top of page

✈️එතෙරින් එතෙරට✈️(13 වෙනි කොටස)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 7 min read

මගේ ජිවිතයේ මුල්ම වරට මට, කොළඹ බණ්ඩාරනායක ගුවන්තොටුපළ දැකීමට හා එහි

ඇතුළු වීමට වාසනාව උදාවි ඇත. ඒ මට යන්නට ලැබුන තායිලන්ත ගමන නිසාය. මේ වනවිට මම අවුරුදු 23ක තරුණ භික්ෂූවක් වන්නෙමි.


අවුරුදු ගානක් ගෙදරින් ඈත් වී, හොදින් පැවදි දම් පුරමින් පන්සලේ ගෙවුණු ජීවිතයත්, හොදින් ඉගෙනීමේ වැඩ කටයුතු කරමින් උත්සහ වන්තව කටයුතු කල බැවින්, අද දින මම හොඳ තැනකට පැමිණ ඇත්තෙමි. පිරිවෙනේ ඉගෙන ගෙන පසුව විශ්වවිද්‍යාලයට ගොස් එහි ද අවුරුදු හතරකට කිට්ටු කාලයක් ඉගෙන ගෙන, විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ගත් උපාදි ධාරි භික්ෂූවක් ලෙස තැනකට ඇවිත් ඇත.

මාව ගුවන් තොටුපොළට රැගෙන ආ පන්සලේ තරුණ සංවිධානයේ ළමයින්ගෙන් සමුගත් මම, මගේ ගමන් මල්ලත් රැගෙන ගුවන් තොටුපොළ ඇතුලට පිවිසියේ, හිතේ ඇතිවි තිබු සතුට හා තිගැස්මත් සමඟය.

ගුවන්තොටුපළේ ඇතුළට ගොස් මම , එහි සිටි ආරක්‍ෂක මහත්මයකුගෙන් මගේ ගුවන් ටිකට්පත පෙන්වා මා කළ යුත්තේ කුමක්දැයි ඇසුවෙමි.

‘‘හාමුදුරුවනේ අර පෝලිමට යන්න…. ඒ පෝලිමේ ඔබවහන්සේට වැඩි වේලාවක් ඉන්න වෙන එකක් නෑ..... ඔබ වහන්සේව ඉක්මනට ඇතුළට යවයි. එන්න මං උදවු කරන්න කියල කාටහරි කියන්නම්.....‘‘

එම ආරක්‍ෂක මහතා තව ආරක්‍ෂක නිලධාරිවරයෙකුට මගේ ගුවන් ටිකට්පත දී ඉංග්‍රීසියෙන් මොනවද කීය.... ඔහු මාව කැඳවාගෙන ගොස් ටිකක් ඈතින් තිබූ කවුළුවක් තුළ රතු සාරියක් ඇඳ ගෙන සිටි ගැහැනු කෙනෙකුට මගේ ගුවන් ටිකට්පත දුන්නේය.


‘‘ස්වාමින් වහන්ස මුල්ම වතාවටද පිටරටකට වැඩම කරන්නේ....?‘‘


‘‘එහෙමයි."


‘‘තව පැය දෙකක් පමණ තියෙනවා, ඔබ වහන්සේ යන ගුවන්යානයට ගොඩ වෙන්න.... ඔබ වහන්සේගෙ ගමන් මළු අතේ ගෙනියනවද? එහෙම නැත්නම් ඇතුලට දානවද කොහොමද....?

