♨️අයිරීන්♨️ නොසැලෙන දියණි (18 වෙනි කොටස)
- Prisila Godahewa

- Jul 13, 2021
- 4 min read
මමීගෙ මරණින් මාස හතරකට පසු, ලොකු මමී මට අද කොළඹ සිට දුරකතනයෙන් කතා කිරීම, මට හරි විශේෂ දිනයක් විය. මගේ දෙමව්පියන් සහෝදර සහොදරියන් කිසිත් නැතුව නේවාසිකාගාරයේ දුකෙන් කල් ගෙවු මගේ හිතට,මගේ කියන්න කවුරු හරි ඉන්නවා කියන පුංච් සතුටක් ඒ නිසා හිතට දැනුනත්, ඒ සතුටට වඩා ලොකු දුකක් වේදනාවක්.... ඒ කතා බහ නිසා මගේ පුංච් හිතට දැනුනි.
නේවාසිකාගාරයේ නැවති සිටින මාව බලන්න, එක වතාවක් ඩැඩි සමග රෝසි හා ජූඩ් පැමිණ ගිය දිනය වගේම ලොකු මමී දුරකථනයෙන් කතා කිරීමත්, මගේ හිත තවත් දුක් කන්දක හිරවුන ගතියක් දැනුනේ අපේ ගෙදර ඇත්ත තත්ත්වය දැන ගැනීමෙනි.....
"කවුද අයිරින් බේබි අද ඔයාට දවල් ටෙලිෆෝනයෙන් කතා කලේ...."
සීතාම්මා සුපුරුදු ලෙස හවස් වරුවේ මා සමග කතා කරන වේලාවේ ඇසීය..... මගේ කන්‍යාරාමයේ යාළුවන් මාව මග අරිමින්, මට අනවශ්‍ය විහිළු කරන්න පටන් ගත් දිනවල පටන්,සීතා අම්මා මා සමග හැමදාම හවසට කතා කරමින් ඉන්නට පුරුදු වී ඇත. ඒ වෙලාව ඇයගේ කුස්සියේ වැඩ අහවර කර නිදහසේ ඉන්න වෙලාවවේ.... ඇය ඒ වෙලාවට මා බලන්න කුස්සිය පැත්තෙ ඇති අරලිය ගහ යටට එන්නේ.... මට කුස්සියේ හදපු විශේෂ කෑම මොනවා හරි මේට්ට්‍රන්ට හොරෙන් කොළයක ඔතාගෙන, ඇය ඇඳන් ඉන්නා රෙද්දේ ඇති, නෙරියේ ගැට ගසා ගෙනය..... ඒ ආ වෙලාවට ඇය මගේ කොන්ඩය පිරා ලස්සනට ගොතයි. මම නොදන්න මේ හොස්ටල් එකේ පරණ කතන්දර කියා දෙයි....මුල්ම වරට මම හොස්ටල් එකේ නවතින්න එනවිට ගෙදරින් ගෙනා ඇදුම් පරණ වී ඉරි ඇති විට, ඇය මගේ, ඉරුණු ඇදුම් ඉල්ලාගෙන ඇගේ කාමරයට ගෙන ගොස්, නැවත මසා ගෙනවිත් දෙයි....මට මගේ ග්‍රැනී සිහිකරමින්, ඇය මට සැලකීම මගේ හිතට සතුටක් සැනසීමක් ගෙන දෙයි...... මගේ මමී නැති උන බව දැනගත්දා සිට, ඇය මට මෙසේ ලංවි සිටීම, මගෙ හිතේ ඇති දුක වේදනාව යාන්තමින් අඩු කර ගන්නට හැකි වි ඇත. ඇය නිතර මට මගේ දුක නැති කරගැනීමට, ඉගෙනීමේ කටයුතු හොදින් කරගන්නට, මට මාව පාලනය කර ගනිමින් ජීවිතයේ ඉදිරියට යන්න උපදෙස් දීම, උදව් කීරිම මගේ හිතට ඇය නිසා ලොකු ශක්තියක් ලැබෙමින් පවති...... ඇය මෙන්ම සිස්ටර් මේරිද පාසැලේදී මෙන්ම හොස්ටල් එකේදීද මා ගැන බැලීම නිසා, ග්‍රැනී හා මමී ආන්ත්‍ර වීමෙන් පසු, ඩැඩී ,තෝමස්, රෝසි ජුඩ් , සියල්ලෝ නැතුව තනිවීමට සිදු උන මගෙ හිතට අස්වැසිල්ලක් වි ඇත.
"අද මට ටෙලිෆෝන් කෝල් එකක් දුන්නේ අපේ ලොකු මමී, සීතම්මේ.....ඒගොල්ලෝ ලංකාව අතැරලා ඔස්ට්‍රේලියාවේ පදිංචියට යනවලු...තෝමස්වයි මාවයි එහෙට ගන්නවා කිව්වා පුලුවන් ඉක්මනට ....එතකම් හොදින් ඉස්කෝලේ වැඩ කරගෙන ඉන්න කිව්වා...."
"අනේ අයිරින් බේබි ඒක නම් ලොකු දෙයක් ....මට හරි සතුටුයි ඒ ආරංචියට...."
"මටත් ඒ ආරංචියට හරි සතුටුයි...ඒ උනාට මට ජූඩ් ,රෝසි ගැන දුකයි සිතා අම්මේ....ඩැඩි, ජූලියා එක්ක එකට එකතු වෙලා ඒ දෙන්නව ළමා මඩමකට දාලනේ....අපේ ඩැඩි කොහොම ඒහෙම කරාද කියලා හිතෙනවා...."
"ඕවා ඔක්කොම අර ජූලියා ගෑනිගෙ වැඩ....පිරිමි පිට ගෑනුන්ට වහ වැටුනම තමන්ගෙ ලෙයින් මසින් හැදුන ළමයි ගැන වගක් නෑ...."
"මට ඒවා ඇහෙන්න කොට, මතක් වෙනකොට හරි දුකයි සීතම්මේ....අපේ පංතියේ රූබි දැනගෙන අපේ ගෙදර විස්තර ඔක්කොම.... ,එයා ඒවා කොන්වන්ට් එකෙයි හොස්ටල් එකෙයි ළමයි එක්ක කියලා මාව කොන්කරනවා. ....රූබිගෙ අම්මා කියලා පවුල් වල ප්‍රශ්න තියෙන ළමයි ආශ්‍රය කරන්න එපා කියලා....ඒගොල්ලොත් නරක් වෙයි කියලා.... දැන් ගොඩක් ළමයි ඒ නිසා මාව කොන් කරනවා...."
"කොහොමත් ඔය රූබි බේබිගෙ අම්මා හරි එක විදිහක් ....හරි අහංකාර ගෑනු කෙනෙක්...ළමයටත් එයා ඒවා උගන්නනවා වෙන්න ඇති....අයිරින් බේබි ඕවා ගනන් ගන්න එපා.....ඉතිං බේබිට එයා මොනවද කිව්වේ.....?
රූබී දිනක් මම යාලුවො සමග සෙල්ලම් කරන්න ගිය විට, මට ඇහෙන්න අනෙක් ළමයි සමග කිව් දේවල් මට මතක් වේ..... ලොකූ මමී මට අද කිව් දේවල්, ඒ විදිහටම මීට පෙර දිනක ,රූබි කිව් හැටි මට මතක් විය.
"අයිරීන්ගෙ ගෙවල් කිට්ටුව ඉන්නවා අපේ ආන්ටි කෙනෙක් .....එයා කිව්වා, අයිරින්ගෙ ඩැඩී, ඒගොල්ලන්ගෙ නංගිවයි මල්ලිවයි ළමා මඩමකට ගිහින් දාල, ජුලීයා ආන්ටිව කසාද බැදලා ගෙදර එක්ක ඇවිත්ලු......."
"නෑ....ඇත්තද....?අනේ පව් එයාගෙ නංගියි මල්ලියි...."
"ආ...ඒක වෙන්න ඇති අයිරීන් ගිය පාර නිවාඩුවටවත් ගෙදර ගියේ නැත්තේ..."
"ඔව්, දැන් කවුරුත් අයිරින්ව බලන්න හොස්ටල් එන්නෙත් නැත්තේ ඒක වෙන්න ඇති......"
"අපි අයිරින්ගෙන් ඒක අහමුද...?
"නෑ නෑ...එයාගෙන ඕවා අහන්න එපා ....එයා පව්......" සිල්වියා කීය.
"ඒකට කමක් නෑ...මම අහනවා....අපේ අම්මා කිව්වා ඒවා ඇත්තද කියලා අයිරීන්ගෙන් අහන්න කියලා ....."
රූබී මගේ ළගට විත් ඇසු දෙයින් මගේ හිත හොදටම රිදී ඇස් වලන් කදුළු පනින්නට විය.
"ඇයි අයිරීන් ඔයාගෙ ඩැඩී දැන් ඔයාව බලන්න හොස්ටල් එකට එන්නෙ නැත්තේ......?"
"දන්නෙ නෑ රූබී...."
"ඔයාගෙ ඩැඩි දැන් ජුලියාව බැදලා ඔයගොල්ලන්ගෙ ගෙදරලු නේද ඉන්නේ......."
"මම දන්නෙ නෑ...."
"අපේ අම්මලා නම් දන්නවා ඔයගොල්ලන්ගෙ ගෙදර විස්තර ඔක්කොම ..
ඔයාගෙ මල්ලියි නංගිවයි ජුලියා ඕෆර්නේජ් එකකට දාලලු....එයා දැන් ගමේ හිටිය එයාගෙ අක්කවත් ඔයගොල්ලන්ගෙ ගෙදර එක්ක ඇවිල්ලලු..."
"කවුද ඔයාට කිව්වේ..." මම සිල්වියාගෙන් ඇසුවේ කේන්තියෙන් වගේම දුකෙන්...."
"අපේ මමී කිව්වේ... ඔයගොල්ලන්ගෙ ගෙදර ලඟ අපේ මමීගෙ යාලුවෙක් ඉන්නවා එයා තමයි කියලා තියෙන්නේ...."
" ඔයාගෙ ඩැඩි දැන් බිස්නස් වැඩ වලට යන්නෙත් නැතිලු. .....තව ළමෙක් කීය.
"එයාගෙ ඩැඩිගෙ බිස්නස් දැන් වැටිලලු....මීගමුවේ ශොප් එකත් විකුනලා දාලලු....ඒ නිසා සල්ලි නැති නිසාලු නංගියි මල්ලියි මඩමකට දාලා තියෙන්නේ ...."
ඔවුන්ගේ කතා අසා සිටි මගේ දෙනතට, කදුළු ගලාවිත් බිමට වැටුනේ පේළී ලෙසය.....
රූබිගෙ අම්මා අපේ ගෙදර තත්ත්වය ගැන දැනගෙන කිව් දේවල් නිසා මගෙ හිත දුකෙන් පිරි පපුව පිච්චි යන ගතියක් දැනුනි......
ලොකු මමී අද මා සමග කිව් හැම දෙයක්ම.... රූබිලා ඊට පෙර දැන ගෙන මට කියා තිබුනි..... ඒ ගැන මට තිබුනේ දුකක් වගේම ලැජ්ජාවකි.
කාලය වේගයෙන් ගලා යනවා වගේම, දින දින කොන්වන්ට් එකේ යාළුවෝ වගේම සමහර වයසක ගුරුවරු ,සිස්ටර්ස්ලා මාව වැඩිය ගනන් ගන්නෙ නැතුව කොන් කිරීම මගේ හිතට ඇති කර තිබුනේ ඉවසන්න බැරි දුකකි.
මේට්ට්‍රන් නිතර මට කුස්සියේ වැඩ වලට කෑම කාමරේ වැඩ වලට උදව් වෙන්න කතා කරයි. ඇය අනෙක් දරුවන්ගෙන්, මගෙන් මෙන් වැඩ නොගනී. පොඩ්ඩ බැරි වෙන කොට මට ඇය මගේ පිටට ගහයි......කොන්ඩෙන් අදියි. අම්මා තාත්තා බලන්න එන්නෙ නැති ළමෙක් විදිහට හැමෝම මාව දැන් කොන් කරයි......
මට ඒ දුක ඉවසාගෙන ඉන්න බැරි වෙලාවට මම පල්ලියට ගොස් තනියම අඬන්නෙමි.....බොහෝ වේලාවක් පල්ලිය තුල වාඩිවී කාලය ගත කරන්නෙමි.....අනේ ජේසුනි.... කාත් කවුරුත් නැති මට පිහිට වී මගේ දුක නිවාගන්න මට උදව් කරන්න....මගේ නංගි රෝස් හා මල්ලි ජූඩ්ට කරදරයක් නොකර ආදරයෙන් ඔවුන්ව බලා ගන්න.....ඔවුන්ව රැක දෙන්න ජේසුනී ..... මම ඔරසම් කියමින් දෙවියන් යදින්නෙමි.
"අයිරින් ඔයාට මදර් සුපීරියර් ඔෆිස් එකට කතා කරනවා..."
" ඇයි දන්නෙ නෑ.....හොදයි මම යන්නම්...."
මදර් සුපීරියර් මට ඔෆිස් එකට කතා කලේ ඇයිද කියා තනියම සිතමින්..... කොන්වන්ට් එකේ කාර්‍යාලයට හෙමිහිට පිය මැන්නෙමි.
-සදුදාට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments