✈️එතෙරින් එතෙරට✈️ (15 වෙනි කොටස )
- Prisila Godahewa

- Dec 3, 2021
- 6 min read
ලංකාවේ වැඩවාසය කරපු කාලයේදී වගේම මම තායිලන්තයේ පන්සලේ කටයුතු වලටද දැන් ඉතා
ඕනෑකමින් සහභාගි වන්නෙමි. පන්සලට එන උපාසක උපාසිකාවන්ගේ බෝධි පූජා වැඩ වලට, දානමාන කටයුතු වලට හා බණ භාවනා කටයුතු වලට ඔවුන්ව උනන්දු කරන්නෙමි. පන්සලේ ලොකු හාමුදුරුවන්ටද ඇප උපස්ථාන කරමින් හැමෝගෙම හොද හිත දිනාගෙන සිටිමට මට හැකි වි ඇත.
දහවල් දානයට හා හීල් දානයට එරට ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ දානය රැගෙන එති. දානයක් නැති දිනට පන්සලේ වැඩට සිටින පුද්ගලයා අපට දානය සාදා පිළිගන් වන්නේය.
‘‘විපස්සි හාමුදුරුවො හැමදාම හවස බෝධි පූජාව හොදට කරනවා...., ඒ නිසා අපේ හිතට ලොකු සතුටක් සැනසිල්ලක් දැනෙනෙවා ....ඒ නිසා අපි හරිම ආසාවෙන් පන්සල් එන්නෙත්.....ඔබවහන්සේ තව ගොඩක් කාලයක් මේ පන්සලේ වැඩ හිටිනවද....? තරුණ දායක දායිකාවෝ මා සමඟ හොදින් මිතුරු වී ඇත.
‘‘අපේ තාත්තා නැති වෙලා අවුරුදු දහය පිරෙන දිනයට, අපේ ගෙදරට හාමුදුරුවරු වඩම්මලා බණක් කියල, දානයක් දෙන්න ආසයි..... කොහොමද විපස්සි හාමුදුරුවනේ ඒක ලෑස්ති කර ගන්නේ....?.‘‘
‘‘මං ලොකු හාමුදුරුවන්ට කියල ඒක ලෑස්ති කරවන්නම්කෝ..... ඔය ඇත්තෝ, අවශ්‍ය දිනයට ගෙදර කරන්න ඕන වැඩකටයුතු ලෑස්ති කරල තියන්න......‘‘
දායකයන් සියලු දෙනාගෙ, ඕනෑ එපා කම් මම මැදිහත් වී විසඳන්නෙමි.
තායිලන්ත පන්සලේ, ලංකාවේ ක්‍රමයට කඨින පිංකම කිරිමට දැන් සියලු දේ සුදානම්ය . ඒ වෙනුවෙන් මට මාසයක පමණ කාලයක් වෙහෙස මහන්සි වෙන්නට සිදුවිය. පන්සලේ ලොකු හාමුදුරුවන්ට අවශ්‍ය ලෙස සියලු වැඩ කටයුතු මගේන් සිදුවිම ගැන, උන්වහන්සේ බොහෝ සතුටට පතව ඇත.
කඨින පිංකම දිනට පෙර දින, තායිලන්තයේ පන්සලට අමතරව වෙන රටවල් දෙකකින්ද තායිලන්තයේ දුරබැහැර පන්සල් වලන්ද හාමුදුරුවරු අට නමක් පමණ පන්සලට පැමිණ නවාතැන් ගත්හ.
කඨින පිංකම වෙනුවෙන් ගිහිපැවිදි දෙගොල්ලෝම ඉතා උවමනාවෙන්, කැපවීමෙන් වැඩ කටයුතු කරගෙන යයි. මා හට ඔවුන් සමඟ සතුටු සාමිචියේ යෙදෙන්න අවස්ථාව ලැබීම ඉතා වටිනා අවස්ථාව ක් විය .
“‘දැන් විපස්සි හාමුදුරුවො මේ පන්සලට වැඩම කරල ඉන්න එකේ.... එන පාර අපිත් එක්ක පැරිසිය, එංගලන්තය වගේ රටවලටත් නිවාඩුවකට එහෙම වැඩම කරලත් යන්න එන්න..."
"‘මාත් කැමැතියි රට තොට බලාගන්නනම්.‘‘
“‘ඒ රටවල තියෙන ලංකාවේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින පන්සල්වල අපට නවාතැන් ගන්න පුළුවන්.....ඒ නිසා අපට නවාතැන් වලට වියදමක් යන්නෙ නෑ.... අපි යන ගුවන් ටිකට්පතට විතරයි වියදම යන්නේ......‘‘
" මට ඒ සල්ලි නම් හොයා ගන්න අමාරුවක් නෑ.... මේ පන්සලට එන දායකයන්ගෙනුත් පිරිකරවලට මුදල් ලැබෙනවා.....පන්සලේ දායකයන් අපේ සියලු ඕනෑ එපාකම් විසදන නිසා, අපට ඉතිං ඒ මුදල් වියදම් කරන්න අවශ්‍ය නෑනේ ඒ නිසා මම මට ලැබෙන පිරිකර මුදල් පොතේ දාලා එකතු කරගෙන ඉන්නේ.....‘‘
‘‘විපස්සි හාමුදුරුවෝ ඊලඟ පාර අපේ ඇමරිකාවේ පන්සලටත් වැඩම කරන්න.... අපි එනපාර එංගලන්ත ගමනක් යන්න ලෑස්ති කරගෙන ඉන්නේ, ඔබවහන්සේ අපිත් එක්ක ඒ ගමන වඩින්නත් එන්න..... රටතොටවල් බලාගෙන එන්න යන්න ලැබෙන එකත් ලොකු දෙයක්නේ....‘‘
"‘දැන් විපස්සි හාමුදුරුවෝ මේ තායිලන්තයේ ඉන්න අවුරුද්දක කාලය ඉවර වුණාම ආපහු ලංකාවට වඩින්න ද හිතන් ඉන්නේ....?‘‘
‘‘එහෙමයි හාමුදුරුවනේ ....‘‘
‘‘කැමැති නැද්ද මේ වගේ රටක, පන්සලක එක දිගටම වැඩ වෙසෙන්න ...?‘‘
‘‘මොකද අකැමැති. අවස්ථාවක් හම්බ වුණොත් මේ පන්සලේ වුණත් දිගටම ඉන්න කැමැතියි......‘‘
"‘ඒක තමයි අපි මේ පන්සල්වල වැඩවාසය කරමින් මේ රටවල ඉන්න බෞද්ධ ජනයාට කරන්නෙ ලොකු සේවයක්නේ..... ලංකාවේ නම් ඕනතරම් භික්ෂූන් වහන්සේලා වැඩ හිටිනවා. මේ වගේ රටවල ඉන්න සිංහල බෞද්ධයන් වෙනුවෙන් අපි යමක් කරන එක ලොකු දෙයක්.....‘‘
කඨින පිංකමේදී දැනහඳුනා ගැනීමට ලැබුණු තායිලන්තයේ ස්වාමීන් වහන්සේලා වැඩ සිටින අනෙක් පන්සල්වලට ගොස් ඒවා දැක බලා ගන්නත්, ඔවුන් සමග තායිලන්තයේ විශේෂ ස්ථාන බලාකියා ගැනීමටත් මට අවස්ථාව ලැබිණි.
තායිලන්තයට පැමිණ ටික කාලයක් යන විට මට මේ වගේ රටක නවාතැන් ගන්නට ඇත්නම් යැයි සිතිනු වාර අනන්තය. නමුත් මාගේ තායිලන්ත වීසා අහවර වී අවුරුද්දකින්, මම නැවත ලංකාව බලා වැඩම කරන්නට සිදු වෙන බවත් මම දනිමි.
තායිලන්තයට පැමිණ එහි සැහැල්ලුවෙන් ගත කල කාලය නිමවි, දිනෙන් දින මම ලංකාවට යන දිනයද ළං වෙන්න පටන් ගෙන ඇත. ඒ ගැන නම් මට ඇත්තේ දුකකි. ඉතා පහසුවෙන්, විවේකිව මෙහි ගත කල අවුරුද්දක කාලය ඉක්මනටම ගෙවි ගොස්‍ය.....
‘‘ඔබ වහන්සේ ආයෙත් තායිලන්තයේ වීසා අලුත් කරගෙන මෙහෙටම වඩින්න බලන්න .....”
මම ලංකාව බලා යන දින තායිලන්ත පන්සලේ ලොකු හාමුදුරුවෝ මට නැවත තායිලන්තය බලා වඩින්න ආරාධනා කළහ....
‘‘හොඳමයි හාමුදුරුවනේ.‘‘
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *
########
තායිලන්තයේ අවුරුද්දක කාලයක් වැඩ විසු මම, ලංකාවේ මීට කලින් වැඩ විසූ කොළඹ පන්සලටම නැවත වැඩම කලෙමි.
මම තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොලට පැමිණ කෙලින්ම මම සිටිය පන්සලට වැඩම කරන ලදි. මම රට යන විට එහි වැඩසිටි අනිත් පොඩි හාමුදුරුවන්ට පොඩි පොඩි තෑගි භෝග ද ගෙන යන්නට අමතක නොකෙරුවෙමි.
පන්සලට ගිය වහා, පන්සලේ ලොකු හාමුදුරුවන් දැක බලා ගැනීමට මම උන්වහන්සේගේ කුටියටම වැඩියෙමි.
"‘ලොකු හාමුදුරුවො අසනීපෙන් එක්තැන් වෙලා......‘‘
මම පන්සලේ සිටි කාලයේ ස්වාමීන් වහන්සේලාට ආවතේව කරමින් සිටි විල්සන් අයියා ඒ වනවිට පන්සලේ නොසිටියේය. ඒ වෙනුවට වෙන වයසක මාමා කෙනෙකු භික්ෂූන් වහන්සේලාගේ ඇප උපස්ථානයට පැමිණ ඇත.
‘‘කෝ විල්සන් අයියා?‘‘
මම පොඩි නමකගෙන් ඇසීය.
පොඩිනම අතින් කට වහගෙන සිනාසුණහ.
“‘විල්සන් අයියා පන්සලට එන ගැහැනු කෙනෙක් එක්ක පැනලා ගියානේ......දැන් ඈතක පවුල් කනවලු.‘‘
“‘එහෙමද? එතකොට දැන් කවුද ලොකු හාමුදුරුවෝ බලා ගන්නෙ....‘‘?
‘‘ඔය ඉන්න වයසක මාමා තමයි දැන් බලාගන්නේ..... අපිත් උදවු කරනවා...."‘
මම ලොකු හාමුදුරුවන්ගේ කුටියට ගියේ දුකෙන් බරවය..... මම පිරිවෙනෙන් අස් වී විශ්වවිද්‍යාලයට යන්නට පැමිණි දින සිට මා හට උදවු උපකාර කරමින් මා බලා ගත් ලොකු හාමුදුරුවෝ දැන් එක්තැන් වී ඇත..... ලොකු හාමුදුරුවන්ගේ කුටියෙන් එන බෙහෙත් ගඳ මිශ්‍ර වෙනත් අපවිත්‍ර ගඳ මට උහුලන්න බැරි තරම් විය..... දෑසට නැගුණු කඳුළු බිඳුවක් සමඟින් මම ලොකු හාමුදුරුවන්ගේ සයනය වෙත ගොස් ලොකු හාමුදුරුවන්ගේ අත අල්ලා ගත්තෙමි.
‘‘ලොකු හාමුදුරුවනේ මේ මම විපස්සි හාමුදුරුවෝ..... තායිලන්තයේ අද උදේ ඉදන් වැඩම කලේ...‘‘
මාගේ කටහඬ ඇසී, ඇස් ඇර අමාරුවෙන් මා දෙස බැලූ ලොකු හාමුදුරුවෝ ටික වේලාවක් මා දෙස බලා සිටියේ එක් ඇසකින් කඳුළු බිඳුවක් බේරී යද්දී ය.....
‘‘විපස්සි... හාමුදුරුවො කවද්ද වැඩම කළේ‘‘?
දුර්වල හඬකින් මාගේ අත අල්ලා ගත් ලොකු හාමුදුරුවන් ඇසුවේ මා දෙස බලමින් සතුටින් යැයි මට සිතේ..
" අද උදේ හාමුදුරුවනේ ....,ඔබ වහන්සේ සැතපිලා හිටිය නිසා කතා කලේ නෑ.... දැන් කොහොමද ඔබ වහන්සේට..?....
‘‘කියන්න හොඳක් නෑ. ඇඟපත පණ නෑ. නැගිටලා වාඩිවෙන්නවත් බෑ.....‘‘
‘‘මා ළඟ සිටි පොඩි හාමුදුරු නමකගෙන් ලොකු හාමුදුරුවන්ගේ, වෛද්‍ය සහතිකවල තිබූ දෑ හා දොස්තර මහතා කිව් දේ අසා දැනගත් මම, ලොකු හාමුදුරුවන්ගේ ආවතේව වැඩ කිරීමට මමම භාරගත යුතුයැයි කැමැත්තෙන්ම සිතා ගත්තෙමි.
තායිලන්තයේ සිට පැමිණි දිනට පසු දින මම තව පොඩි හාමුදුරු නමකගේ උදවු ඇතිව ලොකු හාමුදුරුවන්ව කුටියෙන් එළියට උස්සා ගෙන ගොස්, පුටුවක හිඳුවා, වතුර උණු කර හොඳින් කුණු අතුල්ලා නෑවුවෙමි....
‘‘ලොකු හාමුදුරුවන්ට ලොකු අසනීපයක් නෑනේ...ටිකක් දුර්වල වෙලා, දැන් ගොඩක් වයසයිනේ.... හොඳට පිරිසුදුව ඉඳගෙන, හොඳට දානය වළදන විට ඔබ වහන්සේට ඉක්මනට සනීප වෙයි......‘‘
‘‘උණු වතුර පොඳක් ඇඟට වැටුණම හරි සනීපයි විපස්සී හාමුදුරුවනේ .....‘‘
ලොකු හාමුදුරුවෝ අමාරුවෙන් වචන පෙළ ගසයි
“ලොකු හාමුදුරුවෝ ටික වේලාවක් මේ පුටුවේ ඈඳිගෙන අව් රශ්මිය විඳින්න.... ඇඟට අව් රැල්ලක් වැටුණම හොඳයි....එක දිගටම එක්තැන් වෙලා කාමරයෙම නෙව ඉදලා තියෙන්නේ .....‘‘
‘‘ලොකු හාමුදුරුවො එහෙනම් මේ කොත්තමල්ලි වතුර ටික වළඳන්න මෙතන ඈදිගෙනම..... මං කාමරය අස්පස් කරල එන්නම්.....‘‘
ලොකු හාමුදුරුවන්ගේ කුටියේ දොර ජනෙල් ඇර දැමූ මා, එහි තිබූ සියලු ඇඳ ඇතිරිලි අස්කර, කොට්ට මෙට්ට අව්වට දමා වේලෙන්න හැරියේය.... මුළු කාමරයේ ම මකුණු දැල් කඩා, දූවිලි පිහිදා විෂබීජ නාශයකින් සෝදා පිරිසුදු කළෙමි....
‘‘ලොකු හාමුදුරුවනේ ඇඳේ මෙට්ටය තව ටිකක් වේලන්න ඕනේ.... එතකම් ඔබවහන්සේට මේ පුටුවේ තව ටික වේලාවක වැඩ හිඳින්න පුළුවන් ද....?
‘‘පුළුවන් විපස්සි හාමුදුරුවනේ. කාලෙකින් හුළං ටිකක් වැදෙන්න එළියට ආවේ, හුස්ම ගන්නත් පහසුයි...... කුණු අතුල්ලලා මාව නෑව්වායින් ඇඟට පුදුම සනීපයක් දැනෙනවා.‘‘
‘‘මං මුළු කාමරයේ ම දූවිලි පිහිදලා හෝදලා දැම්මා.... තව ටිකකින් වේළුන කොට්ට මෙට්ට ගිහින් දාලා ඇඳ හදල ඉවර වුණා ම ඔබ වහන්සේට සැතපෙන්න පුළුවන්......‘‘
‘‘ විපස්සී හාමුදුරුවන්ට බොහොම පිං ....කාලෙකින් උනු වතුර නෑවේ......ඒ නිසා වෙන්න ඇති අද නම් මට බඩගින්නක් දැනෙනවා පොඩිතැන.‘‘
‘‘එහෙමද, එහෙනම් මං ඉක්මනට දානෙට දෙයක් අරන් එන්නම්.....‘‘
මම කුස්සියට ගොස් එදින දානයට ගෙනත් තිබූ වේල් දානයෙන්, සුදු බත්, වැටකොළු හොඳි, පරිප්පු, බිත්තරයක් සමඟ බත් බෙදා ගෙනැවිත් ලොකු හාමුදුරුවන්ට කැව්වෙමි..... පොඩි දරුවෙකු සේ කට ඇර, මම කවන බත් වළඳන උන්වහන්සේ ගැන මට දුක සිතිණි.
“විපස්සි හාමුදුරුවන්ට බොහොම පිං”
ලොකු හාමුදුරුවෝ මට සැරෙන් සැරේට පිං දෙන්නේය.
“බුදුරජාණන් වහන්සේ වදාළේ, ගිලනුන්ට උපස්ථාන කිරීම මහඟු පිංකමක් කියායි... බුදුරජාණන් වහන්සේ වදාළ සේම, බොහෝ පිං සිදු වෙන පිංකමක් විපස්සී හාමුදුරුවෝ මේ කරගත්තේ...."‘
උන්වහන්සේ නැවත කීය.
හොඳින් අව්වේ වේළුණු කොට්ට මෙට්ට සයනයට දමා අලුත් ඇඳ ඇතරිලි, කොට්ට උර දමා කාමරය පිළිවෙළකට පිරිසුදු කළ මම, ලොකු හාමුදුරුවන් හරහට වඩාගෙන ගොස්, සයනයේ තැබුවෙමි..... උන්වහන්සේ දැන් බොහෝම දුර්වලවි කෙසඟ වී ඇත.
‘‘ලොකු හාමුදුරුවනේ දැන් ටිකක් සැතපෙන්න.... මං ඔබවහන්සේගේ සිවුරු ඇඳ ඇතිරිලි හෝදලා දාලා එන්නම්.‘‘
‘‘හොඳමයි විපස්සි හාමුදුරුවනේ..... ඔබවහන්සේ ලංකාවට නැවත වැඩම කිරීම මගේ වාසනාවක්....‘‘
ලොකු හාමුදුරුවන්ව වැසිකිළියට ගෙන යෑම, සෝදා පවිත්‍ර කිරීම, සිවුරු සෝදා පිරිසුදු කරදීම ආදී සියලු උන්වහන්සේගේ වැඩකටයුතු සොයා බලා කිරීම මා අතින්ම ඉන්පසු කාලයේ සිදු විය....
උන්වහන්සේ ඒ ගැන මට නිතරම පිං දුන්හ. කිසිම අකැමැත්තක් නොපෙන්වා මා ඒ සියලු දේ කළේ ඉතා කැමැත්තෙනි.
මේ වනවිට අලුතින් පන්සලේ නැවතී විශ්වවිද්‍යාලවලට හා පිරිවෙනවලට යන බොහෝ භික්ෂූන් වහන්සේලා එහි වැඩවිසූහ.
උන්වහන්සේලාට හීල් දානය පන්සල තුළ ම සාදා දීම දැන් වැඩ කරන ඇබිත්තයා විසින් කරනු ලබන්නේය..... දහවල් දානය උන්වහන්සේලා පිරිවෙන් හෝ විශ්වවිද්‍යාල කැන්ටිමෙන් වළඳන බව දන්නෙමි.
බොහෝ විට ගමේ ගෙවල් වල දායකයන් පන්සලට දානය ගෙනෙන්නෙ ලොකු හාමුදුරුවන් හා දිගට ම පන්සලේ නැවතී සිටි ස්වාමීන් වහන්සේලාට පමණි..... විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට සෙනසුරාදා, ඉරිදා හා පොහොය දිනවලට උපාසක ඇත්තන්ගේ ගෙවල්වල ඇති සාංඝික දානවලට සහභාගි වෙති. උන්වහන්සේලා එළිවෙන තෙක් සජ්ඣායනය කරන මහ පිරිත් සජ්ඣායනවලටද සහභාගි වෙති. කාලයක් පන්සලේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් ලෙස හා ගමේ උපාසක උපාසිකාවන් අතර හොඳ නමක් දිනූ භික්ෂූන් වහන්සේ නමක් ලෙස මා හට මෙම පන්සලේ දිගට ම වැඩ සිටිය හැකි බව ලොකු හාමුදුරුවෝ පැවසූහ.
"විපස්සි හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවන්ගෙ වැඩි සැලකිලි නිසා අඩුපාඩුවක් නැතුව දානය හම්බවෙනවා.... අපට තමයි දානෙවත් වෙලාවට ලැබෙන්නෙ නැත්තේ.....‘‘
‘‘එහෙම තමයි ඉතිං රටරටවල්වලට ගිහින් වැඩියම.....‘‘
මට ඇසෙන නොඇසෙන ගානට පොඩි භික්ෂූන් වහන්සේලා තැන තැන කතා වෙති.... ගිහි පැවිදි දෙපිලම එක වගේ යැයි ඒ වෙලාවට මට සිතෙයි.
තායිලන්තයේදී හමු වූ වෙන රටවල සිට වැඩම කළ භික්ෂූන් වහන්සේලා සමඟ මම නිතර ලිපි හුවමාරු කර ගත්තෙමි. ඔවුන් වැඩ වෙසෙන පන්සල්වල තොරතුරු, රටතොට තොරතුරුද ඔවුහු මට නිතර ලියා එවති.... ඔවුන්ගේ අදහස මාද ඔවුන් මෙන් විදේශ රටක පන්සලක වැඩ වෙසෙන්න යන එක හොඳ බවය......
ලොකු හාමුදුරුවන්ගේ ආවතේව කටයුතු කරමින්, උන්වහන්සේ රැකබලා ගනිමින්, පන්සලේ වැඩටද මම උපරිමයෙන්ම උදවු කරන්නෙමි. අනාගතය ගැන කිසිදු විශේෂ බලාපොරොත්තුවක් නොතිබුණු මම, එදා දවසේ කළ යුතු වැඩ ගැන නිතර සොයා බලමින් දැහැමින් සෙමින් ජීවත් වූයෙමි....
නමුත් මෙහි වෙසෙන අනෙක් ස්වාමීන් වහන්සේලා මා කරන කියන දෑ, අනාගතයේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේගේ පදවිය බලාගෙන කරනවා යැයි අනවශ්‍ය සැකයක් ඇතිකර ගෙන ඇත.... ඔවුන් මා සමඟ කතාබහ කළේ ද නුහුරටය. ගිහි ජීවිතය ගැන කලකිරී පැවැදි ජීවිතයට ආ මට පැවිදි ජීවිතය ගැන ද කලකිරෙන්න පටන් ගෙන තිබුණේ මෙහි වැඩවෙසෙන අනෙක් ස්වාමීන් වහන්සේලාගේ ගතිපැවතුම් නිසා ය.
-නැවත හමුවෙමු --
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments