top of page

♨️අයිරීන්♨️ නොසැලෙන දියණි (20 වන කොටස)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 13, 2021
  • 5 min read

පාසැල් වේලාවෙන් පසු හවස් වරුවේ නේවාසිකාගාරයේ දරුවන් පාසැල් ක්‍රීඩා පිටියේ නෙට්බෝල් , බැඩ්මින්ටන් වැනි සෙල්ලම් කරත් කිසි කෙනෙක් දැන් මට සෙල්ලමට අඬ නොගසයි.. ....

සීතම්මාගෙ කාමරේ නවාතැන් ගන්නට ගිය පසු මාත් එක්ක එක කාමරේ හිටිය රූබී හා සිල්වියා දැන් මා සමග කොහෙත්ම කතා නොකරයි.

පාසැල් වේලාවෙන් පසු කුස්සියේ වැඩ, සුළු සේවකයින් මෙන් මටත් කිරීමට මේට්ට්‍රන් නිතර කතා කරයි. දරදඩු ඇය වැඩට කතා කල විට, මම අනිවාර්යයෙන්ම ඒවා කල යුතු වේ. ඇය කියන හැම වැඩක්ම හොදින් ඉටු කල යුතුය. කෑම කාමරේ අතුපතුගෑමේ සිට වලං පිඟන් හෝදන වැඩ දක්වා ඇය මගෙන් වැඩ ගනියි. මම කන බොන ඒවාට හිලව් වෙන්න ඒවා කරන්න යැයි, මේට්ට්‍රන් දිනක් මට කෙලින්ම පැවසුවාය.... මම වලං පිඟන් හෝදන වෙලාවට, සීතාම්මා මේට්ට්‍රන්ට හොරෙන් මට ඒවා කර දෙයි.....

කුස්සියේ වැඩ ඉවරකර, හවස් වරුවේ මම

අනෙක් ළමයින් සෙල්ලම් කරමින් සිටින දෙසට විත්, එදෙස බලාගෙන ඉන්නේ ....අනේ කොයි මොහොතකම හෝ ඔවුන් මටත් සෙල්ලම් කරන්න අඬ ගසයි කියායි .....

හවස් වරුවේ පාසැල් ක්‍රිඩාංගනය අද්දර හිටගෙන අනෙක් ළමයි සෙල්ලම් කරන දෙස බලාගෙන ඉන්නා මා දෙස, හොස්ටල් එකේ ලොකු ගැහැනු ළමුන් දෙතුන් දෙනෙක් මගේ ගවුම දිහා බලමින් මොනවාදෝ එකිනෙකාට, කියමින් හිනාවෙවි යනවා මම බලන් හිටියේ දුකෙන්‍ය.

ටික වේලාවකට පසු කුස්සියේ වැඩ කරමින් සිටි සීතම්මා, ගවුමට උඩින් ඒප්‍රනයද දමාගෙන , ක්‍රීඩා පිටිය පැත්තට නොන්ඩි ගසමින් දුවගෙන එනවා මම දැක්කේ අහම්බෙනි....


"අයිරින් බේබි...දැන් ගොම්මන් වැටෙන වෙලේ මෙතන ඉන්න හොද නෑ.... අපි යමු කාමරයට......"

කියමින් කවදාවත් නැති ලෙස ඇය මගේ කරවටා අත දමාගෙන මාව ඇඟේ ඇගට තුරුල් කරගෙන ඇගේ කාමරයට එක්ක ගියේ කළබලේමය.


"මට අර ලොකු පංති වල ළමයි දෙන්නෙක් ඇවිත් කිව්වේ බේබිගෙ ගවුමේ මොනවද ගෑවිලා කියලා ...මමමේ කළබලේ දුවගෙන ආවේ ඒකයි..."


"ඇයි සීතා අම්මේ..."


"ඔයා ලොකු ළමෙක් වෙලා අයිරින් බේබී......දැන් කොහේටවත් යන්නෙ නැතුව කාමරයට වෙලාම ඉන්න.... මම බේබිට තැම්බුම් හොද්දක් හදාගෙන එන්නම්...මෙන්න මේ කතුර කොට්ටෙ යටින් තියාගන්නකෝ තනියට.....මෙන්න මේ ඇදුමත් මේ විදිහට ඇදගෙන ඇඳටම වෙලා ඉන්න...".


සීතාම්මා කිව් ලෙස මම ඇගේ කාමරේ ඇති, මගේ ඇදේ හාන්සිවි උන්නෙමි ..... මගේ ඇඳේ කොට්ටෙ යටින්, සීතම්මා දුන් කතුර තියාගෙන ඇඳේ ඇල උනෙමි.


"සීතාම්මේ මේට්ට්‍රන් මාව හොයයිනේ..."


"ඒකට කමක් නෑ ඔහොම ඉන්න...කොහේවත් යන්න එපා.....වටපිටාවේ තව ළමයි ඉන්නවනේ බේබිට තනියක් නෑ...."

නේවාසිකාගාරයේ ලොකු පොඩි ළමයි හැමෝම විත් මගේ කාමරයට ඔළුව දමමින් මා දිහා බලමින් එහෙ මෙහෙ යති... ඔවුන් එකිනෙකාට හිනාවෙමින් රහස් කියයි...මට ඇතිවුනේ ලැජ්ජාවකී. ඒ කියන්නේ මම දැන් ලොකු ළමෙක් වෙලාද...?


සීතාම්මා කුස්සියට ගිය පසු මම ඇද උඩට වෙලා කල්පනා කලේ මේකද මේ ලොකු ලමෙක් වෙනවා කියන්නේ කියා...එතකොට අනෙක් ගෑනු ළමයින්ව සමහර අම්මලා, සුදු රෙද්දකින් වහගෙන ගෙදර එක්ක යන්නේ.... මේ මම වගේ ලොකු ළමයෙක් උනාමයි කියා මට අදයි තේරුම් ගියේ.... අනේ අද මගේ මමී ,ග්‍රැනී හිටිය නම් අනෙක් ළමයින්ගෙ අම්මලා වගේ ඒගොල්ලොත් මාව ගෙදර එක්ක ගිහින් මට හොදට සලකයිනේ.... සතුට වෙයිනේ ...මට ග්‍රැනී ,මමී සිහිපත් වී දුක සිතුනි...."

මම කන්‍යාරාමයට නවතින්න ආ කාලය හෙමින් ගලා ගොස්, දැන් අවුරුදු දොළාහමාරක වැඩිවියට පැමිණි දැරියක්ව හිදිමි. මගෙ වයසේ අනෙක් දැරියන් සැරෙන් සැරේට ලොකු ළමයි උනා කියාමින් ඔවුන්ගෙ මව්වරුන් පාසැලට පැමිණ ගෙදර එක්ක යති....ඊට පසු සුමාන දෙකකට විතර පසු ඔවුන්ට අලුත්ම ඇදුම් අන්දවා අලුත් සපත්තු මේස් පාසැල් බෑග් පවා අලුතින් රැගෙන දී පාසැලට ගෙනත් බස්සවා මේට්ට්‍රන්ටත් මදර් සුපීරියර්ටත් තෑගි බෝග, කේක් ගෙනවිත් දී ඇයව ගොඩක් හොදින් බලා ගන්න කියමින් ඇයව ආදරෙන් සිප වැලද බස්සවා යයි......

මෙහෙම වෙන්න හේතුව මට මෙපමණ දවසක් තේරුම් ගත නොහැකි වි තිබුනි . ඒ ගැන හරියට අහන්නවත් කෙනෙක් මට නැත, තේරුමක්ද නොතිබින. ලොකු ළමෙක් උන දරුවෙක් පාසැලට මුළින්ම ආ දිනට අපටද කන්න කේක් ලැබෙයි..... මට මේ අමුතු දෙය ගැන තිබුනේ පුදුමයකි. මම විශේශයෙන් ඔවුන් දෙස ඈත තියා බලාසිටින්නේ ඇය අමුතු ලෙස උස මහත් වී ලොකු ළමෙක් වෙලාද කියායි.... බැලු බැල්මට එසේ පෙනෙන්න තරම් විශේශ උසමහත් වීමක් නැති ඇයගෙන් ලැබෙන කේක් කෑල්ල නම් මම කන්නෙ බොහොම ආසාවෙනි . හොද සැපට උසමහත් උන දැරියන් බොහෝ දෙනෙක් දැන් ලොකු ළමයි කියා මේට්ට්‍රන් කියයි.... හැබැයි මම නම් තවමත් කෙසඟ දැරියකි.


"අයිරීන් අයිරීන්.. ..."

මේට්ට්‍රන්ගෙ කටහඩ ඈතින් ඇසෙයි....මේ වෙලාවට, මම හොස්ටල් එකේ ළමයින්ට කෑම කන්නට පෙර මේස සෑදිය යුතු වෙලාවවේ.....ඒ නිසා වෙන්න ඇති ඇය මාව සොයන්නේ.....


"මොනවද මේ කාමරේට වෙලා කරන්නේ..... එනවා එනවා එළියට.....ගිහින් කෑම මේස පිහිදලා ලෑස්ති කරනවා..."

අපේ කාමරය ඉදිරිපිට ඉදගෙන... ඇයගේ කෑමොරසම් දීමට, සීතම්මා දුවගෙන ඇවිත් ඇය සමග කතා කරන සද්දය මට ඇසේ....


"අයිරීන් බේබි ලොකු ළමෙක් වෙලා මේට්ට්‍රන් නෝනා....."


"මොන ලොකු ළමෙක්ද.....ඕවා අපි සමරන්නෑ.....මෙන්න මෙහාට එන්න කියනවා ඇඟපත හෝදගෙන...කුස්සියේ කෑම කාමරේ වැඩ තියෙනවා ...."


"අනේ නෝනා......ඒ දරුවා ඉස් ඉස්සෙල්ලා ලොකු ළමෙක් වෙලා ඉන්න දවසේ අදට ටිකක් විවේක ගන්න දෙන්න නෝනා.....මම අද අයිරීන් බේබිගෙ වැඩ ටික කරන්නම්...."


"අදට විතරයි ..හෙට උදේ නාල වෙනදා වගේම වැඩ ටික කරලා දාලා, ඉස්කෝලේ යන්න කියනවා....ඕවා විකාර වැඩ.....ඕවා සමරන්න කාරනා නෙමෙයි..... ඕවා විද්‍යාව අනුව සිදුවන දේවල්.... මේ සිංහල මිනිස්සුන්ගේ පිස්සු වැඩ.....කාමර ඇතුලෙ තියාගෙන ඉදලා නැකතට නාවලා ගමටම කියලා පාර්ටි දානවා...පිස්සු වැඩ...."


"අනේ නෝනා එහෙම කියන්න එපා.....අම්මා තාත්තා කවුරුත් නැති අහිංසක ළමයා.....මම සිංහල කෙනෙක් නිසා මට ඒ දරුවගෙන් වැඩ ගන්න හිතෙන්නෙ නෑ නෝනා මේ වගේ මොහොතක.... දරුවට දවස් තුනකට නිවාඩුවක් දෙන්න නෝනා....මම දරුවට දවස් තුනක් ඉන්න ඇරලා වතුර ටිකක් නාගන්න කියන්නම්..."


"මම ලොකු මැඩම්ට කියලා බලන්නම්..."


සිතාම්මට පිං සිද්දවෙන්න මේට්ට්‍රන් මාව අතහැර කෑම කාමරයට යන ටොක්, ටොක්, සද්දය ඇසේ......

වෙන ගෑනු ළමයි වැඩිවියට පැමිනුනම තියෙන විශේෂ කිසිම දෙයක් නැති මට සීතම්මා තැම්බුම් හොද්දක් හදාගෙන විත් බොන්නට දුන්නාය..... මේට්ට්‍රන්ට හොරෙන් කාමරයටම, මට බත් පිඟානක් බෙදා ගෙනවිත් කන්නටද දුන්නාය. ඒ බත් එක ඇතුලේ කාටවත් නොපෙනෙන්න බිත්තර යක් හංගාගෙන සීතා අම්මා ගෙනවිත් තිබුනාය.


"අයිරීන් බේබි ඉස්සර අපේ සිංහල ගෙවල් වල නම්, ගෑනු ළමෙක් වැඩිවියට පැමිනුනාම ,අපහසු කාලය ඉවර වෙනකම් ඉදලා , ඩෝබි කෙනෙක් ගෙන්නලා නැකතට නාවලා පාටි දනවා....හැබැයි මේ දේවල් මේ ආගමේ අය කරන්නේ නෑ කියලයි මම හිතන්නේ.....මේට්ට්‍රන් ගිහින් මදර් සුපීරියර්ගෙන් අහලා බේබිට නිවාඩු දෙන්නද කියලා ....මදර් සුපීරියර් කියලා අනිද්දා උදේට බේබිට නාලා ඉස්කෝලේ එන්න කියලා. දිග නිවාඩු අවශ්‍ය නෑ කියලා ...."


"මට ලොකු අමාරුවක් නෑ සීතා අම්මේ මම අනිද්දා උදේට නාලා ඉස්කෝලේ යන්නම්... "


"මගෙ හිතට නම් හරි නෑ බේබී...මට හරි කේන්තියි මේට්ට්‍රන් එක්ක....මාත් ඉතිං මෙතන වැඩකාරයෙක් විතරනේ..."


"අයිරින් බේබී, සිස්ටර් මේරි ඇවිත් ඔයාව බලන්න .....එන්න එන්න සිස්ටර් ...."


"අයිරින් මම ආවේ මේක ඔයාට දෙන්න.....මදර් සුපීරියර් මේ රත්තරං මාලය තියෙන පෙට්ටිය ඔයා ලඟ තියාගන්න කිව්වා මේ දවස් ටිකට.... හැබැයි පරිස්සම් කරගන්න ...."

සිස්ටර් මේරී සීතම්මාගෙ කාමරයට පැමින තිබුනේ ග්‍රැනී හා මමී පාවිච්චි කල රත්තරං මාලය මගේ තනියට ලඟ තියාගන්න දෙන්නයි...."


"අනේ මගෙ මමී ග්‍රැනී ලඟ ඉන්නවා වගෙයි මට දැනෙන්නේ මේක මා ගාව තියෙන කොට.....තැන්ක්ස් සිස්ටර් ...."

මම ඒ මාලය, රතු පාට වෙල්වට් රෙදි පෙට්ටියෙන් එළියට ගෙන අතට ගත්තේ ගොඩක් සතුටින්..


"ඔයා හෙටත් කාමරයට වෙලා ඉදලා ,අනිද්දා උදේ නාලා ඉස්කෝලේ යන්න...."


"හොදයි සිස්ටර් මේරි ..."


එක දිනක් නිවාඩු පාඩුවේ සීතම්මාගෙ සැලකිලි ලැබු මම,පසු දින උදේ ඉස්කෝලේ යන්න පෙර නාගත්තෙමි.


මම නාන්න යන කොට මගේ පස්සෙන් ආ සීතම්මා ....


" බේබි මේ අමු කහ ටික ඇගේ ගාගෙන හොදට නාගන්න ..... මම නාන කාමරයේ එළියේ බේබිගෙ තනියට ඉන්නම්... .ඉක්මනට නාගන්න බේබි මේට්ට්‍රන් දැක්කොත් මට විසුමක් නෑ....


සීතාම්මා කිව් ලෙස ඇය දුන් කහ දියරය ඇඟ පුරාම ගාගත් මම ටැප් එකට ඔලුව අල්ලා පාසැල් යන්න පෙර හොදින් නාගත්තෙමි .


"බේබි මේ සුදු ගවුම ඇදගන්න... .මම කලබලේ මේ අලුත් ගවුම මදර් සුපීරියර්ගෙ කාමරෙ තිබිලා සිස්ටර් මේරිට කියලා ඉල්ල ගත්තේ ....."

ඇය මට අලුත් මැදපු සුදු පාසැල් නිළ ඇදුමක් අදින්න දුන්නාය. මට ඇය ගැන ඇතිවුනේ සතුටක් වගේම ආදරයකී..... ඇය මට මදර් සුපීරියර්ගෙ කාමරේ තියෙන, දරුවන්ට විකුනන පාසැල් නිළ ඇදුම් කාමරෙන් මෙය ඉල්ලාගෙන විත් ඇත.

වැඩිවියට පැමිනුන මම තනියම නාගෙන සුදු ගවුම් ඇදගෙන එළියට ආවේලේ සීතා අම්මා මට උනු කොපි කෝප්පයක් බොන්නට දුන්නාය.


"බේබි දැන් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න... අන්න සිස්ටර් මේරිත් මේ පැත්තට එනවා..."


"කොහොමද අයිරීන් උදේම නාගත්තද...?මගෙන් සුභ පැතුම් ඔයාට... ..දැන් ඔයා ලොකු ළමෙක්නේ.... හොදින් ඉගෙන ගෙන හොද ළමයෙක් වෙන්න ඕනේ අයිරින් ......"


සිස්ටර් මේරි මගේ දෙකොපුල් සිප ගත්තේ මගේ අතේ කඩදාසි බෑගයක් තියායි.....


"මේ මොනවද සිස්ටර් මේරි..."


"ඔයාට අලුත් පාට ගවුම් දෙකක්.... යට ඇදුම් වගයකුත් තියෙනවා ......"


"බොහොම ස්තුතියි සිස්ටර් ..."


"මෙන්න මගෙන් බේබි ට ඉස්කෝලේ දාගෙන යන්න අලුත් සපත්තු දෙකකුත් මේස් දෙකකුත්......"

සීතම්මා සපත්තු පෙට්ට්යක් මගේ අතේ තිබ්බාය.


"මේවත් දාගෙන ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න බේබි.... ..පරක්කු වෙනවනේ..."


කොන්වන්ට් එකේ නවතින්න එනවිට ඩැඩි ඇරන් දුන් සුදු සපත්තු කුට්ටම පාවිච්චි කරන්න බැරි තරමට දැන් කැඩි ඇති බව සීතම්මා දන්නා බව මට සිහි පත් විය. වැස්ස දවසට කකුල් දෙකම තෙත බරිත වන්නේ එහි අඩියෙ ඇති හිල් වලින් ඇතුලට එන මඩ වතුර නිසයි.... ඒ වගේම ඉරුණු මේස් දෙක මම අනෙක් ළමයින්ට නොපෙනෙන්න වසාගෙන පාසැල් ගිය හැටි, සීතම්මා හොදින් දනී.... ඇය මා ගැන සිතා මේ සපත්තු මේස් ඇගේ දුප්පත් මුදළින් ඇරන් දුන් එක ගැන මට ඇතිවුනේ දුකකි....


අම්මා තාත්තා නෑදෑයෝ කාත් කවුරුත් නැති මම දැන් වැඩිවියට පැමිනි දැරිවියකී. අනේ මගේ ග්‍රැනී ,මමී අද හිටියනම් ඒගොල්ලෝ අද දවසේ කොච්චර සතුටු වෙයිද.....


අද හොස්ටල් එකේ ළමයි හැමෝටම උදේට කන්න කිරිබත් හදලා තිබුනේ, සීතා අම්මාගෙ උවමනාවට බව මට වැටහුනි.


හොස්ටල් එකේ වැඩිහිටි අක්කලා තුන් හතර දෙනෙක් ඇවිත් මට සුළු තැගී දෙක තුනක් දී සුභ පැතුවේ අවංකවම සතුටින් බව මට වැටහිනි.....


ඒ අක්කලා තුන් දෙනා මට පෑනක්, පැන්සලක් මකනයක් සමග පැන්සල් පෙට්ටියක් තෑගි ලෙස ලබා දී තිබුනි. මට ඒවා බොහොම වටිනාකමක් ඇති තෑගි විය.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page