✈️එතෙරින් එතෙරට✈️ 💥(12 වෙනි කොටස)
- Prisila Godahewa

- Dec 3, 2021
- 5 min read
බොහෝ කාලයකට පසු මගේ ගෙදර උදවිය බැහැදැකීමට කොළඹ සිට, මගේ උපන් ගමට වැඩියේ කොළඹ ව්‍යාපාරික මහතකුගෙ වාහනයෙනි. මුළින් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් මුණගැසි සැපදුක් විමසු මම, අපේ ගම ගෙදර බලා ගියේ, පන්සලේ ආවතේව කටයුතු කරන පොඩි ඇබිත්තයකු සමගය...
අපේ ගෙවල් පැත්තට වඩින්න, පන්සලෙන් එලියට බැස්ස විට හිතට දැනුනේ අමුතුම හැගීමකි....මගේ උපන් ගම ,බාල කාලයේ මම හැදුන වැඩුන මගේ ගම...., මම පැවදි උන අලුත මගේ තාත්තාගේ මළගමට ඇවිත් ගියායින් පසු මම මේ ගමට වඩින දෙවැනි අවස්ථාව විය. මම ගමෙන් පිටවෙලා සිටි අවුරුදු ගානට, ගම ගොඩක් වෙනස් වි ඇත. ගමේ ගුරු පාරවල් අලුත් වි තාර වැටි, පළල් වි ඇත. පාර දෙපැත්තේ අලුත් ගෙවල් දොරවල් කඩකාමර හැදි අපේ දුප්පත් ගම ජනාකීර්ණ වි ඇත.... ගමේ තිබුන පරන ගෙවල් වගේම ගමේ මිනිසුන් ගේ ඇදුම් පැලදුම් පවා වෙනස් වි ඇත. ඉස්සර ඉදහිට වාහනයක් දෙකක් ගිය පාරවල් වල දැන් ත්‍රීවීල් ,කාර්, වෑන් හා බයිසිකල් නිතර එහෙමෙහෙ යන්නේ කළබලේමය. ගමේ හැමදෙයක්ම වෙනස් වි අලුත් වි දකින දකින හැම දෙයකම වෙනසක් මට පෙනේ....අලුත්වුන වෙනස් උන ගම ගැන මට සතුටක් වගේම දුකක්ද ඇති විය.
අපේ ගෙදරට යන පාර ගොඩක් වෙනස් වි පළල් වි පාරට තාරද දමා ඇත. පාර දෙපස තිබු , ගහකොළ දැන් උස ගිහින් මහ ගස් බවට පත්වි ඇත. අපේ ගේ අවට අලුත් ගෙවල් දොරවල් හැදි විතරක් නෙමේ, ගමේ අදුනන්නේ නැති මූනු පවා වැඩි වී ඇත...
ගමේ හැමදේම වෙනස් උනත්, අපේ මහගෙ පමනක් තවමත් පරණ තැනමය. එය දැන් ගරා වැටි හොඳටම ජරාවාස වී ඇත.
මම ගමෙන් ගිය අවුරුදු ගානට ගමේ ගෙදර වගේම, අම්මාත් ඇදිපැදි හොදටම වයසට ගොස් ඇත. ඇය දුටුවිට මට ඇතිවුනේ ලොකු කළකිරිමකි.
ලොකු අක්කා වැඩි වයසක් යන්නට මත්තෙන් ,ගමේම කෙනෙක් සමඟ විවාහ වී ගමේම පදිංචි වී ඇත. ඇය දැන් එක්දරු මවක්ද වෙයි. ලොකු අයියා කසාදයක් බැඳ ඒ අක්කාගේ ගෙදරම බින්න බැස ඇත..... ඔහු ළඟදීම මහගෙදර පදිංචියට එන බව අම්මා පැවසීය. ඔහු ගෙදර පදිංචියට ඒමට පෙර මහගෙය අලුත්වැඩියා කරන බවද අයියා අම්මාට පවසා ඇත. පොඩි නංගී පාසැලෙන් අස්වි, එම පාසැලේම මොන්ටිසෝරි ගුරුවරියක් ලෙස දැන් සේවය කරයි. මල්ලී පාසැලෙන් අස්වු විගස, ආණ්ඩුවේ කන්තෝරුවක පියන් වැඩක් කරන බවත් දැනගන්නට ලැබින.
තාත්තා නැති උනාට පසු අම්මා කරගත් දෙවැනි කසාදේ බාප්පා නම් මට මුණ නොගැසිණි. ඔහු ද තාත්තා මෙන්ම ටවුමේ කඩයක සේවය කරන බව නංගි පැවසිය.
‘‘අම්මා වියදමට මේ සල්ලි තියාගන්න....‘‘
මං ගෙනා මගේ පිරිකර හා කෑම බඩු මුට්ටු දුන් විට අම්මා ඒවා ආසාවෙන් භාර ගත්තාය. වැඩ ඇරී ගෙදර ආ නංගී හා මල්ලී ද මා දැක සතුටු විය.
‘‘අපේ හාමුදුරුවො දැන් අඳුනන්න බැරි තරම් වෙනස් වෙලා....‘‘ නංගි සිනාසෙමින් කීය.
‘‘වෙනස් වෙලා කිව්වේ...?‘‘
" සුදු වෙලා, උස ගිහින්, ලස්සන වෙලා....‘‘
නංගි අතින් කට වසාගෙන හිනාවෙවි කීය .
මටද හිනා ගියේය. විශ්වවිද්‍යාලයේ කෙල්ලන් කියන්නේ ද මං ඉතා කඩවසම් කෙනෙක් කියයි....
‘‘හෙට හාමුදුරුවො දවල් දානෙට එහෙනම් මෙහෙට වඩින්න.... වේලාසන එනව කියල කිව්ව නම් අද දවල් අපට ලෑස්ති වෙලා ඉන්නත් තිබුණා.‘‘
‘‘ ඒකට කමක් නෑ....මම හෙට වඩින්නම්..... මං අඳුනන මහත්තයා කෙනෙක් එක්කයි මේ ගමන ආවේ..... අපි දෙන්නම එහෙනම් දවල්ට එන්නම්...."‘
එදින රාතියේ ගමේ පන්සලේ නැවති පසුදින උදේ හීල් දානය පන්සලෙන්ම ගත් මම, ගමේ නෑ ගෙවල් දෙක තුනකටම වැඩම කලේ මල්ලි සමගිනි.... ලොකු මාමා, නැන්දා , ඔවුන්ගේ දරුවන් අපේ හාමුදුරුවනේ කියා වැද නමස්කාර කරමින් මා පිලිගත්තේ බොහෝ ආදරයෙනි. ඔවුන්ගේ ගෙවල් වලින් ලැබුන ගිලන්පස සංග්‍රහ වලටද මම නැවතුනෙමි .එය ඔවුන්ට විශාල සතුටක් විය.
උදේ වරුවේ, ගමේ ඇවිද දන්න කියන පාසැල් කාලයේ යාලුවන්ද බලන්න ගිය මම, දහවල් දානයට වාහනේ ආ මහත්තයා සමග අපේ ගෙදරට වැඩම කලේය.
මම ගම ආ බව ආරංච් වී ලොක් අයියා, අක්කා හා ඒ අය කසාද බැදපු නෑනා මස්සිනාලාද, දරුවන් සමග මා බලන්න මහ ගෙදරට ඇවිත් තිබුනි.
ගෙදර හැමෝම බොහෝම ආසාවෙන් එකට එකතු වී මට දානය පිළියෙළ කර, පිළිවෙළට එය පිලිගැන්වුවේ බොහෝ ගෞරවයෙනි.
