top of page

♨️අයිරින් ♨️ නොසැලෙන දියණි (21 වෙනි කොටස)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 13, 2021
  • 6 min read

කාලය හෙමිහිට ගෙවි ගොස් අවුරුදු හතරක කාලයක් මම මීගමු කන්‍යාරාමයේ කාත් කවුරුත් නැති දැරියක ලෙස නේවාසිකව ගත කර තිබුනි. මෙහි පැමිනි මුල් මාස හතරක කාලයක් පමණක් මා ගැන සොයා බැලු මමී, ඩැඩි, ලොකු මමී කවුරුත් දැන් මා ගැන සොයා බලන්නේ නැත.... මේ කාලය තුල උන විශේෂ සිදුවීම නම් මම වැඩිහිටි ගැහැනු දරුවකු බවට පත් වී සීතම්මාගෙ ආදරය මැද ඇයගෙ කාමරයේ කාලය ගත කිරීමට ලැබීමත්..... මගේ රත්තරං පාට දිග කොන්ඩය කොට වෙන්නම කපා දමන්න සිදු වීමත්‍ය. එය නේවාසිකාගාරයේ ප්‍රධාන පාලක තුමියගෙ උවමනාවට ඇගේ අතින්ම දිනක් අකාරුණික ලෙස සිදු විය. ඒ ගැන කාටවත් කීමටවත්, වැඩිදුර සිතීමටවත් මම කැමති නැත. දැන් මට ඇත්තේ, බල්ලො කාපු බත් පිඟානක් වැනි එහෙන් මෙහෙන් කණගාවට කපා දැමු කොට කොන්ඩයකී.


පාසැලේ යහලුවන් පමනක් නොව, ගුරුවරුන් ,සිස්ටර්ස්ලා පවා මා ගැන දැන් සොයා බැලීම් නොකරති

කන්‍යාරාමයේ මම නවතින්න ආ අලුත මා සමග ලඟින් සිටි යාලුවො දෙතුන් දෙනාම, මාව දැන් මග හරමින් යයි. මට ඔවුන් සමග සෙල්ලම් කිරිමට, කෑමට යෑමට, පුස්තකාලයට යෑමට කතා නොකරති. ඒ වගේම මා සමග හොදින් කතා නොකරන ඔවුන් දැන් මගෙන් පොඩි පොඩි වැඩ පමනක් කරවා ගැනිමට බලයි.....


"අයිරීන් මගේ මේ බෑග් එක ගිහින් දෙන්න..."


" අයිරීන් මේ ඇදුම මට අයන් කරලා දෙන්න...අර මගේ පොත් ටික ගිහින් මේසය උඩින් තියන්න..මගේ සපත්තු දෙක හෝදලා දෙන්න...මගේ ලන්ච් බොක්ස් එක හෝදලා ගේන්න.... ඔය වැනි වැඩ ඔවුන් බලහත්කාරයෙන් කරන්න කියති... .ඒවා නොකලොත් මේට්ට්‍රන් පවා මට දඩුවම් කරයි. ඒ නිසාත් ඔවුන්ගේ අවදානය ලබා ගැනිමටත් , ඔවුන් සමග සෙල්ලම් කිරිමට ඇති ආසාවටත්, ඔවුන් කියන කියන වැඩ මම කර දෙන්නෙ අකමැත්තක් නොපෙන්වාමයි....

දිනක් මදර් සුපීරියර්ගෙ ඇගේ කාර්‍යාලයට එන්න කියා මට කිව් දෙයකින් යමක් මට තේරුනි .....

වැඩිවියට පැමිනි ගැහැනු දරුවෙක් ලෙස මගේ භාරකාරයෝ කිසිත් නැතුව මේ කන්‍යාරාමයේ තව දුරටත් මාව මෙහි රදවා ගැනීමට මදර් සුපීරියර් කැමැත්තක් නැති බව මට තේරුම් ගියාය.....

ලොකු මමී මුදල් අමාරුකම් වලින් සිටිය නිසත්, පසුව ඇය පිටරට පදිංචියට ගිය නිසාත්, පුංච් අපි භාරගන්න කෙනෙක් නැති විය.... ඒ දිනවල ලොකු මමීලගෙ ගෙදර සිට ගෙවන පාසැලකට ගිය තෝමස් දැන්...., සෑම් අංකල්ගේ මල්ලිගෙ ගෙදර සිට, කොළඹ රජයේ පාසැලකට යන බව ලොකු මමි අවසන් වතාවට කතා කළ දිනයේ කිව්වා මට මතකය......ඔහු ගැන වෙන තොරතුරක් මට ඉන්පසු දැනගන්නට නොලැබුනි. ඒ වගේම අසරන රෝසි ජූඩ් ගැන, හරි තොරතුරක් තවමත් මට දැන ගන්නට නැත...ඔවුන් දෙදෙනා මතක් වෙනකොට හිතට දැනෙන්නේ කියා ගන්න බැරි තරම් ලොකු දුකකි.....


"අයිරින්, කාත් කවුරුත් නැති ඔයාව, අවුරුදු හතරක් මේ කන්‍යාරාමයේ නවත්වගෙන අපි පාසැල් ඇරලා හොදට සැලකුවා....ඒත් දැන් තව දුරටත් අපට ඔයාට මෙහෙ නවාතැන් දීලා බලාගන්න බැරි තත්ත්වයක් ඇවිත් තියෙන්නේ ...., මේ කොන්වන්ට් එකේ ඔයාට, තවත් ඉගෙන ගන්න ඉඩ දෙන්න පුලුවන් කමක් නෑ අපට.....මොකද මේක ගොඩක් ප්‍රසිද්ද කොන්වන්ට් එකක්.....මේකට ළමයි ඇතුලත් කරගන්න ගොඩක් දෙමව්පියන් "වෙයිටින් ලිස්ට්" එකේ ඉන්නවා....

ඒ වගේම අන්තිම පාරට අපට ඔයාගෙ ලොකු මමී කතා කල වේලේ.... කැමැත්ත දීලා තිබුනා, ඔයාව බාලිකා නිවාසයකට යවන්න......ඒත් අපි ඔයා ගැන අනුකම්පා කරලා තමයි මේ අවුරුදු හතරක්ම මේ කොන්වන්ට් එකේ, හොස්ටල් එකෙ නවාතැන් ගෙන ඉගෙන ගන්න අවසර දුන්නේ.....ඒත් ගිය සුමානෙ පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවෙ නියෝගයක් මත, ඔයාට කාත් කවුරුත් නැති නිසාත් ඔයාගෙ ඉදිරි කාලේ වගකීම භාරගන්න කවුරුත් නැති නිසාත්, ඔයාව බාළිකා නිවාසයකට යොමුකරන්න අපට අවසර ලැබුනා......ඒ අනුව තමයි අපි ඔයාව බදුල්ලේ බාලිකා නිවාසයට යවන්න හිතුවේ......ඒ බාලිකා නිවාසේ අවුරුදු දෙකේ ඉදන් අවුරුදු දහ අට වෙනකම් ළමයි නැවති ඉන්නවා..... ඒ ලග තියෙන රජයේ පාසැලකට දරුවන්ව ඉගෙන ගන්න අරිනවා. ඊට පස්සෙ අවුරුදු දහඅට පිරුනට පස්සෙ එතනින්ම රැකියාත් සොයලා දෙනවා....එතන ඉන්න පාලිකාවන්ගෙ හිත දිනාගෙන ඔයාට හොදින් ඉගෙන ගෙන එහෙ දිගටම ඉන්න පුලුවන් අයිරින් ......අපට කරන්න පුලුවන් උපරිමය අපි මෙච්චර කාලයක් ඔයා වෙනුවෙන් කලා...ඔයාව අපි මේ සෙනසුරාදා අපේ කොන්වන්ට් එකේ වාහනෙන්ම සිස්ටර් මේරි එක්ක බදුල්ලේ යවන්න ඔක්කොම දේවල් ලෑස්ති කරලා තියෙන්නේ.....ඔයා ඔයාගෙ ඇදුම් පැලදුම් පොත් පත් ටික ලෑස්ති කරගෙන ලෑස්ති වෙන්න හෙට සෙනසුරාදා බදුල්ලේ යන්න.


