✈️එතෙරින් එතෙරට✈️ 💥(10 වෙනි කොටස)
- Prisila Godahewa

- Dec 3, 2021
- 5 min read
අවිස්සාවේල්ල පිරිවෙනෙන් උසස් පෙළ සමත්ව, විශ්වවිද්‍යාලය සඳහා යාමට හොද ප්‍රතිඵල ලබා තිබිම, නුවර පන්සලේ වගේම අවිස්ලාවේල්ල පන්සලේත් මගේ ලොකු හාමුදුරුවරුන්ගේ ගෞරවයට මා පාත්‍ර විය.
විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය හා සිංහල විශයන් ඉගෙන ගැනීම සඳහා මට, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට සිදුවිය. ඒ සඳහා මට කොළඹ පන්සලක නවතින්න යන්නටද සිදුවිය.
අවිස්සාවේල්ලේ සිට මම කොළඹ නවතින්න ගිය පන්සලේ, මවැනිම විශ්වවිද්‍යාල වලට හා උසස් අද්‍යාපනය සඳහා ඉගෙන ගන්නා හාමුදුරුවරු හත් අට නමක්ම එම පන්සලේ වැඩ වාසය කලේය. එබැවින් පන්සලේ තිබු අඩු ඉඩ පහසුකම් නිසා මට තව හාමුදුරුවරු දෙනමක් සමග එක කාමරයක නවාතැන් ගන්නට සිදුවිය.
මම උදේ හවස එම පන්සලේ සිට විශ්වවිද්‍යාලයට වැඩම කලේ, මා සමගම වැඩ වාසය කල තව සාමනේර නමක් සමගය.... මම ගිය විශ්වවිද්‍යාලයටම උන්වහන්සේද ඉගෙන ගන්නට යෑම මගේ හිතට හොද විය.
විශ්වවිද්‍යාල ගමනනම් මට අමතුම තැනක් විය.... ගිහියන්, මහණුන් කියා එතැන ලොකු වෙනසක් නැත....ගෑනු පිරිමි කියා භේදයකින් තොරව, හැමෝම එකට වාඩි වී ඉගෙනීමේ කටයුතු කළ යුතුය. ගෑනු පිරිමි භේදයකින් තොරව, මහණුන් වු අප සමඟද ඔවුන් විහිළු තහළු කරන්නේ ද යාළු මිත්‍රයන් සේමය.....
මහණුන් වන අපි, පන්තියේ ඉස්සරහ පේළිවල වාඩි වන්නෙමු. මා සමග තව හිමිවරුන් දෙනමක් මගේ පන්තියේ සිටියෝය .....
විශ්වවිද්‍යාලයට ගිය මුල් කාලයේ... මහණුන් වු අපටත් ,නොයෙකුත් විහිලු තහලු කල පිරිමි ළමයින්ගෙන්, අපි යාන්තම් බේරි සිටියේ, සිවුරට පිංසිද්ද වෙන්නටය....
අපේ පංතියේ පිටුපස පේළිවල සිටින, දඩබ්බර පිරිමි ළමයින්ගේ විහිළු තහළු නම් ඉවසන්න බැරි තරම් ඒවාය.... අපි මහණුන් කියා ඔවුන්ට විශේෂයක් නැත. ගැහැනු ළමයින් ද එලෙසය..... ඔවුන්ද අප සමඟ එක ළඟ වාඩි වී කතාබහ කරන්නට එති.... විහිළු තහලු කරති..... බාල කාලයේම පැවදි දිවියට පත් වූ මට, ගැහැනු ළමයින්ගේ එම හැසිරීම් ගති නම්, ඉතා අපහසුවෙන් විදදරා ගන්නට සිදු වි ඇත......
මම මීට පෙර වැඩ සිටි නුවර හා අවිස්සාවේල්ල පන්සල්වල, අමතර පන්තිවලට ආ ගැහැනු ළමයින් අපට, ගෞරව පූර්වක කතා බහ කලත්, විශ්වවිද්‍යාලයේ ගැහැනු දරුවන් එසේ නොම විය.....
"විපස්සි හාමුදුරුවෝ මොකද ඇඹරෙන්නේ?‘‘
කටකාර ගැහැනු ළමයෙක් නිතර මට විහිළු කරයි.... ඇගේ බැල්ම නම් දරා සිටීමට අපහසු තරම්ය.
‘‘මං ගමේ ගිහින් එනකොට වැලිතලප ගෙදරින් හදාන ආවා. ආ... විපස්සි හාමුදුරුවන්ගෙ කොටස....‘‘
ඇය මාගේ අතට යමක් දෙන්නේ අතේ ගෑවී නොගෑවෙන ලෙසය..... මම නිතර ඇය මඟ හරින්න උත්සාහ ගත්තද, ඇය නිතර මා සමඟම කතාවටම එයි....
‘‘මොකද මේ කුසුම් නිතර ම විපස්සි හාමුදුරුවොත් එක්කම කතාවට යන්නේ.....‘‘
පිරිමි ළමයින් කුසුම්ට විහිළු කළත් ඇයට ගාණක් නැත.
‘‘විපස්සි හාමුදුරුවන්ගෙ ගෙවල් කොහේද....?
“අපට කොහෙන්ද ගෙවල්....?.‘‘
‘‘ නෑ ඉතිං ..... අම්මා, තාත්තා ඉන්න ගෙවල් ගැන මම ඇහුවේ, අම්මා, තාත්තා එහෙම කොහොමද....?
‘‘තාත්තා නෑ..... අම්මත් නෑ වගේ තමයි.....‘‘
‘"සහෝදර සහෝදරියන්...?‘‘
‘‘ඒ අයත් එක්කත් වැඩි ගනුදෙනුවක් නෑ මගේ.....‘‘
කුසුම් නිතරම මා සමඟ කතාවට එයි. ඇය මට නිතර ගෙදරින් කෑමබීම වර්ග හදා ගෙනවිත් දෙයි.... ඇයගේ කතාව බැල්ම මට ඉවසා සිටීමට නොහැකි තරම්ය.... ඇය මා තනියම වැඩසිටින වේලා බලා නිතර ම ඇවිත් කතා කරයි.... තොදොල් වෙයි....
‘‘දන්නවද, ගියපාර විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වෙලා ගිය වෑබඩ හාමුදුරුවො....දැන් සිවුරු ඇරල කුරුණෑගල පැත්තෙ ගුරු පත්වීමක් භාර ගෙන කරනවලු.....‘‘
‘‘ඇයි ඊට ඉස්සෙල්ලා අවුරුද්දෙ විශ්වවිද්‍යාලයේ හිටිය පලාබද්දල හාමුදුරුවොත් සිවුරු ඇරල විශ්වවිද්‍යාලයේ හිටිය ගෑනු ළමයෙක්මනෙ කසාද බැන්දෙ.....‘‘
‘‘හාමුදුරුවරු මොකට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න එනවද මන්දා.... ? පන්සලට වෙලා බණක් දහමක් කරගෙන ඉන්නෙ නැතිව...”
පිරිමි ළමයින් හාමුදුරුවරු ගැන කතා කරන්නේ තරහින්ය....ඔවුන් අපට මූනටම දොස් කියති.
‘‘විපස්සි හාමුදුරුවො ඉතින් හැඩකාරයානේ..... විශ්වවිද්‍යාලය ඉවර වෙලා මොනව කරගනීද දන්නෑ....‘‘
‘‘ඒක තමයි අපටත් වඩා ගෑනු ළමයි, විපස්සි හාමුදුරුවෝ දිහා තමයි බලන්නෙ..., කතා කරන්නෙ..... අර කුසුම් වහවැටිලා ඉන්නෙ විපස්සි හාමුදුරුවන්ට......‘‘
පිරිමි ළමයින් විතරක් නොව, ගැහැනු ළමයි ද මා ගැන කතා කරති.....පන්සල් දානේ කා හොඳ උසමහතට හැදීවැඩී උන් මා දැන්, වෙන පිරිමි ළමයින්ට වඩා පෙනුමෙන් කැපී පෙනේ, ඒ වගේම බොහෝ පැහැපත්ය.....
විශ්වවිද්‍යාලයේ ගැහැනු ළමයින් එකතු වුන වෙලාවට මට විහිළු කරන්නේ.... මගේ ඇහිබැම, ඇහි පිහාටු, ගැහැනු ළමයින්ගේ තරම් ලස්සනයි කියායි..... ඔවුන් එසේ කියන විට මා බිම බලා ගන්නේ ලැජ්ජාවෙනි....
විශ්වවිද්‍යාලය මහණුන්ට නොගැළපෙන තැනක් යැයි මට නිතර සිතේ.... වැඩිදුර ඉගෙනීම කර ගැනීමට අවශ්‍ය බැවින් විශ්වවිද්‍යාලයට වැඩම කළාට..... පන්සලට වෙලා බණක් භාවනාවක් කරමින් සිටියා නම් මීට හොදයි කියා හිතුන වාරද ඇත.... සමහර වෙලාවට, ගැහැනු ළමයින් දිහා ඕනෑකමෙන් බලන්න සිතුණු වේලාවන් නොතිබුණාම ද නොවේ.....
කෙසේ නමුත් අවුරුදු හතරක් විශ්වවිද්‍යාලයේ ගතකළ කාලය ඉතා අමුතු, නැවුම් අත්දැකීම් රාශියක් ලැබුණු කාලයක් විය.... මහණුන් මෙන් ම ගිහියන්ද , ගෑනු ළමයින්ද විශාල වශයෙන් ආශ්‍රය කරන්න ලැබුණු කාලයක් විය....
ජීවිතය අප නොසිතපු පැති හරහා යන බව මට නිතර සිතේ..... මම මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යෑමට නිතර ම උත්සාහ ගත්තෙමි.
මම විශ්වවිද්‍යාලයට යන්න නැවති සිටි නුගේගොඩ පන්සලේ , මහණුන් පහළොස් නමක් පමණ වැඩ සිටියේය. වැඩිහිටි තුන් නමක් හැරුණු විට, අනික් සැවොම තරුණ හාමුදුරුවරුය..... ඔවුන් සෑම කෙනෙක්ම වාගේ ඉගෙනීමේ කටයුතුවල නිරත වෙති.... උදේ පාන්දරම නැගිට, මුහුණකට සෝදාගෙන, බුදුන් වැඳ පන්සල් බිම ඇමදීම හෝ ආවාස ගෙය අතුපතු ගෑම උන්වහන්සේලාගේ රාජකාරියකි.
උදයට පන්සලෙන් හීල් දානය වළඳන අපි සැමොම, පසුව ඉගෙනීමේ කටයුතු සදහා පිටත් වන්නෙමු.
‘‘අද උදේට හීල් දානය ගමේ ගෙවල් වලින් ගේන්නේ නෑ.....ඒ නිසා මම බත් එකක් උයලා පරිප්පුයි, පොල් සම්බෝලයකුයි හැදුවා. ඔබ වහන්සේලාට අද උදේ හීලට තියෙන්නෙ එච්චරයි....."
අපට ආවතේව කරන පන්සලේ විල්සන් අයියා අප ගැන හොදින් සොයා බලන්නේය. උපාසක දානය නොලැබුණු දාට ඔහු පන්සලේ තියෙන දෙයක් උයාපිහා අපට දානය සකසා දෙයි....
"‘කමක් නෑ ඔය මොනව වුණත්,... අපට ඔය ඕන දෙයක් වළඳලා පුරුදුයි....‘‘
කෑමට තියෙන දෙයක්, අකමැත්තක් නොපෙන්වා දානෙට ගැනීම සියලු හාමුදුරුවරුන්ගෙ පුරුද්දකි....
‘‘දවල් දානෙ ඔබ වහන්සේලාට විශ්වවිද්‍යාලයෙන් හෝ පිරිවෙන්වලින් ගන්න ලැබෙන එක ලොකු දෙයක්..... සමහර දවසට ගෙවල් වලින් මාසෙ වේල් දානෙ ගේන්නෙ හරි ටිකයි.... පහළොස් නමට ගෑවෙන්නත් මදි.... සමහර දවස්වලට දානෙ ලැබෙන්නෙම නැති තරම්..... ඔබ වහන්සේලාට දානය ලෑස්ති කරල දෙන්නෙ කොහොමද කියල මම කල්පනා කරන වේලාවලුත් තියෙනවා....”
‘‘දුප්පත් මිනිස්සු ඒගොල්ලන්ට තියෙන විදියටනෙ ගේන්නෙ....‘‘
මම දහවලට විශ්වවිද්‍යාලයේ කැන්ටිමෙන් බත් එකක් ගෙන දහවල් දානය වළඳන්නෙමි.... එම බත්පත බඩගින්නට නොමැරී ජීවත් වෙන්නට දෙන බත් පතකි..... එයට මුදල් දී ගත්තත්, බඩෙන් භාගයකට පමනක් එය ඇතිය. එක දිගට දවල්ට කන එම බත් මුල මට දැන් එපා වී ඇත...... නමුත් වෙන කරන්න දෙයක්ද නැත. සමහර දවස්වලට උදේට කොහෙන් හරි විශේෂ හීල් දානයක් පන්සලට ගෙනා දවසට මම වගේම අනෙක් හාමුදුරුවරු විල්සන් අයියට කියා බත් මුලක් ඔතාගෙන විශ්ව විද්‍ය්ලයට ගෙන යති.... එසේ ගෙන ගිය දවසට නම් හවසට, මහන්සියක් නැතුව අපි පන්සලට වැඩම කරන්නෙමි. එසේ නොමැති දවසට විශ්වවිද්‍යාලයේ සිට පන්සලට යන විටත්, බොහෝමයක් ස්වාමීන් වහන්සේලා සිටින්නෙ බඩගින්නේ හා මහන්සියෙන්ය.... බස් එකේ උදේ හවස යෑමත් විශ්ව විද්‍ය්ලයේ වැඩකටයුතු නිසාද හවසට ලොකු වෙහෙසක් දැනේ. අපේ පන්සලට දානය ගෙන එන දායකයන් ද අඩු ය. එබැවින් අපට කුස පිරෙන්න හොදට දානය හොදට ලැබෙන්නේ ගෙදරක තිබෙන දානයකට වැඩියොත් පමණි.... එදිනට අපි කුස පිරෙන්න දානය වළඳන්නෙමු.
විශ්වවිද්‍යාලය අහවර කර පන්සලට පැමිණ, මුහුණකට සෝදාගත් පසු අප සියල්ලන් ම සිටින්නේ බාගෙට හාමත්වය. ඒ දහවලට හරිහමන් කෑමක් නොලැබෙන බැවිනි....
‘‘විල්සන් අයියේ.... හරි බඩගිනියි. ගිලන්පස වළඳලා නම් ඉන්න බෑ වගේ....."
"ඒ වුණාට ගිලන්පස විතරයිනේ බොන්ඩ පුලුවන්.... .‘‘
අපේ කීම, බඩගින්න විල්සන් අයියාට වැඩක් නැත.... ඔහු දහවලට ලොකු හාමුදුරුවන්ට කොහෙන් හෝ ගෙනෙන දානයෙන් කොටසක් රෑට හංගා ඉතිරි කර තබාගෙන කන්නේය.
රෑට කෑම කෑවාට පසු විල්සන් අය්යා, නිදා ගන්නට ගිය විට අපි තුන් හතර නමක් දන්ගෙට ගොස් කන්නට දෙයක් සොයන්නේ ඉන්නම බැරි බඩගින්නක් ආ දවසටය.....”
‘‘දන්ගෙයි මොනවත් කන්න නෑ..... අපි කැඳක්වත් හදාගෙන බොමු ද?
සුදුහාල් ටිකක් නම් තියෙනවා..... කැදක්වත් හදාගෙන බොමු....‘
‘‘පොලුත් එපෑයි කැද හදන්න... ‘‘
“පොල් පන්සල් වත්තේ ගස් වල නම් තියෙනවා....‘‘
“‘මං ගහට නැගලා ගෙඩියක් කඩන් බහින්නද....?
‘‘ ඔබ වහන්සෙට පුළුවන්ද...?
"ගෙදර ඉන්න කාලේ, ගස් නැගලා මට හොදට පුරුදුයි ...."
අපි පන්සල් වත්තේ පොල් ගස් තිබෙන පැත්තට යන්නෙ හොරෙන්ය.
පානදුරේ පොඩිනම සිවුර ගලවා මගේ අතට දී, අඳනකඩය ගැට ගසාගෙන පන්සල් වත්තේ ඇති කුරු පොල් ගසට නගින්නේ හොද පුරුදු කාරයෙක් ලෙසටය.....ගහෙන් පොල් ගෙඩියක් කඩාගෙන, එය අතේ තියා ගෙනම බිමට බහින්නේ ගිහියෙක්ව සිටි කල, කරපු කියපු දේ වල පුරුද්ද තවමත් අමතකව ගොස් නොමැති බව පෙන්වීමටය....
‘‘පොල් ගෙඩිය සද්ද නැතිව සුද්ද කරන්න....‘‘
‘‘පොල් ගෙඩිය අවට ගෙවල්වල ඉන්න උපාසක අම්මලාට ඇහෙන්න එහෙම බිඳින්න එපා....‘‘
විල්සන් අයියා නම් හොඳටම නිදි ඒ නිසා ප්‍රශ්නයක් නෑ.”
‘‘ඉන්න අපි දෙනමක් එළියට ගිහින් කතා කරකර ඉන්නම්. එතකම් පොල් ගෙඩිය බිඳල ගන්න.....‘‘
ගහෙන් කඩාගත් පොල් ගෙඩිය සුද්ද කර, ගාගෙන සුදුහාල් ලිප තබා හදා ගන්නා කැඳ, පොඩි නමවල් විසින් රෑට වළඳනු ලබන්නේ කුසගින්නේ ඉන්න බැරි වූ අවස්ථාවලය....
සමහර දවසට පොල් සම්බෝලයක් හදා ගෙන බත් ටිකක් වළඳන අවස්ථාද ඇත.
දහම් පාසලෙන් අස් වී ගිය තරුණ පිරිමි ළමයි, ඇතැම් දවස්වලට අපට බත් මුලක් හෝ ඉඳිආප්ප මුලක් ගෙනැවිත් හොරෙන් අපේ ආවාසගෙයි තබන්නේය. අප ඒවා රෑට එකමුතුව බෙදා හදාගෙන වළඳන්නේ, දවාලට හරිහැටි ආහාරයක් නැතිව සිටින අපට උදේ හීල් දානය ලැබෙන තෙක් කුසගින්නේ සිටිය නොහැකි වු විටය.... අවේලාවේ ආහාර වැළඳීම ස්වාමීන් වහන්සේලාට කැප නැති බව දැන දැනම අපි වැරදි වැඩක් කරන බව සැවොම දනිමු....
විශ්වවිද්‍යාලවලට හෝ පිරිවෙන්වලට යන හාමුදුරුවරුන්ට වේලාවට දානය නොලැබෙති.... උන්වහන්සේලා අතින් වියදම් කරගෙන දහවල් දානය ගත යුතු ය.... සමහර විට පිනට දහවල් දානය ලැබෙන අවස්ථාද ඇත....එබැවින් රෑට දානය වැලඳීම ඇකැප වුණත්, එය ඉඳ හිට අපි අකමැත්තෙන්ද කරන්නෙමු.
-නැවත හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments