♨️ අයිරීන්♨️ නොසැලෙන දියණි (17 වන කොටස)
- Prisila Godahewa

- Jul 13, 2021
- 4 min read
"අයිරින් ඔයාට කෝල් එකක් ඇවිත්....මදර් සුපීරියර්ගෙ ඔෆිස් එකට එන්න කිව්වා..."
"ආ....මම එන්නම්..."
මම පය ඉක්මන් කර ඔෆිස් එක පැත්තට දිව්වේ, කවුද මට කතා කරන්නේ කියා සිතමින්....මීට පෙර කවදාවත්, කවුරුවත් මට කොන්වන්ට් එකට දුරකථන ඇමතුමක් දී නොතිබුනි. එතකොට කවුද මේ.....?
"අයිරින්ගෙ ලොකු මමි කොළඹ ඉදන් කතා කරනවා.... මදර් සුපීරියර් මට ඔෆ්ස් එකේ ටෙලිෆෝනය දික් කලාය.
"හෙලෝ...
"හෙලෝ අයිරින් .....ඩාලිං මම ඔයාගෙ ලොකු මමී.... ඔයාට කොහොමද ඩියර්....?
"හොදයි ලොකු මමී....ඔයගොල්ලන්ට කොහොමද ...?
"අපටත් හොදයි අයිරින් ....ඔයාව බලන්න ඩැඩී දැන් මාස තුන හතරකට උඩදී කොන්වන්ට් එකට ආවලු නේද...? මට මැඩම් සුපීරියර් කිව්වා....
" ඔව්...මමී නැතිවෙලා මාසෙකට විතර පස්සේ දවසක් රෝසියි ජුඩ් එක්කයි , ඩැඩි ඇවිත් ගියා...ඊට පස්සෙ මාව බලන්න කවුරුත් මාස ගානකින් මෙහෙ ආවේ නෑ......සිස්ටර්ස්ලා ,ටිචර්ස්ලා, ළමයි හැමෝම අහනවා ඒ ඇයි කියලා...මට හරි දුකයි ලොකු මමී...." .
" මටත් කොළඹ ඉදන් ඔයාව බලලා යන්න එන්න විදිහක් නැති උනා අයිරින් ....හරියට වැඩ....ඔයා දන්නවානේ අයිරීන් ....,අපේ මුළු පවුලම අවුරුදු ගානක ඉදන් ඔස්ට්‍රේලියා යන්න බලාගෙන හිටියා කියලා ......ඒ වැඩ වලට ඉවරයක් නැතුව දිව්වා.....අන්තිමට කොහොම හරි වැඩේ හරි ගියා....අපේ මුළු පවුලටම ඔස්ට්‍රේලියා යන්න විසා හම්බ උනා.... එන සුමානෙ අපි හැමෝම ඔස්ට්‍රේලියා යන්න කියලා ....අපි එහෙ ගිහාම ඔයගොල්ලන්වත් මම පුලුවන් ඉක්මනට එහෙට ගන්න බලන්නම්....එතකම් ටිකක් ඉවසලා ඔයගොල්ලෝ මෙහේ ඉන්න අයිරීන්......රට ගිය ගමන් අපටත් කාවවත් එහෙට ඉක්මනට ගන්න බැරි වෙයි....මම හෙමිහිට ඒ ගැන බලන්නම්....."
"එතකොට තෝමස් ...? එයත් ඔස්ට්‍රේලියාවේ යනවාද...?
"නෑ අයිරින් ...අපේ ෆැමිලි එකේ අයට විතරනේ වීසා හම්බුනේ....අපි එහේ ගිහින්, පුලුවන් උන ගමන්, ඉස්සෙල්ලම තෝමස්ව එහෙට ගන්නවා....ඊට පස්සෙ ඔයාව ...ඊට පස්සෙ තමයි ජුඩ්, රෝසිව...."