" අනේ......හෝ...හොදයි මදර්.....මගෙ ඇස් වලට කදුළු ගලා එන්නට විය.....මම ඒවා බොහොම අමාරුවෙන් හිරකරගෙන මදර් සුපීරියර්ගෙ කාමරයෙන් එළියට ආවෙමි...කොන්වන්ට් එකෙ අවුරුදු හතරක කාලයක් නොයෙකුත් කරදර කම්කටොළු සමග ගෙවි ගිය කාලය.....වැදගත් පෝසත් පවුලක දෙවෙනි දරුවා ලෙස ඉපිද සියලු සැප සම්පත් විදි මට......දෙමව්පියන් ගේම වැරදි අඩු පාඩු නිසා මට මගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන්, නෑදෑයින් කිසිත් නැතුව ගත කරන්න සිදුවුන අවුරුදු හතරක කාලය , කන්‍යාරාමයේ හා නේවාසිකාගාරයේ අනෙක් ළමයින් ගෙන් අහන්න උන නරක කතා බහ හැමදෙයක්ම අමාරුවෙන් ඉවසාගෙන සිටි අසරණ මට, අන්තිමේ කොන්වන්ට් එක, හොස්ටල් එක සියල්ල අත් හැර කවදාවත් නොගිය බදුල්ල පැත්තේ බාලිකා නිවාසයක නවතින්න යන්න සිදුවි ඇත.


සීතම්මාගෙ ආදරය මැද හැදෙන මට, මදර් සුපීරියර් කිව් දෙයින් මගෙ හිත කඩා වැටුනි...... මම මදර් සුපීරියර්ගෙ කාමරයෙන් නික්ම, කොන්වන්ට් එකේ පාළු කොරිඩෝව දිගේ හෙමිහිට ඇවිද ගෙන.... පාසැල් බිම් කොනේ තිබුන දේවස්ථානය වෙත ගියෙමි..... හිතේ ඇතිවුන දුක වේදනාව, අසරණ කම ගැන ඇතිවුන හැඟීම නිවා ගත නොහැකිව මම උන්නෙමි.. ...දේවස්ථානය මේ වෙලාවට බොහෝ පාළුවට ඇති මොහොතකි.... මම පල්ලියේ ඇතුලට ගොස් බංකුවක වාඩිවී බොහෝ වේලාවක් හිතේ ඇති වුන දුක වේදනා සියල්ල නැතිවි යන තුරු ඇසේ කදුළු ඉවරවෙන තුරු අඩා වැලපුනෙමි .....කාත් කවුරුත් නැති දරුවකු ලෙස කන්‍යාරාමයේ ගතකල කාලය නිම කර මට දැන් අනාත ළමයෙක් ලෙස ළමා මඩමකට යන්න කාලය ඇවිත්....

ග්‍රැනී ,මමී ,ඩැඩී තෝමස් ජූඩ් රෝසි සමග ගතකල අති සුඛෝපභෝගී ළමා කාලය මොහොතකට සිහිපත් කරමින් මම ඉකිබිදමින් ඇඩුවෙමි....මගෙ නිමා නොවනා මේ දුක් කන්දරාව, උඩ ඉන්නා දෙවියන් වහන්සේටවත් පෙනෙන්නෙ නැති හැටි....... මගේ ඉදිරි ජීවිතයට මීට පසුවත් මෙවන් කරදර කාලයක් උදා නොවේවායි සිතමින් දෙවියන් යැද්දෙමි..... පැයකට ආසන්න කාලයක් දේවස්ථානය තුල හිද අඬා වැලපුන මම කදුළු පිහාදාගෙ හිත ශක්තිමත් කරගෙන එතනින් නැගි සිටියෙමි........

දෙවියන් ඉදිරිපිට කදුළු සලා ඇඩුවට පසු හිතට දැනුනේ පොඩි සහනයකි...දේව මෑනියෝ මාදෙස බලා හිඳිමින්, සිනාසෙනවා වැනි හැඟිමක් ඇතිවිය..... පහුගිය අවුරුදු හතරක කාලයක් මම මේ දෙව්මැදුරට විත් දේව මෑණියන් අභියස යාච්ඥා කල සියලු දේවල් වල වටිනාකමක් තියෙනවාද කියා අද මට සිතේ.....කොපමණ හඬා වැලපුනත්, දෙවියන්ට යාච්ඥා කලත්, තමන්ගෙ ජීවිතේ ගෙවී යන්නේ, වෙන්න තියෙන විදිහටම කියා දැන් මට තේරේ.......එය දෙවියන්ට වත් වෙනස් කිරීමට හැකියාවක් නැති බව පමනක් මට තේරුම් යමින් පවති.....


දේවස්ථායෙන් නික්ම එලියට එන විට සීතාම්මා එහි දොරකඩ දුක්මුසු බැල්මකින් මාදෙස බලා ඉන්නවා මට දැක ගත හැකි විය.


"මොනවද අයිරින් බේබී මදර් සුපීරියර් කිව්වේ...."


"මදර් සුපීරියර් කිව්වා...අවුරුදු හතරක කාලයක් ස්කූල් ෆීස් ගෙවලා නැති නිසා මාව තවත් මේ කොන්වන්ට් එකේ තියාගන්න බෑ කියලා.... බදුල්ලේ රජයෙන් හා ස්වෙච්ඡා සේවා වලින් එකමුතුව කරගෙන යන බාලිකා නිවාසයකට මාව මාරු කරලා අරින්න හදන්නෙ කිව්වා....."


"අනේ දෙවියනේ...."


"මට දැන් මේ කොන්වන්ට් එකෙන් යන්න දුකක් නෑ සීතම්මේ.....මට මෙහෙ යාළුවො කවුරුත් නෑනේ.... මට දුක සීතම්මා දාලා යන්න විතරයි ......"


"මටත් හරි දුකයි බේබි මෙහෙන් යන එක ගැන ...ඒත් දරුවො, මටත් ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් නෑනේ.....මටත් මේ කොන්වන්ට් එකේ වැඩ කරාට ලොකු පඩියක් ලැබෙන්නෙ නෑ...යන්තම් මට හම්බවෙන සොච්චම් පඩියෙන් තමයි මගේ නංගිගෙ ළමයි ඉස්කෝලේ යන්න පොත් පත් ගන්නේ......ඒ නිසා මට ඔයා වෙනුවෙන් මොනවත් කරන්න පුලුවන් කමක් නෑ බේබි ....මට හරි දුකයි....."


"අනේ කමක් නෑ සීතාම්මේ ...."


"මට හරි දුකයි බේබි ගැන.... කොයිතරම් හොද වැදගත් උගත් පවුලක ළමෙක්ද බේබී.... අනේ ...දෙවියනේ දෙමව්පියන් ගෙ වැරදි නිසා මඩමකට යන්න උනානේ......"


"ඒකට කමක් නෑ සීතාම්මේ.....මම හිත හදාගත්තා... මම බදුල්ලෙ යන්න ලෑස්තියි......"


"ලොකු දෙයක් බේබි හිත හදාගත්ත එක...අපට මේ ලෝකේ වෙන දේවල් හිතාගන්න බැරි දේවල් .....අපට වෙන්න තියෙන දේ තමයි මොනව කරත් සිද්ධ වෙන්නේ,.... අපි කොච්චර දේවල් හිතුවත් පැතුවත්.....බේබිට වරදින්න නෑ.... යන තැනක කරදරයක් නැතුව ඉන්න පුලුවන් වෙයි.....


" මම මේ තරමටම අවසනාවන්තයි කියලා මම හිතුවෙ නෑ සීතම්මේ......"


"එන්න බේබ් අපි ගිහින් දැන් ඇදුම් බෑග් එක ලෑස්ති කරමු.... හෙට උදේ බදුල්ලේ යන්න තියෙන නිසා....ඔය ඇස්වල කදුළු පිහිදාගන්න බේබී...."