“මට ඒ හැටි බඩු නෑ. මේ බෑග් එක විතරයි තියෙන්නෙ….. ඒක මගේ ළඟම තියා ගත්තොත් මට ලේසියි....‘‘


"හොඳයි, එහෙනම් මෙන්න ටිකට්පත ලෑස්තියි හාමුදුරුවනේ……. ඔබ වහන්සේට යන්න පුළුවන්... ඉස්සරහට ගිහින් එතැන තියෙන පෝළිම ළඟ ඉන්න කාර්යමණ්ඩලයේ කෙනෙක්ට කියන්න, එතකොට ඒ අය ඔබවහන්සේට උදවු කරාවි.... ‘‘

ඇය පැවසූ පරිදීම මම සියලු දේ කළෙමි..... එම කවුළුවේ සිටි මහතා මාගේ ටිකට්පත් පිරික්සා බලා එයට සීල් තබා දුන්නේය .... ඒ වැඩද කාර්යමණ්ඩලයේ කෙනෙකුගේ උදවු ඇතිව මට කරගත හැකි විය.


‘‘තව පැය එකහමාරක් විතර ෆ්ලයිට් එකට තියෙනවා හාමුදුරුවනෙ....ඔබ වහන්සේ ටිකක් වටපිටාවේ ඇවිදලා මේ ශාලාවට වඩින්න.... තව පැයකින් විතර ඔබ වහන්සේ යන අහස්යාත්‍රාව පැමිනිමට නියමිතයි... "


"හොඳමයි බොහෝම ස්තූතියි.‘‘

ශ්‍රී ලංකාවේ මිනිසුන් කොයිතරම් නම් බෞද්ධ චීවරයට ගරු කරනවා දැයි මට සිතේ..... ඕන වෙලාවක මේ මිනිස්සුන් ස්වාමීන් වහන්සේලාට උදවු කිරීමට ලක ලෑස්ති වී ඉන්නා හැටි... . මට මගේ රටේ බෞද්ධ ජනයා ගැන ඇති වුණේ ආඩම්බරයක් වගේ මට මා ගැනම ඇතිවුනේ සතුටකි.....

මම යායුතු ගුවන්යානය හා මා යායුතු වේලාව එනතෙක් මම ගුවන්තොටුපළේ එහේ මෙහේ ඇවිදමින් සිරි නැරඹුවෙමි.


කටුනායක ගුවන්තොටුපළ ගැන මම අසා තිබුණද, කවදාවත් මෙතැනට මට එන්න ලැබෙයි කියා කිසි දින නොසිතුවෙමි. ශ්‍රී ලාංකිකයන් වගේම විදේශිකයන්ගෙන්ද පිරී තිබූ ගුවන්තොටුපළ මා කිසි දින නොදැකපු අරුම පුදුම සුන්දර තැනක් විය.... විවිධ වර්ගයේ පුංච් කඩසාප්පු , ඇදුම් ,තේකොළ කඩ, ලාංකික අත්කම් නිර්මාණ ඇති කඩසාප්පු , එහි දිගටම තිබිණි. මට අහස් යානයට නගින්න තව වෙලාව තිබූ නිසා, කඩ සාප්පු දිගේ ඇවිද යන ගමන් මම එහි ඇති බඩුවල ගණන් දෙසද නිකමට බැලුවෙමි.... මට එම ගනන් දැක, ඒ ගැන සිතාගත නොහැකි විය.... පිටත කඩවලට වඩා තුන් ගුණයකින් පමණ ඒ බඩුවල මිල ගනන් සටහන් කර ඇත.


වටපිටාවේ ඇවිද ගුවන්තොටුපළේ සිරි නැරඹූ මම, පසුව ගුවන්යානයට නැගීමට පැමිණෙන්න යැයි කියපු තැනට ගියෙමි.


එතැන පූජකයන්ට වෙන්වූ ආසනයක ටික වේලාවක් හිඳගෙන සිටින විට, මම යා යුතු ගුවන්යානයට නැගීමට පැමිණෙන ලෙස සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කියනවා ඇසින.... පූජ්‍ය පක්‍ෂය වෙනුවෙන් සිටියේ මා පමණක් බැවින්, වේලාසනින්ම ගුවන්යානයට ගොඩවීමට මා හට හැකි විය.

සියලු කටයුතු අහවර කර ගුවන්යානයට නැගුණු පසු, ජීවිතයේ මුල් ම වරට ගුවන්යානයක් තුළට නගින්න ලැබීම ගැන මට පුදුමාකාර සතුටක් ඇති විය.


මම වාඩිවි සිටි ආසනය අසලටම ලංකාවේ තවත් පිරිමි කෙනෙකුද වාඩි වීමට පැමිණීම මට ලොකු දෙයක් විය. ඔහු මාගේ ළඟ ආසනයේ වාඩි වීමට ප්‍රථම මට වැඳ, වාඩි වී ආසන පටි පැලඳ ගත්තේය. ඉන් පසු ඔහු මටද ආසන පටි පැලඳ ගැනීමට උදවු කළේය.


"ස්වාමින් වහන්ස පළවෙනි පාරටද මේ පිටරට ගමනක වඩින්නේ ….. ?


"එහෙමයි මහත්තයා, මහත්තයා කොහේටද මේ යන්නේ....?‘‘


“‘මම චීනෙට යන්නෙ.... මුලින් තායිලන්තයට ගිහින් ඒ හරහා තමයි මට යන්න තියෙන්නෙ.....‘‘


‘‘එහෙමද?


"ඔබ වහන්සේ කොහාටද වඩින්නේ ?


“මම තායිලන්තයට යන්නෙ. මේ මගේ මුල් ම පිටරට ගමන නිසා , මට සතුටුයි මහත්තයා වගේ කෙනෙක් ළඟ වාඩි වෙන්න ලැබීම.....‘‘


‘‘හාමුදුරුවන්ට ඕන දෙයක් මට කියන්න, මං උදවු කරන්නම්....‘‘


“‘බොහොම ස්තුතියි.”


ගුවන්යානයේ ජනේලයක් ළඟම මට අසුන් ගැනීමට හැකි වූ බැවින් එයින් එළිය බලාගෙන යන්නට ලැබීමත් වාසනාවක්ය.

ගුවන්යානය, ගුවන්ගත කිරීම පටන් ගත්තේය...... එය මට තිගැස්මක් ඇතිකළ දෙයක් විය. මම සිතින් තුන් සූත්‍රය කියන්න පටන් ගත්තෙමි. මෙතරම් විශාල යානයක් කොහොමද අහසට නගින්නේ………. මට හිතා ගැනිමටවත් නොහැකි දෙයකි.


යානය ඉහළ අහසට යනතෙක් මා සිටියේ හුස්ම අල්ලාගෙනය..... කවුළුවෙන් එළිය බැලූ කල, පල්ලෙහා වීදි, ඉඩකඩම්, ගෙවල් පෙනී නොපෙනී යන හැටි දකින්න ලැබේ.... එය කිව නොහැකි තරම් මනරම් දසුනකි. ඈතින් මුහුද ය, පහළින් හෙල්මලු ක්‍රමයට වගාකළ කඳු වළලු ය. ගිනිපෙට්ටි තරම් පොඩි ගෙවල් පෙනී නොපෙනී යන හැටි .... සුළු වේලාවක් යන විට පුළුන් රොදවල් පමණක් දක්නට ලැබිණි. ඒ වලාකුළු යැයි මට සිතිණ..... ඒ දෙස බලාගෙන සිටියදී, පුළුන් රොදවල් වැඩි වී පහළ ගොඩබිම නොපෙනී යන්න පටන් ගත්තේය. ඉන් පසු පෙනුණේ පුළුන් ගොඩවල් වැනි වලාකුළුමය.....


ගුවන්යානය පුළුන් ගොඩ මැදින් ඉදිරියට ඇදී යයි. මම ජීවිතයේ මුල්ම වරට දුටු එම මනරම් දසුන කොයිතරම් නම් අගනේද....? දැන් එළියේ ඇත්තේ නිල් පාට හා සුදු පාට පුළුන් වලා පමනය.... ටික වේලාවක් මා ඒ දෙස බලා ඉදිද්දී......මෙය නම් මට භාවනා කරන්න හොඳ දසුනක් යැයිද සිතිණි....


“හාමුදුරුවනේ බොන්න මොනවහරි ගිලන්පසට අරන් දෙන්නද....?


“හොඳමයි මහත්තයා‘‘.


මා සිටියේ දිව ගිලෙන්න තරම් පිපාසයෙනි.

ගුවන් සේවිකාවක් පැමිණ බීම වීදුරු වගයක් අතේ තියාගෙන අප ඉදිරිපිට හිටගෙන හිදියි.... ඇය ඇඳ සිටින්නේ රෙද්ද හැට්ටයකට සමාන තායිලන්ත ජාතිකයන්ගේ සාම්ප්‍රදායික ඇඳුම යැයි පෙනේ.... ඇයගේ ඇස් හීනිය....බොහෝ පැහැපත්ය.... . ඇය තායි ජාතික ලඳක්ය. .... ඇය සමඟ ඉංග්‍රීසියෙන් කතා කළ මා ළඟ සිටි මහත්මා, මට ඇපල් යුෂ වීදුරුවක් ගෙන පිළිගැන්වීය.... පැය දෙක තුනකට කිට්ටු කාලයක් වතුරවත් නොබී ගුවන්තොටුපළේ සිරි නැරඹූ මට, එම ඇපල් යුෂ වීදුරුව අමුර්තය තරම් රසවත් විය.


“‘හාමුදුරුවනේ තව ගිලනපස එකක් දෙන්න ද?


"හොඳටම තිබහ වෙලා හිටියේ..... කරදරයක් නැත්නම්.....‘‘


"‘මොන කරදරයක්ද හාමුදුරුවනේ……. ? අපේ ටිකට්පත්වලට මේවට යන වියදම එකතු කරලයි තියෙන්නේ.... කැමති දෙයක් ඉල්ලලා කන්න බොන්න පුලුවන් ‘‘


“‘එහෙමද?


‘‘ඔබවහන්සේ දවල් දානෙට මොනවද කන්න කැමැති...?


“මම මාළු, එළවළු විතරයි වළඳන්නේ මහත්තයා.....”


‘‘දැන් වෙලාව කීය ද?


"උදේ‘‘ 11.15යි.‘‘


"වැඩිය පරක්කු නොවී දානය වළඳන්න වෙයි.....”


මා ළඟ සිටි මහත්මා ගුවන් සේවිකාවට කතා කර මොනවදෝ ඉංග්‍රීසියෙන් කීය.


"‘ඉන්න හාමුදුරුවනේ, ඉක්මනට දානෙට දෙයක් ගෙනෙයි.....‘‘


වැඩි වේලාවක් නොගිහින් තැටියකට තියාගෙන ඇවිත් පොඩි පොඩි කෑම භාජන වගයක් මට ගුවන් සේවිකාව පිළිගැන්විය.


‘‘හාමුදුරුවනේ වේලාව පහුවෙන්න ඉස්සර දානෙ වළඳන්න.....‘‘


‘‘එතකොට මහත්තයාට කෑම. ‘‘


"‘මට පස්සෙ පුළුවන්, ඔබවහන්සේ වළඳන්න. නැත්නම් වෙලාව පහුවෙයි....‘‘


දුඹුරු පාට මාළු හොද්දක්, තම්බන ලද කැරට්, ගෝවා එළවළුත් සමඟ සුදු බත් පොඩි දීසියක් තිබිණි.... මම එය වැළඳීමට පටන් ගත්තෙමි. පිරිවෙනට හා විශ්වවිද්‍යාලයට යන කාලයේ අපට ලැබෙන දෙයක් කන්නට මම පුරුදු වී සිටියෙමි. කවදත් මම මස් වර්ග කෑමට නොගනිමි. එය ගෙදර ඉන්න කාලයේ පටන් කරන්නකි.

බත් වලට අමතරව ,එළවළු සලාදයක්, පොඩි බනිස් ගෙඩියක්, බටර් පොඩි කැටයක් හා අතුරුපසට කේක් කෑල්ලක් වැනි පුඩිමක් ද තිබිණි. දැඩි කුසගින්නේ සිටි මම එම සියල්ල වැළඳුවෙමි. පසුව තේ හා කෝපි ද පිළිගැන්වීය.


‘හාමුදුරුවනේ.... ටී.වී. එක දාල දෙන්න ද? ඔබ වහන්සේ කැමැති දෙයක් බලන්න පුළුවන්.....‘"


“මං මොනව බලන්න ද? කමක් නෑ, දාන්නකෝ මොනවද තියෙන්නෙ කියලා බලන්න....‘‘


මගේ කන් දෙකට ඉයර් ෆෝන් එකක් පැළද ගන්න දුන් මහත්මා, මගේ ආසනය ඉදිරිපිට ඇති ටී.වී. එක දමා.....එහි පාවෙන රූප ඇති තිරයක් මට පෙන්වීය. මම ඒ දෙස ඔහේ බලාගෙන හිටියේ, තාක්‍ෂණය කොයිතරම් නම් දියුණු ද කියා සිතමින්‍ය. තිරය තුළ නොයෙකුත් රූප පාවෙයි. බලන්න ලස්සන වටපිටාවල හිතා ගැනීමට නොහැකි දසුන් මවයි..... මම වැඩ විසු පන්සල්වල රූපවාහිනී යන්ත්‍ර නොතිබූ බැවින් මේ වන විටත්, මට රූපවාහිනී යන්ත්‍රයක් නැරඹීමට අවස්ථාව ලැබී නොතිබිණි. එබැවින් මෙය මට විශේෂ අවස්ථාවක් විය. නමුත් රූප පෙට්ටියේ සිටින අය කතා කරනා කිසිම දෙයක් මට තේරුම්ගත නොහැකි විය.

ගුවන් යානයේ ලව්ස් පීකර් එකේ ඉංගිරිසියෙන් මොනවද කියයි.


‘‘හාමුදුරුවනේ තායිලන්තයට තව පැය භාගයකින් ගුවන්යානය ළඟා වෙනවා කිව්වා....‘‘

ලවුඩ් ස්පීකරයකින් වගේ දෙයකින් සැරෙන් සැරේ ඉංග්‍රීසියෙන් කවුරුහරි ප්‍රවෘත්ති කියයි. ඔවුන් කියන කිසිදු දෙයක් මට නොතේරෙයි. ඒ දේවල් මට නොතේරුණු බව හැඟී ගිය මා ළඟ සිටි මහත්මයා, මට එම ප්‍රවෘත්ති පැහැදිලි කර දුන්නේය.


“‘ඔබ වහන්සේව එක්ක යන්න කවුරුහරි ගුවන්තොටුපළට එනව ද?


‘‘එහෙමයි පන්සලේ ලොකු හාමුදුරුවො වඩිනවා කිව්වා....‘‘


‘‘එහෙනම් හොඳයි.‘‘

ප්‍රථම වරට ගුවන්යානයක පැමිණි මා විඳි අත්දැකීම් ජීවිතයේ මා ලැබූ ඉතා වටිනාම අත්දැකීම යැයි මට සිතිණි.

ගුවන්යානය තායිලන්තයට පැමිණි බව නිවේදනය කළ පසු, මා සමග සිටි මහත්තමයා සමග මම මගේ බෑගයත් රැගෙන ගුවන් යානාවෙන් පිටතට පැමිනියෙමි.


‘‘මහත්තයාට ගොඩක් ස්තුතියි මට කළ උදවුවලට....,‘‘


‘‘මම මේ ගුවන් යානාවෙන් බැස්සට, මේ ගුවන්තොටුපළෙන් එළියට යන්නෑ..... තව පැය තුනකින් මම චීනය බලා යන ගුවන්යානයට නගින්න මේ ගුවන් තොටුපොලේම නැවති සිටිනවා....ඒ නිසා මම ඔබ වහන්සේට, ගුවන්තොටුපළෙන් එළියට යන්න ඕන තැන පෙන්වන්නම්.....”


මගෙන් තායිලන්ත රටට මට ඇතුළු විමට අවශ්‍ය විස්තර අසා දැනගෙන, මගේ ඉල්ලුම් පත්‍රයද පිරවූ එම මහත්මයා එය මා අතට දුන්නේය.


‘‘ඔබවහන්සේ මේ ෆෝම් එකයි, මේ ටිකට්පතේ ඉතිරි කොටසයි, පාස්පෝට් එකයි දෙන්න කවුන්ටරයේ ඉන්න කෙනාට.....‘‘


‘‘හොඳමයි... එහෙනම් මං ගිහින් එන්නම්.‘‘


“හොඳමයි හාමුදුරුවනේ....‘‘ ඒ මහතා මට වැන්දේය.


‘‘බොහොම පිං මට කළ සියලු උදවු උපකාර වලට....‘‘

ගුවන්තොටුපළෙන් බැහැර වීමේ කවුළුවෙන් පිටතට පැමිණි මා එහි කොරිඩෝව දිගේ ඇවිද ගියේ මාගේ ඇඳුම් බෑගය ද රැගෙනය....


කටුනායක ගුවන් තොටුපොළට වඩා මහා ව්ශාල ,ඇස් අදහාගත නොහැකි තරම් ලස්සන, තාක්ෂණය අතින් ඉතා දියුනු තායිලන්තයේ ගුවන් තොටුපොලේ එහෙ මෙහෙ යන මිනිසුන් දෙස බලමින් මම එළියට ආවෙමි. ඇස් හීන්, බොහෝ සුදුපාට කෙට්ටුත් නැති, මහතත් නැති , වැඩි උසකුත් නැති තායිලන්තය මිනිසුන් දෙස මම බලා සිටියේ පුදුමයෙනී. ඔවුන් කතා කරන භාශාව, පෙනුම, කඩිසර ගමන් ඇති ඔවුන් දෙස බලමින් පිටවිමේ දොරටුව දෙසටම මම ගියෙමි. එම දොරටුව අසල විවිධ පුද්ගලයන්ගේ නම් ගසන ලද බෝඩ් උස්සා ගත් තායිලන්තයේ මිනිසුන් ඇත. ඒ ගුවන්යානාවලින් පැමිණ සිටි මිනිසුන් පිළිගැනීමටය..... මම අවට බැලූවේ මගේ නම තියෙන බෝඩ් එකක් වත් එහි තිබේදැයි කියායි.... . නමුත් මගේ නම තියෙන බෝඩි ලෑල්ලක් එහි නොතිබිණි.


තැඹිලි පාට සිවුරක් ඇඳ ගෙන සිටි හිමි නමක් මට ඈතින් දැකගත හැකි විය. මේ නම් මා පිළිගන්නට පැමිණි තායිලන්ත පන්සලේ භික්ෂූව වෙන්න ඇතැයි සිතී මම ඒ දෙසට ගියෙමි. ඈතදීම මා හඳුනා ගත් එම හිමිනම, මා සමඟ සිනාසී මා ළඟට පැමිණියහ. මා පිළිගැනීමට උන්වහන්සේ පැමිණ සිටීම මට සතුටට කරුණක් විය....මගේ හිතට සැහැල්ලුවක් දැනින.


‘‘ මේ විපස්සි හාමුදුරුවොද....?


"‘එහෙමයි හාමුදුරුවනේ....මම සිතුවාට වඩා තායිලන්ත පන්සලේ ලොකු හාමුදුරුවෝ තරුණ කෙනෙක් විය. මම උන්වහන්සේට දෙකට නැමි වැඳ නමස්කාර කළෙමි.


"එහෙනම් අපි පන්සලට වැඩම,කරමු.... මම වැඩියේ කුලී කාරයකින්.”


"එහෙමද...? හොදමයි හාමුදුරුවනේ "

ගුවන්තොටුපළෙන් එළියට පැමිණි අපි, කුලී කාර් රථයකට නැග ගත්තෙමු. තායිලන්ත පන්සලේ ලොකු හාමුදුරුවෝ චතුර ලෙස ඉංග්‍රීසි කතා කරයි. ඔහු කුලී කාර් රථයේ රියැදුරා සමඟ ඉංග්‍රීසියෙන් කතා කරමින් යන හැටි මම ආසාවෙන් අසා සිටියෙමි.


ජීවිතේට පිටරටකට ගොස් නොතිබුන මම, අප යන වාහනයේ කවුළුවෙන් එළිය බලාගෙන ගියේ ලොකු සතුටකිනි. විශාල ගොඩනැගිලි, විශාල පාරවල් වගේ ම තදබදය දැඩි ලෙස තිබූ පාරවල්වලින් එහෙට මෙහෙට දමමින් කුළී රතය දාවනය වෙයි.


මම ජනේලයෙන් එළිය බලාගෙන කල්පනා කළේ මගේ ජීවිතයේ අවුරුදු 23ක් පුරාවට ගෙවුණු ආකාරය ගැනයි..... මම හිටියේ කොහෙද, අද ඉන්නෙ කොහෙද, මගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් , මගේ උපන් ගම් පළාත, නැවති සිටි පන්සල්, ඉගෙන ගත් පිරිවෙන, විශ්වවිද්‍යාලය, මා සමග එකට සිටි හිමිවරුන් හැම දෙයක්ම වගේ මට සිහි වී, මා ගැනම මට සතුටක් ඇති විය.


තායිලන්තයේ නගර මද්‍යයේන් දාවනය උන වාහනය දැන් තදබදයෙන් තොර පැත්තක දාවනය වෙයි. තායිලන්තයේ මිනිසුන්ගේ පෙනුම ලංකාවේ මිනිසුන්ට වඩා වෙනස්ය. ඔවුන් ඉතා පැහැපත් නොහොත් සුදුපාට හම ඇත්තන්ය. ඇස් සිහින්, මහතත් නැති, කෙට්ටුත් නැති පුද්ගලයන් වේ. ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම රෙදි හැට්ට ආදී ඇඳුම් යැයි මට සිතේ. නවීන පන්නයේ කලිසම්, සාය ඇඳගත් ගැහැනුද ඒ අතර ඇත. ලංකාවට වඩා ඉතා දියුණු තත්ත්වයේ ඇති තායිලන්තයේ හැම දෙයක්ම ඉතා පිළිවෙළට පිරිසුදුව ඇති බවත් පෙනේ....


අප ගිය වාහනය තදබදයෙන් තොර කුඹුරු යායවල් ඇති ගමක් වැනි ප්‍රදේශයකින් ඉදිරියට ඇදි යයි.... එම කුඹුරුවල වැඩ කරන සුදු මිනිසුන් දුටු විට මට අපේ ගම්වල ගොවියන්ද මතක් විය. ඔවුන් කලිසම් ඇඳ, කිරි ගොට්ටක් වැනි වේවැල් තොප්පි දමා ගෙන කුඹුරුවල්වල වැඩ කරනුද පෙනේ. ගැහැනු අය ද දණිස්සෙන් ටිකක් පහළට දිග කලිසම් ඇඳගෙන වැඩ කරනු දැකගත හැකි විය. ඔවුන් දැකීමත් සමඟ ම මට අපේ ගම්වල කුඹුරුවල වැඩ කරන ගොවියන් සිහි විය.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments

Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
bottom of page