"අනේ ලොකු මමී එහෙනම් හොදයි ....අපි ඔක්කොටම එතකොට එකට ඉන්න පුලුවන් ...."
"බලන්නකෝ අයිරින් ,ඔයගොල්ලන්ගෙ ඩැඩි කරන වැඩ..... ..තෝමස්ගෙ ස්කූල් ෆේස් ගෙවන්න මට මාස තුනකින් සල්ලි එව්වෙත් නෑ....පොඩි ගානක් නෙමේනේ....මම ඩැඩීට කතා කරලා තෝමස්ගෙ ස්කූල් ෆීස් ගෙවන්න සල්ලි ඉල්ලුහම, මට කියනවා, මට ඒ සල්ලි ගෙවන්නලු....., නැත්නම් තෝමස්ව ආන්ඩුවේ ඉස්කෝලෙකට දාන්න කියලා..... එයාගෙ බිස්නස් දැන් වැටිලලු....ඔයාගෙ කොන්වන්ට් ෆීස් ගෙවන්න විදිහකුත් නෑලූ....මට පුලුවන් නම් ඔයාගෙ ස්කූල් ෆීස් ගෙවන්නත් කිව්වා.....ඔයා දන්නවනේ අයිරින්, සෑම් අංකල් බිබී ඉන්නවා මිසක් රස්සාව හරියට කරන්නෙත් නෑ.... අපිත් සල්ලි නැතුව අමාරුවෙන් ඉන්නෙ කියලා ....මම අපේ මම්මගෙ බ්‍රදර්ට, අමාරුවෙන් කියලා තමයි ස්පොන්සර් කරවලා ඔස්ට්‍රේලියා යන්න වීසා හදාගත්තේ....මට තෝමස්ගෙ ඔයාගෙ ස්කූල් ෆීස් ගෙවන්න විදිහක් නෑ අයිරීන්....කොටින්ම සල්ලි නෑ.....විකීට ඕවා තේරෙන්නේ නෑ....එයාගෙ බිස්නස් වැටිලා කියලා නහෙන් අඬනවා විතරයි...."
"එතකොට රෝසියි ජුඩ්වයි දැන් කවුද බලාගන්නේ....ඒගොල්ලෝ කොහේද ඉන්නේ....?
" අනේ අයිරින් මම ඔයාට මෙච්චර දවසක් කතා නොකලෙත්....ඔයාට මේවා කියන්නෙ කොහොමද කියලා හිත හිතා හිටියා.....මට හරි දුකයි අයිරීන් ඔයාට කියන්නත්.....මම ඔයගොල්ලන්ගෙ ගෙදර විස්තර හරියට දැනගත්තේ මේ ළඟදී....මොකද මම "කැතරින්" නැති උනාට පස්සේ ඒ පැත්තෙ ගියේම නෑ.....මොකද විකී එක්ක කේන්තියට......පස්සෙ තමයි දැනගත්තේ..... ජුඩ්වයි රෝසිවයි, ඩැඩි ඕෆර්නෙජ් එකකට (ළමා මඩමකට) දාලා කියලා ..... අර ජූලීයා ගෑනි ආයෙත් ඇවිල්ලනේ.....මේවා ඔක්කොම කරන්නේ ජූලියා.. ..ඔය ගෑනි තමයි මගෙ නංගි කැතරින්ව මරා ගත්තෙත්.....මට හරි සැකයි එයා ඔයාගෙ මමීට වහ දුන්නද කියලත් .....කැතීට ලොකු පපුවෙ අමාරුවක් තිබුනා කියලා අපි ඒ කාලේ ඉදන් දන්නවා තමයි ......ඒ නිසා තමයි කැතිට...ගෙදර වැඩවත් කරන්න නොදී මම්මා එයාව පරිස්සමට බලාගත්තේ....ඒවා මම දැනගෙන හිටියා....ඒත් ඒකෙන් කැතී හොදටම කම්මැලි උනා....ළමයින්ගෙ වැඩ අනෙක් අයට භාර දීලා පැත්තකට වෙලා හිටියා.....කොහොම හරි කැතිගෙ මරණය ගැන මට සැක නිසා පොලීසියට කියන්නත් හිතුනා,.....ඒත් ඩොක්ටර්ස්ලා කියලා තියෙනවනේ කැතරින් "හාට් ඇටෑක්" එකකින් නැති උනේ කියලා ....ඉතිං මටත් ඕවා හොයන්න වෙලාවක් ඇත්තෙත් නෑ... ලොයර්ස්ලා ට ගෙවන්න සල්ලිත් නෑ.. ..ඒකයි මම සද්ද නැතුව ඉන්නේ....උඩ ඉන්න දෙවියෝ එයා ගැන බලාගනියි....මේවට ඔක්කොම වැරදි කියන්න ඕනේ ඔයාගෙ ඩැඩිට...ඔය ජූලියා ඔයගොල්ලන්ගෙ ගෙදර ආව දවසේ ඉදන් මම ඔයාගෙ මමිට කිව්වා ඔය ගෑනිව ආපහු ගමේ අරින්න කියලා....මට තේරුනා එයා හොද කෙනෙක් නෙමේ කියලා .....කොහේද මමී, සතපහකට ගනන් ගත්තේ නෑ මම කිව්ව ඒවා.....ගෙදර වැඩ හොදට බලලා කරලා කරනවා කියලා තමයි එයාව තියාගත්තේ....අන්තිමට ඒ ගෑනි "කැතරින්ට" වහ දීලා එයාව මරා ගත්තා කියලමයි මට හිතෙන්නේ...."
"එතකොට දැන් ඩැඩි කොහේද ...එයාගෙ බිස්නස් වැටිලා නම් මොනවද එයා දැන් කරන්නේ...? ඇයි මාව බලන්න එන්නෙ නැත්තේ...."
"ආරංචිය හැටියට කැතරින් නැති උනාට පස්සෙයි, ළමයි ඔක්කොම ගෙදර නැති උනාට පස්සෙයි... ඩැඩි ගෙ ඔළුව හොද නැති වෙලාලු.....එක එක පිස්සු දේවල් කියවනවලු.....දැන් එයාගෙ බිස්නස් එක බලාගන්න යන්නෙත් නෑ කියලා ආරංචියි.....දැන් දවල්ට ශොප් එකේ ඉන්නේ ජුලියාලු....මීගමුවේ ශොප් එක විකුනුවා කියලත් ආරංචි උනා....වෙන්නප්පුවේ ශොප් එක විතරලු දැන් තියෙන්නේ ...."
"දැන් ජූලීයා අපේ ගෙදර නැවතිලා ඉන්නවා කියන එක ඇත්තද...?
" ඔව්....කැතරින්ගෙ මරණය ඉවරවෙලා හැමෝම යන්න ගියාට පස්සෙ මේ ගෑනි ආයෙත් ඇවිල්ලා එළිසවත් ගෙදර ඇරලා එහෙ පදිංචි වෙලා....ඒ මදිවට රෝසි ජුඩ් බලාගන්න කියලා ,එයාගෙ අක්කවත් ගමෙන් එක්ක ඇවිල්ලා....කැතරින් නැති වෙලා මාස දෙකක් විතර තමයි ජුඩ් රෝසි ගෙදර තියාගෙන ඉදලා තියෙන්නේ....ඊට පස්සේ තමයි ඩැඩි ඒ දෙන්නව ළමා මඩමකට දාලා තියෙන්නේ ..."
"මාව බලන්නත් දැන් කවුරුත් ගෙදරින් එන්නෙ නැති නිසා කොන්වන්ට් එකේ ළමයි මට විහිලු කරනවා ලොකු මමී.....ඉස්සර වගෙ එගොල්ලො මාව සෙල්ලමට ගන්නෙත් නෑ... ඒගොල්ලෝ මාව කොන්කරනකොට මට හරි දුකයි...... "
කාලෙකට පස්සෙ මගේ කියන්න නෑදෑයෙක් මා සමග කතා කරපු සන්තෝසය හිතට දැනුනත්, අපේ පවුලේ විස්තර ....,රෝසි, ජුඩ් වගේම මට මම ගැනද දුක සිතී, අසරණ කමෙන් මට ඇඬින......ලොකු මමි සමග ටෙලිෆෝන් එකෙන් කතා කරන කොට මගේ, ඇස් වලින් කදුළු වැක්කෙරෙන්න පටන් ගත්තාය.
"මට විවේකයක් ලැබුනොත් රට යන්න ඉස්සර ඔයාව බලලා යන්න එන්නම් අයිරීන්.....ඔයාව තෝමස් මතක් කරන්නත් කිව්වා .....එයාටත් හරි දුකයි රෝසි ජුඩ් ගැන....මුළු පවුල සී සී කඩ ගිය එකට...අනේ මන්දා ඔයගොල්ලෝ කොහොම හිටිය පවුලක්ද.....අපේ මම්මා ඔයගොල්ලන්ගෙ ග්‍රැනී නැති උනාට පස්සේ තමයි මේ පවුලට මෙහෙම උනේ...මට ඉවසන්න බෑ දුකයි....මම වෙලාවක් හම්බුනොත් වෙන්නපුවේ ගිහින් අර ගැනීට හොදවයින් දෙකක් කියලා එලවලා දානවා...අපේ මහ ගෙදර ඔය ගෑනි අයිති කරගන්න වෙන්න ඇති හදන්නේ.....පොඩි උන් ටික මඩම් වලට ගිහින් දාලා මහ මිනිහා අල්ල ගත්තේ....අපට මේ රට යන්න තියෙන නිසා මම ලෙඩ දාගන්න කැමති නෑ....ඒකයි මෙච්චර දවසක් සද්ද නොකර හිටියේ....."
ලොකු මමි කේන්තියෙන් පුපුර පුපුර, පුංච් මා සමග කියන්න ඕන ඒවායි. නැති ඒවයි ඕක්කොම කියමින් ජුලියාට බනියි......
"මම එහෙනම් දැන් ෆෝන් එක තියන්නම් අයිරින්.... ඔයා හොදට ඉගෙන ගෙන කවදාහරි ජුඩ්වයි රෝසිවයි බලාගන්න ...මටත් ඉතින් ඔයගොල්ලෝ වෙනුවෙන් ලොකුවට දෙයක් කරන්න බෑ...දන්නවානේ සෑම් අංකල් හම්බකරන ඒවා බීලා නාස්ති කරනවා, මටත් ගෙදර වියදමට කියලා දෙන්නෙ පොඩි ගානක්...ඒකෙන් තමයි මම ඔක්කොම කරන්නේ..තොමස්ගෙ වියදනුත් දැන් මට බලන්න වෙලානේ...මම ඔස්ට්‍රේලියාවේ ගිහින් කොහොම හරි ඔයගොල්ලොත් එහෙට ගන්න බලන්නම්...මට ටික කාලයක් දෙන්න අයිරින්...ඔයා එතකම් පරිස්සමට ඔහේ ඉන්න......එහෙනම් මම දැන් තියන්නම්..ඔයාට ජේසු පිහිටයි ...!!
"හොදයි ලොකු මමී....ඔයාටත් ජේසු පිහිටයි..."
මම කොන්වන්ට් එකේ දුරකතනයෙන් ලොකු මමී සමග කතා කරමින් ඉද නැවත කාමරයෙන් එලියට ගියේ දෑස් පිස දමමින්......මෙච්චර දවසක් මගේ හිතේ තිබුන ප්‍රශ්න වලට උත්තර ලැබීම වෙනුවෙන් තවත් දුකකුත්
හිතේ දරා ගෙනයි.....
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments