top of page

♨️අයිරීන්♨️ නොසැලෙන දියණි (15 වන කොටස)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jun 26, 2021
  • 4 min read

මමීගෙ මළගෙදර වැඩ කටයුතු ඉවරවී, දන්න නොදන්න සැවොම අපේ ගෙදරින් යන්න ගිය පසු, ලොකු මමී, සෑම් අංකල් ,ශෙනෙල් හා ශාමිනි පමනක් ගෙදර ඉතුරු වි ඇත. එළිසා මේ දිනවල නැවත අපේ ගෙදර ඇවිත් නැවති සිටින්නේ ජූඩ් ,රෝසි බලමින් කුස්සියේ උයන පිහන වැඩද කිරීමටයි. ඒ අතර ගෙදර අස්පස් කරන වැඩ, රෙදි සෝදන වැඩද ඇය කරයි. ඇය ගෙදර සිටිනා විට ගෙවල් පිරිසිදු කිරීම් අඩුවෙන් කෙරුනත් හිතට ඇත්තේ නම් සැනසිල්ලකී. ග්‍රැනී මමී ගෙදර හිටිය කාලය මට මතක් කර දෙන්නේ එළිසයි ඇයගෙ වැඩයි. එළිසා අපේ ගෙදර වැඩකටයුතු කරන්නේ, ග්‍රැනී ඒ කාලයේ ඇයට කියාදුන් පිළිවෙළටය. එය දැකීම මගේ හිතට සතුටක් හා දුකක් ගෙන දෙන්නේ ග්‍රැනී හා මමී නැවත නැවත සිහිපත් කරමින්‍ය.

මමීගෙ මළ ගෙය ආරංචි වී ඇය අපේ ගෙදර ඇවිත් නැවති සිටින්නේ,.... ලොකු මමී අපේ මමීගෙ මළගම ආරංචි වී අපේ ගෙදර ආපසු,.... ජූලියා හිටි හැටියේ අතුරුදන් වීම නිසයි...එළිසා තකහනියක් නැවත අපේ ගෙදරට ගෙන්නා ගෙන ඇත්තේ ලොකු මමීයි. ඇය පණිවිඩයක් ඇර එළිසා නැවත අපේ ගෙදරට ගෙන්වා ගත් බව ගමේ ගැහැනුන්ට එළිසා කියනවා මට ඇසුනි.

"දැන් මේ පොඩි ළමයි දෙන්නට මොකද කරන්නේ විකී..... එළිසට තනියම ඒ දෙන්නා බලාගන්නත් බෑනේ ....ඔයා වැඩට ගිහාම කවුද මේ ළමයි දෙන්නා ඉස්කෝලේ එක්ක යන්නේ....මටත් මේ පොඩි දෙන්නත් කොළඹ එක්ක ගිහින් හදාගන්න බෑනේ .... ඒක ඔයාට තේරෙනවානේ විකී.....ලොකු මමි ඩැඩිගෙන් අසයි.


"මට මේ ළමයි තනියම හදාගන්න බෑ තමයි ග්‍රේස් ....ජුලියත් ගෙදර ගිහින්....මළගෙදර දවසේ ඇවිත් හිටිය ගමේ ගෑනුන්ගේ කුණු කතා අහන් ඉන්න බෑ කියලා එයා, මළගම ඉවරවෙන්නත් ඉස්සර මට යනවා කියලා ගියේ......"


"ඔව් එයා දැන් මේ ගෙදර ඉන්නේ නැතුව ගිය එකමයි හොද.....නෑ,.... එයා ගියා නෙමේ, මම හොද දෙකක් කියලා එයාව එළවගත්තා....මට ගමේ ගෑනුන්ගෙන් ආරංචි උනා එයා මෙතන නටපු නාඩගම්....ඔයා තමයි ඒවට වගකියන්න ඕනේ....එයාව කරට ගත්තට.....ඔයාටත් ලැජ්ජ නෑ.....ගෙදර සර්වන්ට් එක්ක නටන්න.....මට සැකයි එයාගෙ, ඔයාගෙ පිළිවෙළ දැකලා, කැතරින් පපුවේ අමාරුව වැඩි කරගත්තද කියලා ....ඒකයි මම මේ ගෙදරින් එයාව පැන්නුවේ..... එයා ආවේ ළමයි බලන්නනේ...අනික කැති නැති ගෙදර දැන් එයා කොහොමත් ඉන්න ඕනේ නෑ...."

ලොකු මමී ජූලියාව මේ ගෙදරින් පිටමං කරපු එක ගැන නම් මටත් සතුටුයි.... ලොකු මමීම මුළින් ජූලියා මේ ගෙදරට එක්ක ආවේ, මමීගෙම හොද යාළුවෙක් නිසත්, ග්‍රැනී නැති මේ ගෙදර ළමයි ටික හොදින් බලාගනියි කියා බලාපොරොත්තුවෙනි... නමුත් ඇය නිසාම දැන් මේ ගෙදර අයට කරදරයක් සිදු වී ඇති බව අපි හැමෝටම තේරුම් ගොස් ඇත....


"අනේ මන්දා විකී ...මට දුකේ බෑ මේ ළමයි ගැන ....මට මම්මා කැතරින් වෙනුවෙන් මොනවත් කරන්න විදිහක් නැති උනානේ ....ඔයා දන්නවනේ විකී.... අපේ මුළු පවුලම කාලේක ඉදන් ඔස්ට්‍රේලියා යන්න ට්‍රයි කරනවා කියලා ....කොයි වෙලේ හරි අපට එහෙ යන්න වීසා ආවොත්, අපේ මුළු පවුලටම එහෙ යන්න වෙනවා. එතකොට මම හිතන් ඉන්නේ තෝමස්වත් සෑම්ලගෙ මල්ලිගෙ ගෙදර නවත්වලා යන්න...."


"මට තේරෙන්නෙ නෑ ග්‍රේස් ....කැතරින් විතරක් නෙමේ...මට දැන් හැමෝම නැති වේගෙන යන්නේ...මේ ළමයි ටික ගැන තමයි මටත් දුක...."


"මොනවද අපට මේ ළමයි වෙනුවෙන් කරන්න පුලුවන් විකී....."


"මම මේ බැලුවේ ග්‍රේස්..... අයිරින් වගේ ජුඩ්වයි රෝසිවයිත් හොස්ටල් දෙකක නවත්වන්න කියලා ..... මට තනියම ළමයි බලාගන්න බෑනේ.....ඊටත් වයසක එළිසට මේ ළමයි කොහොමත් දිගටම බලාගන්නත් බෑ...ඊටත් කවුද මේ ළමයි දෙන්නව ඉස්කෝලේ එක්ක යන්නේ .....එක්ක එන්නේ....."


"ඔව් එහෙනම් සෑම් , අපි එහෙමවත් කරමු.. ...මේ ළමයි දෙන්නට හොස්ටල් එකක් හොයාගන්න කම් එළිසට මේ ගෙදර නැවතිලා ළමයි දෙන්නා බලාගන්න කියමු ...."


"දැන් අද හවස අයිරින්ව හොස්ටල් එකට බස්සවන්නත් ඕනේ නේද....?අපිත් අද හවස කොළඹ ගියොත් හොදයි විකී.......තෝමස් වත් මේ ගමන්ම මම කොළඹ එක්ක යනවා....එහෙනම් සෑම් ඔයා පුලුවන් ඉක්මනට මේ පොඩි ලමයි දෙන්නා හොස්ටල් එකකට දාන්න තැනක් හොයා ගන්න...."


"ඔව් ග්‍රේස් මම පුලුවන් ඉක්මනට එහෙනම් එහෙම කරනවා....අපේ මේ ගෙවල් අවට ඉන්න ගෑනු අයයි, එළිසයි... ජුඩ්වයි ,රෝසිවයි ටික කාලයක් බලා ගනියිනේ.... "

ලොකු මමීලා මළගෙදර වැඩ කටයුතු සියල්ල අහවර කර සුමානෙකට පසු නැවත කොළඹ යන ගමන්, සෑම් අංකල්ගෙ වාහනයෙන්, මාවත් හොස්ටල් එකට ගෙනත් බස්සා ගියේ, තෝමස්ද සමගයි...

මමීගෙ මළගෙදර වැඩකටයුතු අහවර වි මම ආන්ටි ග්‍රේස්ලා සමග නැවත කොන්වන්ට් එකට ගියේ දරාගන්න බැරි තරම් දුකක් හිතේ රදවාගෙනය.


"අපට හරි දුකයි අයිරීන් ඔයා ගැන..."

මම හොස්ටල් එකට ගිය පසු මගේ කාමරේ යාළුවන් වන රූබි,හා සිල්වියා මා සමග දුක් විය.


"දැන් ආයෙත් ඔයා නිවාඩුවට ගෙදර ගිහාම ඔයාට ගොඩක් පාළු දැනෙයි නේද..?


"මම මීට පස්සේ නිවාඩුවට ආපහු ගෙදර යන්නෙ නෑ රූබි ...මම හොස්ටල් එකේම ඉන්නවා...මම ආසා නෑ ග්‍රැනී, මමී නැතුව ඒ ගෙදර ඉන්න.....ඩැඩියි ග්‍රේස් ආන්ටියි කිව්වා ජුඩ්වයි රෝසිවයි කොන්වන්ට් වල නවත්වනවා කියලා.. ...ඒගොල්ලන්ව බලාගන්න කවුරුත් දැන් ගෙදර නෑනේ.... ඩැඩි වැඩට යන්නත් එපෑ.......වයසක එළිසටත් හැමදාම ඒ දෙන්නව බලාගන්න බෑනේ......එළිසව ආයෙත් අපේ ගෙදර එක්ක ඇවිත් තියෙන්නේ ලොකු මමී...."


"එහෙනම් රෝසිවත් ඔයා ඉන්න මේ කොන්වන්ට් එකේම නවත්වන්න කියන්න ..."


"ඩැඩි කිව්වා මේ කොන්වන්ට් එකේ ගනන් හරි වැඩියි කියලා ...ඒ නිසා රෝසිව මෙහෙ නවත්වන්න බෑ කිව්වේ....."


"අනේ පව්...එතකොට ඒ දෙන්නව කොහේද නවත්වන්නේ.....?


"ජුඩ්ව නම් ඔය කොහේ හරි බොයිස් ස්කූල්, හොස්ටල් එකක නවත්වනවා කිව්වා...."


"මොනව උනත් අම්මලා ආච්චිලා නැති උනාම ගෙවල් වල ඉන්න ළමයි, කාත් කවුරුත් නැතුව තනි වෙනවා.... "


"එහෙමම කියන්න එපා රූබී...., අම්මලා නැති ඕන තරම් ළමයි ඉන්නවා, තාත්තලා හරි ආදරෙන්, ආරක්ශාව දීලා හොදින් හදා වඩා ගෙන උගන්නලා ලොකු තැන්වලට ඇරපු....ඒ අතින් නම් අයිරීන්ගෙ ඩැඩී ළමයි ටික ගැන හරියට බලන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ...."


"හැමෝම එහෙම කියනවා රූබී....දැන් බලන්න සිල්වියාගෙ තාත්තත් එයාව බලන්න හොස්ටල් එකට එන්නෙ නෑනේ ....අම්මයි තාත්තයි දික්කසාද උනාට පස්සේ සිල්වියාව හොස්ටල් එකේ නවත්වලා ඒ දෙන්නම ආයෙත් වෙන දෙන්නෙක් කසාද බැදලා ළමයි හදාගෙන ඔය ඉන්නේ...සිල්වියා හොස්ටල් එකේ තනිවෙලා....ලොකුම දේ සිල්වියාගේ අම්මා රස්සාවක් කරන නිසා, සිල්වියාගෙ අංකල්ට හොරෙන් ඇවිත් සිල්වියා බලලා, ඔක්කොම අඩුපාඩු ගෙනත් දෙනවා.... "


"ඒ අතින් දරුවන් හොදින් හදාගෙන , බලාගෙන , ආදරෙන් සලකගෙන ඉන්න දෙමව්පියන් ලබන්න දරුවනුත් පිං කරන්න ඕනේ...එහෙම ළමයි හරි වාසනාවන්තයි...."

පස්වෙනි දරුවා හම්බවෙන්න ගොස් මමී ආන්ත්‍ර වී ගෙවුනු මාසයක කාලයක්, ගෙවි ගියේ මට හිතාගන්න බැරිතරම් මගෙ හිත දුක් කන්දක ගිල්වමින් මාව තව තව අසරණ කරමින්‍ය. මගේ හිත, මමී හා ග්‍රැනී ගැන නිතර සිහිපත් කරමින් හිත සොවින් බර කර මා හඬවයි....


"ඇයි අයිරින් කොයිවෙලෙත් කාමරේට වෙලා තනියම ඉන්නේ.....පොඩ්ඩක් එළියට ඇවිත්, යාළුවොත් එක්ක ග්රවුන්ඩ් එකට ගිහින් සෙල්ලම් කරන්න ....." හොස්ටල් එකේ මේට්ට්‍රන් බලෙන් මාව නිතර ළමයි එක්ක සෙල්ලම් කරන්න යවයි.

"අයිරින් බේබී ඔය විදිහට නිතර දුක් වෙන්න එපා.....පොඩ්ඩක් එළිපහලියට ඇවිත් ළමයි එක්ක සෙල්ලම් කරන්න යන්න ..."


කුස්සියේ සීතා අම්මා පැමිණ මගේ දුක සැප නිතර විමසයි. ඇයට මං ගැන ඇත්තේ ලොකු දුකක් අනුකම්පාවක් බව මට තේරේ....


"අයිරින් එන්න අපි චර්ච් එකට යමු...මට පොඩ්ඩක් චර්ච් එක අතුගාන්න උදව් කරන්න අයිරීන්.. ...සිස්ටර් මේරිද නිතර මාව ඇගේ වැඩ වලට හා පල්ලියේ වැඩ වලට අඬ ගසා ගනී.

මම පාසැලේ වැඩ නැති හැම වෙලාවකම සිස්ටර් මේරි සමග පල්ලියට ගොස් එහි අතුපතුගාන වැඩද, පිරිසිදු කිරීම්ද කර පසුව අල්තාරය ඉදිරිපිට බංකුවක වාඩිවි බොහෝ වේලාවක් දෙවියන් යදින්න පුරුදු වෙමින් ඉදිමි.....

ග්‍රැනී කියා දුන් විදිහට මම....., ග්‍රැනී හා මමී මතක් කරමින් ඔවුන් ඉන්න තැනක සදා සතුටින් ඉන්න ලැබේවායි පතමින් මගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන්, ඔවුන්ගේ අනාගතය ගැනද, මගේ අනාගතය ගැනද නිතර සිතමින් යාච්ඥා කරන්න පුරුදු විය.

මම පල්ලියේ තුල යාච්ඥා කරන විට, මට ඒවාට උදව් කරමින් සිස්ටර් මේරි.... නිතර මගෙ ඔලුව අතගාන්නේ අනෙක් දරුවන්ට හොරාය. පාසැල් වැඩකටයුතු වලට අමතරව මම නිතර සිස්ටර් මේරි සමග පල්ලියේ වැඩකටයුතු වලට උදව් කරමින් හිතේ ඇති දුක වේදනාව හෙමින් සැරේ නිවා ගන්නට උත්සහ ගනිමින් ඉදිමි.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page