♨️අයිරින් ♨️ නොසැලෙන දියණි (23 වන කොටස )
- Prisila Godahewa

- Jul 13, 2021
- 5 min read
ඌව පළාතේ ප්‍රධාන නගරයක් වන බදුල්ල නගරය රමණීය කඳු වළල්ලකින් වට වී බේසමක විලාසයෙන් නගරය පිහිටා ඇත....කඳු වළලු මතින් සොඳුරැ හිරැරුස් නගරයට පතිත වන්නේ චමත්කාර දර්ශන මවමින්.... සිසිල් මඳනලට තවත් සිසිලස එක් කරමින් මනහර බදුලු ඔය නගරය මැදින් සෙමෙන් ගලා යයි.....බදුලු නගරයේ සිට කිලෝමීටර් ගානක් ඈතින් අතිසුන්දර "දුන්හිඳ දිය ඇල්ල" පිහිටා ඇති බව මම පොත් පත් වලින් කියවා ඇත....බදුල්ල නගරය පසු කරගෙන බොරළු ගල්වැලි සහිත පටු පාරක ඇදී ගිය වාහනය......
බදුල්ලේ කදු වැටි පල්ලම් සහිත බිමක, ගස් කොළන් වලින් වටවුන පැරණි විශාල බංගලාවක් අද්දර වාහනය නතර කර ඇත.....එය මා නවතින්න ආ බාළිකා නිවාසය බව තේරුනි. එම බංගලාවේ ඉදිරිපස සිට බැලු කල පැත්තකින් කදුවැටියක් හා ගස්කොළන් වලින් වටවු කැලෑවක් ඇති බව පෙනේ......අවට මුළු පළාතම කළු කර ඇත්තේ වැහි බීරමක ලකුණු ලඟ ලඟ එන බව කීමටය..... බංගලාවේ මිදුලේ ලස්සන රෝස මල් යායක් පිලිවෙලට වගා කර ඇත..... ඒවායේ විවිධ පාට රෝස මල් සරුවට ලොකුවට පිපි ඇත....ඊට එහාහින් වටකර ඇති පාත්ති වල වගා කර ඇත්තේ එළවළු වෙන්නට ඇතැයි මට සිතේ....
අප ගිය වාහනය බංගලාවේ පෝටිකෝව අසල නැවැත්වු පසු.... සිස්ටර් මේරි එයින් බැස මටත් වාහනයෙන් බිමට බහින්න කීය......
"අයිරින් ඔයාගෙ ඇදුම් බෑග් දෙකත් ඇරන් ඇතුලට එන්න...."
බදුලු ප්‍රදේශයේ පැරණි වලව්වක පිහිටා තිබු.... මට මින් පසු නවාතැන් ගන්න නියමිත බාලිකා නිවාසය ඉතා ක්‍රමවත්ව, පිරිසිදුව හොද පරිපාලනයකින් යුත් ළමා නිවාසයක් බව බැලු බැල්මට පෙනේ.....
"අයිරීන්.....මේ තමයි ඔයාට මීට පස්සේ නවතින්න තියෙන නවාතැන....කොහොමද ලස්සනද...?"
"අනේ ඔව් සිස්ටර් හරිම ලස්සන පරිසරයක්...අර බලන්නකෝ පොඩි කඳු වැටියකුත් පේන්න තියෙනවා ...... වත්තේ එළවළු , මල් එහෙමත් වවලා...."
"මටත් සතුටුයි අයිරින්ට මේවගෙ ලස්සන පරිසරයක තියෙන බාලිකා නිවාසයක පදිංචියට එන්න ලැබීම ගැන....මේ ළමා නිවාසයේ ළමයින්ගේ ආරක්ෂාව, රැකවරණය නිසි පරිදි තියෙන බව බැලු බැල්මට පෙනවා...හරියට අයිරින් හිටපු අපේ කොන්වන්ට් එක වගේම....."
"මම හරි බයෙන් හිටියේ බාළිකා නිවාසයට එන්න....ඒත් අපි ආපු වාහනය, මේ පළාතට එනකොට පාර දිගට තිබුන ලස්සන දැකලම මට මෙහෙ නවතින්න ආස හිතුනා....."
නිදහස් පරිසරයක වටේට මල් එළවළු වවා ඇති පැරණි බංගලාව අවට මේ වනවිට හෙමිහිට මීදුම වැටෙන්න පටන්ගෙන ඇත.... ඇඟට දැනෙන අමුතු සීතල එන්න එන්නම වැඩි වේ.... මෙහි අවට ඇති සුන්දරත්වයෙන් වශී උන මම නිවාසයේ ඇතුලට යන්නට පෙර අවට වටපිටාව දැක මත්වී සිටියෙමි.....
"අයිරින් ....දැන් ඔය අවට වටපිටාවේ සුන්දරත්වය වින්දා ඇති ....අපි යමු නිවාසයේ මේට්ට්‍රන් හම්බ වෙන්න.....ඔයාගෙ ඇදුම් බෑග් දෙක ගන්න......"
බාලිකා නිවාසයේ දැරියන් කිසි කෙනෙක් පෙනෙන්න නැත...සිස්ටර් මේරී වාහනයෙන් බැස, පෝටිකෝවේන් ඉහලට නගින පඩිපෙළ නැගගෙන යයි. මමත් මගේ ඉස්කෝල බෑගය කරේ එල්ලගෙන අනෙක් අතින් ඇදුම් බෑගය උස්සාගෙන ඇය පසු පස වැටි පැරණි බංගලාවේ වැරැන්ඩාවට ගොඩ විය.... ඉදිරිපස වැරන්ඩාව දිගට ඇදි පුටු තබා ඇත. ..ඇදි පුටු මුහුනලා ඇත්තේ ඈත කඳු වැටි පෙනෙන ලෙසය....මෙම වැරැන්ඩාවේ වාඩි වි ඉදිරිපස ඇති මිදුම වැටුනු කඳු දෙස බලාන තේ එකක් බොන්නට ඇත්නම් කෙතරම් අගේ දැයි මට සිතේ.....
"එන්න සිස්ටර්.....එන්න ඇතුලටම.. ....අපි මේ බලාගෙන හිටියේ ඇයි පරක්කු කියලා ..... මීගමුවෙ කොන්වන්ට් එකෙන් දැනුම් දුන්නට පස්සෙ ,මේ දරුවා එක්කගෙන එනකම් අපි බලාගෙන හිටියේ....."
" මම මීගමු කොන්වන්ට් එකේ සිස්ටර් මේරී.....අපි මීගමුවෙන් අද උදේම ආවා ..... මේ පැත්ත හරි ලස්සනයි......අයිරින් මේ පැත්තට ගොඩක් කැමති පාටයි ....."
" අදුනගන්න ලැබීම සතුටක් .... මම තමයි මේහේ දරුවන් බලාගන්න ප්‍රධාන පාලිකාව.....එහෙනම් එන්නකො මගේ කාමරය ඇතුලටම.....සාරියක් ඇද ඊට උඩින් ජර්සියක් දමා ගත්, කන්නාඩියක් පැලඳි මැදි වයසේ මේට්ට්‍රන් මාවත්, සිස්ටර්වත් බංගලාවේ ඇතුලට කැඳ විය....
බාළිකා නිවාසය පවත්වාගෙන යන බංගලාවේ,.... විසිත්ත කාමරය අපේ පැරණි වෙන්නපුවේ මහ ගෙදර සිහිකරවන බඩු මුට්ටු වලින් යුක්ත විය. එහි විසිත්ත කාමරයට මුහුනලා කාමර තුනක් පේනෙන්න ඇත. එයින් මුළින්ම තිබු කාමරයට පාළිකාව අපව කැදවාගෙන ගියාය. එම කාමරය කාර්‍යාලයක හැඩය ගත්තේ එහි තබා තිබුන බඩු මුට්ටු අනුවය....
"මට මීගමුවේ කොන්වන්ට් එකේ හෙඩ් මැඩම් කෝල් කරලා කිව්වා මේ දරුවා ගැන....ඒ වගේම ලියුම් එහෙමත් එව්වා මේ දරුවා මෙහෙට ඇතුලත් කරගන්න ඕන ලියුම් එක්ක.....අපිට මේ දරුවට අපේ නිවාසයේ ඉඩක් දෙන්න වුනේ පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවෙ නියෝගය නිසයි..... මේ දරුවට කාත් කවුරු නැති දරුවෙක් ලෙස බාලිකා නිවාසයට භාර ගන්න අණ දුන්නා....."
"ඔව් අයිරින් අපිත් එක්ක අවුරුදු හතරක් මීගමුවේ කොන්වන්ට් එකේ හොදට හැදුන දරුවෙක්....එයා මේ බාලිකා නිවාසයට ආවා කියලා අපි එයා ගැන හොයා බලන එක නවත්වන්නේ නෑ....අපට පුලුවන් වෙලාවට අයිරින්ව බලලා යන්න අපි එනවා...."
"අයිරින් ඩිලානි ෆර්නැන්ඩු ....ඔයා කැමතියි නේද මෙහෙ නවතින්න ..."
"ඉයස් මැඩම්..." මම ඇයට ඉංග්‍රීසියෙන් කිවෙමි.
"ඩිලානිගෙ ඉංග්‍රීසි දැනුම හොදයි වගේ ......"
"ඔව් මැඩම් අයිරින්ගෙ ඉංග්‍රීසි දැනුම ලියන්න කියවන්න, වගේම කතා කරන්නත් හොදටම පුලුවන් හැකියාව තියෙනවා..."
මට පෙර සිස්ටර් මේරි කීහ.
"ඒක ගොඩක් හොදයි ...අපට දැනගන්න ලැබුනා ඩිලානි කොන්වන්ට් එකේ මුදල් ගෙවලා ඉගෙන ගත්ත දැරියන් කියලා...දැන් කාත් කවුරුත් නැති නිසයි මේවගේ තැනකට එන්න උනේ කියලත් ..."
බාලිකා නිවාසයේ පාලිකාව මට ඩිලානි කියා මගේ දෙවැනි නමින් නොනවත්වා අමතයි.....
"ඔව් මැඩම් එහෙමයි.....අයිරින් හොද පවුලක හොද ළමෙක් අම්මා තාත්තා නැති උනාට පස්සෙ, කුඩම්මා ස්කූල් ෆීස් ගෙවීම නොකල නිසයි එහෙම උනේ....සිස්ටර් මේරි නොනවත්වා මාව අයිරින් කියා හදුන්වයි........"
සිස්ටර් මේරි මගේ පවුලේ විස්තර හැම දෙයක්ම පාලිකාවට කියමින් මගේ වැදගත් කම නොනවත්වා මතක් කර දෙයි.
"මේ බාලිකා නිවාසය තියෙන බංගලාව දැකපු ගමන් අයිරින් මෙහෙ නවතින්න කැමතියි කිව්වා....."
" ඔව් හරිම ලස්සන තැනකනේ මේ නිවාසය තියෙන්නේ.....මෙම බංගලාව මේ පළාතේ හිටිය දානපති ව්‍යාරිකයකුට අයත්ව තිබූ පැරණි බංගලාවක් .....මේක අක්කර පහකට වැඩි පළතුරු, එළවලු වගාවන්ගෙන් යුක්ත සශ්‍රීක භූමියක්.....මේ වත්තෙ වගා කරලා තියෙන එළවළු පළතුරු තමයි බාලිකා නිවාසේ කෑමට බීමට ගන්නේ...වගා කටයුතු කරන්නෙත් මෙහි සිටින දරුවන්මයි.... මෙම බංගලාව අයිති මහත්තයා ඔහුගේ අම්මයි තාත්තයි සිහිකිරීම පිනිස තමයි මේ බංගලාවේ බාලිකා නිවාසය කරගෙන යන්න භාර දීලා තියෙන්නේ......"
"ලොකු දෙයක්.... මෙවැනි බංගලාවක් ලබා දීම......"
"එතකොට මැඩම් මේ බාලිකා නිවාසෙ ලමයි කීයක් විතර ඉන්නවද...?
"මෙම ළමා නිවාසයේ ගැහැනු දරුවන් තිස් හයක් ඉන්නවා....ඊට අමතරව වයස අවුරුදු පහෙන් (5) පහළ දෙමව්පියන් නැති පිරිමි දරුවන් හයදෙනෙකුත් ඉන්නවා....."
"එතකොට මේකට නවාතැන් පහසුකම් දෙන්න දරුවන් තෝරා ගන්නේ කොහොමද ...."
"මේකට දරුවන් එවන්නේ පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවෙ අධිකරණ නියෝග මත දෙමාපියන් නැතුව අසරණ වන දැරියන්ව ......."
"එහෙමද ..ඒ කියන්නේ ඔක්කොම දරුවන්
42 ක පමණ නේවාසිකව ඉන්නවා...."
"ඔව් සිස්ටර්.... කුඩාම දරුවන් බලාගන්න වෙනම උපස්ථායිකාවන් ඉන්නවා....හැමෝම කාරුණික අය......."
"එහෙමද...?දැන ගැනීම සතුටක්...."
"අපි එහෙනම් ඩිලානිව එක්ක යමු එයාට නවතින්න නියමිත කාමරයට...."
"මැඩම් අයිරින්ගෙ දෙවන නමින්, එයාට කතා කරන්න කැමතියි වගේ...."
සිස්ටර් මේරී මට හිතුන දේ පාළිකාවට කීය.
"ඔව්...මේ නිවාසේ වැඩිපුර ඉන්නේ සිංහල බෞද්ධ ළමයි ...ඒ ළමයි අයිරින් කියන නමට වඩා ඩිලානි කියන නමට කැමති වෙයි...අපි මෙයාට ඩිලානි කියන්නම්..."
" ඒකට කමක් නෑ....ඒක එයාගෙ දෙවෙනි මැද නමනේ....එහෙනම් අපි යමු..."
නිවාසෙ පාළිකාව අපව එම බංගලාවේ ඇතුල් කොටසට එක්ක ගියාය...ඒ යන විට අපට දරුවන්ගෙ කතා බහ ඈත තියා ඇහෙන්න පටන් ගත්තේය . ...පැරණි බංගලාව පිටුපස එයටම අල්ලා, එළියේ පේලි ආකාරයට කාමර දහයක් පමන පෙනෙන්නෙ තිබේ...මැද මිදුලකින් සමන්විත එම කොටසේ දිග ලෑලි පුටු දෙක තුනක්ද තියා ඇත. කොනක බුදු මැදුරක්ද ඇත.... මිදුලේ පිළිවෙළට මල් වවා ඇත.... තැන තැන ළමයින් ඉදගෙන සෙල්ලම් කරමින් ඇවිදමින් කාලය ගත කරනුද පෙනේ... අපව දැක විවිධ වයස්වල ගැහැනු ළමයින්, කාමර වලින් එලියට පැමින මා දෙස බලා ඉදියි......ඔවුන්ගේ මුහුණුවල සිනාවක් නැත...පුදුමයෙන් මෙන් මා දෙස බලා සිටිනා ඔවුන් සමග මම සිනාසුනාය. .....ඔවුන් කොන්වන්ට් එකේ සිටි දරුවන්ට වඩා වෙනස්, අහිංසක දුප්පත් දරුවන් බව බැලු බැල්මට පෙනේ....මගෙ හිතට අහිංසක ඔවුන් දැක ඇති වුනේ විශාල කණගාටුවකි.... ඒ සමඟම මට මගේ ආදර රෝසි ,ජූඩ් මතක් වී
දෙනතට කඳුළක් නැග ආවාය . ඒ දෙමව්පියන් ගෙ ආදරය රැකවරණය යටතේ සිටිය යුතු සිඟිති දරුවන් මෙසේ රැකවරණය අහිමිව මෙවැනි නිවාස වල සිටීම වෙනුවෙනි .... මේ දැරියන්ට මෙන්ම දෙමව්පියන් නෑදැයින් කවුරුත් භාර ගන්නට කැමති නැති මටත්, මෙවැනි තැනකටම එන්න උනානේ කියා හැගිමක් ඇති වි දෙනතට කඳුලක් නැඟ ආවාය....
-සදුදාට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments