top of page

♨️අයිරීන්♨ නොසැලෙන දියණි (8 වන කොටස)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jun 26, 2021
  • 5 min read

"අයිරින්ව මීගමුවේ කොන්වන්ට් එකට භාර ගන්න ලියුම ඇවිත්, අයිරින්ට ඒ එක්කම කොන්වන්ට් එකේ, හොස්ටල් එකෙත් නවතින්න හම්බවෙලා.....එන සදුදාට අයිරින් ව එහේ එක්ක එන්න කියලා ලියුමක් ඇවිත්...."


"ග්‍රේස් ,තෝමස්ව කොළඹ එක්ක ගිය එක මගේ හිතට හොදයි ...මොනව උනත් ලොකු ළමයි දෙන්නා පහුගිය දවස් වල ග්‍රැනී නැතුව ගෙදර හිටියේ හරි පාළුවෙන්.......ඒකයි මම තෝමස්ව කොළඹ ඇරලා, අයිරින්ව කොන්වන්ට් එකේ නවත්වන්න හිතුවෙත්.......පව් ඒ ළමයි දෙන්නට,තවම හිතාගන්න බෑ ග්‍රැනීට මොකද උනේ කියලා ...... ඒ හින්දා ඒ ළමයි දෙන්නව මෙහෙන් පිටත් කරන්න හිතුව එක හොදයි"


"මේ පොඩි දරුවො දෙන්නා ඉතිං ජූලීයා හොදට බලා ගනී...."


"අයිරින්ට හොද ඇදුම් ටිකක් ලෑස්ති කර ගන්න වෙයි නේද හොස්ටල් එකට යවන්න ඉස්සර..."


"ඔව්..ඔව්..ඒවායෙ ඉන්න ළමයි හරි පිලිවෙලට අදිනවා වගේම, හොස්ටල් එකෙන් අයිරින්ට ගේන්න ඕන ඇදුම් ලිස්ට් එකකුත් එවලා තියෙනවා ඇරගෙන එන්න කියලා ..."


" අපි ඒ ඇදුම් ,පොත් පත් ඇරගෙන ,අයිරින්ට ගෙනියන්න ඕන දේවල් ලෑස්ති කරමු අද හෙටම .... ජූලියා ගිහින් එයාගෙ බෝඩිමෙන් ඇදුම් ටිකත් ඇරන් ආවා මෙහෙ නවතින්න ...."


"ඒක නම් ලොකු දෙයක් ....කැතරින්ට පහසුවක් ජූලියා ඉන්න එක...."


"මටත් දුකයි කැතරින් ඔයාගෙ මම්මා ගැන... මම්මා නැතිවුනාට පස්සෙ තමයි, එයාගෙ අගේ අපට වැඩියෙන් දැනෙන්නේ තේරෙන්නේ...." ඩැඩි ,ග්‍රැනී මතක් කරමින් මමී මෙන්ම දුක්වේ...


"ඒ මදිවට ...ඔයා දවල් දවසට බිස්නස් එකට යනවා.....ඊට පස්සෙ රෑට යාලුවො එක්ක ක්ලබ් ගානේ ගිහින් බීගෙන ඇවිත්, ළමයි හදනවා... කිසි ගානක් නෑ.....මම තමයි අවුරුද්දෙන් අවුරුද්ද ළමයි බඩ බැදගෙන අමාරුවෙන් ඉන්න ඕනේ.....දැන් මේ පස්වෙනි දරුවත් හම්බවෙන්න ආපු වෙලේ ..මට මිඩ් වයිෆ් බැන්නා....මගේ ඇග දුර්වලයි කියලා ....එක ලග ළමයි හම්බවෙලාම....


"මටත් දුකයි ඩියර්....ඔයා ගැන ...අපි ඔයාට මේ පාර බබා හම්බුනාට පස්සෙ ..කොහොම හරි වෙන බබාලා හදන්නෙ නැතුව ඉමු...."


"මට මම්මත් ඉන්න කාලේ බැණ්නා...අවුරුදු දෙකෙන් දෙකට ළමයි හදනවා කියලා ...පව් මගේ අම්මා ආන්ත්‍ර වුනා... එයා හිටියනම් මගේ වැඩ ඔක්කොම බලාගන්නවා ....මගෙ වෙලාව හොද නැති නිසා තමයි මම්මා නැති උනේ...."


"දැන් කැතරින්.....අම්මා නැති උනාට ජූලියා ගෙදර ඉන්න නිසා එයා ගෙදර වැඩ ටික බලා ගනියි....එකම දේ එයාට මාස පතා එළිසට දුන්න පඩිය වගේ දෙගුණයක් දෙන්න වෙන එකයි...."


"දැන් අපට පප්පගෙ, පෙන්ශන් එකත් ගෙනත් දෙන්න මම්මා නැති නිසා, ඒ ආදායමත් නැතුව ගියා....ඔයා මහන්සි වෙලා තව වැඩියෙන් හම්බ කරන්න වෙයි..."


"මම බැලුවේ කැතරින් අර අපේ කදානේ හිස් ඉඩම විකුනලා තව මොනව හරි අලුත් බිස්නස් එකක් පටන් ගන්න...."


"අන්තිමට අලුත් බිස්නස් එක කොහොම වෙතත්.... හිස් ඉඩමත් නැති වෙයිද දන්නෙ නෑ...."


"ජූලියා ඉන්න නිසා දැන් හොදයි ...නැත්නම් මම මැරෙනවා මේ ළමයිගෙ වැඩ කරලා... එලිසා නම් දැන් අපේ ගෙදර වැඩට එන්නෙම නෑ...


"කොහේද ඉතිං මම්මා වගේ නෙමේනෙ ඔයා, නිතරම පොඩ්ඩ ඇත්නම් එළිසට කෑගහනවා බනිනවා, ඒකයි ඒ ගෑනි දැන් වැඩට එන්න හොර..."


"වැඩට ඉන්න අය හුරතල් කරන්න බෑ...ඒගොල්ලන්ගෙන් වැඩ ගන්න ඕනේ...එළිසා එන්නෙ නැත්තේ ජූලියා ඉන්න නිසා කේන්තියෙන්..."


" ඔයා එළිසට වගේ ජූලියාට එහෙම කෑගහන්න ලෑස්ති වෙන්න එපා. ...ඒ ගෑනිත් ගියොත් ආයේ එළිසා ගෙන්න ගන්නත් බැරි වෙනවා...ඔයාටමයි තනියම වැඩ කර ගන්න වෙන්නේ....."


"ජූලීයාට කෑගහන්න හම්බවෙන්නේ නෑ මට....එයා කෑගැහුව්වොත් මිසක් මට.... මගෙ යාළුවෙක් උනාට ඒ ගෑනි හරි සැරයි. ඉස්සර ඉස්කෝලේ ගිය කාලේ වගේ නෙමේ දැන් ....ජූලියා බැදලා හිටිය ලෙස්ලි එයාව දාලා ගිහින් තියෙන්නෙත් ජූලියාගෙ නපුරු කම් හින්දලු...ඒ වගේම ජූලියාට ළමයි හිටියෙත් නෑනේ...ඒ නිසා තමයි ජූලියා ළමයි බලාගන්න ජොබ් එකක් කරන්න හිතලා තියෙන්නෙත්....ගෑනි ළමයි ටික නම් හොදින් පිළිවෙළට බලා ගන්නවා....ගෙදර වැඩත් පිළිවෙළට කරනවා, ඒ නිසා මම එයාට කැමති දෙයක් කරගන්න ඇරලා කට පියාගෙන ඉන්නවා...."


" දැන් අයිරින්ව මීගමුවේ කොන්වන්ට් එකේ නවත්වන්න හැම දෙයක්ම මම ලෑස්ති කරලා තියෙන්නේ.. ... තෝමස්ව කොළඹ ග්‍රේස්ලගෙ ගෙදර එක්ක ගිය එකත් හොදට ගියා.... ග්‍රැනී නැති උනාට පස්සෙ මේ ළමයි මේ ගෙදර ඉන්න ආස නැති උනානේ...."


"අයිරින් ඔයා හොස්ටල් එකේ නවතින්න කැමතිද...?


"මම කැමතියි මමී..."

ග්‍රැනී නැති උනාට පස්සෙ ,තෝමස් කිව්ව වගේම මටත් මේ ගෙදර දැන් ඉන්න තරම් හිතක් නැති වි ඇත. එබැවින් මම හොස්ටල් එකේ නවතින්න යන්න ලෑස්ති වී සිටින්නේ කැමැත්තෙන්මයි. තෝමස් උනත් කොළඹ ලොකු කොලීජියකට යන්න ආසාවෙන් ග්‍රේස් ආන්ටි සමග කොළඹ ගිය බව මම දනිමි. ග්‍රැනී ට බොහෝ ආදරය කරපු අප දෙදෙනාටම ග්‍රැනීගෙ මරණින් පසු මමී ඩැඩි දමා ගෙදරින් ඈත් වී යාමට දුකක් නැත... පොඩි හරි දුකකට ඇත්තේ රෝසි හා ජූඩ්ව දාලා යන්න පමණි.


ජූලියා ආන්ටි දැන් අපේ ගෙදර ග්‍රැනීගේ තැන ඇරගෙන සියලු වැඩකටයුතු කරගෙන යයි....නමුත් තෝමස්ට හා මට, ජූලියා ගැන ඒ තරම් පැහැදීමක් නැත. ඇය වැඩිපුර රෝසියි, ජුඩ්ගෙයි වැඩ බලමින් ගෙදර සියලු වැඩ කරන්නේ හරි උනන්දුවෙනි.


ජූලියා ආන්ටි අපේ මමී මෙන්ම බොහෝ හැඩවැඩ ඇති කොට ගවුම් සාය හෝ දිග කළිසම් අදින, අතේ පයේ ක්‍යුටෙක්ස් ගාගෙන තොල් සායම් උලාගත් අවුරුදු තිස්පහක පමණ බර්ගර් ජාතික කාන්තාවකී. ඇය අපේ මමී සමග ඇයගේ පාසැල් කාලයෙ, කදානේ ඉස්කෝලේ ඉගෙන ගෙන ඇත. ඇය කසාද බැද දරුවන් නැති කාන්තාවක් වගේම සැමියාගෙන් දික්කසාද උන තැනැත්තියකද වෙයි. ඇය අපට ඉංග්‍රීසියෙන් මිස සිංහලෙන් වචනයක්වත් කතා නොකරයි. ඩැඩි මමී එක්ක උනත් ඇය ඉංග්‍රීසියෙන් විතරක්ම කතා කරයි. ඇය ගෙදර සියලු වැඩ හරිම පිරිසිදුවට පිළිවෙළට කිරීම අපේ මමීගෙ හිතට හොදින් අල්ලා ඇත.

ඇය ග්‍රැනීගේ මළගමින් පසු අපේ ගෙදර නැවතුන මුල් කාලයේ මාත් තෝමසුත් ඇය ගැන හොරෙන් කතා උනෙමු.


"තෝමස් මෙයාගෙ වැඩ නම් අපේ මමිට දැන් හොදට හිතට ඇල්ලුවාට.... පස්සේ කොහොම වෙයිද දන්නෙ නෑ.....වැඩට ආවට මොකෝ මෙයාගෙ තියෙන මෝස්තර බලන්නකෝ...."


"ඒක තමයි අයිරින් මමත් හිතුවේ..."


"හැබැයි එළිසා වගේ නෙමේ ..එයාගෙ වැඩ හරි පිරිසිදුයි පිලිවෙලයි...."


"අපේ ඩැඩි නම් එයාගෙ වැඩට ගොඩක් කැමතියි වගේ..."


"ජූලීයා ආවට පස්සේ එළිසා වැඩට එන්නෙම නෑනේ...."


"මමිගෙත් අකමැත්තක් නෑ ජූලියාට....එයාගෙ වැඩ ගොඩක් පිලිවෙල නිසා..."


"ඊටත් වැඩිය ග්‍රැනී වගේම ජූලියාත් ගෙදර වැඩ ඔක්කොම කරනවානේ....මොනව උනත්, ග්‍රැනී නැතුව මට මේ ගෙදර දැන් ඉන්න හිතෙන්නෙ නෑ තෝමස් .....ඒ නිසා මම නම් දැන් කොහොමත් හොස්ටල් එකේ නවතින්න යන්න ආසාවෙන් ඉන්නේ..."


"මාත් එහෙමයි අයිරින් .....මම කොළඹ අලුත් ඉස්කෝලෙට යන්න ආසාවෙන් ඉන්නේ..."


ජූලියා අපේ ගෙදර එන්න පෙර කොළඹ ලොකු ගෙදරක දරුවන් බලාගන්න රැකියාවක් කර ඇත.එම ගෙදර අය පිටරට පදිංචියට ගිය පසු, ජූලියා දැන් අපේ ගෙදර නැවතී රස්සාවක් විදිහට ගෙදර උයන පිහන අස් කරන වැඩ වගේම රෝසි හා ජූඩ් බලාගනී. ඇයගෙ වැඩ හරි පිළිවෙලය. නමුත් මටත් තෝමස්ටත් නම් ඇයගේ ඕනෑවට වඩා ඇති පිළිවෙළ අල්ලන්නෙ නැතිය. වෙලාවට කලාවට අපට කෑමට බීමට ආරාධනා කරනා ඇය ,හැදි ගෑරැප්පු වලින් මිස අපට කෑම අතින් අල්ලන්නට නොදේ....පාසැල් යන්න, සෙල්ලම් කරන්න , ඔරසම් කියන්න, නිදාගන්න හැම දේකට වෙලාවක්, ටයිම් ටේබල් එකක් ඇය ලෑස්ති කර ඇත. ඇයගෙ වැඩ වලට ඇති පිළිවෙළ ගැන මමී බොහෝ සතුටින් පසුවේ. ග්‍රැනී ජීවත්ව සිටි කාලයේදී අපේ මමී කල වැඩවත්, මමීට කරන්න අවශ්‍ය තාවයක් නැති නිසා, අපේ මමී බොහෝම නිවාඩු පාඩුවේ ඇයගෙ අලුතින් ලැබෙන්න සිටින දරුවාට ඇදුම් මසමින් පොත් කියවමින් කාලය ගත කරයි. ග්‍රැනී කරපු හැම වැඩක්ම කරන ජූලියා මාකට් එකට යන්නට නම් ඩැඩිගෙ වාහනය එනතෙක් බලා හිදී....ඇය පයින් ගමන් බිමන් වලට කැමති නැත. එබැවින් සෙනසුරාදා උදේ වරුවේ ගෙදරට අවශ්‍ය බඩු ලිස්ට් එකක් හදාගෙන බෑග් මළුත් ඇරගෙන , ජූලියා, ඩැඩි ඇයව මාකට් එකට එක්ක යන්න එනකම් බලා හිදී...


*******

මීගමුවේ කන්‍යාරාමයේ මාව නවත්වන්න යන්න හැම දෙයක්ම ලෑස්ති කල මමී හා ඩැඩි මාව හොස්ටල් එකට බස්සවන්න යන්න ආවේ... රෝසි හා ජූඩ් ජූලියාට බලාගන්න භාර දීය.


මාව මීගමුවේ කනයාරාමයට ඇතුලත් කරන්නත්, එහි නේවාසිකාගාරයේ නවත්වන්නත් අවශ්‍ය ඇදුම් පැළඳුම් , පොත් පත්, සියල්ල රැගෙන මාත් මමීත් ඩැඩිත් ඔහුගෙ වාහනයෙන් උදේ වරුවක එහි ගියෙමු. කන්‍යාරාමයේ ඉගෙන ගන්නත්,නේවාසිකාගාරයේ නවතින්නත් මම ගිය මුල්ම දිනය... ජීවිතයේ කවදාවත් අමතක නොවන සොදුරු දිනයක්.......


මට ග්‍රැනී, පහුගිය නත්තලට මසා දුන් රෝස පාට ලේස් ඇල්ලු සුදු පාට ගවුම ඇද සුදු සපත්තු මේස් දාගෙන උන්නෙමි. මේ ගවුම මට ඇදගෙන යන්නට කිව්වේ ජූලියා ආන්ටියි.... ඇය මගේ දිග තඹ පාට කොන්ඩය ලස්සනට පීරා, රිබන්පට් දෙකකින් ගැට ගසා හැඩකෙරුවාය. මමී පපුවට රැලී දැමූ, බබාලා හම්බවෙන්න ඉන්න ගැහැනු අය අදින ගවුමක් ඇද ඉදියි. ඩැඩී අද විශේෂ ගමන් වලට යනකොට අදින ටයිපටිය පැළැද සුදු ශර්ට් එකක් තද නිල් කළිසමක් ඇද සිටින්නේ හරි පිලිවෙලටය.


කන්‍යාරාමයේ ගේට්ටුවෙන් ඇතුල් වුන විගස මට දැනුනේ.... හිතට කියාගන්න බැරි තරම් අමුතුම හැඟීමක් මිශ්‍ර බයකී.


උදේ නමයට පමණ මමී ඩැඩි සමග පාසැල් බිමේ ගේට්ටුවෙන් ඇතුල් වී අපි කෙලින්ම ගියේ පාසැලේ මුල් ගුරුතුමී නැතහොත් ප්‍රදාන කන්‍යාතුමිය සිටින කාමරය සොයාගෙනය.

මේ වෙලාවට පාසැලේ පංති පවත්වන වේලාව නිසා, පාසැල් බිමේ වැඩිය දැරියන් දකින්න නැත. ඒත් ඉද හිට අත්දිග සුදු ගවුමට ටයිපටියක් පැළද දිග සුදු මේස් සපත්තු දමාගෙන පාසැලේ බිමේ ඇවිද යන දැරියන් දෙස මම බලා සිටියේ ආසාවෙනි.


"අයිරින් අර බලන්න ඔයාගෙ වයස ළමයි දෙන්නෙක්.. ...බලන්නකො ඒ දෙන්නා හරි පිරිසිදුව පිළිවෙළට ඉන්න හැටි ...හෙට ඉදන් ඔයාටත් ඔය විදිහට තමයි ඉන්න වෙන්නේ ...."


මමී මගේ අතින් අල්ලාගෙන ලොකු කන්‍යාතුමියගේ කාමරයට ගියේ ඩැඩි පසුපසය. මගේ ඇග අතපය සීතල වී ඇඟට උණ ගන්න වගේ ඇවිත් ඇත.


"ඇයි අයිරින් ඔයාගෙ අත සිතල වෙලා....ඔයා බයේද ඉන්නේ...."


" ඔව් මමී මට නම් දැන් තනියම ඉන්න බයයි වගේ....මේ කොන්වන්ට් එක හරි ලොකුයි...අපේ ඉස්කෝලේ වගේ නෙමේ...."


"මොකට භය වෙනවද අයිරින්... මේ කොන්වන්ට් එකට ඔයාව දාගන්න ඩැඩි ගොඩක් මහන්සි උනා....හරිම අමාරුයි මේකේ හොස්ටල් එකේ ළමයි නවත්වන්නත්.... සීමිත ළමයි ප්‍රමානයක් තමයි ගන්නවා කිව්වේ .....බලන්න මේ ඉන්න ළමයි ඔක්කොම ඔයාගෙ වයසේ වගේ අය.... ඔයාට ඉක්මනට හොද යාළුවෙක් හම්බ වෙයි. අපි ඔයාව බලලා යන්න නිතර එනවනේ...ඔයාට නිදහසේ සැපට මෙතන ඉන්න පුලුවන් ....මම අනෙක් පාර එනකොට, ඔයාගේ යාළුවන්ටත් එක්ක රස කැවිලිත් ඇරගෙන, ජුඩ් රෝසිත් ඇරගෙන එන්නම්කෝ...."


-සඳුඳාට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page