♨️අයිරීන්♨️ නොසැලෙන දියණි (16 වන කොටස )
- Prisila Godahewa

- Jun 26, 2021
- 4 min read
මමීගේ මරණින් පසු මම නේවාසිකාගාරයට පැමිණ ගත කල කාලය කියා ගන්න බැරි තරම් ශෝකයක්, දුක් කන්දරාවක් හිතේ තියාන ගෙවි ගිය කාලයක් විය.
එයින් මාසයකට විතර පසු දිනක්, හිටිහැටියේ ඩැඩි, රෝසි හා ජූඩ් සමග මාව බලන්න කොන්වන්ට් එකට ඇවිත් ගිය දවස මගේ හිතේ සතුටක් වගේම බොහෝම දුකක් ඇති කල දිනයක් විය.
ජූඩ් රෝසී දෙන්නා මාව මුළින්ම දුටු මොහොතේ දුවගෙන විත් මගේ ඇඟේ එල්ලුන විදිහ, මට තාමත් මතක් වෙන කොට ඇස් දෙකට කදුළු පිරෙයි.... ඩැඩී හිටියාට වඩා බොහෝ කෙට්ටු වී කළකිරුනු පෙනුමක් ඇතුව සිටියේය. ඩැඩි වෙනදා වගේම මට කේක් ගෙඩියක් ගෙනත් තිබුනේ යාළුවො සමග බෙදාගෙන කන්නටයි.
ඩැඩී මදර් සුපීරියර්ගෙ ඔෆිස් රූම් එකට ගිය වේලේ ,රෝසි හා ජුඩ් මගේ අතින් අල්ලාගෙන කොන්වන්ට් එක වටේ ඇවිද්දේ නොනවත්වා ගෙදර වෙන සිදුවීම මා සමග කියමින්ය. මේ දිනවල එළිසා ඔවුන් දෙදෙනා හොදින් බලාගන්න බවද අවට ගෙවල් වල ගැහැනු අය නිතර එක එක කෑම ජාති හදාගෙන ඔවුන් බලන්න ඇවිත් යන බවත් ඔවුන් කිව්වේ සතුටින්ය. ඩැඩී මදර් සුපීරියර්ගෙ කාර්යාලයේ සිට නැවත අප අතරට පැමිනියේය.
"එහෙනම් අයිරින් ආයෙත් දවසක අපි ඔයාව බලලා යන්න එන්නම්....මම වැඩියම ආවේ ඔයාට මෙන්න මේක දීලා යන්න...."
"මොකක්ද ඩැඩි මේ.....?
" ඔයාට මතකද මේක.....?මේ ඔයාගේ ග්‍රැනීට පරම්පරාවෙන් ලැබුන මාලයක්.....මමී මේක හරියට පරිස්සම් කරගෙන හිටියා ඔයාට කවදාහරි දෙන්න ඕනේ කියලා.......ඒ ඔයා අපේ පවුලේ වැඩි මහල් ගෑනු දරුවා නිසා,.... ඔයා මේක හරි පරිස්සමට තියා ගන්න....කවදාහරි ඔයාගෙන් පස්සේ අපේ පරම්පරාව ගෙනියන දරුවෙක්ට මේක දෙන්න තියාගන්න ...."
"අනේ....මට මතකයි මේ මාලෙයි මේ රත්තරං කුරුසයයි ....මේක ග්‍රැනී විශේෂ අවස්තා වලට විතරයි ඉස්සර කරේ දැම්මේ.....පස්සේ මේක මමීට දුන්නත් මට මතකයි ...මමීත් විශේෂ ගමන් වලට විතරයි මේක දැම්මේ....ඇයි ඩැඩි ඔයා මට මේක දැන් දෙන්නේ.....මට මේක මෙහෙ පරිස්සම් කරලා තියාගන්න බෑනේ ..... මේක මම ලොකු උනාම දෙන්න ඩැඩි....."
