top of page

✈️එතෙරින් එතෙරට✈️ (14 වෙනි කොටස)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 6 min read

තායිලන්ත නගරයෙන් කිලෝමීටර් ගානක් ඈතට අපව රැගෙන ගිය වාහනය, කඳුහෙල් පෙනෙන මායිමක ඇති පන්සලක් ඉදිරිපිට එය නතර කලේය. නගරයෙන් ඈත, නිදහස් පරිසරයක ලංකාවේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින පන්සල පිහිටා තිබුනේය. එම පන්සල තායිලන්තයේ ගෘහ නිර්මාණ ශිල්පයන් අනුව නිර්මාණය කර ඇති බව පෙනේ. රතුපාට හා රත්තරං පාට වහල බිත්ති ඇති පන්සල් වත්ත පුරා නොයෙක් පාට මල් ලස්සනට පිළිවෙළට වවා ඇත. බුදු ගෙයක් හා පුංචි බෝධීන් වහන්සේ නමක් වැඩ වෙසෙන පන්සලේ ආවාස ගෙය හා බණ මඩුව යැයි සිතෙන ගොඩනැගිලි විශාල ලෙස සාදා ඇත.


වාහනයෙන් බැස මගේ ගමන් මල්ලද රැගෙන ලොකු හාමුදුරුවන් පසුපස එම විහාරස්ථානයට ගොඩවැදුණු කල මට පුදුම සතුටක් හා නිදහස් බවක් දැනිණ. ඉතා නිස්කලංක පරිසරයක පිහිටා තිබුන පන්සල, ඕන කෙනෙකුට දැකපු ගමන්ම නවතින්නට හිතෙන තැනකි.


“‘විපස්සි හාමුදුරුවනේ... මේ තමයි අපි වැඩවෙසෙන පන්සල....‘‘


“‘හරිම අගෙයි හාමුදුරුවනේ.....

පන්සල අවට පරිසරය පුදුම නිස්කලංක බවක් තියෙන්නේ......මං හිතන්නෙ අපි තායිලන්ත නගරයේ ඉඳන් කිලෝමීටර් 200ක් විතර ඈතකට ආවා කියලයි......”


"එහෙමයි, තායිලන්ත අගනගරයේ ඉඳන් කිලෝමීටර් 180ක් විතර දුරක තමයි මේ පන්සල පිහිටා තිබෙන්නේ. විපස්සි හාමුදුරුවන්ට මහන්සි ඇතිනේ..... එන්න මං ඔබවහන්සේට ලෑස්ති කරල තිබෙන කාමරය පෙන්වන්නම්.....‘‘


‘‘තව ස්වාමීන් වහන්සේලා මෙහි වැඩ හිඳිනවාද හාමුදුරුවනේ....?


“‘එහෙමයි තව එක තරුණ භික්ෂූන් නමක් දැනට මෙහි වැඩ හිඳිනවා.... ඒ වගේම නිතරම වෙන රටවලින් එන බෞද්ධ භික්ෂූන් වහන්සේලාද මෙහි නවාතැන් ගන්න වැඩම කරනවා.... තායිලන්ත, විහාරස්ථාන වැඳපුදාගන්නට හා රටතොට බලන්න යන එන ගමන්......‘‘


"‘එහෙමද....දැනගැනිම සතුටක් ? එහෙනම් මං ඇඟපත දොවා ගෙන එන්නම් හාමුදුරුවනේ .‘‘

" ඉන්න කෝපි එකක් බීලම වඩින්න..... "


කුස්සියේ වැඩ කරන තායිලන්ත ජාතිකයකු මට කෝපි කෝප්පයක් ගෙනත් පිලිගැන්විය .


‘‘ දැන් හුඟක් හවස් වුණානේ... ..එහෙනම් විපස්සී හාමුදුරුවෝ ඇඟපත හෝදගෙන වඩින්න..... .‘‘

මට නතර වීමට ලෑස්ති කර තිබූ කාමරය ඉතා පිරිසුදු, පුංචි කාමරයක් විය. දොර රෙදි දමන ලද කාමරයේ, බිමට එළන ලද මෙට්ටයක්, මේසයක්, බිත්තියට අල්ලපු ලොකු අල්මාරියක් යන දෑ එහි තිබුණි. කාමරයේ බිම පිඟන් ගල් අල්ලා තිබිණි. ඉතා පිරිසුදු කාමරය දැක මට සතුටුක් දැනින.

දිගු ගුවන් ගමනකින් හා පැය දෙකකට ආසන්න කාලයක් මෝටර් රථයෙන් පැමිණ සිටි මට ඉතා තෙහෙට්ටුවක් දැනෙමින් තිබුනි. මම එම කාමරයේන් පිට තිබු, පොදු නාන කාමරයට ගොස් හොඳින් ඇඟපත දොවා ගෙන අලුත් සිවුරක් ඇඳගෙන එළියට පැමිණියෙමි.

ලංකාවෙන් එන විට මම ගෙනා හොඳ තේ කොළ පැකට්, හොද කිතුල් හකුරු මුල් දෙකක්, කිරිටොපි පාර්සලයක් , සමහන්, හා පස්පංගුව පැකට් සහිත පාර්සලය ලොකු හාමුදුරුවන්ට පිළිගන්වා, වැඳ නමස්කාර කර, උන්වහන්සේගේ එකත් පසෙකින් ඉඳ ගත්තෙමි.


මේ දිනවල තායිලන්තයේ ගිම්හාන කාලය බැවින් වැඩි සීතලකුත් නැති, වැඩි රස්නයකුත් නැති දේශගුණයක් එරටේ ඇත. එය ඇඟට සනීප දේශගුණයකි.


"‘කොහොමද මේ රට හොඳද විපස්සි හාමුදුරුවනේ...?.‘‘


‘‘බොහොම හොඳයි... හොඳ දේශගුණයක් තියෙනවා....හරිම නිස්කලංකයි... ‘‘


‘‘මේ තායිලන්තයේ නැවතිලා රස්සාවල් කරන ලංකාවේ මිනිසුන් මේ පන්සලට නිතර යනව එනවා..... අපට ඒ අයගෙනුත්, මේ රජයෙනුත් මේ පන්සලට ආධාර ලැබෙනවා. ඒ නිසා කරදරයක් නැතිව පන්සල පවත්වාගෙන යන්න පුලුවන් .....‘‘


‘‘තව ස්වාමීන් වහන්සේ නමක් පන්සලේ වැඩ වාසය කරනවා කියලා ඔබවහන්සේ පැවසුවේ.....උන්වහන්සේ අද පන්සලේ වැඩ හිදින්නේ නැතුවද?....‘‘

මම අවට බලමින් ඇසීය.


“‘එහෙමයි.... උන්වහන්සේ වෙන රටක සංචාරයකට වැඩම කරලා.... මේ දිනවල මමත්, කුස්සියෙ වැඩ කරන පිරිමි කෙනත් පමණයි පන්සලේ හිදින්නේ...‘‘


‘‘ විපස්සී පොඩි හාමුදුරුවන්ට රෑට එළවළු සුප් එකක් හදන්න කියල මං කුස්සියෙ වැඩ කරන කෙනාට කිව්වා... අද මහන්සි ඇතිනෙ, වේලාසන ගිලන්පස වළඳලා සැතපෙන්න ගියාට කමක් නෑ.... අපට හෙට ආගිය තොරතුරු කතා කරන්න බැරියැ.....‘‘


‘‘හොඳමයි ලොකු හාමුදුරුවනේ..... මං එහෙනම් බුදුගෙට ගිහින් බුදුන් වැඳල එන්නම් .... .‘‘

ආවාස ගෙයින් එළියට ආ මට, පන්සල අවට පරිසරය ඇඳිරි වැටී ඇති බව පෙනිණි.....


මම රත්තරං පාට බුදුගෙට පිය නගා එහි තිබූ විශාල බුදු පිළිමය ඉදිරි පසින් හිට ගත්තෙමි. අලුත් රටක, අලුත් පන්සලක, අලුත් ස්වාමීන් වහන්සේලා සමඟ ගත කරන්න යන ජීවිතයට ප්‍රථම...., බුදුන් වැඳ අවසර ගත යුතු යැයි මම සිතුවෙමි. ලංකාවේ පන්සල්වල ඇති බුදු පිළිම වහන්සේලාට වඩා වෙනස් පෙනුමැති, රත්රන් පෙනුම ආලේපිත බුදු පිළිම වහන්සේලාගේ වෙනසක් මම දුටිමි.... විවිධ රටවලට ආවේණික ලෙස ඒ රටවල බුදුපිළිම නෙලා ඇති බව මම දනිමි. එබැවින් තායිලන්තයේ මිනිසුන්ගේ පෙනුමට සමාන ලෙස මෙරටේද ඇති බුදු පිළිම නෙළා ඇත..... ලංකාවේ මිනිසුන්ගේ පෙනුමට ගැළපෙන ලෙස ලංකාවේ බුදු පිළිම නෙළා ඇති ආකාරයටමය...

‘‘හියර්.... ආ.‘‘

මම ගැස්සී පිටුපස බැලුවෙමි. මගේ පිටුපසින් සිටගෙන සිටියේ මට ගිලන්පස පිලිගැන්වු තායිලන්ත ජාතිකයායි.... දණිස්සට ටිකක් පහළට දිග කලිසමක් හා කමිසයක් ඇඳ සිටි මිනිසා, මා දෙසට මල් වට්ටියක් හා පැන් වීදුරුවක් දිගු කළේය. මේ පන්සලේ හාමුදුරුවන්ට ආවතේව කරන කෙනා බව මට තේරුම් ගියේය.


“‘මොන්ක් ගේව්....."


කැඩුණු ඉංග්‍රීසියෙන් කතා කරමින් ඔහු අතින් පෙන්වූයේ ලොකු හාමුදුරුවන් මට, මල් වට්ටිය දුන්නා කියන ලෙසය.


‘‘තෑන්ක් යූ...‘‘


මම ඔහුගේ අතින් මල් වට්ටිය ගත්තේ සිනා මුසුවය.

තායිලන්තයට ආවේණික යැයි කිව හැකි මල්වලින් මල් වට්ටිය පිරී තිබුණි.... මම ඔහු දුන් මල් වට්ටිය හා පැන් වීදුරුව බුදුරජාණන් වහන්සේට පූජා කර, දොහොත් මුදුන් තියා වැන්දෙමි.

බිම අසුන් ගැනීම සඳහා බුදුගෙයි පසෙක තිබූ හතරැස්, හීනි කොට්ටයක් ගෙන බිම එලා, එහි එරමිණියා ගොතා ගෙන වාඩි වූ මම, නිදහසේ, සැහැල්ලුවෙන් බුදුන් වැඳ පිරිත් ද කියා ටික වේලාවක් භාවනාද කළෙමි. බුදුන් වැද අහවරවි මම, ආවාස ගෙය දෙසට යන කල, ලොකු හාමුදුරුවෝ කෑම කාමරය දෙසට යන්න ලෑස්තිවි හිදින බව දුටිමි.


‘‘විපස්සි හාමුදුරුවො බුදුන් වැන්දලා ඉවරද?


‘‘එහෙමයි හාමුදුරුවනේ....‘‘


‘‘එහෙනම් යමු. ගිලන්පස වළඳන්න.... විපස්සි හාමුදුරුවන්ට වේලාසන නිදාගන්න පුළුවන් එතකොට......”


‘‘හොඳමයි හාමුදුරුවනේ.”‘


‘‘අපි හැමදාම උදෑසන 4.30 වෙනකොට අවදි වෙනවා. ඊට පස්සෙ මූණකට සෝදා ගෙන, බුදුන් වැඳලා, පන්සලේ අතුපත ගාන වැඩ එහෙම කරනවා. හෙටින් පස්සේ, උදේට 4.30ට එලාම් එක තියලා ඔබ වහන්සේත් අවදි වුණොත් හොඳයි."


‘‘හොඳමයි හාමුදුරුවනේ...මට ඒක පුරුදුයි... .‘‘


පන්සලේ දාන ශාලාව යැයි කිව හැකි, සාමාන්‍ය ප්‍රමාණයේ ශාලාවකට මාව කැඳවා ගිය ලොකු හාමුදුරුවෝ , එහි තිබු මේසයක් අද්දර පුටුවක මට වාඩි වෙන්න කීය.


පන්සලේ ආවතේව කරු අපට සුප් වතුර කෝප්ප දෙකක් ගෙනත් පිළිගැන්විය. අපි අපට රෑට වළඳන්නට සකසා තිබූ සුප් වතුර බොන්නට පටන් ගත්තෙමු. එළවළු එකට අඹරා, පෙරා සාදා තිබූ සුප් බඳුන විශේෂ එකකි....


“ විපස්සී හාමුදුරුවන්ට රෑට ඕන වුණොත් තේ, කෝපි, කිරි එහෙම කුස්සියේ තියෙනවා. ඇවිත් හදාගෙන වළඳන්න....‘‘


“‘හොඳමයි හාමුදුරුවනේ.‘‘

රෑට පිළිගැන්වූ සුප් වතුර වැළඳූ මම, මගේ කාමරයට ගොස් සැතපුණේ හොඳටම මහන්සි වී සිටි බැවිනි. පැය ගානක ගුවන් ගමනට වඩා ,ලංකාවේ පන්සලේ සිට බන්ඩාරනායක ගුවන් තොටුපොළට එන දිනට ප්‍රතම රාත්‍රියේ සිට මට නින්දක් නොවීය. එබැවින් හවස ඇගපත සෝදාගත් කල දැඩි නිදිමතක් ඇතිවි ඇත . අලුත්, පිරිසුදු කාමරයක හොඳ දේශගුණයක් ඇති, කිසිදු සද්දබද්දයක් නැති තැනක ඉතා පහසු බිමට එළපු මෙට්ටයක් උඩ මට වැටුණු ගමන්ම නින්ද ගියේය.


#######

මට නැවත ඇහැරුණේ උදෑසන 4.30ට ඔරලෝසුවේ එළාම් එක වදින විටය. සුළු වේලාවක් එලෙසම මෙට්ටය උඩට වි සිටි මම, නැගිට මූණකට සෝදා ගෙන කාමරයෙන් එළියට ගියෙමි....


අලුත් රටක, අලුත් පන්සලක, අලුත් භික්ෂූන් වහන්සේ නමක් , අලුත් ආවතේව කරුවෙක් සමඟ ගත කරන්න යන...., අලුතින් පටන් ගන්න යන අලුත් ජීවිතය සඳහා අලුත් දිනක් උදාවි ඇත....


ආවාස ගෙයින් එළියට ඇවිත් දාන ශාලාවට ගිය මට පන්සලේ ආවතේව කරු කිරි කෝපි කෝප්පයක් අතට දුන්නේය. එය බී මම බුදු මැදුරට යන විටත් පන්සලේ ලොකු හාමුදුරුවන් එහි වැඩ සිටියේය. මල් ,පැන් පුජාකර දෙදෙනාම බුදුන් වැඳ භාවනා කළේ එකටමය.

තායිලන්ත බෞද්ධ විහාරවල වැඩ සිටින බෞද්ධ ස්වාමීන් වහන්සේලා එම රටේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හා තායිලන්ත බෞද්ධ ජනයා වෙනුවෙන් ආගමික පැත්තෙන් විශාල සේවයක් කරන බව මට පෙනින. සෑම මාසයකම පසළොස්වක පොහොය දිනට කිට්ටු ළඟම ඇති සෙනසුරාදා හෝ ඉරිදා දිනක සිල් වැඩසටහනක් පවත්වන බවත් ලොකු හාමුදුරුවෝ කීය. භාවනා වැඩසටන්, බෝධි පූජා වැඩසටහන් ආදී බෞද්ධ වැඩසටහන්වලට ශ්‍රී ලාංකිකයන් සහභාගි වනුයේ ඉතා ඕනෑකමින් බවත් ලොකු හාමුදුරුවෝ පැවසීය.


‘‘විපස්සි හාමුදුරුවනේ, උදේ වැඩ කොටස ඉවර වුණාම අපි ටිකක් රටතොට ඇවිදලා එන්න යමුද...?‘‘


‘‘හොඳමයි හාමුදුරුවනේ...මාත් ආසයි මේ රට තොටේ තොරතුරු දකින්න....‘‘


‘‘එහෙනම් ලක ලෑස්ති වෙලා වඩින්නකෝ.... අපි බස් එකෙන් ටවුමට වඩිමු .... ඊට පස්සේ ඒ පැතිවල ඇවිදලා එහෙම එමු..... අපට දවල් දානය ටවුමෙන්ම ගන්න පුළුවන්....".


######

ඉදහිට වෙලාව ලැබෙන ලෙස ලොකු හාමුදුරුවන් සමඟ පන්සල ළඟ තිබූ බස් නැවතුම්පළෙන් තායිලන්ත නගරය බලා යන අප දෙනම, රටේතොටේ සිරි නරඹන්නෙමු..... දකින අසන හැම දේකම ඇත්තේ ඇසට ප්‍රිය දසුන් හා අමුතුම ලෝකයක හැඩ තලය. මේ රටේ නගර වල කොපමණ වෙලා ඇවිද්දත් ,රට තොටේ වගතුග කොපමණ බැලුවත් ඇසුවත් ඇති නොවේ.....


‘‘මේ රටේ ඉන්න මිනිසුන්ටත් වැඩිය ඉංග්‍රීසි කතා කරන්න බෑ.....ඒ අය ඒගොල්ලන්ගෙ මව් භාශාවෙන් කතා කරන්න තමයි කැමති. ඒ උනාට අපට මේ මිනිස්සුත් එක්ක කතා කරන්න තියෙන්නේ ඉංග‍්‍රීසි බාසාවම තමයි...... එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගෙ භාශාව අපි ඉගෙන ගන්න ඕනේ.... මේ මිනිස්සු උත්සහ ගන්නවා, පුලුවන් විදිහට ඉංග‍්‍රීසි කතා කරන්න .... ඒ නිසා විපස්සි හාමුදුරුවොත් ඉංග්‍රීසි ටිකක් කතා කරන්න ඉගෙන ගන්න ඕනේ... නැත්නම් මෙහේ අය එක්ක ගනුදෙනු කරන්න අමාරු වෙයි.....‘‘


"මට ඉංග්‍රීසි පන්තියකටවත් යන්න තිබුණොත් ලොකු හාමුදුරුවනේ....‘‘


‘‘දැන් ඔය අපේ සුබෝධ හාමුදුරුවෝ...., මං කිව්වේ නිවාඩුවකට සංචාරයකට ගිහින් කියල, ඒ උන්නාන්සේට හොදින් ඉංග්‍රීසි කතා කරන්න ලියන්න හැකියාව තියෙන නිසා, උන්වහන්සේට පුළුවන් විපස්සි හාමුදුරුවන්ට ඉංග්‍රීසි කතා කරන්න උදවු කරන්න..... මං උන්නාන්සේ මෙහෙට වැඩම කරාම කියන්නම්කො ඔබ වහන්සේට ඉංග්‍රීසි ඉගෙන ගන්න උදව් කරන්න කියලා .... ‘‘


‘‘ලොකු දෙයක් හාමුදුරුවනේ..... කොයි දවස්වලට ද සුබෝධ හාමුදුරුවෝ තායිලන්තයට වඩින්නේ....‘‘?


“‘තව සුමාන දෙකකින් වඩිනවා.... මේ අවුරුද්දේ මේ පන්සලේ තියෙන කඨින පිංකමට අපි දැන් ලෑස්ති වෙන්න ඕන කාලේ.... තව මේ රටේම තියෙන අනෙක් පන්සල්වල හාමුදුරුවරුවොත් මෙහෙ තියෙන කඨින පිංකමට මෙහෙට වඩිනවා.... අපට එන සුමානෙ ඉඳන් ගොඩක් වැඩ තියෙයි, ඒ උත්සවය වෙනුවෙන්. ඔබ වහන්සේත් ඒ වැඩවලට උදවු කරන්න ඕනේ ...‘‘


‘‘එහෙමයි ලොකු හාමුදුරුවනේ. මං හරි කැමැතියි ඒ වගේ වැඩවලට.....‘‘

මට තායිලන්තයට වැඩම කළ මුල් සුමානයේ, ලොකු හාමුදුරුවන් සමඟ තායිලන්තයේ විශේෂ ස්ථාන, සාප්පු ගොඩනැගිලි, පාරවල්, මුහුදු වෙරළවල් ආදී බොහෝ තැන් බලන්න යන්න අවස්ථාව ලැබුණි. ජීවිතේ මුල් ම වරට පිටරටකට ආ මට අලුතෙන් බලන්න බොහෝ දේවල් තිබුණි. ඒ වගේ ම මේ පන්සලේ වැඩකටයුතු කරන ආකාරයද මම දැන් හොඳින් ඉක්මනින්ම ඉගෙන ගෙන උන්නෙමි.


සවසට බෞද්ධ ජනයාට බෝධීන් වහන්සේ ඉදිරිපිට පවත්වන බෝධි පූජාව, ලොකු හාමුදුරුවන් මට කරන්න නියම කර තිබුනි. මම එය ඉතාමත් ඕනෑකමින් හා ආසාවෙන් කරණ දෙයකි. සෙනසුරාදා හවස බෝධි පූජාවට ලාංකික බෞද්ධයන් බොහොමයක් පැමිණෙති. ඔවුහු ඉතා ඉක්මනට මා සමඟ මිතුරු වි ඇත.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා*

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page