මම සීතාම්මාගෙ කාමරයට ගොස් මගේ ඇදුම් බෑග් අස්කර ගෙදරින් එනකොට ගෙනා පරණ, ඇඟට හිරවුන ඇදුම් සපත්තු අස්කර විසිකර දැම්මෙමි..... සීතා අම්මා හා සිස්ටර් මේරි දුන් අලුත් ඇදුම් පමනක් දමා ගෙන මගෙ ඇදුම් බෑග් එක ලෑස්ති කර, මගේ අලුත් පොත් පෑන් පැන්සල්ද දමා බෑග් එක ලැස්ති කර ගත්තෙමි.


"අයිරින්..."


සිස්ටර් මේරි කාමරය ඉදිරිපිටට ඇවිත් ඇත...


"ආ සිස්ටර් මේරි..."


ඇගේ ඇස්වල ඇත්තේ දුක පිරුනු කනගාටුදායක පෙනුමකි...


"මට ආරංචි උනා අයිරින්ව බදුල්ලට මාරු කලා කියලා ...මටත් දුකයි.... අපි දේවියන්වහසේට සේවය කරන අයනේ.....අපට ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් නෑ අයිරින් ......ඔයා ගිය තැනක හොදින් ඉගෙන ගෙන සතුටෙන් ඉන්න ඔයාට වරදින්නෙ නෑ......"

"හොදයි සිස්ටර් මේරි.... මට දුකයි සීතම්මාවයි සිස්ටවයි දාලා යන්න.....ඒත් මම යන්න එපැ‍යි....."


"මට පුලුවන් උන හැම වෙලාවකම ඔයාව බලලා යන්න එන්නම්කෝ.....සීතාම්මාවත් ඔයාව බලන්න එක්ක එන්නම්......."


"හොදයි සිස්ටර් දැන් මම හෙට උදේ සිස්ටර් එක්ක නේද බදුල්ලේ යන්නේ...?"


"ඔව් අපි හෙට උදේම යමු...ඒ බාලිකා නිවාසයේත් ඔයාගෙ වයසම ළමයි ඉන්නවා.....ඒ ළමයින්ටත් අම්මලා තාත්තලාගෙ වරදින් තමයි ඒ තැන්වල නතර වෙන්න සිද්ද වෙලා තියෙන්නේ ...... ...."


අපේ ජීවිත ඇරඹුම පටන් ගන්නේ කදුලින්මයි.... ඒ අම්මාගේ කුසින් අපි ඉපදෙනකොට කදුළු පෙරාගෙන අඩාගෙන ජීවිතය අතින් මිට මොලවන් මේ ලෝකයේ එලිය දකිනවා ....ඊට පස්සේ ලෝකයේ හැලහැප්පීම් මැද ජීවිත ගමන යනකොට නොනවත්වා අඬමින් හැපෙමින් දුක්විදිමින් යන ජීවිත ගමන කොයිතරම් නම් පීඩාකාරී ගමනක්ද.....කවුරු කෙසේ කීවත්....මොන තරම් දෙවියන්ට යාච්ඥා කලත්, කොයිතරම් සිහින මැව්වත් තමන්ගේ ලැබීමේ හැටියට තමයි හැම දෙයක්ම සිද්ද වෙන්නේ කියා මට දැන් සිතේ......


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *


නොසැලෙන දියණි අයිරින්♨️

නවකතාව එක දිගටම දුක හිතෙන ලෙස ගලාගෙන යන කතාවක් කියා, ඔබෙන් ලැබෙන කණගාටුදායක ප්‍රතිචාර නිසා,...... මෙය කියවන ඔබේ හිත සුව පිනිස කියන්නට කැමතියි ....අමාරුවෙන් කන්දක් නැග්ගොත් පහසුවෙන් බැහැගෙන යන්න පල්ලමකුත් ලැබෙන බව....අපේ ♨️ නොසැලෙන දියණි අයිරීන්♨️ වටා ඇති කළු වලා මැකී ගොස්..... දිනක ඇයටත් රීදී ඉරක් පායන තෙක් දෙනෙත් දල්වා අපි බලා හිදිමු...."💞

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page