" මේ මාලේ තියෙන රත්තරං සුරුවම හරි බලගතු එකක් අයිරින් .....ග්‍රැනීගේ පරම්පරාවෙන් එන මාලයක්.....මම මදර් සුපීරියර්ට මේ මාලේ ගැන කිව්වා...එයා මේක ඔෆිස් එකේ පරිස්සමට තියාගෙන ඉදලා ඔයාට ඕන උනාම දෙයි...ඔයාට ඕන උනාම එයාගෙන් ඉල්ලලා බලලා පරිස්සමට ආපහු මදර් ලඟම තියන්න.... නැති කරගන්න එපා.. ...."
ඩැඩි රතුපාට වෙල්වට් පෙට්ටියක තිබුන ග්‍රැනීට අයිති, මමී පැළදි..... රං මාලය මට දුන්විට මගේ හිතට ඇතිවුනේ ලොකු සතුටක්..... හරියට ග්‍රැනී මමී දුටුවා වගේ හැඟිමක් මට ඇතිවිය .
"අයිරින් අපි එහෙනම් දැන් ගිහින් එන්නම්....ඔයා හොද ළමෙක් වගේ හොදට ඉගෙන ගන්න ඕනේ.....ඔයා කොහොමත් හොද දරුවෙක් තමයි , ඔයාට හැමෝම ආදරෙයි.....අයිරින් මම දැන් ඔයාගෙ, මේ මාසෙයි එන මාසෙයි කොන්වන්ට් ෆීස් මදර් සුපීරියර්ට ගෙව්වා.....මොනව හරි උවමනාවක් උනොත් ඔයා මට මදර් සුපීරියර්ට කියලා කෝල් එකක් දෙන්න..... ....එහෙනම් අපි යන්නම්....
ඩැඩි මගේ දෙකොපුල්, ආදරෙන් තදින් සිප ගත්තේ මාව තදින් වැළඳ ගෙනමයි..... ඔහු ටික වේලාවක් මාව තදින් වැලඳගෙන සිටිද්දී..... මට ඔහු ගැන මෙපමණ දවසක් හිතේ තිබුන කේන්තිය මැකීයනවා වගේ හැඟීමක් ඇති විය. ඒ වගේම ආදරයක්ද ඇති විය....
"රෝසි ,ජූඩ් ඔය දෙන්නා ඩැඩිට කරදර කරන්නෙ නැතුව හොද ළමයි වගේ ඉන්න ඕනේ හොදද.....?."
ඩැඩි මා වැළද ගත් ආකාරයටම මම රෝසිව හා ජුඩ්ව වෙන වෙනම තදින් වැළද ගෙන සිටියේ කාළයකට පසු හිතේ ඇතිවි තිබුන සතුටත් දුකත් සමගය..... ඩැඩි, රෝසි හා ජූඩ් සමග කොන්වන්ට් බිමේ ඈතට ඇවිදගෙන යන හැටි මම බලා සිටියේ,.... මාව මුළින්ම මමී ඩැඩී කොන්වන්ට් එකට ගෙනත් බස්සවා ගිය මුල් දිනේ ආකාරයටමයි..... එදා වගේම අදත්, මගේ දෑසේ කදුළු පිරි යන්නට විය......
මමී ආන්ත්‍ර වීමෙන් පසු කන්‍යාරාමයේ වගේම නේවාසිකාගාරයේද ගුරුවරුන් ,දරුවන් මට ඉතා කරුණාවෙන් ආදරෙන් සැලකීය. මාත් සමග නිතර කතාබහ කරමින් මගේ දුක සැප අසමින් මා සමගම සිටියාහ. මගේ කාමරේ සිටින සිල්වියා, රූබී හා අල්ලපු කාමරේ සිටින නිලන්තිද මට ආදරෙන් සැලකීම මගෙ හිතට සතුටක් විය..... සිස්ටර් මේරී හා කුස්සියේ සීතම්මා මට වෙනදාට වඩා ලොකු ආදරයක් පෙන්නුවාය.
කාලය ගෙවි යන්නේ හරි වේගයෙනි. ඩැඩී ,ජූඩ් හා රෝසි සමග කොන්වන්ට් එකට ඇවිත් ගිහින් මාස තුනක් පසු උනත් , අද වෙනකම් ගෙදරින් කවුරුත් මාව නැවත බලන්න කොන්වන්ට් එකට නොඒමත්, කෝල් එකක් නොදීමත් මගේ හිත දුකෙන් බර කර ඇත.
මගේ කාමරේ සිටින සිල්වියා, රූබී හා අල්ලපු කාමරේ සිටින නිලන්තිද මට ආදරෙන් මුළින් නිතර සැලකුවත් ..... දැන් දැන් ටිකෙන් ටික රූබි විතරක් මගෙන් හෙමිහිට ඈත් වෙමින්, වෙනස් වෙමින් යතැයි මට දැන් සිතේ....
මම හොස්ටල් එකේ නවතින්න ආ මුල්ම දිනේ, මගේ හොදම යාළුවා උන රූබී..... මගෙ හොද යාළුවෙක් ලෙස දිගටම සිටියත් මමීගෙ මරනින්, මාස හතරක් විතර යන විට මාව මඟ හරින්න පටන් ගැනීම මගේ හිතට ලොකු දුකක් විය. ඇය මගේ අනෙක් යාළුවන්ද මගෙන් ඈත් කරන්න හදන බවක්ද මට දැන් ටික ටික තේරේ....
ඔවුන් අපේ ගෙදර තත්ත්වය, ගැන දැනගෙන මට වෙනස්කම් කරන්න හදනවා යැයි මට සිතේ....
ඒ නිසා දැන් මම පුලුවන් හැම වෙලේම, පාසැල් දරුවන් සියල්ලන්ගෙන් ඈත්වී නිතර පල්ලියේ සිස්ටර් මේරි සමග කල් ගත කරන්නෙමි.
"සිස්ටර් මේරී....මටත් දැන් හිතෙනවා ඔයා වගේ සිස්ටර් කෙනෙක් වෙලා පල්ලියකට ගිහින්ම ඉන්න....බලන්න මේ පල්ලිය ඇතුලේ ඉන්නකොට හිතට දැනෙන සැහැල්ලුව, ...මටත් දෙවියන් වහන්සේ වෙනුවෙන් සේවය කරන්න ඇත්නම් කියලා හිතෙනවා.
"ඔයා තාම පොඩියිනේ අයිරින් ....ඉස්සෙල්ලා ඔයා හොදට ඉගෙන ගෙන ඉන්න..... පස්සේ පුලුවන් දෙවියන්ට සේවය කරන්න ...."
"දැන් ගෙදර කවුරුත් මාව බලලා යන්න එන්නෙ නෑ සිසිටර් ....මට හරි දුකයි.... ඉස්කෝලේ ,හොස්ටල් එකේ ළමයි මට එක එක ඒවා කියනවා....සමහරු මාත් එක්ක දැන් කතා කරන්නෙත් නෑ....මාව සෙල්ලමට ගන්නෙත් නෑ.....මාව මග අරිනවා...."
"මටත් ඒවා තේරුනා අයිරීන්....මේවායේ ඉන්නෙ ගොඩක් සල්ලිකාර පවුල්වල ළමයින්නේ....ඒ ළමයි හිතෙන හැටි වෙනස්...ඒගොල්ලන්ගෙ දෙමව්පියන් උනත් ඒගොල්ලන්ට කියලා දීලා ඇත්තේ ,ඒගොල්ලන්ගෙ පවුල් වල වගේ පෝසත් ළමයි ආශ්‍රය කරන්න කියලා වෙන්න ඇති.....නරක ගතිගුණ ඇතිකරගන්න, මෝඩ දෙමව්පියන් උනත් ළමයින්ට කියලා දෙනවා..."
මමී නැතිවි මාස හතරක් දැන් ගෙවි ගොස් ඇත. ඩැඩීවත් ග්‍රේස් ආන්ටිවත්, මාව බලන්න නිවාඩුවටත් ගෙදර එක්ක යන්න ආවේ නැතිවීම මගේ හිතට ඇතිකලේ ලොකු දුකක්.....
පහුගිය මාසෙක නිවාඩු කාලය මම හොස්ටල් එකේම ගත කලේ පුදුම පාළුවකිනි. සීතා අම්මා නිතර පැමිණ ඇයගේ කුස්සියේ වැඩ වලට මාවත් සම්බන්ධ කරගත්තේ, මගේ පාළුව නිවා දැමීමට බව මට තේරුනි. ඇයගේ විවේක වේලාවේදි මා සමග ආදරෙන් කතා බස් කරමින් ඇය මට කොන්වන්ට් එකේ පරණ කතන්දර, විහිළු කතන්දර කීය. මේ පාසැල් නිවාඩු දිනවල හොස්ටල් එකේ මේට්ට්‍රන් ගෙදර ගොස් ඇති නිසාත් ළමයි දෙතුන් දෙනෙක්ට වැඩිය හොස්ටල් එකේ නොසිටිය නිසාත් කන්‍යාරාම බිම පාළුවට ගොස් ඇත. සීතම්මාටද නිවාඩු කාලයේ වැඩ බොහෝ අඩුවි තිබුනි. එබැවින් මම මුළු නිවාඩු කාලයම සීතාම්මා සමග කාලය ගත කලේ ග්‍රැනී සමග ඉන්නවා යැයි සිතමින්ය.
"එන්න අයිරින් බේබී මම බේබිගෙ ඔළුවේ උකුනෝ බලන්න ....බලන්න මේ ඔළුවෙ හැටි....මේ අනෙක් ළමයින්ගෙන් බෝවෙච්ච් උකුනෝ....ඉස්සර බේබිගෙ ඔළුවේ මෙහෙම උකුනෝ හිටියේ නෑනේ...අපොයි මේට්ට්‍රන් එහෙම දැක්කොත් අම්මලාට කියනවා කොන්ඩේ කපලා දාන්න කියලා....අනෙක් ළමයි නිවාඩුවට ගෙදර ගිහාම කොන්ඩ කපලා ඔළුවට උකුනො බෙහෙත් දාගෙන හොද කරගෙන එනවා....කෝ ඉන්න මම බේබිගෙ ඔළුව බලන්න ...."
"අනේ සීතා අම්මේ කොන්ඩේ අදින්න එපා හරියට රිදෙනවා...."
"පොඩ්ඩක් ඉන්න බේබි .....කොන්ඩේ දැන් හොදටම දික් වෙලා....අනේ බෝනික්කෙක්ගෙ වගේ රත්තරං පාට කොන්ඩේ....බේබි දන්නවද ඔය බේබිත් එක්ක ඉන්න අනෙක් ළමයි ඉරිසියයි බේබිගෙ කොන්ඩෙට...."
"ඔව් සීතා අම්මේ ඒගොල්ලෝ හැමතිස්සෙම මගේ කොන්ඩෙ අදිනවා හරියට රිදෙන්න...."
"ළමයි හැමෝම එක වගේ නෑ....සමහරුන්ට හරියට ඉරිසියා හිතෙනවා තමන්ට නැති දෙයක් වෙන අය ගාව තියෙන කොට...."
නිවාඩු කාලේ සීතා අම්මා එක්කම කාලය ගත කරමින් මම ඇයට කුස්සියේ වැඩ වලටද උයන පිහන වැඩ වලටද උදව් කරමින් කාලය ගත කලේ වෙන දෙයක් කරන්න, කතා කරන්න කවුරුත් නැති නිසයි. පාසැල් නිවාඩු කාලයට මුළු කනයාරාමයම හා නේවාසිකාගාරද පාළුවට ගොස් ඇත. ගෙවල් දොරවල් වලට යන්නේ නැති දරුවන් දෙතුන් දෙනෙක් ඇරෙන්න මෙහි කන්‍යාරාමයේ නැවති සිටින කන්‍යාතුමියන් පමනක් මේ කාලයට මෙහි ඉදිති.
- හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා*




Comments