top of page

♨️අයිරීන්♨️ නොසැලෙන දියණි (19 වන කොටස)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 13, 2021
  • 4 min read

මදර් සුපීරියර්ගෙන් මට ලැබුන පණිවිඩයට, කන්‍යාරාමයේ කාර්‍යාලය තුලට මම පිය මැන්නේ හිතේ ඇතිවුන තිගැස්සීමත් සමගයි.


"අයිරින් එන්න ඇතුලට ....මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ....."


"ඇයි... මදර් සුපීරියර්....."


"ඔයාට කොහොමද අයිරින්....?


"වරදක් නෑ මදර්..."


"ඔයාට මම එන්න කිව්වේ.... දන්නවද අයිරීන්....ඔයාගෙ ස්කූල් ෆීස්, හොස්ටල් එකේ ෆීස් මාස හයකින් ගෙදරින් ගෙවලා නෑ.....අපි ඔයාගෙ ගෙදරට ලියුම් ඇරලා ඒක දැන්නුවා....ඒත් කවුරුත් ඒකට කතා කලේ නෑ.....අපට තව මාසයයි ඒ ගැන බලන්න පුලුවන්..... ඔයාගෙ ස්කූල් ෆීස් පුලුවන් ඉක්මනට ගෙවන්න කියලා ගෙදරට කියන්න ඕනේ.......ඔයාගෙ ලොකු මමී අපට දුන්න එයාගෙ ෆෝන් නම්බර් එකත් දැන් වැඩ කරන්නේ නෑ.....අපට ඔයා ගැන කියන්න ,කතා කරන්න කවුරුත් වැඩිහිටියෙක් නෑ......මොකද අපි දැන් ඒකට කරන්නේ....?හොස්ටල් ෆීස් ගෙවන්නෙ නැතුව අපට ඔයාව තව දුරටත් මෙහෙ තියාගන්න අමාරුයිනේ .......මේ කොන්වන්ට් එක තමයි , මීගමුවේ තියෙන ලොකුම හොදම හොස්ටල් එක......ඒ නිසා මේකට ළමයි ඇතුල් කරගන්න ගොඩක් දෙමව්පියන් බලන් ඉන්නවා.....එහෙව් එකේ ඔයාගෙ නේවාසිකාගාරයේ ගාස්තු නොලැබුනොත් ඔයාගෙ ඇද ඔයාගෙ කාමරය අපට වෙන ළමයෙක්ට දෙන්න වෙනවා..... මොකද අපේ හොස්ටල් එකේ වියදම පියව ගන්නේ ඔයගොල්ලන්ගෙ ෆීස් වලින්නේ.....ඒවා නොලැබුනාම අපට මේවා පවත්වගෙන යන්න බැරි වෙනවා......"


"අපේ ඩැඩි සනිප නෑලු මදර්.....ඒකයි මාව බලන්න ඇවිත් නැත්තේ..."


"ඔව් ඔයාගෙ ලොකු මමී අන්තිමට කතා කරපු දවසේ මට ඒ විස්තරේ කිව්වා.....ඒ උනාට අපිට මොනවත් ඒ වෙනුවෙන් කරන්න බෑ.....තව මාසයක් විතරයි ඔයාව ස්කූල් ෆීස් ,හොස්ටල් ෆීස් නැතුව ඔයාව මෙහෙ තියාගන්න පුළුවන් .... මම ඒක ඔයාගෙ ලොකු මමීටත් වේලාසන කිව්වා.......පහුගිය මාස වල ස්කූල් ෆීස් හොස්ටල් ෆීස් ඔක්කොම එකපාර ගෙව්වෙ නැත්නම් අපට ඔයාව තවදුරටත් මෙහෙ තියාගන්න බෑ......එහෙම උනොත් අපට ඔයාව වෙන තැනකට මාරු කරන්න වෙනවා කියලා ...."


"------=-==..."


"එහෙනම් අයිරින් දැන් යන්න..."


අනේ දෙවියනේ ඩැඩි මගේ ස්කූල් ෆේස් ඉක්මනට නොගෙව්වොත් ලොකු මැඩම් මාව වෙන කොහේට මාරු කරයිද.....මගෙ හිත බයෙන් ගැහෙන්න පටන් ගත්තාය...අනේ මගේ මමී ග්‍රැනී ...හිටියනම් කවදාවත් මට මේ වගේ දේවල් සිද්ද වෙන්නෙ නෑ.... තනි වෙන්න සිද්ද වෙන්නෙ නෑ...මට මම ගැනම දුක සිතී ඇස් දෙකෙන් කදුළු කඩා වැටෙන්න පටන් ගත්තාය ....මම අඬ අඬාම හෙමිහිට මගේ කාමරයට ඇවිද ආවෙමි..... මම කාමරයට යන විට මගේ කාමරයේ ඉන්නා සිල්වියා හා රූබී එකට එකතු වෙමින් යමක් කතා කරමින් ඉද ....,එම කතාව මට ඇහෙන්නෙ නැති වෙන්න නතර කර දැම්මාය. මගේ කාමරයේ මගේ යාළුවෝ දෙන්නාද දැන් මාව වැඩිය ගනන් ගන්නෙ නැති වීම ඉස්සර වගේ හොදින් කතා නොකිරීම, මාව තවත් දුකට අපහසුවට පත්කර ඇත. මම අම්මා තාත්තා කාත් කවුරුත් නැති ළමෙක් නිසාත්, සල්ලි බාගෙ , ලස්සන ඇදුම් පැළඳුම් නැති ලමයෙක් නිසාත් වන්නට ඇති ඒගොල්ලෝ මාව කොන් කරන්නෙ..... අනෙක් කාමරයේ නිලන්ති පමනක් , මාත් සමග යාලුවන්ට හොරෙන් කතා කරයි. ඇය නිවාඩුවට ගෙදර ගිහින් එනකොට ගේන කෑම, රස කැවිලි මටත් දෙයි....ඒත් අනෙක් ළමයින්ට හොරෙන්....


"අයිරීන් බේබි මොනවද කල්පනා කරන්නේ..."


කෑම ශාලාවෙ වැඩ කරන වයසක සීතාම්මා විතරක් මට අනුකම්පා කරයි. ඇය මේට්ට්‍රන්ට හොරෙන් මොනවා හෝ හදන විශේෂ රස කැවිල්ලක්, කෑම ටිකක් මටත් කන්නට ගෙනත් දෙයි.....මගෙ ගෙදර විස්තර කතා කරයි...ඇයටයි .... සිස්ටර් මේරිටයි විතරයි මම ගැන අනුකම්පාවක් ඇත්තේ ...ඔවුන් දෙදෙනා විතරයි මට ආදරයෙන් සලකන්නෙ.... මගේ හිත සැනසෙන්න කතා කරන්නේ, ඒ මා ගැන ඇති අනුකම්පාවට බව මට තේරේ........


"අයිරින් බේබී ඔයාට මදර් සුපීරියර් කතා කලේ ඇයි.....?


"මදර් සුපීරියර් මට කතා කරලා කිව්වා, මගේ මාස හයක ස්කූල් ෆීස් ගෙවලා නැති නිසාත්....එන මාසේ ඔක්කොම ගාස්තු එකපාර ගෙවලා දැම්මෙ නැති උනොත් මාව මෙහෙන් වෙන කොහේට හරි මාරු කරන්න වෙයි කියලා ...."


" අයිරින් බේබිගෙ ලොකු මමිට බැරිද බේබිගෙ ස්කූල් ෆීස් ගෙවන්න....."


"ඒගොල්ලො ඔස්ට්‍රේලියා ගිහින් වෙන්න ඇති....මට කතා කලේ නැත්තේ .....ඩැඩි සනීප නැතුව ඉන්නෙ කියලා මදර් සුපීරියර් දන්නවා...."


"ඇයි ඩැඩීට මොකද...? මොකක්ද අමාරුව...."


"අපේ මමී නැති උනාට පස්සේයි, ළමයි අපි ඔක්කොම ගෙදර නැති උනාට පස්සෙයි එයා තනියම කියවන්න පටන් ගෙන....ජූලීයා එයාව බැන්දට පස්සෙලු එහෙම උනේ....ජූලියා තමයිලු දැන් ඩැඩිගෙ බිස්නස් බලාගන්නේ.....ඩැඩිව ඉස්පිරිතාලෙක නවත්වලා කියලා මදර් සුපීරියර්ට ආරංචි වෙලා....මට අද කිව්වේ..."


"මට ඔය දරුවා ගැන හරි දුකයි....නාකි මම කියලා මොනව කරන්නද...මමත් ඉතිං කාත් කවුරුත් නැති කෙනෙක් නිසානේ මෙතන නැවතිලා මේ වැඩ කාරකම් කරන්නේ..."


සිතාම්මාත් මම වගේම කාත් කවුරත් නැති අසරණයෙක්ලු....... මට මම වගෙම සීතාම්මා ගැනත් දුකයි.


මාස හයක කාලයක් මගේ පාසැල් ගාස්තු හා නේවාසිකාගාරයේ ගාස්තු නොගෙවීමත් මගෙ භාර කාරයින් මාව බලන්න නොඒමත්, කන්‍යාරාමයෙන් අරින ලියුම් වලට උත්තර නොඑවීමත් වගේම කවුරුවත් වැඩිහිටියෙක් මගේ වගකීම් භාර නොගැනිමත් හේතුවෙන් මාව නේවාගාරයෙ තව දුරටත් සිටිය නොහැකි බව මදර් සුපීරියර් මේට්ට්‍රන්ටද පවසා ඇත....

වැඩි දවසක් නොයා මට මේ මම ඉන්න නේවාසිකාගාරයෙන් වෙන කොහේට හරි යන්න සිද්ද වෙන බව දැනගෙන මම හෙමිහිට හිත හදාගන්න උත්සහ කරමින් ඉන්නෙමි.


"අයිරින් ඈත පැත්තක කතෝලික ළමෙක් හෙට හොස්ටල් එකේ නවතින්න එනවා....ඔයා ඔයාගෙ ඇදුම් ,පොත් බෑග් ඇරගෙන සීතම්මගෙ කාමරයට යන්න....ඒ කාමරයේ තව වැඩිපුර ඇදක් තියෙනවා .... අපට ඔයාගෙ මේ කාමරය, ඇඳ අලුත් ළමයට දෙන්න ඕනේ...."


මේට්ට්‍රන් කිසිම අනුකම්පාවක් නැති ලෙස මට සීතම්මගෙ කළුවර කාමරේට යන්න කීය.

අවුරුදු එකහමාරකට වැඩි කාලයක් රූබී හා සිල්වියා සමග මම නවාතැන් ගෙන සිටි විශේෂ කාමරයෙන් සමුගෙන නේවාසිකාගාරයේ කොනක තිබූ සීතම්මාගෙ කාමරයට මට යන්න සිද්ද වුනේ එහෙමයි.


"ඔයාව මේ කොන්වන්ට් එකේ තියා ගන්නෙ නැතුව සීතම්මගෙ කාමරේට හරි ඇරියේ සීතම්මා නිසයි ...සීතම්මා කිව්වා ඔයාගෙ ලොකු මමී ඔයාව ඔස්ට්‍රේලියාවට ගන්න ඉන්නේ ඒ නිසා තව ටික කාලයක් මේ හොස්ටල් එකේම තියාගන්න කියලා ....ඒකයි ඔයාට එයාගෙ කාමරේ හරි ඉන්න දුන්නේ...."

නේවාසිකා ගරෙන් සුළු සේවකයින් නැවතිලා ඉන්න කාමරයකට හරි මාව මාරු කරන්න ඇත්තේ ..... සීතාම්මාගෙ කරුණාව හා ඇගේ ඉල්ලීම පරිදි බව පසුව මට වැටහුනි...... ඒ වගෙම සතියේ දවස් පහේ කන්‍යාරාමයේ ඉගෙනීම කටයුතු වෙනදා වගේම කරන්න ලොකු මැඩම් අවසර දුන්නේ ශිශ්‍යාවකගේ ඉගෙනීම කඩාකප්පල් කරලීමට ඇයට කල නොහැකි කරුනක් නිසා වන්නට ඇත....

නේවාසිකාගාරයේ කොනට වෙන්න තිබුන සීතම්මාගෙ කාමරයේ පොඩි යකඩ ඇඳන් දෙකක් තිබුනි. එම ඇඳන් වලට හොද මෙට්ට, ඇඳන් රෙදිද නොවීය. බාල ඇදක් මෙට්ටයක් ඇති එම ඇදට මඳුරු දැලක්ද නොතිබුනි. අඳුරු කාමරය පුරා ඇත්තේ සීතම්මාගෙ බෙහෙත් තෙල් ගඳය..... ඇගේ කාමරයේ මට නවතැන් ගන්නට ලැබුනා වගේම සුළු සේවකයින් පාවිච්චි කරන පොදු නානකාමරයද මට පාවිච්චි කරන්න සිදුවිය.

වැදගත් පාරම්පරාවක උගත් දෙමව්පියන්ට දාව ඉපදුන මට අද කාත් කවුරුත් නැති දරුවකු මෙන් සුළු සේවක සීතම්මාගෙ කාමරයේ නවතින්න සිදුවි ඇත.... අඩු පහසුකම් මැද නවතැන් ගන්නට සිදුවි ඇත.... මට මම ගැනම ඇති වන්නේ කියා ගන්න බැරි තරම් දුකකී...

නේවාසිකාගාරයේ ප්‍රධාන පාලිකාව වන මේට්ට්‍රන් මට දැන් සලකන්නේ අනාත ළමෙක් ගානටමය.... අනෙක් ළමයින්ගෙන් නොගන්නා වැඩ දැන් ඇය මගෙන් ගනී.... ඔලුවේ උකුනන් ඉන්න ළමයින්ගෙ ඔලුවෙ උකුනො මට ඇරන් දාන්න කියයි...කෑම ශාලාව අතු ගාන්න කියයි... සමහර වෙලාවට පිඟන්ද සෝදන්න කියයි....අනේ ඇයි එයා මගෙන් විතරක් එහෙම වැඩ ගන්නේ.....මේ හොස්ටල් එකේ ඉන්න අනෙක් ළමයින්ගේ පෝසත් දෙමව්පියන්, දරුවන් බලන්න එනවිට, මේට්ට්‍රන්ට තෑගි බෝග ගෙනත් දී කතා බහ කරමින් ඉද යන නිසා වන්නට ඇත..... මට කාත් කවුරුත් නැති නිසාත්, වෙලාවට හොස්ටල් ෆීස් ගෙවන්නෙ නැති නිසාත් වෙන්න ඇති මේ වෙනස් කම් ඔක්කොම.....


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා*

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page