මාව බලන්න ඇවිත් සිටි හැමෝටම මම, මට පුලුවන් විදිහට කොළඹින් ගෙනා තෑගි බෙදා දෙන්නට නංගිට භාර කලේය.
අම්මා හා සහෝදර සහෝදරියන් දැකබලා ගෙන ඔවුන්ට මුදල්වලින් ද උපකාර කළ මම, එදින හවසම වාහනේ මහත්තයා සමග නැවත කොළඹ බලා පැමිණියෙමි.
########
මගේ විශ්වවිද්‍යාල ප්‍රතිඵල එන තෙක් මම පන්සලේ වැඩවලට වෙනදාටත් වඩා උනන්දුවෙන් උද්‍යෝගයෙන් සහභාගි උනෙමි.
පන්සලට යන එන උපාසක උපාසිකාවන්ගේ අවශ්‍යතාවන් හඳුනාගෙන ඔවුන්ට මම මට පුලුවන් උපරිමයෙන්ම උපකාර කරන බැවින් ඔවුන් අතර මා දැන් ඉතා ප්‍රසිද්ධ කෙනෙක් වි ඇත.
පන්සලේ ඇති අමතර පන්තිවලට සහභාගි වන, පිරිමි ළමයින් හා ගෑනු ළමයින් නිතර මා සමඟ දෙඩීමට පැමිණෙති. එයින් ගැහැනු ළමයින් ඉතා කැමැත්තෙන් බලෙන්ම මා සමග කතාවට එනබව පෙනේ.... පන්සලේ විවිධ උත්සවවලට, වෙසක් උත්සව කාලයට, කඨින පිංකම්වලට, විශේෂ බෝධි පුජා වලට, මෙම පන්සලේ තරුණ ස්වාමීන් වහන්සේලා සහභාගි වන නිසා, තරුණ ගැහැනු, පිරිමි ළමයි ද වැඩි වැඩියෙන් එම උත්සවවලට පන්සලට පැමිනෙන බව කවුරුත් කියති....
විශ්වවිද්‍යාලයේ අවසාන විභාගයේ ප්‍රතිඵල ආවේ මා සතුටට පත් කරමින්‍ය.... මම හිතුවාට වඩා හොදින් විභාගය සමත් වී තිබීම ලොකු හාමුදුරුවන්ට ද සතුටක් විය.
පිරිවෙනක හෝ පිරිමි පාසැලක ගුරු පත්වීමක් ලබා ගැනීම මගේ ඊලග ඉලක්කය විය.
දිනක් හදිසියේ ලොකු හාමුදුරුවෝ මාව උන්වහන්සේගේ ගේ ආවාස ගෙට කැඳවිය.
“ලොකු හාමුදුරුවො මට වඩින්න කිව්වද?
‘‘එහෙමයි, සතුටුදායක ආරංචියක් කියන්නයි වඩින්න කිව්වෙ….. විපස්සි හාමුදුරුවෝ තායිලන්තයට යන්න ඉල්ලුම් කරලා තිබුන විසා හරි ගිහින්....ඔබවහන්සේට තායිලන්තයට යන්න වීසා ඇවිත්...."
‘‘අනේ හාමුදුරුවනේ ඒක නම් මට ලොකු හොද ආරංචියක්.... මට හරිම සතුටුයි.... දැන් කවදද මට තායිලන්තයට වඩින්න තියෙන්නේ හාමුදුරුවනේ ....? ඔබ වහන්සේට බොහොම පිං මට මේ ගමන යන්න , වීසා ගන්න උදව් කලාට.....ඒ රටේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට මාව අදුන්වා දුන්නට...."
" දැන් ඉතිං ටිකට් එක හදාගෙන ඕන වෙලාවක තායිලන්තයට වඩින්න තමයි තියෙන්නෙ....‘‘ උන් වහන්සේද සතුටින් සිනාසෙමින්කීය.
"ඔබ වහන්සේ විශ්ව විද්‍ය්ලයේ අන්තිම විභාගෙනුත් හොදින් පාස් උන නිසා මට දැන් තායිලන්තයේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ඔබ වහන්සේ ගේ ඉගෙනීම ගැනත් ඉහලින් කියන්න පුලුවන්.... ඒකත් ඔබ වහන්සේට ඉස්සරහට ගොඩක් ප්‍රයොජනවත් වෙයි. තායිලන්ත සංචාරය ගිහින් ඇවිත් බැරියෑ ඊට පස්සෙ ගුරු පත්වීමකට ඉල්ලුම් කරන්න.
තායිලන්තයට යන්න විසා ලැබුන එක මට ලොකු සතුටක් විය. කිසිදාක පිටරට ගිහින් නොතිබුන මම එම රටවල් මොනවගේද කියා සිහින මවමින් ඉද ඇත. දැන් මට හැබැහින්ම පිටරට සංචාරයක යන්න එම රටේ, ඇවිද බලන්න වාසනාව උදාවී ඇත.
ලොකු හාමුදුරුවන්ගේ මිත්‍ර තායිලන්ත හිමිනම ලැස්ති කර තිබූ විදෙස් සංචාරයට සහභාගි වෙන්න ලැබීම මාගේ ලොකු වාසනාවක් යැයි මම නැවත නැවත සිතුවෙමි.
" තායිලන්තයේ ලංකා රාම පන්සලේ ලොකු හාමුදුරුවෝ මට ඊයේ කතා කලා.....විපස්සි හාමුදුරුවන්ට අවුරුද්දක් විතර තායිලන්තයේ පන්සලේ වැඩ හිටින්න වෙයි කියලා කිව්වා....ඒකට ලෑස්ති වෙලාම ඔබවහන්සේ තායිලන්තය බලා ගියොත් හොදයි ... ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ විදෙස් සංචාරයන්ට වැඩම කළාම ඒ පන්සලට එන ලංකාවේ ඇත්තන්ට බෝධි පූජා, දාන, බණ වැඩවලට උදවු කරන්න තමයි ඔබවහන්සේව තායිලන්තයට වඩින්න ලෑස්ති කර ගත්තේ .... විපස්සි පොඩිනම ගිහින් ආවට පසු තව මෙහි වෙසෙන දෙනමක් ඉස්සරහ කාලේ නිවාඩුවකට එහේ යවන්නත් මම හිතන් ඉන්නවා.... හැමෝටම ඒ වගේ අවස්ථා දෙන එක හොඳයිනේ රටතොට බලාකියා ගෙන යමක් ඉගෙන ගෙන එන්න එහෙම...."
‘‘එහෙමයි ලොකු හාමුදුරුවනේ....‘‘
‘‘නිතර ඒ පන්සලට වෙන රටවල හාමුදුරුවරු වැඩම කරනවලු. ඔබවහන්සේට ඒ අයට ආවතේව කරන්නත් වෙයි.....‘‘
‘‘ඒකට මොකද ලොකු හාමුදුරුවනේ …. මම බොහෝම කැමැත්තෙන් ඉන්නේ ඒ දේවල් කරන්න....‘‘
මම තායිලන්තය බලා සංචාරයකට යන්න ලෑස්ති වෙන කතාව ආරංචි වී තරුණ සංවිධානයේ ළමයි දුක් විය.
‘‘විපස්සි හාමුදුරුවො ගියාම අපේ බෞද්ධ සංගමේ වැඩ, පන්සලේ මේ වැඩ ඔක්කොම නවතියි....."
තරුණ ළමයි දුක් වෙති .
‘‘ඇයි තව තරුණ හාමුදුරුවරු ගොඩක් මේ පන්සලේ වැඩ හිඳිනවානේ.... උන්වහන්සේලාව පන්සලේ වැඩවලට ඔයගොල්ලන් අඬගසා ගන්න.....‘‘
"හැබැයි ඉතිං විපස්සී හාමුදුරුවෝ වගේ නෙමේ නේ අනිත් හාමුදුරුවරු…..."
පන්සලට එන බාල මහළු තරුණ සැවොම මට ගොඩක් කැමති බව මම දනිමි. ඒ මම ඉතා කරුණාවෙන් ඔවුන් අමතන නිසාත්, ඔවුන්ට පුලුවන් විදිහට නිතර උපකාර කරන නිසාත්, ඉතා සිල්වත්ව පැවදි දිවිය ගත කරන නිසාත් බව මම දනිමි.
මම පිරිකරවලට ලැබී ඉතිරි කරගෙන තිබූ මුදල්වලින් හා ලොකු හාමුදුරුවන් දුන් මුදල්වලින්ද මාගේ තායිලන්ත යන්න ගුවන් ටිකට්පත ලබා ගත්තෙමි..... මා තායිලන්තයේ යන බව ගෙදර අයටද දැනුම් දී, තායිලන්තය බලා යන්නට ලෑස්ති වුණේ නොවිසිල්ලෙනි....
කිසි දිනක ගුවන් ගමනක් ගොස් නොතිබුන මම, මීට පෙර බණ්ඩාරනායක ගුවන්තොටුපළටවත් ගොස් නොතිබුනි. එබැවින් තනියම රටක් රාජ්‍යයකට යන්නට වීම මගේ හිතට තිගැස්මත් ඇති කර ඇත.
පන්සලට යන එන තරුණ සංවිධානයේ ළමයින්, උපාසක ඇත්තන් අනිත් පන්සලේ හාමුදුරුවන් හා ලොකු හාමුදුරුවන්ගෙන්ද තායිලන්ත ගමනට ආශිර්වාද ලබාගෙන මම තායිලන්තය බලා යෑමට සියල්ල ලෑස්ති කරගෙන උන්නෙමි.
එදින උදෑසන මම තායිලන්තය බලා යන ගමන සදහා ගුවන්තොටුපළ දක්වා වැඩම කරන්නට, තරුණ සංවිධානයේ ළමයින් තුන්හතර දෙනෙක් හා අදුනන වෑන් රතයකින් කටුනායක ගුවන් තොටුපොළ බලා වැඩම කලේය.
කටුනායක ගුවන් තොටුපොළ දක්වා යන මග දිගටම තරුණ ළමයින් සමග කතා බහා කරමින් ගියත්, මම යන මුල්ම ගුවන් ගමන ගැන මට තිබුනේ හීන් බයකි.
‘‘විපස්සි හාමුදුරුවන්ට අපව අමතක වෙයිද දන්නෑ , තායිලන්තයට ගිහාම....?‘
‘‘එහෙම නෑ.... ඔයගොල්ලන්වත් මං පුළුවන් වුණොත් නිවාඩුවකට එහෙට ගෙන්න ගන්න බලන්නම්කෝ…. "
" එහෙම හිතපු එකත් ලොකු දෙයක් හාමුදුරුවනේ ...."
විශ්වවිද්‍යාලයට ගියත් මගේ ඉංග්‍රීසි දැනුම ගොඩක් දුර්වල තත්ත්වයේ තිබිණි....ඉංග්‍රීසි ලිවිමට කියවිමට හැකියාව තිබුනට, ඉංග්‍රීසි කතාවට මම ඉතා දුර්වල තත්ත්වයක සිටියෙමි.... තායිලන්ත ගමනට යන්න ලෑස්ති වූ මුල් කාලයේම මම ඉංග්‍රීසි පොත්පත්වලින් ඉංග්‍රීසි ටික ටික ඉගෙන ගන්න උත්සාහ ගත්තෙමි.... පන්සලේ තරුණ සංවිධානය මගින් පවත්වාගෙන ගිය ඉංග්‍රීසි රෑ පන්තියටද මම සහභාගි උනෙමි. පුලුවන් හැම ආකාරයෙන්ම මම ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කර ගැනීමට උත්සාහ ගත්තෙමි.
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments