝ...."


නංගීත්, මල්ලීත් මා අවට ගැවසේ....

අම්මාගේ දුකසැප බලා ඇයට වියදමට මුදල් ටිකක් දී මා නැවත කොළඹ පන්සලට ආ දිනම මට සතුටුදායක ආරංචියක් ලැබිණි.....


එය මා ඉල්ලුම්පත් යොමුකර තිබු ඇමෙරිකා සංචාරයට විසා ලැබී තිබීමය. මට ඒ ගැන ඇති වුණේ කිව නොහැකි තරම් විශාල සතුටකි....මට මාස හයකට ඇමරිකාවට යන්න වීසා ලැබී තිබිණි. මා හට ඇමෙරිකාව බලා යෑමට තිබුණේ තායිලන්තය හරහාය. තායිලන්තයේ පන්සලට ආ ගිය, මා සමඟ මිත්‍රව සිටි තව හිමිවරු දෙනමක් මා සමඟ මේ ගමන යන්න ලෑස්ති වී හිදිති..... බොහෝම කැමැත්තෙන් මම ඒ ගමනට අවශ්‍ය සියලු දේ තනියම ලෑස්ති කර ගත්තෙමි.

‘"නායක හාමුදුරුවනේ මට අවස්ථාවක් ලැබිල තියෙනවා ඇමෙරිකාවට වැඩම කරන්න.... ලබන සඳුදා ඒ ගමන යන්න හැමදෙයක් දැන් ලෑස්තියි....‘‘


“‘එහෙම ද?... විපස්සි හාමුදුරුවන් මීට ප්‍රථමත් තායිලන්තයේ වැඩ හිට තිබෙන නිසා, ඒ රටවල් ගැන හොද දැනීමක් තිබෙන නිසා හොඳයි....දැන්. කොපමණ කාලයකට ද ඒ රටට වැඩම කරන්න හිතන් ඉන්නෙ...‘‘?


‘‘වීසා මාස හයකට ලැබිල තිබෙනවා.....‘‘


‘‘එතකොට හාමුදුරුවො එහේ ගිහින් කොහේද වැඩසිටින්න බලාපොරොත්තු වෙන්නේ...?‘‘


‘‘එහේ තිබෙන ලංකාවේ හාමුදුරුවරු වැඩ සිටින පන්සලක වැඩ හිටින්න තමයි හැම දෙයක්ම ලෑස්ති කරලා තියෙන්නේ ....‘‘


‘‘ ඒක හොඳයි..... දැන් මේ පන්සලෙත් ඉඩකඩ මදි වේගෙන එන්නේ.... එහෙනම් අපට විපස්සි හාමුදුරුවන්ගෙ කුටියත් මේ අලුත් සාමනේර දෙනමට ප්‍රයෝජනයට ගන්න දෙන්න පුළුවන්.....”


‘‘එහෙමයි, මගේ කියන්න කිසි දෙයක් නැති මේ රටේ, මගේ කියල කුටියක් තියාගෙන ඉන්න එකත් තේරුමකුත් නෑනෙ.....මං ඇමරිකා ගමන වැඩම කළ විගසම එම කුටිය පොඩි හාමුදුරුවන්ට නවතින්න අවසරයි....‘‘


මම මේ පන්සලෙන් නික්ම යනවාට, අලුත් නායක හාමුදුරුවන්ගේද කැමැත්තක් ඇතැයි මට දැනින.


මෙම පන්සලේ පරණම ගෝලයෙකු වන මම, මෙහි සිටීම ගැන උන්වහන්සේ තුළ එතරම් කැමැත්තක් නැති බව මාහට වැටහී ගියේ, උන්වහන්සේට මේ පන්සලේ නායක පදවිය ලැබ ආ අලුතය.....


මට මේ රට වගේම, මේ පන්සලද දැන් අමතක කර දමා, තායිලන්තය හරහා, ඇමෙරිකාවේ සංචාරය බලා හිත හදාගෙන යා හැකි යැයි සිතිණි.


-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page